Follow by Email

Friday, 10 April 2015

අපි පළමු වරට පාසලෙන් පැන්න දිනය

අපි ඉස්කෝලෙන් පැන්න හැටි.....


එදා සතියේ මුල් හරියේ දිනයකි. කනිෂ්ඨ විද්‍යාලයේ පහේ පන්තිය කිණිගම පාරට අසන්නයේ උඩ බාගය දැලින් කල ගොඩනැගිල්ලේ පැවැත්වුණ කාලයයි. 

මම දැන් පහ නෙළුම් එකේ කොල්ලෙකි. 

මගේ එවකට  කල්‍යාණ මිත්‍ර චමින්ද පහ රෝස පන්තියේ සිටියි.

අපි උදේට ඉස්කෝලේ යන්නේ හැමදාමත් පරක්කු වී පාසැල ලඟට යන මකුළ්  ඇල්ල බස් එකෙනි. 

බසයේ රියැදුරා අපේ පාසැල් දෙකේම ශිෂ්‍යයන් මෙන්ම බසයෙන් පාසල් ආ ගුරුවරියන්ද අකමැති තට්ටය සහිත  කෙනෙකි.

ඔහු අපිට පස්සට යන්න යැයි බනින අතර පාසැලේ ගුරුවරියන් පවා ඉඳිද්දී අමු කුණු හරුපයෙන් සමහර ශිෂ්‍යයන්ට බනින අවස්ථා එමටය. 

 නගරයේ බසය පරක්කු කරමින් සිටි තවත් එක් දිනකදී මෙලෙස සිදුවිය. 

අපේ බසයේ වීරයෙකු වූ නන්දපාල අය්යා  "හිටපන් හොඳ වැඩක් කරන්න" කියමින්  සටනට එක් වුවේය.  

බසයේ බෙල් එක දිගටම නාද වන්නට විය. නන්දපාල අය්යාගේ විරෝධය ප්‍රේමේ ට එල්ල කළේ එලෙසයි. 


එක් වරම ආවේශ වූ තට්ට ප්‍රේමේ.." බෙල් එක ගහපු එකාට තියෙන්නේ.. තාත්තා ගස් බැදලා ...." ආදී වශයෙන්  අමු කුණුහරුප වරුෂාවක් මුදා හල හැටි තාමත් මා මතකයේ රැඳී පවතී.

පස්ස පැත්තට එන්නතක්.


අපි කෙසේ හෝ පාසැලට පැමිණ විනාඩි කිහිපයක් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට ඉඩ ලැබුණු දිනයකි. එදා රියදුරා ප්‍රේමේ නොවෙන්නට ඉඩ තිබුණි. 

එහෙන් මෙහෙන් කොල්ලන් අතර අද  දිනය ගැන කසු කුසුවක් ඇසේ. මේ අතර චමින්දයා මාව සොයාගෙන කදී මුඩියෙන් දිව එයි..

"මචං  කිටීයෝ.... මාර වැඩේනේ බන්..උඹ දන්නවද ? අද අපිට ඉන්ජෙක්ෂන් එකක් ගහනවලු......"  ඉතින්... උඹ බයද?"  මෙයට කලින් අපේ ගෙදර ඔක්කොටම වාගේ රජයේ රෝහලින් Penicllin විද තිබු බව දත් මම නිර්භය වීමි. 

හැබැයි මටත් දැන් දැන් ඉස්පිරිතාලේ ගොජ ගොජ ගා තම්බෙමින් තිබු ඉන්ජෙක්ෂන්  කටු මතක් වෙයි. එදා  අන්තර් පේශි එන්නත ලැබෙන කොට ඇඩු හැටි සිහියට නැගුනේ නිතැතින්මය.

"යකෝ උඹ නම් කියයි... පස්ස පැත්තටලු  ඩො ගහන්නේ.. මටනම් බෑ... මම යනවා ගෙදර යන්න ...උඹත් එනවා නම් වරෙන්..." චමින්ද හොඳටම කලබල වී කියයි.....  අපි ප්‍රථම වතාවට පාසැලින්පැන යාමට තීරණය කළෙමු. 

චමින්ද හා මා මෙන්ම බජව් කල්ලියේ ලොක්කා, දඹේතැන්න වත්තේ "වත්තේ  මහත්තයකූ" ගේ පුත්වූ ප්‍රියංකද පාසෙලෙන් පැන්න අය අතර විය. 

ප්‍රියංකයා අපෙන් වෙන් වූ පසු කෙසේ ගෙදර ගියාදැයි මට මතක නැත.

හැබැයි අපි දෙන්නා කල කීදේ අකුරක් නෑර මතකය.

බය්සිකලේ බය්සිකලේ දුප්පත් අපගේ බය්සිකලේ .


චමින්දත් මමත් නගරය හරහා විත් ඇටම්පිටිය පාර දිගේ අපේ ගෙවල් බලා පයින්ම ගමන ඇරඹුයේ හවස පාසැල් ඇරෙන වෙලාව වෙද්දී නිවෙස් බලා එන අටියෙනි.. අපි ice creem කන "කිරිස්ටීස්" එක පහු කර කුඩා අප  " වෙලාව කීයද ?"කියලා විහිලුවට අහන්න පුරුදු වී සිටි  චීන දත් බඳින ස්ථානයද පසු කරත්ත්දී අප සමග අසන්කද විය.

ඉන්පසු නගරය මැදින් ගමන් කර...ඉදිරියටම යන චමින්දත් මමත් දැන් ඇටම්පිටිය පාරේ මහවන්ගුවට අසන්න වෙමින් සිටිමු... නගරය දෙස  සිට වේගයෙන් පුෂ් බයිසිකලයක් එනු පෙනේ.. එය අප පසු කරත්ම කට කාරයෙකු වූ චමින්ද " අය්යා අපි දෙන්නවත් ගෙන යන්නකෝ " යැයි කෑ ගැසුවේය. සරමක් කමිසයක් ඇද සිටි අපි නොදන්නා මේ අය්යා  අපට බයිසිකලය නවත්තුවේය. 

 " හා හා මල්ලිලා නගින්න.. කොහාටද යන්නේ.." අසමින් අය්යා අපව වහනයට දා ගත්තේය.  චන්දන luggage එකෙත් මම ඉස්සරහ බාර් එකෙත් වාඩි වූ පසු අය්යා නැවත ගමන ඇරඹීය.

දැන් බයිසිකලය වේගයෙන් නගරයේ සිට    අපේ ගම දෙසට ඇති පල්ලම බසී.. බාර් එක උඩ ඉන්න මවත් සට සට ගා ගැස්සේ... අය්යා එක පාරම මගෙන්" මල්ලී මොනවද කරන්නේ.... මම බලනවා ඇයි මේ බයිසිකලේ වේගේ අඩුවෙන්නේ කියලා .. "යැයි ඇසුවේ . දෙතුන් වතාවක් බයිසිකලය ගැස්සී ගැස්සී නවතින්නට බැලු බව ඔහුට තේරුනාට පසුව විය යුතුය.. මම බයටම ඉස්සරහ බ්‍රේක් එක ම්රිකූ බව ඔහුට තේරී ඇති සෙයකි...

මේ අය්යා එතරම් කළු නොවුනාට අපේ ගමේ දත් උල් දිසානායකට වගේ එකක් නොව උල් දත් දෙකක් ම තිබු අයෙකි..චමින්ද  ඒ වන විට ඔහු දැන සිටියාදැයි මම නොදනිමි නමුත් තවමත් ඒ අය්යා කොන්තේ හෙළ පැත්තේ ඉන්න බව මම දැන් දනිමි.

මල්වත්තටම යනවා කියා බයිසිකලයට ගොඩවූ අපි. පල්ලම ඉවර වී කන්ද පටන් ගන්නවත් සමගම අමුණුදෝව සමුපකාරය ලඟදි දත් උල් අය්යාගෙන් සමුගත්තෙමු..

 චමින්දත් මමත් තවත් කිලෝමීටර එක හමාරක් පමණ බය්සිකලය තල්ලු කිරීමේ රාජකාරියෙන් ගැලවී ගිය බව ඔහුට තේරුම් යන්නට නැති බව මගේ හැඟීමයි.....

දවල් කෑම තේ ගහක් යටදී..


දැන් අපි දෙන්නා  අමුණුදෝව තාර පාරෙන් මෑත් වී කිරවනා බිස්ස හරහා අපේ ගම දෙසට එන්නට පටන් ගත්තෙමු.. එක පැත්තකින් තේ වත්තත් අනෙක් පැත්තෙන්  අමුණුදෝව පන්සලත් තියෙන හරියේ අපේ පළමු විඩා නිවන තැනයි..

චමින්දගේ කෑම පෙට්ටිය එලිට ගත් ඔහු .". මචං අපි මේක දැන් කාලා උඹේ කෑම එක ඊළඟට කමු" යැයි යෝජනා කළේය.  

තේ ගසක් යට වාඩිවූ අපි චමින්දලා බාප්පලා කඩේ විකුනන්න තියන වඩේ සහ ආප්ප වලින් සමන්විත වූ..ඔහුගේ දහවල් කෑම පංගුව එලියට ගත්තෙමු... 

මම දැන් හැමදාම වුවත් ඉස්කෝලෙන් පනින්න තරම් ආශාවකින් පෙළෙන්නෙකු වුයෙමි....ඒ වඩේ සහ ආප්ප දැකීමෙන් පසුවය... ටික වෙලාවකින් නැවත ගමන් ඇරඹු අපි චන්දන ලා ගෙවල් ලඟට කිට්ටු වෙද්දී නැවතත් තේ වත්තේ ඇඳි ගත්තේ මගේ බත් පෙට්ටියට වග කියන්නටය.

තාත්තා ගෙදර ඉන්න කාලයේ දිනපතාම පාන් ගෙඩි දෙකක් නිවසට පැමිණියද දැන් තාත්තා කොළඹ පළාත් පාලනයේ වැඩ කරන කාලයයි..  දැන් අපේ තාත්තාගේ සහ එම නිසා අපේ දුෂ්කර ක්‍රියා කාලය එළඹී ඇත.. මම පොලොස් හෝ දළු අප්පුහමිලට දොස් නොනගමි...මේ දිනවල තාත්තා  නිවසට එන්නේ මාසෙකට වරක් හෝ දෙවරක් පමණි..

මේ හේතුව නිසා මට අම්ම දවල්ට හැමදාම දෙන්නේ රතුපාට බත් පෙට්ටියට දැමු බත් එකට ලුණු මිරිස් හෝ වෙන එළවළුවක් දමා සකස් කල ආහාරයකි.. ඒ මම ඉතා උනන්දුවෙන් පහේ සිස්‍යත්වට පෙනී සිට්මට සුදානම් වන නිසයි. 

චමින්ද  සිස්‍යත්වයෙන් සමත් වුවාදැයි මට මතක නැත... මා හිතන්නේ.. ඔහු සමත් වුයේ පළමු කොටසින් පමණි. මාත්, වන්නි,  ගැට්ටා, HP, චන්දිම නාමරත්න සහ තවත් එක් අයෙක් කොටස් දෙකෙන්ම සමත් වූ බව මට මතකය.


අපේ ගමන නිම වීමට ඇත්තේ තව ටික වේලාවකි.. අප එකිනාගෙන් සමුගෙන නිවෙස් බලා ළඟ වනවිට වෙනාදා එන වෙලාවම වන්න ඇත..

මම හීන්සීරුවේ දිනය අමතක කර ගෙදර සිටියේ... හෙටක් උදා නොවන ගානටය..

4 comments:

  1. එව්වත් කරල එහෙනං

    ReplyDelete
  2. නැතුව.... නැතුව... මේ චමින්දත් දැන් ඉන්නේ අපි ඉන්න රටේ මයි... චමින්ද තමයි අපි අර හදවපු පළමුවෙනි ගෙදරට ඉඩම පරිත්‍යාග කලේ..

    ReplyDelete
  3. අපේ අක්කයි අය්යයි ඔය කොටස් දෙකේ ශිෂ්‍යත්වේ කලේ. මම කරන කාලේ එක කොටසයි. රසබර මතක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... කොටස් දෙකේ සිශ්‍යත්වේ අපෙන් අවුරුද්දකට දෙකකට පස්සේ නැති වුනා මන් හිතන්නේ ... ඒක එක කොටසක් වුනා..

      Delete