Follow by Email

Sunday, 21 June 2015

පළමු පිම්ම හෙවත් සා. පෙ.

අපි දැන් වදෙන් පොරෙන් දහයේ පන්තියට ( එකොළහ වසරට ) පැමිණ සිටින වකවානුවයි.  මේ වන විට කවිඳුට සඳමාලි ලා වැනි චරිත  ඉන්නේ කොහේද කියා වත් ගානක් නැත. ඔළුවේ තිබෙන්නේ එකම දෙයකි. ඒ අවුරුද්ද අවසානයේ එන අ. පො. ස. (සා. පෙ.) විභාගයයි.

එකම අරමුණක් හෙවත් ඩි අටක් කරා.

අරලගංවිල මහා විද්‍යාලයේ ඒ සිට ඩි දක්වා සියළුම පන්තිවල සිසුන් අධික තරගයක යෙදී සිටින කාලයයි මේ. අපේ කොටසේ සිටි ගැට්ටා, කණ්ඩුල ඇතුළු අපි සැම සමාජ අධ්‍යයනය,  බුද්ධ ධර්මය වැනි විෂයන් ගැන පවා උනන්දුවෙන් පසු වුනෙමු.

ඒ කාලේ අපි ගණිතය හැර කිසිම විෂයයක් සඳහා උපකාරක පන්ති ගියේද නැත. අපේ  අමතර  ගණිතය ඉගෙන ගත්තේ අරලගංවිල ලංකා බැංකු ගොඩනැගිල්ලේ පන්ති පැවැත්වූ දිලිත් සර් ගෙනි. දිලිත් සර් අපේ පාසලේම ඉගැන්වූ ගුරුවරයෙකි.

ජාලියලා කණ්ඩායම   " ඌවේ ශ්‍රී ගණිත මාන  දීලිත් මිස්ට තෙන...  ගණිත පොතත් පසෙක තබා රේණු ලඟට ගෙන ... යනුවෙන් සීපද ගෙතුවේ මේ දිලිත් සර්ටය.

දිලිත් සර්  පංති පැවැත් වූයේ සවස් වරුවේය. සවස පාසැල අරුණු පසු බිංගේ උඩ කඩේට යන අපි පාන් කාලක් හා වඩේ එකක් ශත හැත්තෑ පහකට මිලදී ගන්නෙමු.

 හාල් මිටියක් හෝ සිනි මිටියක් උඩට වී එය සප්පායම් වූයෙමු.  අනතුරුව   තට්ට සොමේගේ කරවනැල්ල බස් එකෙන් අරලන්ගන්විල නගරයට සේන්දු වන අප ලලිත් සර්ගේ කැලෑසියේ ස්ථාන ගත වන්නෙමු.


ගණිතයට පන්ති ගියත් මම විද්‍යාවට පන්ති නොයා යුතු යැයි තීරණය කරගෙන සිටියෙමි. එහෙත් අපේ පංතියට අළුතින් පැමිණි සොමිල කරඹවත්ත මට දවසක් යෝජනාවක් ගෙනාවේය.

"මචං කිටී නියම විද්‍යා පංතියක් තියනවා යමුද? "

" මම විද්‍යාව තනියෙන් කරනවා කියලා හිතුවේ " මම කීවෙමි.  "උඹ වරෙන්කො යන්න මාර දක්ෂ කෙල්ලෝ ටිකකුත් එනවා " සොමිල පවසන්නේ හොඳ තරඟකාරී පරිසරයක් ගැනයි.

ඒ බාලිකා පාසැල් දෙකක කෙල්ලන්ගෙන් පිරුණු විද්‍යා පංතියක් පිළිබඳවයි. එය පැවැත් වුනේ අරලගංවිල සුදු නෙළුම් බාලිකා  විද්‍යාලයට යාබද ගොඩනැගිල්ලකයි.

ගුරුවරයා මාපා සර් නම් නාඹර තරුණයෙකි. මාපා ගේ විද්‍යා පන්තියේ සිසු සිසුවියන්  හැත්තෑ පහක් පමණ සිටියහ. ඒ  අතර එහි කොල්ලන්ට සිටියේ සොමිලත් තවත් එක් අයෙකුත් පමණි.

සොමිලගේ පෙරැත්තය මත එහි ගිය මට ප්‍රථම වතාවට කෙල්ලන් බහුතරයක් සිටි පන්තියක් ඉගෙන ගන්නට අවස්ථාව උදා විය.

සොමිල කිව්වා සේම අරලගන්විල තිබු අනිත් බාලිකාවේ  (සුජාතා විද්‍යාලයේ) සිටි සුරේකා නම් කටකාර කෙල්ලෙක් මෙහි සිටියාය. ඇය මාපාගේ විද්‍යාත්මක හේතු පැහැදිමේ කොටසට පැන පැන උත්තර දුන් හැටි මට තාමත් මතකය.

සුරේකා පසු කලෙක අපත් සමග එකට මහා විද්‍යාලයේ උසස් පෙළ පන්ති වල සිටියත් ඇය සරසවි වරම් ලැබුවේ නැත.
ටික දවසක් මාපාගේ පංතියට ගිය මට මාසිකව ගෙවන්නට සිදුවූ රුපියල් විසි පහ හැම මාසෙම තාත්තාගෙන් ලැබුනේ නැත. මම ඔහු මට මුදල් දුන් මාස වලදීත් මාපාට මුදල් නොගෙව්වෙමි. ඒ කඩින් කඩ දෙනවාට වඩා නොදීම සිටීම හොඳ යැයි මට සිතුන බැවිනි.
ඇත්තටම මාපා සර් උගන්වන දේවල් මට පෙළ පොත කියවීමෙන්ම තේරුම් ගත හැකි විය.

දවසක් මම සොමිලට මෙසේ කිව්වෙමි.
"මචං මාපා කාරයා කරන දේ මටත් කරන්න පුළුවන්. විද්‍යා පොතම අකුරක් නෑර ආපහු උගන් වන එක".

"මම ලබන සතියේ ඉඳන් පන්ති එන්නේ නෑ." කිව්වා වගේම  මම දහයේ විභාගය තෙක්ම ආයේ පන්ති නොගියෙමි.

 සොමිල නම් උනන්දුවා

ඉගෙනීමට තද බල ආශාවක් දැක්වුවද සොමිල කරඹවත්ත අපේ උනන්දු ගැන්සිය මෙන් පන්තියේ මුල් තැනට ආවේ නැත. ඔහු ඉංග්‍රීසි වලට තේරුණේ තාබ්රු සර්ගේ පන්තියට නොවේ.

අද විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු සහ අංශ ප්‍රධානියෙකු වන කරඹේ එච්චර දුරක් යනු ඇතැයි අපි කවුරුවත් හිනෙකින්  වත් හිතුවේ නැත.

එහෙත් සොමිල ඉන් පසුබැස්සේ නැත. වර්තමානයේ ඔස්ට්‍රලියාවේ ඉංජිනේරුවෙක් ලෙස වැඩ කරන සිසිතට ( ඒ කාලේ අපේ පංති සගයා) සොමිල යෝජනාවක් ගෙනාවේය.

"මචං අපි ඉංග්‍රීසි බැහැ කියලා පස්ස ගහලා හරියන්නේ නෑ. කොහොම හරි තාබ්රු සර්ගේ පන්තියට පැන ගන්න බලමු. මම යනවා සර්ව හම්බවෙලා මේ ගැන කතා කරන්න. "
පසු දිනෙක සිසිත වෙත ලඟා වෙන මදක් හඬ පහත වූ එහෙත් තම උනන්දුව එසේම හඬේ රැඳුනු ශිෂ්‍යයෙකි.

"වැඩේ  හරි ගියේ නෑ බන් තාබ්රු කාරයා අපිව පන්තියට ගන්න බෑ කිව්වා" කරඹේ බලාපොරොත්තු බිඳ වැටුණු හඬකින් කියයි.

"එහෙම කියලා අපි පස්ස ගහලා හරියන්නේ නෑ . අපි ටික අපේ ගෙදරට එකතුවෙලා වෙනම ඉංග්‍රීසි කරමු."

කරඹේ සහ සිසිතලා ( දෙවන පෙළ ඉංග්‍රීසි සිසුන්) නව ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ව්‍යාපාරයක් අරඹන්නේ එලෙසිනි.


3 comments:

  1. මේක වෙනම අච්චු ගහල ඉස්කෝලවල උගන්නන්න වටින පාඩමක්. පන්ති ගාස්තුව රුපියල් විසි පහයි කියුවම හරිම ලඟ ලඟ බවක් නේ දැනෙන්නේ. අහ්. ලඟ ලඟ කොටස් තුනම වැටිච්චි එකෙන් අන්තිමේ තුනම කියවන්න පහු උනා..

    ReplyDelete
  2. අපි මේ කතා කරන්නේ 1986 අවුරුද්ද ගැන... සමාවෙන්න අපි එහෙමයි.. ලියනකොට ලියනවා නොනවත්වාම..

    ReplyDelete
  3. Needs to be distributed among youngsters nowadays... very inspiring...

    ReplyDelete