Follow by Email

Monday, 22 June 2015

පළමු පිම්ම හෙවත් සා. පෙ. (දෙවන කොටස)

දියමන්ති ටීචර්ලා ගෙදර රාත්‍රී ඉංග්‍රීසි පන්තිය

ගැට්ටලා ඇතුළු  අපි ඩි අටක් ගන්න දඟලන මේ කාලයේ අපේ අය්යා සමන්ත උසස් පෙළ සමත්ව ගෙදර සිටියා මතකය. ඔහු මුදුන් හෙළ  ටයර් කඩයක වැඩ කලේ මේ දිනවලය. අය්යත් සමගම වාණිජ අංශයෙන් රුහුණ විශ්ව විද්‍යාලයට තේරී සිටි අයෙක්ද අපේ ගමට අසන්න ගමක සිටියේය. ඒ සඳ තැන්නේ හේමසිරි අප්පුහාමි නොහොත් පැටිස් අය්යාය.

මේ කාලයේ අපේ අය්යටත්  හේමසිරි අය්යටත් ඉංග්‍රීසි උගන්වන්නට ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ අයෙකි. ඒ අපිට තුනේ පංතියේදී ( කිරඹ ඔය විද්‍යාලයේ ) ඉංග්‍රීසි ඉගැන්වූ දියමන්ති ටීචර් ගේ මහත්තයා ය. ඔහු ඒ කාලයේ තම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මාස්ටර් උපාධිය අවසන් කර නිවසට වී සිටි අයෙකි.

අය්යලාගේ මේ ඉංග්‍රීසි පන්තියට මටත් සහභාගී වන්නට අවස්ථාව උදා වුයේ  අහම්බයකින්ම නොවේ. ඒ කාලේ අපේ සමන්ත කල ඕනෑම දෙයකට මාවත් ගාවා ගැනීම සිරිතක්ව තිබිණි.  ඒ වාගේම මම දියමන්ති ටිච්ර්ගේ කිරඹ ඔය විද්‍යාලයේ හිටපු හොඳම ගෝලයෙක් වීමද මෙයට බල පෑවේය.

ඒ කාලේ තම නිවසටම කැඳවා අපි තුන්දෙනාට නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වූ ගාමිණී ෆොන්සේකා මහතා දැන් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ මහාචාර්ය වරයෙකි. ඔහු වත්මන් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ අංශ අධිපති ලෙස කටයුතු කරයි.

කිරඹ ඔය -දෝව අතර  මහා රෑ සංචාරය

අපේ පන්තිය පටන් ගත්තේ ගාමිණී  සර්ට විවේක තිබු වෙලාවට මිසක් අපට ඕන වෙලාවකට නොවේ. නිකන් දෙන අශ්වයාගේ දත් හොයන පුරුද්දක් සමන්තට වත් මටවත් නොතිබීම අපේ පෙර වාසනාවකි.  මෙයටම තකට තක මෙන් සිටි අනිත් පුද්ගලයා හේමසිරි අය්යාය. ඔහුත් ඕනෑම දේකට ඔට්ටු අපි වාගේම කොල්ලෙකි.

අපි තුන්දෙනා දෝවේ කොලතැන්න කන්දේ බැවුමේ තිබු දියමන්ති ටීචර් ලා ගෙදරට ලඟා වන්නේ රාත්‍රී හත හමාර වන විටයි.  නමය හමාර විතර වෙන තෙක් ගාමිණී සර් අපට ඉංග්‍රීසි කියා දෙයි. ඒ අපේ ටිචර් ගේ ආදරණිය තේ පැන් සංග්‍රහය හෙම ලැබීමෙන් අනතුරුවයි.

ඇත්තම ඇත්ත කියනවා නම් ඒ ඉගෙනගත් දේවල් ගැන මට දැන් කිසි දෙයක් මතක නැත ( ඉංග්‍රීසි සාහිත්‍යට ඔහු විශේෂ ඇල්මක් දැක්වූ බව මට මතකය.) . එහෙත් දෝවේ සිට කිරඹ ඔය දෙසට ආපසු එද්දී අප කල හපන්කම් නම් අද ඊයේ වගේ ම සිතේ රැඳී ඇත.

මෙයින් ම සිත් ගත් එක් රාත්‍රියක් මා ඔබ හමුවේ තබන්නෙමි.  ඒ කාලේ නැගී එන ශිෂ්‍යයන් ලෙස අපි කොතරම් විනෝද වුවාදැයි සිතා ගැනීම ඔබට බාර කරමි.

සුපුරුදු පරිදි අප තිදෙනා  නිවෙස් බලා එමින් සිටියෙමු. අපිට එලිය දුන්නේ ඉටිපන්දමක්  පොල්කට්ටක් ඇතුලේ ගසා හදා ගත් දේශීය පහනකිනි.

අපේ සමන්ත ඒ කාලේ මටත් වඩා පෙනුමෙන් පොඩි කොල්ලෙකි. එහෙත් හේමසිරි අය්යා හතර රියනක් උස දිගන්චියෙකි.  ඒ මදිවාට හේමසිරි පළඳින්නේ හෙන තඩි බුට්ස් දෙකකි.
ගම් තුලානේ රෑ පානේ ඇවිදින කොට වන අකරතැබ්බ අතර ප්‍රධාන තැනක් ගන්නේ බල්ලන්ගෙන් සිදුවන කරදරයයි.
හැම ගෙදරකම වාගේ ඉන්න බල්ලෝ අපට බුහ්.. බුහ්.. ගා පොඩි සද්දයක් දැමීම සාමාන්‍ය දෙයකි.

 එහෙත් අප කිරඹ ඔය හරියට ලඟා වීමත් සමගම හමුවන පියුම් මාමලාගේ බල්ලා එහෙම එකෙක් නොවිය.

ජේ. ආර්. යන සුරතල් නාමයෙන් හැදින්වුණු මේ බල්ලා අපි තුන් දෙනා පන්න පන්නා බුරන්නට පුරුදු වී සිටියේය.
මේ කියන දවසෙත් ජේ. ආර්.  අපේ පස්සෙන් එන්නට විය. අපි හේමසිරි අය්යා පියුම් මාමලා ගෙවල් පැත්තට වෙන ලෙස පාරේ ගමන් කරමින් සිටියෙමු.

පියුම් මාමගේ ගේ තියෙන්නේ මහා පාරෙන් අඩි දහයක් දොළහක් පහලිනි. පාරත් ගෙපොලත් වෙන් කරන්නේ එතරම් උස්‌ වේල්ලකිනි.

දැන් බල්ලා මහා පාරේ අපේ පස්සෙන් පන්නන වෙලාවයි. ඉවසීමේ සිමාව ඉක්මවා ගිය හේමසිරි අය්යා ..

"හිටපන් උඹට"

කියමින් අර තඩි බුට්ස් දැමු කකුලෙන් වේගවත් පා පහරක් ජේ. ආර්.  වෙත එල්ල කළේය.

කුන්.. කුන්.. යැයි හඬක් නැගිණි . බල්ලා පාරේ කොහෙවත් පේන්නට නැත.

ජේ. ආර්.  මලාවත්දෑයි භය වූ අපි ටිකක් විපරම් කර බැලුවෙමු. කළු පාට ගුලියක් පියුම් මාමලා මිදුලේ ඒ මේ  අත පෙරළෙනවා පෙනෙයි.

දුවමු.. දුවමු.. කියමින් අපි පස්ස නොබලා ගෙවල් පැත්තට ගියෙමු.

පසුදා අපි මාර ගස් වැල්ල කුඹුර දෙසට යන විට මම ඉතා ඕනෑකමෙන් පියුම මාමලා ගෙවල් දෙස බැලුවෙමි. හේමසිරිගේ පා පහර කෑ ජේ. ආර්.  තාමත් ජිවතුන් අතරය.



5 comments:

  1. ඒ කාලේ එහෙම හරි ජේ. ආර්. ට පයින් පාරක් ගහ ගන්න තිබ්බ එකම මදැයි...
    දොස්තර මහත්තැන් මචෝ.. මට මේ දෝව කිරඹ ඔය සහ අරලගංවිල තුන පොඩි භූ විෂමතා දෝශයක් එනවනේ. මං දන්න දෝව තියෙන්නේ බණ්ඩාරවෙල බදුල්ල පාරේ අර මහ පංසලත් එක්කනේ. හැබැයි ඒ හරියෙ ඔය වගේ කිරඹ ඔයක් නම් මං දන්නෙ නෑ. අනික අරලගංවිල කිට්ටුව දෝවක් ගැන අහලත් නෑ. නිතරම බදුල්ල කදුරුවෙල හරහා ත්‍රීකුණාමලේ දක්වා ඒ කාලේ ගියත් බස් එක වැඩි හරියක් යන්නේ දෙහිඅත්තකණ්ඩියෙන් කලුකැලේ පාරේ දිඹුලාගලට නිසා අරලගංවිල ටවුම ගැන අවබෝධය අඩුයි. වෙලාවක් දෙකක් බස් එකේ හරහා ගිහින් තියෙනව ඇරෙන්න. පොඩි භූ විෂමතා පැහැදිලි කිරීමක් එක්කරොත් නරකද මෙතනටම. මොකද සාමාන්‍යයෙන් මට ඔය වගේ මඤ්ඤං වෙනවා කියන්නේ වැඩිය ඇවිදල කරල නැති එකෙක් ගැන හිතාගන්නවත් බෑ..

    ReplyDelete
  2. ඉතින් මඤ්ඤං කරන එකම තමයි මේ කරන්නේ

    ReplyDelete
  3. නැතුව නැතුව.. ඔක්කොම නම් ගම් ඇත්ත කලොත් මට විසුමක් වෙන්නේ නෑ.. කොහොම වුණත් කතා රසයට අඩුවක් නෑ කියලයි මට හිතුනේ..

    ReplyDelete
  4. නිකං දෙන අස්සයගෙ දත් ගණං කරන්න යන්න එපා කමියො. හැක්..

    ReplyDelete
    Replies
    1. ++++++ මේ වෙන කොට කට්ටිය නම් ගම් අමතක කරලා ලස්සනට කතා රසවිඳගෙන යනවා ඒකනේ වෙන්න ඕනේ.. මුල ඉඳන් කියවගෙන යනවා වගේ ප්‍රසා? අපේ ගම , අපේ ජිවිත ගොඩ නැගිච්ච හැටි ගැන ලොකු අවබෝධයක් ලැබෙයි අන්තිම හරියට එද්දී.. ජයවේවා !!!

      Delete