Follow by Email

Friday, 10 April 2015

මා කුඩා ව්‍යාපාරිකයෙක් වූ හැටි...



ඒ වනවිට   මම  මහා විද්‍යාලයේ හතේ පන්තියට පැමිණ සිටියෙමි. 

අප සිටියේ ලෝහ වැඩ හා වඩු වැඩ පන්ති කාමර අසල ගොඩනැගිල්ලකයි. එබැවින් අපට දින පතාම කෙට්ටු කළු මනුස්සයෙකු වූ "ලොඩ්ඩා"  හෙවත් ලෝහ වැඩ ගුරු තුමත් .. කලිසම පහලට එල්ලේන්න අදින එම නිසා කොයි වෙලෙත් කම්සයෙන් භාගයක් එළිටට වැටෙන "වඩ්ඩා" හෙවත් වඩු වැඩ ගුරුතුමාද නෙත ගැටෙයි. 

මේ අතර මගේ පන්තියේ සිටි මා හා ගණුදෙනු කල පංති  සගයින් සංක්‍යාවද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙයි.

කිරිකැටියන්ගේ   ආදර හසුන්.


එකල මගේ මහා විදුහලේදී හඳුනාගත්  "නව සගයෙක්" වූයේ දෙහි ගස් වත්තේ සිට පැමිණි  යෝෂිත කන්දේ කුඹුරයි. 

කන්දේ කුඹුර ගේ තාත්තා පාසැල්ගු රුවරයෙකි. ඔහුගේ අය්යා සිටියේද අපට පංති දෙකක් ඉහළිනි.

 ඒ කාලේ යන්තම් අවුරුදු 11 -12 වයස් සපුරා  සිටි අප  සම වයසේ කෙල්ලන් ගැනද උනන්දුවක් දක්වුයෙමු. 

පන්තියේ සිටි ඇහැට කනට පෙනෙන කෙල්ලක් වූ  ඈන් නිලන්ති පීරිස්  ඉන් එක් අයෙකි.

ඈන්  මා දෙසද ඉඳ හිට ඉඟි බිණි කල කෙල්ලන්  ගෙන් කෙනෙකි. 

ඒ කාලයේ හැටියට පොඩි පන්ති වල නංගිලා ලොකු පන්ති වල අය්යලා දෙස බලනවා මිසක් සම වයසේ අය ගැන සිතන වාර අඩුය.  

මේ තත්ත්වය හොදින් වටහාගෙන සිටියේ වුවද මා හට ද නිකමට වාගේ ඈන්  ගැන කිසියම් උවමනාවක් ඇතිව තිබු බව නොකියාම බැරිය.

හතේ පන්තියේ කාලය සෙමින් ගලා යයි.. මේ අතර දවසක් පන්තියේ මහා කසු කුසුවකි.  

කන්දේ කුඹුරගේ පොත් නම ලියන කොටසේ ඇති අකුරු තුනක් දෙස කොල්ලෝ උනන්දුවෙන් බලා සිනා සෙති. 

මමත් ඔලුව දමා බැලුවේ මේ සිද්ධිය තරමක් රසවත් බව වැටහුන නිසයි.

 දුටු දෙයින් මා සිත අධික කම්පනයකට පත්විය. 

කන්දෙයා  මගේ සියලු බලා  පොරොත්තු සිඳලමින් ඔහුගේ පොතේ  A. N. P. යනුවෙන් සටහනක් දමා තිබේ. 

තවත් මෙවැනිම ශෝක ජානක සිද්ධියකට  සහභාගි වන්නට මා අවාසනාවන්ත වූ  බව ඔබට කියන්නේ හද පිරි ශෝකයෙනි.

ඒකටත් මගේ මිතුරු කනේදෙකුඹුර  සම්බන්ධය. 

ඒ කතාව මෙසේය...

ඈන් නිලන්ති මෙන්ම සුදෝ සුදු නොවුවත් දැකුම් කළු පෙනුමකින් යුත් තවත් කෙල්ලෙක් අප පන්තියේ සිටියාය. 

A.N.P.  ගනු දෙනුව හිතින්ම කන්දෙට බැහැර කල මම කළු නිසා කන්දේ හෝ වෙන කිසිවෙක් හෝ ඇය දෙස නො බලාවි යැයි සිතුවෙමි.

ඒ  අදහස ඇතිව මේ දැකුම් කළු හතේ පන්තියේ ගැනු ළමයා ගැන සිතන්නට පටන් ගත්තෙමි. 

ඇය නමින් සඳ මාලි විය. සඳමාලි පාසැලට පැමිණියේ 79 වැලිකන්ද බසයෙනි. 

සඳා ඇත්තටම මා දෙස බලනවාද නැද්ද වත් පැහැදිලි නැති කාලයේ කන්දේ කුඹුර නැවතත් මගේ සතුරාගේ භූමිකාව රඟ දැක් වුයේ  මා නැවතත් ශෝක සයුරේ ගිල්වමිනි. 

ඒ අප දුටු කෙටිම කෙටි වුවත් අදහස ඉතා පැහැදිලි ආදර හසුනක් ඉදිරිපත් කරමිනි. 

මෙය පන්ති භාර වන්නිගම ගුරුතුමියට හසුවූ පසු සිදුවූ අකර තැබ්බය තවත් එකකි.  

කන්දේ එවර ලියා තිබුනේ " සඳ මාලි .. අප දෙදෙනාගේ ආදරය ප්‍රකාශ කරමු" යනුවෙනි.  

මෙවර ලියවුනේ ඔහුගේ පොතේ පිට කවරයේ නොව සඳ මාලිගේම  පොතේ කවරයේය.

මම  කන්දෙයා කන්න තරම් කේන්තියකින් පසු වුවත්  තනි හිතින්ම එයත්  විඳ දරා ගෙන අනාගතයට මුහුණ දෙන්නට හිත හදා  ගත්තෙමි.





අපේ ගමේ නාට්‍යයක්




මේ  කාලය ජාතික තරුණ සේවා සභාව ගම් වල තරුණ තරුණියන් අතර පැතිරුණ කාලයයි. 

අපේ ගමේ අය්යලා අක්කලාද  ශ්‍රී සිද්ධාර්ථ එකමුතු කලා හවුල නමින් තරුණ සන්විධානයක් පිහුටුවා ගත්හ. 

ඔවුන් අතර කුමාර අය්යා , විද්දී අය්යා , හේරත් , චුට්ටි , තෙලිහා වැවේ කරුණේ අය්යා වැනි අය්යලා පෙරමුණේ වුහ. 

එකමුතු කලා හවුලේ මුල්ම කලා කටයුත්තට දායක වූ අය අතර ඒ වනවිට අවුරුදු හැට පහක පමණ  'තරුණයෙකු"  වූ ගුණදාස මාමාද විය.

එයට නම තැබුවේ "සැඟවුණු දෛවය" යනුවෙනි. 

සැඟවුණු දෛවය නාට්‍යයේ දෙබස් හා තිර රචනය ගුණදාස මාමා ගෙනි. 

ඔහු ඒ දින වල අපේ ගමේ තිබු කඩය කල මුදලාලිද විය. 

ඔහුගේ කඩේට  දාන්  අදින්නට එන හේරත් අය්යලා කුමාර අය්යලා අල්ලා ගෙන ගුණදාස මාමා නාට්‍ය සකස් කලා විය යුතුය.

 දිනපතා හවසට පුහුණු වීම් කෙරුනේ කිරඹ ඔය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දිය.

මමද නාට්‍යයේ භූමිකාවක් නැතත්හේරත් අය්යලා සමග එහි ගැවසීමට පුරුදු වී  සිටියෙමි.


නාට්‍ය යේ චරිත වලින් මට මතක චරිත කිහිපයක් මෙසේය.   එහි සිටි පෝසතා ධනවර්ධන මුදලාලි ලෙස රඟපෑවේ  අපේ කුමාර අය්යා ය.  

මුදලාලිගේ ගෙදර සේවකයා ලෙස චුට්ටි අය්යා රඟපෑවේ ය.  

මේ මුදලාලි  පපුවේ අමාරුවකින් මියයයි.  ඉන් පසු ඔහුගේ සියළු ධනය  සේවකයාට හිමිවේ . 

මුදලාලි ලෙඩවූ වෙලාවේ  ඔහුට බෙහෙත් කරන දොස්තර මහතා තෙලිහා වැවේ  කරු අය්යා ය.  

කරු අය්යා ඒ කාලේ ගමේම සිටි කඩවසම් තරුණයන්ගෙන් ගෙන් මුල් තැන සිටි අයෙකි. 


මේ අතර රැකියාවක් නැති තාත්තට ඉල්ලමක් පෑදුනේ අපේ බාප්පා ගම අතහැර පුංචි අම්මලාගේ ගමට යෑමෙනි. 

බාප්පා අපේ තාත්තා ට ඔවුන්ගේ නිවසත් වත්තත් බලා ගැනීම භාර කළේය.අප දැන් සිටින්නේ තාත්තලාගේ මහා ගෙදරයි. 

එහි වත්තේ නැති දෙයක් නොමැත .. කිතුල්, පොල්, තේ , එනසාල්, කෙසෙල් මෙන්ම .. මම චමින්දලා ගෙදරදී රස විඳි ජෑම් පේර ද එහි විය. 

මෙය අප මුලින් සිටි අපේ ගෙදර මෙන් නොව බැලු බැලු අත මුදල් සෙවීමේ මාර්ග වලින් පිරුණි සරු සාර ගෙවත්තකි. 

බාප්පලා ගෙදර සිට නාට්‍ය පුහුණු වන තැනට ඇත්තේ මීටර සියත් -දෙසියත් අතර දුරකි.


බාප්පලා ගෙදර මුදල් උල්පත්


අම්මා තේ වත්තේ දළු වලින් අලුත් අදායමක් ලබා ගත්තේ එහි නිවසට ඉහලින් තිබු තේ කෑල්ලේ දුළු ටික කඩා පියර පන් දෝවේ දළු එකතු කරන තැනට දීමෙනි. 

මේ අතර තාත්තත් මමත් අත ගැහුවේ වත්ත එලි පෙහෙළි කරන ව්‍යාපෘතියටයි.

තාත්තා මේ මුවාවෙන් ලොකු ගස් වල අතු කප්පවා දර යාර ගසා විකුණුවා මට මතකය.

කුඩා මමද ව්‍යවසයක්ත්වයේ මුල් පියවර තැබුවෙමි. ඒ ජෑම් පේර ගසෙනි.



නංගිලට ගහ ලඟට වත් එන්නට ඉඩ නොදුන් මා පේර හුන්ඩුවක් සත විසි පහ ගානේ ගමේ ජෑම් හැදු පොරෝලිස් මහත්තයට විකුණු වෙමි. 

පොරෝලිස් ඒ මුදලට අමතරව මාසේ අන්තිමට නොමිලයේ ජෑම් හෝ කෝඩියල් බෝතලයක් ලබා දුන්නේ ව්‍යාපාරයෙන් ඔහුටද හොඳ ලාභ තිබු නිසා විය යුතුය. 

පොරෝලිස්ගේ බිරිඳ එකල කිරඹ ඔය විද්‍යාලයේ ගුරුවරියකි.




ඊට අමතරව බාප්පල වත්තේ තිබු ගිරා අඹ ගසද , අලි ගැට පේර ගස්ද අපට ලොකු ආදයමක් ලබා දුන් බව මෙහිදී සිහිපත් කරමි. 

ඇයි කිතුල් ගහ.... ලොකු කිතුලේ පලවෙනි මල පීදුනේ අප එම නිවසේ පදිංචි කාලයේදීය. 

අම්මා පැණි උණු කර හකුරු හදා විකිණීමෙන්ද අදායමක් ඉපයුවාය.

මේවා මෙසේ වෙද්දී මම වත්තේ පහල කොටසට සිත යොමු කලෙමි.  

අම්මලාද ඒවාට හවුල් වූ අතර මම ඒ කොටස මගේ ප්‍රධානම රාජකාරිය කර ගත්තේ පාසල් ඇරී නිවසට ආ වෙලාවේ සිට   ගොම්මන් කළුවර වැටෙන තෙක් එහි වැඩ කිරීමෙනි. 

අප  ඒ කොටසේ හැදු එළවළුවලට බප්පලාටත් ලොකු තාත්තටත් පොදු වූ ළිදෙන් වතුර ඇද දැම්මේ ද මා විසින් මය.

දවසේ වැඩ නිම වී ඒ ලිදෙන්ම නා ගන්නා මා පසු කර හවස හත අට අතර වගේ වෙලාවක ගමන් ගන්නා ලොකු තාත්තා දිනක් මා හට පැවසුයේ 

"තමුසේ මාර ළමයෙක් නේ අයිසේ මට නෑනේ ඔය වගේ එකෙක්" යනුවෙනි.

මෙවැනි විශාල වාසි තිබුනද කුඩා අපට මේ නිවසේ  තිබු එකම ප්‍රශ්නය වුයේ සුවඳේ අය්ය විසින් ඇඳ තිබු මුත්තගේත් අතම්මගේත් සුවිශාල පින්තුර දෙකයි.. 

ඒවා විශාල ඈස් වලින් අප දෙස බලා සිටිනවා යැයි මට සිතුනු වාර අනන්තය. 

බාප්පලා ගෙදර තිබූ  අත්තම්මගේත්  මුත්තගේත් සුවිශාල පින්තුර දෙකට බයවූ අය්ය මේ වන විට අප සමග එහි නොරැඳී  මොනරගම මාමලා ගෙදරට ගොස් සිටියේය. 

මා වුවද රාත්‍රියට සාලයෙන් ගමන් කලේ ඒ පින්තුර දෙක දෙසවත්  නොබලා බිම බල ගෙනය. 

හැබයි අක්කා මම ඔය කිසි කෙනෙකුට  බය නෑ කියමින් ඉස්සරහම තිබු මුත්තාගේ කාමරය ඇයට වෙන් කර ගෙන සිටියාය.



ව්‍යාපාරික ලෝකයේ තව පියවරක්






දැන් සැඟවුනු  දෛවය තිර ගත වෙන දිනයත් ළඟා වෙමින් පවතී. 

හේරත් අය්යලා බරටම පුහුණු වීම් වලය. 

මේ අතර තාත්තා මට වැදගත් යෝජනාවක් කළේය.


" චුටි පුතා පොඩි බිස්නස් එකක් කල හැකි ඔය නාට්‍ය දවසට .. හේරත්  අය්යාගෙන් අහල බලන්න කවුරු හරි ඉන්නවද ටොෆි සිගරට් විකුනන්න නැත්නම් ඔයාට එක කරන්න පුළුවන් "


මම හේරත් අය්යාට මෙය කියූ පමණින් අවශ්‍ය අවසරය ලබා දීමට ඔහු සංවිධායක  මඩුල්ලට දැනුම් දී තිබුණි. 

තාත්තා මොණර ගම මාමාගෙන් මට රුපියල් දෙසිය පනහක් අරන් දුන්නේ වැඩේට අවශ්‍ය මුලික ප්‍රාග් ධනය වශයෙනි.

මම බර්නි ටොෆි, 555 සිගරට් (මේ බ්‍රිස්ටල් .. ත්‍රී රෝසස් හිඟ කාලයයි) සහ වේඵස් යන වර්ග තුන සැඟවුණු ද්‍ය්වය අතර තුර විකුණන්නට තීරණය කලෙමි.

ඔයින් මෙයින් නාට්‍ය දිනයද උදා විය ..එය සෙනසුරාදාවකි.  මම ටකරන් පෙට්ටියක මගේ විකුණුම් භාණ්ඩ පුර වා ගෙන , එකතු වන සල්ලි දැමීමට PVC මල්ලක්ද සහිතව  වේදිකාව අසලට වී සිටියෙමි. 

හේරත  අය්යා  දිනයේ ප්‍රධාන සංවිධායක තනතුරට අමතරව මගේ මග පෙන්වන්නාද විය.

"ශ්‍රී ලංකා මාතා" පොල් තෙල් පහන, පිලි ගැනීමේ කතා ආදියෙන් අනතුරුව දර්ශන ආරම්භ විය. 

කිරඹ ඔය විද්‍යාල ශාලාව අතුරු සිදුරු නැතිව පිරි ගොසිනි.  

නාට්‍ය ජයටම යයි .. හිත හොඳ මුදලාලිට රඟ පෑවේ කුමාර අය්යා ය.  ඔහුට  පපුවේ අමාරුවක්  හැදෙන්නේ  ඒ හේතුවෙන් ම  ලය පැලි  මිය යයි. 

මිය යන්නට පෙර   සියළු සේසත  ඔහුගේ  කීකරු ගෝලයාගේ  නමට ලියන්නේ  ගෝලයාගේ "සැඟවුනු  දෛවය" එය බව අපට පෙන්වමිනි. 

නාට්‍ය  අතරමැද ක්‍රීං ගමින් සීනුවක් නාද විය. 

දැන් පළමු විවේකයයි. මිනිස්සු තරඟයට මගෙන් බඩු ගනියි.  

"ටොෆි මල්ලී  සිගරට් එකක් " අයෙක් කෑ ගසයි.  

කිරවනා  බිස්සේ කෙල්ලෝ  පොදියක් ඇවිත් මගෙන් වේඵස් අරන් ගියේ හීනියට නක්කලයක්ද දමමිනි.   

"ටොෆි මල්ලී වේදිකාව අසලට එන්න" 

හේරත් අය්ය යකඩ කටින් කෑ  ගසයි. 

ඒ අතර ගෙදරින් ගෙනා තොගද ඉවර වී ගොසිනි. 

මම PVC මල්ල (සල්ලිත් එක්ක)  හෙළ තැන්නේ බණ්ඩාරේ අතට දුන්නේ ගෙදර ගොස් ඉතිරි බඩු අරන් එන අටියෙනි.

දෙවන දර්ශනය 6.30 ට. මම නැවතත් බඩු තොග අර ගෙන වැඩට බැස්සෙමි. වැඩි පුර විකිනුනේ 555 වුනත් මගේ බිස්නස් එක නැගලා යයි.

ඉරිදා උදෙන් මොනරගම මාමා ගෙන නැවතත්  නයක් තාත්තා අරන් දුන්නේ පළමු වැනි දිනයේ ලාභ ගනන් කරන්නට වෙලාවක් නොතිබූ නිසා විය යුතුය.  

හෙළ තැන්නේ බණ්ඩාරේ (අපේ නැන්දගේ පුතා) මගේ විශ්වාසය කඩා කල බව තේරුම් ගන්න තරම් මට ශක්තියක්  නොතිබූ එකද මිට හෙතු වන්නට ඇත.

සත 16ක තොග මිලට ගෙනා බර්නි ටොෆියක් මම විකුණුවේ සත 30 කටයි. සත 75 ට ගෙනා 555 එකක් රුපියල් 1.50 ගානේ විකුණලත් මට ලැබුණු ලාභය  එතරම් නොවුයේ  ඇයි දැයි තේරුම් ගන්නට මගේ ව්‍යපාරික නුවන දියුණු වී නොතිබිණි.

අවසානයේ මොනරගම මාමගේ නය පියවා ඉතිරි වූ ලාභය මට ප්‍රමාණවත් වුයේ ඉස්කෝලෙට අදින්න නිල් පාට කොට කලිසම් 2 ක් මහ ගන්නට පමණි.




11 comments:

  1. අප්පට මස්සිනා මාටියා ගහල නේ

    ReplyDelete
  2. ඔවු.. ඔවු.. ඔහොම මස්සිනාලා තමයි හිටපු ගමන් අහුවෙන්නේ...

    ReplyDelete
  3. එකට එකක් නෙවෙයි ඊටත් වැඩිය ලාබ ගන්න එක කළු කඩයක් තමයි ඉතින්...

    ReplyDelete
  4. බර්නි සහ ස්ටාර් ඕන් අපි කාපු ටොපි
    තව මෝල්ටීස් දොඩම් සීනි බෝල
    ඩෙල්ටා නම් තාමත් තියෙනවා ඒත් ඒ රසය නෑ

    ReplyDelete
    Replies
    1. බර්නි ටොෆි මල්ලක් අරන් 320 ඇටැම්පිටිය බස් එකට නගින මුදලාලි අය්යලා, මාමලා ටික මතකද? මේ මගේ පළමුවෙනි බිස්නස් එක.. නැගලා ගියා . ඊට පස්සේ කරපු බිස්නස් ඊළඟ කොටසේ තියෙනවා..

      Delete
  5. "දෛවය"

    මමත් අපි වවමු අපි හැදෙමු සාර්ථකව කරපු පොඩි ගොවියෙක් තමයි.. ඉස්සර මගේ කතුරුමුරුංගා මිටිය කඩේට එනකන් සෙනඟ බලාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මාතලන් "අපි එකම රෑනේ කුරුල්ලෝ..." කියන්නේ ඒකනේ... ලියමුද ඒවා ගැනත් පොස්ට් එකක්...?

      Delete
    2. සැඟවුණු "දෛවය" හැදුවා .. වචනෙට ස්තුතියි..

      Delete
  6. මාත් ඔය බටුයි ගෝවයි හිටෝලා වැලේ වැල් නැතුන් ගෙන්දගන් පොලොවට ආපු මිනිහෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් මේනක.. හැමෝටම වගාව හරියන්නේ නෑ.. ඒකත් සැගවුණු "දෛවය"
      ක් වෙන්න ඇති. කවුද දන්නේ ගෙන්දගම් පොළව තමයි හරියන තැන ද කියලා??

      Delete