Follow by Email

Wednesday, 30 December 2015

යලි හමුවෙමුද අපි...

පහුගිය කලාප වලින්..

1. කුඩා බණ්ඩාර මාමා සහ බෙස්ට් සිලෙක්ෂන්


2. බෙස්ට් සිලෙක්ෂන් -පළමු කොටස


3. බෙස්ට් සිලෙක්ෂන් - දෙවන කොටස


4. මා ලියු ප්‍රථම නිසදැස


5. වෙන්ඩ නැන්දම්මා හෙවත් අක්කා නැන්දා


6. පුෂ්ප රාජා සහ අපේ කතාව


7. පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව -එක



8. පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව-දෙවන කොටස


9. පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව- අවසාන කොටස


10. සමුගන්නට අවසරයි




යලි හමුවෙමුද අපි...



ජයංගනී නංගිට සමුගැනීමේ ලිපිය දී  ගතවුයේ එක රැයක් පමණි.  මම පසුදා පාන්දර සුපුරුදු පරිදි සඳතැන්න පාසැල වෙත ගියේ පෙරදින කිසිවක් සිදු නොවූ පරිද්දෙනි.

එහෙත් උදේ කාලයේ විමලා අක්කා මග හැර සිටින්නට උත්සහ කලේ   මගේ සිත කිසියම් දෙගිඩියාවකින්  පෙළුණු නිසාය.

ඒ අන් කිසිවක් ගැන නොව සමුගැනීමේ ලිපිය ලද "අපේ නංගි" ගෙදරදී  කල කී දේවල්  විමලා අක්කා දැනගෙන ඇතැයි යන දෙගිඩියාවයි.

තේ වෙලාවේ ඇය මුණ ගැසුනද අනෙක් ගුරුවරුන් සිටින තැන මේ මාතෘකාව ඇදෙන්නට විදිහක්  නැත.

එහෙත් විමලා අක්කා මා දෙස බලමින් ඇයට හිතවත්ම ගුරුවරියන් දෙදෙනෙකු සමග කතා කරමින් සිටිනු මගේ විපරම් ඇසට නොගෑටුනා නොවේ.

එදත් පාසැල නිමවුයේ වෙනදා පරිදිමය.   මගේ සිත බරපතල ගැටළු රැසක මැදිවී තිබුනද  සඳතැන්නේ එදිනෙදා කටයුතු වලට එය එතරම් බලපෑවේ නැත.

හැමදෙයක් ම සාමාන්‍ය පරිදි සිදුවූ දිනයක  මගේ නිවස බලා යන ගමන පමණක් වෙනස් කල නොහැකිය.

මම වෙනදා මෙන් විමලා අක්කා සමගම නැවත නිවස බලා එන්නට පිටත් වුනෙමි.

වෙනදා ඇය කතා කරන "දූ  දරුවෝ " ටෙලි නාට්‍ය  සහ එහි සම්පත් ගේ භූමිකාව වැනි මාතෘකා  අදත් පැන නගිනු ඇතැයි බලාපොරොත්තු වුනෙමි.

තේ වත්ත මැදින් ටික දුරක් ගමන් කළෙමු.  වෙනදා මෙන් නොව අද විමලා අක්කා කිසි හා හුවක් නැත.

මගේ සිතේ ඇති  දෙගිඩියාවද දෙගුණ තෙගුණ වෙයි..

 " ජයංගනී ඊයේ ගෙදර ගිහින් මොනවා කරන්නට ඇත්ද ? "    මට පිළිතුරක් අවශ්‍ය වී තිබේ.

" මොකද අද කතාවක් නැත්තේ ? "  ඉවසීමේ සිමාව ඉකමවන්නට ඔන්න මෙන්න සිටි මම නිහඬතාවය බින්දෙමි.

" කතා?.. මොනවා කතා කරන්නද ඔයත් එක්ක??.. අර  පොඩි කෙල්ල  අමාරුවේ දාලා ..  ඔයාට දැන්ද  එයා පොඩි වැඩියි කියලා තේරුණේ??.. "

විමලා අක්කා එක්වරම මා වෙත කඩා පනින එහෙත්  හඬාවැ ටෙන ස්වරයෙන් පැවසුවාය.

"මම තමයි වැරැද්ද කරේ ගින්දරයි පුළුනුයි ලංකරලා .. මම පොඩි දුවව ඔයාගේ පන්තියට එවුව එකයි වැරැද්ද "

ඇය මට පමණක් නොව ඇයටමත්  අවලාද කියා ගත්තේ තම පොඩි දුව තදබල හිතේ අමාරුවක දැමීමට අප දෙදෙනාම වග කිවයුතු බව මතක් කරමිනි.

" ඔයාට ඕක මගේ දුවගේ ඔළුව නරක් කරන්න ඉස්සර වෙලා හිතන්න තිබුනා.. " විමලා අක්කා නතර කරන පාටක් නැත.

තරහක් නැති තරහ වීම

ජයංගනි ට සමුගැනීමේ ලිපිය දෙන්නට පෙර ගත වී ගිය සති දෙක තුනක පමණ කාලය නැවතත් ම සිතේ ඇඳුනේ සිතුවමක් මෙනි..

ඇත්තෙන්ම මට ජයංගනී ගෙන් හැබැවටම සමුගන්නට තරම් හිතේ හය්යක් තිබුනේ නැත.

විමලා අක්කා අපේ ගෙදරට ඇවිත් කල යෝජනාව නිසා අපේ අම්මලා හොඳටම කලබලවූ බවද දුටුවෙමි.

පුද්ගලිකව මගේ වැඩිදුර ඉගෙන ගැනීමේ ආශාවද ජයංගනී නිසා වැඩි වුවා මිස අඩුවක් වී තිබුනේද  නැත.

කවදා හෝ  දොස්තර කෙනෙකු වී ජයංගනී ලඟට ගැනීම ඉතාම පහසු කර ගැනීමේ බලාපොරොත්තු ව මා තුල දිගටම තිබුණු දෙයකි.

එය ලඟා කර ගැනීමට ඇය ගෙන් සමුගත යුතු යැයි මා කවදාවත්  සිතුවේ නැත.

ජයංගනීට සමුගැනීමේ ලිපියක් දුන්නේ   මේ සියල්ල තරයේ සිත්හි දරා ගෙනයි.

එහෙත් හිත ඇතුලෙන් ඇත්තටම මට අවශ්‍ය වුයේ කාටත් හොරා අපේ සම් බන්ධය ඉදිරියට ගෙන යාමටයි.


මේ සියල්ල විමලා අක්කාට කියනවාද ? නැද්ද?  .. මම විපිළිසර වීමි.

සමහර විට මෙයා අපි දෙන්නට උදව් කරයි . මම මගේ යටි අදහස කිව්වොත්..මම තවමත් දෙගිඩියාවෙන්මය.

විමලා අක්කලා සම්බන්ධයට කැමති බව පෙනෙන එකේ ඔන්න ඔහේ කියල දානවා මම හිත හදා ගත්තෙමි.

" නෑ.. නෑ.. කළබල  වෙන්න දෙයක් නෑ.. මම ඇත්තටම මේක නවත්තන්න හිතුවේ නෑ  "

"එහෙනම්. ? ඔයා අර පොඩි ළමයා එක්ක සෙල්ලම් කරනවද?  .. ඔහොම බරපතල ලියුම් දෙන්නේ ..?"

"හරි හරි මං ඒක එයත් එක්ක කතා කර ගන්නම් කෝ. ඔයා කලබල නොවී ඉන්න.. "

මම විමලා අක්කාව අස්වැසුවෙමි.

"මොනවා උනත් ඔයාට කල්පනා කරන්න තිබ්බා ඉගෙන ගන්න ළමයෙකුට ඔහොම හිත් වේදනා නොදී ඉන්න .. "

ඇය තව තවත් කියවයි.

 " දැන් තම තමන්ම  බේරාගන්න එකයි ඇත්තේ..  මොකද අපෙන් අහලායැ ඕවා පටන් ගත්තේ ?"

කතාව අවසානයේ මා තේරුම් ගත්තේ විමලා අක්කා තම දියණිය අත හරිනවාටද අකමැති බවයි.

මේ යන ක්‍රමේ හොඳයි .. දැන් මෙයාල මට සම්පුර්ණ සහයෝගය දෙයි වගේ . එහෙම වුනොත් මට අපේ ගෙදරට නොදැනෙන්න මේක ඇදගෙන යන්න පුළුවන් වෙයි.

මා උපකල්පනය කලේ විමලා අක්කා ගේ ක්‍රියා කලාපය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිතා බැලීමෙන් අනතුරුවයි.


යලි හමුවීම



එදා හවස සඳතැන්නේ සිට ආ සැණින් අරලගංවිල බලා යන්නට තීරණය කලෙමි. 

"චුටි පුතා උඹ කොහේ යන්නද ලෑස්ති වෙන්නේ .. තවටිකකින් පුෂ්ප රාජා එයි කුඹුරේ යන්න.." අම්මා ගේ සුපුරුදු හඬ මා වලක්වන්නට උත්සාහ කරයි.

"මම ටවුමට ගිහිල්ලා එන්නම් .. මං ආපහු එන්න ඉස්සෙල්ලා පුෂ්පේ ආවොත් තනියෙන් කුඹුරේ යවන්න .. මම තේත්  අරගෙන පස්සේ යන්නම්.."

"හරි හරි ඉක් මනට ගිහින් වරෙන් එහේ පැලවෙන්නේ  නැතුව " අම්මා කියන්නේ මම කරන්නට යනදේ හරියටම දන්නවා වගේය.

පාසැල් ඇරී එන අපේ නංගි නගරයේදී හමුවූ මා ඈ සමග නැවත පාසැල් බසයෙන්  පැමිණියෙමි.

ඒ එන අතර වාරයේ කිසි වෙනසක් නැතිව පුරුදු පරිදි ඈ හා කතා කලෙමි.  

ලියුමේ සඳහන් කර තිබු සියල්ල අමතක කරන ලෙසද පැවසූ වෙමි. 

මෙතැන් පටන් අපේ නෑදෑයින්ට නොපෙනන ලෙස මුණගැසීමටත්  කිවයුතු දේවල් ලියුම් වලින් කතා කර ගැනීමටත් යෝජනා කලෙමි.

විමලා අක්කා මට කිවූ දේවල් ද ඇය හා පැවසුවේ  මෙතැන් පටන් ඔවුන්ගේ ගෙදරින් අපට බාධා එල්ල වනු නැති බවද ඇයට ඒත්තු ගන්වමිනි.

ජයංගනී නංගිද කිසිවක් සිදු නොවූ පරිද්දෙන් මා හා දොඩමළු  වුවාය.

"අම්මා මොකද කිව්වේ ..? ඔයා අම්මාට ලියුම ගැන කිව්වද ? "වැනි ප්‍රශ්න වලට මට පිළිතුරු ලැබුනේ නැත.

ඇයට එසේ හැසිරෙන ලෙස ඇගේ මව උපදෙස් දුන්නාද නැතිනම් ඇය විමලා අක්කාට  ඇගේ දුක කීවාද යන්න තවමත් මා හට නම් නොවිසඳුණු  පැනයකි.

Sunday, 27 December 2015

මිස්ට පොල් (ගම නැගුම - දෙවන කොටස)



පළමු කොටස මෙතැනින්

ගනේවත්ත සහ   මිස්ට පෝල්  හමුවීම



පොල් වගාවේ ඉදිරිය සහ ඒ ආශ්‍රිතව ඇතිවන නිම්මිලා ගේ ගෙවල් අවට දියුණුව ගැන සිහින දකිමින් රාත්‍රිය පහන් විය.
උදාසනින්ම  ලෙනදොර මල්ලී වත්තට යන්නට සුදානම්ය.  නිම්මි සහ මම නුවර යන්නට සුදානම් වෙමින් සිටියෙමු.

"අය්යා මිස්ට පෝල් හම්බවෙන්න එන්න පුළුවන් වෙයිද? ". ලෙනදොර කියන්නේ එදින එහි පැමිණීමට නියමිත පොල්  සංවර්ධන නිලධාරියා ගැනයි.

 " කීයටද මනුස්සයා එන්නේ.. ? අපිට නුවර පොඩි වැඩ වගයක් තියෙනවා .. ඉවර වුන ගමන් එන්න බලන්නම්"  . මම පිළිතුරු දුන්නෙමි.

මේ දිනවල මට මෝටර් රථයක් තිබුණේ නැත. ඒ නිසා ගමන් බිමන් ගියේ පාරේ  බස්  වලයි. පොල් මහත්තයා අප බස් වලින් පැමිණ ගෙදර එනතෙක් නිම්මිලා වත්තේ රැඳී සිටී දැයි සැක සහිතය.

"කමක් නෑ .. මල්ලී ඉඩම පුරාම එයා අරන් ගිහිල්ලා   අපි කපපු පොල් වලවල් එහෙම පෙන්නන්න කෝ .. අපි එන්න පරක්කු වුනොත් හවසට පොල් මණ්ඩලේට ඇවිත් එයා මුණගැහෙනවා කිව්වා කියන්න.."

මම ලෙනදොර ගේ සිත සැනසුවෙමි.

"මේ කයිවාරුව නෙවෙයි.... අපි යමු නේද ?    බ්‍රිටිෂ් කවුන්සිල් එකටත් යන්න තියෙනවනේ ... "

නිම්මි මට මතක් කර දුන්නේ එදිනට නියමිත වැඩ රාජකාරි කිහිපයක් ගැනයි.

"අටටත් ලඟයි .. එහෙනම් පිටත් වෙමු " . මම නිම්මිත් සමග පහළට බහින්න පටන් ගත්තෙමි.

මේ කාලේ නිම්මිලා ගෙදර සිට ගමේ ගුරුපාර දක්වා යෑමට තිබුණේ ඔවුන්ගේ මාමා කෙනෙකුට අයත් වත්තක් මැදින් තිබු අඩි පාරකිනි.

 පියතිලක මාමා නම් වූ ඔහුගේ වත්ත පුරාම කෙසෙල් වගා කර තිබුනා මතකය.

පියතිලක මාමා ට ගමේ එවුන් කිවේ "කක්කුට්ටා" කියාය. පසු කලෙක මා දැනගත් පරිදි ඔහුගේ සිතිවිලි සහ ක්‍රියාකාරකම් අතර අහසට පොළව මෙන් වෙනසක් තිබුණි.

ඒ අනුව සැලකීමේදී කක්කුට්ටා යන නම තැබූ කෙනා මේ ලක්ෂණයට  සාධාරණයක් කර ඇති බව පැහැදිලිවේ.

නිම්මි අත් බෑගයත් එල්ලා ගෙන පියතිලක මාමගේ වත්තේ මැද හරියෙන් පල්ලම් බහී. මම ඈ පිටුපසින් හෙමින් හෙමින් ගමන් කළෙමි.

කළුම කළු උඩුකය නිරාවරිත මිනිසෙක් කෙසෙල් පඳුරු අතර බස බස ගාමින් වැඩ කරනු පෙනේ. නිම්මි බිම බලාගෙනම ගමන් කළාය.

මම මේ කඩියා මෙන් වැඩ කරන මිනිසා දෙස බැලුවෙමි. ඔහුගේ උඩු ඇන්දේ දත් කිහිපයක් දිරා ඇත. දහදියෙන් වැසි ගොස් තිබු  ඔහුගේ කාල වර්ණ ශරීරය  ඒ මත පතිත වූ හිරුරැසින් දිලිසෙයි.

අප වෙද විදුහලේදී ඉගෙන ගත් පුර්ව ගාත්‍රා වල සහ පපු ප්‍රදේශයේ පේශි සියල්ල එකිනෙකින් වෙන් කර තැබුවක් මෙන් පැහැදිලිව ඉල්පී තිබේ.

මා දුටු වනම ඒ මිනිසා මා දෙසත් ඉතා ඕනෑකමින් බලන බව මට දක්නට ලැබිණි.

කක්කුට්ටා නිම්මිලාට කෙනෙහිලිකම් කල බව දැන සිටි මා ඔවුන්ගේ ගෝලයා වූ ඔහු වෙත ඔරවා බැලුවෙමි.

කක්කුටු මාමගේ වත්ත පසු කල අප වෙල මැදින් ඉදිරියට ඇදුනෙමු.

"ඒයි  කවුද ඒ  මනුස්සයා ?  හරියට අපේ ගෙවල් පැත්තේ පුෂ්පරාජා වගේ.." මම නිම්මිගෙන් ඇසුවෙමි.

" මම දන්නේ කොහොමද?  කවුරු හරි කුලීවැඩ කාරයෙක්.. කක්කුට්ටගේ වත්ත නේ ඔය "

"ඔවු .. ඔවු .. මිනිහා මා දිහා හොඳට බැලුවා.. "

"ඔයා ඒ මිනිහට හිනා වුනාද ? "..

 පිස්සුද මට මතක් වුනා එයා කක්කුට්ටගේ ගෝලයා කියලා .. මම හොඳට ඔරවලා බැලුවා "...

පියතිලක මාමා  යනු  නිම්මිලා අම්මාගේ ලොකු අම්මාගේ පුතෙකි.

ඔහු දේශපාලන වශයෙන් සමාජවාදියෙක් ( නිම්මිලා ගමේ ඉන්න ප්‍රසිද්ධ ජ. වී. පෙ. සාමාජිකයෙක් ) බව මා අසා තිබේ,

එහෙත් සාමාන්‍ය භාවිතයේදී ඔහු කුඩු කේඩු  කම් වලින් අනුන චරිතයකි. උදාහරනයක් ලෙස අප මේ ගමන් කල අඩි පාරෙන් නිම්මිලා යනවාට ඔහු අකමැතිය.

ඒ පාර පළල් කර නිම්මිලා ගෙදරට වාහනයක් ගන්නට කක්කුට්ටා නම් මේ කපේ දී ඉඩක් දෙන එකක් නැත.

එහෙත් නිම්මි මුල්ම රස්සාවට කොළඹ යද්දී ඇයව එහි කැඳවා ගෙන ගියේ පියතිලක මාමා බවද මා අසා තිබේ.

මේ කරුණු සලකා බැලුවිට  පියතිලක මාමා අපට බොහෝ ගම් වලදී හමුවන  ගැමියන්ගේ ලක්ෂණ පෙන්නුම් කල අයෙක් බව කිව හැකිය.

පියතිලක මාමා කෙසේ වෙතත් ඔහුගේ ගෝලයා නම් මගේ සිත් ගත් කෙනෙක් බව මෙහිදී නොකියාම බැරිය.

ඒ නිසාම එදින හවස නිම්මිලා වත්තට වී සිටිද්දී මා ඔහු ගැන නැවතත් කතා කලේ මෙලෙසිනි.

"ඒක නෙවෙයි ප්‍රේමරත්න .. අද මම නුවර යනකොට දැක්කනේ නියම බුලට් එකක්  කක්කුට්ටගේ කෙසෙල් කොරටුවේ වැඩ කරනවා.."/

"මිනිහා මා දිහා හොඳට බලනවත් දැක්කා.."

"කවුද අප්පා ඒ.. මිනිහගේ හැඩරුව කොහොමද ? මම මා දුටු මිනිසා පුවක් බාස්ට විස්තර කලෙමි.

"බැරිද අපිට මිනිහා අපේ වැඩට එකතු කරගන්න. එහෙම වුනොත් මේ පොල් වලවල් ටික ඉක්මනින් ගහලා දැම්ම හැකි" .

බළලා මල්ලෙන් එළියට පැන්න බව පුවක් බාස් තේරුම් ගන්නට ඇත.

"ආ .. ඔය අපේ ගනේවත්ත යා නේ ... මිනිහා අපිට හවසට හංදියේදී හම්බවෙනවා..නේද පුවක් අය්යා " අසල සිටි සුසන්ත පිළිතුරු දුන්නේය.

"එහෙමනම් ඔය දෙන්නා  ගනේවත්තට කතා කරලා බලන්න අපි ළඟ වැඩට එන්න කැමතිද කියලා."

"අපි අනෙක් තැන වලට වඩා වැඩියෙන් පඩි ගෙවනාවා කියලත් කියන්න .. එතකොට මිනිහා කක්කුටු මාම අතහැරලා අපි ලඟට එයි"

මම කිව යුතු සියල්ල සංක්ෂිප්ත කර පුවක්ලාට ඉදිරිපත් කලෙමි.  පසුදා උදැසනම පුවක් සහ සුසන්ත වැඩට ආවේ තුන්වෙනියෙක් ද සමගය.

ඒ කුරුණෑගල ගනේවත්තේ සිට මාවනැල්ලට පැමිණි  "ගනේවත්ත හෙවත් ගනේ.. " සමගය.


මිස්ට පෝල් හමුවීම




එදා අප නුවර ගොස් එද්දී හවස දෙක පහුවී තිබුණි. 

අප නැති අතර පොල් මහත්තයා හෙවත්  මිස්ට පෝල්  නිම්මිලා ගෙදර වත්ත බලන්නට පැමිණි බව ලෙනදොර මල්ලී මට කිවේ මෙසේය.

" ඒක නෙවෙයි අය්යා මිස්ට පෝල් ආවා වත්ත බලන්න.. මම අපි කපපු පොල් වලවල් පෙන්නුවා.. එයාට හරි සතුටුයි අපි මේ වෙනකොට කරලා තියෙන වැඩ ගැන "

"ඇත්තද මල්ලී .. වෙන මොනවද කිව්වේ ?"

"එයා ආධාර දෙන්න ගිය වෙන කොහේවත් පොල් පැල ටික අතට දෙනකන් වැඩ පටන් ගන්නේ නෑ කිව්වා "

"ඉඩමේ හරහට පෙට්ටි කාණු ටිකක් කපන්න කිව්වා ... සෝදා පාළුව අඩු කරන්න.. "

"හරි ..හරි .. ප්‍රේමරත්නලට කියලා කාණු ටික කප්පවමු".

"මේ වත්තටම සැහෙන්න පල දෙන්නම් කිව්වා..තව ඉඩම් තියෙනවද හදන්න කියලත් ඇහුවා."

"ඔයා කිව්වේ නැද්ද  අඹගහමුල හේන  ගැන?" මම ඇසුවේ නිම්මිටත් අමරාටත් දෙකෙන් පංගුව බැගින් අයිති ඔවුන්ගේ තාත්තා ගේ පැත්තේ ඉඩමක් ගැනයි.

"කිව්වේ නෑ අය්යා .. මම බණ්ඩාර මහත්තයට කිව්වා අය්යා අද හවස එහේ ඒයි කියලා.. අය්යටම කිව්වහැකිනේ"

"මිස්ට පෝල් අසාවෙන් ඉන්නවා අය්යත් එක්ක කතා කරන්න " ලෙනදොර දැන් දැන් හැමතැනම මගේ නම විකිණීම අරඹා ඇත.

එදා හවස තේ වේලාවෙන් පස්සේ ලෙනදොරත් මමත් පොල් මණ්ඩලයට ගියෙමු.

"කෝ බණ්ඩාර මහත්තයා ඉන්නවද ? " අපි අසල සිටි නෝනා කෙනෙක් ගෙන් ඇසුවෙමු.

"හලෝ ..කොහොමද එන්න එන්න . මිස්ට ලෙනදොර මට ඔයා ගැන කිහිප සැරයක්ම කියලා තියෙනවා කැනඩාවේ හයර් ස්ටඩි  කරනවලු නේද?"

"බණ්ඩාර මහත්තයා හඳුනා ගන්න ලැබීම සතුටක් .. කොහෙද ඩිග්රි එක කලේ අලදෙනියේද ?"

"නෑ.. මම කුණ්ඩසාලේ ඩිප්ලෝමා කාරයෙක්.."

"ඩොක්ටර් ජයසිංහ ගේ මල්ලී හරි උනන්දුයි නේ මේ වැඩේට ඔච්චර පිරිසිදුවට , පිළිවෙලට  පොල් වගාවට සුදානම් කරපු වත්තක් මම දැකලා නෑ.."

"ලෙනදොර මල්ලී හමුදාවේ හිටපු කෙනෙක් නේ . හරි පිළිවෙලයි එයාගේ වැඩ.. මෙහෙම කෙනෙක් මේ වගේ වගාවක් කරනවා කියන එකම මදිද ?"

මමත් ලෙනදොර මුරුංගා අත්තේ ඉහළටම නැන්ගුවෙමි.

"අක්කර තුනකට නෙවෙයි ඊටත් වඩා පොල් පැල දෙන්න වටිනවා මේ වගේ අයට? තව ඉඩම් තියෙනවද ?"

බණ්ඩාර මට අවශ්‍ය තැනකට සාකච්චාව රැගෙන ආවේය.

"තියෙනවා තව අක්කර හතරක ඉඩමක් .. මාවනැල්ල නගර සිමාවෙමයි තියෙන්න .. අහලත් ඇති අඹගහ මුලහේන කියන ලොකු ඉඩම.. ?"

"ඒක ඉඩම් නඩුවකින් කැඩිලා මෙයාගේ නෝනාටයි  මගේ නෝනාටයි  අක්කර දෙක ගානේ අයිති වුණා."

"අම්මයි දුවලා දෙන්නයි නම් ලැස්ති වුණේ ඉඩම් කෑල්ල විකුණලා ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න"

"මම කිව්වා මේ වගේ ලොකු වගාවක් ඒකෙත්  දාමු .. ආදායම් එන කාලෙට වාහනයක් ගමු කියලා.."

"මොකද වාහන මේන්ටේන්  කරන්න අදායමකුත් තියෙනවානේ එතකොට..".

"මම හරි කැමතියි ඩොක්ටර් ජයසිංහ හිතන ක්‍රමේට .. එහෙම හිතන අය ඉන්නවා නම්  අපේ රට දියුණු කරන්න ලේසියි."

ලෙනදොර හොරෙන්  මා දෙස බලා  හිනහ වෙනු  දුටුවෙමි. 

ඔහු මිස්ට පෝල් දැන් අපේ අතේ බව වටහා ගෙන තිබේ.

සාකච්චාව අවසාන වෙද්දී බණ්ඩාරත් මමත් හොඳ හිතවතුන් වීමු. 

ඊළඟ නිවාඩුවට ලංකාවට පැමිණි පසු ඔහුගේ නිවසට එන ලෙස ආරාධනා වක්ද ලැබිණි.

ගෙදර වත්තටත්  අඹගහ මුල හේනටත්  ( අක්කර හතකට ) පොල් පැල ලබා දෙන්නට   බණ්ඩාර එකඟ වුයේ අපේ සාකච්චාවේ ප්‍රතිඵලයක් වශයෙනි.






ඊළඟ කොටස මෙතනින්


Friday, 25 December 2015

ගම නැගුම - පළමු කොටස



දෙදාස් පහේ නොවැම්බර් අවසාන වන විට   නිම්මිලගේ මහා ගෙදර වත්ත සම්පුර්ණයෙන්ම එලි පෙහෙළි කරන්නට මාත් ලෙනදොර මල්ලිත් සමත් වීමු.

අක්කර තුනක් පමණ වූ මුළු ඉඩම කොටස් දෙකකින් යුක්ත විය. නිවස තිබු පහළ කෑල්ල පුවක් බාස් ලා ගෙදරට ආසන්නයේම තිබු කොටසයි.

උඩහ වත්ත යැයි හැඳින්වූ අනෙක් කොටස තැනින් තැන තිබු පොල් ගස් සහ ඇට්ටෝනියා ගස් මෙන්ම වෙරළු , ගොරකා , මැන්ගුස් ටින් වැනි පලතුරු වර්ග වලින්ද යුක්ත විය.

මේ වන විට ලෙනදොර මල්ලිත් මගේ දින චරියාවටම අනුගත වෙමින් සිටියේය. ඒ උදේ පහ හමාරට පමණ අවදි වී අම්මා තේ හදන තෙක් වත්තේ වැඩ කිරීමෙන් ආරම්භ වන දවසකටයි.

උඩහ වත්තේ මැද කොටසට පුවක් බාස් ගේ ගෙදර එක එල්ලේම  පෙනෙන්නේ  පුවක්, දුල්මිණි ඇතුළු සියළු දෙනා කරන කියන දේ අප දෙදෙනාට  දැක ගන්නට සලස්වමිනි.

මේ දිනවල පුවක් අපට වඩා හිතවත්ව සිටියේ ඒ අසලම නිවසක සිටි උක්කු බන්ඩේ  මාමා සමගය.  උක්කු බන්ඩේ මාමගේ අත් උදව් කරුවෙක් ලෙස පුවක් බාස් ඔහු සමග සිටි කාලයකි ඒ .

මේ නිසා  අසල තිබුණු රබර් කෑල්ලේ  මැදින් එහා මෙහා යන පුවක් සහ උක්කු බන්ඩේ  මාමා දිනපතාම අපේ නෙත ගැටේ.

වත්තේ ඉහළ  කොටස එලි පෙහෙළි කරද්දී මට පහලවූ අදහසකි.  මේ ගැන මම ලෙනදොර මල්ලී සමග කතා කලෙමි.

"මල්ලී මට හිතෙනවා මේ වත්තේ අපි මොනවා හරි ප්‍රයෝජනවත් වගාවක් කළා නම් හොඳයි කියලා .."

"මෙහේ  හොඳට පොල් හැදෙනවා නේද ? අපි දාමුද මේකේ හොඳ පොල්වගාවක් ?"

"මෙහේ නැද්ද පොල් සංවර්ධන මණ්ඩලයක් එහෙම?" "ගිහිල්ලා කතා කරානම්  වගාව ගැන උපදෙසක් ගන්නත් පුළුවන්"

මම ලෙනදොර මල්ලියාට  ගම නැගුමේ පළමු පියවර ගැන අදහසක් දුන්නේ එලෙසෙනි.

"හදමු අය්යා මට ගෙදර ඉන්න ගමන් පොල් පැල ටික බලාගන්නත් පුළුවන් නේ " ලෙනදොර මල්ලී තම කැමැත්ත ප්‍රකාශ කළේය.

"නංගිත් එක්කත් කියලා බලන්නකෝ .. මම නිවාඩු ඉන්න මාස ටිකේ අපි වැඩේ කරලා දාමු"  මම ගෘහ මුලිකයන්ට දැනුම් දීමේ වැදගත්කමද ලෙනදොරට මතක් කර දුන්නෙමි.

කුරුණෑගල උපන් කෙනෙක් නිසා ලෙනදොර මල්ලී පොල් හදන හැටි ගැන හොඳින් දැන සිටියේය. අරලගංවිල උපන් මම දැනගෙන හිටියේ පොල් කෑමට පමණි.

"අය්යා පොල් හදන්න අඩි දෙකේ දෙකේ වලවල් කපන්න ඕන"  ලෙනදොර මල්ලී තම පොල් දැනුම මට බෙදා දුන්නේය.

එදා  තේ වේලාවෙන්  පස්සේ ප්‍රමිතියට අනුව පොල් වලවල් කැපීම ආරම්භ කළෙමු. දිනකට අපට කැපිය හැකි වුයේ වලවල් දෙක හමාරක් පමණි.

පුවක් බාස් හේරත් මුදියන්සේලාගේ ප්‍රේමරත්න වෙයි


හවස වැඩ අවසන් වී උඩහ වත්තට වී ඉන්නා අතර පුවක් බාස් පහළින් යනු දුටුවෙමි.

"මල්ලී අර යන්නේ පුවකා නේද? එන්න කියමුද මෙහාට.. අපේ පොල් වලවල් කැපිල්ලට අල්ලා ගන්න තිබ්බනම් හොඳයි " මම පොල් වලවල් කැපීම පුවකාට  භාර දෙන්නට තීරණය කලෙමි.

"පී.. පී..  මේ...එන්නකෝ මේ පැත්තට පොඩ්ඩක් .. මේ අය්යා ඔයාට කතා කරනවා " අත්පුඩියක් ගහමින් ලෙනදොර එගොඩහ ගොඩේ ඉන්නා පුවක් ට කතා කළේය.

"කොහොමද ?  අපි මෙච්චර කල්  ලඟපාත හිටියට ඔයාගේ නමවත් දන්නේ නෑනේ .. මොකක්ද ඔයාගේ නම? "
මම සාකච්චාව ආරම්භ කලෙමි.

"මගේ නම ප්‍රේමරත්න " පුවකා උත්තර දුන්නේය.   "ගම? " මගෙන් තවත් කෙටි පැනයකි.  "ගම රඹුක්කන මම ඉස්කෝලේ ගියේ පින්නවලට " මම උසස් පෙළට කොමර්ස් කරේ  .. වැඩ තුනක් පාස් "

පුවකා තමාගේ  අතීතයේ මා දැනගත් යුතු කොටස් ටික මට ඉදිරිපත් කළේය. "එතකොට වාසගම?" .. මට අවශ්‍ය වුයේ වාසගමෙන් හෝ පුවකා අපට නෑදෑයෙක් වන්නේදැයි දැනගැනීමටයි.

"අපි හේරත් මුදියන්සේලාගේ .. කට්ටිය.. "  එච්. එම්. ප්‍රේමරත්න නොහොත් පුවක් බාස් පිළිතුරු දුන්නේය.

"කොහෙද මේ ගමේ අය ඔයාට පුවක් මල්ලී, පුවක් බාස් කියා කියා ඉන්නවා මිසක් ඕවා දන්නේ නෑනේ නේද ?"
මගේ නෝක්කාඩුව ලෙනදොරලා ඇතුළු නිම්මිලා ගමේ උදවියටය.

"ඔයාගේ  දුව දුල්මිණි ඉගෙනගන්න දක්ෂයි කියලත් මට ආරංචියි.. ඉතින් තාත්තා ඒ ලෙවෙල් කොමර්ස් කරා නම්  දුවට බැරි වෙන්නේ කොහොමද නේද ? "

මම ඉගෙන ගැනීමට උනන්දු  වීමේ ඇති ජානමය සම්බන්ධය  පුවකාටත් ලෙනදොරටත් පැහැදිලි කලෙමි.

ප්‍රේමරත්න බුලත් විටකුත් හපමින් හ්ම් .. හ්ම් .. කියනු හැර වැඩි දෙයක්  කිවේ නැත.

"ප්‍රේමරත්න මේකයි වැඩේ.  ලෙනදොර මහත්තයලා මේ වත්තේ පොල් හිටවන්න යන්නේ අපිට පොල් වලවල් කපන්න කෙනෙක් ඕනෑ.. බැරිද අපට උදව් කරන්න"

"ම්හු.. මට මේ දවස් වල පොල් පැලිලි කීපයක් තියෙනවා .. මම උඩහ සුසන්ත අල්ලලා දෙන්නම් කෝ.."

"මමත් පුළුවන් වෙලාවට එන්නම් "

ප්‍රේමරත්න අපට උදව් කරන්න කැමැත්ත පළකළේය.

මා ඔහුගේ නම දැනගත්තේ එදාය. එදා සිට අද දක්වාම මම පුවක් බාස් අමතන්නේ ප්‍රේමරත්න යන නමිනි. ලෙනදොර මල්ලී විහිලුවට මෙන් ඔහුට මිස්ට පුවක් .. මිස්ට පී .. වැනි නම් පාවිච්චි කළේය.

නිම්මිලා අම්මා ගමේ බොහෝ වැඩිහිටියන් ඔහුගේ මුහුණට  කීවේ පුවක් මල්ලී හෝ දුල්මිනිලා තාත්තා යන නමයි.
ඔහු නැති තැන ඒ නම පුවකා බවට පත් වුයේ නිතැතිණි.

කෙසේ හෝ එදාට පහුවදා ප්‍රේමරත්නපැමිණියේ ඔහු කියූ හිතවතා සුසන්තත් සමගය.

සුසන්තත් ඔහුත් සමග අප දෙදෙනාද එකතු වී එදා පොල් වලවල් අටක් -දහයක් කපන්නට ඇත.

එසේ ආරම්භ වුනු පොල් වලවල් කැපීම දිනෙන් දින ඉදිරියට කරගෙන ගියෙමු.

පොල් මහත්තයා හමු වීම 


දහවල් කෑම වෙලාවේ පුවක්, සුසන්ත සහ අප දෙදෙනා  අතර අනාගත වැඩ සටහන් ගැන සාකච්චාවන් සිදුවෙයි.
පොල් මණ්ඩලයෙන් බෙදාහරින පොල් පැල ගැන සඳහන් කෙරුනේ ප්‍රේමරත්න සහ සුසන්ත අතිනි.

"කොහේද පොල් සංවර්ධන මණ්ඩලේ ඔෆිස් එක තියෙන්නේ ? " මම ඔවුන්ගෙන් විමසා සිටියෙමි.

"කොළඹ -නුවර පාරේ මීපිටිය හරියේ  ඇයි අර ඉස්සරහ ලස්සන පොල් ගස් තුනක් එහෙම තියෙන ඔෆිස් එක මතක නැද්ද ?"

ප්‍රේමරත්න අපට පොල් මණ්ඩලේ තිබෙන තැන මතක් කර දුන්නේය.

මම එවෙලේම  ලෙනදොර මල්ලීට පොල් මහත්තයා හමුවීමට යායුතු බව කීවෙමි.

එසේ ගොස් පොල් පැල ඉල්ලා අයදුම් පත්‍රයක් දෙන ලෙස උපදෙස් දුන්නෙමි.

අප අතර සිදුවුයේ මෙවැනි කතා බහකි.

"මල්ලී එතෙන්ට ගිහිල්ලා නිකන්ම ඇප්ලිකේෂන් එක දෙන්න එපා පොල් මහත්තයත් එක්ක කතා කරන්න "

"ඔයා උතුරේ ක්‍රියාන්විතයේ හිටපු සෙබෙලෙක් බවත් , සුළු තුවාල නිසා දැන් විශ්‍රාම අරන් ඉන්න බවත් කියන්න "

"නිකං ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා පොල් ටිකක් හදන්න හිතුවා කියලා කියන්න.. අපිට අක්කර තුනක් ගෙදර වත්තෙම තියෙනවා කියන්න   "

"කැමති නම් අපි ගැනත් කියන්න .. අපේ අය්යා මෙහෙම කෙනෙක්, එයත් මේ වැඩේට සම්බන්ධයි .. එයා මහත්තයා හම්බවෙන්නත් එන්න ඕනි කිව්වා වෙලාවක ... කියලා කියන්නකෝ "

"ඔය වගේ කතා කරාම ඕන මහත්තයෙක් උදව් කරනවා . ඔයා දැන්ම ඒ පැත්තේ ගිහින් එන්නකෝ. අපි තුන් දෙනා ඉතිරි පොල් වලවල් ටික ගහන්නම්  ."

යැයි ලෙනදොරට පැවසු මම  ඔහු පොල් සංවර්ධන මණ්ඩලයට පිටත් කර හැරියෙමි.

ලෙනදොර අපෙන් සමුගත් මොහොතේ මා පුවක් බාස් කතාවට අල්ලා ගත්තෙමි.

" මේකයි ප්‍රේමරත්න වැඩේ මගේ ප්ලෑන් එක මේ වත්තයි අනෙක් වත්තයි දෙකම පොල් වතු දෙකක් කරන්න.  ඔයා ලෙනදොර මහත්තයා ගැන දන්නවනේ .. මිනිහා මේවා බලා කියා ගන්න තරම් පුළුවන් කෙනෙක් ද ? අපේ මහන්සියි ..වියදමුයි වතුරේ යයිද දන්නේ නෑ..."

මට අවශ්‍ය වුයේ අවුරුදු දෙක තුනක් අසල් වැසියා ලෙස ජිවත් වූ පුවක් බාස් තුල ලෙනදොර ගැන ඇති ආකල්පය මොනවගේ එකක් දැයි දැන ගැනීමටයි.

" දොස්තර මහත්තයා වගේ උනන්දුවෙන් වත්තේ පිටියේ වැඩ කරනවා නම් මම දැකලා නෑ ..

පහුගිය අවුරුදු දෙකට කෙසෙල් ගහක් වත් හිටෙව්වේ නෑනේ..

හැබැයි මේ කරගෙන යන එකෙන් එයා ඕවා කරන පිළිවෙල  හිමින් හිමින් අල්ල ගයි ".

ප්‍රේමරත්න මා මෙන්ම අනාගතය ගැන සුභවාදිව සිතන බව පෙනේ. එය මගේ සිතටත්  අස්වැසිල්ලකී.

මේ අතර වත්තේ පහළින් බර අඩි තබා යමෙක් කන්ද නැග එන (බුට්ස්  පැළඳ ) හඬක් ඇසේ..

පොල් මණ්ඩලේට ගිය ලෙනදොර මල්ලියා නැවතත් අප සමග එක්වන්නට එන හඬයි ඒ..

"කොහොමද මල්ලී ගමන ?  පොල් මහත්තයා හම්බ වුනා ද ? "

"ගමන ඇති සාර්ථකයි අය්යා.. ඔයා කියපු විදිහටම කිව්වා "

පොල්මහත්තයා බණ්ඩාර කියලා කෙනෙක් .. එයාට හරි සතුටුයි මම වගේ කෙනෙක් මෙහෙම පොල් වගාවක් පටන් ගන්නවා කිව්වම "

"ඒකනේ මම කිව්වේ මල්ලී ...තරුණ ජවය යහපත් දේකට යොදවනවා කිව්වම ඔය තැන්වල ඉන්න මහත්තුරුගොඩ දෙනෙක් ඒක අගය කරනවා.."

"හරියට හරි අය්යා .. බණ්ඩාර මහත්තයත් එහෙමම කිව්වා.. ඔයා වගේ හිටපු හමුදා සෙබෙලෙක් මේ වගේ හොඳ වැඩක් කරන එකේ අපි උදව් ක‍රන්නම එපැයි .. කියලා කිව්වා..."

"එයා වත්ත බලන්න හෙට එනවා කිව්වා . අක්කර තුනටම හරි යන්න පොල් පැල දෙන්න පුළුවන් වෙයි කියලත් කිව්වා.."

"නියමයි, නියමයි .. ඕකනේ මම කිව්වේ ඔයා කව්ද කියලා කතාව පටන් ගන්න කියලා .." මම මගේ සතුට ප්‍රකාශ කලෙමි.

"ඒක නෙවෙයි මම අය්යා ගැනත් කිව්වා.. හෙට බණ්ඩාර මහත්තයා  එනකොට අය්යා හිටියොත් හොඳයි.. එයාට අය්යා අඳුරගන්න ඕනේ කියලා කිව්වා.."  ලෙනදොර මල්ලී මගේ නමද පාවිච්චි කර ඇත.

"මල්ලි හෙට අක්කාට නුවර යන්න ඕනේ කිව්වා.. කමක් නෑ අපි වෙන වෙලාවක ඔෆිස් එකට ගිහින් එයා හම්බ වෙමු."

කතා බහෙන් පසු අපි නැවතත් පොලව සමග හැප්පීම ආරම්භ කළෙමු. ගල් මුගුරු සහිත පොලවේ පොල් වලවල් කැපීම සිදුවන්නේ ඉතා සෙමිනි.

මේ අතර ලෙනදොර මල්ලී ඉතා උද්යෝගයෙන් වැඩෙහි යෙදෙනු දක්නට ලැබිණි. බණ්ඩාර මහත්තයා ( පොල් මහත්තයා ) ඔහුගේ සිතට කා වදින ලෙස කතා කර තිබේ.

මගේ සිතද දිනයේ සිදුවීම් සහ කතා බහ  ගැන උපන් සතුටකින් පිරී යයි.




ඊළඟ කොටස මෙතැනින්...





Tuesday, 22 December 2015

2005 නොවැම්බර් 16- 17 මාවනැල්ලේදී




මේ  වන විට මා සිටියේ විදේශ අධ්‍යාපන නිවාඩු පිටය.  නෙදර්ලන්ත අධ්‍යාපන කටයුතු අවසන් කර  කෙලින්ම ඔස්ට්‍රේලියාවට  පැමිණි මා එහි මාස තුනක් ගතකලෙමි .

ඒ ඉදිරියේදී අරම්භ වීමට නියමිත ( 2006) මගේ  ඊළඟ උපාධියට අදාළ පර්යේෂණාගාරයට  හුරුවීමක් වශයෙනි.

රටවල් දෙකක සිදුවූ අධ්‍යාපන කටයුතු නිසා මාස හතරක අධ්‍යාපන හිඩැසක්  මට හිමි විය.

ඒ මාස හතර අලදෙණියේ නිවාඩුවෙන් ම ගත කලේ ආපසු වැඩ භාර ගතහොත් ඇතිවිය හැකි පරිපාලන ගැටළු අවම කර ගන්නා අටියෙනි. 

මගේ පුද්ගලික ජීවිතය මෙසේ දියුණුව කරා යොමුවෙමින් තිබෙන අතර රටේ ජන ජිවිතයද වෙනස් වෙමින් පැවතිණි.

මේ වන විට නව ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට අපේ රටේ ජනතාව මහත් උනන්දුවකින් කටයුතු කරනු දක්නට ලැබිණි.

මා ගුවන් තොටුපලේ සිට රැගෙන ආ වාහනයේ රියදුරා සමගින් ආරම්භ වූ දේශපාලන කතිකාව අලදෙණියේ අනධ්‍යන , අධ්‍යන සේවක සේවිකාවන් සමගද පවත්වා ගෙන ගියෙමි.

රටේ නැගෙන ජන රැල්ලත්  තුන්වන පාර්ශවයක් වූ ජ.වී. පෙයේ  ප්‍රමුඛ  කථිකයන් වූ විමල් විරවංශ වැනි අයගේ ආකර්ශනීය බවත් නිතර පැන නැගුන මාතෘකා විය.

මේ වනවිට මාවනැල්ලේ පවුලට මට අමතරව තවත් පුතෙක් එකතු වී සිටියේය.

ඒ නිම්මිගේ නංගි අමරාගේ  මහත්තයා  "ලෙනදොර" මල්ලීයාය.

ලෙනදොර මල්ලී විවාහ වන කාලේ කොළඹ යුද හමුදා මුලස්ථානයේ  වැඩ කලේය.

ඊට කලින් ඔහු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි වලදී කොටි බෝම්බයකට හසුවූ තුවාල ලබා සිට ඇත.

2005 වන විට ඔහු බෝම්බයේ කම්පනයෙන් ඇතිවූ   අතුරු  අබාධ සඳහන් කර හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන සිටියේය.

මේ කාලයේදීත්  නිම්මිලා අසල්වැසියා පුවක් බාස් ඔවුන් සමග සෑහෙන කිට්ටුවෙන් කටයුතු කළේය.

 ඒ ඔවුන්ගේ පොල්  කඩා දීම , යන එන ගමන් කොස් ගෙඩියක් ගෙනැත් දීම වැනි දේවල්ද සමගය.

ලෙනදොර මල්ලීලා  සහ අපේ ගණුදෙනු



අප ඕස්ට්‍රේලියාවේ  සිට ලංකාවට එන ගමනේදී අපව රැගෙන එන්නට ගුවන් තොටුපළට පැමිණි  අය අතර අරලගන්විල අපේ මස්සිනාලා දෙදෙනෙකුත්   ලෙනදොර මල්ලීත් සිටියා මතකය.

ගුවන් තොටුපලේ සිට මාවනැල්ලට එන මොහොත දක්වාම  මා කතා කලේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රට වල් වල දියුණුවත්  එහි මිනිසුන්ගේ හොඳ ගති ගුණ ගැනත්ය.

"මල්ලිලා කිව්වට විශ්වාශ කරන්නේ නෑ ..

ඒ රටවල මිනිස්සු කොච්චර තමන්ගේ රටට වැඩ කරන ආයතනයට ආදරේද කියලා"

"අල්පෙනෙත්තක දෙයක් වත් වැඩ කරන තැනින් අර ගන්නේ නෑ නේ ඒ මිනිස්සු "

මම කියා ගෙන ගියේ 

"මමය ..මගේය කියනවාට වඩා  අපිය .. අපේ රටේ දේය" 

යන තදබල හැඟීමක් ඒ රට වැසියන් තුල මට දක්නට ලැබුණු වගයි.

එමෙන්ම ශීතල නොතකා එහි මිනිසුන් කම්මැලි වැඩ කරන හැටි ගැනද කතා කලෙමි.

 මමත් නිම්මිත් දෙදෙනාම එහිදී ලැබූ අත්දැකීම් මෙන්ම අප කල අතිරේක රැකියා ගැනද අකුරක් නෑර පැවසුයෙමි.

උදේ පාන්දර හිම ගොඩේ ඇවිදිමින් පත්තර බෙදීම අප දෙදෙනා කල එකම සහ කටුකම අතිරේක රැකියාවයි.

මෙය වැඩිපුරම කලේ නිම්මි වූ අතර මම  පත්තර දැමීමට ගියේ සති අන්තයේ පමණි. 

සතියේ දිනවල නිම්මි උදේ පාන්දර හතරට පිටත් වෙයි . ඒ  නේපාල ජාතික "රාජේශ් තාපා" ගේ බිරිඳ  "අශිලා" ත් සමගය. 

මම උදේ හතරේ සිට  පොත් පත් කියවමින් නිම්මි නැවත එන තුරු සුපුන් බලා ගෙන සිටියෙමි.

මේ කතා සියල්ල අකුරක් නෑර ලෙනදොර මල්ලිටත්  අපේ නංගිලා අක්කලාගේ මහත්වරුන්ටත් කී හැටි මට අද වාගේ මතකය.

අරමුණ  අන් කිසිවක් සඳහා නොව  ඒ කතා අසා ඔවුන්ද අපේ රටට වැඩ දායක දෙයකට යොමු කරන බලාපොරොත්තුවයි.

අමුතු අය්යා කෙනෙක් 



අනෙක් නිවාඩු මෙන් මේ නිවාඩුවද වැඩිපුර ගත කෙරුනේ මාවනැල්ලේ ය.

නිම්මි අමරා නංගි සහ අම්මා සමග රට තොට විස්තර කතා කරන අතර මම ලෙනදොර කතාවට අල්ලා ගත්තෙමි. 

මේ වනවිට අමරා නංගි ගේ ලොකු පුතාගේ වයස අවුරුද්දක්  පමණ වන්නට ඇත.

 අමරා මේ දිනවල  දෙනුවර රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස  සේවය  කළාය.

ඒ නිසාම නිවසේ විශ්‍රාමික සුවයෙන් සිටි ලෙනදොර මල්ලිගේ ප්‍රධාන රාජකාරිය වුයේ සිය පුතු මාලක බලාගෙන නිවසට වී සිටීමයි.

අපේ සාකච්චාව සිදු වුයේ මේ ආකාරයෙනි.

"ලෙනදොර මල්ලී  .. මොනවද අපි  නැති කාලේ ලංකාවේ විස්තර ?" ලඟදි කුරුණෑගල ගම පැත්තේ එහෙම ගියේ නැද්ද?"

"ගියේ නෑ අය්යා .. මේ මාලක ගේ වැඩ නිසා.."

"මොනවද අප්පා මාලක ගේ වැඩ ?" "නංගි නැති වෙලාවට එයා බල ගන්න එකද ?"

"ඉතින් අම්මත් ඉන්නවනේ ?" ..

"අම්මත්  එයා බලා ගන්නවා තමයි . ඒ වුනාට අමරා කැමතියි මම නිතරම පුතා ගැන ඇහැ ගහගෙන ඉන්නවනම්.."

"ඒ කියන්නේ බබා බලා ගන්න ගමන් වත්තේ පිටියේ වැඩක් එහෙම කරන්න වෙලාව තියෙනවා ?"

"ඔවු .. ඔවු ..එයා දවල්ට ටිකක් නිදා ගන්න එකත් කරනවානේ ..?"

"මොනවද ඔයා දැනට හදලා තියෙන්නේ ?"

"මම   රඹුටන්  පැල ටිකකුයි අඹ පැල ටිකකුයි හැදුවා .. ගන්නොරුවෙන් ගෙනැල්ලා"

"කොහෙද උඩහ වත්තේ ද  ?"  .. මා ඇසුවේ මා මුලින්ම මෙහි පැමිණි දිනවල එලි පෙහෙළි කල ප්‍රදේශය ගැනයි.

මේ වනවිට මම හැදු කෙසෙල් , ගම්මිරිස් , එනසාල් ඇතුළු සියළු වගාවන් කැලයෙන් වැසි තිබෙනු දක්නට ලැබිණි.

"නෑ.. අය්යා මිදුලේ මෙන්න මේ පැත්තේ.." ලෙනදොර ඒ පැත්තට අත දික්කළේය.

"යමුකෝ බලන්න ඔයාගේ වගාව.."

ටයර් දෙකකින් වටකර හැදු රඹුටන් පැල කිහිපයක් සහ අඹ පැල කිහිපයක් ලෙනදොර මල්ලියා මට පෙන්නුවේය.

"මල්ලී ..කෝ මෙතැන තිබ්බ ලොකු පොල් අඹ ගහ?:... මා ඇසුවේ ඉස්සර ගෙට එන අඩිපාර අයිනේ තිබු පරණ අඹ ගහ ගැනයි.

"ඒක පුවකාට කියලා කපලා දැම්මා අය්යා.. ඊට පස්සේ තමයි මේ බඩ් අඹ පැල දෙක හැදුවේ.."

මේ වන විට ලෙනදොර මල්ලිට  කවිඳු අය්යා ගැන යම් අදහසක් පහළ වී ඇති සෙයකි.

 මා ගහට කොළට ඉතා කැමැත්තක් දක්වන බව ඔහු ඉවෙන් මෙන් වටහා ගෙන ඇත.

මට ඒ ඉඟිය සැපයුවේ ඔහු අඹ ගහ ගැන මා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් ආකාරයයි.

මාතෘකාව වෙන අතකට හැරවූ මා  ඔහුගේ පරණ රැකියාව ගැන සහ ඔහු විශ්‍රාම ගැනීම ආදිය ගැන කතා කලෙමි.

ඔහුගේ විශ්‍රාම ගැනීමට හේතු වූ දේවල් අතර ඔහු කොළඹින් මාවනැල්ලට මාරු කිරීම මෙන්ම අමරා වැඩට යන නිසා මාලක බලාගැනීමේ වගකීමද ද  ඇතුලත් විය.

"මල්ලී  ඔයාගේ පඩි කොහොමද ?  "

"පහළොවක් විස්සක් විතර හම්බ වෙනවා අය්යා "

"ඔයාගේ වයස කියද  දැන්  ..?"

"තිස් එකක් වෙන්න ලඟයි  "

"අය්යෝ මල්ලී .. ඔයා තාම තරුණයි නේ  .. ඔය තරුණ ජවය අපතේ යවන්න එපා.."

"විශ්‍රාම ගත්තට ඔයාගේ ඇඟේ තවම හය්ය තියෙන කාලෙනේ.."

"අනික පොඩි ළමයෙක් බලාගෙන ගෙදරට වෙලා හිටියනම් මට නම් පිස්සු හැදෙයි.."

මේ සාකච්ඡාව සිදු වුයේ නොවැම්බර් 16 වෙනිදාය.  මේ වන විට රටේ ඡන්ද උණුසුම නහුතයට නැග තිබුනා කිවොත් නිවැරදිය.

ලෙනදොර මල්ලී, අම්මා නංගි ඇතුළු හැමෝමත් මම සමන්ත සහ අරලගංවිල පවුලේ හැමෝමත් මහින්ද රාජපක්ෂ ජනාදිපති වන තුරු පුල පුලා බලා සිටි දිනයකි.

ගිරුවාපත්තුවේ  ජන නායකයා ඇවිත් අපේ රට ගොඩ ගන්නා දිනයක් ගැන සිහින මැවූ පිරිස අතර අලදෙණියේ වෙද විදුහලේ මගේ සගයෝ සැහෙන පිරිසක්ද වූහ.

මම හවස් යාමයේ නැවතත් ලෙනදොර සමග සාකච්චාව ඉදිරියට ගෙන ගියෙමි.

"මල්ලී මම මෙහාට එනකොට  තිබ්බේ තනි කැලයක් .."

"මම සැහෙන්න මේ වත්ත සුද්ධ කරලා හරි ගැස්සුවා .. හෙට උදේ ඉඳලා අපි ආයෙත් ඒ වැඩේ පටන් ගමු.. "


මම කලින් කිව්වා වගේ ඔයාගේ තරුණ ජවය අහක යවන්න එපා..

ඒකෙන් වැඩක් ගමු පුළුවන් වෙලාවට මාලක බලන එක අම්මාට කරන්න ඉඩ දෙමු.

පසුදාට පහන් විය. අපි පුවක් බාස්ගේ ගෙට පෙනෙන මානයේ තිබුණේ වත්තේ පහළ කොටසට ගියෙමු.  මා  ලෙනදොර මල්ලිගේ පරණ කොට කලිසමක් ඉල්ලා හැඳ ගත්තෙමි.

ලෙනදොර මල්ලියා  අතට ග්ලවුස් දමා ආමි බුට්ස් දෙකක් එහෙම දමාගෙන වැඩට බැස්සේය.

පසුකලෙක මමද ඔහු මෙන් ආරක්ෂා කාරීව වත්තට යන්නට පුරුදු වුයේ  බුට්ස් සහ ග්ලවුස් පැළඳීම මමද පුරුද්දක් කර ගත්තෙමි.

හොඳ කිඹුලා උදළු දෙකක් ගත් අප කැලය එලි කරන්නට පටන් ගත්තෙමු.

මගේ සිතට දිනයේ වැදගත් කම සිහි වුයේ මේ අතර  .

මා පළමු උදැල්ල ගසා ලෙනදොර දෙස හැරුණු හැටි මට තාමත් මතකය.

"මල්ලී.. අද නොවම්බර් 17 .. වැදගත් දවසක් මහින්ද රටේ ජනාදිපති වුණ දවසත්  අද.. අද අපි මේ පටන් ගන්නේ ලොකු වැඩක්"

මේ මාස හතර ඉවර වෙනකොට මේ වත්තයි  නිම්මිලාගේ "අඹගහමුල  හේන " වත්තයි දෙකම වගා කරන්නයි මගේ අදහස.

ඊට පස්සේ මම ඔස්ට්‍රේලියාවට යනවා හැබැයි ඔයාට මේ දේවල් බලා කියා ගන්න පුළුවන් නේ. "

" ඔවු .. ඔවු .. අය්යා අය්යා කිව්වා වගේ මටත් ඇත්තටම කම්මැලියි ගෙදරට වෙලාම ඉඳලා "

මම නැවතත් කටහඩ අවදි කලෙමි.

"මල්ලී මම ආපසු එවෙන්නේ අවුරුදු හතරකින් පහකින් ..

ඒ වෙනකොට මම බලාපොරොත්තු වෙනවා මහින්ද අපේ රට හොඳ තැනකට ගෙනෙයි කියලා..

ඒ වගේම ඔයා මේ වතු පිටිත් හොඳ තත්වෙකට ගෙනෙයි කියලා.."


අපි බලමුකෝ අවුරු හතරකට පස්සේ රට තියෙන්නේ කොතැනද  .. ලෙනදොරලා ඉන්නේ කොතැනද කියලා.."

මම සාකච්චාව හමාර කලෙමි.

ලෙනදොර මල්ලියා හඬ අවදි කළේය.. " අය්යා මම හිතුවේ ඩොක්ටර්ස් ලා කිව්වම හරි අමුතු මිනිස්සු කියලා ... ඔයා ආශ්‍රයට හම්බ වුනාට පස්සේ තමයි මගේ ඒ අදහස බොරුවක් කියලා තේරුණේ.."

"මට ඔයවගේ කෙනෙක් කලින් හම්බ වෙලා තිබුණේ නෑ නේ.."

දැන් ලෙනදොර මල්ලිත් මමත්  සිටින්නේ එකම අරමුණක් සහිතවයි.


ඒ ගම හදා රට හැදීමේ බලාපොරොත්තුව  පෙරදැරි කරගත් අය්ය මලෝ  දෙදෙනෙක් ලෙසයි.







ඊළඟ කොටසට මෙතනින් පිවිසෙන්න .

Friday, 18 December 2015

සඳකඩපහන -පළමු කොටස


මා මේ කියන කාලයේ සිටියේ  වෙද විදුහලේ  දෙවන සහ තුන්වැන වසර අතරයි.

වෙනත් අයුරකින් කිවහොත්    සායනික කටයුතු පටන් ගන්න  පෙරාතුව ඇති සංක්‍රාන්ති සමයයේය.

අප වෙද විදුහලේ මේ කාලය ගත කරන ශිෂ්‍ය කණ්ඩායමට (තුන්වන වසරේ සිසුන්ට )පැවරෙන වගකීමක් තිබේ.

ඒ "ස්වයං උපකාර ශිෂ්‍යත්වය" නමින් හැඳින්වෙන අපේම සහෝදර සිසුන්ට උපකාර කරනා ශිෂ්‍යත්ව අරමුදලකට මුදල් එකතු කිරීමයි.

ඒ සඳහා   සාමාන්‍යයෙන් කරන්නේ සංගීත සංදර්ශනයක් , නාට්‍යයක්  වැනි යමක්  කොළඹින් ගෙන්වා පෙන්වීමයි.

සුපුරුදු පරිදි කණ්ඩායම් රැස්වීමක් කැඳවා  මේ සම්බන්ධයෙන් සාකච්චා කළෙමු.

ඒ දිනවල ප්‍රසිද්ධියට පත් නාට්‍ය  කිහිපයක් සහ ඒක පුද්ගල හෝ ද්වීපුද්ගල සංගීත ප්‍රසංග කිහිපයකුත් යෝජනා වුවා මතකය.

පුරුදු පරිදි කිසිදු මතගැටුමකින් තොරව  අදාල ප්‍රසාංගික අංගය තෝරා ගැනිණි.


කණ්ඩායමේ ඒකමතික  තීරණය වුයේ සුනිල් එදිරිසිංහ යන්ගේ  "සඳකඩපහන " ගීත ප්‍රසංගය  ගෙන්විමටයි.

අපේ  වෙද විදුහල් ශ්‍රවනාගාරය   මේ සඳහා ලබා දීමට සුචරිත් අල්විස් මහතා ( අපේ  වෙද විදුහල් අදිපති තුමා ) එකඟ වී තිබුණි.

බොහෝ විශ්ව විද්‍යාල වල ගුරුවරු සිසුන්ගේ වැඩ ගැන වපර ඇහින් බැලුවද සුචරිත් සර්ලා එහෙම කලේ නැත,

 මේ කාලේ හතර වන කණ්ඩායමේ ශිෂ්‍ය නියෝජිතයා  ලෙස කටයුතු කලේ මමයි.

 මගේ සහයට සිටි සිසු නියෝජිත වරිය වුයේ සුජානි දෙහිගස්ලන්ද   සොයුරියයි.

සුජානිත් මමත් මුල් වසර දෙක   එකම ශරීර කණ්ඩායමේත්   ඉන්පසු එළැඹී වසර තුනේ එකම සායනික පුහුණු කණ්ඩායමේත් සාමාජිකයෝ වූයෙමු.

කාලය කෙමෙන් ගෙවී ගොස් අපේ ප්‍රථම සායනික පුහුණු මාස තුනද ආරම්භ විය.  ඉස්ඉස්සෙල්ලාම රෝගීන් සමග ගණුදෙනු පටන් ගැනුණු මේ කාලයේ සිසුන් ලෙස අපේ මනස නිරවුල්ව තිබීම අත්‍යවශ්‍ය දෙයකි.

අනෙක් සිසුන්ට නැති බරක් මගේ හිස මත තිබේ .  ඒ ශිෂ්‍ය නියෝජිත තනතුරයි.   තමා නියෝජනය කරන කණ්ඩායමත් ආචාර්ය මණ්ඩලයත් අතර ගණුදෙනු  හැල හැප්පිමකින් තොරව කරගෙන යෑම සිසු නියෝජිතයාගේ වගකීමයි.

ශිෂ්‍ය නියෝජිතයෙක් ලෙස ලැබිය හැකි හොඳම වර්ගයේ සහෝදර සිසුන් සමූහයක්  සහිත බැච් එකක් ලැබීමට තරම් මා වාසනා වන්ත විය.

 එමෙන්ම තම රාජකාරිය හරියට කල සායනික හා අනෙකුත් ගුරුවරු සමුහයකුත් ලැබීම මගේ කටයුතු ඉතාම පහසු  කරවන්නක් විය.

විශේෂයෙන් ළමා රෝග අංශයේ සිටි අජිත් සමරසේන සර් වැනි අපේ ගුරුවරු අපට තම දරුවන් හෝ සහෝදරයන් මෙන් සැලකු ගුරු පියවරු වූහ.

ලොකු කුඩා වෙනසක් නැතිව අප මුහුණ දුන් ඕනෑම ආකාරයේ ගැටලුවකදී සුචරිත්  මහතා සහ අජිත් මහතා අප වෙනුවෙන් පෙනී සිටියහ.

 මෙහිලා විශේෂයෙන් සඳහන් කල යුතු තවත් සායනික ගුරුවරයෙක් වන්නේ  ජනරංජන නම් සර්ජන් මහතාය.  
ඒ වනවිට රජයේ ව්‍යිදය නිලධාරී සංගමයේ සභාපති වූ ඒ මහතා  තම වෘත්තීය සමිති  අදහසට පවා පිටුපා යමින් අපේ සායනික කටයුතු  වෙනුවෙන් කැපවී සේවය කල හැටි මට මතක තිබේ.

 ( GMOA එක වර්ජන කලද හතරේ කණ්ඩායමේ අපට තිබු ඉමහත් හිතවත් කම නිසා ජනරංජන සර් අපේ සායනික කටුයුතු දිගටම කරගෙන ගියේය.).

මේ හේතුන් නිසා  ශිෂ්‍ය නියෝජිත තනතුර දරන අතරම මගේ අධ්‍යාපන කටයුතුත්  ඉතා හොඳින් කරගෙන යෑමට  මට පහසු විය. 

 

සංවිධායක කමිටු සහ ආධාර රැස් කිරීම.

සායනික සහ අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යන අතර අපේ ශිෂ්‍යත්ව අරමුදල් වැඩද  ඉදිරියට යමින් තිබිණි.

සාමාන්‍යයෙන්  සංගීත ප්‍රසංගයට මාස ගණනාවක් තිබියදී  ඒ සඳහා සුදානම්වීම ඇරඹෙයි.

මුලින්ම ආචාර්ය මණ්ඩලයෙන් එක් අයෙක් භාණ්ඩාගාරික ලෙසත්  අපේ කණ්ඩායමේ   කණඩායම් නියෝජිතයා  සභාපති ලෙසත් පත් කරනු ලැබීය.

  මේ ක්‍රියාවට සක්‍රියව දායක වීම සඳහා  ශිෂ්‍ය අනුකමිටු කිහිපයක්   ද  අපේ කණඩායම්  සගයින් අතරින්  තෝරා පත් කෙරුණි.

සමරු කලාප කමිටුව, ටිකට් පත් විකිණීමේ කමිටුව, ආහාර කමිටුව  ආදී කමිටු ගණනාවක් මෙයට ඇතුලත් විය.

ඇත්ත වශයෙන් ම ශිෂ්‍ය නියෝජිතයා  සහ ගුරු මණ්ඩල නියෝජිතයාට වඩා කාර්යයක් මෙම කමිටු වලට පැවරුනා කිවහොත් නිවැරදිය..

බොහෝවිට මෙම කමිටු වලට වැටුනේ  එකිනෙකා අතර හිතවත් කම් වැඩි අය හෝ එකම ශරීර කණ්ඩායමේ අයය.

කණ්ඩායම් නියෝජිතයා ලෙස මම ප්‍රධාන කමිටු කිසිවකට අයත් නොවූ අතර  හැකි සෑම අවස්ථාවකම  ඒ ඒ වෙලාවේ ක්‍රියාකාරී කමිටු වලට මගේ සහාය දුන්නෙමි.

මේවා අතර මා ඉතා සක්‍රිය ව දායක වූ කමිටු වුයේ ටිකට්  පත් විකිණීමේ කමිටුව සහ සමරු කලාප කමිටුවයි.

සමරු කලාපය සකස් කිරීමේදී මෙන්ම ටිකට් පත්  අලෙවි කිරීමේදීත් සිදු වූ සමරහක් සිදු වීම් ඉතා රසවත්  මෙන්ම සදා මතකයේ රැඳෙන වර්ගයේ ඒවා විය.


සායනික කටුයුතු අවසානයේ කල ටිකට් විකිණීම.



ඒ දවස් වල සුජානිත් මමත් අපේ සායනික කණ්ඩායමේ සියළුම දෙනාත් එකම අරමුණක් වෙනුවෙන් වැඩ කළෙමු. 

ඒ මගේ නායකත්වයෙන් ඇති 4 කණ්ඩායමේ   වගකීම වූ සඳකඩපහන ප්‍රසංගය අති සාර්ථක එකක් කර ගැනීමයි.

වෙනත් විශ්ව විද්‍යාල වල මෙන් නොව අපේ විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් හැඟීම හොඳින්ම පැවති තැනකි. එයිනුත්   හතරේ කණඩායම සුවිශේෂී ලෙස එකමුතු වී සිටියහ.

ඒ නිසාම අපේ සායනික කණ්ඩායමේ සිටි නොයෙකුත් දේශපාලන අදහස් දැරූ  සිසුන්ද අප හා සුජානිලා මෙන් ඉතා ඕනෑ කමින්  සඳකඩපහනේ වැඩ වලට උදව් කළහ.

අප ටිකට් විකිණීම සඳහා පිටත් වන්නේ  හවස හතර හමාරට පමණය.  හවස් වරුවේ දේශන අවසන් කර කැන්ටිමට එක් වන අපේ සායනික කණ්ඩායම කොටස් දෙකකට  බෙදෙන්නේ ප්ලේන්ටියක් සප්පායම් වන අතරයි.

එක කණ්ඩායමක්  අසල පිහිටි ගමටත් අනෙක් කණ්ඩායම ඊට විරුද්ධ පැත්තට ගමන් කරන්නේ  ගෙයක් ගෙයක් ගානේ ගොස් ප්‍රවේශ පත්‍ර විකිනිම සඳහාය.

එදා හවස මා සමග ගිය කණ්ඩායමට සුජානිත් , වනමලී , දේවින්ද ඇතුළු පස් දෙනෙක් ඇතුලත් වූහ.

" ටක්.. ටක්.. ගෙදර කවුද? "  නඩේ ගුරා ලෙස ගිය මම ගෙදර දොරට තට්ටු කලෙමි.

අපේ අම්මලාගේ වයසේ වූ අම්මා කෙනෙක් තම අත් දෙක පිහදමින් ඉදිරි දොර වෙත ආවාය.

"කවුද මේ ළමයි? " ඒ අම්මා අපෙන් විමසා සිටියාය.

"මචං  ජයේ .. උඹ කතා කරපන් " අපිත් සමග සිටි දේවින්ද හෝ පොඩි චාමර හෝ කීවා මතකය.

මේ ගෙවල් හැම එකකදීම වාගේ ගෘහ මුලිකයින් සමග කතා කිරීම සිදු වුයේ මා අතිනි.

මට අමතරව සුජානිද ගෙන ගෙට ගොස්  අපේ "ස්වයං උපකාර ශිෂ්‍යත්ව" වැඩ පිළිවෙල ගැන කතා කළාය.


"අම්මේ  අපි කරගම්පිටිය වෙද විදුහලේ ශිෂ්‍යයෝ" ..  මම කටහඬ අවදි කලෙමි.

"අපි අපේම කණ්ඩායම් වල ඉන්න ආර්ථික අපහසුකම් වලින් පෙළෙන සහෝදරවරුන්ට ශිෂ්‍යත්ව දෙන්න  කරන වැඩක් ගැන කියන්නයි ආවේ.."

"අම්මා දන්නවනේ ලංකාවේ හැමෝටම එක වගේ ආර්ථික ශක්තියක් නැති බව".  "ඒ වුනාට  දුප්පත් පවුල් වලත් ඉගෙන ගන්න දක්ෂ ළමයි  ඉන්නවා" .

"අපි ඒ අයට උදවු කරන්න ශිෂ්‍යත්ව දෙකක් දෙනවා හැම අවුරුද්දෙම" .

"ඒ අරමුදලට ආධාර පිණිස අපි  සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සඳකඩ පහන  පෙන්වනවා  අපේ ශ්‍රවනාගාරයේ ".
"ඒක හරි ලස්සන ගොඩනැගිල්ලක් අම්මේ .. ෂෝ එකත් හරි ලස්සනයි ..අම්මලා අපෙන් ටිකට් කිහිපයක් මිලදී ගත්තොත් අපේ බැච් එකේ දුප්පත් ශිෂ්‍යයෝ දෙන්නෙක් තමන්ගේ අනාගතයට භය නැතුව මුහුණ දෙනවා..".


මම ඒ අම්මාට මා නතර කරන්නට නොදී කියාගෙන ගියෙමි. අප තාමත් ගේ දොරකඩය..

"හරි හරි පුතේ මට තේරෙනවා.. එන්නකෝ කට්ටියම ගේ ඇතුළට.. මෙන්න මෙහෙන් වාඩි වෙමුකෝ.
මහන්සිත් ඇතිනේ කට්ටියට තේ එකක් බොමු නේද ?"

"දුවේ අර ඉදිච්ච කෙහෙල් කැනක් තිබ්බා නේද? එන්න ඒක අරන් එන්න මේ අය්යලා අක්කලාට දෙන්න"

"ඒක නෙවෙයි පුතා .. මම ඔයාගෙන් අහන්න හිටියේ .. ඔයාගේ ගම කොහේද ? "

ඒ අම්මා අනෙක් උන් පසෙක සිටියදී මා හා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට  පටන් ගත්තාය.

"මගේ ගම අරලගංවිල අම්මේ... මම ඉස්කෝලේ ගියේ අරලගංවිල සෙන්ට්‍රල් එකට".


"ඔයා හරි කටකාරයි නේ " ...ඔයා වගේම පුතෙක් මටත් හිටියා.. එයාත් කතාව පටන් ගත්තම ඔයා වගේමයි"

"එයා අසුනවයේ කළබල කාලේදී නැතිවුණා.  හිටියනම් එයත් ඔයා වගේම තමන්ගේ යාළුවන් වෙනුවෙන් මේ විදිහට කතා කරයි".

මගේ ඇස්  දෙකට කඳුලක් නැගුණේ ඉබේමය. මා   අසලම සිටි සුජානි එය  දකින්නට ඇතිවාට සැක නැත.

"ඔයා පරිස්සම් වෙන්න පුතේ ඔහොම කතා කරන අයට  මේ රටේ සමහර මිනිස්සු කැමති නෑ.."

මේ අතර මමත් සුජානිත්  ඇයගේ පුත්‍රයාගේ විස්තර අසන්නට පටන් ගත්තෙමු.

හිත ඇතුලෙන් මට අපිත් එක්ක අරලගංවිල ඉස්කෝලේ හිටී සුරංජිත්, කත්‍රිආරච්චි වැන්න වුන් මතකයට නැගේ.

මේ අම්මාගේ පුතාටද අත්වි ඇත්තේ සුරංජි ලාට අත්වූ  අවාසනාවන්ත ඉරණමයි.

මට මිනිසුන් ගේ හිත් කියවිය නොහැක. එහෙත්  ඇය ඒ වෙලාවේ හිතමින් සිටි දේ කුමක් දැයි මට ඔබට කිව හැකිය.

" මේ  කොල්ලා 1989 දී  බේරුණේ කොහොමද ?"  ඇයගේ සිතේ එවෙලේ  පැනනැගුනු ප්‍රශ්නය බව මම  ඒ ශෝකාන්විත විත එහෙත්  ආදරයෙන් පිරුණු ඇස්  දෙක  තුලින් කියවුයෙමි.

අප ඒ නිවසේ විනාඩි 20ක් 30 ක් පමණ ගත කරන්නට ඇත.  අප තිදෙනාගේ සාකච්චාව අතර තුර නයිස් බිස්කට් , කෙසෙල් ගෙඩි , ක්‍රීම් ක්‍රැකර් සමග කිරි තේ වලින් අපට සංග්‍රහ කරනු ලැබිය.

සුජානි ඇතුළු මගේ සගයන්ගේ විඩාව හොඳින්ම නිවී ගියේ අපට ලැබුණු ඒ  සංග්‍රහ නිසාය.

අනතුරුව ඒ අම්මා අපෙන් ටිකට් පත් තුනක්ම මිලදී ගත්තාය.  " සින්දු කොහොම වුනත් මම ඔයාලගේ වැඩේබලන්න එදාට එනවා"  ඇය අපට පොරොන්දු වුවාය.

ඇගෙන් සමුගෙන පාරට පැමිණි  පසු මගේ කණ්ඩායම් සගයින්ගෙන් අනේක විද පැසසුම් මා කරා ගලා එන්නට විය.

" ජයේ මිට පස්සේ උඹම විස්තරේ කියපන් .. එහෙම වුනොත් අපිට හොඳ සැලකිලි තමයි " කොල්ලෝ කියන්නට වූහ.

"ජයසිංහ නම් වැඩ කාරයෙක් තමයි . දැක්කනේ  කවදාවත් දැකලා නැති ඇන්ටිලා අල්ලාගන්න හැටි "  වනමලී පැවසුවේ හිනාවෙන ගමන්මය.

මගේ සිත ඒ තරම්ම සැහැල්ලු නැත.. මොකක්දෝ බරක් මගේ පපුව මත පතිත වූ ගතියක් මට දැනෙන්නට විය.

බිම බලාගෙන ගමන් කරන මා අසලින්ම එන තවත් යුවතියකි. ඒ  අපේ බැච් රෙපී  "දෙහි " සොයුරියයි.

 " ඒක නෙවයි ජයසිංහ .. ඒ ඇන්ටිගේ කතාව  අහලා ඔයාට  දුක හිතුනා නේද..?" මගේ සිතැගි ඉවෙන් මෙන් දැනගත් සුජානි ඇසුවාය.







Friday, 27 November 2015

සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය

ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානය 




කිරඹඔය ශ්‍රී ආනන්දාරාමය යනු අපේ ගමේ පන්සලයි. මෙය  මල්දෙණිය- කිරඹඔය දෙගම් වාසින්ට  වැඳුම් පිදුම් කීරීමට තිබු එකම  පන්සල විය .

එයට  චමින්දලා සහ අපේ ආතම්මලා ගෙවල් පැත්තේ අයද , මල්දෙණියේ අයද  හීල් දානය සහ දහවල් දානය රැගෙන ආහ.

මල්දෙනියෙන් පැමිණි දායක කාරකාදීන්  අතර අපේ තාත්තලා  පවුලේ අය මෙන්ම ජයංගනී නංගිලා ආතම්මලා ( කන්දේ ගෙදර නැන්දලා) ද වූහ.

මේ කියන කාලය 1975-1976  වසර දෙකින් එකකි . මේ වනවිට මම  අවුරුදු පහක හයක කොල්ලෙකි.

ඒ අනුව සිතා බලන විට ජයංගනී නංගි පසුවූයේ කිරිබොන  ළදරු වයසකයි.

මේ කාලයේදී  ඔවුන් සිටියේ වැලිකන්දේ ඔවුන්ගේ පියාගේ ගමේ බව මගේ විශ්වාසයයි.

එකල පන්සලේ ලොකු හාමුදුරුවෝ  වූ පන්නල බුද්ධ රක්ඛිත හිමි  අපේ පවුලේ ඉතා සමීප හිතවතෙක් විය.

අද මෙන් නොව ඒ කාලේ හාමුදුරුවෝ තාත්තා මුණ ගැහෙන්නට අපේ ගෙදරට පවා වඩින්නට පුරුදු වී සිටියහ.

1976-1977 කාලයේ රටේ පාලනය සමගි පෙරමුණු ආණ්ඩුවට තිබු අතර දායක සභාව කලේ එයට සමීප ගමේ අය වූ අපේ තාත්තලා ඇතුළු පිරිස විසිනි.

අපේ තාත්තා ඒ කාලේ පන්සලේ දායක සභාවේ සභාපතිත්වය දැරු බව මට මතකය.

තාත්තා පමණක් නොව අපේ අම්මාද පන්සලේ කටයුතු වලට ඉහලින්ම දායක වූ කාලයකි ඒ.

තාත්තා දායක සභාවේ සභා පති වූ ඒ කාලයේ අපේ අම්මා   ශ්‍රී විශාකා කුලඟන සමිතියේ ලේකම් ධුරය දැරුවාය.


අපේ අම්මා සහ ශ්‍රී විශාකා කුලඟන සමිතිය 



ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ  හැම ඉරිදාවකම  හවස දෙකට පැවති රැස්වීමකි.  

ශ්‍රී විශාකා කුලඟන සමිතිය ලෙස හැඳින්වූ එයට සහභාගී වූ වේ අපේ ගම් දෙකේ සිටි කාන්තාවන් පමණි .  

සාමාජික ගාස්තුව වුයේ හාල් සේරු භාගයක් සහ ශත පණහකි.

ගමේ බවලතුන් සැහෙන පිරිසක් එහි සාමාජිකාවන් වූ නිසා සැලකිය යුතු මුදලක්  ආධාර වශයෙන් ලැබු බව මාගේ හැඟීමයි.

එසේ එකතුවන සාමාජික මුදල්  ලොකු හාමුදුරුවන් අතට දෙන්නේ අපේ අම්මා  හෝ ආතම්මා විසිනි.
මුල්‍ය ආධාර එසේ හාමුදුරුවන්ට දුන්නද  එකතුවන සහල් කෙලින්ම පන්සලේ තබන්නේ නැත.
සමිතිය අවසානයේ එකතුවන හාල් සේරු විසි තිස් ගණනක සාමාජික ගාස්තුව මුලින්ම ගරු භාණ්ඩාගාරික තුමියගේ නිවසට යයි. 

ඊළඟ සතියේ රැස්වීමට පෙර මේ සහල් මුදල් කිරීම සිදුවේ.

ඒවා බොහෝවිට සමිතියේ නිලධාරී මණ්ඩලයේ ගෙවල් වල හෝ ඔවුන්ගේ හිතවතියන් ගේ ගෙවල් වල පරිභෝජනයට ගැනේ.

ඊළඟ සමිති වාරයට පෙර සහල් වල මුදල් භාණ්ඩාගාරික තුමිය වෙත ලබා දිය යුතුය.

සහල් වලින් ලැබෙන අදායම  සතියේ වාර්තාවට ඇතුලත් කරන්නේ ගරු ලේකම් තුමිය විසිනි 

ගරු ලේකම් තනතුර හෙබවූ අපේ අම්මා ගේ මුළු නම රාජපක්ෂ මුදියන්සේලාගේ විමලාවතී කුමාරිහාමිය. 

ඇය කිරඹ ඔය රාජපක්ෂ පරපුරේ බලවත්ම පවුලක වැඩිමහල් දියණියයි.

ඇගේ මව හෙවත් අපේ ආත්තම්මා  රාජපක්ෂ මුදියන්සේලාගේ සිරිනාවති කුමාරිහාමි මැතිණියයි.  

ඇය තම දෙටු දියණිය ලේකම් වූ කුලඟන සමිතියේ භාණ්ඩාගාරික තනතුර හෙබවූවාය. 

සමිතියේ සභාපතිත්වය දැරුවේ  ජයසේගෙදර ජයසුන්දර මුදියන්සේලාගේ  බාල කුමාරිහාමි  නොහොත් හෙළ ගෙදර ආතම්මාය. 

ඇය මුගටි මුත්තාගේ බිරිඳ වූ අතර ඔවුන්ගේ පුත් මද්දුම බණ්ඩාර රාජපක්ෂ  ගැන මම කලින් සඳහන් කළා මතකය.

1977 චන්දයෙන් පසු අපේ තාත්තාට ඩන් ලොප්  වත්ත හරියේදී මග රැක පහර දුන්නේ ඔහු සහ තවත් යූ. ඇන් . පී. සගයින් පිරිසක්  විසිනි.

මද්දුම බණ්ඩාර මාම අදටත් අරලගංවිල මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයා ලෙස සේවය කරයි.

තාත්තාගේ අභාෂය නිසා අම්මත් අපේ ආතම්මත් හොඳ ශ්‍රී ලංකා කාරියන් වූ අතර  ජේ.ජේ. ඇම්. බාල කුමාරිහාමි මැතිණිය  අමුම අමු  යූ. ඇන් . පී. කාරියක් විය.

ඒ කාලේ අම්මාගේ ලඟම හිතවතා වූ මා  ඈ යන හැම තැනකම රැගෙන අම්මාගේ සිරිතකි. 

ශ්‍රී විශාකා කුලඟන සමිතියද  ඒ අතර  තිබු තවත් එක් ස්ථානයකි.

සතිපතා ඉරිදා හවසට පැවති මේ කාන්තා සමිතියේ යාව ජීව සාමාජිකයෙක් වන්නට කවිඳු ජයසිංහ කුල කුමරුවාට අවස්ථාවක් උදා වන්නේ මේ අනුවයි.

කුලඟන  සමිතියේ වාර්ථාව


ඉරිදා හවස රැස්වීමේ මුලසුන හෙබ වුයේ  පන්සලේ ලොකු හාමුදුරුවෝ  වූ පන්නල බුද්ධ රක්ඛිත හිමියන් විසිනි.

සෑම සමිති වාරයකම  කුලඟනන්  පංච ශීලයෙහි  පිහිටු වීම මුලින්ම උන්වහන්සේ  අතින් සිදුවෙයි.

මේ අතර  "සභාවෙන් අවසරයි . කරුණා කර නිශ්ශ්බ්ධ වන්න "  කියමින් සභාපති තුමිය   තමා  මෙහි කුලඟන පාර්ශවයේ ප්‍රධානියා බව සභාවට හඟවන්නිය.

මුගටි ආතම්මාට මෙසේ සභාව නිශ්ෂබ්ද කරන්නට සිදුවන්නේ දියවල ළඟ ආතම්මා , කන්දේ ගෙදර නැන්දලා වගේ අයගේ කච කචය නවත්වන්නටය.

සිල්ගත් දවසේදී මෙන් දියවල ළඟ අතම්මලා  මෙහිදීද  කරන්නේ ගමේ ගොඩේ සිදු වූ  දේවල් ගැන ඕපාදුප කීමයි.

අනතුරුව තිබෙන්නේ ලේකම්තුමිය විසින්  පසුගිය සමිතියේ වාර්ථාව  කියවීමයි.

අපේ අම්මා විසින්  කරන වාර්ථාව කියවීම  අවසාන වන්නේ   "සභා තොමෝ සතුටින් විසිර ගියහ"

යන වාක්‍ය ඛණ්ඩයෙන්ය.

අම්මා ආඩම්බරයෙන් කියවන මේ වාර්ථාව    ලියන්නේ සෙනසුරාදා රාත්‍රීයෙදිය.

ඒ අපේ සමන්ත හෝ ලොකු අක්කා විසිනි. සමහර විට අපේ රාජු මාමාද මේ වැඩබලන ලේකම් තනතුර දරන්නේය.

වාර්ථාවට පසු ගිය වාරයේ එකතු වූ අරමුදල් ප්‍රමාණය, හාල් සේරු ගණන වැනි කරුණු මෙන්ම  දියවල ළඟ ආතා වැනි "කුලාංගනාවන් " කල යෝජනා ආදියද ඇතුලත් වේ.

සාලයේ පුටුවක හාන්සි වී අම්මා කියවන වාර්ථාව ලියන අපේ කට්ටියට ඇය අවසාන වාක්‍ය කියන්නේ.. "ලොකු පුතා සභා තොමෝ සතුටින් විසිර ගියහ කියලා ලියපන් " යනුවෙනි.

වාර්ථාව අවසාන වන්නේ ගරු ලේකම් සහ සභාපති තුමියන්ගේ අත්සන් තැබුමට ඉඩ තැබූ තිත් ඉරි සහිත කොටසකිනි.

මෙහි ගරු ලේකම් .... යන ස්ථානයේ විමලා රාජපක්ෂ ලෙස අපේ අම්මා අත්සන් කළාය.

ගරු සභාපති .... යන ස්ථානයේ අත්සන් කරන හෙළ ගෙදර ආතම්මා  තම අත්සන යොදන්නේ " සභාපත්‍රී" යනුවෙනි. ඇය එහි කවදාවත් ඇගේ නම ලියන්නේ නැත.

සභාපත්‍රී  ආතම්මා ඒ කාලේ සමිතියේ කථා පවත් වත්දී  නිතර කියන කියමනක් වන්නේ  අපේ සමිතියේ බලාපොරොත්තු ව  " වටමාලේ වැඩ කරගෙන " ඉදිරියට යාමයි යන්නය.

මෙයින් ඇය අදහස් කලේ පන්සලේ බුදුගෙය වටා ඉදිකරමින් තිබු " වට මාලයට" ආධාර එකතු කරගැනීමයි.

වට මාලයට කුලඟන සමිතියෙන් එකතු වුයේ සුළු මුදලක් වුවත් එය හැම සතියකම පවතී නිසා ගමේ අඟනුන්  වටමාලේ වැඩට සෑහෙන දායකත්වයක් සැපයු බව සත්‍යයකි.

පන්සලේ ඉදිරි වැඩ කටයුතු වලට ආධාර හොයාගත් ප්‍රධාන ක්‍රමයක් වුයේ  මාස කිහිපයකට වරක් පැවති සල්පිල සහ මල්වට්ටි වෙන්දෙසියයි.

ශ්‍රී ආනන්දාරාමයේ  සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය

"ඔබේ රාගී  මන කැළඹේදෝ... පිවිතුරු හදවත පෑරේදෝ..." මොහිදීන් බෙග් ගේ මේ ගීතයත්  සමග  පන්සලේ පැවැත්වෙන  සල්පිල ගැන ආරංචිය  ගම පුරා පැතිරේ. 

"කාරුණික පිණ්වත්නි.. මේ ඔබ අමතන්නේ  ශ්‍රී ආනන්දාරාම දායක සභාවයි "  

කියමින් පණිවිඩය අහල ගම්වලටත්  ළඟ ඇති රජයේ තේ වත්තේ ලැයිම් වලටත් ලබා දීම සිදුවේ.

නිවේදකයා  ජේ. එම් . නාමරත්න හෙවත් අපේ තාත්තා ය.  

 ඒ කාලේ අපේ  තාත්තාට මයික්‍රෆොනයක් අහුවුනොත් ලේසියෙන් අතහරින්නේ නැත.

"මෙයාට යකඩ කටක් අහුවුනොත්  නම් නොකා නොබී හරි  අල්ලා ගෙන ඉඳියි.. " අම්මා කියන්නේ මේ නිවේදක රෝගය ගැනය.

මේ අතර තවත් නැගී එන නිවේදකන් කිහිප පොලක් විය.  මේ අයට නිවේදක තනතුර ලබා ගන්නට පහසු නැත.

එහෙත්  අසල තේ වත්තේ කංකානිකු වූ සැම්සන් අය්යා වැනි අයට කළා තුරකින් මේ අවස්ථාව හිමිවේ. 


ඒ තාත්තා වැඩට ගොස් ඇති විටෙක හෝ  ගමෙන් පිටත  ගිය අවස්ථාවකයි.

එවිට සැම්සන් අය්යා ජනතාව අමතන්නේ 

" බවුද්ධ සාධුනි... මේ ඔබ අමතන්නේ ශ්‍රී ආනන්දාරාම දායක සභාවයි " යනුවෙනි.

කෙසේ ඇමතුවත් හවස හය හත වෙත්දී දෙගම් වාසි කොල්ලෝ කුරුට්ටෝ, දායක දායිකාවෝ මෙන්ම සඳතැන්න , වටගමුව , සිරිමල්වත්ත ගම්වාසීන්ද  පන්සලේ බණ මඩුවට එකතු වෙති . 

ඒ හැම කෙනෙක්ම වාගේ සල්පිලට තැබීමට යමක් රැගෙන ඒමට අමතක නොකරති.
මෙසේ ගෙනෙන සල්පිල් භාණ්ඩ අතර රෙක්සෝනා කැට, සන්ලයිට්  හෝ ලයිෆ් බෝයි සබන් කැට , කෙල්ලන් විසින් ගෙනත් තබන රෝස පාට කොටු කොටු ලේන්සුද වෙති.

මීට අමතරව  පාන් ගෙඩි, බත් පාර්සල්  නොයෙකුත් පලතුරු වර්ග  වැනි ආහාරයට ගත හැකි දේවල්ද වෙයි.

 එ පමණක් නොව අසල පිහිටි තේ වත්තේ ද්‍රවිඩ කම්කරුවෝ සැහෙන පිරිසක්ද  අපේ පන්සල වෙත ඇදී එන්නේ මේ සල්පිලේ කොටස් කාරයන් වන්නටය.

ඔවුන් සල්පිලට බඩු ගෙනත් තබන්නේ කලාතුරකින් වුවද සමහරක් කම්කරුවන් වඩේ  හෝ ඉට්ලි පාර්සල් මෙන්ම තේ කොළ බෑග් ද සල්පිලට ගෙනත් තැබූ බව මට මතකය.

තාත්තා සමග කලින්ම පංසලට යන සමන්තටත් මටත් මේ බඩු හොඳින් දැක ගත හැකි විය.

හතර වට මිනිසුන් , ගැහැනුන් සහ ළමා ළපටින් ගෙන් පිරී ගිය බණ මඩුවේ මැදට වන්නට ලස්සනට සැරසු මල් වට්ටිය සහ සල්පිල් භාණ්ඩ තබා තිබේ..

මුලින්ම ආරම්භ වන්නේ සල්පිල් වෙන්දෙසියයි. 

කිසියම් භාණ්ඩයක් අතට ගන්නා තාත්තා සමහර විට කවියක් හෝ එයට අදාල කතාවක් කියා ( ගෙනත් දුන් බවලතා ගැන හෝ ) 

 "ආ..තියන්න බලන්න ලන්සුවක් කියමින් සල්පිල ආරම්භ කරයි."

"ශත විසි පහයි " පළමු ලංසුව තබන්නේ එක් පත්තකිනි. අනික් පැත්තෙන් " ශත තිහයි " කියවේ.. මේ තරම් කලින් ඈවරයි.. දෑවරයි... කියන්නට තාත්තා සුදානම් නැත.

තව මිල ඉහල නග්ගන ලෙස ඔහු විවිධ කණ්ඩායම් අවුස්සයි. ටිකෙන් ටික ගාන වැඩිවී ගොස් ලංසුව සත අනූ වක් දක්වා පැමිණ තිබේ.

එක් වරම තාත්තා  "ඕරු රුවා අන්ද පක්කම් " කියමින් වතු කම්කරුවන් සිටි පැත්තට අත දික් කළා මතකය. 

අපේ අය්යත් මමත් වට පිට බැලුවේ සිදු වුයේ කුමක්ද යන්න දැන ගැනීමටයි.

ටික වෙලාවකින් තාත්තා

"රුපියල ..ඕරු රුවා.. රුපියල ඔරුරුවා.."

"රුපියලයි ඈවරයි, රුපියලයි දෑවරයි... තව කව්රුත් ඉන්නවද..???   "

"රුපියලයි.. රුපියලයි.. රු.. පි.... ය... ල,,, යි..රුපියලයි තුන් ඈවරයි. "

  කියමින් සල්පිල් භාණ්ඩය දෙමළ අය්යලා සිටි පැත්තට විසි කළේය.

ඒ අනුව අපි තේරුම් ගත්තේ  "ඕරු රුවා අන්ද පක්කම් " කියා තාත්තා කිවේ " මේ පැත්තෙන් රුපියලයි " යන්න බවයි.

අනතුරුව එළඹියේ මල්වට්ටි වෙන්දෙසියයි  සත 25 බැගින් යොමු කරමින් මල්වට්ටිය ගැනීමට මුදලේ අගය වැඩි කල හැකිය .

මෙහිදී බොහෝ විට අසල ගම් වල පොහොසත් අය මල් බදුන ගන්නට පොර කනු දක්නට ලැබේ. 

අපේ ගමේ වෙනුර අය්යා ( වෙනුර මුදලාලි) සහ සඳ තැන්නේ ප්‍රේමසිරි අය්යලා හෝ සඳ තැන්නේ පොඩි අප්පුහාමි මාමලා ( ලොකු අල කොටු කාරයින් ) හැප්පෙනවා දකින්නට ලැබෙන්නේ මෙහිදීය.

"වෙනුර" කියමින් වෙනුර අය්යා මුදල් යොමු කරන අතර සඳ තැන්නේ කට්ටිය " සඳ තැන්න " කියමින් මල් බඳුනට ලන්සු තබති.

මේ අතර ගමේ කොල්ලෝ " පුලිටි පුටේ පුටි පුලිටේ " හෝ "එක කළු කුකුළාට එක කුකුල් කකුලයි " වැනි තාත්තගේ දිව උලුක් වන යෙදුම් කියවා ගනිති,

ඒ මල් බඳුන ගන්නටම නොව  හුදු විනෝදය සඳහා පමණය.

මේ අතර තම පුතා නාවික හමුදාවේ  සෙබෙලෙක් වන  කළු ආතම්මා  "සත විසිපහයි  නාවික හමුදාව " කියා වරින් වර තාත්තා ලවා කියවන්නේ ඒ වෙනුවෙන් මුදල් යොදවමිනි.
මේ අතර " බෝට්ටුවේ ජොලි.. ජොලී.." කියා සත විසිපහක් වැටුනා මතකය.

මිනිසුන් නැවතත් මුහුණින් මුහුණ බැලුවේ සිද්ධිය පැහැදිලි නැති නිසාය.

ටික වෙලාවකින් තවත් සත විසිපහක් වැටුනේ " බේබි නෝනා  ..බෝට්ටුවේ ජොලි.. ජොලී " කියමිනි.
තාත්තාද හිනහ වෙමින්  උපාසක උපාසිකාවන් කියන ඒවා යකඩ කටින් කියවනු දක්නට ලැබිණි.

බෝට්ටු කතාව කුමක්දැයි ආරංචි වුයේ ඉස්කෝලේ ලොකු අය්යලා ගේ කතා වලට සවන් දීමෙන් අනතුරුවයි.

ටික කලකට පෙර කිරඹ ඔය විද්‍යාලයෙන් ගිය  විනෝද චාරිකාවකදී බේබි නෝනා නම් යුවතියක් සහ තවත් තරුණයෙක් මුල් කරගෙන සිදු වූ සිද්ධියක්   මේ කතාවට පාදක වී තිබිණි.





Tuesday, 24 November 2015

බ්ලැක් නයිට් සහ බ්ලැක් ඇන්ඩ් වයිට් ..




අද  මට නිවාඩු දවසකි.  පහු ගිය දවස් වල උදේ පාන්දරින්  ගෙදරින් පිටත් වූ නිසා  සුපුන් පාසැල් පිටත් වන මොහොතේ ගෙදර හිටියේ නැති තරම්ය.

පුරුදු පරිදි  කාර්යාල කාමරයට වී  බෙඩ් ටී එක ලැබෙන තෙක් සිටියෙමි.

උදේ පාන්දර  කුස්සිය පැත්තෙන් කාල ගෝට්ටියක් ඇසේ..

" මේ මොකද ඔළුව පුරා ක්‍රීම් නාලා "  "ඒයි කවිඳු  මේ බලන්නකෝ මෙයා .. " නිම්මිගේ හඬින්  පරිගණකයෙන් ඈත් වුනෙමි.

දැන් අවුරුදු දොළහ සපිරෙන  සුපුන්  " මොඩ්" කරන්නට  පටන්ගෙන තිබෙන්නේ  මුහුණේ ගාන්න ගෙනා ක්‍රීම් යොදා කොණ්ඩා මෝස්තරයක් දැමීමෙනි.

නිම්මි අද කඩේ ගිහින් සුපුන්ට ඉස්තරම් වර්ගයේ හෙයා ජෙල් එකක් ගෙනෙනු ඇත.

එහෙත්  අද සුපුන්ලා අම්මලාට මෙන් කියන පමාවෙන් දේවල් ගෙනත් දෙන්න අපේ අම්මලාට  හැකියාවක් තිබුණේ නැත.

අපි කුඩා කාලේ  සමාන සිදුවීම් මීට වඩා තරමක් වෙනස් ආකාරයක් ගත්තේ ඒ නිසාය.

" පුතා ඉස්සර තාත්තත් ඔය වගේ වැඩ කරනවා.. " මම අතීත කතාව සුපුන්ට සහ නිම්මිට කියන්න තීරණය කලෙමි.

උදේ පාන්දර සිදු වූ  අම්මලා පුතාලගේ ආරෝවත්  සමගම  මගේ සිත වේගයෙන් ඇදී ගියේ  මල්දෙණියේ අපේ නිවස වෙතයි.


බ්ලැක් නයිට් හෙයා ජෙල්...



ඒ නමසිය අසු ගණන් වල මුල් භාගයයි. ඒ කාලේ අපේ තාත්තා පසු කරමින් සිටියේ මගේ වර්තමාන වයසට සමාන වයසකි.

අප මෙන් (දැකුම්) කළු පෙනුමකින් හෙබි ඔහු ඒ වන විට පස් දරු පියෙකි.

එවකට    මැදි වයසේ තරුණයෙක් වු නාමරත්න  ක්ලාක් මහත්තයා සෑහෙන්න  මෝස්තරයට බර කෙනෙකි.

වැඩට යන්නට පෙර කණ්නාඩිය ළඟ සෑහෙන වෙලාවක් ගත කිරීම ඔහුගේ දිනචරියාවේ කොටසක් වී තිබිණි.

හොඳින් රැවුල බා තොල් දෙකට උඩින් ගිණි කූරූ කට් එකක් ඉතිරි කර තැබීම ඔහුගේ සිරිතයි.

රැවුල කැපීමෙන් අනතුරුව මුහුණේ ක්‍රීම් සහ පවුඩර් ආලේප කිරීමද සිදුවේ.

ඔහු ඒ කාලේ පාවිච්චි කල රුපලාවන්‍ය කළමණා අතර තිබුණු  තවත් වැදගත් දෙයක් වුයේ බ්ලැක් නයිට් හෙයා ක්‍රීම්/ජෙල් එකයි.

හොඳින් හෙයා ක්‍රීම් ආලේප කර තම හිසකෙස් සකසන ඔහු ලොකු "බම්ප් " එකක් සහිත කොණ්ඩ මෝස්තරයක් දමන්නට පුරුදු වී සිටියේය..

කවිඳුගේ කොණ්ඩා මෝස්‌තර


මේ වන විට මා සිටියේ අරලගන්විල කනිස්ටයේ ( දැන් බිම්බිසාර මහා විද්‍යාලයේ ) හතර නෙළුම් පංතියේය.

ඒ කාලේ පන්තියේ සිටි හොඳම මොඩ් කරන්නන් වුයේ දඹේතැන්නේ  ප්‍රියංක , "අරලගංවිල " නිමාලි ගෙස්ට් හවුස් එකේ දිලිත් වැනි යයි.

මොවුන් දෙදෙනාගේම  කොණ්ඩා ඉස්සරහට රැල්ලක් එන ලෙස සකස් කල තරමක් කැරලි ගැසුණු ඒවා විය.

ඒ කාලේ කවිඳුගේ හිස කේස් ඉත්තෑ කූරු මෙන් ඉහලට එසවී තිබුණේ අපේ "වන්නියා" ගේ  කූරු කොණ්ඩෙට පමණක් දෙවැනි වන පරිද්දෙනි.

මම ප්‍රියංක ලාගේ උපදෙස් මත එක එක රුපලාවන්‍ය ක්‍රම අත්හදා බැලු සැටි තාමත් මතකය.

ඉන් එකක් වුයේ අම්මලාට හොරෙන් උදේ පාන්දරම ජේන් අක්කලා ගෙවල් ළඟ  ලිඳට ගිය ගමනයි.

ගෙදරින් බිත්ත්රයක්ද රැගෙන ගිය ඒ ගමනේ අභිලාෂය වුයේ බිත්තර සාරු ගල්වා හිස සෝදා ගැනීමයි.

එමෙන්ම වරක් මගේ කොන්ඩේ ගැන කතා කරද්දී ප්‍රියංකයා දුන් උපදෙස් කිහිපයකි.

" මචං කවිඳු .. උඹ කොහෙන්ද කොන්ඩේ කපන්නේ.. ?"

"අරලගංවිල අලුත් සුපර් මාර්කට් එකෙන් "

"ඉතින් ඊළඟ පාර ගියාම බාබර්ට කියපන් සැගී කට් එකක් කරන්න කියලා.."

කල්ලියේ සිටි තවකෙකු වූ සනත් කිවේ " එක්කෝ තට්ටේ ගෑවා නම් හරි .. ඊළඟ පාර කොන්ඩේ ක්‍රේල් වෙලා එනවා" යනුවෙනි.

මේ සාකච්චා  වලින් පසු තාත්තා මාව බාබර් සාප්පුවට අරන් ගියේ ඉරිදා උදසනකයි.

" බබා කොහොමද කොන්ඩේ කපන්නේ..?"

"සැගී  කපන්න .. "

බාබර් ගේ ඇස් උඩ ගියේය.. ඔහු තාත්තට ඉඟියක් ද කළා මතකය.

එදා කොන්ඩේ කැපුනේ ද වෙනදා පුරුදු ආකාරයටමය.


මෙසේ කොන්ඩේ හදා ගන්නට වෙහෙසෙමින් සිටි මට  මට තාත්තගේ හෙයා ක්‍රීම් එක හොඳ  රුපලාවන්‍ය මෙවලමක් විය.

සාමානයෙන් උදෑසන පාසැල් යන්නට සැරසෙන මා තාත්තගේ කාමරයට එබීම පුරුද්දක් කරගෙන සිටියෙමි.

තාත්තගේ සාක්කුවෙන් සත විසි පහේ , පනහේ කාසි කිහිපයක් මාටියා ගැසීම  එහි ප්‍රධාන අරමුණයි.

තාත්තාගේ රුපලාවන්‍ය වැඩ ගැන උනන්දුවෙන් සිටි මා හට හෙයා ක්‍රීම් පාවිච්චියට දොළදුකක් ඇති වුයේ මේ අතරය.

පුරුදු පරිදි එදා උදැසනත්  තාත්තගේ කාමරයට රිංගුවෙමි.   එදා මට අවශ්‍ය වුයේ මාරු කාසි නොව ඔහුගේ හෙයා ක්‍රීම් එකයි.

වට පිට බලමින් කාමරයට ගිය මා ඩප්පිය ඇර ක්‍රීම් තලියක් ගත්තෙමි.

ලහි ලහියේ කන්නාඩිය ලඟට ගොස් ක්‍රීම් අතුල්ලා හිසකේ සැකසිම ඇරඹුවෙමි.

 ඒ කාලේ මගේ හිසකෙස් තිබුණේ ඉත්තෑ කූරු ගොඩක් එකට තැබුවා මෙනි. වැඩේ ලේසි පහසු එකක් නොවුයේ  ඒ බැවිනි.

 කොන්ඩේ හද හදා ඉන්න වෙලාවක් නැත.

" චුටි පුතා උඹ අද ඉස්කෝලේ යන්නේ නැද්ද.. ? පරක්කු වෙනවා "  අම්මා සිය හඬ අවදි කළාය.

"හරි හරි .. මම යන්න ලැහැස්තියි..."

මම හැල්මේ දුව ගියේ  සිරිමල්වත්තෙන් පාසැල් බසයක්  අල්ලා ගන්නා අදහසිනි.

පාසල් බසය මතක හැටියට 29 ශ්‍රී 1984 පල්ලෙවෙල  බස් රථයයි..  උදේ හත පමණ වී ඇති නිසා බසයේ සෙනග ද තරමක් වැඩිය.

"හා.. හා.. ඔය ළමයා පස්සට යනවා.."

කුඩා මම බසයේ මැද හරියට ගියේ  කොන්දා පස්සට යන්න කියමින් කෑ ගැසූ නිසාය.

අවාසනාවකට මට යන්නට සිදු වුයේ බ/සාන්ත පීතර විද්‍යාලයට යන ලොකු අය්යලා ගොඩක් ළඟටයි..

අප මෙන් නිල් පාට කොට කලිසම් නොව සුදු දිග කලිසම් හැඳ සිටි ඔවුන් එම විද්‍යාලයේ උසස් පෙළ පංති වල සිටි  අය වුහ.

ලොකු කොල්ලෝ හතර පස් දෙනා ඔවුන්ගේ වල් පල් කතා කරමින් බසයේ ගමන් කළහ.

මේ අය අතර සිටි පනංගල  පැත්තේ ඉඳලා එන "ජා" අය්යා කෙනෙකී.

ඔහුගේ නම මට නිච්චියක් නැති වුවත් මුහුණුවර තාමත් මතකය.

මේ "ජා" අය්යා මම හිතන  හැටියට  අපේ පාසැල් බසයේ හිතවතෙක් වූ ඇලන් පකීර් ගේ  අය්යා කෙනෙක්  විය හැකිය.

ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි  "ජා " යන වචනයෙන් හඳුන් වන්නේ මැලේ ජාතිකයින්ය.

ඔවුන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් වරුන් ගෙන් කොටසකි.

ඒ කාලේ අපේ ගෙවල් පැත්තේද මෙවැනි ජා පවුල් කිහිපයක් වාසය කළහ.

ඔවුන්ට තිබුණේ අපට මෙන්  අඳුරු පැහැති සමක් නොව  යුරෝපීයයන්ට මෙන් වූ පැහැපත් සමකි.

වෙනත් අයුරකින් කියනවනම් බ්ලැක් නයිට් ක්‍රීම් ගා මම ගිය පාසැල් බසයේ  කළු  අපි මෙන්ම සුදු "ජා " අය්යලාද  ගමන් කළහ.

"ඒක නෙවෙයි මොකක්ද මේ සුවඳ ?"  කොල්ලෝ කල්ලියේ එකෙක් ඇසුවේ මා අසලම  සිටගෙන සිටිනා අතරය.

"මචං  .. මාර ඕඩිකොලොන්  ගඳක්  එනවා.."  " මෙන්න මේ පැත්තෙන් එන්නේ බන් " අර  ජා අය්යා එක් වරම හුස්.. හුස්.. ගාමින් යමක් ඉව කරන්නට විය..

මා සිතුවේ මේ අය බසයේ සිටි වෙනත් අයෙකු ගැන කතා  කරනවා ඇති කියාය.  මම හිමිහිට හැරී බැලුවෙමි.

මගේ අදහස වැරදිය. ජා අය්යා  ඔඩිකොලෝන් ගඳ එනවා කියමින්  බලන්නේ මගේ හිස දෙසය.

 ඔහු තමාට වඩා උසින් අඩු මගේ හිස ඉහලින් හුස් .. හුස්..  කියන බව තේරුම් ගියේ  බසය තවත්  වංගු කිහිපයක් ගත්තාට පසුවයි.

මගේ හිස ඉවකරමින්   සිටි  සුදු "ජා " අය්යා ට එදා දැනුනේ   තාත්තගේ  බ්ලැක් නයිට් හෙයා ජෙල් එකේ සුවඳය.











Thursday, 19 November 2015

පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව- අවසාන කොටස

 වැලිකන්ද පැත්තේ කඳු මුදුනින් හිරු මුවාවී  හෝරාවකටත්  වැඩිය . පල්ලැහැ  විමලා අක්කලා මගුල් ගෙදර ගිය උදවිය  තවමත් එන පාටක් නැත.  මම තට්ට තනියම ගෙදරට වී සිටියෙමි.

ජයංගනී සහ මගේ  හෙට දවස ගැන හිතන්න හොඳ වෙලාවකි.



කටයුතු සිදුවෙමින් පවතින ආකාරය අනුව නම්  අප හට විවරව ඇත්තේ  රෝසමල් ඇතිරූ මාවතක් ම විය නොහැකිය.

මෑතකදී තාත්තා අපේ අපේ අම්මා සමග කියූ කතාවක් මට මතක් වුයේ මේ අතරයි .

" අපේ එකාලුනේ පස්සෙන් යන්නේ. මට ජයරත්න කිව්වනේ " යන වාක්‍යයෙන් එය අවසාන වූ බවත් මතක් විය.

ඒ කියන්නේ සිද්ධිය දැන්  නාමරත්න දෙමහල්ලන් අතරටද පැමිණ තිබේ . ඒ මට අවාසි සහගත වන ආකාරයකටය.

එහෙත් මේ වන තෙක්ම අම්මා හෝ තාත්තා ජයංගනී ගැන මගෙන් විමසා තිබුණේ නැත.

ජයරත්න අය්යා තාත්තා සමග අප ගැන පවසා තිබුනද " ඕවා මේ පොඩි එවුන්ගේ වැඩ අපි දැන්මම කලබල වෙන්න ඕනා නෑ විමලෝ " කියා වත් තාත්තා අම්මාට කියන්නට ඇත.

සුදානම් ශරීරය කෝකටත් හොඳය. ජයංගනී සමග ප්‍රසිද්ධියේ කරන ගමන් බිමන් අඩු කල යුතුය.



අඳුර හාත්පසින්ම මා වට කරද්දී  මතු වූ අපේ තාත්තගේ හඬින් මම කල්පනා ලොවෙන් මිදුනෙමි.

"චුටි පුතා ඔයාටත් පුළුවන් නේ  අර  ඉස්කෝලේ මහත්තයා වගේ කරන්න "

 "මම කිව්වේ  ස්වප්නා දුව බැන්ද මහත්තයා  වැලිකන්ද පැත්තේ ඉංග්‍රීසි ගුරුවරයෙක් "  "එයා  හරි සල්ලියක් හොයන පාටයි ."

 "ගේ  වටේම ටකරන් මඩු ගහලා පංති කරන්න .. ළමයිනුත්  සීයක් හමාරක් එනවලු .."

තාත්තා ගෙට ගොඩ වුයේ  විමලා අක්කලා නංගි ස්වප්නගේ අළුත ගෙනා මනමාලයා ගැන වර්ණනා කරන ගමන්ය.

"ඉතින් ඔයා.. ඒ ළමයා  වැලිකන්දේ පංති නවත්තලා වටගමුව ඉස්කෝලෙට  ඇවිත් මොනවා කරන්නද ?"

අම්මා ආසන්නේ අනාගතයේ ඔහු පංති පවත් වන්නේ කෙසේද කියාය.

"එහේ පංති මල්ලිට භාර දෙනවා කිව්වා .  ඊට පස්සේ මෙයා මල්දෙණියේ පංතියක් පටන් ගනියි "

"මට කිව්වා ළඟ ඉස්කෝලෙකට මාරුවක් හදලා දෙන්නත්  කියලා. ඒකයි මම වටගමුව ගැන හිතුවේ "

 අපේ තාත්තා  වැලිකන්දෙන්  අරලගන්විලට කෙරුන ඔහුගේ ස්ථාන මාරුවද  සකස් කර දෙන්නට පොරුන්දු වී ඇත.

"හැමෝටම හරි සතුටුයි අපි ඔක්කොම ගිය එක ගැන "

අපි කන්දේගෙදර  අයගේ මගුල් ගෙදරකට ගියාමයිනේ ඔය "

අගස්ති මාලය සහ අතේ තිබු වළලු ටික ගලවා  අල්මාරියට දමමින් සිටි අම්මා ද මගුල් ගෙදර ගැන පවසන්නට විය.

"ඔයාගේ ප්‍රින්සිපල් එහෙමත් හම්බවුනා .. හිමිජ්ජා වගේ හිටියට එයා කුදාර් වෙන්න බොනවා නේද..?"

කියමින් අම්මා තවදුරටත් පැවසුවේ සඳතැන්නේ ගුරුමණ්ඩලය  එහෙම පිටින්ම එහි පැමිණ සිටි බවයි.

ඔච්චර ලොකු මගුල් ගෙදරක ගිහින් මට මගුල් කේක් කෑල්ලක් වත් ගෙනැත් තිබුණේ නැත.

නැතහොත්  විමලා අක්කලා කවිඳු මල්ලිට දෙන්න යැයි කියා එසේ කේක් එවා තිබුණේ නැත.


අම්මා රෑ බත් උයන අතර මම පුරුදු පරිදි ලිප උඩට වී සිටියෙමි.

දෙවැනි මනමාළියට හිඳ තිබුණේ  ජයංගනී ගේ අක්කා   රත්නා ලාලනී  නංගි බව ඇය අතින් කියවුනා මතකය.

එහෙත් ජයංගනී ගැන කිසිවක් නොකියා ඉන්නට අම්මා ප්‍රවේශම් වුවාය.

මගුල් ගෙදරදී  අපේ ලොකු සර් මෙන්ම තාත්තාද ජයරත්න අය්යා සහ  එකතු වී මධුවිතින් සප්පායම් වූ බවද එහිදී හෙළි විය.


උදේ පාන්දරින් පැමිණි  හිතවතිය



ගල උඩ පුටුව දෙසින් ලා හිරු රැස් වැටෙමින් තිබිණි . උඩහ තේ වත්තේ සවුක්කු ගස් අතරින් එන හිරු කිරණ   අපේ වත්තේ ඊතල මෙන් වූ  රටා  මවමින් තිබිණි.

"විමලා නැන්දා.. විමලා නැන්දා" උදේ පාන්දරම හුරු පුරුදු කාන්තා කට හඬක් ඉස්සර දොර පැත්තෙන් ඇසෙන්නට විය. 

මා ඉස්සරහ දොර වෙත ඇදුනේ පුරුද්දට මෙනි .  අපේ නංගිලා අම්මා විමලා අක්කා  අම්මා හොයාගෙන පැමිණ ඇත. 

" කෝ අම්මා ඉන්නවද?" 

ඇය මගෙන් ඇසුවාය .   " අම්මා කුස්සියේ ඉන්නවා  එන්න.. එන්න.." කියමින් මා ඇය අම්මා වෙත  කැඳවා ගෙන ගියෙමි.

ඒ හිතේ කිසියම් චකිතයක් ද නැතිවම නොවේ.

"මගුල් ගෙදරට ගිය නිසා ස්තුති කරන්නට එන්න ඇති" මම කලබල වූ මගේ සිත අස්වසන්නට උත්සාහ කලෙමි.  

මට කතා වෙන්නේ මොනවාදැයි දැන ගන්නම සිතේ. විනාඩි කිහිපයක් කාමරයට වී සිටි මා නැවතත් කුස්සිය දෙසට ගියෙමි.

අම්මා ලිප ළඟ පුටුවේ ඉඳන් තරමක් වේගයෙන් දර කඩයි. විමලා අක්කා මිරිස්ගල ළඟ තියෙන පුටුවේ වාඩිවී සිටියි.   

ඒ වන විටත් දෙදෙනා අතර බරපතළ  සාකච්චාව අවසාන වී නැත. 

"නැන්දා  මම ආවේ වැදගත් දෙයක් කතා කරන්න. මේ කටයුතු එකලාසයක් කරලා  දාමු කියන්නයි මම ආවේ 
විමලා අක්කා කියු වදන් විදුළියක් මෙන් විත්  මා සවනත වැකිණි. 

" කැවුම් ගෙනාවම අපි හිතුවේ ඇත්තටම කැමතියි කියලා " 

විමලා අක්කා අතින් කියවෙනවා  මට හොඳින්ම ඇහුනු තවත් කොටසකි.

මගේ සිත අපේ දෙමව්පියන් කෙරෙහි ඇතිවූ භීතියත් , විමලා අක්කා කෙරෙහි උපන් තරහත් , ජයංගනී සහ මා ගැන ඇතිවූ අප්‍රමාණ අනුකම්පාවත් වැනි   සිතිවිලි ගොන්නක පැටලී ගියේය.

පැයක පමණ සාකච්චාවකින් පසු මුහුණ බිමට හරවා ගත් විමලා ටීචර් පල්ලම් බසින අයුරු දුටුවෙමි.

මම සිදු වුයේ කුමක් දැයි දැන ගන්නා අටියෙන් කුස්සිය දෙසට ගියෙමි.

" ඔන්න පේනවනේ වැඩේ කෙල්ලොත් එක්ක පාරවල් ගානේ රස්තියාදු ගැහැව්වම වෙන දේ  " 

 "ඔන්න උඹේ නල්ල මලේ අක්කා උඹට මගුලක් කතා කරන්න ඇවිල්ලා"  

අම්මා තම සාධාරණ කේන්තිය  මා මතින් පිට කරන්නට පටන් ගත්තාය .

" මල්ලිට දැන් රස්සාවකුත් තියනවනේ.. අනික එයා හොඳට එළවලු වලිනුත් අදායම් ගන්න කෙනෙක් නේ .. ඒක නිසා අපි මේ කටුයුතු එකලාසයක් කරමු."

ඈ අම්මා හට පැවසූ කතාවේ සාරාංශය එයයි.

එදා සනිටුහන්  වූයේ අපේ නිවසේ හැමෝම මගේ සහ ජයංගනීගේ  සම්බන්ධයට අකුල් හෙලීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් සංධිස්ථානයකි.

එමෙන්ම  අපේ තාත්තා ඇතුළු පවුලේ අය  ජයංගනීලා අම්මා ඇතුළු ඒ පවුලෙන් පන්න පන්නා පලි ගැනීමේ සිද්ධි දාමයේ ආරම්භය ද එදිනයි.


මාවනැල්ලේ ගෙවතු වගාව (පුවක් බාස් -තුන්වන කොටස)

මාත්  නිම්මිත්  අලදෙණිය- වල්පොල  පාරේ කුලී නිවසක ජිවත්  වූ ඒ කාලේ හැම සති අන්තයකම  අපි මාවනැල්ලේ ගියෙමු.

ඒ මාවනැල්ලේ ගිය දෙවන වතාවයි. තම අම්මා, නංගි සහ බන්ටියා දැකීම නිම්මිගේ අරමුණ විය .

ගියවර  වගා කල කෙසෙල්  ගස් බැලීමත්, ගෙවත්තේ වැඩ වල තව පියවරක් ඉදිරියට යෑමත්, නිම්මි සමග නැවතත්  රබර් කැලේ මැද පිහිටි දොළ පාරට යෑමත් මගේ  අරමුණු විය.

එමෙන්ම අවස්ථාවක්  ලැබුනොත් පුවක් බාස් කතාවට අල්ලා ගන්නටද මට අවශ්‍ය  වී තිබු බව අසත්‍යක් නොවේ

අළුත හඳුනා ගත් අය්යා  සමග කැලේ  ගැවසීමත්  අවශ්‍ය වුවහොත් ඔහුගේ උදව්වට පැමිණීමත්  බන්ටියාගේ අරමුණ වන්නට ඇත.

නිම්මිලා අම්මා සහ නංගි අලුතින් කඩා පාත් වූ මේ නෑදෑයා  ගේ වැඩ පිළිවෙල තේරුම් ගන්නට උත්සහා ගනිමින් ඉන්නට ඇත.

එහෙත් මේ සිදුවීම් වල වඩාත්ම  වැදගත් චරිතය වූ පුවක් බාස්  අපේ ගනු දෙනු වලින් බල පොරොත්තු වුයේ කුමක් දැයි මට පැහැදිලි නැත.


නිම්මිලා ගෙවත්තේ තව දවසක් 


පුරුදු පරිදි රෝයල් මෝල් එකෙන් නිම්මිලා අම්මාට ගත් මාළු පාන්  ආදිය රැගෙන අපි මාවනැල්ලේ  මහ ගෙදරට ලඟා වීමු.

අප එහි යනවිට වෙලාව උදේ අට  හමාර පමණ වන්නට ඇත.

වැඩට ගියත් නැතත් උදේ පහ හමාරට-හයට පමණ අවදි  වීම අපේ සිරිතකි.

එබැවින් වේලාසනින්  මාවනැල්ල බලා පිටත් වීම එතරම් අපහසු දෙයක්  වන්නේ  නැත.

නිම්මි අම්මා සමග කුස්සියට වී කතාව පටන් ගත්තාය.

අපේ පොල් කඩේ විස්තරත් අප නැවතී සිටි ගෙදර විස්තරත් සාකච්චා වෙනවා මට මතකය.

අම්මා තේ එකක් හදන තෙක් මම වත්තට පැන්නෙමි.

"මගේ කෙසෙල් පැලවල මුල් අල්ලලා ඇති " යැයි සිතමින් කුස්සියෙන් එලියට අඩිය තිබ්බා පමණි.

අසල පරිසරයේ ගිය සතියට වඩා පැහැදිලි වෙනසක් මට පෙනේ.

"අම්මා.. කවුද මේ ඇම්බුන් පැලේ මෙතන හිටවව්වේ ? "  මා ඇසුවේ මේ වෙනස සිදුවුයේ කෙසේද යන්න දැන ගැනීමේ අටියෙනි.

"ආ.. ඕක අල්ලපු ගෙදර දුල්මිණි ලා තාත්තා ඇවිත් ඔතන හිටවලා ගියා"

" තව ගහක්  අර වෙරළු ගහට එහයිනුත් හිටෙව්වා .. ඒක මාළු කෙසෙල් පැලයක් කියලා කිව්වා "

පුවකා මගේ කෙසෙල් පැල අතර තමන්ගේ කෙසෙල් පැල දෙකකුත් සිටුවා ඇත.

මට ඉල්ලා ගන්නට ඇත්නම් යැයි සිතුනු ඇම්බුන් පැලය ඉන් එකකි.

මා කුස්සියේ දොරෙන් එලියට ගිය මොහොතේ පටන් බන්ටියා මා පස්සෙන් වැටේ.

ඌ හුස්.. හුස්.. ගා ඇම්බුන් ගහ වටේ ඉව කරමින් නැවුම් පසේ සුවඳ  විඳිනු මට පෙනේ.

"පුතේ එන්න තේ බිලා  යන්න.. " නිම්මිලා අම්මා මා අමතයි.

බන්ටියත් මමත් තේ බොන්නට ගෙට ගොඩ වූයෙමු.

" ආ .. බන්ටිට අලුත් අය්යා කෙනෙක් හම්බ වෙලා නේ .. දැන් අපි මතක නෑ නේද?" නිම්මි බන්ටිගේ බෙල්ල කසමින් පැවසූ වේ මේ වෙලාවී දිය.

" එයා අය්යත් එක්ක එකතුයි.. අදත් කැලේ යනවද අය්යත් එක්ක?" නිම්මිලා අම්මත් කතාවට එක් වුවාය.

තේ පානයෙන් පසු අගුවේ වූ මඩු ගෙයට ගිය මා උදැල්ලක් , පිකැස් එකක් සහ අලවංගුවක් රැගෙන ගෙට ඉහලින් වූ  ඉඩම් කොටසට ගොඩ වුයෙමි .


පුරුදු පරිදි බන්ටියා මා සමගම ඒ පැත්තට ලඟා විය.  පහල කොටසට වඩා මේ කොටසේ කැලෑ ගතිය වැඩිය. උදළු පහර කිහිපයක් ගසා කුඩා කොටසක් එලි පෙහෙළි කර ගත්තෙමි.

මගේ අඩුම කුඩුම ටික ඒ හරියේ තිබු මා නැවතත් කුස්සිය දෙසට ගියෙමි.

"අම්මා .. කැත්තක් නැද්ද.? කැලේ ටිකක්  ඝන කම වැඩියි වාගේ.."

"අපේ ගෙදර කැත්තක්  නෑ මන් හිතන්නේ..  ඉන්ඩ මන් එහා ගෙදර මල්ලී ගෙන්  අහලා එන්නම් "

ඈ කීවේ පුවක් බාස් ලා ගෙදර කැත්තක් තිබිය හැකි බවයි.

අම්මා කැත්තක් රැගෙන එන තෙක් නැවතත් කැලේ සමග ඔට්ටු වෙන්නට සිතුවෙමි.

උදැල්ල රැගෙන වෙර යොදා කෙටුවොත් ඝන කමින් වැඩි ගස්ද  කැපී යයි.

මේ අතර බන්ටියා  මම ගහන  සෑම උදළු පාරක් පාසාම බුරමින් කැලේ  දෙසට පනියි.

" මුට පිස්සුද මන්දා .. බෙල්ලත් කෙටිලා යනවා  තව චුට්ටෙන් ."

මම සිතුවේ බන්ටියා ගේ මේ අමුතු පැනීමේ පිළිවෙල මට එච්චර ඇල්ලුවේ නැති නිසාය.

තව තවත් කැලය එලි කරමින් ඒ තුලට ගමන් කලෙමි.

බන්ටියා කරදරයක් යැයි සිතුනු වාර අපමණය.

විටෙක ඌ මගේ කකුල් දෙකේ වදියි. නැවතත් උදැල්ල අසලින්ම කැලේට පනියි...

කෙසේ හෝ වදෙන් පොරෙන් කැලෙන් සෑහෙන කොටසක් හෙළි කලෙමි.

වත්තේ ඉහළ කොටසෙන් ඩිග් .. ඩිග්  ගා යමෙකු ගෙඩි කඩන හඬ ඇසේ ..  කවුරු හරි  පොල් හෝ කුරුම්බා  කඩන හඬයි ඒ . පුවකා ඇවිත් වත්ද ?

ටික වෙලාවකින් නිම්මිලා නංගි අමරා  මා වෙත ආවේ ඒ ගෙඩි වලින් ගත් වතුරත්  රැගෙනයි.

" කවුද කුරුම්බා කැඩුවේ  නංගි..?" මම ඇසුවෙමි.

"දුල්මිණි ලා තාත්ත ආවා..  අය්යට උයලා දෙන්න කියලා පොලොස් ගෙඩි දෙකකුත්  අරගෙන . ඊට පස්සේ කුරුම්බා කැඩුවා බොන්න දෙන්න කියලා "

අමරා නංගි පැවසුයේ මගේ අනුමානය සනාථ කරමිනි.

අම්මා කැත්තක් ඉල්ලන්න ගිය වෙලාවේ පුවක් බාස් මා ගෙවත්තේ වැඩ බව දැන ගන්නට ඇත.

ඉන්පසු ඔහු මාගේ වෙහෙස නිවන්නට මෙන්ම දිවා ආහාරයට අවශ්‍ය දේවල් ද සපයා දී තිබේ.

කුරුම්බා පානයෙන් පසු නැවතත් වැඩට බැස්සෙමි.  දැන් පුවකා ගෙනැත් දුන්න කැත්තද  ඒ සඳහා යොදා ගත හැකිය.
 කැත්තෙන් භාගෙට එලි පෙහිලි කල කොටසකට උදළු පහර ගසමින් සිටියෙමි.

බන්ටියා නැවතත් බුරමින් ඒ දෙසට පනියි.

කැලේ කොටන්නට කියා උදැල්ල ඔසවත්ම බන්ටියා එය පහත් වන්නට නොදී ඒ දෙසට පැන්නේය... ඌ බුරනවාට අමතරව හුස්.. හුස්.. නහය අතුල්ලමින් ඒ දෙසට යයි.

"මේකට පිස්සුද මන්දා .. කියමින් ඒ දෙස බැලුවෙමි..."

කිසියම් දෙයක් .. දුඹුරු පාට ගුලියක් මෙන් මා දෙකකුල් අසලම  තිබෙනු දුටුවෙමි.

තවත් විමසිල්ලෙන් බැලුවේ බන්ටියාද පසෙකට තල්ලු කරමිනි.

දරණ ගැසී නින්දේ මෙන් සිටි සතාගේ ඇඟේ සත පහ , සත පහ වැනි ලකුණු පෙනෙන්නට තිබේ.

වෙද විදුහලේ  දී රාජසූරිය මැඩම් කියා දුන් අනෙක් ලක්ෂණය තිබේ දැයි බැලුවෙමි.

වී හැඩයේ ලකුණක් හිස මත දක්නට ලැබේ.. මගේ ඇඟ කිළිපොලා ගියේ සත්වයා හඳුනා ගැනීමෙනි..

 වෙද විදුහලේ වීදුරු පෙට්ටියේ පොළගෙක් දැක තිබුනද දාර පොළගෙක් මා  අබියසම  දුටු ප්‍රථම අවස්ථාව මෙයයි.

" මෙන්න  පොළන්ගෙක් "  මම කෑගැසුවෙමි.

මුලින්ම දුවගෙන ආවේ නිම්මිලා නංගි අමරා ය..

" මරන්න .. මරන්න.. " ඈ කෑ ගැසුවාය.

විෂඝෝර සර්පයෙක් වුවත්  නිශ්චල ව නින්දේ පසු වූ සතාට  හානියක් කරන්නට මට සිතුනේ නැත.

එහෙත් මෙතනින් එහාට  එලි පෙහෙළි කරන්න නම් ඌ ඉවත් කල යුතුය.

මා කල්පනා කරමින් සිටියේ ඒ ගැනයි.

"මොනවද  බල බලා ඉන්නේ.. මෙන්න මෙහාට දෙන්න ඕක " යැයි කියමින් මා අත තිබු උදැල්ල උදුරා ගත් අමරා පොළොන් රාජයා පරලෝසැපත් කළාය.








Tuesday, 17 November 2015

පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව-දෙවන කොටස



මගුල්  ගෙදරට සුදානම් වෙමින්  සිටි විමලා අක්කා  සඳ තැන්න  ඉස්කෝලේ ළමයින්ට මල් ගෙනැත් දෙන ලෙස කියා තිබිණි.

මගුල් ගෙදර හෙටයි කියා තිබු දිනයේ පාසලේ කිසියම් උත්සවයක් පැවැත්විණි . මට මතක හැටියට ඒ සඳ තැන්න විද්‍යාලයේ තිබු ප්‍රථම නිවාසාන්තර ක්‍රීඩා තරඟයයි.

එදා පාසල් වැඩ නිමාවන විට හවස හය හමාර පමණ විය.

විමලා අක්කාට තම නංගි ගේ මගුල් ගෙදරට අවශ්‍ය මල්  ගොඩ මෙන්ම නිවාස තරඟයට ගෙදරින් ගෙනා බඩුද  රැගෙන යාමට අවශ්‍ය විය.

ඇය බඩු ගොඩ ඉහින් කනින් එල්ලා ගත් අතර  ඈ සමග මගක් දුරට යන මා ළමුන් ගෙනා විශාල මල් තොගය ගත්තෙමි.

අප මල්දෙණියට  ලඟා වනවිට  හොඳටම කරුවල වැටෙමින් තිබුණි.  තම නිවස  දක්වා ඇති ඉතිරි මීටර් 500 ක  පමණ දුර තනියෙන් යන්නට ඈ බිය වූ ගතියක් පෙනෙන්නට තිබිණි.

එමෙන්ම තම අතේ ඇති බඩු  ගොඩත් සමග මගේ අතේ ඇති මල් පොදිය ගන්නට ඇයට ඉඩක් තිබුනේද නැත.

"  යමු මම ගෙවල් ලඟට ගිහින් ඇරලවන්නම් "  ඇයගේ බිය මුසු මුහුණ  දුටු මා පැවසුයෙමි.

හෙට තියෙන මගුල් ගෙදරට මට ආරාධනා නොකිරීම ගැන  මා සිතේ කිසි අමනාපයක් තිබුනේ නැත.

තිබුනා නම් ඔයා යන විදිහකට ගෙදර යන එකයි ඇත්තේ කියා මා මගේ ගමන යනු ඇත.

" කවුරුත් දැක්කොත් හරි නෑ... ඒත් මට ඇත්තටම තනියෙන් යන්න බයයි."

විමලා අක්කා පැවසුවාය.

 "හරි.. හරි  මම ඔයා ගේට්ටුව ලඟට ඇරලවලා ගෙදර යන්නම් "

කියා මම කිවේ විමලා අක්කා මම ඇගේ නිවසට එනවාට අකමැති බව තේරුම් ගනිමිනි.

තව එකක්  ඇය සිය නැගණියගේ මංගල්‍යය ට  මට ආරාධනා කර තිබුනේද නැත.

ඒ කෙසේ වෙතත්  ඇය තම නිවස දක්වා රැගෙන යෑමට  මම තීරණය කලෙමි.

නිවාසාන්තර උත්සවේ ගැන ආගිය තොරතුරු කතා කරමින්  මල්දෙණිය දෙසට යමින් සිටියෙමු.

බුරුස් මාමලා  කඩේ පහුවුනා පමණි.

"බොහොම පින් මල්ලි...  ඔයා දැන්  ගෙදර යන්න මම ඉතිරි ටික පල්ලැහැට යන්නම් "
කියා ඇය මාගෙන් සමුගත්තාය .

ඒ මල් පොදියත් කෙසේ හෝ තම ලයට තුරුළු කර ගනිමිනි.

ඇගෙන් සමුගත් මා රෑ හත  හමාර පමණ වන විට අපේ ගෙදරට ළඟාවූ යෙමි.

මගුල් ගෙදරට කැවුම් සැපයීම.

මා නිවසට ලඟා වනවිට නිවසේ එකම කළබලයකි. අපේ අම්මා , අක්කා සහ පල්ලැහැ  ගෙදර ජේන් අක්කා ඇතුළු පිරිස කුස්සියේ කෑ කෝ  ගසමින් වැඩ කරනු පෙනේ.

ඉස්කෝලේ ගෙනිච්ච  පොත් මල්ල පසෙකෙට දැමු මම කුස්සිය වෙත ඇදුනෙමි.

" හා පොඩි ඉස්කෝලේ මහත්තයා මොකද පරක්කු..? අපි මේ පල්ලැහැ  විමලා ඉස්කෝලේ නෝනලා  ගෙදර ගෙනි යන්න කැවුම් උයනවා" 

කියමින් තරමක් උපහාසාත්මක  හඬකින් පැවසුයේ  අපේ ජේන් අක්කා විසිනි.

"හොඳයි . හොඳයි ... වෙඩින්  එක ඉස්කෝලේ  අයටත්  කියලා තිබුණා"

මමත්  ඇඟට පතට නොදනී පිළිතුරු දුන්නෙමි. 

අම්මලා හදමින්  සිටියේ අතිරස කැවුම්ය.

විමලා දුවලා ගේ මගුල් ගෙදර  කැවුම්  ගෙන යායුතු යැයි තීරණය කර තිබුනේ අපේ අම්මා විසිනි.
මට නොහඟවා සිටියද මේ වන විටත් ජයරත්න අය්යා විසින් මගේ සහ ජයංගනී ගේ  සම්බන්ධය ගැන අපේ තාත්තා හා කතා කර තිබුණි.

එය තාත්තා  මා හා පැවසුවේ මේ ලියන මොහොතට පැය කිහිපයකට පෙරාතුවයි. 

එනම් සාකච්චාව සිදුවී වසර 23 කට පසුවයි.

තාත්තා ගේ වචන වලින් කිව්වොත් ඔහු එදා පිළිතුරු දී ඇත්තේ " ඒවා කෙරෙන වැඩ නෙවෙයි  " යනුවෙනි.

ස්වප්නා  අක්කගේ මගුල් දවස  සහ ඊට පසුදා

එදා සෙනසුරාදා දිනයකි. උදේ පාන්දරින්ම කැවුම් කදත් රැගත්  ජයසිංහ දෙමහල්ලෝ සහ ඔවුන් ගේ දියණියන්  විමලා ටීචර් ලාගේ මගුල් ගෙදරට පිටත් වුහ.

අපේ අක්කා එහි ගියේ මනමාලිය ගේ යෙහෙලියක් වශයෙනි. නංගිලා දෙදෙනා ජයමංගල කියන කණ්ඩායමට අයත් වුහ.

නාමරත්න මහතා මගුල් මේසයේ ප්‍රධාන කථිකයා  සහ මගුලේ ගිය මල්දෙණිය කණ්ඩායමේ නායකයා විය.

වැලිකන්දෙන් පැමිණි මනමාලයා ( ඉංග්‍රීසි ගුරුවරයෙකි) සහ ඔහුගේ පවුලේ අය  නාමරත්න මහතා සමග බෙහෙවින් කුළුපග වී තිබේ.

අපේ තාත්තා ද මනමාලයා ගේ පුද්ගලික පංතිය ආදිය ගැන බෙහෙවින් සතුටු වූ බවක් පෙනෙන්නට තිබිණි.

කොටින්ම කිවතොත් මගුල් ගෙදරින් පසු ජයරත්න පවුලත් ජයසිංහ පවුලත් බෙහෙවින් සමීප  වූ බවක් පෙනෙන්නට තිබිණි.



Monday, 16 November 2015

පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව



මගෙත් ජයංගනී ගේත් සබඳතාවයට  කපුකම්  කලේ අපේ චමින්දයා බව ඔබට මතක ඇතැයි සිතමි.

එහෙත්  ජයංගනී සමග සබඳතාවයක්  ගොඩ නගා ගත යුතු බව මා තීරණය කලේ ආවට ගියාට නොවේ.
කල් යල් බලා ගත්  මේ තීරණයට  එළඹීමට පෙර මා විසින් සැලකිල්ලට ගත්  කරුණු ගණනාවකි.
ඒහැම දෙයකින්ම  මට  අවශ්‍ය  වුයේ අම්මා හා තාත්තගේ  විරෝධයක්  ඇති නොවන  වර්ගයේ කෙල්ලක් සමග යහළු වීමටයි.

මේ වන අපේ දෙමව්පියන් ඉතා තදබල ලෙස  සමන්තගේ සහ අපේ අක්කාගේ  ප්‍රේම සබඳතා වලට විරුද්ධ  වී තිබීම මගේ මේ ප්‍රවේශයට ප්‍රධාන හේතුවක් විය,

අපේ අම්මාට මගේ තිබු නොනිමි ආදරය සහ ඇගේ සිත රිදවීමට තිබු බලවත් අකමැත්ත තවත් හේතුවකි.

මේ නිසා ජයංගනී සමග යහළු වීමට පෙර මම පස් මහා බැලුම් බැලුවා යැයි කිවොත් නිවැරදිය.

විමලා අක්කලා සහ අපේ දෙමව්පියෝ එකල ඉතා හිතවත්  පවුල් දෙකක් වුහ.

එපමණක් නොව විමලා අක්කත් ජයරත්න අය්යත් අපේ අම්මලාට  සැහෙන්න ගරු සරු ඇතිව සැලකු අයද වුහ.

ඒ පවුලේ නෑදෑයින් ගේ කියන්නට තරම් වරදක් ද නොවීය.

 අවුලකට තිබුනේ ජයරත්න අය්යා ගේ රහ මෙර පානයයි. එයිනුත් ගමේ කාටවත් කරදරයක් වූ බවක් මා අසා නැත.

බීම නිසා ඔහු මොණරවිල ඩිපෝවේ කල රස්සාව ගැස්සී ගිය බව අපේ අම්මා කියනු මා අසා තිබේ.

කෙසේ වෙතත්  ඒ කාලේ  සහ ඊට පෙර  කාල වල අපේ තාත්තා ඔහුට වඩා මේ අන්තයෙන්  ( රහමෙර පානය සහ එහි ආදීනව  අතින් ) ඉදිරියෙන් සිටියා මතකය.

එබැවින්  ජයරත්න අය්යාගේ බිමත් කම  ඔහුගේ  දියණිය  හා හාද වීමට ප්‍රශ්නයක්  කර ගත යුතු යැයි මා සිතුවේ නැත.

ජයසිංහ ලාගේ  ගෙවල් වල මෙන් නොව  විමලා අක්කලා ඇත්තටම ඔවුන්ගේ ළමයින් තුන් දෙනා හැදුවේ   මල් වගේ ය.

 " මල් තුනක් පිපී ඇත වෙලා ගෙන මගේ හද"  යැයි ඈ ලියු කවියෙහි වරදක් මා නොදකින්නේ එබැවිනි.

ජයංගනී නංගි වත්  ඇයගේ අක්කා වත්  අම්මා තාත්තා සමග මිස තනියෙන් ගමන් ගිය අය නොවුහ.

පාසැල් යද්දීද අක්කා නගෝ දෙදෙනා ගමන් කලේ එකටමය. ජානක මල්ලී අක්කලා සමග පැමිණ මගදී මා ප්‍රමුඛ කොළු රෑනට එකතු විය.

ජානක මල්ලි ඊට වසර කිහිපයකට පෙර සිටම  පාසැල් බසයේ ගිය මගේලඟම හිතවතුන් ගෙන් කෙනෙක්  විය.

මේ කරුණු සියල්ල සලකා බැලු මා අවසානයේ තීරණය කලේ ජයංගනී වගේ "වැදගත් පවුලක වැදගත් ළමයෙකු" හා හාද වීම අපේ පවුලේ අයට ප්‍රශ්නයක් නොවනු ඇති බවයි.

මේ පදනම මත සිට  ඉතා බැරෑරුම් ලෙස සිතා බලා ගත් තීරණයක් ලෙස මම චමින්දට මගේ අදහස කීවෙමි.

අවසාන ප්‍රතිඵලය  අපි දෙදෙනා  පෙම්වතුන් වීමයි.

ඉන් අනතුරුව සිදු වූ දේවල්  දැන් අතීතයට භාර වී හමාරය .

කෙනෙකුට ඉන් අප්‍රමාණ දුකක් කණගාටුවක් ඇති විය හැකිය .

එහෙත් ඒවා ලේඛන ගත කර තැබීමේ ඇති වරදක් මට නම් නොපෙනේ.

" කොහෙද  ඉතින් උඹට ඕක මුලුගමටම  ගමටම පේන්න කරන්න  ඕනෑ වුනානේ ..?"

යැයි චමින්ද මට පසු කලෙක චෝදනා  කල පරිදිම මුළු ලෝකයටම පෙනෙන ලෙස මේ ආශ්‍රය කර ගෙන යන්නට මම තීරණය කලෙමි.

බය වෙන්නේ  කුමටද  ජයංගනී ලා අපේ නංගිලා ගේ පාසැල් මිතුරියෝය.

එයාලා පුංචි අම්මා අපේ අක්කාගේ හොඳම මිතුරියකි.  අම්මලා තාත්තලා පමණක් නොව සීයලා ආච්චිලද  එකෙනෙකාට හිතවත් අයය.

මම වැරදි පදනමක පිහිටා හරි තීරණයක් ගත්තෙමි.

ජයංගනී ලා අපි ගැන කාටවත් වසන් කරන්නට අවශ්‍ය නැත යන්න ඒ තීරණයයි.

ජයංගනී නංගිලා පුංචි අම්මාගේ විවාහය.


ඒ  වන විට මම මේ පය්රුපාසනම  පටන්ගෙන වසර දෙකක් හෝ තුනක්  ගත වී තිබුණි.

මේ වන විට මුළු මල්දෙණිය ගමත්  අපත් සමග පාසැල් ගිය සිසු සිසුවියන් බොහෝමයකුත්  කවිඳු- ජයංගනී පෙම් යුවල ගැන දැනගෙන සිටියහ .

මේ අතරට අපේ පවුලේ හැමෝමත් ජයංගනී නංගිලා පවුල් වල හැමෝමත් ඇතුලත් වුහ.

මේ අතර ජයංගනී ලා අම්මා අපේ අම්මාගේ සිට්ටුවක කොටස්  කාරියක්ද  වී සිටියාය. සමහර වෙලාවට මාසික සීට්ටු සල්ලි රැගෙන ආවේ ජයංගනී විසිනි.

ගින්දර සහ පුළුන්  ආසන්න වෙමින් තිබිණි . එහෙත් කිසි කෙනෙක් කිසි දෙයක වැරද්දක් හෝ ඇදයක් නොදුටුවෝය.

වෙනත් අයුරකින් කියනවානම්  පසුවෙමින් තිබුනේ සියලු දෙනා  උගුරට හොරා බෙහෙත් කමින් සිටි කාලයක් විය.

මේ අතර එක දවසක්  විමලා අක්කා අපේ අම්මා මුණ ගැහෙන්නට  ආවාය.

" විමලා නැන්දා .. අපේ නංගි  ස්වප්නා  ලඟදි කසාද බඳිනවා " .

"නැන්දටයි මාමටයි  මගුලේ යන්න එන්න කියන්නයි ආවේ "

"කොහාටද දුව ස්වප්නා දුව බන්දල දෙන්නේ ?"

"වැලිකන්දට  නැන්දා  .. ඒ මල්ලි ඉංග්‍රීසි ගුරුවරයෙක් "

" දොරේ මාමා  එන්නම ඕනේ .. අපේ පැත්තෙන් මගුල්  මේසේ  කථාව  කරන්න."

විමලා අක්කා කියන්නේ  ඔවුන්ගේ නෑයින්  වෙනුවෙන් කරන කථාව  අපේ තාත්තාට පවරමිනි.

"හරි හරි අපි එන්නම් කෝ "  අම්මා විමලා අක්කා අස්වසමින් පැවසුවාය.

ඇයත්  සමග එකම ගුරු මණ්ඩලයේ සේවය කල  කවිඳු මල්ලිට  මංගල ආරාධනාව ලැබුනේ නැත .

අපේ අක්කා , අම්මා , තාත්තා  ඇතුළු සියළු දෙනාට මගුල් ගෙදර එන ලෙස ඇරයුම් කෙරිණි.
එමෙන්ම සඳතැන්න විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සියළු දෙනාටම ( ඉංග්‍රීසි ගුරුතුමා හැරෙන්නට ) මගුල් ගෙදර ට  බුලත් දෙනු ලැබීය.





Saturday, 14 November 2015

පුවක් බාස් -දෙවන කොටස

මම තවමත් වත්තේ ගස් කොළන් සමගය.  එහා ගෙදර වත්තේ  ඇම්බුන් පඳුරු එලි පෙහෙළි කරමින් සිටින පුවක් බාස් මා නෙත ගැටේ.

මා මුලින්ම නිම්මිලා ගෙදර ගිය එදා සෙනසුරාදා දිනයකි.  සති අන්ත නිවාඩුව ගතකිරීමට  නිම්මිත් මමත් මාවනැල්ලේ ඔවුන්ගේ මහ ගෙදරට පැමිණ සිටියෙමු.

ඒ දවස් වල සෙනසුරාදා ඉරිදා මා "පොල් " කැඩුවේ නැත.

 එමෙන්ම මා සිතන හැටියට සතියේ දවස් පහ පොල් පලන්න ගිය පුවක් බාස්ද සති අන්තයේ පොල් පැළුවේ නැත.

එම නිසා ඔහුද එදින මා මෙන්ම වත්තේ පිටියේ වැඩ වල යෙදී සිටියේය.

පුවකා වැඩ කරන්නේ ඔහුගේ ගෙවත්තේය. මා වැඩ කරන්නේ මගේ බිරිඳගේ ගෙවත්තේය.

මෙය පසු කලෙක මගේ බිරිඳගේ නැගණිය ගේ පවුලේ වාසස්ථානය බවට පත් විය.

දැන් එහි ජිවත් වන්නේ නිම්මි ගේ නංගි අමරාත් ,ඇයගේ සැමියා හා දරු දෙදෙනාත් ය. ඒ සමගම නිම්මිගේ අම්මාද  එහි සිටි.

තව දුරටත් නිම්මිලා ගෙවත්ත හෙළි පෙහෙළි කරමින් සිටි මට නිම්මි ගෙන් ලැබුණු ආරාධනාවකි.

" ඒයි යමුද ඇලේ නාන්න ? මම නාන්න යන්න හදන්නේ "

"අම්මා දවල් කෑම හදලා තියෙන්නේ .. නාගෙන ඇවිල්ලා බත් කමු ".

"කොහෙද නාන තැන තියෙන්නේ?  ගොඩක් දුරද ?"

"නෑ.. නෑ මේ රබර් කෑල්ලේ උඩහට ගියාම හරි"

අදහස හොඳ බව තේරුම් ගත් මා "හරි හරි  යමු.. මට ඇඳගෙන එන්න සරමක් ගේන්න " යැයි නිම්මිට කීවෙමි.

නාන්න අඳින චීත්තයක්  , රාණි සබන් කෑල්ලක් ඇතුළු අඩුම කුඩුම ගත් නිම්මි ගමනේ පෙරමුණ ගත්තාය . සරමක් හා තුවායක් කරේ දා ගත් මා ඈ පසු පසින් වැටුනෙමි.

නිම්මිලාගේ පරණ රබර් වත්ත ( මේ වන විට ඔවුන්ගේ නෑදෑ මාමා කෙනෙකුට විකුණා තිබුණු ) මැදින් වැටුණු අඩිපාරේ මීටර් දෙසීයක් පමණ ගිය තැන  මේ නාන තොට හමු වෙයි.

එළිමහනේ නාන්න අඳින ක්‍රමයට  උඩුකය වැසෙන සේ තම චිත්තය  හැඳගත් නිම්මි නෑමට සුදානම්ය .

 ඇලේ ගල් අතර ස්වභාවිකව හැදුන විශාල වලක් හරහා සීරුවෙන් පහළට ගලා යන ශීතල වතුර පහරකි.

මට අරලගංවිල තේ වත්තේ මැද තිබුණ ගල් පීල්ල මතක් වෙයි.

ඒ කාලේ අපේ ගම පැත්තට අම්මාගේ වචනෙන් කිව්වොත් " බැදරැස් කන්න පායන කාලෙට " අපි ගල් පීල්ලට නාන්න යන්නෙමු.

එවැනි දිනවල විමලා අක්කා සහ ජයංගනී නංගිලා ද නානතොටේදී  මට අහම්බෙන් මෙන් මුණ ගැසේ.

" මොනවද කල්පනා කරන්නේ ? වතුර දෙකක් දාන්නද ? " නිම්මි මගේ දැහැන බින්දාය.

"මෙන්න මෙතනින් වාඩි වෙන්න " ඈ මට දිය වල කෙළවරේ වූ විශාල ගල් පොත්තේ කොටසක් පෙන්නුවාය.

එසේ කියන්නේ මගේ ප්‍රිය බිරිඳ වුවද  පොඩි එකෙක් මෙන් නාවනවා යැයි කවුරුත් දැක්කොත් ?  සියුම් ලැජ්ජාවකින් යුත් මා සිත විමසයි

 රබර් කැලයක් මැද ඇති නාන තොටුපළක සිට කෙරෙන මේ රූමත් යුවතියගේ  ඉල්ලීම අහක දාන්නේ කුමන මෝඩයෙක්ද?

නිම්මිත් මමත් විහිළු තහළු මැද   ඔවුන්ගේ ගමේ ඇලෙන් නා ගත්තෙමු .

එදා සිට හැම සති අන්තයකම මාවනැල්ලේ යන අපි බොහෝවිට නෑමට යන්නේ  මේ තොටුපලටයි. සමහරක් දිනවල  දුල්මිණි ලා ගෙට පහළ තිබෙන ලිඳෙන් ද දිය නා ගන්නෙමු.

රබර් වත්තේ සිට ආපසු පැමිණි අප කෙලින්ම ගියේ  දිවා ආහාරය ගැනිමටයි.

නිම්මිලා   අම්මා සකස් කල දිවා ආහාරයට හොඳ කිරිකොස් මාළුවක් සහ කොහිල දළු ද ඇතුලත් වී තිබුණි.  මා කිරි කොස් මාළුවට කැමති බව ඈ දැන ගත්තේ කෙසේදැයි නොදනිමි.

" අම්මා කොහෙන්ද මේ කොස් ? " නිම්මි අසයි.

"ඔයාලා එනවා කියලා කිව්වම දුල්මිණි ලා තාත්තා ගෙනැත් දුන්නා .. මේ පුතාට උයලා දෙන්න කියලා "  අම්මා පැවසුවේ මා වෙත  අත දිගු කරමිනි

නිම්මිලා නිවසට ආ අමුත්තා

කෑමෙන් පසු නිම්මිත් සමග නිවසට වී ටික වෙලාවක් ගත කලෙමි. හවස තුන හතර වෙද්දී හිරුරැස් වල සැර බාල වෙයි. නැවතත්  ගෙවත්තේ ඉහළ පැත්තේ යා යුතුයැයි තීරණය කලෙමි.  

කුස්සිය දෙසට හෙමින් හෙමින් ඇදුනු මා දුටු නිම්මිගේ මව  " ආයෙත් කැලේ යන්න ද ?"

"බන්ටි.. මෙන්න අය්යා කැලේට යනවා.. යන්න .. යන්න එයත් එක්ක.." යැයි පැවසීය. 

ඈ එසේ කීවේ නිම්මිලාගේ සුරතල් බල්ලා බන්ටියා  පුරුදු කාරයෙක් මෙන් මා පසු පස වත්ත පුරා ගමන් කල නිසාය.
ගෙට ඉහළ පැත්තේ වත්ත එලි පෙහිලි කරන මට පහළ සිදුවෙන දේවල් හොඳින් පෙනුනේ නැත. 

එහෙත් ඩිග් .. ඩිග්  ගා  යමෙකු නිවස දෙසට එන හඬත්  කිසියම් ගෙඩි වර්ගයක්  වේගයෙන් පොළවට දමන හඬත් මට ඇසිණි.

නිම්මිලා අම්මා සමග ගොරෝසු එහෙත් පහත් හඬකින් යමෙක් කථා කරන හඬද  මා සවනත වැකුනේය. 

ටික වෙලාවකින් තැඹිලි වීදුරුවක් සහ මැන්ගුස් /රඹුටන් ආදී පළතුරු ගොඩක් රැගෙන මා වෙත එන යුවතියකි.

" ඒයි.. එන්න තැඹිලි බොන්න.. " මේ තව පළතුරුත් තියෙනවා. "

"කොහෙන්ද මේවා ? මම ආසම කෑමක් .. " මම කීවේ  පැණිබේරෙන මැන්ගුස්  මල්ල දුටු  පසුවයි.

"දොස්තර මහත්තයට දෙන්න කියලා දුල්මිණි ලා තාත්තා ගෙනත් දීලා .."

නිම්මි පැවසුවාය.

"කෝ මනුස්සයා .. ? ආපහු ගියාද ..? " මම ඇසුවේ මා ගැන සොයා බලන මේ සොඳුරු මිනිසාට වචනයක් දෙකක්  කථා කීරීමට තිබු බලවත් ආශාවෙනි.

"ඔවු .. ඔවු.. හොරෙන් හොරෙන් වගේ ඇවිත්  ඔය ටික දීලා ගිහිල්ලා..  ඔයාට කතා කරන්න එන්න ලැජ්ජයි මන් හිතන්නේ "

"ඔයාට  රෑට උයලා දෙන්න අල කොලයි .. කතුරු මුරුංගා මලුයි ගෙනැත් දෙයි කියලා අම්මා  කිව්වා ".

නිම්මි පැවසුවේ  පුවක් බාස් නැවතත් සිය නිවසට එන්නට නියමිත බවයි.

පුවක් බාස් නම් පුදුම මිනිහෙකි. ඔහු මගේ ප්‍රියතම කෑම බීම හැම දෙයක් ගැනම දන්නා සෙයකි.


Friday, 13 November 2015

දුල්මිණි ලා තාත්තා හෙවත් පුවක් බාස්



ඒ  දෙදාහේ  නොවැම්බර් -දෙසැම්බර් මාසවල  සෙනසුරාදා දවසකි.  ඒ වන විටත් නිම්මි සමග විවාහ වී සිටි මා ඇගේ නිවසට ගිය මුල්ම දවස් වලින් එකකි.

ඒ කාලේ මට තිබුණේ ටොයෝටා කොරොල්ලා වර්ගයේ කාරයකි.  සුපුරුදු පරිදි නිම්මිලා නිවස දෙසට යන පාරේ මගක් ගිය තැන ඇති ඉඩ කඩ ඇති තැනක කාරය නවතා පයින් ගමන් කළෙමු.

 ඒ කාලේ  අපේ ගෙදරට වගේම නිම්මිලාගේද  ගෙදරටම වාහනයකින් යා නොහැකිය.

කාරය නැවතූ තැන සිට මද දුරක් ගිය පසු ගමන් කල යුත්තේ වෙල මැදින් යන අඩි පාරකිනි.

 නිම්මි අම්මලාට ගත් එළවලු මල්ලද එල්ලා ගෙන මා අසලින් ගමන් කරයි.

අප ඉදිරියට එන දුඹුරු පාට ඉරි ඉරි සරමක් කැහැ පට ගසා ගත් මිනිසෙකි.  උඩුකය නිරාවරිතය.  තොල් රතු පැහැ ගැන්වෙන්නට හේතුව  සපමින් තිබු බුලත් විටයි.

" කොහොමද කාලෙකට පස්සේ  ගෙදර එනවා වගේ " කුලෑටි ගතියකින් යුතුව ඒ ප්‍රශ්නය යොමු කෙරුනේ නිම්මි වෙතය.

ඒ අතර තුර මගේ හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලූ ඔහු මා වෙතද හිස ඇල කර සිනා සුනේය.


" ඔවු  අපි මේ අම්මලා බලලා යන්න කියලා " නිම්මි උත්තර දෙයි. දෙදෙනාගෙන්ම අය්යා , නංගි වැනි  නෑදෑ  කම් හෝ නම් ගම් කිසිවක් කියවුනේ නැත.

මට එක්වරම කිසියම් හුරු පුරුදු ගතියක් දැනුනේ ඇයි  දැයි නොදනිමි.

මිනිහා ටිකක්  අපේ කිරඹඔයේ රාජු  මාමාට   සමාන එහෙත් ඊට  වඩා උස රූප කායකින් යුක්ත  අයෙක් විය.

"මම හවසට ඒ පැත්තේ එන්නම් කෝ " අමුත්තා අපගෙන් සමුගෙන වෙල මැදින් කොන්ඩදෙනිය දෙසට  ( ගමේ පහළට) ගමන් කළේය.

"ඒයි.. කවුද ඒ පොර ? "  "මිනිහගේ  නම මොකක්ද?" මම නිම්මිගෙන් ඇසුවෙමි.

"ආ .. ඔය අපේ අල්ලපු ගෙදර මනුස්සයා .. අපි කියන්නේ "දුල්මිණි ලා තාත්තා " කියලා . ගමේ මිනිස්සු නම් කියන්නේ පුවක් බාස් කියලා "

නිම්මි කියාගෙන ගියේය.

" පුවක් බාස්? "  "මාර නමක් නේ"

"නෑ .. නෑ. එයාගේ රස්සාව පුවක් කඩන එකයි  , පොල්ගස් පලන එකයි . ඒකයි ගමේ අය එයාට පුවක් බාස් කියන්නේ. "

"එයාගේ ඇත්ත නම මොකක්ද? "

"අපි දන්නේ නෑ අනේ.. ඔයාට මොකටද එච්චර විස්තර ?"  නිම්මි අසන්නේ  "ගමේ ඉන්න අපි වත් දන්නේ නැති විස්තර පිටගම් කාරයෙකුට මොකටද? "   වැනි  අර්ථයකිනි.

"නෑ නිකන්.. මිනිහා ටිකක් වැඩ කාරයෙක් පාටයි " මම අදහස් කලේ කුමක්දැයි නිම්මිට වැටහුනේ නැති සෙයකි.

"එතකොට දුල්මිණි කියන්නේ?  එයාගේ දුව ද  ? " ඔවු .. ඔවු .. පුවකා ට ඉන්නේ එක දුවෙක් විතරයි. එයාගේ නම තමයි දුල්මිණි. "

නිම්මිලාගේ ගෙවත්ත 

නිවසට ලඟා වූ අප පිළිගත්තේ නිම්මිලාගේ අම්මා විසිනි. මුලින්ම  ඇය සාදා දුන් තේ කෝප්පය සප්පායම් වූ යෙමු.   
අනතුරුව නිම්මි අම්මා සමග දිවා ආහාරය සකස් කරන්නට පටන් ගත්තාය. 

මා වත්තේ පහළට ගමන් කලෙමි.  නිම්මිලගේ බල්ලා බන්ටියා ද මා පසු පස වත්ත පහළට පැමිණියේය.  එය අක්කර දෙකක පමණ ඉඩමකි. පහළින් ගලා යන වතුර ඇල පසු කල පසු එන්නේ පුවක් බාස් ගේ ඉඩමයි.

තැනින් තැන තිබු පොල් ගස් සහ පුවක් ගස් හැරෙන්නට වත්ත පුරාම තිබුණේ කැලෑවකි.

අරලගංවිල  වගා කටයුතු වලින් ඉවත්වී අවුරුදු ගණනාවක් ගතවී ගොසිනි.  මා මේ වන විට අලදෙණියේ  වෙද විදුහලේ වැඩ පටන් ගෙන ගත වී තිබුණේ මාස කිහිපයක් පමණි.  

ඒ වන විට අලදෙණිය -වල්පොල  පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් ද කර ගෙන ගියෙමි.   

දොස්තර කෙනෙක් වූ පසු වගාවකට අත ගැසූ කාලයක් මතක නැත. 

එහෙත් ගලා යන දොළ පාරත් සශ්‍රික පසත් දුටු මට නිකම් සිටිය නොහැක.

මේ වන විට නිම්මිගේ නංගි විවාහ වී සිටියේ නැත. අම්මලා දුවලා  ඉවුම් පිහුම් කරන අතර උදළු කෙටියක් සහ වක් පිහියක්  ගත් මා මිදුලෙන් පහල කොටසට ඔට්ටු වෙන්නට තීරණය කලෙමි. 

ටිකෙන් ටික කැලේ කපමින් එළි පෙහෙළි කලෙමි. දැන් දැන් පුවක් ලාගේ ගේ මිදුල පවා නිම්මිලා නිවසට පෙනෙන පරිදි වට පිටාව හෙළි පෙහෙළි වී ඇත.

" පුතේ .. කෑම  ලෑස්තියි....කෑමට එන්ඩෝ .."  නිම්මිලා අම්මා කිහිප සැරයක්ම මට දිවා ආහාරයට ආරාධනා කළේය. 

මේ අතර දුල්මිණි  ලා මිදුලේ සිට යමෙකු මා දෙස එබිකම් කරමින් සිටිනු පෙනේ. එහෙත් ඔහු කෙලින්ම මා වෙත මුහුණ පෙන්වුවේ නැත.

හොඳින් විපරම් කර බැලුවෙමි . " පුවක් බාස් " ගමේ පහළට ගොස් ආපසු ගෙදර පැමිණ තිබේ.

මේ අතර මා වත්තේ පහළ කොටසේ  සෑහෙන වපසරියක් හෙළි පෙහිලි කර අවසන්ය. 

කෙසෙල් ගස් කිහිපයක් වත් හිටෙව්වනම් හරි ..  මගේ සිත කියයි. 

කෙසෙල් වර්ග ලෙස නිම්මිලා ගෙදර තිබුණේ  කනාටු වී ගිය ආනමාළු පඳුරක් හා සීනි කෙහෙල් පඳුරක් පමණි. 

පුවක් ගේ ගෙදර නම් හොඳ ඇම්බුන් පඳුරු ගණනාවක්ම තිබේ.  ජල මොරෙය්යන්  දහයක් දොළහක් එහි තිබෙන්නට ඇත.

"කොහෙද  මේ කට්ටිය කෙසෙල් පැල ඉල්ලන එකක් යැ"

ඔන්න ඔහේ මේවා ම හදනවා  මම හිත හදා ගත්තෙමි.  අපේ කිරඹ ඔයේ මුත්තා කෙසෙල් පැල සැදු හැටි සිහියට නගා ගත්තෙමි.

ලොකු වලවල් තුන හතරක්  කැපුවෙමි.  ඒවායින් අඩක් පිරෙන සේ දිරූ කොළ රොඩු ඇතිරුවෙමි .  සීනි සහ ආනමාළු පඳුරු වල තිබු ජල මොරෙය්යන් ගලවා ඒ වලවල් වල සිට වුයෙමි.

වටේ තිබු පස්ගොඩ වල් නැවත පැලය වට කර ගොඩ කළෙමි.

අසල රබර් වත්තේ  තිබු ග්ලිරිසීඩියා  ගසකින් කොළ කඩා ගෙනවිත් අළුත සිටවූ කෙසෙල් පැල වටේ ඇතිරුවෙමි.

අරලගංවිල මෙන් නොව  මාවනැල්ල ප්‍රදේශයේ  අව්ව තරමක් සැර වැඩි යැයි මට සිතුණි.  මගේ ඉහින් කනින් දහදිය වැගිරෙයි. 

කැලෑව හෙළි වී නැවුම් පස් මතු වූ ප්‍රදේශය දකිත්ම මගේ වෙහෙස මදකට පහව යයි .

මගේ වෙහෙස නිවාලූ තවත් ජීවමාන හේතුවක් විය.

ඒ අනෙකක් නොව සිනා සි සී මා වෙත කුරුම්බා හෝ  සීතල වතුර වීදුරුවක් රැගෙන එන මගේ දයාබර බිරිඳ නිමල්කාය.

මේ අතර  මේ හැම දෙයක්ම වෙන හැටි විමසිල්ලෙන් බලා සිටින අයෙකි.  ඔහු සිටින්නේ ඇලෙන් එගොඩ බැම්ම උඩ තැනු නිවසේ මිදුලට වීය.

ඒ අන් කිසිවෙකු නොව  නිම්මිලාගේ අසල්වැසියා වූ දුල්මිනිලා  තාත්තා හෙවත් පුවක් බාස්ය. 




පුවක් බාස් හෙවත් දුල්මිණි ලා තාත්තා ඒ වනවිට අවුරුදු තිස්පහක් හතළිහක් පමණ වූ  මිනිසෙකි. ඔහුගේ ගම  රඹුක්කන පැත්තේ වූ ගමක් යැයි මා අසා තිබේ.

දුල්මිණිලා අම්මා සමග විවාහ වීමෙන් පසු ඔහු මාවනැල්ලේ  කොන්ඩදෙනිය ගමට පැමිණ ඇත.

මුලින්ම ගමේ පහළ පැත්තේ ගෙදරක කුළියට  ජිවත් වූ ඔහු පසු කලෙක නිම්මිලා ගෙට එපිටහ පැත්තේ වූ දියසිරාවෙන් පිරුණු පර්චස් විස්සක පමණ ඉඩම් කෑල්ලක්  මිලදී ගෙන ඇත.

එම ඉඩම් කොටසේ ඉහළ කෙලවරට වන්නට ඔහු සිය නිවස තනාගෙන තිබේ.  ඒ නිම්මිලා අම්මා  කියන පරිදි  විශාල ගල් කුළු අල්ලා ගැසූ බැම්මක්  මත තැනු ගෙපලකයි.

මේ ගෙපලේ මෙන්ම තනිකර වගුරු බිමක් වූ ඉතිරි බිමකඩේද අද අපි දකින තත්වයේ සංවර්ධනයක්  ඇති කීරීමට පුවක් බාස් සෑහෙන මහන්සියක් ගෙන තිබේ.

පුවක් බාස්ද අපේ රාජු මාමලා , ඇතිමලේ බාප්පලා මෙන් කැත්තේ උදැල්ලේ වැඩට හුරු වූ  හොඳට අත පය වෙහෙසා වැඩ කරන්නට කැමති අයෙකි.

වෙනත් අයුරකින් කියනවානම්  මා කැමතිම වර්ගයේ මිනිසෙකි.  ඔහුගේ ශරීර ස්වභාවයද මෙය කදිමට විද්‍යමාන කළේය.

ඒයින් පෙන්නුම් කෙරුනේ දර දඬු වූ මාංශ පේශි  ගහන ස්වභාවයක් මිස අලසව කල් ගෙවීමෙන් ලැබිය හැකිවූ  තෙල් බේරෙන ස්වභාවයක් නොවේ.

ඒ කාලේ පුවක් බාස් ගේ ප්‍රධාන රැකියාව  පොල් පරාල හැදීමයි.

ඊට අමතරව පුවක් හා පොල් කැඩීමට  ගස් නැගීමද ඔහු රැකියාව ලෙස කළේය.

ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළ අතර ගෙදර දොර වැඩ වලදී ඔහුට උදව් පදව් කළාය .


ඔවුන් දෙදෙනාට සිටියේ එකම එක දියණියකි . ඇය නමින් දුල්මිණි නම විය.

අප කොන්ඩදෙණිය ගම හා සම්බන්ධ වන කාලයේ ඇය අවුරුදු  අටක නවයක  පමණ වයසේ වූ  දැරිවියකි.

නිම්මිලා ගෙදර අය මේ දෙමහල්ලෝ හඳුන්වන්නට පාවිච්චි කලේ දුල්මිණි ලා අම්මා සහ දුල්මිණි ලා තාත්තා යන නම් දෙකයි.

ඒ නිසා අපි කිසි කෙනෙක් ඔවුන් දෙදෙනාගේ මුල් නම් මොනවාදැයි දැන නොසිටියෙමු.

ඊළඟ කොටස මෙතැනින්