Follow by Email

Sunday, 12 April 2015

ඇතිමලේ බාප්පා

බණ්ඩාරේ දුන් පණිවිඩය

එදා සෙනසුරාදා හෝ ඉරිදා දවසකි. අපි අලුතින් ලැබුණු සරු සාර ගෙවත්තේ (පොඩි බාප්පලා ඉඩමේ) වැඩ කරමින් සිටියෙමු. දිවා  ආහාරය පසුවී ටික වෙලාවක් වන්නට ඇත. අම්මා , මම, අක්කා ඇතුළු පිරිස ගෙට උඩහ තේ කෑල්ලේ උදළු ගෑම, පස් දැමීම වැනි යමක්  කරමින් සිටි වෙලාවයි.

හාත්පස මූසල ගතියක් තිබිනා දැයි මට හරියටම මතක නැත. එක් වරම මහ පාරේ බුරුස් මාමලා කඩේ පැත්තෙන් නොව කිරඹ ඔය ඉස්කෝලේ පැත්තෙන් ඇසුණු කට  හඬකි..

"විමලා නැන්දා... විමලා නැන්දා... "

මගේ සම වයසේම වූ කිරඹ ඔය ආතලාගේ ගෙදරදී මට නිතර හමුවන යහළුවෙකු වූ හෙළ ගෙදර බණ්ඩාරේ ගේ හඬයි ඒ..

අම්මා ඇයි පුතා කියා අසන්නටත් පෙරම

" ඇතිමලේ මාමා මලා කියලා කියන්න කිව්වා"

යැයි බණ්ඩාරේ එක හුස්මට කියාගෙන ගියේය.


අම්මාට සිහි නැති වුවා දැයි මට නිච්චියක් නැත. එහෙත් ඇය සිහි විකල් වූ පරිදි බණ්ඩාරේ පනිවිඩ කරු ලෙස එවූ අපේ ආත්තම්මලාට දොස් කියූ අයුරු නම් මට මතකය.

එදා හෙළ ගෙදර බණ්ඩාරේ රැගෙන ආවේ  අපේ පවුලේ කිරඹ ඔය පැත්තේ හිටපු හොඳම නෑදෑයා  වූ ඇතිමලේ  බාප්පා අකල් මරණයකට ගොදුරු වූ සෝචනීය පුවතයි.

කවුද මේ ඇතිමලේ බාප්පා ?


ඒ වන විටත් අප ජිවත් වූ  පැරණි නිවසට   (අපේ පොඩි බාප්පා ගෙන් අලුතින් අපට ලැබුණු  සශ්‍රික නිවසට)  අලුත්  අංගයක් එකතු වී තිබුණි.

ඒ කිකිළියන් දෙදෙනෙක් සහ පැටවුන් ගනනාවකින් යුත් කුකුල් කුඩුවයි.

මෙහි සිටි වයසකම කිකිළිය සහ පැටවුන් දෙදෙනෙකු මුලින්ම අපට තෑගි දුන්නේ ඇතිමලේ බාප්පා විසිනි.


ඔහු ගැන වචන කිහිපයක් මෙහි නොලියාම බැරි යැයි මට සිතුනේ බාප්පා සිටියානම් යැයි අදටත් සිතෙන වාර ගනන අනන්ත අප්‍රමාණ වන බැවිනි.

බාප්පා ඇතිමලේ ප්‍රදේශයේ ඇති මානන් පතන කනිෂ්ට විද්‍යාලයේ විදුහල් පති වරයා විය.

වනසිංහ මුදියන්සේලාගේ  ජනදාස යන මුල් නම ඔහුට තිබුනද  ඔහු පා විච්චි  කලේ  ඇම්. ජනදාස කියාය.   ඇම්. ජනදාස  යනු  මානං පතනේ ජනදාස යන නම කෙටිකර ලිවීමකි.

අපි ඒ කාලේ බාප්පට ලියුම් යවන්නේ "  ඇම්. ජනදාස  , මො/ මානන්පතන කනිෂ්ට විද්‍යාලය. ඇතිමලේ " යන ලිපිනයටයි.

ඒ අපේ මාසික වාර ප්‍රවේශ පත්‍ර ගැනීමට හෝ පොත් පත් ගැනීමට හෝ මුදල්අ ඩුපාඩුවක්  ඇති බව බාප්පට දැන්වීමටයි.

බාප්පා ඇතිමලේ ඉපදුනු කෙනෙකු නොවේ.

ඔහු  තම ප්‍රථම රැකියාව සඳහා කැලෑබද ප්‍රදේශයක් වූ ඇතිමලේ පැත්තේ ගුරු සේවයට  ගොස්  විශාල කැලෑවක් එළිකර එහි පදිංචි වූ පුද්ගලයෙකි.

ඇතිමලේ බාප්පා විවාහ වී සිටියේ අපේ අම්මාගේ තුන්වැනි නංගි සමගය.

හැත්තෑ ගණන්ඒ වල ජිවත් වූ ප්‍රගතිශිලියෙකු වූ ඔහු ඒ  කාලේ  අපේ තාත්තාට කතා කලේ "සහෝදරයා" යන නාමයෙනි.

මට මතක හැටියට අපේ පල්ලැහැ ගෙදර ජේන් අක්කගේ මහත්තයා  වන සිරිසේන මාමා තාත්තාට කීවේද සහෝදරයා කියලයි.

සිරිසේන මාමා හා අපේ තාත්තාගේ සහෝදරත්වය කෙසේ වුවත් ඇතිමලේ බාප්පානම් නියම සහෝදරයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කල අයෙක්  විය.

එහෙත්  අප සැමගේ නරක වෙලාවට  ඇම්. ජනදාස අපට අකාලයේ අහිමි වී ගියේය.

ගුරුවරයෙකු වූ බාප්පා ඒ කාලේ  ඉස්කෝලේ ඇරී ගෙදර ආ විගසම යන්නේ ඔහු කැලය එළිකර අලුතින් අස්වද්දන කුඹුර වෙතටයි.

හවස දෙක තුනේ සිට රෑ කළුවර වැටෙන තෙක් එක සීරුවට වැඩ කරන ඔහු අක්කර ගණනාවක් වූ ඉඩමේ එක පැත්තක කුඹුරක් ද  අනෙක් පැත්තේ දෙහි, දොඩම් , පොල් ,අන්නාසි , දේශ අල  ආදියෙන් පිරී ගොඩ වගාවක්ද පවත්වාගෙන ගියේය.

 දිනපතා කැලය එළිකරමින් .. වතුර බන්ට් හදමින් කුඹුරේ වපසරිය වැඩි කල ඔහු  වැඩිපුරම කාලය ගත කලේ කුඹුරේ හෝ වත්තේ මිස ගේ ඇතුලේ නොවේ.

අද අප දකින ගොවිතැන් සහ රජයේ රැකියා යන දෙකම කරන සමහරක්  අය මෙන් නොවූ අපේ බාප්පා ගම්  හත අටකට කට කන්න දෙන්න තරම් වැඩ කලා කිව්වා නම් නිවැරදිය.

අරලගංවිල භූතයෝ

 බාප්පා  ඉතාම කඩිසර මිනිසකු වූ අතර ඔහුට අලසකම පෙන්නන්න බැරි විය.

එවැනි අලස අය හඳුන් වන්නට ඔහු යොදා ගත්  වචනය වුයේ "භූතයා" යන්නයි.

කම්මැලියන් පෙන්නන්නට බැරි ඔහු කිරඹ ඔයේ අපේ පවුලේ හැමෝටම කිවේ  "කිරඹඔයේ භූතයෝ " කියලයි.

ඔහුගේ  තුන්මාසේ දානයට ඇතිමලේට යන තෙක්ම ඔහුගේ වැඩ දැක නැති මා .. ( ඇත්ත වශයෙන් ඔහු සමග වැඩකර  නැති මා) ඔහුගෙන් මේ ආමන්ත්‍රණය කෙදිනක වත් ලබා නැත.

මෙය හොඳින්ම දැන සිටියේ  ... 77න් පසු නිතර දෙවේලේ ඇතිමලේ ගිය අපේ අය්යාත්... ඇතිමලේ නැවතී බාප්පාගේ කෘෂි  කර්මාන්තයට ගොඩක්   උදවු කල රාජු මාමත් ය.

එසේ අපිට බනින ඔහු සති අන්තයක අප බලන්නට අපේ ගමටආවොත් එන්නේ හැම ගෙදරටම හාල් කිලෝ 10-15ක මල්ලක්. පොල්, ඉරිඟු, කෙසෙල්, දෙහි දොඩම් ආදී සකලමනාවම  ඉහින් කටින් දාඩිය දා ගෙන ඔසවා ගෙනයි.

අප ගමේ ටික දිනක් ගතකර ආපසු යන ඔහු අපෙන් සමු ගන්නේ සීසන් ටිකට් එකට මේක තියා ගනින් යනුවෙන් රුපියල් 5ක්-10ක් අප අත  තැබීමෙන් පසුවය.

බාප්පාට භූතයා යන අන්වර්ථ නාමය පාවිච්චි කල අපේ අය්යාත් රාජු මාමත් කිවේ

 " මෙහෙම භූතයෝ නම් හැමදාමආවත් මොකද?  " කියලයි.

මා ඇතිමලේ නොයන්නට හේතුව මා දෑන ගත්තේ බාප්පා මිය ගිය පසු අම්මා කියූ කතාවකිනි.

 "චුටි පුතා ඔය ඇතිමලේ අය්යා  උඹව හදා ගන්න ඉල්ලුවනේ ...

පේනවා නේද අර මනුස්සයා නැතිවුනාට පස්සේ කෙල්ලොන්ට යන කල දසාව ..

හොඳ වෙලාවට මන් පොඩි එක දුන්නේ නැත්තේ .....

ඇතිමලේ අය්යා මෙහේ අවොත් මට කියන්නේ ...

"චුටි පුතා මට දීපන් විමලා නංගියේ....මම උඹලට කොල්ලව  හොඳට හදලා දෙන්නම්"

 කියලමනේ..."

බාප්පා ගේ මරණයෙන් පසු දිනක ඇතිවූ මේ කතා බහ අවසානයේ  මා දෙසට හැරුණු අම්මා කිව්වේ ...

"ඔන්න දැක්කද  ඒ  කාලේ උඹ එහේ ගියා නම් දැන් ඉතින් උඳු කුඩු තමයි"..... යනුවෙනි.

අපේ ගමේ තවත් නාට්‍යයක්


සැඟවුණු දය්ව්‍ය  අති සාර්ථකව නිම වීමෙන් පසු ටික කලක ගෙවී ගිය තැන ප්‍රදේශයේ තරුණ කැල තවත් නාට්‍යයකට අත ගැසුහ.

මෙහි තිබු ප්‍රධාන වෙනස් කම් වුයේ තිර රචකයා සිරිමල්වත්තේ විමලේ අය්යා වීමත් .. ප්‍රධාන භූමිකා වල  රඟ පෑ තරුණයින්  හේරත් අය්යලා කුමාර අය්යාලට වඩා අවුරුදු අටකින් දහයකින් වැඩි මහල් අය වීමත්ය.

නාට්‍යයේ නම " දියවන්නා ශෝකය හා නයනා " විය.

ප්‍රධාන නළුවා දැනට අරලගංවිල නගරයෙන් භාගයක්ම හිමි ලොකු මුදදලි කෙනෙකු වූ.. එකල ගෝනියක් කරේ ගෙන අපේ පැති වල සිය පියා සමග එළවලු එකතු කල. වෙනුර හෙවත් විජේසේකර අය්යාය.

වෙනුර අය්යා කතාවේ පෙම්වතා වූ නයනානන්ද කුමාරයා විය.   පෙම්වතිය වුයේ නයනා කුමරියයි.

කතාවේ දුෂ්ටයා ගේ චරිතය ලෙස තිබුණේ මේ දෙදෙනාගේ ප්‍රේමයට අකුල් හෙලමින් වැඩ කල තවත් රජ කුමරකුගේ චරිතයයි.

කතාව අවසන් වන්නේ  ඒ  දුෂ්ට කුමාරයා කඩු පාරකින් මරණයට පත් වීමත් සමගය.

එය පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කල කාලයට සම්බන්ධ රජ කතාවකි.

 "නයනානන්ද කුමරුවනේ .... නයනා කුමරියනේ.. මට සමා වෙන්න" යනුවෙන් තමාගේ අවසන් හුස්ම පොද වා තලයට යොමු කරමින් අන්තිම දෙබස් ටික පැවසුයේ  කථාවේ දුෂ්ටයා වූ සුවඳේ අය්යා විසිනි.

නාට්‍යයේ  එන විනෝද ජනක අවස්ථාවක එන ගීත කණ්ඩයක් තවමත් මා සවනේ රැව් පිළිරැව් දෙයි.. මී වදයකි ජිවිතේ ... යන ගීතයේ තනුවට ගැයුණු මෙය...

" ගෝවේ පෘතුගීසියෝ .... ලක් වැසියාගේ මාරයෝ... අල්ලා ගන්නට මේ පොඩි සරු රට කෙළ ගිල ගිල ආවෝ"

යනුවෙන් ගයමින් නැටුවේ පෘතුගීසි කාරයන් ලෙස හැඳ ගත් පැහැපත් සමකින් යුත් තරුණයින් හතර දෙනෙකු විසිනි.

ඔවුන් ගෙන් එක් අයෙක් අසල තිබු ආණ්ඩුවේ වත්තේ නිල නිවසක සිටි අයෙක් බව මගේ මතකය කියයි. මේ අය අතර  මැලේ ජාතිකයින් හෙවත් ජා කොල්ලෝ දෙදෙනෙක්ද වූහ.


"දියවන්නා ශෝකය හා  නයනා"  නාට්‍යය  රඟ දැක්වුයේ කිරඹ ඔය විද්‍යාලයේ නොවේ.

 එය රංග දැක්වුයේ තව කිලෝමීටර තුන් කාලක් පමණ සිරිමල් වත්ත පැත්තට වෙන්නට තිබු පළාතේ දෙමළ විද්‍යාලයේය.



ඇතිමලේ බාප්පාගේ මරණින් පසු


ඇතිමලේ භූතයා මා පොඩි භූතයෙකු කරන්නට උත්සාහ කර තිබුණු හේතුව පැහැදිලි වුයේ ඔහුගේ මරණින් පසුවය.

 අපේ තාත්තා මරණයේ සියලු වැඩ කරට ගෙන කලා මතකය.  ඇතිමලේ බාප්පාගේ ළමයින්ගේ ඉදිරි අධ්‍යාපනය තමන්ගේ වගකීමක් ලෙස සලකා වැඩ කරන්නට ඔහු තීරණය කරන්නට ඇත.

 හත්ද වසේ දානයෙන් පසු අපේ තාත්තා අරල්ගන්විලට  ආවේ තවත් කෙල්ලෝ දෙදෙනෙක්  එකතු කරගෙනය.

සිවු දෙනෙක් සිටි අපේ පවුලට  තවත් සාමාජිකාවන් දෙදෙනෙක් එකතුවුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ලොකුම නංගි අපේ ලොකු නංගිගේ වයසේ වූ අතර දෙවැනියා  මට වඩා අවුරුදු 5 කින් බාල අයෙකි.

දෙවැනි  පසු කලෙක මගේ " බ්‍රෝකර්" ලෙසද කටයුතු කලාය.

ඒ ඇයත්  පසුකලෙක  මගේ හිතවතිය වූ ජයන්ගනිත්  එකම පාසැලේ එකම පන්තියේ සිටි සිසුවියන් වූ බැවිණි.

 පොඩිම නංගි ඉපදීමම බාප්පාට අපලයක් වූ බව අම්මලා කිවේ ඇය ඉපදී මාස කීපයකින් බාප්පා අප හැර ගිය නිසාවෙනි.

අත දරුවෙකු වූ ඇය ඇතිමලේ පුංචි ලඟම රඳවා එන්නට තීරණය කර ගෙන තිබුණි.

ඒ කාලේ හයේ හතේ පංතිවල සිටි මම ඇතිමලේ බාප්පා මෙන්ම කඩිසර අයෙකි.

පාසල් ඇරී නිවසට ආ  වෙලාවේ සිටම වත්තේ එලවලු වගාවට සාත්තු කිරීමත් දවස අවසානයේ ලිඳෙන් වතුර ඇද වගාවට දැමීමත් මගේ රාජකාරියයි.

මා දවසේ වැඩ නිමාකරන විට බොහෝ විට රෑ හතහමාර හෝ අට වන බව මාගේ මතකයයි.

පල්ලැහැ බාප්පලා වත්තත්  විමලේ ලොකු තාත්තලා වත්තත් බෙදෙන තැන තිබු  ලිඳෙන් වතුර ටිකක් නා ගන්නේ මෙන්න මේ වෙලාවටයි.

 ඇතිමලේ බාප්පා සමග  ජීවිතේට එකට වැඩ කර  නැතත්  ඇතිමලේ නංගිලා තුන් දෙනා අපේ ගෙදර ආපු ගමන්ම ඔවුන්ව හසුරුවන වැඩේ භාරගන්නට තීරණය කලෙමි


වත්තේ පහල ලස්සනට පේලි දමා  කූර කොළ  පාත්ති 2 ක් හැදු මම  ඒවායේ  වල් ගලවන්නට  අකමැත්තෙන් වුවත් එහි ආ ඇතිමලේ දෙවැනි ව යොදවා ගත්තෙමි.

දෙවැනි මෙන් නොව ලොක්කි එතරම් වගාවට උනන්දුවක් දැක්වුයේ නැත.

ලොක්කි හිටපු ගමන් "ඔන්න තාත්තගේ ගඳ එනවා " කියමින් රාත්‍රියට අප බය කළා මිසක් තාත්තා ගිය පාරේ යන්නට උනන්දු වුයේ නැත.

මෙසේ මගේ වගා වැඩ වලට ඇතිමලේ නංගිලා යොදවා ගනිමින්  සිටිනා අතර ඇතිමලේ බාප්පා ගේ තුන්මාසේ දානය ළඟ බව අම්මා මා සමග පැවසුවාය.

බාප්පා මිය යන තෙක්  මා ඇතිමලේ රැගෙන නොගිය අපේ  අම්මා  මා තුන් මාසේ දානෙට ඇතිමලේ රැගෙන යන බවද සඳහන් කළාය.

තුන් මාසේ දානෙට ඇතිමලේ ගිය මා  දුටු දෙයින් විශ්මයට පත්වූයෙමි.

බලන බලන අත  දෙහි , දොඩම්, පැපොල්, කෙසෙල්, කොහිල පොල් ආදී වගාවන්ගෙන් පිරී ඉතිරී ගිය ඉඩමකි.

ගොඩ ඉඩමේ කෙළවරටම ගිය මට දක්නට ලැබුනේ  එක යායට  අස්වද්දා තිබු ඇතිමලේ බාප්පාගේ  කුඹුරු යායයි .

ඇතිමලේ වත්තේ ඔබ මොබ ඇවිදිමින්  අපරිමිත සතුටක් වින්දෙමි.  බාප්පා නෑ නේදෝ  කියා ඇතිවූ දුකකට වඩා ඔහුගේ මහන්සියේ ප්‍රතිඵල දුටු මා සිතට ඇතිවුයේ බලවත් සතුටකි.

 අක්කර ගණනාවක් විශාල ගොඩ ඉඩමත්  බාප්පා තම අකල් මරණය තෙක්ම අලුතින් කොටස් එකතු කරමින් අස්වද්දමින් තිබු කුඹුරු යායත් දුටු විට මට සිතුනේ ..

"දෙවැනි නංගිට  බැන බැන වල් ගලවවව්වේ මා සිත තුලට හදිසියේ ඇතුළුවූ ඇතිමලේ බාප්පාගේ භූත ආත්මය වත්දෝ"..... යන්නයි.

මුත්තාගෙන් මුණුබුරාට


ඇතිමලේ නංගිලා අපේ ගෙදරට පැමිණිම හොඳ දෙයක් ලෙස පෙනුනේ මට පමණක් විය.

මා මෙන් නොව බාප්පාගේ භූත ආමන්ත්‍රණයෙන් කිරඹ ඔයේ පුංචි මාමා හොඳට බැට කෑ හැටි දැක  තිබු අපේ අය්යත් අක්කත් භූත කතාව ඔවුන්ගේ  සිතේ හොඳින්රැදුණු බව මොනවට පෙන්නුම් කළහ.

අය්යලා සෙල්ලම් කරද්දී අලුත් සින්දුවක් කියන්නට පටන් ගත්හ.

" ඇතිමලේ භූත පැටව්... අරලගන්විලයන්ගේ  මාරයෝ... අල්ලා ගන්නට මේ පොඩි සරු බිම .... කෙල ගිල ගිල ආවෝ.....

යන්න ඒ  ගීතයයි.

මේ ගීතයත් සුවඳේ අය්යලා  දෙමළ ඉස්කෝලේ රඟ දැක්වූ දියවන්නා ශෝකය නාට්‍යයේ   ගීතය මෙන් ගැයුනේ .

සි. ටි  ප්‍රනාන්දු ගේ  "මි වදයකි ජිවිතේ "  ගීතයේ  තාලයටමය...


4 comments:

  1. බාප්පා හරිම සුන්දර මනුස්සයෙක් තමා . ඒ වගේම තමා ලොකු පුංචී. ඉස්සර මම හෙම ඉස්කෝලේ නිවා ඩුව කටම වගේ ඇතිමොලේ යනවා . මට මතක විදියට බාප්පා මට නම් කවදාවත්ම බූතයා කියල ආමන්ත්‍රණය කලේ නැ හැ -මට ඔලොක්කුවට කිව්ව නම " අපේ සයන්ස් කාරයා " කියලය් .
    O /L වලින් පස්සේ මම මාස හතක් විතරම ඇතිමොලේ හිටියා . බාප්පා උදේ පාන්දර ඉස්කෝලේ යන්න ඉස්සෙල්ල ( පාන්දර 3 ට 4 ට විතර ) ඔය කියන ඉඩම අස්ස්දන්න යනවා . මට ඇහෙරෙන්නෙ 6 ට විතර . පුංචීත් කවදාවත්ම බලෙන් මාව ඇහෙරවපු වගක් වත් මට මතක නැහැ . මේ කාලයේ බාලම නංගි ඉපදුනා විතරය් වාගේ . පුංචි රෝස මලක් වගේ හිටි නංගි ලෙඩ වෙනවා නිතරම . නිතරම ඇතිමොලේ DMO ගෙදරටම ගිහින් බේත් ගේනවා සහ පුනචීත් බාප්පත් දෙන්නාම ඒවා පොවනවත් මට මේක කියවද්දී මතක් උනා .

    කුබුරට තේ අරක් යන්න තිබුණේ ලස්සන ගණ වනාන්තරයක් මැද්දෙන් . මේ වනාන්තරයට තමා මම වඩාත් ආ සවෙන් උන්නේ . මංජිරෝ කියලා radio වේ ගිය කතාවක ගණ වනාන්තරය වාගේ තමා මට දැ නුනෙ .
    මම බාප්පත් එක්ක තේ බොන ගමන් මෙහෙම ඇහුවා දවසක්.
    " බාප්පා හරියට මහන්සි වෙනවා අපේ තාතතලට වඩා . ඇය් මේ තරම් මහන්සි වෙන්නේ .
    " ලො කු පුතා සමන්ත . මට ඉන්නේ කෙල්ලෝ තුන්දෙනෙක් . නාමේ අය්යාට කොලලෝ දෙන්නෙක්ම ඉන්නවා . උඹ සයන්ස් කාරයා උනත් අනිත් එකා හරි අය්යා වයසට යනකොට මේ වගේ වැඩ තිබුනොත් කරය් .මට එහෙමවත් හිතන්න බැ හැ . ඒ නීසා මට හය් ය තියෙන කාලේ බර වැ ඩ ටික සේරම ඉවර කරලා තියන්න ඕනේ ....


    වෙලාව හොයගත්තොත් තව මතක සටහන් ටිකක් පස්සේ ලියන්නම් මෙතනම .

    ReplyDelete
  2. ඔවු බාප්පා භූතයෝ කිව්වේ කිරඹ ඔයේ කට්ටියට විතරයි. මල්දෙනියේ අපිට එහෙම කිව්වේ නෑ
    සහතික ඇත්ත බාප්පා හරිම සුන්දර මනුස්සයෙක් තමයි.
    මමත් මුලින්ම අතිමොලේ ගිය දවසේ (තුන් මාසේ දානේ දවසේ) මමත් දිය කඳවුරෙන් එකන් වී ඔය අස්වද්දමින් තිබු කුඹුර පැත්තට ගියා. මට අදහා ගන්නා බැරි වුනා මගේ ඇස් ඉදිරිපිට දිස්වූ මනස්කාන්ත දර්ශනය...

    ReplyDelete
  3. ඇතිමලේ කියන නම හැදුන විදිහ දන්නවාද ?
    (යකෝ මේක මේ අපේ එකෙක් ලියන බෝගක් නේ ....)

    ReplyDelete
    Replies
    1. දුටු ගැමුණු රජ තුමා තමන්ගේ මල්ලී වෙල්ලස්සට යැව්වලු කුඹුරු අස්වද්දන්න... සද්ධාතිස්ස කුමාරයා දිගින් දිගටම වෙල් යායවල් අස්වද්දන්නවා දැකලා "ඇතිමලේ" කියලා කියපු තැනලු...

      Delete