Follow by Email

Saturday, 25 April 2015

අපි නමුණුකුල ගිහින්



හැත්තෑ හතේ මැතිවරණයට සහය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සමන්ත අය්යාත් අපේ අක්කාත් ගමෙන් පිට කරන්නට අම්මාට සිදුවිය.
 ඒ කාලේ  ඔවුන්දෙදෙනා සිටියේ  නමුණුකුල බාප්පලා ගෙදරය.
ඉස්කෝලේ නිවාඩුවකට කාරිය අම්මා මාත් රැගෙන ඔවුන් බලන්නට නමුණුකුල යන්නට හුරුවී සිටියාය.

නමුණුකුල සිරි


අපේ අම්මාගේ නංගි කෙනෙක් විසු ඒ ගෙදර පිහිටා තිබුනේ නමුණුකුල කඳු පාමුල ඉතා මනරම් පරිසරයකයි. ගේ ලඟින්ම පහලට ගලා ගිය දීය කඳුර දෙපස උණගස් පෙලකින් හා දීය සීරාවට හැදෙන නොයෙකුත් පඳුරු වලින් වැසි පැවතින.

බාප්පලා ගෙදර ගල් රන්දක් අසල පිහිටා තිබුන අතර වත්ත පුරාම පිරි තිබුනේ පුවක් ගස්, කිතුල් ගස් සහ කොස් , දෙල්  වැනි බව භෝග වලිනි.


වත්තේ පහල උණ පඳුර ළඟ තිබු වැල් දොඩම් වැල් ද මගේ සිහියට එන්නේ ඒ දෙසට යෑමටද කැමත්තක් මා තුල තිබු බැවිනි.

නමුණුකුල යන්නට මා වඩාත් ප්‍රිය කල හේතුව වුයේ මේ එකක් වත් නොව අප එහි ලඟා වූ වහාම ගමේ පහළ පැත්තේ ගොස් බාප්පා කඩා ගෙන එන දෙල් සහ කොස් ය.

පුංචි අම්මා සැපට අබ උළුහාල් දමා තෙලින් බැද අපට හදා දෙන දෙල් මාලුව නිවාඩුවට එහි යන මගේ ප්‍රියතම අංගයයි.

පුංචිලාට ලතා, සීතා සහ රංජි යැයි දරුවන් තිදෙනෙකි. මින් මගේ වඩාත් සිත් ගත් තැනැත්තිය වුයේ ලතා අක්කා වුවත්,   අපි වැඩි පුර සෙල්ලම් කලේ දඟ කම් කලේ රංජි අය්යා සහ සිතා අක්කා සමගය.


ලතා අක්කා  ඒ දවස් වල ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යාලු බවත් .. එහි බ්‍රෝකර් .. කළුවේ අය්යා බවත් කුඩා මට කියනවා මට තාමත් මතකය.








රංජි නම් අනිත් ව්‍යාවසායකයා


ඒ කාලේ රංජි අය්යාද මා මෙන් පොඩි බිස්නස් කාරයෙකි.

ගස් බඩ ගෑමේ ශුරයෙකු වූ ඔහු තම ව්‍යපාරය ලෙස කලේ පා වළල්ලක් බැඳ පුවක් ගස් බඩ ගෑමත්,  එලෙස කඩා ගන්නා පුවක් අටේ කණුවේ හන්දියේ කඩයට විකිනීමත්ය.


සමන්ත අය්යාට සම වයසේ සිටි ඔහු එකල සමන්ත මෙන් පොත පතේ ඇලි ගැලී සිටීමට වඩා කලේ මෙවැනි මුදල් උපයන ක්‍රියා කාරකම්ය.

ඊට අමතරව ඔහු අත්මාරක්ෂක සටන් කලාවක්ද ප්‍රගුණ කල බව මා අසා තිබේ.

ඔහු කිරඹ ඔයේ ලොකු මාමාගේ ප්‍රියතම බෑනා වුයේ මෙම ව්‍යාපාරික කටයුතු හැදෙන එකෙකුගේ ලක්ෂණ ලෙස ඔවුන් මහා ඉහලින් වර්ණනා කල නිසාය.

රංජි අය්යා මගේ බලවත්ම හිතවතෙක් නොවුයේ ඔහුගේ සමහර වැඩ ඒ තරම්ම හොඳ ඒවා නොවන නිසයි. ඔහු සමන්ත අය්යාට කළා යැයි මාමා අසා තිබු සුළු සුළු අඩන්තේට්ටම් ගැන අපේ අම්මා කියනු මා අසා ඇත .

ඉන් මා සිත තදින් රැඳී තිබුණු එක් අවසථාවක්  වුයේ  "රන්ජියා අපේ කොල්ලගේ පපුවට තුවක්කු බටේ තිබ්බා " කියා අම්මා විස්තර කල සිද්යධියි. 

එක් දිනක පොඩිඋන් අතර ඇතිවූ සුළු ගැටුමකදී ඔහු විසින් ගෙදර තිබු බාප්පාගේ ලැය්සොන් තුවක්කුව අපේ සමන්තගේ පපුවට තබා ඔහු බය කිරීම මෙම "භයානක" සිද්ධියයි 


නමුණුකුල දී කල දඟකාරකම්



සමන්ත වැඩිය පෙන්නන්න්න බැරි වුවද රංජි අය්යා කුඩා කවිඳුට නම්  ප්‍රිය කල බව පෙනෙන්නට තිබුණි. හේතුව..

කුඩා මම අපේ අය්යා මෙන් නොව ඕනෑම දඟ වැඩකට ඔට්ටු මල්ලියෙක් නිසා වන්නට ඇත. බාප්පලා ගෙදර සිට නාන්නට යන ගමන අපගේ මෙම සම්බන්දයට  කදිම උදාහරණයකි. 

එහි සිට දවල් කාලයේ දීය නාන්නට යන අපට ඒ සඳහා ප්‍රධාන  ක්‍රම දෙකක් තිබුණි. 

පළමු වැන්න පුංචි, ලතා අක්කා වැනි අය කරනවා මෙන්  ගේ ලඟම තිබු පිල්ලෙන් හෝ.. කඳුරේ ටිකක් උඩහට ගොස් දීය නෑ ගැනීමයි.


මා හිතන හැටියට සමන්ත අය්යා වඩා ප්‍රිය කලේ මේ ක්‍රමයයි . රංජි අය්යා හා මට අනුව මේ ගැනු ළමයින් වගේ නා ගැනීමයි.

අනික නමුණුකුල කඳු මුදුනින් පටන් ගෙන බිබිලේගම ඉස්කෝලෙට පහළින් ගලා යන "බොස බොස ගා වතුර ගලා ගෙන එන" ගඟෙන් නා ගැනීමයි.


මේ අතරින් ඉතා කලාතුරකින් රංජි අය්යලා මුණ ගැහෙන්න නමුණුකුල යන මා වඩාත් ප්‍රිය කලේ මේ කොල්ලන්ගේ ක්‍රමයට නා ගත හැකි.. එහෙත් දැන් මතක් වෙන විට ඇඟ කිලිපොලා යන අපේ ගඟේ වික්‍රමයටයි.


නමුණුකුලදී රා බිව් හැටි



එදා රංජි අය්යා "ගඟේ යමු චුටි මල්ලි "කියා මට කතා කරද්දී අප සමග හිටියේ සීතා අක්කාත්, අපේ අක්කාත් රංජි අය්යාත් පමණි.


සරම් කමිස සහ තුවායක්ද රැගෙන ගිය අපි "සබන් කෝ.." කියා ලතා අක්කගේ රාණි සබන්  කෑල්ල ගන්න හදන කොටම රංජි අය්යා කිවේ "සබන් ඕනෑ නෑ මල්ලී.. එහේ සබන් තියෙනවා" කියලයි.

දැන් අපි කළුවේ ලා ගේ ගෙදර පසු කර ගඟ දෙසට පල්ලම් බසිමින් සිටිමු. හදිසියේම අපි තුන් දෙනාට බිම වාඩි වෙන්නයි අතින් සන් කල රංජි අය්යා.. ඔහු බොහෝ වෙලාවට ගෙදර ඉන්නා සේ සරම පොට දෙපා අතරින් පසු පස්සට දමා අමුඩයක් ගසා ගන්නට පටන් ගත්තේය.

ඔහු කරන්නට යන දේ කුමක් දැයි හිතා ගන්නට බැරිව සිටි මා කෙල්ලෝ දෙන්නත් සමග තණකොළ ගොල්ලේ වාඩි වී සිටියේ  ඕනෑ දෙයක් වෙච්චාවේ යන හැඟීමෙනි.


අපට වැඩිය සද්ද නොකරන ලෙස කී රංජි අය්යා බඩ වැටියේ තිබු කිතුල් ගහේ කඳෙන් මතු වෙනවා දුටු විට කුඩා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ වැඩේ එච්චරම දඟ නැති බව තේරුණු නිසා විය යුතුය. 


නෑමට පෙර පොල්කටු දෙක ගානේ



ඇඟ පුරා ගස් පොතු තැවරී සිටි රංජි අය්යා නැවත කැලයෙන් මතු වුයේ කළුවේ මදින කිතුලෙන් උණු උණුවේ බා ගත් සුදු පාටට පෙන දමමින් තිබු රා මුට්ටයක්ද අතින් එල්ලගෙනයි. දැන් අපි හතර දෙනා තණකොළ ගොල්ලේ මුට්ටිය වවටා බිම වාඩි වී සිටිමු.

රංජි අය්යා පොල්කට්ටෙන් එක ගානේ මටත් අක්කලා දෙන්නටත් රා පෙරා දුන්නේ හොඳ පුරුදු කාරයෙකු ලෙසිනි.සීතා අක්කාද තරමක පුරුදු කාරියක් යැයි මට සිතුනේ ඇය පෙරේත කමින් දෙවැනි පොල් කට්ටද ඉල්ලනවා දුටු බැවිනි.

තිත්තට තිත්තේ තිබු එහෙත් පෙන බුබුළු දකින විට කටට කෙළ උනන මේ පානය මට ප්‍රියතම එකක් නොවුවත් රංජි දුන් දෙවැනි කට්ටද මා ගුඩුස් ගා ගිල දැමුවේ ආශාවටද නැත්නම් ඔහුගේ තුවක්කු කට මතක් වීමෙන් දැයි මට අදටත් සිතා ගත නොහැකිය.


නෑමෙන් හොඳ නෑම



තරමක රා මතයෙන් යුත් අපි හතර දෙනා දැන් ගඟ දෙසට පල්ලම් බසිමින් සිටිමු. හෝ.. හෝ... ගා ගඟේ සද්දය ඇහෙන විට මට සියුම් භීතියක් ද ඇති විය.

 ඒ   උඩහ තේ වත්තේ පිල්ලෙන් හෝ කිරඹ ඔයේ පිල්ලෙන් මිස, ජීවිතේට මෙවැනි විශාල ගඟකින් ස්නානය කර නොතිබූ නිසා විය යුතුය.


අපේ නඩේ ගුරා රංජි අය්යා  කෙරෙහි මා සම්පුර්ණ විශ්වාසය තැබුවේ ඔහු හොඳ පුරුදු කාරයෙකු විය හැකි යයි සිතු නිසාය.

එමෙන්ම තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක මේ ගිය ගමනේ කුඩා මට වෙන කල හැකි දෙයක් නැති බව මට ඉවෙන් මෙන් වැටහී තිබුණි.

ගඟ දෙපස වූ ගොඩපර ගසකට නැගගත් රංජි අය්යා අප දෙසට ගොඩ පර ගෙඩි විසි කලේ "මෙන්න මල්ලිලා සබන්" කියමිනි.


සබන් ගා ගන්නේ කොහොමදැයි නොදැන සිටි මාගේ උදව්වට ආවේ සීතා අක්කාය.

"මල්ලි.. මෙන්න මෙහෙම ගෙඩිය ගලේ ගහලා අරන් එන නානු ඔළුවේ ගා ගන්න" යැයි කියමින් ඇය මට රූපලාවන්‍ය පාඩමක් කීයා දුන්නේ ඇය ගොඩපර සබන් ගා ගන්නා ගමන්මය.

සබන් නානු තවරා ගත අපි ඉන් අනතුරුව ගඟ වෙත පා නැගුවෙමු. රංජි අය්යත් සීතා අක්කාත් ගඟේ ගැඹුරු වලවල් වල පිහිනා අපට පෙන්වුයේ හොඳ පළපුරුදු කාරයින් මෙනි.



රංජි අය්යා මට කොහොමට වත් පිහිනන්න නොතේරෙන බව දැනගත් වහාම ලඟට පැමිණ මාව වේගයෙන් ගලා යන ජල පහර ගල් කුළු හේතුවෙන් අඩපනවූ ස්ථාන කරා රැගෙන ගියේය.


"චුටි මල්ලී... සරම දෙකට නමාගෙන මෙන්න මෙහෙම සරම පුම්බ ගන්න එතකොට ඔයා ගිලෙන්නේ නෑ..." යනුවෙන් පිහිනීමට ප්‍රයෝජනවත් .. ඔහු ප්‍රගුණ කල ප්‍රයෝගික කාරණයක් මට කීය දුන්නේය.

අපේ අක්කා කෙසේ පිහිනුවදැයි මට මතක නැත .. මම රංජි අය්යා කී ලෙස විවිද උපක්‍රම අත්හදා බලමින්.. ගඟේ වතුර ලීටර් ගණනාවක් බොමින්.. කාලය ගත කලෙමි.



අවසානයේ  මමද ඔවුන් සමග පන පිටින් ගෙදර ආ බව ඔබට කියන්නේ  තවමත් මා ජිවතුන් අතර සිටින්නේ කෙලෙසදැයි ..මටම අදහා ගත නොහැකි  නිසාවෙනි.



15 comments:

  1. OMG...! raa bee veri woo meeya se.... I should say, this one is my favourite episode from all of episodes I have read so far....no words to explain the beauty....

    ReplyDelete
  2. no one from our family knew this story until I tell this.....they may be terrified to read what we have done those days

    ReplyDelete
  3. //අවසානයේ මමද ඔවුන් සමග පන පිටින් ගෙදර ආ බව ඔබට කියන්නේ තවමත් මා ජිවතුන් අතර සිටින්නේ කෙලෙසදැයි ..මටම අදහා ගත නොහැකි නිසාවෙනි.//

    මේ කෑල්ලට තමයි බකස් ගාල හිනා යන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් හිතලා බැලුවහම ඇත්තටම ඇඟ කිලි පොළා යනවා... අපි කරපු වැඩ ගැන...

      Delete
  4. දැං රංජියා මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. රන්ජියා කොලම්බින් කාසදයක් කරන් විදුලි බල මණ්ඩලේ වැඩ..

      Delete
  5. කියවනවිට ගම මතක්උනා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. මේක මුල් කාලෙම දාපු පොස්ට් එකක් කියවල තියෙන්නේ 270 දෙනයි තවම..

      Delete
  6. කියවනවිට ගම මතක්උනා .

    ReplyDelete
  7. ඔය සබන් ජාතිය තාම මටත් හොයාගන්න බැරිවුණා

    ReplyDelete
    Replies
    1. ගොඩ පර සබන්?? නියමෙට පෙණ එනවා..මේ කියන ගඟ පස්සර බිබිලේගම කියන හරියෙන් ගලාගෙන යද්දී ඔය ගොදපර ගස් තියෙනවා ඒ ගඟ අයිනේ..

      Delete
  8. අපූරු අතීත කතන්දරයක් කවිඳු...ඉස්සර අපේ වත්තේ ගොඩපර ගහක් තිබුනා...ගොඩපර මල් වලට මං පොඩි කාලේ හරිම ආසයි...

    //අවසානයේ මමද ඔවුන් සමග පන පිටින් ගෙදර ආ බව ඔබට කියන්නේ තවමත් මා ජිවතුන් අතර සිටින්නේ කෙලෙසදැයි ..මටම අදහා ගත නොහැකි නිසාවෙනි.//
    :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු වැහි. අපේ නෝනා මේක කියවලාද දන්නේ නෑ ඊයේ කිව්වා "අපි ඊළඟ පාර ලංකාවේ ගියාම ඔයාලගේ පස්සර, බිබිලේ එහෙම ඉන්න නෑදෑයෝ බලන්න යමු"කියලා..

      Delete
  9. මරු කතාව. අපිටත් බඩු හම්බ උනා හැත්තෑ හතේ. තාත්තා හම්බන්තොටට ට්‍රාන්සර්. ගෙදරටත් ගල් පාරවල් හම්බ උනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දම්සෝ. අපි එක වල්ලේ පොල් වගේනේ බැලුවහම. ජාති ආගම් කතා සම්බන්ධයෙනුත් අපිට තියෙන්නේ එකම අදහසක් බව ඊයේ ඔබේ පොස්ට් එකෙන් තේරුම් ගත්තා..

      Delete