Follow by Email

Friday, 24 April 2015

දිනක් පාසැල අවසන් වීමෙන් පසු...



එදා අඟරුවාදා හෝ සිකුරාදා දිනයකි. අපි 318 ගල්ඒදණ්ඩ බසයෙන්  නිවෙස් බලා එන වෙලාවයි. දැන් තරමක ඉලන්දාරි ගති මතු වෙමින් එන අප අතර සිරිමල්වත්තෙන් බසයෙන් බැස අපේ ගමට එන පොඩි උන් ගෙන් සමන්විත කල්ලියක් ගොඩ නැගී ඇති කාලයකි. මෙහි මුලිකයන් අතර වුයේ මමත්, මගේ සම වයසේ වූ කයිවාරු මාමලා බින්දුත් .. ඒ වගේම අපට වඩා අවුරුදු කිහිපයකින් වැඩි බින්දු ගේ අය්යා යසනන්දත් කොස්බඩාගෙන් බසයේදී බැනුම් ඇසු නොම්මර එකේ අන්ඩපාලයෙකු වූ නන්දිපාල අය්යත්ය.

සොහොනේ ගහෙන් අඹ කැඩීමේ මෙහෙයුම.



සිරිමල් වත්තේ සිට අපේ ගම දෙසට එද්දී අප මුලින්ම පසු කරන්නේ චමින්දලා බාප්පලා කඩේ , බාබර් සාප්පුව ඇතුළු ප්‍රධාන කඩ පේලියයි. ඉන් අනතුරුව වත්තේ ලයින් කාමර පේලියට යටින් දිවෙන තැනිතලා ගුරු පාර එක් වරම නැග්මක් බවට පත්වේ. එතැන පාරෙන් පහළ පැත්තේ ඇත්තේ ඉන්ජින් ඩ්‍රයිවර ගේ කඩයයි.
අපේ කල්ලියේ ගුරා නන්දි පාල අය්යා එදා සිරිමල්වත්තේ කඩ පේලිය පසුකරද්දී අලුත් යෝජනාවක් ගෙනාවේය.

"මල්ලිලා... අද අපි ගෙදර යන ගමන් කරන වැඩේ දන්නවද?  අපි අද අම්බලම ළඟ සොහොනේ ගහෙන් අඹ කඩමු".

"නන්දී අය්යා  .. මමත් ඔය ගහ දිහා ඇහැ ගහගෙන හිටියේ  බන් .. උදේ මම දැක්ක හැටියට නම් එකේ අඹ ඉදිලා නැනේ."

නන්දිපාලට  අවුරුද්දකින් දෙකකින් බාල වුවත්  බින්දුලට අපිට ඔහු වැනිම තවත් අය්යා කෙනෙකු වූ. යසේ අය්යා කියයි..

"කමක් නෑ මං ගාව ප්‍රතිකරමය්ක් තියෙනවා..අපි අපේ වැඩේට බහිමුකෝ" යැයි  නන්දිපාල අය්යා ස්ථිර සාරවම පැවසීමත් සමගම ඒ යෝජනාවට එක පයින් කැමති වූ අපි එකිනෙකාගේ රාජකාරී තම තමන්ට පැවරෙන තෙක් බලා සිටියෙමු.

මල්ලිලා මේකයි ප්ලෑන් එක. "

මුලින්ම අඹ කන්න අවශ්‍ය අඩුම කුඩුම ටික ලෑස්ති කර ගන්න ඕනේ.. යසේ මල්ලි .. ඔයා ඉන්ජින් ඩ්‍රයිවර ගොය්යා එක්ක කතාවක්  පටන් ගන්න .. කවිඳු මල්ලියි බින්දු මල්ලියි හිමිහිට ලුණු ටික ටික බක්කියෙන් අරන් සාක්කු වලට දාගන්න ඕනේ හරිද?.. ඒ අතරේ මම හිමිහිට මිරිස් කරල් ටිකක් පන්න ගන්නම්."
අපේ ගම් බිම් බලා යන කල්ලියේ ලොක්කා  නන්දිපාල අය්යා තම සැලසුම අපට හෙළි කළේය.

ගුරුපාරෙන් පරණ ටයර් තුනක් දමා සාදා තිබු පඩි පෙලින් ඉන්ජියා ගේ කඩයට ගොඩවූ අප අතරින් .. කපටි හිනාවකින් දමමින් මුලින්ම ඔහු දෙසට ගිය යසනන්ද අය්යා " හා.. මුදලාලී.. කොහොමද අද ගන දෙනු කාරිය.? " යයි ඔහුව සාකච්චා වට කැඳවූ යේ පසු පසින් ආ අපට ඇස කොනකින් සන් කරමිනි.

ආ ගිය තොර තුරු කතා කරමින් සිට විනාඩි දෙක තුනක් ඇතුලත  අපේ ප්‍රති සන්නිවේදන හරහා ..අදාළ රාජකාරිය ඉටුවූ බව දැන ගත්  යසේ අය්යා.." එහෙනම් අපි ගිහින් එන්නං කෝ මුදලාලි"  කියමින් ඉන්ජින් ඩ්‍රයිවර ගෙන් සමු ගත්තේය.


ප්‍රහාරය ඇරඹෙයි


දැන් අපි නැවතත් ගුරු පාරේ අම්බලම දෙසට කන්ද නගිමින් පසු වෙමු. බස් එකේ ගෙදර කඩේද පසු කිරීමෙන් පසු කන්දේ මැද හරියේදී හමුවන තුන් මං හන්දියේ එක පැත්තක සොහොනත් .. අනික් පැත්තේ තාමත් "ජුලි මහා වැඩ වර්ජනය" යනුවෙන් කලුතෙලින් ලියා ඇති අම්බලමත් අපට හමුවේ.

 තම පොත් ටික සොහොන් පිටියේ තණකොළ ගොඩක් මත තැබූ නන්දි පාල අය්යා දනි පනි ගා අඹ ගහට නැග්ගේය.  ගස් නැගීමට බැරි මමත් .. බිංදුත් සොහොනේ එහේ මෙහෙ ගියේ ගල් කෑල්ලක් හෝ පොළු කෑල්ලක් හොයා ගන්නටයි.

මේ වන විට අපේ සිංහල පොතේ තිබු " පාවෙන හිස" සෑහෙන වතාවක් කියවා තිබු මම  හොල්මන් අවතාර ගැන මර බියකින් පසු වුවෙකි. එසේ වුවද අපේ කල්ලියේ චන්ඩි වැඩ නිසා  ලොකු කොල්ලෙකු වූ මම මේ වෙලේ  සිංහාරුඩ වී සිටියා යැයි කීවොත් නිවැරදිය.
ගලක් පෙනෙන සීමාවක නැති බව දැනගත් බිංදු පසු බසිනු දුටු මා .. "බිංදු මල්ලි බිය නොවන්න පොලු හොයනා හැටි මාමා පෙන්වන්නම්" කියන්නාක් මෙන් .. ඔබ මොබ බලන විට දුටුවේ ලඟදි වත්තේ දෙමළ මනුස්සයෙකුගේ මිනියක් වලලා පස්ගොඩ කර තිබු තැනක මුදුනේ තිබු  ලී වලින් කල කුරුසයකි...

මගේ සුමිතුරා  .. එපා.. එපා.. කවිඳු .. කියද්දි කුරුසය ගලවාගත් මා එය රැගෙන කෙලින්ම  ගුරු පාර පැන්නේ එය අම්බලමේ කොට බිත්තියේ ගසා කඩා ගැනීමටයි.
අනතුරුව  පොලු කෑලි හතර පහකින් සන්නද්ධ වූ අපි තරඟයට අඹ ගහට ගල් ගැහුවේ නන්දිපාල අය්යලට උදව්වක් හැටියටයි.

දැන් දැන් අඹ ගෙඩි සොහොනේ  හැම තැනම විසිරී ගොසිනි සමහරක් අලුතින් මිනියක් වල දමා තිබු අර පස් ගොඩ උඩටද වැටී ඇත. කිසි බියක් සැකක් නැතිව ඒවා එකතු කර ගත් අය්යලා මල්ලිලා ලුණු මිරිස් සමග අඹ කෑම ඇරඹුවේ අම්බලමේ කොට බිත්තිය තම සිංහාසන කර ගනිමිනි.

දෙමළ ඉස්කෝලෙට ගල් ප්‍රහාරයක්



අම්බලමෙන් පිටත් වූ අප අත තවමත් ගලේ ගසා කඩා ගත් අමු අඹ කැලිත් ලුණු කැටත් සුරක්ෂිතව පවතී. දැන් අපි ඒවා මාරුවෙන් මාරුවට හපමින්. Dunlop වත්ත දෙසට ගමන් ගනිමින් සිටිමු. අඩි 100ක්-200ක් පහළින් රතුපාට ටකරන් වසා තිබු .. සුවඳේ අය්යලාගේ දියවන්නා ශෝකය හා නයනා රඟ දැක්වූ රඟහල , දෙමළ ඉස්කෝලේ එකම ශාලාව පෙනේ..

ගුරුපාරෙන් ගල්කැටයක් අහුලා ගත් අපේ කල්ලියේ දෙවෙනියා යස නන්ද අය්යා එය රතට රතේ දිලිසෙමින් තිබු වහළයට දමා ගැසුවේ .. ටාන්... යන හඬක් මතු කරවමිනි.. එක අතකින් තම නිල් කලිසම අල්ලා ගෙන අනික් අතින් වෙර දමා ගලක් විසි කලේ ඔහුගේම මල්ලි වූ  බිංදු විසිනි.

 මෙසේ අඩි පනහක් හැටක් ඉස්කෝලෙට සමාන්තරව ගමන් කල අපි.. තව තව දේවල් කරමින් පැමිණ නිවෙස් කරා ලඟා වන විට බොහෝවිට හවස හතර පහ  පසුවී හමාරය.


කවිඳුට තරු පෙනුණු හැටි.


ගෙදර අය්යලා අක්කලා සමග පන්සිල් අරන්  පොත් පත් වල වැඩ නිමා කල මා එදින රාත්‍රියේ කිසියම් වූ හිතේ දෙගිඩියාවකින් පසු වුයේ අපේ දවල් කාලයේ වීර ක්‍රියා සිහියට නැගීමෙන් වත්දෝයි මට නිකමට සිතේ. රෑ කෑමෙන් පසු අටුව තිබු මැද කාමරයේ තිබු ඇඳට වැටුනා මතකය.

මුළු ඇඟම දාඩියෙන් වැසි .. පපුව ඩිග්.. ඩිග්.. ගා ගැහෙමින් මා අවදි වුයේ අම්බලම ළඟ සොහොනේ සිට කරේ කුරුසියක් දරා ගෙන .. ඉදිරියට යන්න දඟලද්දී..දඟලත්දී  ඉදිරියට යා නොහැකිව එකම තැන රැඳෙමින් උන් මාවෙත බුරා ගෙන පැන ගෙන එන තඩි කළු බල්ලෙකු දැකීමෙනි.

"මම.... බොහොම බයවුණා .. මගේ පන එපා වුනා ... රෑ දොළහට හොල්මනකට .. මාව අසුවුනා...."
ගී පද මගේ හිතේ රැව් පිළිරැව් දුන්නා දැයි මට හරියටම නිච්චියක් නැත...



"මේ ළමයින්ට හැමදාම පන්සිල් අරන් නිදා ගන්න කියනවා.. චුටි පුතා අද උඹ පන්සිල් ගත්තේ නෑ නේද? " කියමින් අම්මා මගේ පපුවේ සිද්ධාර්ථ තෙල් ගල්වයි...

හේතුව ,... බුදු අම්මෝ... කියමින් බරට බරේ කර මත කුරුසියක්ද ගෙන ගල් ගැසී සිටි මා වෙත දත් විලිස්සන් ආ තඩි.. කළු බල්ලා දැක මා තැබූ විලාපයයි.

4 comments:

  1. මේක සෑහෙන රස විඳින්ට පුළුවන් පෝස්ට් එකක්. අමු අඹයි ලුණු කටයි රහ මතු වෙමින් දැනුනා . කවිඳුනම් නියම ඇම්ඩෙක් තමයි . අර blogger follower ගැජට් එක දා ගත්තානම් අලුත් පෝස්ට් දාපු ගමන් අපිත් දැන ගන්නවා

    ReplyDelete
    Replies
    1. ගැජට් එක දා ගත්තා .... දැන් හරි නේද?

      Delete
  2. පෝස්ට් වලට ලේබල් ටිකකුත් දැම්මානං මරු

    ReplyDelete
  3. මේ ලේබල් වැඩේ මට තේරෙන්නේ නෑ..??

    ReplyDelete