Follow by Email

Friday, 10 April 2015

පශ්චාත් මැතිවරණ ප්‍රතිඵල..


මැතිවරණයට පසුදා හිමිදිරි පාන්දර.


1977 මහා මැතිවරණය අවසන්  වී අපේ ප්‍රදේශයට  පසුදා පහන් වුයේ  තුන් පැත්තකින් අපේ ගම දෙසට ඇදෙන ජයගෝෂා හඩ සමගිනි. 

අපේ ගෙදර  අම්මාත් කුඩා දරු පැටවුන් පස්දෙනෙකුත්  (වැඩිමලා වූ සමන්ත නම් හිටිවන කවියාට යන්තම් අවුරුදු 11කි , බාලම ළමයා ඊට මාස දෙකකට  පෙර මෙලොව එලිය දුටු අපේ පොඩි නංගියාය)  එක පොදියට ගල්ගැසී සිටිති.

දින කීපයකට පෙර සිය ගණනක් ගම් වැසියන් ගැවසුන ගමේ දේශපාලන බලකොටුවක් අද අන්ත අසරණ තත්වයකට පත්ව ඇත.
සෙන්පතියා  පොලොස් අප්පුහාමි  මන්ත්‍රීතුමාගේ  නිවසේ පසුවෙයි.

දුකට සැපට කවදත් සිටි ජේන් අක්කාද පරාණ භීතියෙන් අප හැර දමා  ගමේ පල්ලෙහාට ගොසිනි.  
අපේ අම්මා මුවැත්තියක් සේ අසරණව සිටියායැයි ඔබ සිතනු ඇත.

දරුවන් පහක් සමග සැමියාද නොමැතිව තාවකාලිකව තනි වුවද පරාජයෙන් සැගවී ගන්නේ  අපේ අම්මා නොවේ.

අහල ගම් තුන හතරක් අවි අමෝරා අපෙන් පළිගන්නට එද්දී අපේ අම්මා  තනිවම සටනට බැස්සාය.

ඒ  බව මට පසක් වුයේ ඒ දිනයේ සිදුවූ අනෙකුත් ක්‍රියා දාමයන් සියල්ල මතකයට නැගීමත් සමගයි. 


ලේ වල ඝණකම වතුරට වඩා වැඩියිලු




උදේ පාන්දර සිට බොහෝ  නරක ආරංචි අපේ අම්මාගේ කනට වැටේ.

අපේ දේට ගිනි තියන්නට යැයි කියා දළු අප්පුහාමිගේ සහචරයින් පුරවා ගෙන පැමිණි ලොරියක් ගැන කතාව ඉන් එකකි. 

ගමේම පෝසතා වූ සහ මගේ අනුමනයේ හැටියට විපක්ෂයේ චන්ද වැඩ වලට මුදලින් පවා ආධාර කල  බාස් මාමා විසින් එය  ආපසු හරවා යවා තිබුණේය.

කවි කියපු කොල්ලා පැහැර ගන්නට  කට්ටියක් එන බව තවත් ආරංචියකි. 

ජේන් අක්කාගේ  "කොල්ලා ඉවරයි දෙය්යනේ" යන ඉඟිය හැරෙන්නට  හරස් ගෙදර  මද්දුම බණ්ඩාරේ ලා,  චමින්දලා  ලා බාප්පලා ඇතුළු පිරිස මල්වත්තේ කඩේදී කල කුමන්ත්‍රණය ගැන හාන්කවිසියක් වත් අම්මා දෑන සිටියේ නැත.

කුඩා ළමුන් පස් දෙනෙකුගේ ජිවිත ආරක්ෂා කිරීමත් , තමා සහ තම ස්වාමියා මෙතෙක් හරි හම්බ කල සේසතම යට කර හැදු නිවස ආරක්ෂා කිරීමත් ඈ හමුවේ ඇති ප්‍රභලම අභියෝගයන්ය.

අරුමයකි., එතෙක් මෙතෙක් දුටු ශ්‍රී ලංකා UNP දෙපැත්තේම උන් අපේ නෑදෑ පරපුරේ සමගි සම්ම්පන්නම දිනය එදින උදා විය.   

කුඩා ළමයින් සියලු දෙනාම තාත්තලා  මහ ගෙදරට අල්ලපු වත්තේ තිබු ලොකු තාත්තලා ගෙදරට රැගෙන යන ලදී.

රාජපක්‍ෂ කෙනෙකු වූ හින්නි මාමා ඔහුගේ පතොරොම් තුවක්කුවත් පුරවා ගෙන අපේ ගෙදර ඉස්සරැහ තිබුණු කෙහෙල් පඳුරේ ස්ථාන ගත විය. 

එවකට අප පාසැලේ අ. පො. ස.( උ. පෙ.)  විද්‍යා විෂයන් හැදෑරු පල්ලැහැ ලොකු තාත්තලා (අප එදින රැගෙන ගියේ ඔවුන්ගේ ගෙදරටයි) රාජා අය්යාද ඔහුගේ රසායන විද්‍යා දැනුම උපයෝගී කර ගනිමින් කිසියම් පිපිරීමක් අපේ වත්තේ එතරම් නොගැඹුරු ලිඳ ඇතුලේ අත් හදා බැලුවේ එළඹෙන අවිනිස්චිත රාත්‍රියට මුහුණ දීමටයි.

දැන් වටගමුව පැත්තෙන් පැමිණි පෙළපාලිය සොහොන් කන්ද දිශාවෙන් අපි සගවා සිටි  නිවස  දෙසට ඇදේ.

මල්වත්තෙන් ඇස්කින්වත්ත හරහා එන පෙලිපාලිය තාමත් අපට එතරම් සමීප නැත. 

සොහොන් කන්ද පැත්තෙන් ජයටම සටන් පාඨ හඬ මගේ කුඩා දෙසවන් හාරවමින් නින්නාද වෙයි.

ඒවා හතර නෙලුම් හි සිටි ජනහිතේ   නිමලසිරි පසුව (1980දි) පන්තියේදී පැවසු  සටන් පාඨයට වඩා සැහෙන්න වෙනස් ඒවා විය.

 නිමලසිරි කීවේ 

"අපේ පාට කොළ.. අපි නෑ කල බල.... කෙරුවොත් කලබල... කවනවා තන කොළ.." 

කියාය. 

සොහොන් කන්ද පැත්තෙන් ඇසුනේ.

 "හොර සුමනෙයා එලියට වර.... පගා මරුවා එලියට වර... හොර නාමේයා එලියට වර "


වැනි පුද්ගල කේන්ද්‍රීය සටන් පාඨ පමණි. 

හොර සුමනෙයා යනුවෙන් හැඳින්වුණේ  ජේ. ඇම්. සුමනසේකර නමැති අපේ පොඩි බාප්පාය.

ඔහු  එකල බ/ කිරිඔරුව  විද්‍යාලයේ ගුරුවරයෙකි. 

ඔහු පසු කලෙක ජූලි වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි කර ගත් අතර ගම අත හැර පුංචි අම්මාගේ ගමට ගොස් හොරණ ශ්‍රී පාලියේ විදුහල්පති ලෙස විශ්‍රාම ගත්තේය. 


ළමුන් ආරක්ෂාවට තම මස්සිනාගේ නිවසේ තබා  අම්මා තනියම පෙළපාලි කරුවන් හා මුහුණට මුහුණ සටනට  ගියාය. 

එසේ යන ගමනේදී ඇයට උදව්වට ගියේ පොඩි බාප්පා සහ මෑතකදී මිය ගිය ජිනවති ලොකු අම්මාය.


වැහැපන් ගල් වරුසා    




සොහොන් කන්දෙන් පැමිණි පෙළ පාලිය බුරුස් මාමලා කඩේ ලඟින් පහලට හැරී මල්වත්ත දෙසට පල්ලම් බසී. 

ලොකු තාත්තලා ගෙදර මාස 2 ක් වයසැති පොඩි නංගි තුරුළු කර ගත් අක්කා සිටියාය. ඇයගේ තනියට ලොකු නංගීද ඒ අසල  සිටි. 

බියෙන් වෙව්ලමින් සිටි අපේ බිය දෙගුණ තෙගුණ කරමින් දඩාන් යන හෙන හඬක් ලොකු තාත්තලාගේ ටකරන් වහලයෙන් ඇසුනි.

කවුරු අවවාද කරා දැයි මට මතක් නැත.

පොඩි නංගි අතට ගත අක්කා එක ඇඳක් යටය. 

බියේ වෙව්ලන කවිකාර ලොකු අය්යා සහ මම අනිත් ඇඳ යටය. 

අම්මලා තවමත් පෙළ පාලි කරුවන් සමග මුහුණට මුහුණ කතාවකය.

අම්මලා සමග වාද කරන පෙළපාලියේ මුල් හරිය එසේ තියෙද්දී මැද හරියෙන් අප දෙසට ගල් විසි කරන්නට විය. 

දැන් තව තවත් ගල් වරුසා  අපේ ඇඳන් වලට උඩින් වහලයට වදිනු ඇසේ.

චුටි පුතාට බියටම කකුල් දෙක දිගේ සීතල යමක් ගලා යනු දැනුනේ මේ වේලාවේය.

මරණ බිය කුමක් දැයි මට ප්‍රථම වතාවට දැනුනේ 1977 ජුලි 23  වෙනිදා ලොකු තාත්තලා ඇද යට දීය.

ඊට පසු තව දෙවතාවක් මම ඒ බිය අත් දැක ඇත්තෙමි. 

මේ මොහොතේ දෙවියන් වැනි මිනිසුන් තවමත්  අප  අතර සිටින බව පසක් කරන සිදුවීමක් සිද්ධ විය. 

අප සොයා ලොකු තාත්තලාගේ නිවසට පැමිණියේ ඩිංගිරි බන්ඩේ මාමා හෙවත් ජේන් අක්කගේ ලොකුඅය්යාය.
    
"ඉස්සෙල්ලම  කොල්ලෝ දෙන්නා බේරාගෙන ඉමු .  

ඔය වසවර්තියන්ට මේ කොල්ලෝ එහෙම අහුවුනොත් මොනවයින් මොනවා කරයිද දන්නෑ.

මම කෝකටත් මේ ළමයි දෙන්නෑ අපේ  ගෙදරට අරන් යනවා "

යැයි ලොකු තාත්තලා ගෙදර අයට පැවසු ඔහු  අසල පිහිටි ඔවුන්ගේ නිවසට අප දෙදෙනා කැඳවා ගෙන ගියේය. 

නුහුරු නුපුරුදු එහෙත් මිත්‍ර ශීලි නිවසකට ගිය අය්යත් මමත් පෙළ පාලි හඩට සවන් යොමා ගෙනම එහි  සිටි බව මට තාමත් මතකය.


රාජපක්‍ෂලාගේ කෙලින්වැඩ



එදා කිරිඔරුව  පැත්තෙන් කිසිම පෙලපාලියක් අප දෙසට ආවා දැයි මට මතකයක් නැත.  

කිරිඔරුව යනු රාජපක්‍ෂලාගේ  ගමයි.  අපේ අම්මාද රාජපක්ෂ කෙනෙකි.  කිරිඔරුවේ  හැමෝම වාගේ අම්මාගේ ලඟම නැදෑයින් වන්නේ ඒ හේතුව නිසාවෙනි.

සමහර රාජපක්ෂලා අද මෙන්ම එදත්   කපටි සැලසුම් සකස් කර අනිකකු ලවා ඒවා ක්‍රියාත්මක කලෝය. 

මල්වත්තේ තේ කඩයක් තුල අපට පහර දෙන්නට සැලසුම්  සකස් වුයේ ඒ අනුවය.

අපේ අය්යා පැහැර ගැනීමත් , මග රැක සිට අපේ තාත්තට ගුටි බැට දීමත් ඒ සැලසුම් අතර විය.  

එකල මේ  රාජපක්ෂලා ගමේ බලවතුන් වුහ. 

උදාහරණයක් ලෙස චමින්දලා මුත්තලා අපේ මුත්තලා  (මේ දෙන්නා එක කුස උපන් අය්යා මලෝ වෙති) ට බොහෝ දෙනෙක් ආමන්ත්‍රණය කලේ  "රදිගේ"  හෝ "බණ්ඩාර මහත්තයා"  යනුවෙනි.

එහෙත්  එවැනි එක ආමන්ත්‍රණයක් ඇසු කුඩා මට ඌරු ජුවල් ගිය දවසක් මතකයට නැගේ. 

මේ කියන දිනයේ  මල්වත්තේ බාබර්  සාප්පුවේ කොණ්ඩය කපන්නට ගොස් සිටියෙමි. 

අපේ වෙලාව එනතෙක් වාඩිවී සිටි මට   බාබර් උන්නැහේ යමෙකුට  රදිගේ කියා කියනවා ඇසුණි.

ඔහු එසේ කිවේ  තම රැවුල කපා ගන්නට එහි පැමිණ සිටි කොණ්ඩය බැඳී මුත්තා කෙනෙකුටය


ඒ ඉහළගෙදර මුගටි මුත්තාටය.

අපේ පරම හතුරන්ගෙන් එකෙකුටය.

ඇස්කින් වත්තේදී අපේ තාත්තාට ගහන්නට පැමිණ සිටි අය අතර  ප්‍රමුඛයෙක් වුයේ ඔහුගේ පුතා වූ මද්දුම බණ්ඩාර මාමාය  (වර්තමානයේ  බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙක් ) 

කේන්තියෙන් ගෙදර ආ    මම එදා හවසම  අපේ ටොකු  මුත්තාට මේ අවනඩුව කීවෙමි.

1977 න් පසු අපේ අම්මා වගේම තම පියා ගමින් පිට රැකියාව කරන අතර කුඩා දරුවන් තිදෙනෙක් රැක  බලා ගනිමින් සිටි චන්දනගේ අම්මා මගේ සිහියට නැගේ.  

ඇත්ත වශයෙන්ම  ඇයට චාමර මල්ලී ලැබී මේ වනවිට  ගතවී තිබුනේ මාස හතරක් පහක්  පමණි.

තමන්ගේ ස්වාමියාගේ මල්ලිලා  සැලසුම් හදද්දී  මේ  අලකලංචි ගැන කිසිදු හෝඩුවාවක්  දැනගන්නට  ඇයට හෝ ඇයගේ දරුවන්ට හේතුවක් තිබිය නොහැක. 

රාජපක්ෂලා කට්ටියක් වුවද චමින්දලා මේ වාට කිසිම ආකාරයකින් සම්බන්ධ යැයි මා කිසිදාක නොසිතුවේ මේ නිසාය.

 එකල මේ රාජපක්ෂලා හැර තවත් රාජපක්ෂලා කට්ටියක් කිරිඔරුවේ  සිටියහ.

හින්නි  මාමා,  අපේ අංජු මාමලා දයා  මාමා හෙවත් ගමරාළ මාමා වැනි රාජපක්ෂලා  චන්ද සටනේදී අපේ පැත්තේ සිටි අය වූහ.

චන්දයෙන් පසු අපේ ආරක්ෂාව වෙනුවෙන්ද මේ රාජපක්ෂලා පෙනී සිටියහ. 

වාසනාවකට හෝ අවාසනාවකට අපේ අම්මාගේ මෙන්ම තාත්තගේ නෑදෑයෝ එකා වන්ව අප වෙනුවෙන් නැගී සිටි ප්‍රථම සහ අවසාන දිනයද 1977 පශ්චාත් මැතිවරණ දිනය  විය යුතුය.
   
දින කීපයක ඇවෑමෙන්  අපේ ලොකු අය්යා සහ ලොකු අක්කා කිරිඔරුව  විද්‍යාලයෙන් අස්කර ගත් අම්මා ඔවුන් නමුණුකුලට රැගෙන ගියාය. 

 අනතුරුව ඒ දෙදෙනා  ප්‍රදේශයේ පාසැලකට යැව්වේ උග්‍ර UNP පාක්ෂිකයෙක් වූ නමුණුකුල බාප්පලාගේ නිවසේ ඔවුන් නතර කිරීමෙන් පසුවයි. 



7 comments:

  1. පුංචි කාලේ මගේ හිත microphone එකට ඇදිලා ගියේ තාත්තාගේ පන්සල් සල්පිල් වල ප්‍රතිපලයක් සහ ගෙදර ඉහල වත්තේ තිබුණු තුන් ඈ දුතු අලිපේර ගස් මන්ඩියේ අපි තියපු සංගීත සන්ධර්ශන වල පසු ප්‍රතිපලයක් හැටියට කියලය් මට හිතෙන්නේ.
    " ඔබ රාගී මන කැ ලඹේ දෝ ...... දෝංකාර සද්දේ කේෂන් වත්ත පැත්තෙන් එනකොට තාත්තාගේ කටහඬ ඊළඟට එන බව මට වයස හතක් අටක් වෙද්දී දැ නුනා . මම කන්ද පහලට දුවන්නේ විදිල්ල එතකොට . පහල පිහිල්ල ළඟදී විතර ල වු ඩ් speeker සහිත මය් නර් එක අල්ලාගත්තම මිල් ටන් මල්ලවාරච්චිගේ " උපුල් කොපුල් " හරි " පැ රදීලා පලා ගියේ නෑ ........වගේ සිංදු දෙකක් කියන්න අවසර ලැ බෙනවා අහල ගම් හත අටකට ඇහෙන්න .
    මං හිතන්නෙ දේශපාලන රැ ස් වී ම් වල කවි කියන්න මුල් වුනේ microphone එකට තිබුනු ආසාව තමය් .
    තාත්තා උදේ පාන්දර දලු අප්පුහාමි team එකට සමබන්ද වෙන්න යනවා . මම දන්නවා දේසපාලන මීටීම පටන් ගන්නේ දෙකට විතර කියල. මම හෙමින් සීරුවේ නිල්පාට කොට කලිසමය් තරමක් අලුත් කමිසයක් අරන් කුස්සියට ගිහින් හැමෝටම හොරෙන් ඒ දෙක එලියට වීසි කරනවා . ඉන්පස්සේ වටෙන් වටෙන් ඇවිත් අර දෙක ඇඳගෙන හෙමින් සීරුවේ ජේ න් අක්කලාගේ ගෙදර ළඟටම ගිහින් " අම්මා ....... මම තාත්තා බලන්න යනවා.......කියලා පස්සා නොබලා දුවනවා . අනිතමටම නතර වෙන්නේ දේසපාලන වේදිකාවේ.
    මෙහෙම ගිහින් සිරිමාවෝ ළඟ, විජය කුමරතුනග ළඟ , අනුර ලඟ ඉඳලා බටු ඇට දෙකක් වත් උස නැතුව ලොකු ලොකු හ ය් කාර කතා දාපු ප්‍රතිපල නිසා ගෙදරිනුත් යන්න උන. මේ මගේ වයස යාන්තම් 10ක් වෙද්දී .
    ඉලංදාරි කාලෙට වෙද්දී මේක දුර දිග ගිහිං ලංකාවේ අංක එකේ නිවේදකයා වෙලා ජනාදිපති සම්මාන අරන් පේරාදෙණි සරසවි බිමේ මගේ කාලයේ තිබුණු සකළ විධ සංදර්ශන වල නිවේදකයා වෙන්නත් තරුණ සේවා සංගීත කණ්ඩායම් වල එළිමහන් සංදර්ශන වල නිවේදන කටයුතු කරන්නත් පාර හැදුනා .
    පරණ කරපු පින් වල ටද කොහෙද මේ කිසිම දෙකින් මගේ හිතට කවදාවත් මාන්නයක් ආවේ නැහැ .

    ReplyDelete
  2. Dalu Appuhami need to be corrected to polos Appuhami:)

    ReplyDelete
  3. ඇත්ත... ඇත්ත .. මට මතක් වුනා... ඔබේ රාගී.. මන..කැලඹේදෝ... ඔය ටිකෙන් සමහරක් කරුණු... හැබැයි.. අපේ කෙට්ටු අප්පුහාමි.. පොලොස් තමයි.. දළු කියන්නේ හටරස් බෝතල් ආදී කන්නාඩි දාපු හාදයා.. මම හිතන්නේ....

    ReplyDelete
  4. හතරැස් බෝතල් ආදී කන්නාඩි දාපු UNP හාදයා තමයි දළු අප්පුහාමි...

    ReplyDelete
  5. අයියත් එකක් ලියුවනං නරකද

    ReplyDelete
  6. ඇත්තටම අපේ පළාතේ නම් ඔහොම සිද්ධි වුන බව මතක නැහැ.හැබැයි පසු කලෙක රාජ්‍ය අනුග්‍රහ සහිත මැරයෙක් නිසා මිනිස්සු ටිකක බයෙන් හිටි බව මතකයි. පොඩි ළමයෙක් ලෙස සැහෙන භිෂණයක් අත්විඳලා ඔබ

    ReplyDelete
    Replies
    1. ඒවායේ හැටි ඉතින් එහෙම තමයි.. චු යන්න තරම් ගල් ප්‍රහාර ආවා කිව්වහම..???

      Delete