Follow by Email

Friday, 24 April 2015

ගමයි පන්සලයි අපේ ජීවිතයි..

                                             

                                                     

  හවසට පන්සල් ගිය හැටි



අපේ අය්යා සමන්ත ඒ කාලේ මා මෙන් දඟ වැඩ කල අයෙක් නොවේ.

ඔහු ගමේ අය කියන්නා වාගේ "බෝධි සත්වයෙක්" වැනි නිවිච්ච ගති තිබු අයෙකි.

නන්දි පාල අය්යලා ගැන්සියත් එක්ක නටමින් ගෙදර එන මා යහ මගට ගැනීමට සමන්ත අය්යා නොගත් උත්සාහයක් නොමැත.

ඒ බව සනාථ කීරීමට  තරම්  සරල සාධක එමට තිබේ.

ඉන් එකක් වුයේ  ඒ කාලේ අපි දෙන්නා දිනපතා හවසට පන්සල් ගිය ගමනයි.


ඒ ගමන ගියේ ජේන් අක්කගේ  අය්යා (ඩිංගිරි බන්ඩේ මාමා), මුල්ලේ ගෙදර කිරි බන්ඩේ මාමා සහ ගමේම පෝසතා වූ බාස් මාමා සමගයි.

වැඩිහිටියන් තිදෙනා ගමේ අනෙක් කෙලවරින් පටන් ගන්නා මේ ගමනට අය්යා මලෝ දෙන්නා  එකතු වන්නේ හේරත් අය්යලා ගේ ළඟ තිබුණු පඩි පෙළ ළගදීය.

ඩිංගිරි බන්ඩේ මාමා


ඩිංගිරි බන්ඩේ මාමාද අපේ ඇතිමලේ බාප්පා මෙන් මගේ ජීවිතය හැඩ ගන්වන්නට සමත් වූ ගමේ අමුතු චරිතයකි.

ඔහු ඒ කාලේ අය්යාටත් මටත් වෙන වෙනම හදා ගන්න කියා  දුන් දෙළුම් පැල දෙක මල්දෙණියේ අපේ මහ ගෙදර තාමත් ආඩම්බරයෙන් බැබළෙයි.

කලාතුරකින් අපේ  මහගෙදර යන මට "ගුරු ගීතයේ ගස් වැටියටත්" මේ දෙළුම් ගස් දෙකත්  අතර සමාන කමක්  දැනුනේ  නිකමටම නොවේ.

ඔබට මතක් ඇත්නම් හැත්තෑ හතේ අපි ගල් ප්‍රහාරයට මුහුණ දෙද්දී අය්යත් මමත් බේරා ගත්තේ ඩිංගිරි බන්ඩේ මාමා විසිනි.

තම දේශපාලන දැක්ම අපේ තාත්තලා මෙන් ප්‍රසිද්දියේ නොපෙන්වූ මේ උදාර මිනිසා අපිට කීයා දුන් පාඩම් රාශියකි.

ඔහුගෙන් අප ඉගෙනගත්  දේවල් අතර අනෙකාගේ තනතුර තරාතිරම නොබලා කෙනෙකුට උදව් කිරීම හෝ අනුග්‍රහය දැක්වීමේ ලක්ෂණය වැදගත් තැනක් ගනී.

 සංවර්ධනය වී ඇති රටක ජිවත් වන මාත් ,සුපුනුත් , සුපුන්ගේ අම්මාත් මෑතකදී අලුත් අවුරුද්දට ලංකාවේ අයගේ ගෙදර වල් වල  ගිය ගමන  මට  ඩිංගිරි බන්ඩේ මාමා සිහි ගැන්විය.

 කුඩා පෝච්චියක හැදු ගොටුකොල පැලයක් හෝ මුකුණු වැන්න පැලයක් බැගින් පළාතේ සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුටම රැගෙන ගියෙමි.

ඒ අලුත් අවුරුද්දට  අපෙන් දෙන  ත්‍යාගයක් ලෙසයි. ඔවුන් එය කෙසේ බාරගත්තා දැයි  මා දන්නේ නැත.

නමුත්  මා සිත තිබුණේ ඩිංගිරි බන්ඩේ මාමා සමන්තටත් මටත් දෙළුම් පැල ලබා දෙන විට ඔහු සිත තිබු සිතුවිල්ලම  යැයි මා සිතමි.

ඒ කාලේ හවස පහ හමාර හය හමාර වන විට සමන්ත අය්යත් මමත් ගමේ පන්සල වෙත ඇදෙන ඩිංගිරි බන්ඩේ මාමා ඇතුළු  වැඩිහිටියන් තිදෙනා සමග එකතු වන්නෙමු.

ඒ මගේ ආශාවටකට  වඩා ඉතා ධාර්මික සහ තැන්පත් කොල්ලෙක්  වූ අපේ අය්යාගේ උවමනාවටයි.

අපි මේ පුද්ගල ත්‍රිතත්වයත් සමග යන ගමනේ මුල් ආරම්භයේදීම  මගේ අතට "යමක්" දෙන්නේ ඩිංගිරි මාමා විසිනි .

ඒ ලොකු හාමුදුරුවෝ සමග තුන් සුත්‍රය කියවා ආපසු එන ගමනේදී  අඳුර නිවීමට පහනක්  ලෙස යොදා ගන්නා දෙයකි.

 ජෑම් බෝතලයක් ඇතුලට පහන් තිරයක් ගිල්වා හැදු එය ලන්තරුමක් වැනි ලාම්පුවයකි.


අපි අම්මා  සමග වගා කටයුතු වල යෙදුනු  ඒ කාලේ අපේ අල කොටුවේ එල්ලිමටද එවැනිම ලන්තැරුමක් ඔහු විසින්  හදා දුන් බව මතකය.

එකල අපේ ගමේ ප්‍රසිද්ධම  මේසන් බාස්ලා වූයේ  තාත්තගේ අය්යලා දෙදෙනෙකි.

තාත්තා ගමේ නැති ඒ  කාලේ  ඔවුන් අපේ ගෙදර වැඩකට ගෙන්වා ගැනීම ඉතාම අපහසු දෙයකි.

එමෙන්ම ලොකු බාස්ලා වූ මේ දෙදෙනා  සුළු සුළු මේසන් වැඩ වලට කොහොමටවත් එන්නේ  නැත.

තම ලොකු මල්ලිගේ පවුලේ වැඩක් කියා ඔවුන්ට විශේෂයක් දැනුනේද නැත.

වරක්  අපේ වැසිකිළියේ පොඩි අලුත් වැඩියාවක් අවශ්‍ය වී අම්මා වරින් වර තාත්තගේ අය්යලාට මතක් කල හැටි මතකය.

එහෙත් ඔවුන් දෙදෙනාම  එය මග හරියේ කුඩා අපට වැසිකිළිය පාවිච්චි කිරීම ඉතා අනතුරුදායක බව දැන දැනමය.

අවසානයේ වැසිකිළියේ අලුත්වැඩියාව  කර දුන්නේ එකල මේසන් කෙනෙක් නොවුවද   ගමේ ප්‍රචලිත "handy man" කෙනෙකු වූ ඩිංගිරි බන්ඩේ මාමා විසිනි.

තුන්සුත්‍රය කියවීම


කිරඹ ඔය පන්සල පිහිටා ඇත්තේ කිරඹ ඔයත් මල්දෙනියත් එකිනෙක වෙන් කෙරෙනා දෙගම් මැද වූ උස් තනි තලාවකය.

අපේ ගෙදර මල්දෙණිය පැත්තේ කඳු මුදුනේම පිහිටා තිබු අතර මගේ එකල අති ජාත මිත්‍රයා චමින්ද රාජපක්ෂලාගේ ගෙදරත්,  අපේ අම්මලා මහ ගෙදර වූ පහළ ගෙදරත් කිරඹ ඔය පැත්තේ කඳු බැවුමේ පිහිටා තිබුණි.

අපේ ගෙදර පිහිටා තිබුණු තැන ඉතාම සුන්දරක් එකකි.

 ඒ  එහි ජීවත්වූ පොඩි අපි සහ අපේ ආදරණීය අම්මා  නිසාම පමණක් නොව.. හවස තුන හතර වනවිට හාත්පස වෙලාගනිමින් පැතිරී යන සුදු මිදුම් වලාවන් විසින් අපේ ගෙමිදුලද වට කර ගන්නා නිසාය.

පන්සලේ බුදු ගෙය  බිත්ති  සුදු හුණු පිරියම් කර හා  බිමට පිගන් ගඩොල් අල්ලා තිබු ඉතා කුඩා එහෙත් මනරම් මන්දිරයකි.

බුදු පිළිමයට වම් පසින් එකත් පස්ව  වාඩි වී සිටියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පන්නල බුද්ධ රක්ඛිත හිමියන්ය.

දකුණේ වැඩිහිටියන් තිදෙනාත් පොඩි හිටි අපි දෙදෙනාත් වාඩි වී සිටිමු. "ඒ වංමේ සුතං" කියමින් අපි සුත්‍ර කියවමු.

සමන්ත අය්යා දොහොත් මුදුන් දී බරටම පිරිත් කියද්දි මට කහඹිලියා ගාය හැදීගෙන එන්නේ "යානිධ භූතානි සමාග තානි .. එකේ දෙවෙනි කොටස කොයි වෙලේ කියවෙයිදෝ සිතමිනි.

 මම එහාට මෙහාට ඇඹරෙමින් එහෙත් ඇත්ත වශයෙන්ම හඬ නගා පිරිත් කියමින් බුදු ගෙය තුල කාලය මරන්නේ නිවනක් ගැන සත පහකට වත් නොසිතමිනි.

මේ ගමනේ අගය මට තේරුණේ අපේ පන්ති භාර මෙන්ම බුද්ධාගම ටීචර්ද වූ වන්නියලා අම්මා තුන් සුත්‍රය අපට කීය දෙද්දීය.

අටේ පංතියේ අණ්ඩ පාල කෙනෙකු වූ ජාලිය  ඔහුගේ ලඟම සගයන් මෙන්ම අපඅතරටද පැමිණ

" බැහැපන් දේවා මනුස්සයෙක් එනවා... මට පෙන්නේ එන පොට හොඳ නෑ වගේ... ආ ඕකා මොන සොත්තියෙක්ද.. මම බ්රුස් ගාලා බැහැල එන්නම්  හාමුදුරුවනේ....යැයි...

 "බහු දේවා මනුස්සාච...මංගලානි අචින්තයුන්...ආකංක මාන සොත්ථානං..... බෘහි මංගල මුත්තම" යන ගාථා ඛණ්ඩය අපේ භාෂාවෙන් විස්තර කරද්දී...

අන්ඩයා වුවත් පොත පතේ වැඩ හරියට කල  මම හිනාවෙමින් අපේ ගමේ පන්සල සිහියට ගත්තේ ඒ වනවිටත් මට සුත්‍ර තුනම කට පාඩම් නිසාවෙනි.

 සමන්තට එක හැන්දකිනුත් කවිඳුට තව හැන්දකිනුත් බෙදු ලොකු හාමුදුරුවෝ


සමන්ත බෝ පැලයක් යැයි කිව්වේ මම විතරක් ම නොවේ.

 ගමේ පන්සලේ ලොකු හමුදුරුවන්ද ඇතුළු සෙසු ගම් වැසියෝ හැමකෙක්ම අපේ අය්යා දැක්කේ ඉතා නිවුණු ගති ඇත්තෙකු ලෙසිණි.


ඔහු දහම් පාසැලේ වැඩ වලට මෙන්ම එකල තිබු  සර්වෝදය.. සිඟිති හවුල් .. ආදී මෙකි නොකී සමාජ වැඩ වැලට පන්සල කේන්ද්‍ර කර ගනිමින් යොදා ගත් ලොකු හාමුදුරුවෝ සමන්තට තද බල ඇල්මකින් පසුවූ සේක.


එහෙත්උන්වහන්සේ මා  දෙස බැලුවේ ඒ කෝණයෙන්ම නොවේ.

හේතුව මම ජීවිතේට ළදරු පාසැලකට හෝ දහම් පාසැලකට පා නගා නොතිබීම විය යුතුය.

පන්සලේ එවැනි වැඩ වල ප්‍රමුකත්වයක් නොගත්තද

වෙසක් පෝයට සිල් අරන් කටුස්සන්ට ගල් ගැහීම, ඉඳි ආප්ප දානේ බෙදද්දී කිරඹ ඔයේ "දොකන්" සමග තරඟයට ඒවා කෑම,  වැනි වැඩ වලදී  යසනන්ද අය්යලා මෙන්ම මාද ඉදිරියෙන්ම සිටි අයෙකි.

එහෙත් හාමුදුරුවන්ගේ සිත් තුල මා ගැන තිබු ඇල්ම බැල්ම මුලින්ම මතු වී ආ දිනය මට අද වාගේ මතකය.

ඒ කාලේ සමන්තට කටපුරා  සමන්ත කියා කතා කරන අපේ හාමුදුරුවෝ මගේ නම දැන සිටියේ නැත.

දිනය අපේ මාසික හීල් දානය දෙන 24 වෙනිදාය.  මම පුරුදු පරිදි අම්මත් සමග දම්මුරේ අරන් පංසලට ගියෙමි.

මා දුටු ලොකු හාමුදුරුවෝ..

"ආ ඔය ළමයා අද  දානේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මොකද අද සමන්ත නැද්ද?

ඒක නෙවෙයි මට ඇහෙනවා තමුන් රෑට ..රැට .පැල් රකින ගමන් .සින්දු කියන සද්දේ...

අම්මලා තාත්තලාට වගා කටයුතු වලට උදව් කරනවා නේද?

 ඒවා හොඳ වැඩ.. හොඳා හොඳා .. ඔහොම කරගෙන යමු . "

යයි ඇස යටින් බලා මා හට පැවසු උන් වහන්සේ තව මොන මොනාදෝ අම්මගෙන් ඇසුවේ මගෙන් ඔවුන්ගේ වගා සටනට තිබු උදව් පදව් ගැන විය යුතුය.



සෝමේලා ගෙට පහළ පැලේ සංගීත සාජ්ජය.




ඒ අපි වගා සටනට බැස්ස මුල්ම අවුරුද්ද හෝ දෙක ගෙවීයන කාලයයි..

 ගමේ මගුල් ගෙවල් වල බජව් කාරයෙකු වූ සෝමේ ,

"ජිවත් වීමට කොහොමත් බැරි මම කිරඹ ඔයට ආවා" යනුවෙන් සින්දු කිව්වේ මේ කාලයේදීය.

 ඔහු ගැයූ අනෙකුත් ගීත අතර.. "මම ගියා අපායේ බජව් එකකට සීයේ" "

ලොකු ලොකු හෝටල් ගානේ .. රොක් ඇන්ඩ් රෝල් ඩාන්ස් නටන්නේ".. යන ගීතද විය.



දුප්පත් වුවත් විනොදකාමියෙකු වූ සෝමේ එකල ජිවත් වූයේ කටු මැටි පැල්පතකයි.

එයට එක එල්ලේම  පහළින්  ආණ්ඩුවේ reservation එකක් ආසන්නයේ අම්මලා එළවලු හැදු අපේ "පල්ලැහැ වත්ත" පිහිටා තිබුණේය.

අම්මාත් මමත් අපි බීජ අල හෙවත් "ගොඩ අල" හදා තිබු මේ වත්තේ රාත්‍රියට  මුරට ගියේද මේ කාලයේමය.

ඉස්කෝලේ කොල්ලන් සමග දවල්ට කවකටු පෙට්ටි ඩ්‍රම් සෙට් ගැසූ මා  රාත්‍රියේ  අම්මා පැලේ ඇතුලේ නිදි අතර පැලේ එළිමහනේ තැනු කොටසේ ගිනිගොඩ ළඟ සිට මල් බාල්දි ඩ්‍රම් සෙට්  එකට ගසමින් සින්දු කිව්වෙමි.


එකල මාගැයූ ගීත අතර ප්‍රධාන තැනක් ගත්තේ ඒ දශකයේ  ජනප්‍රිය ගායකයෙක් ව සිටි මැක්ෂි ජයවිරයන්ගේ

" කවලා විළඳ ජාති.". ගීතයත් , "බැරි බර කරේ තියන් "  යන ගීතයත්ය.

මට මතක හැටියට මම  ඒ කාලේ මල්බාල්දී සාජ්ජය පටන්ගන්නේ

"ගෝ.. වේ... ගෝවේ  ගෑ නු පරාදයි  .. යන ගීතය  ගයමිනි.

මැක්සිගේ සිංදු දෙක එන්නේ සාජ්ජයේ මැද හරියේදීය.







ඒ කාලේ  මා වගේම   අය්යා සමන්තද ජනප්‍රිය ගායකයෙකී.

එසේ  වුවත් අම්මා ඔහු පැලේ සංගීත සජ්ජයට රැගෙන  ආවේ නැත.

හේතුව ඒ වනවිටත් තම ලොකු පුතා  පොත පතේ වැඩ වලට වැඩියෙන් යොමු කිරීමට ඇය සිතා සිටි නිසා විය යුතුය.



ප. ලි.

එදා පන්නල බුද්ධ රක්ඛිත හිමියන්  අපි හීල් දානේ  අරන් ගිය වෙලාවේ මට මතක් කලේ රෑ දෙගොඩ හරිය තෙක් උන්වහන්සේට ඇසුණු මේ නැගී එන බයිලා ගායකයාගේ කන් කරච්චලය ගැනයි.

3 comments:

  1. මො න තරම් සුනදරය්ද මේ ජීවිතය ඒ කාලේ . කවීදු කියන ලියන සුන්දර පරිඅසරය මුළු ලෝකයේම තියෙන වඩාත් ලස්සනම තැනක් කියලය් මට නම් හිතෙන්නේ.
    අහසය් මහී කාන්තා වය් සිප ගන්න තැනක් ඔබට හිතාගන්න පුලුවන්ද ? මේ කියන කතා එල්පෙල ගැස්සෙන්නේ එවන් පරිසරයක.

    ReplyDelete
  2. මේ සුන්දර කන්ද උඩට නැ ග ගත්තම සුදු පට පුලුන් වගේ වලාකුළු ඔබට අල්ල ගන්න පුළුවන්. පුංචිම සන්දියේ මෙවැනි වලාකුලක එල්ලිලා ඉස්කෝලේ යන එන විදිය ගෙන හීන මවපු විදිය මට අද වගේ මතකය් .

    ReplyDelete
  3. Very touching... when you said about the pomegranate plants... guru geethaya.... you take the reader to that place ... I can see and feel that lovely place....

    ReplyDelete