Follow by Email

Friday, 10 April 2015

රාජපක්ෂ එක හෙවත් චමින්ද මට හමු වූ හැටි...





අලුත් ඉස්කෝලේ


එවකට මගේ වයස යන්තම් අවුරුදු දහයක් ක් වුවා පමණි. 

මම බ/කිරිඔරුව විද්‍යාලයේ සිට බණ්ඩාරවෙල   කණිෂ්ට  ද්වීතියික විද්යාලයට මාරුවක් ලබා පැමිණි කාලයයි ඒ.

මම අලුත් පාසැලට පැමිණි මුල්ම දිනයත් මතකයේ රැඳෙන සිදුවීම් වලින් පිරුණු එකක්. 

එදා මමත් අය්යත් අලුත් ඉස්කෝලෙට එක්ක ගියේ අපේ තාත්තා හෝ අම්මා විසින් නොවෙයි. 

එතෙක් කිරිඔරුව ඉස්කෝලෙට ගිය අප  දෙදෙනා කණිෂ්ඨයට භාර දුන්නේ එවකට බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ උසස්පෙළවිද්‍යා අංශයේ සිටි රාජා අය්යා විසින්.

රාජා අය්යා අපේ විමලේ ලොකු තාත්තාගේ පුතෙක්. 

විදුහල්පති තුමා හමුවූ මමත් , අය්යත් රාජා අය්යා සමග අපේ පංති පැත්තට  යනකොට රාජා අය්යට ගමේදී අප හඳුනන ගුරුවරයෙක් මුණ ගැහුණා. 

ඇත්තලපිටියේ සිරිතුංග සර්  ලෙස අප දැන සිටි ඔහු රාජා අය්යා සමග අප ගැන කතා කරද්දී අප දෙදෙනා අළුතින් ඉස්කෝලෙට භාර දෙන්නට පැමිණි බව ඔහුට වැටහුණා.

"පුතා අද වගේ දවසක වත් බාප්පා ආවනම් නේද හොඳ?" 

කියමින් ඔහු තම සාකච්චාව  අවසන් කල බවයි මගේ මතකය පවසන්නේ. 

සිරිතුංග මාමා ගෙන් සමුගත් අප මා ගේ පන්තිය තිබු තට්ටු දෙකේ ගොඩනැගිල්ල වෙත ඇදුනා. 

ඒ වන විටත් හතරේ අංශ භාර සහ හතර නෙළුම්  පංති භාර ගුරුවරිය වූ  කිණිගම ටීචර් සහ හතර මානෙල් එකේ පංති භාර බෝගහකුඹුර ටීචර් අප පිළිගන්නට සුදානම් වී සිටියා. 

එදා කිණිගම ටීචර් 

" මේ නාමරත්න මහත්තයාගේ පුතා නේද? 

එන්න පුතේ මගේ පංතියට .

මම ඔයාගේ තාත්තා හොඳට අඳුරනවා  " 

කියමින් මාව ඇයගේ නෙළුම් පන්තියට ගන්නට  පොර කෑ හැටි තවමත් මතකයි.

ඒ වනවිට කනිෂ්ටයේ  හතර නෙලුම්මානෙල් සමන් සහ රෝස යනුවෙන් කොටස් හතරක්   තිබුණා. 

ඒ කාලේ නෙලුම් යනු ගණිතය සහ භාෂාවට දක්ෂම ළමයින් සිටි පන්තියයි. 

බෝගහකුඹුර ටීචර් ගේ මානෙල් පංතිය තිබුණේ නෙළුම් එකට එහා පැත්තේ. 

එය නෙලුම් පන්තියෙන් වෙන් වුයේ කුඩා පුටු දෙපේලියක පරතරයකින් පමණි. 

ටීචර්ලා එක්ක කතා කරමින් සිටි අපට පංති දෙකම හොඳින් පෙනෙනවා. 

කිණිගම ටීචර් මට තම පංතියට එන්නැයි පෙරැත්ත කරද්දී මගේ නෙත ඇදී ගියේ පංති දෙකේ  සිටි කොල්ලන් වෙතයි. 


දක්ෂ අදක්ෂ කතා වල වගක් නැති මම මගේ හිතට අල්ලන යාළුවන් සිටි පන්තිය  "මානෙල්" තොරා ගත්තෙමි.

කිණිගම ටීචර් "පුතේ තාත්තා අපේ යාලුවෙක් " කියමින් කොතරම් පෙරැත්ත කලද  මම  ඇලුම් කලේ මානෙල් එකටයි. 


මගේ අවසාන තීරණය කිණිගම  ටීචර්ගේද සතුටට කාරණයක් විය. 

ඒ ඇයගේ පන්තියේ නොවුනත් මගේ එදිනෙදා ප්‍රගතිය ඇයට නිතරම පෙනෙන තැනක  මා අධ්‍යාපනය කරනු දැකීමයි. 

අදටත් මට ඇයගේ නම සහ රුපය හොඳින් මතක් තිබෙන්නට    ප්‍රධාන හේතුවක්  වියහැක්කේ ඇය තුල මගේ දියුණුව ගැන එදා තිබූ ඒ උනන්දුව විය යුතුය.

මට තම පංතියට එන්නැයි පෙරැත්ත නොකලද මානෙල් පන්තියේ සිටි බෝගහකුඹුර  ටීචර් එවැනිම හොඳ ගුරු මාතාවකි . 

මා ඇයගේ පංතියට එන බව ඇසු ඇය ඉතා සතුටට පත්වුවාය. 

අය්යත් මමත් කනිස්ටයට එන්නට පෙරම දක්ෂ සිසුන් දෙදෙනෙක් පාසලට එන බව ආරංචි වී ඇති සෙයකි. 

 මානෙල් පන්තියේ මගේ සගයන් අතර සිටියේ දඟ වැඩ වලට හොඳින් හුරුවී සිටි ප්‍රියංක, සහන්, රත්නසිරි, ලලිත් මෙන්ම මට කලින් මානෙල් පන්තියේ  දක්ෂයා වූ චන්දිම නාමරත්නයි.

මට මතක හැටියට හඳපානාගල ලාල් ප්‍රියන්තද මේ පන්තියේම සිටි ළමයෙකි. චන්දිම නාමරත්න හා මා අතර යම් සටනක් ( ලස්සනටම අකුරු ලිවීම වගේ) පැවතියද කිරිඔරුව  විදයලයේදී දිගටම  පන්තියේ පළමුවෙනියා වූ මට නාමරත්න පසුකර යෑම එතරම් අභියෝගයක් වුයේ නැත. 

 එහෙත් ඒ කාලේ මගේ හිත වැඩිපුර තිබුනේ නාමරත්න යන පැත්තේ නොවේ.. 

ප්‍රියංක,ලලිත් , සහන් වැනි දඩබ්බර යාළුවන් යන  දිශාවෙයි.

ඒ කාලේ ප්‍රියංක ලා ඇතුළු අපි විවේක කාලයේදී කතාකලේ  අධ්‍යාපනයට අදාල දේවල්ම නොවේ. 

අපේ  මාතෘකා වල ප්‍රධාන චරිත බවට පත්වුණේ ප්‍රියංකත් සහනුත් තම "පෙම්වතියන්" ලෙස තෝරා ගෙන තිබු දෙදෙනෙකි. 

එක් අයෙක් නගරයේ කඩ හිමියෙකුගේ දියණිය වූ අතර අනෙක් කෙනා ඇගේ  හොඳම යෙහෙළියයි. 

මේ දෙදෙනාම එකම වෑන් රථයකින් පාසලට පැමිණි අතර එම වෑන් එකේ රියදුරු ලෙස සේවය කලේ අපේ දෙවැනි මිතුරියගේ පියාණන්ය. 

පළමු මිතුරිය වෑන් එකේ අයිතිකාරයාගේ දියණියයි. 


බයිලා චක්‍රවර්ති


විවේක කාලයේදී කවකටු පෙට්ටි drum set හදාගෙන සින්දු කියන එක අපේ කල්ලියේ ලොකුම විනෝදාංශයයි. 

 පංතිය ඉදිරිපිට මිදුලේ කොනක   අපේ සංගීත සාජ්ජය ඇරඹෙන්නේ  දිවා විවේක කාලය  පැමිණි පසුවයි.

පෙරකී චරිතවලට පෙණෙන පරිදි  සිංදු  කියන ප්‍රියංක ඇතුළු කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක් වන්නට මට ගතවුයේ ඉතා සුළු කාලයකි. 

වැඩි කල් නොගොස්ම කොල්ලෝ මට කිටි  යන අන්වර්ථ නාමය ලබා දුන්නෝය.

එය  අපේ පස්දෙනාගේ කල්ලියේදී වැඩි ආදරයට  කළු කිටී බවට පත් විය. 

මේ කාලය වනවිට අපේ අම්මාගේ මල්ලී පොඩ්ඩේ  මාමා ගමෙන් පිටවී ගොස් ලුණුගල පැත්තට වී සිටියේය.

ලුණුගල පැත්තේ  මැණික් ගරමින් සිටි ඔහු ඒ වනවිට හොඳ සල්ලිකාරයෙක් වී සිටියේය. 

පොඩ්ඩේ මාමා ලුණුගල සිට බණ්ඩාරවෙලට එද්දී නැෂනල් පැනසොනික් කැසට් යන්ත්‍රයක්ද රැගෙන එයි.


ඔහුගේ  කැසට් යන්ත්‍රයේ නිතරම වාදනය කරමින් සිටි බයිලා හැම එකක්ම වාගේ  අපටද කඩ පාඩම් විය. 

ගෙදරදී මේ ගීත  පාඩම් කර ගත් ඒවායින්  සමහරක් අපේ විවේක කාලයේ බජව්වේදී ගායනා කලෙමි. 

ඩෙස්මන් ද සිල්වා  , නිහාල්  නෙල්සන් ආදී ගායකයින්ගේ බයිලා ගායනා කර  අපේ  කොල්ලන් අතර නමක් දිනගත්තෙමි.


හතරේ පංතියේදී මා කොතරම් ජනප්‍රිය බයිලා ගායකයෙක් වුවාද කියතොත් බිත්තියෙන් එහා පැත්තේ තිබු සමන් හා රෝස පන්ති වල සිකුරාදා හවස සාහිත්‍ය සමිතියේ ගීත ගායනා  කරන්නටද මට ආරාධනා ලැබුණි.


ඩෙස්මන් ද සිල්වා ගේ "කොල්ලුපිටියේ ජන්ක්ෂන්" සහ   "පොල්කටු හැන්දේ මිට වගේ" වැනි ගීත පන්ති භාර ටීචර්ලා හතර දෙනාම සිටින සමිතියේදී ගායනා කලෙමි.




හතර සමන් රෝස පන්ති දෙකෙන් එකක හිටි සුදු පොඩි කොල්ලෙක් අපේ බජව් කල්ලිය අසලට යන්නට එන්නට පුරුදු වුයේ මේ කාලයේදීමය. 

ඔහු ප්‍රියංකලාගේ ගජයෙකි.  කල්ලියේ දී හමුවී "මචන් කිටී" යැයි කියා කතා කලද මුල්කාලයේදී  මට ඒ කොල්ලගේ එතරම් විශේෂයක් තිබුනේ නැත. 




චමින්ද රාජපක්ෂ නම් වූ මේ කොල්ලා 318  වරකාදන්ඩ   පාසල් බස් රථයේම ගමන් කරන තවත් එකෙක් බව මට යම්තම් මතකයේ තිබුණි.  

එකල 318 බසයේ ගිය අනිත් සගයින් වුයේ වරකාදණ්ඩ වැසියන්ම වූ බන්දුපාල හා ප්‍රේමශීලයි. 

හවසට   මහා විද්යලයට ගොස් 318 බසයට ගොඩවන අප ඉන් පසු නිවෙස් බලා යන්නේ බසයේදීද  උපරිම විනෝද වීමෙන් පසුවයි.

බන්දුපාල සහ ප්‍රේමශිල වරකාදන්ඩ දක්වා යන අතරේ මමත් චමින්දත් මල්වත්තෙන් බැස ගන්නෙමු. 

එකට මල්වත්තෙන් බසයෙන් බැස්සා වුවත් අප දෙන්නට දෙන්නා කොහේ සිට පාසැල් එන්නේදැයි දැන සිටියේ නැත. 

පාසැල් බසයෙන් බැස චමින්දලා ගෙදරට 


එකම පාසැල් බසයේ ගමන්  කලද   මුල් කාලයේ චමින්ද රාජපක්ෂ  මගේ බලවත් සගයෙක් නොවීය. 

 සියල්ල වෙනස් වූයේ චමින්දත් මමත් පුරුදු පරිදි 318 බසයෙන් නිවෙස් බලා එන තවත් දවසකයි. 

මේ කියන දවසේ හතර සමන් පන්තියේ සිටි  මම වැඩිය කතා නොකළ "මචන්"  318 බස් එකෙන් බැස්ස ගමන්ම අමුතු වැඩක් කළේය. 

 මගේ පොඩි සුට්කේසය අතට ගත් ඔහු

"කිටියෝ   අද අපේ ගෙදර යමන්"

 කියමින්එක පිම්මට තේවත්ත මැදින් දිව යන්නට විය. 

අන්දුන් කුන්දුන් වූ මම සූට්කේස් ගන්නේ කෙසේදැයි කල්පනා කළෙමි. 

වෙන මොනවා කරන්නද චමින්දයා පස්සේ දුවලා කොහොම හරි සුට්කේස් එක ගන්නවා. 

මම සටනට අවතීර්ණ වුයෙමි.  

දැන් අපි දෙන්නම තේ වත්ත මැදින් කන්ද හෙලේ හැල්මේ දුවයමින් සිටිමු. 

චමින්ද අල්ලනවා තියා හිතන්නට වත් බැරි තැනක සිට මාව ඒ දෙසට කැඳවයි. 

මම ටිකක් කිට්ටු කරන කොට නැවතත් දුවයි.

අවසානයේ කන්ද මුදුනටම ගිය ඔහු තෙවත්තේ කෙලවරින් පටන් ගන්නා ගුරු පාරක් දිගේ පල්ලම් බසියි. 

ඒ  පාරේ කෙලවර ගෙයක් පෙනේ.  ඒ චමින්දලාගේ ගෙදර විය යුතුය. 

 මට සුට් කේස්  එක කෙසේ වෙතත් දැන් නම් හොඳ ගනන්ය.

නිවසේ මිදුලටම ගිය ඔහු මට පාසැල් බැගය දීමට පෙර මාව ඔහුගේ මවට හඳුන්වා දුන්නේය. 

 "අම්මා අද මගේ යාලුවෙක් එක්කන් ආවා "

"එන්න පුතා ගෙදරට "

 කියමින්ච මගේ හිස අත ගෑ චමින්දලා අම්මා 

"මේ අපේ මැදගෙදර  විමලා අක්කගේ පුතා නේ" කියමින් මම කාගේ කවුදැයි  හඳුනා ගත්තේය.

ඒ වෙලාවේ මට  චමින්දලා අම්මා කියන එක වචනයක් වත් ඇසුණේ නැත . 

ඊට හේතුව ඔවුන්ගේ ගේ වටේටම රතු පාටින් බැබලෙමින් තිබු ගස් තොගයයි.

 මගේ සිතඟි තේරුම් ගත් මැදපුරණේ ලොකුනැන්දා " පුතා පේර ගෙඩියක් දෙකක් එහෙම කාලා එන්නකෝ බත් ටිකක් කන්න " යැයි මට කීවාය. 

"මේ පුතාට පේර ගෙඩි දෙකක් කඩලා දීපන් ලොකුපුතා" කියමින් චමින්දවද ජෑම් පේර ගොල්ලට පිටමන් කලාය.

පේර ගාලට ඔට්ටු වූ මට ගෙදර යාමක් ගැන වගේ වගක් සිහියට නොනැගේ. 

කළුවර වී ගෙන එන විට මැදපුරණේ නැන්දා මට ගෙදර යන එක මතක් කර දුන්නාය. 

ඒ වන විට මම දහවල් ආහාරයත්  චමින්දල ගෙදරින්ම ගෙන නැවතත් ජෑම් පේර ගොල්ලට ඔට්ටුවී සිටියෙමි.

වරින්වර පේර ගොල්ල දෙසට එන චමින්දලා අම්මා,  " විමලා අක්කා කලබලවෙයි පුතා" කියමින්  ගෙදර යන්නට වෙලාව හරි බව මට මතක් කර දුන්නාය.  

එකල අපේ ගමට දුරකතනයක් තබා නවීන සංනිවේදන ක්‍රම කිසිවක් තිබුනේ නැත. තිබුනානම්  ඇය මාව එදින ඔවුන්ගේ නිවසේ රඳවා ගනු ඇත. 

රෑ බෝ වෙද්දීත් පේර ගස් අතර කල් ගෙවන මා දුටු ඇය " කොහෙද පණිවිඩයක් වත් යවන්න කෙනෙක් නෑ නේ" 

කීවේ ඒනිසා විය යුතුය.

මේ කියන කාලයේදී චමින්දලාට වත් අපටවත්   විදුලිය ලැබී තිබුණේ නැත. 

1977 පාලනයට පැමිණි රජය ලයිට් කණු ඇද තිබුනේ අමුතු රටාවකටය. 

වෙනත් විදියකින් කියතොත්විදුලි කණු ඇද තිබුනේ UNP නිවාස ආවරණය වී ශ්‍රී ලංකා කාරයන්ගේ නිවාස (අපේ තාත්තා වගේ අයගේ) මග හැරවෙන විදිහටයි. 

අපේ මුත්තලා ගෙවල් ලගිනුත් චමින්දලා ගෙවල් ලගිනුත් විදුලි කණු වැටී තිබුනද අපේ ගෙවල් අහල මායිමකින්වත් ඒවා ගොස් තිබුනේ නැත. 



 චමින්දලා ගේ ගෙවල් තිබෙන කිරිඔරුව  කොටසට විදුලිය ලැබුණේ 1985-86 කාලයේදී ය. 

එහෙත් අපට විදුලිය ලබා ගැනුණේ අප විශ්ව විද්‍යාල ප්‍රවේශයද සමත් වූ පසුවයි. 

ඒ විශ්ව විද්‍යාල සිසුවෙකු වූ අපේ අය්යා සහ එවකට පාසැල් ගුරුවරයෙකු වූ මගේද දායකත්වය ඇතුවයි. 



දේශපාලනය වෙනස්කම් අපේ කතාවට අදාළ වෙන්නේ කෙලෙස දැයි ඔබ සිතනවා ඇත. 

පහතින් දැක්වෙන්නේ ඒ කාලේ අපේ සම්බන්දතා වලට  දේශපාලනය  කොතරම් කාවැදි තිබුනාදැයි යන්නට කදිම සාක්ෂියකි.

වේදනාත්මක සමුගැනීම 


මෙසේ ඇති තරම් පේර කෑ මම  චමින්දටත් චමින්දල අම්මාටත් සමුදී නිවස  බලා පිටත් වුනෙමි.  

අම්මලා පැත්තෙන් අපේ ලඟම නැදෑ ගෙදරක් වුවත් එහි සිට අපේ ගෙදරට යන පාරට හැරෙන තැනට යන්නටවත්   මා දෑන සිටියේ නැත. 

චමින්ද ඇස්කින් වත්ත ලඟට මාව ගෙනත් ඇරලවා ගෙදර ගියේය. 


දැන් වටින් ගොඩින් කළුවර වීගෙන එයි. 

මට ගමනේ සන්තෝෂය මිසක් කිසිම බරක් පතලක් ඇති බවක් ගෙදරට ළඟා වෙන තුරුම වැටහුනේ නැත. 

 "අම්මා දන්නවද වැඩක්... අද මට අම්මලාගේ ලඟම නෑදෑ කට්ටියක් හම්බ වුනා" 

කියමින් වීරයා සේ ගෙට ගොඩ වුයෙමි.

ගමනේ විස්තරත් චමින්දලා අම්මාගේ සැලකිලිත් අකුරක් නෑර අම්මාට පැවසුයෙමි.  

එහෙත් මට  දෙවියන් සිහි වුයේ අම්මාගේ මගේ ගමනට දැක්වූ ප්‍රතිචාර යත් සමගයි.  

" තෝ කොහෙද ගියේ.. අපේ ජන්ම හතුරන්ගේ ගෙවල් වල ගිහිල්ලා ... 

තොගේ තාත්තාට බිම දාගෙන ගහපු එවුන්ගේ   ගෙවල් වල ගිහින් කන්න බොන්න තොට බය නැද්ද?"  

අසමින් අම්මා මට තඩි බායි ..

ඉන් නොනැවතී  ...."උඹට වසවත්  දාල දුන්න නම් එහෙම " 

කියමින් අම්මා මට තවත් අත දිගහැර පහර දුන්නාය.


අවුරුදු 10 කා කොල්ලෙක් හැටියට මට මේ කිසිවක් නොතේරුණද ශ්‍රී  ලංකා UNP කතාව සම්බන්ධ වන්නේ මෙතනදී බව  මට දැන්   වැටහේ. 

1977  UNP  ජයඝ්‍රහනයෙන් පසු අපේ තාත්තාට ඇස්කින් වත්ත ලඟදී  හොඳටම පහරදී තිබුණි. 

ඔහුව බිම දමා  පාගා ගොස් තිබු අතර අපේ අසල් වැසි ජේන් අක්කා කියූ පරිදි තාත්තා අපට කෑමට ගෙනා පැරල් පාර පුරා රෝල් වී ගොස් තිබිණි.  

මෙම ප්‍රහාරය සැලසුම් කර තිබුණේ චමින්දගේ බාප්පා කෙනෙක් විසින්ලු. 


අම්මා මම චමින්දලා ගෙදර යෑම ගැන කෝපයට පත් වී ඇත්තේ ඒ හේතුව නිසයි.

10 comments:

  1. මට මේ කතාව හොඳට මතකය්. අම්මා කවිඳු ට තඩිබාන කොට මමත් ගෙද ර හිටියේ . මල්ලි බිල්ලෝ ගෙනියලද ? කවුරුත් බයේ ගැහි ගැහී ඉන්නකොට මෙන්න අපේ man එනවා අය්යා වගේ. ගුටිකනකොට අනිත් කවුරුත් අනුකම්පා කරන්න ගියේ නැහැ .
    සිරිමංගල කඩෙන් සිංදු පොත් ගෙනැත් ගස් උඩ නැගලා හඬින් ගමටම ඇහෙන්න සිංදු කියන්න අපි තින්දෙනම පුරුදු වෙලා හිටියා . මාමා ජැන්ඩියට ඇඳලා සිංදු දාගෙන අපේ ගෙද‍ර ආපුවා ම මැජික් වගේ අපට.
    පන්ති හතරක් උඩින් උන්නු අය්යා ඉන්ටෙර්වල් එක මල්ලි ගේ පන්තියේ ගතකරා .
    මට හොඳටම මතක මලයා " මාරයා , රය් මා , යිරම ...... තමය් .
    තව කතන්දර ගොඩය් . පස්සේ ලියන්න බලමු.

    ReplyDelete
  2. Mraraya ryma irama ... Mama liwwe naa.. Mama kata do Kiewa wage Sahena Welawak eka panthiyema hitoyaki... Mama ate panthiye Sita ehema karannayi inne

    ReplyDelete
  3. මේක පලවෙනි පෝස්ට් එකද

    ReplyDelete
  4. මුල ඉදන්ම කියවන්න පටන්ගත්තා‍. දේශපාලනය සම්බන්ද බොගක් නොව්වායි පතමි.

    ReplyDelete
    Replies
    1. නියමයි .. ඉදිරියට කියවන් ගිහිල්ලා ගුණ අගුණ කියන්න කෝ.. හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පනින්න නොදී ඉන්න හිතුවා.. ඒ නිසා ඔබේ //දේශපාලනය සම්බන්ද බොගක් නොව්වායි පතමි// යන ප්‍රශ්නයට මම පිළිතුරක් නොදී ඉන්න හිතුවා.. ඉතිරි ටික කියවන්න... ජයවේවා !! මෙහෙ ආවට ස්තුතියි..

      Delete
  5. ඔන්න ඉවර කරෝ. නියමයි. ඔබ වැනි උත්සාහ වන්තයන්ගෙන් ගතහැකි ආර්ශ බොහෙමයි.

    ReplyDelete
    Replies
    1. අහන්න සන්තෝෂයි. අපේ කාලය ශ්‍රමය වැය කිරීමේ හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා දැන ගන්න ලැබීම අපි නැවත නැවත ලියන්න පොළඹවන වා . ජයවේවා !!!

      Delete
  6. මේක පලමු වැනි එක නේද.. සතියක් ඇතුලත ඔක්කොම කොහොමහරි කියෙව්ව.. ඉතාම රසවත්.. ඔබට ජය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂාර ඔව් මේක පළමුවැනි එක.. ජයවේවා !!!

      Delete