Follow by Email

Tuesday, 23 June 2015

පළමු පිම්ම හෙවත් සා. පෙ. (තුන්වන කොටස) - විභාගය අතලඟ



අපේ අම්මා තරම් අපේ ඉගෙනීම ගැන උනන්දු වූ වෙන කෙනෙක් මා දැන සිටියේ නැත. ඇය අපේ සමන්ත පාඩම් කරන්නට නැගිට්ටවන්නේ උදේ පාන්දර තුනට පමණය. කොච්චර උනන්දු ශිෂ්‍යයෙක් වුනත් අපේ අය්යා උදේට නැගිටින්නේ හරිම කම්මැලිකමකිනි.

දිනක් අපේ අම්මා  ඔරලෝසුවේ බෙල් වදිද්දිත් ගණන් නොගෙන සිටි එකට සමන්තට තරවටු කල හැටි මට තාමත් මතකය.

" සමන්ත.... හොඳින් කියන්නේ උඹ නැගිටිනවද නැද්ද ?" කියමින් ඇය ඇඳේ මෙට්ටය ඔසවනවා දුටුවෙමි.

ටික වෙලාවකින් ඇඳේ පහලම හරියෙන් ඇඳ පොල්ලක් ගත් ඈ... මට එහායින් ඇඳේ ගුලි වී සිටි අය්යාට ඉන් තඩි බෑවේ පාඩම් කිරීමේ අගය හොඳින් දැන සිටි නිසාය.

මේ සද්දයෙන්ම උදේට අවදිවෙන මම වැඩක් තිබුනත් නැතත් අය්යා එක්කම පාඩම් කරන්නට පුරුදු වී සිටියෙමි.

විභාගය අතළඟ තියෙද්දත් වගා සටනේ.

අපේ අම්මා ඇඳ පොලු අරන් හරඹ කරන්නේ අපට තිබු බලවත් ආදරය නිසාමය. ඒ  දොස්තරලා බවට පත්වූ බොහෝ දෙනෙකුට කුඩා කල නොලැබුණු අත්දැකීම්  අප‍ට ලැබුණු නිසා විය යුතුය.

ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආ ගමන් අපි එළවළු කොරටුවේ වැඩට යන්නෙමු. සමහරවිට රෑ  හත -අට වෙන තුරු නිවසට නොපැමිණෙන අපට නිදා ගන්නට පෙර පාඩම් කරන්නට අවස්ථාවක් නොලැබේ.

සෙනසුරාදා , ඉරිදාත්  මුළු දවස පුරාම වාගේ අපි වගා සටනේ නිරත වූයෙමු. තම දු දරුවන් මෙවැනි පරිසරයක හැදෙන්නට ඉඩ හැරිය  අපේ  අම්මා ගුණමකු කාන්තාවක නොවේ.

ඇය අප වෙනුවෙන් දුටු සිහිනයේ රැඳී තිබුනේ කවදා හෝ තම පුතුන් රටේ ලෝකයේ ඉහළ තැන් වලට යැවීමේ බලාපොරොත්තුවයි.

විභාගයට සෙත් කවියක්

අම්මා මට ඒ තරම් සැර වැර නොකළේ මගේ ඇති කිසි හොඳ කමක් නිසා නොවේ. මම දහයේ පන්තියට එනවිට මා කල යුත්තේ කුමක්දැයි අය්යා විසින් මට ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා තිබුනේය. එහෙත් මම විභාගකදී කුමක් කරාවිදැයි කිසිවෙකුට විශ්වාස කල නොහැකි තත්වයක් තිබුණු බව රහසක් නොවේ.

අවශ්‍ය වන්නේ කුමක්ද යන්න අපේ අම්මා හරියටම දැනගෙන සිටියාය. ලොකු පුතා මෙන් පොත් ගුල්ලෙකු නොවූ මේ දඟයාට ඉල්ලා සිටිය යුත්තේ දෙවියන්ගේම පිහිට පමණි.

අම්මා  අ.පො. ස. (සා. පෙ. ) විභාගයට ටික දවසක් තිබියදී මම පනන්ගල පැත්තේ ගෙදරටකට එක්කන් ගියාය. එහි සිටියේ  සුදු රෙදි ඇඳ රතු පටි බඳින මාමා කෙනෙකි.මගේ උපන් වෙලාව බැලු  ඔහු .....

"පුතේ මෙන්න මේ කවිය හොඳට පාඩම් කර ගන්න. මේක අද ඉඳලා හැම කෙම්මුර දවසකම ගෙදර පහන තිබ්බට පස්සේ කියන්න ඕනෑ."

ඔහු අදහන්නේ කතරගම දෙවියන් බවත් මගේ වෙලාව අනුව මගේ ඉටු දෙවි වන්නේත් උන් වහන්සේ බවත් පැවසුවේය.
මෙයට අමතරව විභාග ශාලාවේ දොරටුවෙන් ඇතුල් වෙන කොටම ඒ කවිය හිතෙන් කියන ලෙසත් උපදෙස් ලැබිණි.
කොහොමටත් දින පතා ගෙදර පහන තියන රාජකාරිය පැවරී තිබුනේ මටය. එදා සිට අද දක්වාම මම ඒ මාමා දුන් සෙත් කවිය පහන තියද්දි මෙනෙහි කරන්නෙමි.

මගේ විභාගය දා

ඒ ශීතල දෙසැම්බරයේ තවත් එක් දවසකි. අම්මා වට කරගත් අපි පස්දෙනා සිටි කැදැල්ල වටා ඝන මිදුම් වලා වන් රැඳෙන්නේ මේ කාලයටයි.
එදා උදෙන්ම අවදිවූ අම්මා ...
"චුටි පුතා මේ වැදගත් දවසේ දෙවියන් බුදුන් සිහි කරලා යන්න ඕනෑ" කියා මාව ඒ සඳහා යොමු කලාය.

"කවුරු මගේ දරුවාගේ ඉස්සරහට ඒවිද දන්නේ නෑ බස් එක ලඟට යන අතරේ.." කියා මදක් කල්පනා කල ඇය අක්කා දෙසට හැරුණාය.

" චුටි අර කලේ හෝදලා අරන් උදෙන්ම ළිදට පලයන්"

" මල්ලි ගෙදරින් එලියට බහින වෙලාවට වතුර කලෙත් අරන් එයාගේ ඉස්සරහට එන්න ඕනේ"

කලේට දමන්නට කියා සුදෝ සුදු පිච්ච මල් අහුරක් අක්කා අතට දෙමින් අම්මා කීවාය.

අම්මා සිය අසීමිත ආදරය කැටි කොට හැදු කිරිබතින් සප්පායම් වූ මා දැන් ගමනට සුදානම්ය.

දකුණු පය පෙරට තියා මිදුලට බැස්සෙමි.

" ඩි අටක්.. ඩි අටක්" කියමින් චුටි නංගි සිලි සිලි ගා සිනහවෙයි.

"උඹ කට පියාගෙන හිටපන් මගේ කොල්ලට වරදින්නේ නෑ ".

එදා සමන්ත සහ තාත්තා ගෙදර සිටි බවට මතකයක් ම සිතේ රැඳී නොමැත. ඔවුන් බොහෝ විට වෙන කොහේ හෝ සිටියා විය හැකිය.

අපේ දෙළුම් පැල දෙක (ඩිංගිරි බන්ඩේ මාමා අය්යටයි මටයි දුන්නු) පසු කර මම ජේන් අක්කලා ගෙවල් වලට උඩින් පල්ලම් බැස්සෙමි.

අම්මාට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වුයේ මගේ ඉස්සරහට ජේන් අක්කගේ දුව  මැණිකේ වාගේ කෙනෙක් එන එක වලක් වන්නටයි.

අවුරුදු දහයක් පල්ලම් බැස්ස පාර අද මහා වෙනසක ලකුණු පෙන්වයි.

මම අදටත් දකින්න ආසම කරන සුදෝ සුදු දත් දෙපලත් දැකුම්කළු සිනහවත් මා ඉදිරියට එයි.

දිගු වරලස කරල් දෙකට ගොතා සිය උකුලේ රැඳුනු කල ගෙඩියත් රැගෙන එන කළු එහෙත් දැකුම්කලු යුවතියකි.

මා මුණ ගැසෙත්ම තම උකුලේ තිබු කලයට අත දැමු ඈ ඉන් සමන් පිච්ච මල් කීපයක් රැගෙන විහිලුවට මෙන් මගේ මුහුණට දමා ගැසුවාය.

 චුටි නංගි වාගේ ඔලොක්කුවටම  නොවුනත්  ඈ මට කට පුරා සිනාසුණාය.

හැමදා   මතකේ රැඳෙන ආදරණිය වූ සිනහවක් රැගෙන මේ එන්නේ මගේ සදාදර අක්කණ්ඩියයි.


9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අනවශ්‍ය ලෙස ඉතා උදෙන් 3 am විතර ඉඳන් පාඩම් කරන ළමයි ඉන්නවා , නමුත් පැය 6 වත් නින්ද අවශ්‍යයි

    ReplyDelete
  3. කවිඳුගෙ අම්ම අයියා ඇහැරවන හැටි කිව්වම මට අපේ හොස්ටල් මේට්‍රන් මතක් උනා. උදේ පහට බෙල් එක වැදුනම අපි යන්න ඕනි පාඩම් කරන ශාලාවට. පොරෝනෙ ඔළුවෙ ඉදන් ඔතාගෙන යන අපි වැඩි හරියක් කරන්නෙ ඉදගෙන නිදාගන්න එක. මේට්‍රන්ට හතිය තියෙන නිසා උදේම නැගිටලා ඕවා බලන්න එන්නෑ...දවසක් උදේ බෙල් එකට කවුරුත් නැගිට්ටෙ නෑ... හැමෝම අනෙක් අය දිහා හොරෙන් බලබලා නිදි වගේ හිටියා.එදා කට්ටියම උදේ තේ බෙල් එක වදිනකල් නිදාගෙන පුසියො ටික වගේ ඉදලා පහුවදත් ඒකම කරා. මෙන්න පහයි කාලට විතර මේට්‍රන් නැගිටලා කෑ ගහන්න පටන් ගත්තෙ නැතැයි. " යනවා හැමෝම නැගිටලා එළියට.... පාඩම් කරන්නනෙ බැරි.... ඉන්නවලා හිටගෙන එලියෙ"....අනේ අපි අර පට්ට සීතලේ පැයක් එළියෙ හිට්ටෙව්වනෙ....
    ඒකෙ ප්‍රතිඵල අපි හැමෝම දැන් භුක්ති විදින්නෙ ඇය ගැන ඇගේ ආදරය ගැන නිතර සිහිකරගෙන

    ReplyDelete
  4. ඔය පෙරමග සුභ නිමිති බැලිල්ලනම් අපේ ගෙදරත් සෑහෙන්න තියෙනවා.. ඒත් කතාව කියවනකොට පුංචි දුකක් හිතට ආවා.. පවුලේ බාලයා වෙච්චි මං ඉගෙන ගන්න කාලේ ඒ ගැන වැඩිය හොයල බලන්න අපේ ගෙදර කවුරුත් උනන්දු උනේ නෑ. විශේෂයෙන්ම සාපෙළ සහ උසස්පෙළ කරන කාලේ.. මගේ කැමැත්තට හිතුමතේ පිස්සු නටල වෙලාවක් තිබ්බොත් ගාණක් දෙකකුත් හදල තමයි මං ඉගෙන ගත්තේ.. හැබැයි උසස්පෙළ ලියද්දි තාවකාලිකව පසු බැහැල තිබ්බ මගේ ඉගෙන ගන්න තියෙන උනන්දුව නම් තවම අඩුවෙලා නෑ.. ඒ ගැන සතුටුයි.

    ReplyDelete
  5. ඇත්ත තමයි කතාව අපේ වෙලාවට මේ මේ වගේ දේවල් අපට සිදු වුනා කියලයි මට හිතෙන්නේ.. රැඳී ඉන්න අප සමග.. රසවත් තොරතුරු ඉදිරියට....මගේ පසුබැසීම තාවකාලිකව හරි ආවේ වෙද විදුහලේ දෙවන වසරේ විභාගේ හොඳින් සමත් වුනාට පස්සේ... එකත් හොඳට ගියා කියලයි දැන් නම් හිතෙන්නේ....අපි ඉන්න තැන බලා සතුටු වෙමු තවත් කෙනෙක් මෙවැනි පාරක යනු ඇති කියා යහපත් බලා පොරොත්තු තියා ගනිමු.

    ReplyDelete
  6. මේ ටිකේ බ්ලොග් කියැවීමට ඉඩක් ලැබුනේ ඉතාම කලාතුරකින්. ඒත් කොහොම හරි මේ පැත්තට වරින්වර ඔලුව දාලා කියෙව්වා . මම කියන්නේ මෙන්න මේ වගේ ලියන්න කියලයි. දිගටම ලියන්න

    ReplyDelete
  7. Another episode that touches reader's heart... gave me tears...

    ReplyDelete
  8. තිලකේ අය්යා කියපු නිසා තමයි ලියවුනේ.. මටත් බ්ලොග් කාරයන්ගේ ලෙඩේ තියෙනවා... අනිත් අය උනන්දු නෑ වගේ පෙනුනොත් ලියවෙන්නේ නෑ.

    ReplyDelete
  9. මේක ලිවීමේ අවස්ථා සම්බන්ධයකුත් තියෙනවා අපේ අක්කගේ උපන් දිනය ජුනි 26. අද අක්කත් එක්ක කාලෙකට පස්සේ කතා කරා විවිධ මාතෘකා අතර මම නිතරම කියූ දෙයක් තිබුනා. මෙහි ලියවෙන්නේ කවදාවත් සල්ලි වලට බලයට ගත නොහැකි අව්‍යාජ සහෝදර බැඳීම ....

    ReplyDelete