Follow by Email

Friday, 10 April 2015

අපේ ගෙදරට නයෙක් ඇවිත්...



පසුගිය සතියේ දිනක මගේ හිතවත් අයෙකුගෙන් ලැබුන කෙටි පණිවිඩයක සඳහන් වුයේ "  මට ගොඩාක් සමීපව හිටපු මගේ ආච්චි අම්මා නැතිවුණා. 

මම හරි කණගාටුවෙන් ඉන්නේ මේ දවස් වල.. තව ටික දවසක් යනකන් අන්තර් ජාලයේ කතා බලන්න වෙන්නේ නෑ....ඒත් ලියල තියන්න " යනුවෙනි. ඇයට ඇයගේ ආත්තම්මා බොහෝ ආදරය කල සෙයකි.

...ඒකට අපේ ආත්තම්මා....මට අපගේ ආත්තම්මලා සිහි වෙයි.  අම්මලා පැත්තේ  ආත්තම්මා නම් අප කුඩා කල ජිවතුන් අතර සිටියාය. නමුත්  අපේ තාත්තගේ අම්මා මා උපදින විටත් මෙලොව හැර ගොසිනි.

ඇය දැකුම් කළු පැහැයකින් යුතු වූ අතර අපේ අම්මලා පැත්තේ  මුත්තා අපට නිතර මතක් කරන "මොර ගෙඩි" වැනි ඇස් අපට ලැබුනේ ඇයගෙන් විය යුතුය.  

මා එසේ සිතුවේ පොඩි බාප්පලා ගෙදර තිබු..සුවඳේ  අය්යා විසින් අදින ලද ඇයගේ චායා රුපයක් දුටුවාට පසුවයි.



කනිෂ්ටයෙන් ජෙස්ටයට


මේ එක්දාස් නමසිය අසු ගනන් වල මුල් භාගයයි. 

මම කනිෂ්ටයෙන්  මධ්‍ය මහා විදයලයට පැමිනෙන්නේ මේ දිනවලයි..  

ශිස්‍යත්වයෙන් සමත්  ගැට්ටා, ජාලිය, වන්නි වැනි අය උඩහ පාසැලට ගොස් ජෙෂ්ටයින් බවට පත්වී සිටි.

මහා විද්‍යාලයේ  ඇතුල් වීමේ විභාගය නොලියා  ශිස්‍යත්වයෙන්ම එහි යාමට සිටි මට පත්වීමේ ලිපිය ලැබෙන්නේ සති කීපයකට පසුවයි. 

වම්බොට්ටලා  උහනේ  පුතාලා වගේ උන්ට නවක  සංග්‍රහ ලැබෙද්දී.. මම පන්ති ලඟින් යනවිට ජාලිය , ගැට්ටා ආදීහු මචන් අපේ පන්තියට වරෙන් කියමින් මට අඩ ගසති.

මේ වනවිට අපේ  තාත්තා ලිපිකරුවෙක්  හෙවත් ලියන්නෙකි.

අලුත් ඉස්කෝලේ උප විදුහල් පතිතුමා අපේ තාත්තා මෙන්ම පළාතේ රිදී සීනුවකි.  

එමෙන්ම ඔහුගේ  දේශපාලන බලය තිබු කාලයේ හොඳ ගජයෙකි.


මම අම්මා සමග නිල්පාට බෑග් එකත් පිටේ එල්ලගෙන අලුත් ඉස්කෝලෙට ඇවිත් උප විදුහල් පති ළඟය. 

අම්මා තාත්තා විසින් ඔහුට ලියු ලිපියක් ඔහු අත තබයි.

 " හිතවත් උප විදුහල් පතිතුමනි.. 

මම මල්දෙනියේ නාමරත්න .. දන්නවා ඇති නේ.  මෙය රැගෙන එන මගේ පුත්‍රයාට පුටුවක් ලබා දෙන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි"

උප විදුහල් පති "හිල් පනාවක්" දමා අම්මා දෙසට හැරී.. 

"මේ කවුද? මෙයා මම දන්නේ නැ.. 

ලියුම් වලින් කමක් නෑ  පුටුවක් ගෙදරින් ගෙනාවේ නැත්නම් ළමයට හිටගෙන ඉන්න වෙයි "



කියමින්  ලිපිය පසෙකට දැමීය.


මේ උප විදුහල් පති තුමා ඒ කාලේ සුදු සරම් ඇඳ යමහා මෝටර් ස්යිකලයක් පැද්ද කෙනෙකි.

ඔහුගේ පුතාද අපට සම වයසේ වූ අතර පාසැල් ගියේ  ප්‍රදේශයේ තිබු  ගෙවන පාසැලක්  වූ  ශාන්ත  පීතර විද්‍යාලයටයි. 

එහෙත් අම්මාට  ඉහත වාක්‍ය  කියමින් උපහාසයෙන්   මා දෙස බැලු එතුමා නොදැන සිටි කාරණය වුයේ පන්ති හතරේම බාගෙට බාගයක් හිටියේ මගේ සගයින් බවයි.

මුල්ම දිනයේ  ජාලිය ගේ පුටුවෙන් බාගයක්.. දෙවැනි දිනයේ ගැට්ටා ආදී වශයෙන් කොල්ලෝ මගේ පුටු බාගයේ ප්‍රශ්නය විසඳා දුන්හ.

නව මිතුරන් පිරිසක් දා හඳුනා ගන්නා මට මෙතැන් සිට  මට චමින්ද නිතර මුණ ගැසෙන්නේ නැත්තේ අපි පාසැල් දෙකක ඉගෙන ගන්නා සිසුන් බැවිනි.


නිවසට ආ අමුත්තා


අපේ නිවසේ කාලයද සෙමින් ගලා යයි..මේ අතර එක් දිනක් අම්මා සහ අක්කා නිවසේ ගේ දොරකඩට වී කතා කරමින් සිටින මොහොතකි . මමත් මිදුලේ කුමක් හෝ කරමින් සිටියෙමි.

 "අම්මා.. මෙන්න ගැරඬියෙක්" කියමින් අක්කා මිදුලේ කෙලවර වූ කොස් ගහ දෙසට ඇත දිගු කරයි... අම්මා ඒ දෙස විමසිල්ලෙන් බලා ඒගැරඬියෙක් නොව පෙනේ නොකරන නයෙක් හෙවත් හැපින්නක් බව හඳුනා ගනියි.

කලබගැනිය ඇසුණු පල්ලෑහැ ගෙදර ජේන් අක්කාද දැන් එතනය.

 " මෙතන කිරි සප්පයෝ ඉන්න තැනක් නේ.. නයි හාමි කරුණා කරලා මෙතනින් යන්න." ජේන් අක්කා පින් සේන්ඩු වෙයි.




හැපින්න නොවේ අඟලක් වත් හෙලවුනේ....එදින රැබෝවී අප නිදා ගන්නා තුරුම ඇය එතන රැදුන බව මගේ මතකය කියයි.

 පසුදා දහවල් කෑමෙන් පසුවද අපට අමුත්තා දර්ශනය විය ඒ නිවසේ දොරකඩ ළඟය.

මෙසේ කාලය ගත වෙද්දී  ඇය අපේ නිවසේ පල පදියම් වුයේ වරෙක වහලේ යට ලියෙන්ද තවත් වරෙක කුස්සියේ වහලයෙන්ද ආදී වශයෙනි.

 අම්මා අමුත්තා එලවීමේ සරල ක්‍රම වූ  භුමි තෙල් හැලීම, වැලි මතුරා දැමීම හා බිත්තර තැබීම වැනි  ඒවා ඵල රහිත වූ තැන හැරුනේ මෑතක ශ්‍රී ලංකාවේ ඉහලම තැන් වල පවා සැලකුම් ලත් සාස්තර කලාව වෙතයි.

අපේ ගමේ සාස්තර කලාව

අම්මා උදැසනම  ජේන් අක්කා සමඟ බුලත් හුරුල්ලක්ද රැගෙන පිටත් වුයේ අමුත්තා කවුද... ඇය අපේ නිවසට එව්වේ කව්ද?  වැනි දැවෙන ප්‍රශ්න වලට ටක්කෙටම විසදුම් සොයා ගන්නා අටියෙනි...

මේ අතර අමුත්තා තවමත් කුඩා ළමයින් පිරිසක් ගැවසෙන මේ නිවස අවට හැමදාමත් අපට පෙනෙන තෙක් මානයේ ගැවසෙයි.

දවල් වෙද්දී අම්මා හති දමමින් කන්ද නැග පැමිණ නයා එන පැත්ත දෙසට ගියේ.....

" කෝ ඕකි.. කවුරු හොයා ගෙනද  දැන් මෙතන ඇවිත් මගේ දරුවෝ ටික බය කරනවා .. මනුස්සයත් නැති ගෙදර " කියමින් කෑ ගසමිනි.

මෙතෙක් අපට නොපෙනෙන තැනක සිටි නයා එක වරම කොස් ගස දෙසින් මතු වන්නට විය.

අම්මා සාස්තර කාරයාගේ කතාව තරයේම විශ්වාස කරයි..ඒ අනුව මේ ඉන්නේ අපේ පල්ලහැ අත්තම්මාය.

රාජපක්ෂ වරුන් සාස්තර පිට සාස්තර අහන මේ සමයේ  අපේ අම්මා ද රාජපක්ෂ කෙනෙක් බව අප අමතක නොකලයුතු වෙමු.

තවත් දිනයක අපේ ගෙදර ලොක්කා වූ අපේ අය්යා නයාට අභියෝගය කල හැටි මට තාමත් මතකය.

අම්මා , අක්කා ඇතුළු අපි හැමෝම ගෙදර සිටි වෙලාවක 

" උඹ එච්චර ලොකු නයෙක් නම් දැන් කක්කුස්ස්සි වල ලඟින් මතු වෙයන් "යැයි අය්යා කිවේ නයාගේ සාමාන්‍ය ගමන් මග වුයේ කොස් ගහ ලඟින් මිදුලේ ඉහලට ඇවිත් ඉස්සරහ දොර ලඟට එන එක වීම නිසාය.

 නයාද අප වැනිම අයෙකි. අභියෝගය බාර ගැනුනේ කිසි සද්දයක් නැතිවයි.  

හිනා වෙමින් සිටි  අය්යාගේ සහ අපේ ඇස් උඩ ඉන්ඳ වුනේ වැසිකිලියේ ප්ලේට් එක ළඟ ගුලකින් මතුවන නාග රාජයා දැකීමෙනි.

නයත් අපිත් නිතර දකින ජේන් අක්කද සාස්තරය  විස්වාස කරමින් පැවසුයේ

 " නංගි මෙයා මේ ළමයින්ට හරි ආදරෙයි එකයි මෙහෙම ළඟටම ඇවිත් බලන් ඉන්නේ" යනුවෙනි..

ජේන් අක්කගේ කතාවට හොඳම සාක්ෂිය සැපයු දවස අද වාගේ මතකය. ඒ වන විට වයස අවුරුදු 2-3 අතර සිටි අපේ  පොඩි නංගි මිදුලේ සෙල්ලම් කිරීමට පැදුරක් මත තබා අම්මා ඇය බලා ගැනීම අක්කට බාර කර තිබුණි. 

කෙසේ හෝ අක්කා මම ඇතුළු අප මොහොතකට නංගි තනි කර දමා එතනින් එහා මෙහා වී තිබුණි. අප එක වරම ඒ දෙසට දිව ගියේ අක්කාගේ කැ ගැසීමත් සමගිනි

 " අම්ම මෙන්න නයා පොඩි නංගි ළඟ."  අම්මා කෑ ගසමින් එතැනට  පැමිණ නැවතත් නයාට බනින්නට වුවාය. "අපිට කරදර නොකර පලයන්.. උඹලගේ කවුරුවත් දැන් මෙහෙ නෑ... මායි මගේ දරුවෝ ටිකයි විතරයි ඉන්නේ... අනිත් අය කොළඹ"

ඔබ මෙය විශ්වාස නොකරන බව මම දනිමි එහෙත් මුළු රටක් පහු ගිය වකවානුවේ විස්වාස කල සාස්තර කලාව අවිශ්වාස කරන්නේ කෙලෙසද?
නයා හින් සීරුවේ එතනින් ඉවත් වුයේ නංගි ගේ නිය පොත්තකටවත් හානියක් නොකරමිනි.


අපේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයිද?

මේ වන විට තාත්තා ගම පැත්ත පළාතක හිටියේ නැත. දරුවන්ට කොයි මොහොතේ හෝ අනතුරක්  සිදු විය හැකි යැයි ඉවෙන් මෙන් වටහා ගත් අම්මා හොඳින් හෝ නරකින් හෝ නයා එළවීම ඉක්මන් කල යුතු යැයි තීරණය කලාය.

විසඳුම සොයා යන ගමනට මමද එක් වුයෙමි. අප ගියේ ගලෙන් බිඳුණු වැව පහත් බිමක තිබුණ තැනකටයි. කට්ටඩියා ජාතික ඇඳුම හැඳි තලත්තැනී මහත්මයෙකි. ඇත්ත වශයෙන්ම පාසල් ගුරුවරයෙකි.

ඔහුගේ පුත්‍රයා එකල කැලණිය ව්‍යිද්‍ය පිඨයේ සිස්යයෙක් බව එතැනදී අම්ම සමග  ඇතිවූ සුහද කතා බහේදී ඔහු සඳහන් කළේය. "මලින් උපන් කුමරා" යැයි නමකින් යුතු මේ පුත්‍රයා නමට හෝ අප ප්‍රදේශයේ  ජනතා සේවයට යොමු වන්නට ඇත්තේ ඒ තාත්තගේ අභාෂය නිසා විය යුතුය.

අම්මා අපට තිබුණු ප්‍රධාන ප්‍රශ්ණ දෙකම ගුරුතුමා  ඉදිරියේ තැබුවාය. ඔහුගේ විසඳුම් සෙවීමේ මාර්ගය පිළිබඳව සාකච්චාව මට අද වගේ මතකය.

" නයා එලවන්න පුළුවන් හැබැයි එකෙන් ඔයාලට අවාසියි. මහත්තයා ගෙදරට ගෙනල්ල දෙන්නත්  පුළුවන් ... හැබැයි එතනත්  පොඩි කොස්සක් තියෙනවා... එයාගේ රස්සාව නැති වෙන්න ඉඩ තියෙනවා" .

අම්මා මේ දෙකටම එකඟ වුයේ  කොල්ලන්ගේ තාත්තගේ රස්සාව නැති වුනත් අපේ ගැටළු විසඳා ගැනීම ඊට වඩා වැදගත් බව පසක් වූ නිසාවෙන් විය යුතුය.


මහා දෙහි කැපීමේ මංගල්ලය




කට්ටඩි ගුරුතුමා කියූ පරිදිම වැඩ කරන්නට අම්මා තීරණය කලාය. දෙහි ගෙඩි 7 බැගින් නිවසේ සියලු දෙනාගේ හිස සිට දෙපතුල දක්වා ස්ථාන හතක තබා කපන්නටත්. තාත්තට මේ කිසිවක් නොදැනෙන ලෙස කරන්නටත් ඔහු උපදෙස් දුන්නේය.

තාත්තට හොරෙන් ඔහුගේ කොට්ටය යට යමක් තබන්නත් උපදෙස් ලැබුණි. රුපෙට රුපයක් ඉල්ලුවාදැයි මට මතක නැත.
දෙහි කැපීම සිදු වුයේ අපේ නෑදෑයින්ටත් නොදැනෙන පරිද්දෙනි.

අම්මාගේ අත් උදව්වට එනම් දෙහි සැපයීමේ සිට ඒ දිනයේ සිදු විය යුතු සියලු ආව තේව කිරීම සඳහා කාටත් හොරෙන් අපේ ගෙදරට ආවේ  අපේ පවුල් දෙකෙන්ම මාගේ බලවත් අගය කිරීමට කවදත් පාත්‍ර වූ  ඊට ටික කලකට පසු අවාසනාවන්ත ලෙස අපෙන් වෙන් වූ  ඇතිමලේ බාප්පාය.

සීරුවෙන් සිට ගෙන සිටි මා ඉදිරියේ දෙහි ගෙඩි හතක් ගිරයෙන් පුවක් කපන්නා සේ  කැපු ඇතිමලේ බාප්පා මගේ වස් දොස්දුරු කිරීමට අමතරව ඔහුගේ ආත්මීය ගුණාංග ද මට ලබා දුන්නා  යැයි මම අදටත් විශ්වාස කරමි.

අපේ බලවත්ම ගැටලුවට විසඳුම්

දෙහි කැපීමෙන් පසු ගත වුයේ දින කීපයකි. තාත්තා වැ. ත. ලිපිකරු වී (වැඩ නැතිවී ) ගෙදර ආවේය. 
කාලෙකින් පසු ගෙදර සියලුම දෙන සිටි  එදා මගේ කකුලේ තිබුණ ඉදිමිමකට  "මැග් සල්" බදින්නට අම්මාත් තාත්තාත් එක්වී වැඩ කරනු මට තාමත් මතකය.  

ඒ  දුටු මට සුළු තරහකින් පසු යාලු වී සිටින මගේ බිරිඳත් මාත් දැකීමෙන් සුපුන්ට පහල වන සතුට වැනිම සතුටක් දැනුනා යැයි කිවොත් නිවැරදිය.

අපි නිදහස් බව දත් නිසාදෝ නාග රාජ තොමෝ නැවතත් අප බලන්නට අවේ නැත. මුදලින් අඩු පාඩු වුවත් අපේ ආසන්නම ප්‍රශ්න විසඳි ඇත. 

සමහර රාජපක්ෂලා තවමත් සාස්තර විශ්වාස කරන්නේ ඇයි දැයි ඔබට දැන් වැටහෙනු ඇත.


4 comments:

  1. ​සරලයි. විස්කරාත්මකයි. පැහැදිලියි කියවන්න ගොඩක් ආස විදියට ලියල තියෙනව. හැම ලිපියකටම අදහස් නොදැක්වුවත් ඔබගේ ගොඩක් ලිපි මේ වනවිටත් මා කියවා අවසන්

    ReplyDelete
  2. බොහොම සතුටුයි අපේ ලියවිලි ඔබේ සිතට සතුටක් ගෙනෙන බව දැනගන්න ලැබීම ගැන.

    ReplyDelete
  3. අපිටත් හිටියා බං ඔහොම නයෙක් පැගුනත් කන්නැ

    ReplyDelete
  4. නා ලොවෙන් ආ නයෙක් වෙන්ටෑ..

    ReplyDelete