Follow by Email

Sunday, 5 July 2015

සංක්‍රාන්ති සමය හතරවෙනි කොටස - සිංහල අවුරුද්ද ඇවිත්

ඒ වනවිට අප්‍රේල් දහවෙනිදා පහුවුනා පමණි. කළුලා ගේ ළඟ අපේ පල්ලැහැ වත්තේ අම්මා , අක්කා සහ මම කඩිනමින් වැඩ කටයුතු කලේ ළඟ එන අවුරුද්ද වෙනුවෙනි.

දින කිහිපයක් නිවාඩු ගැනීමට සිදුවන නිසා. තක්කාලි පස් දැමීම, කොටු සිටුවීම, ගස් බැඳීම වැනි වැඩ රාජකාරි රාශියකි. අවුරුදු දින කීපයේ අම්මලාගේ නෑදෑ ගෙවල් තුනේම (මාමලා සහ පොඩි පුංචි ලගේ  ගෙවල් වල) සාද වලටද ආරාධනා ලැබී තිබුණි.

අපේ වෑයම අවුරුද්දට පෙර කොටුවේ වැඩ රාජකාරි සියල්ල අහවර කීරීමටයි.

දොළොස්  වෙනිදා වගාවේ අවසන් දවසයි. අම්මා උදේම මට භාර දුන්නේ තක්කාලි කොටුවට බෙහෙත් ගහන රාජකාරියයි.
මම උදෙන්ම බෙහෙත් ටැංකියත්, වොන්ඩසෙබ් හා ඇන්ටක්‍රෝල් පැකට්ටුත් , පනුවන්ට එරෙහිව ටැමරෝන් බෝතලයකුත් රැගෙන පල්ලම් බැස්සෙමි.

ඒ කාලේ අපිට හේස්ප්‍රෙ යන්ත්‍රයක් තිබුනේ නැත. මම පාවිචිචි කලේ උරහිසේ පැත්තකින් එල්ලා ගන්නා රතුපාට කෑන් එකක් වැනි බෙහෙත් ටැංකියයි. එහි මුඩිය ටැංකිය හා සම්බන්ධ කර තිබුනේ මුඩිය මැදින් හිල් කර සකස් කල තංගුස් නුලක් මගිනි.

ටැංකිය පිරී තිබෙන වෙලාවට මෙම සිදුරෙන් එලියට එන කෘමි සහ දිලිර නාශක මගේ වම් කකුල දිගේ බේරීම සාමාන්‍ය සිද්ධියකි.

දැන් මම වත්තේ බැවුමට වන්නට තිබෙන ලිඳ ළඟ බෙහෙත් දියකර බෙහෙත් ඉසීම පටන් ගත්තෙමි.

අම්මා මට නොකීවද මගේ අරමුණ වුයේ දවස ඇතුලත මුළු කොටුවටමට තෙල් ඉස අවසන් කිරීමයි.

මම වරින් වැර ටැංකිය පුරවා ගනිමින් තක්කාලි ගස් හොඳින් ආවරණය වනලෙස බෙහෙත් ඉස්සෙමි.

 එක ටැංකියකට දිලිර නාශක වර්ග දෙකෙන් ගිනිපෙට්ටි මුඩි දෙක බැගිනුත් ටැමරෝන් මුඩිය  බැගිනුත් මිශ්‍ර කලෙමි.

 ඒ ඒ කාලයේ බෙහෙත් ඉහින පදමලෙස ගමේ බොහෝ අය යොදාගත් අනුපාතයයි.

එරබදු මල් මොට්ටු මොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු 


 ලිඳ ළඟ තිබු එරබදු ගහ රතු පාට මල් වලින් පිරී ගොස් ඇත.

රේඩියෝවේ යන ගීතවලින් රතු එරබදු වලින්  අවුරුද්ද සංකේතවත් කරන බව නිතරම අස්සනට ලැබුණි.

එපමණක්ම නොව රතු පාට අප්‍රේල් මාසයේ පාට බව අප ඒ දිනවලත් දැන සිටියෙමු.

එකොළහට පමණ එරබදු ගහ යටට වී අම්මා හදා දුන් පාන් සහ පොල් සම්බල් කැවෙමි. උණුවතුර බෝතලයේ තිබු කිරි  කෝප්පයක්ද වත්කරගෙන බිවෙමි. ඒ සබන් දා හොඳින් අත් දෙක සෝදා ගැනීමෙන් පසුවයි.

දැන් දැන් මද්‍යාහනයද පසුවී ගොසිනි. තවත් කොටුවේ භාගයකට වඩා ඉතිරුව තිබේ. දිගටම බෙහෙත් ඉස්සෙමි.

කැසපට ගසා ගත් අළුපාට ඉරි ඉරි සරමේත් වම් අර්ධයම බෙහෙත් වතුරෙන් පෙඟී ගොසිණි.

දැන් වෙලාව දහවල් දෙක හමාරට විතර යැයි මට සිතේ..

උඩහ අඩිපාර පැත්තෙන් එන කට හඬකි...

 " චුටි පුතා.. චුටි පුතා "  "ඕක ටිකකට නවත්තලා මේ බත් ටික කාලා හිටපන් කෝ.."

අම්මා මට බත් ගෙනැවිත් තිබේ.

කෑම  අවසන් කර ඉතිරි හරියත් ඉවර කලෙමි. මගේ වැඩ ඉවර වන විට හවස හය හමාර විතර වුනා මතකය.

ටිකක් වෙහෙසකර වුනත් හිතට මහා සැනසීමක් දැනුනේ අවුරුද්දට කලින් සියලුම වැඩ ඉවර කර ගත් නිසාය.

පොඩි පුංචිලාගේ අවුරුදු සාදය


මා නිවසට පැමිණෙන විටත් අක්කලා  නංගිලා අවුරුදු සාදයට කිරඹඔය පුංචිලා ගෙදර යන්නට සුදානම් වෙමින් සිටියහ. ඒ කාලයේ අම්මලා පවුලේ ගෙවල් තුනේම මෙවැනි සාදයන් පැවැත්වුයේ ය.

ජයසිංහ බාප්පා ත් ලොකු මාමත්ඇතුළු පිරිමි කට්ටිය කෑමට පෙර බිමෙන්ද සප්පායම් වුහ. 

පුංචි ළමයි පංචි දැමීම, ලුඩෝ කාර්ඩ් සෙල්ලම් කිරීම ආදිය කලේ හැමෝම කෑම මේසයට එනතෙක්ය.

එදා හවසත් සුපුරුදු පරිදි කට්ටිය එකතු වුයේ එවන් දිනයක් ගත කිරීමේ බලාපොරුත්තුවෙනි. මල්කා , රාජු මාමා ආත්ම්මලා ඇතුළු හැමෝම රැස්වී සිටි බව මගේ සිහියට නැගේ. 

මට තරමක හිසේ කැක්කුමක් ආවේ හැමෝම රාත්‍රී ආහාර ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදීය.

" මේ පැනඩෝල් දෙක බිලා බලන්න " ජයසිංහ බාප්පා මට කිවේය.

අනිකුත් හැමෝම කුකුල් මස්, බෝංචි බැදුම හා තද කර ඉවූ පරිප්පු ආදිය සමග රෑ කෑම ගනිමින් සිටියහ. 

" චුටි පුතා .. බත් ටිකක් කමු " පොඩි පුංචි ආරාධනා කරයි.

මට  කෑම දෙස බලන්න වත් නොහිතෙන වස අප්පිරියාවක් හට ගෙන තිබේ.

"එපා මට කන්න  බෑ.."

ගත වුයේ සුළු වේලාවකි. මගේ අප්පිරියාව වැඩි වී එක දිගට වමනය යන්න පටන් ගත්තේය.

ඉක්මනට ඉස්පිරිතාලේ ගෙනියමු. රාජු මාමා වාහනයක් සොයා දිව්වේය.

"උදේ ඉඳලම බෙහෙත් ගැහැව්වනේ" අම්මා රෝග නිධානයත් සොයා ගෙනය.

අරලගංවිල රෝහලේදී මෙම රෝග ඉතිහාසය ඩි ඇම් ඕ මහතා සමගද කියැවිණි. ලෙඩා ඇඩ්මිට් කරන්න ඔහු කිවේය . එදා සිට අවුරුදු දවස්ද ඇතුළුව දින ගනනාවක් මා රෝහලේ ගත කලෙමි.

සතියේ දවස් වල උදේ බංගලාවේ බෙහෙත් දෙන ඩි ඇම් ඕ මුණ ගැහෙන්නට තාත්තලා යන්නේ  ( රුපියල් විසි පහක් ගෙවා) වාට්ටුවේ මා සිටිනා බව මතක් කරන්නටය.

වාට්ටු සංචාරයට එන ඔහු මට පැනඩෝල් SOS නියම කර ඇඳ හිස පතේ සටහනක් දමයි.

දැන් සති දෙක තුනක් ගෙවී ගොසිනි. මගේ තද හිසේ කැක්කුමත් , නොනවතින වමනයත්  අඩුවක් නැත.

හිසේ ඇම්ම වැඩි පුරම එන්නේ උදේ ඉර නගින වෙලාවටය. මට ලයිට් එළියක් දිහා බලන්නටවත් බැරි තරම් ඔළුව පුපුරු ගසයි.

අම්මලාගේ රෝග ඉතිහාසය නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ඩි ඇම් ඕ හරි රෝග විනිශ්චයක් කල බවක් නොපෙනේ.
තාත්තගේ යාළු මේල් නර්ස්ලා " මේ ළමයාව තේලුල්ලේ වත් යැව්වනම්  හරි " කියමින් සිටිති.

දිනක් මා බලන්නට රෝහලට ආවේ දොළුවේ නැන්දා ගේ අය්යා කෙනෙකි . ඔහු හිසේ කැක්කුම් වලට කෙමක් දන්නා කෙනෙක් බව අම්මා මට කීවාය.

"දොරේ මල්ලී ... පුතාට තියෙන්නේ ඉරුවාරදය"

ඔහු රෝගය හරියට විනිශ්චය කළේය.

"ටිකට් කපාගෙන ගෙදර අරන් යන්න අපි කෙමක් කරලා බලමු " ඔහු යෝජනා කළේය.

එතැන් සිට දින හතක් මට උදේ පාන්දරම නාන්නට සිදුවිය. නෑමෙන් පසු ඔහු පොල්කිරි මිශ්‍ර නානුවක් මගේ හිසේ ගැල්වුවේය.

හත් දවසක් ගතවූ තැන ඉරුවාරදය සුව වන බව අපේ අම්මාටත් තාත්තාටත් පැවසුවේය.


එහෙත් මගේ හිසරදයත් වමනයත් සඳතැන්නේ වෙද මාමාගේ කෙම් ක්‍රමයෙන් සුව වුයේ නැත.

ඒ වෙනුවට මා එන්න එන්නම දුර්වල විය. දැන් අවුරුද්ද පසු වී මාසයකටත් වැඩිය.

අපේ අම්මලා පැත්තේ නෑයෝ පමණක් නොව තාත්තලා පැත්තේ අයද මා බලන්නට නිවසට එන්නට වුහ.

මට තවමත් කෑම බීම අපුලය. ලෙඩ බලන්නට එන ඇය ක්‍රීම් ක්‍රැකර් , බීම ජාති ආදිය ගෙනාවත් ඒවා දිහා බලන්නට වත් නොසිතේ.

විජලනය හේතුවෙන් බෙහෙවින් අබල දුබල වී සිටි මගේ ඇඳේ අනික් පැත්තේ දවල් කාලයේත් තාත්තා හිටියා මට මතකය.
එක් දිනක් නින්දත් නොනින්දත් අතර  සිටි මට තාත්තා ඉකි ගසමින් හඬන බව දැනුනි.

"තාත්තා ඇයි අඬන්නේ? " මට ඇසුනේ ඉබේටමය.

"ආ චුටි පුතා ... තාම ඉන්නවා නේද? " නින්දෙන් අවදි වූ තාත්තා පෙරලා මගෙන් ප්‍රශ්න කලේ කඳුළු පිරී දෑසින් යුතුවය.

මා තවමත් ලෙඩ ඇඳේ බව  දැන ගත්  තාත්තලා පැත්තේ නෑදෑයෝද  වැල නොකැඩි මා බලන්නට ඇදී ආහ.

හොඳටම දුර්වලවූ රෝගියා ලෙඩ ඇඳේ වැතිරී සිටියි. පල්ලැහැ ලොකු තාත්තා සහ අම්පිටියේ විසු ඔහුගේ දියණිය කරුණා අක්කා ඇවිත් සිටිති.

ලොකු තාත්තා මගේ කකුල් මිරිකයි..

ඉකි ගසමින් හඬා ගෙන ආ කරුණා අක්කා මගේ මුහුණ අත ගාමින් අනේ... චුටි මල්ලි... .  කියා වැලපෙන්නට වුවාය. 

මට සිද්ධිය පරිවර්තනය කර ගැනීම අපහසුවිය. ඒ දෙදෙනා පිටත්ව ගිය පසු මම තාත්තාට කතා කලෙමි.

" ඇයි ඒ කරුණා අක්කා එච්චර අඩන්න වුනේ..?"  " ලොකු  තාත්තා මගේ කකුල් මිරිකුවේ ඇයි "

"ඒ ඔයාට ගොඩාක් අමාරු නිසානේ " තාත්තා උත්තර දුන්නේ තම කඳුලද කෙසේ හෝ සඟවා ගනිමිනි.

ගැලවුම් කාරයා ගමේ ඇවිත් 



7 comments:

  1. ඇන්ට්‍රකොල් හා තක්කාලි මිශ්‍ර මේ වගේ අතීතයක් මටත් තිබුනා . කවිඳූගේ කතා බෙහෙවින්ම මගේ සිත් ගත්තා

    ReplyDelete
  2. ස්තුතියි.... මේ කතාව එවැනි අතීතයක් තිබු හැමෝම වෙනුවෙන් ලියුවක්.. දැනට ඔස්ට්‍රලියාවේ ඉන්න පශ්චාත් උපාධි ලාභී වෙදැදුරන් කිහිප පොළක්ම කුඹුරු වල හෝ එළවලු කෝටුවල තෙල් ඉස්ස කතා කියලා තියෙනවා.. මේ ගෙත්තම ඒ හැමෝම වෙනුවෙන්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. yes for sure.. we can cherish every bit of that history with pride now..await the Savior...

    ReplyDelete