Follow by Email

Sunday, 5 July 2015

සංක්‍රාන්ති සමය තුන්වන කොටස- පෙරියතම්බි අය්යා

ඒ වනවිට අපේ  සා. පෙ. ප්‍රතිඵල ලැබී මාස කිහිපයක් ගතවී ගොස් තිබුණි.

පාසැල් නොගොස්  නිවසට වී  සිටි ඒ කාලේ  තාබ්රු සර් ගේ නිවසේ තිබුණු පන්තියට අපි හැමෝම වාගේ සහභාගී වුනෙමු.

ඔහු පන්තිය පැවැත්වුයේ බිඳුණු වැව තිබුණු ඔහුගේම නිවසකයි. 

තම විසිත්ත කාමරයේ තිබු කෑම මේසයේ අප  වාඩි  කරගන්නා තාබ්රු සර් අපට ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කරයි.

 ඒ අතර ඔහුගේ ගෙදර බලාගන්නට සිටි පවුලේ අය අපට තේ එහෙමත්  පිළියෙළ කර දුන්හ.  

සා . පෙ. අවසන් කර සිටි අපට ගෙදරට වී නිකන් කාලය ගත නොකර වැඩක් කරන්නැයි ඔහු අපට කිවේය.

ඒ අරමුණ ඇතිව ඉංග්‍රීසි සහ  පරිගණක ගැන ඉගෙන ගන්නට ඔහු අපව පෙළෙඹ වුයේය.

ටික දිනක් පංතිය කරගෙන යද්දී  ඉංග්‍රීසි සහතික  (National Certificate of English) විභාගයට  සුදානම් වන්නැයි අපට උපදෙස් ලැබිණි..

NCE කරන්නට සුදානම් වූ පිරිසට හරීන්, කණ්ඩුල , ගැට්ටා මෙන්ම තිලාන් සේමගේ සහ මාද ඇතුලත් වුහ.

අපි හැමෝම රුපියල් හැට පහ බැගින් වියදම් කර අදාල වැඩ පොත මිලදී ගත් බව මට මතකය. 

අපි සතියේ දිනවල උදේ  නවයේ සිට එකොළහයි තිහ පමණ වනතෙක් කාලය ගෙව්වේ තාබ්රු සර් ගේ නිවස තුලයි.

ඉංග්‍රීසි ඉගැන්වීමට අමතරව තම පවුලේ විස්තර ටිකෙන් ටික කියන්නටද ඔහු එය අවස්ථාවක් කරගත්තේය. 

තාබ්රු යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් හමුදා නියමු කණ්ඩායමේ  (සුද්දෝ නොවන)  සිටි හය දෙනාගෙන් කෙනෙකි.

පුහුණුවෙන් පසු ලංකාව හැරදා ගොස්  ස්වීඩනයේ  SAS ගුවන් සමාගමේ ගුවන් නියමුවෙක් ලෙස සේවය කල ඔහුට එරට කාන්තාවකට දාව ලැබුණු දියණියන් දෙදෙනෙක් සිටියේය. 

විශ්‍රාම ගැනීමෙන් පසු අරලගන්විලට පැමිණ පදිංචි වූ තාබ්රු සර්  ස්වේච්ඡා ගුරු සේවයට පැමිණියේ  අප ඉගෙන ගත් අරලගංවිල  මහා විද්‍යාලයටයි.

එහිදී ඔහුට මුණ ගැසුන මුල්ම සිසු කණ්ඩායමට  කවිඳු ඇතුළු පිරිස අයත් වුහ.



ඇස් වහ කට වහ



අනිත් යහළුවන් NCE වලට පමණක් සුදානම් වන කාලයේ මම ඊට අමතරව මාගේ විනෝදාංශය වූ එළවලු වගාවද  කරගෙන ගියෙමි.

ඒ දවස්වල කළුලා ගෙට පහල වත්තේ අපි විශාල තක්කාලි වගාවක් පවත්වා ගෙන ගියෙමු.

මේ දිනවල සමන්ත විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකි.

 නිවසේ සිටි අක්කාත් මමත් අම්මාගේ දකුණත සහ වමත මෙන් හරි හරියට වැඩ කළෙමු.

චුටි නංගීද  එහෙන් මෙහෙන් උදවු කලා වුවත් ප්‍රධානම බර  දැරුවේ අක්කා සහ මා විසිනි.

නිලට නිලේ දිලිසෙන තක්කාලි කොටුවට ඇස්වහ කටවහ වදිනු ඇතැයි  අම්මා විශ්වාස කළාය.

එසේ ඇස් වහ වැදීම  වැලක්වීමට අපි විවිධ උපක්‍රම යෙදු හැටි මට තාමත් මතකය. 

සුදු පාට පොලිතීන් පටි තක්කාලි කෝටුවල ගැට ගැසීම ඉන් එකකි.

සමහර එලවලු කොටු කාරයෝ පඹයෙක් කොටුව මැදට වන්නට හිටුවා තබති. 

මේ සඳහා අපි යොදා ගත් තවත්  උපක්‍රමයක් වුයේ  පුළුල් සුදු පොලිතීන් කොටුවක  ලොකු  රවුම් අකුරින් . " චික්!! තුක් !!! " කියා ලිවූ බැනරයයි.

එවන් බැනර් දෙකක් සකස් කල මා  උඩහ ගෙදර කලුලා  යන එන පාරට පෙනෙන ලෙස ගැට ගැසුවේ ඔවුන්ගේ කට වහෙන් කොටුව ගලවා ගන්නටය.

අපේ කොටුව දෙස බලන්නන් ගේ ඇස්  මගේ බැනර් දෙස යොමුවුවද  තක්කාලි ගෙඩි හිල් කරන පනුවෝ මේ  උපක්‍රම වලින් මෙල්ල වුයේ නැත.

පණුවන් මර්ධනය කීරීමට ටැමරෝන් වැනි කෘමිනාශක යොදන්නට අපට සිදු වුයේ ය. 

අම්මා මගේ සේවය වැඩි පුර ලබා ගත්තේ මේ පණු වින සහ දිලිර රෝග වලින් තක්කාලි බේරා ගැනීමේ සටනටයි.

අප පල්ලැහැ  කොටුවට යන පාර අයිනේ තිබු තවත් තක්කාලි කොටුවකි. එය අයිතිව තිබුණේ එහා ගෙදර පොඩි රාජාටයි.

එක් දිනක් මා අම්මා සමග වත්තට යද්දී පොඩි රාජලා  කොටුවට හැරෙන තුන්මං හංදියේ අඟුරු ගොඩක් මත  බාගෙට පිළිස්සුනු  මිරිස් කරල් සහ ලුණු කැට තොගයක් දක්නට ලැබිණි.

"මේ මොනාද අම්මා  මේ?  ඇයි මේ  මිරිසුයි  ලුණුයි  පුච්චලා තියෙන්නේ මෙතන ? "

මම අම්මාගෙන් ප්‍රශ්න කලෙමි.

"ඔය ඇස් වහ කට වහ පුච්චලා නේ බං .

මුන් හිතුවද දන්නේ නෑ අපි උන්ගේ තක්කාලි කොටුවට ඇස් වහ කරනවා කියලා.

වැඩේමයි . අපි තක්කාලි දැකලා නැති මිනිස්සු නම් කමක් නෑ "

අම්මා පොඩිරාජලා ඇස් වහ කටවහ පිච්චීම ගැන එතරම් මනාපයක් නැති පාටය. 


උඩහ  කඩේ 


මේ දිනවල අපේ තාත්තා  වැඩ කළේ පුංචි රාල මාමලා ගේ නිල්  පාට ඩෙලිකා  එකේ ය.  

ඔහු ඒ වන විට  සේවය අත්හැර ගිය ලිපිකරුවෙකි.

පුංචි රාල මාමලා කඩේ පිහිටා තිබුණේ  අපේ නිවස ආසන්නයේ සිට  අක්කර ගණනාවක් එපිටට පැතිරී යන තේ වත්තේ  ඉහළම කෙලවරට ආසන්නයේය.

කඩේ දෙපැත්තෙන්ම තිබුණේ  දෙමළ ලැයිම් පේලි කිහිපයකි.

අපේ ගෙදරත් පුංචි රාල මාමලා කඩෙත් අතර දුර කිලෝමීටර් මීටර් දෙකක් පමණය.

අපේ ගෙදරට සිට කඩේට යන පාරේ පිළිවෙලින් නාන පිහිල්ලත් , වත්තේ ගණදෙවි කෝවිලත් , අක්කර පනහේ ලැයිමත් , දළු පඩි දාන තැන හෙවත් වත්තේ ඔෆිසියත් හමුවෙයි. 


ඒ කාලේ අපේ ඉස්කෝලේ යාලුවෝ බොහෝ දෙනෙක් විශ්වාස කලේ ඒ නිල් පාට ඩෙලිකා වෑන් එක අපේ එකක් කියාය. 

" අන්න.. කවිඳු ලා වෑන් එක.."

කියමින් ජාලිය, තාරක වැනි යාලුවෝ  නගරයේදී කෑ ගසමින් මට පුංචිරාල මාමගේ වාහනය  පෙන්වූ වාර අනන්තය. 

මමද ආඩම්බරයෙන් අපේ වෑන් එක එනවා කියමින් සතුටු වූයෙමි. 

කතාව හරියටම දන්නා එකම සගයා කණ්ඩුල පමණි . ඒ ඔහු දොළුවේ නැන්දාගේ ලඟම නෑදෑයෙක් වූ බැවිනි. 

එහෙත් කිසිම දිනෙක 

"ඒ කවිඳුලා වැන් එක නෙවෙයි අපේ අක්කලාගේ එක "කියා ඔහු කිවේ නැත. 

උදේ NCE පංතියත් හවසට තක්කාලි කොටුවත් ආවරණය කරන මගේ සවස් කාලයේ විනෝදාංශය අමුතුම එකකි. 

හවස පහ හමාර පමණ වන විට මම අක්කර පනහේ ලැයිම සහ උඩහ කෝවිල පසු කරමින් ගමනක් යන්නෙමි. ඒ වැඩ නිමවී ගෙදර එන තාත්තා එක්කන් එන්න යන ගමනයි.

මෙහිදී මම මුලින්ම යන්නේ පුංචිරාළ මාමලාගේ කඩේටය.  කඩේ ඉන්නේ පුංචි රාල මාමත් ඔහුගේ දෙවැනි පුතා වූ චුටි අය්යත්ය. 

බොහෝ දිනවල මම එහි යන වෙලාවට දොළුවේ නැන්දාද  එහි සිටියි.

එවැනි දිනවල ඇය මට තේ කෝප්පයක් හෙම හදා දෙන්නේ දෙමල මිනිසුන්ට බඩු කිරා දෙන අතර තුරමය.

ඇත්තම කියනවානම් අපේ අම්මා ලඟට ඒ කාලයේ මම කැමතිම කාන්තා චරිතය දොළුවේ නැන්දාය.

" කොහොමද පුතා?" යැයි ඇය කට උල් කර කතා කරමින් අසන හැටි තවමත් මා මතකයේ රැඳී පවතී.

 මම හාල් ගෝනියක් හෝ අසල ඇති බන්කුව උඩට වී බටර් ඉස්කෝතුවක් හෝ ඉස්කිරින්නයක් කමින් නැන්දාගේ කහට කෝප්පය පානය කරන්නෙමි.

"කෝ.. දොරේ අය්යා තාමත් නෑනේ ?"

කියමින් ඇය පාර දෙස බලන්නේ මම කඩයට වී පැයක් දෙකක් සිටියාට පසුවය. 

 රූන් ගාමින් ශබ්ධයක් නගාගෙන නිල් පාට වෑන් එක කඩේ ලඟට එන්නේ ඔය වෙලාවටයි.

දවසේ අදායම මුදලාලි අතට දීම ඉන්පසු සිදුවේ.. සාමාන්‍යයෙන් රුපියල් පන් හය සීයක ශුද්ද ලාභයක් දිනකට ඔහු අතට ලැබේ.

අපේ තාත්තා බොහෝ දෙනෙක් හඳුනන කෙනෙක් නිසා ඔහුට වැඩි පුර හයර් ලැබේ.

සමහර දිනක පුංචිරාළ මාමා තාත්තාට මධුවිත සංග්‍රහයක් ද පවත් වයි.

එදාට මම රෑ නවය දහය වනතෙක් ඇනුම් අරිමින් කඩේට වී සිටින්නෙමි.

හැමදාම කඩේ සාදා පවත් වෙන්නේ නැත. 

විනෝද ජනකම සිද්ධි සිදු වන්නේ කඩේ සාදය නැති දිනවලටයි.

ඒ දිනවලට තාත්තා ගෙදර යන ගමන් කෝවිලට පහල තිබෙන අක්කර පනහේ ලැයිමටද ගොඩවෙයි. 

ඒ ලයින් පේලියේ කෙලවරේම තිබු පෙරියතම්බි අය්යාගේ පොට් එකටය.

අවිවාහකයකු වූ පෙරියතම්බි ජිවත් වුයේ තනිවමය. හිත් ඇද ගන්නා අහිංසක හිනාවක් තිබු ඔහු කල වෙළඳ කටුයුතු තරමක් නිතී විරෝධී ඒවා විය.

සීල් අරක්කු ගෙනත් ගෙදර හංගා තබා ගන්නා ඔහු අශෝකා වීදුරුවක් රුපියල් පහ ගනනේ අනෙකුත් කම්කරුවන්ට විකුණයි.

රෑ හත අට පමණ වන විට පෙරියතම්බිගේ ගෙදර සූ... ගාලා සෙනග පිරී සිටිති.

අරක්කු බොන්නට එන ඇය හැමෝටම නැතත් පෙරිය තම්බි තාත්තාට වඩේ හෝ වෙන කටගැස්මක් හෝ ලබා දෙයි.

මම එහි යන්නේ පෙරිය තම්බි හදනා උණු උණු වඩේ නොමිලේම මටද  ලැබෙන බැවිනි.

 ඩ්‍රයිවර් මහත්තයා බිමට මෙන්ම කෑමටද සල්ලි දුන්නාද නැත්ද කියා මට මතකයක් නැත. සමහර විට පඩි හම්බ වුනාම දෙන තෙක් නයට ගන්නවා වෙන්නට පුළුවන.

අනතුරුව සිදුවෙන තාත්තාත් සමග කිලෝමීටරයක් පමණ දුරක් ගෙවා අපේ නිවසට එන ගමන මගේ ප්‍රියතම අංගයකි. 

මගේ අතේ පුංචිරාල මාමලා කඩෙන් ගත් බඩුමල්ලයි. එහි ඇත්තේ ගෙදර එදිනෙදා පාවිචියට අවශ්‍ය මිරිස් තුනපහ හාල් පොල් ආදියයි.

ඊට අමතරව එහි තිබු වැදගත්ම අංගයන් වුයේ රෑට පාඩම් කිරීමේදී පාවීච්චි කරන ක්‍රීම් ක්‍රැකර් සහ ක්ෂණික දොඩම් පාන පැකට් දෙකයි.

දැන් අපි දෙන්නා තේ වත්ත මැදින් අපේ ගෙවල් දිහාවට පල්ලම් බසින් සිටිමු. මම බඩු මල්ලත් අතේ ඇතිව ඉදිරියෙන් ගමන් කරමින් සිටිමි.

මට පසු පසින්  පෙරිය තම්බි දුන් කඩල අහුරක් හපමින් ගමන් කරන් තාත්තාය . 

වරින් වර "චුටි පුතා මෙන්න ඔයාටත් " කියමින් ඔහු මට අත්ල දික්කරයි.

මෙසේ ටික දුරක් ගොස් ගල උඩ පුටුව පසු කලා පමණි.

එක් වරම බුසු ... බුසු...ගා ශබ්දයක් මා පසු පසින් ඇසේ. පස්ස හැරී බැලුවෙමි.. තාත්තා පාරෙන් පිට පැන තේ ගස් ගොල්ලට ඇදී යයි.

"ඇයි තාත්තා මොකද? වැටෙන්න ගියාද?" මම අසන්නෙමි.

"චුටි පුතා .. ඔයා බය වුනාද?"  " මං මේ අත් දෙක පිහදා ගත්තා තේ ගස් වල තියෙන පින්නෙන් "

 තාත්තා මාව අස්වාසාලයි.

මම මගේ හිනාව තද කරගත්තේ අමාරුවෙනි.

දැන් අපි ගෙදර ළඟ තියෙන නෙත්ති කානුව බසින් සිටිමු. මෙය උඩහ පාරේ සිට තනි කෙලින් ජේන් අක්කලා වත්ත මායිමට දිවෙන්නකි. 

තාත්තා දිගින් දිගටම තම අත් පිසින ශබ්දය මට ඇසේ ..

" තවමත් අත් හේදිලා නැත්ද  තාත්තා? "  යි අසන මම හිනහ වෙමින් අම්මා වෙත දිව යන්නේ බඩු මල්ලත් සමගය. 

7 comments:

  1. පෙරියතම්බි තවමත් අපේ ගම් පළාතේ ඉන්නවා.. මා අවසන් වර ලංකාවට පැමිණි මොහොතේ ඔහු මුණ ගැහුනා.. මගේ වාහනයෙන් ඔහු ලැයිමට ඇරලුවා...

    ReplyDelete
    Replies
    1. හරි අහිංසක මනුස්සයෙක් දුප්පත් කමට වැරදි වෙළඳාමක් කලාට

      Delete
  2. වත්තෙ වැඩ කරන පඩියෙන් බාර් එකට ගිහිල්ල බොන්න වත්කමක් නැති මිනිස්සුන්ට සේවය සපයන්න ඔහොම අය ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට.. ඔව් ..ඔව් අශෝක වීදුරුවෙන් අරක්කු ටිකක් රුපියල් දහයද කොහේදෝ ඒ කාලේ පෙරියතම්බි ළඟ??

      Delete
  3. තාත්ත පාරේ මගදිත් බිව්වද?

    ReplyDelete
  4. නෑ පෙරියතම්බි අය්යගේ පොට් එකෙදි විතරයි. තාත්තා අපි ලොකුවෙලා යුනිවසිටි ගියාට පස්සෙ වගෙ බීම සම්පුර්නයෙන්ම නැවැත්තුවා මන් හිතන්නේ..

    ReplyDelete