Follow by Email

Tuesday, 28 April 2015

සතර පෙර නිමිති

ගොවියෙක්... වෙළෙන්දෙක් .. දඟයෙක් සහ උනන්දුවෙක්

දැන් අපි අරලගංවිල නවයේ පන්තියේ ඉන්න කාලයයි. මේ වන විට මගේ ධාර්මික අවධානය කාරණා සතරක් වෙත යොමුවී තිබු බව මගේ හැඟීමයි.

මින් පළමු කරුණු එකිනෙක බද්ධ වී තිබුනේ එකක් නොමැතිව අනික කල නොහැකි නිසාවෙනි.

එහෙත් අනික් කාරණා දෙක එකිනෙකට පරස්පර ඒවා බව ඕනෑම උපාසකයෙකුට තේරුම් ගත හැකි විය යුතුය.


ඒ කාලයේ මම ගොවිතැනින් සහ වෙළඳාමෙන් බොහෝ ඉදිරියට ගොස් සිටියෙමි. ඒ  අප මල්දෙණියේ පල්ලැහැ වත්තේ මෙන්ම අපේ ගේ වටාද එළවලු වැවු කාලයයි.

එ පමණක් නොව, ඒ දිනවල   පේරගස්වැල්ල කුඹුරේද ලොකු මාමලා  රාජු මාමලා සමග අපිත් හරි හරියට එළවලු වගා කළෙමු.

මේවායේදී බොහෝවිට පෙරමුණ ගත්තේ මා විසිණි.  එමෙන්ම  අක්කා , ලොකු නංගි සහ  තම නෑ ගෙවල් වල චාරිකාව මදකට නවතා නිවසට පැමිණ සිටි සමන්ත අය්යාද මෙකල වගා සටනේ පෙර ගමන් කරුවෝ වුහ.

උඩ පල ගත්තත් වට්ටක්කා

සිරිතක් හැටියට මා අත ගැසූ ඕනෑම වැඩක් හරි ගිය අතර වගාවද එයට සාක්ෂි දරයි.

උදාහරණයක් ලෙස පල්ලැහැ වත්තේ හැදු වට්ටක්කා වැල් වල මා එතෙක් මෙතෙක් දුටු විශාලතම වට්ටක්කා පලගත්තේ අපට වඩා යම් තරමක ගොවිතැන ගැන අවබෝධයක් තිබු අම්මා හා තාත්තා  පවා පුදුමයට පත් කරවිමිනි.
මෙකල සෝමේලාගේ ගෙට පහළින් තිබු මේ වත්තේ අපි තක්කාලි, අල, බෝංචි, මාළු මිරිස්, කොළ ගෝවා , ගෙඩි ගෝවා මෙන්ම වට්ටක්කාද වගා කළෙමු.

ආණ්ඩුවේ රිස්වේසම අයිනට වන්නට තද කළු පැහැයෙන් යුත් පසින් පිරිණු ප්‍රදේශයේ මා හැදු වට්ටක්කා මන්ඩි දෙක තුනකි.  ඒවායින් අපි ලොරි භාගයක පමණ අස්වැන්නක් ලැබූ බව මා ඔබට පවසන්නේ සාඩම්බර ගොවියෙකු ලෙසිනි.

දිය සීරාවට හැදී තිබු අලි බෝඹු සහ බොර ගස් මුදුනේත්, ජල රක්ෂිත කැලයේත් දිවූ මගේ වට්ටක්කා වැල් වලින් හට ගත් ගෙඩි  ඉතා විශාලය.

ඇත්ත වශයෙන්ම, එක් වරකට ගෙඩි දෙකකට වඩා ගෝනියකට හෝ යුරියා බෑග් එකකට දමමන්නට බැරි තරම් විය.

වතුර ටිකක් සෙනේ වලා....


ජල රක්ෂිතය අයිනේ අප ගිනි මැල ගසන විට නැගෙන දුම කිරඹ ඔය දෙසට මැනවින් පෙනේ .. එක් වරක් නොව කිහිප වරක්ම මේ දැක තම කුඹුරට වතුර නැති වේ යැයි සිතු අයෙක් සිටියේය .

ඒ සෙනේ බාස් නොහොත් පන්සල ළඟ ගෙදර සෙනෙවි මුත්තාය. ඔහු හනි හනිකට ඇවිත් අපි රක්ෂිතය ආක්‍රමණය කරන්නේ දැයි විපරම් කර ගියාට පසු අක්කාත් මමත් කියනා ගීතයක් මගේ සිහියට නැගේ.. එය හින්දි සිංහල කවලම් ගීතයකි.

"සොභාවර්ති මෙතිමි සලා....   සොභාවර්ති මෙතිමි සලා. ... වතුර ටිකක් සෙනේ වලා....සොභාවර්ති මෙතිමි සලා..."
මෙය ගායනා කෙරුවේ .. පැරණි සිංහල ගීයක් වූ .. සරා ගොය්යා.. ගීතයේ තාලයටයි.



අරලගංවිල පොලේදී පෝල් හමු වීම

අපි තුන් හතර දෙනාම වගාවේ යෙදී සිටියද අස්වැන්න රැගෙන වෙළඳාමේ යන්නේ තාත්තාත් මාත්ය. පොඩි පොඩි දේවල් විකුණන්නට ඇති දිනවල පොලේ යන්නේ මා තනිවමය. මේ ගමනද හරි රසවත් මෙන්ම සමහර විට දුක හිතෙන  සිදුවීම් වලින් ගහන එකකි.

ඒ දිනවල බ්‍රහස්පතින්දා සහ ඉරිදා පොළට අපි එළවලු රැගෙන යන්නේ බාස් මාමලා ඩේලිකා එකෙන්ය. පාන්දර හතර හමාරට  පහට පිටත් වෙන සිරි අය්යාගේ වැන් එක මල්දෙණියේ සහ කිරඹ ඔයේ පාර අයිනේ ඉන්නා ගොවියන් එකෙනිකා එකතු කරගෙන නගරයට ලඟා වෙයි.

මා තනිවම යන දවස් වලට මට ලාභ වන අතර අම්මලාට මුදලින් මෙන්ම ආපසු රැගෙන එන බඩු වලින්ද බර පාඩුය. මගේ කොමිස් එක ( මෙය අද වෙනතුරු අම්මානොදනී) බෝංචි කිලෝවකට රුපියලක්  , තක්කාලි කිලෝවකට  සත 50ක්ආදී වශයෙන් වෙයි. උදාහරණයක් ලෙස රුපියල් 3.50 කට තක්කාලි කිලෝවක් විකුණන මා අම්මාට ගෙනවිත් දෙන්නේ රුපියල් තුන ගන්නේය.  එතැනින් නොනවතින මා කිලෝ විස්සකට වැඩි ප්‍රමාණයක් රැගෙන ගියහොත් කිලෝ ගණනින්ද ගසා කැවෙමි.  මේ  පොලේ මුදලාලිලා කුඩේට කපන කිලෝ එකට අමතරවය.

අම්මා ඉරිදාට මට " එනකොට හරක් මස් පන් සියකුත්  අරන් වරෙන් චුටි පුතා"  යැයි කියයි.  මස්කඩේ තනි මස් හා කටු මස් යනුවෙන් දෙවර්ගයකි. මා තනි මස් වෙනුවට කටු මස් පන්සියයක් රැගෙන එන්නේ අපිම කන මස් ටිකෙනුත් රුපියල් දෙකක පමණ අධික ලාභයක් උපයා ගනිමිනි.

අපේ එළවළු විකුණා වැටකොළු , පතෝල වැනි අනෙක් පළාත්වල හැදෙන එළවලු ගෙදරට රැගෙන එන්නට අප පුරුදු වී සිටියෙමු.  මෙසේ එළවලු සොයමින්  සිල්ලර පොලේ කරක් ගහන මට එක් දිනක්

 "පොල් ලාබයි.. පොල් ලාබයි.   එකක් සත තිහයි... දෙකම පනහයි..."  යනුවෙන් කෑ ගසන කෙල්ලෙකුගේ හඬක් ඇසිනි.

මා ඒ දෙසට ඇදී ගියේ මේ කවුද කියා බලන්නටත් .. හොඳනම් පොල් ගෙඩි දෙකක් ගන්නටත් ය.  ලඟට ගිය මගේත්  කුඩා පොල් වෙළෙන්දියගේත්  නෙත් එකිනෙක ගැටුනු මොහොතේ අපි දෙදෙනා මොහොතක් ගල් ගැසී සිටියෙමු.

වෙළෙන්දිය වෙන කවුරුත් නොව අපේ පන්තියේ හිටි කටකාර චරිතයකි.

ඇයට කොල්ලෝ  "පෝල්"  හෝ "පොල් පොල් පොපොල් පොල්" කියා කිව්වේ ඇයි දැයි මට තේරුණේ දැන්ය.

එදා  එසේ හමුවුවද  මගේ පන්තියේ සිටි කුඩා මිතුරිය වත්  මම වත් අද වෙන තුරු මේ ගැන කතා නොකළෙමු.

කොල්ලෝ මට "කිටී" නොකියා "තක්කලියා හෝ වට්ටක්කයා" යැයි කීමේ පැහැදිලි අවධානමක් තිබේ.

 මම පොලුත් නොගෙන හීන් සීරුවේ  එතැනින් මාරු වුනෙමි.

දොස්තරයෙක් වීමට කමටහන් ලැබූ හැටි


සමන්ත අය්යා උ.පෙ. සයන්ස් කාරයෙක් නිසා මෙය සිදුවුවා යැයි පාසලේ සිටි බොහෝ  උවැසු උවැසියන් අවබෝධ කරගෙන සිටි බව මම දනිමි .

ඒ සාමාන්‍ය තත්ව යටතේ යමක් සිදු වන්නේ ඒ ආකාරයට බැවිනි. එසේ වුවත් මට කමටහන් දුන්නේ සමන්ත අය්යා නොව අරලගංවිල නගරයට ආසන්න නගරයක  රෝහල් අධිකාරි වරයෙකි.

ඒ මගේ දකුණු දණහිස ඉදිමි තිබු කාලයයි . එයට හේතුව වුයේ මම වෙසක් කාඩ් විකුනන්නට කඩයක් දාන්න ගොස් සිදුවූ ඇබැද්දියකි. කඩේ කණු හය  සිටවා වහලේ  මුදුන් හරස් ලීය දමන්නට සැරසුණු මා ලීය මත දනහිස තබා එල්ලකළ වක් පිහි පාර ලීය මග හැරී ගොස් මගේ දණහිස පසාරු කළා මතකය.

අරලගංවිල එකල පවතී යම් යම් අඩු පාඩු සහිත  ව්‍ය්දය ප්‍රතිකාර මද්‍යයේ  (වැරදි රෝග විනිශ්චය වැනි ) මාස ගනනක් ප්‍රතිජීවක බොමින් ගත කලෙමි.

අවසානයේ චැනල් කිරීමකින් පසු තෙළුල්ල මහා රෝහලේ ශල්‍ය කර්මයට බදුන් වී සිටියෙමි.

ශල්‍ය කර්මයට පෙර මා සිටියේ මල් පෝච්චි තබා තිබු දෙකේ වාට්ටුවේය. ඒ දිනවල දුන්හිඳ පල්ලමේ බසයක් පෙරලීමෙන් තුවාල වූ බොහෝ පිරිස් වාට්ටුවේ සිටියහ.

ඔවුන් බොහෝ දෙනෙකුට කැන්ටිමෙන් උදේට ඉඳි ආප්ප ගෙනත් දුන්නේ කකුල ඉදිමුනත් 100% ජංගම වූ මා විසිනි.
 දෙකේ ඉතා සතුටින් සිටි  මා ශල්‍ය කර්මයට පසුව වැසිකිළියකට කිට්ටු කල නොහැකි 18 වාට්ටුවට දැමීම නිසා තරමක හිතේ අමාරුවෙන්ද සිටියෙමි.කකුල බැරි මට වැසිකිලි යෑමට උදව්වට ආ සමන්ත අය්යාට වමනේ නොගියා විතරය.

එදා මම ටිකට් කපාගෙන ගෙදර එන දවසයි.  තාත්තා මාව ගෙදර ගෙන යන්න පැමිණ සිටියි. වාට්ටුවේ  හැඳ සිටි පොඩි කොටු කොටු සරම පිටින්ම ගෙදර යමු යැයි තාත්තා මට යෝජනා කළේය. තට්ටු දෙකේ ගොඩනැගිල්ලෙන් එළියට ආ අප තෙළුල්ල -අරලගංවිල ප්‍රධාන මාර්ගය දෙසට එන්නට ගත්තා පමණි..

"සර්... සර්... මේ කොහේද? " ගිලන්රථ යිකින් හඬක් නැගේ...

ඒ සවුක්‍ය දෙපාර්තමේන්තු වේ සිටි කාලයේ තාත්තා හඳුනන ගිලන් රථ රියදුරෙකි.

ඒ දෙසට ගිය තාත්තා අපි මගේ ටිකට් කපා ගෙන අරලගන්විලට ආපසු යන බවත් .. බස් එකක් ගැනීමට ප්‍රධාන මාර්ගය දෙසට යන බවත් තම හිතවතාට පැවසීය.

"අපි යන්නේ  සපුගස් තලාවට අපිත් එක්ක යමු සර්...  නිකන් යන වාහනේ නේ ...තව ටිකකින් ඩි. ඇම්. ඕ. මහත්තයා ආපු ගමන් අපි යනවා..බබා නගින්න වැන් එකට"

මට ගිලන්රථයේ රෝගියා යන  කොටසට යන ලෙස කිව්  "ඇලන් මාමා  " අනතුරුව තාත්තත් සමග අසල තිබු තේ කඩය දෙසට ගියේ සිගරට්ටුවක් දල්වා ගන්නටය.

අනවසර රෝගියා..


අලංකාර යුරෝපීය ඇදුමින් සැරසුණු ඩි. ඇම්. ඕ. මහත්තයා  ගිලන්රථයේ ඉදිරි දොර ඇර ආසනයට සැපත් වුයේ හිස ඔසවා පිටු පස බලමිනි.

"මේ  කව්ද?  වහාම මේකෙන් බැහැලා යනවා ... මොකද මේක බස් එකක් කියලා හිතුවද... කාගෙන් අහලද මේකට නැග්ගේ ..? ආදී ප්‍රශ්න වැලකි..
එතුමාගේ කථා විලාශය අනුව   කුඩා මම පිළිතුරක් දෙන්න බිය වුවා විය යුතුය..

නැවත ඉදිරි දොර විවුර්ථ කර එළියට බැස්ස දොස්තර මහතා දුටු ඇලන් මාමා ඒ දෙසට දුවගෙන ආවේය.

ඇලන් අපි යන්නේ නැද්ද? දොස්තර මහතා ප්‍රස්න කළේය. කිසි සබ්දයක් නැතිව රියදුරු අසුනට සැපත් ඇලන් මාමා
සර් ... මේ මම දන්න සර් කෙනෙක් ඉස්සර තෙළුල්ල SHS එකේ වැඩ කලේ.. අපේ සර්ලගේ පඩි, මාරු එහෙම හදලා දුන්නේ මේ සර් ලා තමයි.  ඔහු එසේ කියමින් තාත්තාව හදුන්වා දුන්නේය.

අනවසර ලෙඩා ගැන කිසිවක් නොපැවසීම දොස්තර මහතාට වත් ප්‍රස්නයක් නොවිණි.

 සිගරට්ටුව නිවා පැමිණි තාත්තා ඉදිරි අසුනේ වාඩි වෙත්ම ම කල ඉල්ලීමෙන් ඩි. ඇම්. ඕ. මහත්තයා  සිද්දිය පරිවර්තනය කර ගන්නට ඇත.

" මුහුණ පුළුටු කරගෙන සිටි මා දෙස බැලූ තාත්තා .. ඇයි පුතේ .. බඩගිනියිද? ඇසුවේය....

"නෑ.. නෑ'' මට මගේ කලිසම දෙන්න ඇඳ ගන්න..  කලිසම ඇඳගෙන ගියානම් හොඳයි.. " මම පිළිතුරු දුන්නෙමි.

නෑ .. නෑ.. පුතා අපි අපි නේ වාහනේ ඉන්නේ සරමක් ඇදන් හිටියා කියලා ප්‍රස්නයක් නෑ... දොස්තර මාමා ස්වෙච්චාවෙන්ම ඉදිරිපත්විය.

දැන් ගිලන් රිය වේගයෙන් අරලගංවිල දෙසට ඇදේ.. දොස්තර මාමත් අපේ තාත්තත් ඉදිරි අසුනේ හරි හරියට කතාවය. හිටි ගමන් ඇලන් මාමද හු මිටි තබයි.

සීනි බනිස් සමග කිරි තේ


දැන් ගිලන් රිය වේගයෙන් අරලගංවිල දෙසට ඇදේ.. දොස්තර මාමත් අපේ තාත්තත් ඉදිරි අසුනේ හරි හරියට කතාවය. හිටි ගමන් අලං මාමද හු මිටි තබයි.

ඉදිරි අසුනේ සිටි දොස්තර මාමා .. අපේ තාත්තාටත් ඇලන් මාමා ටත් යෝජනාවක් කලේ ගිලන්රිය ගම්මෝදරට  ලඟා වෙද්දීය.

"නාමරත්න මහත්තයා තේ එකක් බොමුද .. අපේ පුතාටත් බඩගිනි ඇතිනේ..?" ඔහු හොරැහින් මා දෙසද බැලුවේය.
කට්ටිය දැන් වාහනෙන් බසී. මම ගිලන් රියේ ලෙඩ ඇඳේ සුවසේ සැතපී ඉඳිමි. එන්න පුතේ. ඇලන් මාමා කතා කරයි. "මට බෑ.." මම අවධාරනයෙන් පැවසුවෙමි.

ඊළඟට පැමිණියේ දොස්තර අංකල්ය "එන්න පුතා තේ එකක් බොන්න.. " දොස්තර අංකල් කෙලින්ම මගේ ඇස් දෙක එල්ලේ නොබලුවේය.

මම මගේ දැඩි තීරණය වෙනස් නොකලෙමි. තාත්තා මාව තේ බිමට කැඳවන්න නොගත් උත්සාහයක් නැත.

මම මාගේ උපවාසය අත් නොහැරීයෙමි.

එහෙත් කවදා හෝ ඩි. ඇම්. ඕ. කෙනෙකු වෙන්නට තරයේ සිතා ගත්තෙමි.





14 comments:

  1. good biography.. Continue to write....

    ReplyDelete
  2. sure... shall keep you guys entertained.. thanks for the comments

    ReplyDelete
  3. දොස්තර මහතා එක්වරම දොස්තර මාමා කළ වැකිය ඔබ තුළ තියෙන ලේඛන හැකියාව ඔප්පු කරයි. අනික මම වැඩියම කැමති පුළුවන් සීමාවේ ඉඳන් කරන අවංක හෙළිදරව්වලටය. නියම ජීවය තියෙන්නේ එවිටය. ගෙදරට මාටියා ගැසු හැටි මස් පන්සීයට කටු දෙසිය පණහක් දැමු හැටි බොහෝ දෙනෙක් කරත් පසු කලක එලි කරන්ට කැමැති නැත. බොහෝ විට උත්සහ කරන්නේ රචකයා සුදු චරිතයක් වීමටය. එවිට ලිවීමේ කෘතීම බව නිසා කියවන්ට එපා හිතේ. මෙතෙ ක් කවිඳු ලියු ඒවගෙන් හොඳම එක මේ පෝස්ට් එකයි. ඒත් එය ඔබට ලියන්නට පුළුවන් හොඳම එකට වඩා තාමත් පසුපසින් බව සිතන්න.

    ReplyDelete
    Replies
    1. ඒක හරි බොරුවට සුදු වෙන්ඩ හැදුවොත් ඉක්මනට පචවෙනවා , විශේෂයෙන් බ්ලොග් ඇතුලේ

      Delete
  4. Thilaka sitha...Thanks for your comments. back at work for few days... Sorry no Sinhala fonts until back home

    ReplyDelete
  5. Every coming episode goes above the previous one with its taste... Waiting for another lovely story..

    ReplyDelete
  6. අද තමයි මුලින්ම මේ බ්ලොග් එක දැක්කෙ. මුල ඉදන්ම කියවන්න පටන් ගත්ත.

    ReplyDelete
    Replies
    1. කියවල අපිට කියන්න

      Delete
  7. ඔන්න අපිත් මේ පැත්තට ආවා. බ්ලොග් රෝලට දාන්නම් ආයෙත් එන්ඩ පාර හදාගන්ඩ

    ReplyDelete
  8. ආවට ස්තුතියි.. විචාරය කර අපිට දන්වන්න

    ReplyDelete
  9. සුන්දරයි සහෝදරයා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඊයේ නයනකාන්තත් එක්ක ටිකක් දොඩමළු වුනා... ජංගම අංකය දින්නට ස්තුතියි...

      Delete
  10. Thanks Lalith .. bit quiet these days..

    ReplyDelete