Follow by Email

Saturday, 4 July 2015

සංක්‍රාන්ති සමය දෙවන කොටස...රෑ පැල් රැකලා

 



පසුගිය  කොටස...


එදා පැලට ලඟා වූ මා මුලින්ම කලේ පැලේ එල්ලන ලාම්පුවත් ගිනි මැලයත් දැල්විමයි.

අනතුරුව  අම්මා තේ බිමට සකස් කර දුන් අඩුම කුඩුම ටික පසෙකින් තැබුවෙමි.

 තේ මුට්ටියක් ලිප තබා  තාබ්රු සර්ගේ පන්තියේ දෙන ඉංග්‍රීසි ටිකකුත් පාඩම් කලෙමි.

ඉගෙනීමේ  වටිනාකම  හොඳින් දැන සිටි  අපට  ඒ කාලයේ පොත් පත් බලන්නට තැනක් නොතැනක්  අවශ්‍ය නොවීය.

ගෙදර හිටියොත් සමන්තගේත් මගෙත් පොදු කාමරයේ අපි පාඩම් කළෙමු.

පැලේ සිටියා කියා නිකන් ඉන්නට මගේ සිත කවදාවත් ඉඩ දුන්නේ නැත.

එහිදීත් පොතක් පතක් කියවීම මගේ සිරිතයි.

පසු කලෙක (උසස් පෙළ කාලේ) පැලේ  ගිනිමැල යෙන් පාඩම් කරද්දී අප ඉගෙන ගනිමින් සිටි කරුණු ප්‍රයෝගි ක වූ අවස්ථාවක් මා මතකයට නැගේ .

 පුරුදු පරිදි ගිනිමැලය ලඟට වී පාඩම් කලෙමි. ශීතල නිසා  ගිනිගොඩට වැඩියෙන් ලං වූවෙමි.

හදිසියේම මට යම් දෙයක් කරවෙන ගිනි මැලයේ රස්නය නිසා මගේ " තාපය" නෝට් එක ජ්වලන උෂනත්වයට ඔන්න මෙන්න ලංවී ඇත.

පසුදා පතිරණ සර්ගේ පන්තියට යත්දී මගේ  තාපය නෝට් එකේ යට පැත්තේ දුඹුරු පැහැති රවුමකින් පෙන්නුම් කලේ එම සංසිධියයි.

මේ සමබන්ධ වැඩි විස්තර උසස් පෙළට  ගිය පසු  ඉදිරි පත් කරමි.

මේ  තාබ්රු සර් වෙන්න ඩොක්ටර් ලා, වෙන්න ඉන්ජිනියර්ලා,  ඇතුළු අපි සැම දෙනාට සිය නිවසට කැඳවා ඉංග්‍රීසි කියා දුන්න කාලයයි.

මමද දවල් කාලයේ කුඹුරු වැඩ නිමකර හවස දෙකේ සිට හතර දක්වා පැවැත්වූ ඔහුගේ පන්තියට ගියෙමි.


ඒ කාලේ අපි පැලේ නිදා ගන්නෙත් හොඳ සැප පහසු මෙට්ටයක් දැමු  ඇඳකයි.

එහෙත් එය පිට පලු වලින් හැදු ඇඳකි.

අපේ අම්මා පැලේ ඇඳට දැමීමට පොඩි මෙට්ටයක්  සකස් කර දුන්නේ  අපට ඒ සුව පහසුව සැලසීමටයි.

මා තනිවම පැලට ගිය  මේ කියන දවසේ  කුඹුරු යායේ වෙන එක කුඹුරක වත් මිනිස් පුළුටක් වත් සිටියේ නැත.

 මගේ පැලට මීටර් හාර පන්සීයකට එහායින් තිබුනේ   දෙමල කුමාරලා ගෙදරයි.

කුමාරලා  ගෙදරත්  ඔයෙන් එගොඩ තිබෙන පිස්සි ආතාගේ පුතාගේ ගෙදරත්  හැරෙන්න වෙන මිනිස් වාසයක් අහලක වත්  නැත.

බයේ ගැහි ගැහි පැමිණියද දැන් මා වෙත නිදි දෙව්දුව ලඟා වුන මොහොතයි.

මම පැලේ ගිනි මැලයේ උණුසුම  මැද සැප පහසු නින්දකය.

හූ... හූ....උදේ පාන්දර තුනට හතරට පමණ එගොඩ ගොඩේ තේ වත්තේ උඩ හරියෙන් ශබ්දයක් ඇසේ.

ඒ  චමින්දලා ගෙවල් කිට්ටුව තිබු කිරඹඔය සොහොන පැත්තෙනි.

පොඩි කොල්ලෝ රංචුවක් එකට එකතු වී හු.. කියමින් ශබ්ද කරති.

එකෙක් මුලින්මත් ඊට ටිකකට පසු තවකෙක් යානාදී වශයෙන් පස් හය දෙනෙකුගේ හඬ ඇසේ. මා පොඩ්ඩක් වත් ඒ ශබ්දයට බයවුයේ නැත. කොල්ලෝ හු කිව්වාට මට මොකද කියා නැවතත් නිදා ගත්තෙමි.

දැන් නිදි දෙව්දුව මා ලඟට එන්නට අකමැති හැඩයි. කිරි බැබලෙන හඳ පාන මාරගස්වැල්ල වෙලා ගෙන තිබේ.

හදිසියේම මට දවල් කාලයේ ඇලේ වතුර හරවා ගන්න ගොස් ලොකු මාමලා එක්ක ඇති වන කතා බහ මතක් වෙයි.
දැන් තක්කාලි ටිකට වතුර දැම්මානම් එලි වෙන කොට වැඩේ ඉවර කල හැකිය.

එසේ කළහොත් ලොකු මාමා උදේම වතුර හරවන්න එන විට මට කිසි ගැටළුවක් ඇති නොවේ.

පැල ලඟින් පොඩ්ඩක් උඩට ගොස් වතුර පාර අපේ කෑල්ලට හැරවුයෙමි.  ඉපනැලි කෑලි දමා කානු බ්ලොක් කර වතුර පුරවා ගත්තෙමි.

 හඳ එළියේ රාජු මාමලා කරනවා මෙන් බෙලෙක් පිගානක් ගෙන තක්කාලි ගස් පුරා පැතිරෙන්නට වතුර විසි කලෙමි.

උදේ පාන්දරම නිසා ගතට කිසි වෙහෙසක් නොදැනේ.  මාමලා එනවිට ඔවුන් සමග වතුරට ගැටීමට සිදු නොවන බව දත් නිසා සිතත් සතුටින් පිරී ගොසිනි.

මම හඳ පානේ කොල්ලන්ගේ හු හඬ මැද මුළු කොටුවටම ජල සම්පාදනය කලෙමි.

උදේ හය හමාර පමණ වන විට වැඩ අවසන් කල මා නැවතත් මල්දෙනියේ නිවස දක්වා ගමන් කලෙමි.

ගෙදර ගිහින් අම්මා උණු උණුවේ හැදු කිරි කෝප්පය බොන ගමන් කොල්ලෝ රංචුව ගැනත් උන්ගේ හු හඬ ගැනත් ඇයට පැවසීමි.

අම්මා කොල්ලෝ කවුරුන්දැයි මට කියා දුන්නාය.


මා කොලු හූවක් කියා රැවටී තිබුනේ නරි රංචුවක් එකතු වී කල හූවකටය.




අස්වනු නෙලීම සහ ප්‍රවාහනය





තක්කාලි ගෙඩි එක දෙක රත් පැහැ ගැන්වෙන බව දුටු අම්මා අස්වැන්න විකුණන හැටි ගැනත් සිතා බැලුවාය.
අක්කා හා මා දෙස බැලු ඇය..

"චුටි.. චුටි පුතා....උඹලා මොකද හිතන්නේ?  .... මම හිතුවේ ඉදෙන ඉදෙන තක්කාලි ටික ටික කඩාලා ගෙදර ගිහින් දැම්මොත් හොඳයි කියලා" යැයි කීවාය.

අපි දෙදෙනා මුණින් මුණ බැලුවෙමු.

මේ තක්කාලි කන්දරාවම මරගස්වැල්ලේ කුඹුරේ සිට මල්දෙනියේ කන්ද මුදුනේ තිබු අපේ ගෙදර යා යුතුය.

 ඒ  අප දෙදෙනාගේ සහ අම්මාගේ  හිස් මතිනි.

අම්මාගේ තර්කය සරලය. ඇයට කිරඹ ඔයේ ඇයගේ මල්ලිලා නංගිලා ඒ වන විට ලොකුවට උදව් කලේ  නැත. ඒ නිසා ඇයට ඔවුන් ගැන එතරම්ම තද විස්වාසයක් තිබුනේද නැත.


ඔවුන්ගේ ගෙවල් සියල්ල පසු කර මලදෙනියේ අපේ ගෙදර දක්වාම තක්කාලි අදින්නට ඈ සිතුවේ ඒ  නිසාය.

කිලෝ විස්සක් විසි පහක් වූ තක්කාලි පෙට්ටි දෙකක් හිස මත දරා ගත් මාත් අක්කත් දැන් නාන පීල්ල පසු කර මල්දෙනිය දෙසට කන්ද තරණය කරන්නෙමු.

තාර පාර දක්වා කන්ද නැග විඩා නිවා ගන්නා අපි නැවතත් පෙට්ටි දෙක හිසේ තබා ගන්නේ ඉතිරි ටික යන්නටයි.

උඩ කිවුලේ චන්දරේලා ගෙවල් ළඟ සිට නැවතත් දෙවැනි කන්ද පටන් ගනියි. අවසන් වන්නේ අපේ ගෙදරිනි.

මට්ට කොල්ලෙක් වත් හිටියනම් උදව් කරනු ඇත. ලොකු මාමගේ මට්ට කොල්ලෝ දවල් කාලයේ ගස් නගින්නේ නැත.

මෙම තක්කාලි ප්‍රවාහනය  දැන් නම් මතක් වන විටත් ඇඟ හිරිවැටි යන ව්‍යායාමයකි.

එහෙත් ඒ කාලේ අපි තුන්දෙනා මෙලෙස තක්කාලි කොටුවක්ම අපේ ගෙදර දක්වා හිස මතින් ප්‍රවාහනය කළෙමු.
මේ අතර ඩිංගිරි බන්ඩේ මාමලා ගෙදර වෙනම තක්කාලි තොගයක් එකතු කෙරිණි.



අස්වැන්න කෙලින්ම  කොළඹට 



හා හා පුරා කියා විශාලෙට කල වගාවේ ඵලදාව ගමේ පොලේ විකිනීමට අම්මා කැමති වුයේ නැත. 

මේ කාලයේ අපේ තාත්තා පුංචිරාළ මාමලාගේ නිල්පාට වෑන් එකේ රියදුරු තුමා ලෙස කටයුතු කළේය. දවසක් පුංචිරාළ මාමගේ නැන්දා අම්මාට  හමුවිය. 

අප ඇය හැඳින්වුයේ දොළුවේ නැන්දා යන නමිනි.ඇය කණ්ඩුලලා ගමවූ දොළුවේ කෙනෙකි.

"විමලා නංගි කොහොමද ඉතින්?  ...දැන් කොටුවේ තක්කාලි කැඩෙනවාලු නේද ?"

"ඔවු අක්කා අපේ කොටුවෙයි චුටි පුතා හවුලට හදපු එකෙයි දෙකේම තක්කාලි ඉදෙනවා දැන්.."

"කිරඹ ඔය කොටුවේ තියෙන්නේ කටුගස්තොට .. චුටි පුතා ගේ කොටුවේ මාගලොබ්  තක්කාලි තමයි තියෙන්නේ"

"
නංගි තක්කාලි කොළඹ යවමුද? දොළුවේ අපි දන්නා මල්ලි කෙනෙක් ගේ කඩයක් තියෙනවා පිට කොටුවේ තොගපොලේ... එහාට යවමු."
RAW කියලා විලාසම ගහලා ලොරියට දැම්මහම හරි."

"හරි අක්කා එහෙම කරමු.." මම  ඩිංගිරි බන්ඩේ අය්යාගෙනුත් අහන්නම්කො RAW  ටම ඒ තක්කලිත් යවමුද කියලා" අම්මා වැඩේට කැමති වුවාය.

අපි එතැන් සිට ඉරිදා සහ බ්‍රහස්පතින්දා දිනවල අපේ ගමට එන ලොරියට තක්කාලි පෙට්ටි හතරක් හෝ පහක් ගානේ පැටවුයෙමු.  
උඩහ තෙවත්තේ හන්දියට ගෙන ගොස් තක්කාලි පෙට්ටි ගොඩගසා RAW  විලාසම ගසා තිබු පෙට්ටි මුර කිරීමේ රාජකාරිය කලේ මා විසිනි. 

ගුණතිලක අය්යා දන්නා වෙන පිටකොටුවේ තැනකට මගේ හවුල් තක්කාලි යැවිණි. 

සති පතා RAW  ලස්සන අකුරින් ලියු බිලක් අම්මා වෙත එවයි. අපි සතිපතා එකතු වන මුදල බලා සතුටු වෙමින් සිටියෙමු.  

ඒ කාලේ කොළඹත් තක්කාලි කිලෝව රුපියල් තුනයි පනහ හෝ හතර වැනි මිලකට අලවි විය.

රුපියල් හාර දහස් ගනනක් පමණ එකතු වූ පසු තාත්තා කොළඹ යවන්නට අම්මා තීරණය කලාය.
ඇයට හොඳ චේන් එකක් ගැනීම ප්‍රධාන අරමුණක් විය.

එහෙත් තාත්ත යන දවස් වල  R A වර්ණසුරිය මුදලාලි ඔහුව මග හැරියේය. අවසනායේ ඔහු අපිට මුදල් නොදී පිටකොටුවේ මැනින් මාර්කට් එකේ බක්කියෙනුත් පැන ගොස් තිබිණ.

මාස ගනනාවක් කඹුරා හෙවු සියල්ල වතුරේ ගොසිනි. 

අම්මා වර්ණසුරියට දෙස් දෙවොල් තිබ්බද  අපි ඔහුට විරුද්ධව නිතී මගට බැස්සේ නැත. 

RAW  එසේ අපට කොකා පෙන්වද්දී ගුනතිලක අය්යා හොරෙන්ම මගේ තක්කාලි මුදල් අරගෙන තිබිණි. 

මැනින් මාර්කට් එකේ ඔහුගේ මුදලාලි හමුවන්නට තාත්තා ගියවිට පවසා තිබුනේ ගුණේ මල්ලී සල්ලි ඔක්කොම ඉල්ලා ගත්තා යනුවෙනි.

මේ දැන බොහෝ සෙයින් කම්පාවට පත් ඩිංගිරි බන්ඩේ මාමා මගේ හවුල් කොටස වූ රුපියල් 1500 ක් ඔහු අතින් අපට ලබා දුන්නේය.





6 comments:

  1. ඇත්තටම මම අපේ ගමේ ආසම කරපු චරිතයක් තමයි ඩිංගිරි බණ්ඩා මාමා ( මල්දෙණියේ එක්කෙනා ).. එයා මට අවුරුදු 8-9 කාලේ මටයි සමන්තටට්යි ලඟට කතා කරලා දෙළුම් පැල දෙකක් දුන්නා ගෙදර ගිහින් හදාගන්න කියලා. අපේ ගේ ඉස්සරහම ආඩම්බරයෙන් බැබලෙන දෙළුම් ගස් දෙක තවමත් තියෙනවා අවුරුදු තිස් ගනනකට පස්සේ.. මට ගුරු ගීතයේ ගස් වැටිය මතක් වෙනවා අපි ආ මග සිහි කරහම.
    දැන් ඉතින් මගේ බ්ලොග් එක හරහා අටම් ලත් ඒ මාර්ගය කියවනවනේ.

    ReplyDelete
  2. හදවතටම දැනෙන මතකයන්.ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉසුරු මේ පැත්තේ ආවට... ඉදිරියට කියවන්න..

      Delete
  3. ***මිනිස්සුවිවිදාකාරය

    ReplyDelete
  4. ඔව් .. ඔව් මේකෙම බලන්නකෝ පුතා අපිව රවට්ටන අතරේ තාත්තා කොච්චර හොඳ කෙනෙක් ද කියලා.. RAW නම් නියම ලංකික වෙළඳ ව්‍යාපාරිකයෙක් වගේ (බල්ලෝ මරා හෝ සල්ලි හොයන ) .... ජයවේවා !!!

    ReplyDelete