Follow by Email

Saturday, 15 August 2015

අපොස. උ. පෙ. එක (ආදරණිය සුරංජි )

උසස් පෙළ විද්‍යා පන්තිය.

අපි අරලගංවිල මහා විදුහලේ උසස් පෙළ විද්‍යා පංතියට එන්නේ 1987 වසරේ මැද භාගයේදීය.  ඒ වන විට මමත් , කදුරුගමුවේ තාරකත් ඇතුළු මගේ සා. පෙළ සගයින් කිහිප දෙනෙක්ම මා සිටි 12 වසර සී  පංතියට තේරී සිටියහ.

මේ අතර අපිත් එක්ක පොඩි පංති වල එකට සිටි බොට්ටා , වන්නි , ගැට්ටා ඇතුළු පිරිස  12 ඊ කොටසේ සාමාජිකයින් බවට පත්  වුහ.

12 සී කොටසට පැමිණි තවත් නවක සිසුවෙක් ගැන මෙහිදී  මා සිහියට නැගේ.

අවුරුදු දෙකක උසස් පෙළ කාලයේ මාත් කිරඹ ඔයේ චමින්දත් සමග නිතරම ගැවසුන අනිත් පුද්ගලයා ඔහු ය.

නමින් සුරාජ් බණ්ඩා නම් වූ ඔහු පැමිණියේ වැලිකන්ද පැත්තේ තිබු බෝගහමඩිත්ත ප්‍රදේශයෙනි.

12 සි පංතියේ මා සමග සිටි අනිත් සගයින් වුයේ දොළුවේ කණ්ඩුල සද්ධාමංගලත්  උහන ප්‍රදේශයේ සිට පැමිණි රංගජීවත් ය.

කණ්ඩුල  අපත් සමග සා.පෙ. ලිවූ අයෙක් වූ අතර රන්ගජීව සුරාජ් මෙන් අප සමග 12 වසරට අලුතින්  එක් වූ අයෙකි.

ඔහු සාමාන්‍ය පෙළ ලියා තිබුනේ උහනේ කුමාරිගම විද්‍යාලයෙනි. උහනේ සිට පැමිණි ඔහුට බෝඩිමේ ඇන්ටි කිවූ නමම අපිද පාවිච්චි කළෙමු . ඒ "උහනේ පුතා" යන නමයි.

මේ අතර සියඹලාණ්ඩුවේ වැලි යාය නම් ගමේ සිට අපේ 12 සී පංතියට පැමිණි තවත් අලුත් සගයෙකී.

ඉතා හීන්දැරි  මෙන්ම මගේ තරමටම සමාන උසකින් යුතු  ඔහු නමින් රටේ රාලලාගේ සුරංජිත් නම් විය.

සුරංජිත් සා.පෙ. දක්වා ඉගෙනගෙන තිබුනේ වැලියාය කනිෂ්ට විදයලයේය.

ඉතා ප්‍රියමනාප කාගේත් සිත් ගත් තරුණයෙකු වූ සුරංජිත්ට අරලගංවිල හොල්ලන් සිටි අපත් සමග කල්ලි ගැහෙන්නට වැඩි කාලයක් ගත වුයේ නැත.

මට මතක හැටියට සුරංජි වැලියාය කනිෂ්ටයේ අ. පො. ස. සා පෙ. හොඳම ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යයා විය.

මෙසේ අරලගංවිලට තරමක් දුර බැහැර සිට පැමිණි අය ( බොට්ටා , රන්ගජිව, සුරංජි වැනි සිසුන්  )  කොස්ගම  ගමේම හෝ අරලගන්විලට නගරයට කිට්ටු ප්‍රදේශ වල හෝ නේවාසිකාගාර වල නතර වුහ.

බොට්ටා , උහනේ පුතා හෙවත් රන්ගේ සහ නුවර එළියේ සිට පැමිණි දිලුම්  සෙට්ටිනායක නම් කඩවසම් කොල්ලෙකු නතර වී සිටියේ  අරලගංවිල - මුදුනාගල පාර අසල තිබු නවාතැනකයි.

 අපේ අනික් හිතවතා සුරංජිත් නතර වී සිටියේ අරලගංවිල -කොස්ගම පාරේ  බෝඩිමකය.

එය පිහිටා තිබුණේ අප කුඩා කල ඉගෙන ගත් අරලගංවිල කණිෂ්ඨයට ආසන්නවයි .

සුරන්ජිගේ මේ නවාතැනේ තවත් තිදෙනෙක් නැවතී සිටියහ.

ඒ තිදෙනාම  අප පාසැලේම පහළ පන්ති වල සිටි නංගිලා වුහ.

ඒ නිසාම එකම පිරිමියා වූ සුරන්ජිට බෝඩිමේ තනි කාමරයක් හිමි වී තිබුණි.

 එමෙන්ම සුරංජි මේ  නංගිලා ගේ එකම අය්යා වශයෙන් ඔවුන් සමග ඉතා ලෙන්ගතු කමකින් හැසිරෙන අයුරුද මට මතකය.

පාසලේ පහළ පංතිවල නංගිලා ගැන උනන්දුවෙන් පසුවූ සුරාජ් සහ අප වැනි අයට සුරන්ජිගේ බෝඩිමේ සිටි නංගිලා හඳුනාගෙන සිටීමද වැදගත් විය.

බෝඩිමේ සිටි නංගිලා නිසාම සුරන්ජිත්ට  පහළ පංතිවල නංගිලා සමග අපට වඩා සමීප ඇසුරක් තිබු බව මාගේ හැඟීමයි.

ඒ  නිසාම සුරන්ජියාට අප ගේ විහිළු තහළු වලට නිතරම භාජනය වන්නටද සිදු විය.

පාසලේදී  බොට්ටා,  උහනේ පුතා , දිලුම් ඇතුළු කල්ලිය ඇසුරු කල මට පාසැල් බසයේදී නැවතත් චමින්ද රාජපක්ෂ මුණ ගැසෙන්නේ මේ කාලයේදීය.

ඒ චමින්ද යෝධ ඇල මහා විද්‍යාලයේ උසස් පෙළ කෘෂිකර්මය ඉගෙන ගැනීමට යාමත් සමගය.

පාසැල් ඇරී උපකාරක පංති යන වෙලාවටත් සෙනසුරාදා ඉරිදාත් මා වැඩි පුර ගැවසුනේ චමින්දත්  ඔහුට නෑදෑකමට  මස්සිනා වූ  සුරාජ් බණ්ඩාත් සමගයි.

වැලියායේ සුරංජිත්ද  අප අප සමග එකට උපකාරක පන්ති ගිය අයෙකි. ඒ  පංති වල ලෑලි බැංකු වේ එක ළඟ වාඩිවූ පිරිස වුයේ මම, සුරංජිත්, උහනේ පුතා, චමින්ද සහ සුරාජ්ය.


මේ වන විට  යුගල වී සිටි  දිලුම්, බොට්ටා වැනි අය තම අනෙක් භාගයත් සමග  බංකු පේලියේ අයිනට වෙන්න වාඩි වූහ.


අරලගංවිල මහා විදුහලේ දේශපාලන කටුයුතු 


මේ කාලයේ රට කරවුයේ ජේ . ආර් . ජයවර්ධන ජනාදිපතිතුමා ප්‍රමුඛ UNP රජය විසිනි.

පාරවල් වල සිටි හැටියේ " නාකියා වියරුවෙන්- ජනතාව සීරුවෙන්" වැනි  සටන් පාඨ ලියවුනේද මේ කාලයේදීමය.

දිනක පාසැල් යනවිට පාරේ " ජේ. ආර්. මරමු" යැයි ලියා තිබෙනු දුටුවා මට මතකය.

මේ සටන් පාඨ ලිව්වේ එවකට තහනම්  රැඩිකල් සංවිධානයක් වූ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

 රාජ්‍ය බලය යොදවා ඔවුන් ගේ ව්‍යාපාරය මර්ධනය කිරීමට විරුද්ධව ඔවුන් එකල සටන් කලේ ඒ ආකාරයටයි.

එමෙන්ම අරලගංවිල නගරයේ පාසැල අවසන් වීමෙන් පසු පයිප්ප බට උඩට වී කාලය ගෙවන අපට ඒ කාලේ බොහෝ විට ඇසුනේ  නන්දා මාලනී ගේ "පවන" වැනි කැසට් පටයි.

ඒ නගරයේ තිබු බොහෝ කඩ සාප්පු වල ඇයගේ ගීත වාදනය කල නිසාවෙනි. අවුරුදු දාහතක් වැනි වයසක පසුවූ අපට ඇත්තටම මේ දේශපාලනය එච්චරම තේරුමක්  වුයේ නැත.

එහෙත් එකල අරලගංවිල පාසැලේ සිටි සමහර සිසුන් UNP රජයේ මර්ධනයන් ගැන කථා කළහ..

විශේෂයෙන් අපට ඉහළ පංතියේ සිටි ශිෂ්‍යන් අතර බොහෝ අය මෙවැනි සිසුන්  බව පසුකලකදී අපට දැන ගත හැකි විය.

එලෙස දේශපාලනය ගැන උනන්දු වූ අය අතර  අපේ පංතිවල සිටි වැලිකන්ද 79 බසයේ පැමිණි පිරිසක්ද  වුහ.

පාසැලේ කා සමගත් ගනු දෙනු කල මට වැලිකන්දේ අකලංක චමල් බණ්ඩාර වැනි ඒ පැත්තට බර සිසුන්ද ලඟම මිතුරන් වූහ.

චමල් ලා  සා. පෙ. පංති වල සිටිද්දීද අප හා ඇසුරු කල අය වුහ.

හයේ පංතියේ සිටම වෙනත් හේතුන් නිසා 79 බසය ගැන උනන්දුවක් දැක්වූ මට  චමල් මිතුරෙක් නොවුවානම් පුදුමයකි.

උසස් පෙළ ගණිත අංශයේ සිටි චමල්ලා සමග මොණරාගල සිට පැමිණි ජයරත්න නම් ඉතාමත් ප්‍රිය මනාප සිසුවෙක්ද  එකතු වුයේ එකම දේශපාලන අරමුණකටය.

 එහෙත් ඔබ දන්නා පරිදිම මා වැඩිපුරම බර යෙදුවේ අධ්‍යාපනයටත් , කෙළිලොල්  කම් වලටත්ය. මට පාසලේදී බොට්ටා, දිළුම් , උහනේ පුතා වැනි විනෝදකාමීන් සමග කාලය ගෙව්වා මිස  දේශපාලනයට කෙලින්ම සම්බන්ධ වන්නට මා උනන්දු නොවුයේ ඒ බැවිනි.

12 සි පංතියේ සිටි අනිත් සගයා  මගේ එතරම්ම හිතවතෙකු නොවුවත් අපේ පංතියේ සිටි ඉගෙනීමට උනන්දු අයගෙන් එකෙකි.

ඔහු සොමිල ජයමාන්න නම් විය. සොමිල පසු කලෙක මා සමගම කරගම්පිටිය වෙද විදුහලටද ගිය අයෙකි.

මම පන්තියේදී  උහනේ පුතාලා සමග දඟකාරකම් කලේ වුවද සොමිල හා ඉන්ද්‍රානි  ගමගේ සමග physics ගණන් හදන්නටද පුරුදු වී සිටියෙමි.

අසූ හතේ යොවුන් පුරය


සුරංජිත් යන්තමින් වාගේ දැනගෙන සිටි මා ඔහු සමග ඉතාම කිට්ටු ඇසුරකට  වැටෙන්නේ මේ අතර වාරයේදීය.

ජේ. ආර්. ගේ රජය එක අතකින් තරුණයින් මර්ධනය කරන අතර තවත් අතකින් තරුණයින් ගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ.

ඒ එවකට තරුණ කටයුතු හා අධ්‍යාපනය භාරව සිටි රනිල් වික්‍රමසිංහ විසින් ඇරඹු යොවුන් පුර වැඩ සටහන හරහායි.

අප උසස් පෙළ ඉන්නා කාලයේ රනිල්ගේ යොවුන් පුරයක් අරලගංවිල නගරයට පැමිණියේ ඒ අනුවයි.

නගරයේ පාසැල් සියල්ලේම රටේ හැම තැනින්ම පැමිණි යොවුන් සමාජ සාමාජික සාමාජිකාවෝ නැවතී සිටියහ.

අපේ පාසැල, සුජාතා එක , කොන්වන්ට් එක  ඇතුළු අරලගංවිල ප්‍රධාන පාසැල් රැසකට  නිවාඩු ලැබිණි.

සැම දිනකම වැඩ සටහන් අවසාන වන්නේ අරලගංවිල නගර සභා ක්‍රීඩාංගනයේ  පවත්වන සංගීත සංදර්ශන යකිනි.

පාසැල් නිවාඩු වත් සමග සුරංජිත් , බොට්ටා ඇතුළු පිරිස මටද ආරාධනා කලේ නගරයේ සංගීත වලට සහභාගී වන්නටයි.

රෑ දෙගොඩ හරිය වනතුරු  යොවුන් පුරයේ සංගීත වල නටන්නට අප යොමු වන්නේ එලෙසිනි.





ඒ ටෝනි හසන්, ජෝතිපාල-ලතා, ටී .එම්- නිලා , සමන් ද සිල්වා මෙන්ම යොවුන් ගී ගැයූ රූකාන්ත- චන්ද්‍රලේඛා වැනි ගායක ගායිකාවන් ගේ ගීත වල තාලයට පා තබමිනි.



සංගීතය අවසානයේ සිරිමලවත්තට නොඑන මා සුරංජිත් සමග ඔහුගේ නවාතැනට ගොස් නිදා ගත්තෙමි. බෝඩිමේ ඇන්ටි මට උදේ ආහාරය දෙන්නේ සුරංජිත් පුතාට දැක්වූ ලෙන්ගතු කමම මා වෙතටද පෙන්වමිනි.

එක බත් පත බෙදා ගෙන කන්නත් , දෙදෙනාගේ කමීස මාරු කර අඳින්නටත් , එක ඇඳේ නිදා ගන්නටත් අප දෙදෙනා පුරුදු වුයේ යොවුන් පුරය සමයේදීය.

මෙලෙස යොවුන් පුරය අවසන් වීමත් සමගම සුරංජිතුත් මාත් ඉතාම කුළුපග මිතුරන් බවට පත් වීමු.


පුණ්‍ය භුමිය ගිනි ගනියි 

ජවිපෙ දේශපාලනය සහ එයට සමීප ශිෂ්‍ය දේශපාලනය  විශ්ව විදයාල  සහ පාසැල් සිසාරා පැතිර ගියේය 



ඒ හා සමගාමිව රජයේ මර්ධන කටුයුතුද  ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය .

ජේ . ආර් . ගේ රජයේ මර්ධනය වැඩිවෙත්ම ඊට සාපේක්ෂව අනිත් පාර්ශවයෙන්ද සිදු නොවිය යුතු වර්ගයේ අකටයුතුකම් සිදු විය.

ඉන් කීපයක් මෙහි මතක් කරන්නේ සියලු පාර්ශව  වර්තමානයේ කරන දේවල් හා සංසන්දය කර ගන්නටත් උදව්වක් වශයෙනි.

උතුරු කොළඹ වෙද විදුහල නමින් මුදලට දොස්තර වරුන්  බිහි කරන ආයතනයක් ඇති වන්නේ මේ කාලයේදීය.

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වශයෙන් කල යෝජනාවක ප්‍රතිඵලයකි ඒ.

 ජ . වී . පෙ. ට සම්බන්ධ  වූ මෙන්ම නොවූ විශ්ව විද්‍යාල සිසුන් හා පාසල් සිසුන් එයට එරෙහි වන්නේ එක පයින්මය.

මේ කාලයේ දෙවන වසරේ වෙද සිසුවෙකු වූ සමන්තද  මේ සිසුන් අතර ප්‍රමුඛත්වයක්  ගත්තේය.  අප එක එල්ලේ කිසිවක් නොකලද මාද උතුරු කොළඹ සංකල්පයට එක හෙලා විරුද්ධ වූවෙක්මි.

සිසුන් පමනක් නොව රජයේ රෝහල් වල සේවය කල දොස්තර වරුද මෙයට එරෙහිව නැගී සිටියහ.

රෝහණ විජේවීරගේ ව්‍යිදයවරයා වරයා යැයි කියමින් දොස්තර කෙනෙකු අත්අඩංගුවට ගන්නේ මේ අතරයි.

දොස්තර අතුල සුමතිපාල නම් ඔහු රාජ්‍ය හමුදා විසින් අත්අඩංගුවට ගැනීමත් සමගම  සියලු රෝහල් වැඩ අඩ පන කරමින් දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් දියත් විය.

එකල හමුදා භාරයට පත් බොහෝ අය අතුරුදන් වුවද අතුල සුමතිපාල එලියට එන්නේ ඒ අනුවයි.

අද මානසික රෝග පිලිබඳ මහාචාර්ය වරයෙකු වන අතුල මහතා  "රණ විරුවන්"  විසින්  " දිනු දේශය රකින  " කණ්ඩායම සමග කටයුතු කරයි.

අසුහතේ කුප්‍රකට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරෙන්නේද අප අරලගංවිල මහා විදුහලේ උසස් පෙළ කරද්දීය. රටේ දකුණු ප්‍රදේශය වසා ගිය ගිනිදැල් දැන් දැන් අරලගන්විලටත් සේන්දු වෙමින් පවතී.


අරලගංවිලටත් ගිනි දළු


දිනක් උදෑසන අප පාසැල පුරා පැතිර ගිය නරක ආරංචියකි. ඒ දහතුන විද්‍යා සහ වාණිජ පංති වල සිසුන් හතර දෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය ගිය පුවතයි.

සිද්ධිය අපට ආරංචි වූ හැටියට මෙසේය. රටේ හැම තැනම යම් යම් සිදුවීම් සිදු වුවද අපේ ප්‍රදේශයේ කිසිම දෙයක් නොවීමේ කම්පාව  ඉස්මතු වී තිබේ.

රාත්‍රී එකට පාඩම් කරමින් සිටි මොවුන් අරලගංවිල - වැලිකන්ද පාරේ පිහිටි මහේස්ත්‍රාත් උසාවිය ගිනි තබන්නට සිතන්නේ එබැවිනි.

රජය ඒ වන විටත් මුරට පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් යොදවා තිබී ඇත. "කඩාකප්පල්කාරී" සිසුන් හතර දෙනාම හිසට වෙඩි තබා මරා දැමෙන්නේ ඒ අනුවයි.

පහල පංතියේ සිටි මා මිය ගිය සිසුන් එක්කෙනෙක් වත් කවුදැයි කියා හරියට හඳුනන්නේ නැත. එහෙත් එක් අයෙක් අරලගංවිල පොල් කඩයේ මුදලාලිගේ පුතෙක් බව අසා ඇත්තෙමි.

පසුදා අරලන්ගන්විල නගරයට පැමිණි  අප පුරුදු පාසැල් බසය එන තෙක් නගරයට වී සිටියෙමු.

නගරයේ තැපැල් කාර්යාල බිත්තිය දෙස විමතියෙන් බලා සිටින පිරිසකි.

"දේශ ද්‍රෝහී පොලිස් නිලධාරීන් දෙදෙනාට මරණය " යන අර්ථයෙන් ලියා තිබුණු දැන්වීම් කොලයක් බිත්තියේ අලවා තිබුණි.

අපේ ගමේ සුවඳ රත්න අය්යාද මෙම තැපැල් කන්තෝරුවේ වැඩ කල අයෙකි. පසුකාලයක සිදුවූ හමුදා පැහැරගැනීම් වලදී තැපැල් කාර්යාල සේවකයින් විශාල පිරිසක් ද අතුරුදහන් වූහ.

දැන්වීම ඇලවූයේ සුවඳේ ලාගේම යාළුවන් විය හැකි බව සිතන්නට හේතු බොහොමයකි.

කරුණු එසේ වුවත් අද සුවඳේ අය්යලා විසි එක්වන සියවසේ බිහිවූ රජෙක් සොයමින් සිටිති.

දැන්වීම බලා සිත සතුටු කරගත් අපි පුරුදු පරිදි පාසැල් ගියෙමු.

එදා දහවල් පාසලේ සිටිද්දී අපට ආරංචි වූයේ  අරලගංවිල නගරයේ උතුරු සහ දකුණු මායිම් වල තිබු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නිවාස වලට පෙරදා රාත්‍රියේ පහර දී ඇති බවයි.

තවත් රැයක් ගෙවී ගියේ මිය ගිය සිසුන්ගේ නිවාස දෙකකට රජයේ පාර්ශ්වයෙන් ( පොලීසියෙන්) වෙඩි තැබීමත් සමගයි.

අපේ පාසලේ සිසුන් බොහෝ දෙනෙක් මේ නිවාස දෙස බලා එන්නට ගියා මට මතකය. මමත් ඒ අය අතර වූයෙමි.

හේතුව කුමක්දැයි මට පැහැදිලි නැත . එකට එක කරමින් ආරම්භ වූ ගින්න අපට විනෝදයක් වුවා දෝයි මට දැන්  සිතේ.

මේ කාලයේ විශ්ව විද්‍යාලයේ සිට ගෙදර එන සමන්ත ඇසුවේද නන්දා මාලනිගේ පවන. කපුගේ ගේ ගීත සහ විජය කුමාරතුංග ගේ වේදනා වැනි කැසට් පටයි.

නිතර මේවා අසමින් කල් ගෙවූ මමද චමල්, ජයරත්න ඇතුළු සිසුන් කරනා කැපවීම ගැන ආඩම්බර වූයෙමි.


එහෙත් චමින්ද, සුරාජ් වැනි පිරිස් සමග වෙනම ආකාරයක කොලු කාලයක් ගත කල මා චමල්ලාට   ඕනෑවට වඩා ලං නොවන්නට සිතුවෙමි.




සුරන්ජිත්ට දුන් අවවාදය 


දැන් දැන් අපේ පංතියේ සිටි බොහෝ සිසුන් චමල්, ජයරත්න ඇතුළු දේශපාලනයට බර කණ්ඩායම සමග එකතු වෙමින් සිටිති.

ඒ අතර අරලගංවිල සුමංගල මහා විද්‍යාලයේ විදුහල් පති තුමාගේ පුතා මෙන්ම හතරේ පන්තියේ සිටම අප දැන සිටි කත්‍රිආරච්චි ද විය.

තව අයෙක් වුයේ උඩ වෙල සිට පැමිණි පාසැල් ගුරුවරියකගේ පුතෙක් වූ උදේනි ය. උදේනිද අප සමග හතරේ පන්තියේ සිට එකට සිටි අයෙකි.

ගණිත අංශයේ චමල්, ජයරත්න ඇතුළු අය සමගම සිටි තවත් අයෙක් මේ පිරිසට එකතුවුයේ ඉමහත් ප්‍රසිද්ධියක්  ඇතිවයි.

 අරලගංවිල නගරයේම පිහිටි  ප්‍රේමදාසගේ නාගරික උදා ගමක් වූ  සමනළ ගම සිට පැමිණි ඔහු සුගත් නමැති අයෙකි.

 මේ අතර ටික දිනකින් මට ආරංචි වුයේ "කනිෂ්ක" නම් අන්වර්ථ නාමයක්ද ලබා ගනිමින් සුරංජිත් ද මේ කණ්ඩායම සමග එකතු වූ බවයි.

දිනක් සුරංජි ලඟට කැඳවූ මම කථාව පටන් ගත්තෙමි.

"මචං.. මම උඹට කතා කරන්න කියලා හිටියේ ටික දවසක් ඉඳන්."   "ආරංචි වුනා උඹත්  අර කණ්ඩායමට එකතු වුනා කියලා" .හේ

 "උඹේ හොඳම යාලුවෙක් විදිහට මේ කියන්නේ.. සියඹලාණ්ඩුව පැත්ත වගේ නෙවෙයි මෙහේ ඔය වැඩේ අමාරුයි. "
ma
"මේවා UNP බලකොටු. උඹට නොකරම බැරිනම් ගම පැත්තට ගිහින් එහේ ව්‍යාපාරයට සම්බන්ධ වෙයන්."

ටිකක් කල්පනා කල සුරංජි මට පිළිතුරු දෙයි.  "මචන් කිටී.. මේ පැත්තේ වැඩ අමාරු නිසාම තමයි අපි මෙහේ ඉන්න ඕනෑ.."

"තරහ වෙන්න එපා මචං ...මම අරලගංවිල පැත්තේම වැඩ කරනවා.. මම පරිස්සම් වෙන්නම් කෝ.  "

අවවාදය නොඇසුවාට මම සුරංජි සමග තරහ වුයේ නැත.

කාලය සෙමින් ගෙවී ගියේ අරන්ගන්විල ගිනි දළු තවත් ඉහල දමමිනි.



රටට නව ජනාධිපති කෙනෙක්



උතුරේත් දකුණේත් දෙපසම ගිනි ඇවිලෙමින් තිබු රටේ ජනාධිපතිකම  අත්හැර යන්නට අපේ පළමු ජනාධිපතිතුමා තීරණය  කළේය.


ඒ අනුව දෙකොන පත්තු වූ විලක්කුවක් මට ලැබුනා යැයි කියමින්  ජේ. ආර්. ගේ දෙවනියා  ලංකාවේ දෙවන විධායක ජනාදිපති බවට පත් විය. 

හොර මැර මගඩි වංචා මැදින් 1988දි රටේ නව ජනාධිපති ලෙස පත්වන්නේ 77 දී බුරුස් මාමලා කඩේ ළඟ පොල් බෑ දෙකක් පෙන්වූ  ආර්. ප්‍රේමදාසය. 

ප්‍රේමදාසගේ රජයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය වරයා බවට පත්වුයේ රන්ජන් විජේරත්න නම් වැවිලි කරුවෙකි.
ජ. වී. පෙ. විසින් රජයට එකට එක කරමින්  දියත්කල  සටන් නිසා දකුණේ ඇවිලී තිබු විලක්කු කොන නිවා දැමීමේ කාර්ය ඉටු කරන ලද්දේ ඔහු විසිනි.

ඒ එතෙක් මෙතෙක් ලංකාවේ අසා නොතිබූ වර්ගයේ ම්ලේච්ඡ  ක්‍රම සහ විධි පාවිච්චි කරමිනි.

අවාසනාවකට දෝ ප්‍රතිවාදී කණ්ඩායමද තම න්‍යායට කොහෙත්ම නොගැලපෙන  ක්‍රම උපායන් පාවිච්චි කරමින්  ප්‍රේමදාස- රන්ජන් එළලූ දැලේ කදිමට පැටලුනේය.

ඒ අතොරක් නැතිව තමන්ට විරුද්ධ් යැයි හැඟුණු පිරිස් මරා දැමීම මගිනි.

ප්‍රතිඵලය වුයේ රට අමු සොහොනක් වීමයි. රජයේ හමුදා සහ නිල ලත් සහ නෙලා නොලත් නොයෙකුත් හමුදා විසින් දහස් ගණන් තරුණ තරුණියන් මහා මග ටයර් දමා පුළුස්සා දැමිණි.

අනෙක් පාර්ශවය විසින්ද  තම අදහසට විරුද්ධ මත දැරූ හොඳ මිනිසුන් පවා මරා දැමුණු බව අපට මතකය. UNP සාමාජිකයෙක් වීම පමණක් මරණයට හේතුවක් වූ අවස්ථා එමට තිබුණි.

කලක් යන විට අපරාධය සිදු වුයේ කොයි පාර්ශවයෙන්ද කියා සිතා ගන්නට වත් බැරි සිදු වීම් සිදු විය.
කොටින්ම රට අමු සොහොනක්ම විය.  මා මුලින් කිව් පරිදි නොවිය යුතු වූ සිදී වීම් මාලාවක් විසින් රට විනාශය කරා ගෙන ගියේය.


අරලගන්විල මහා විදුහලේ ශෝකාලාපය 



මෙසේ රට ගිනි ගනිද්දී උසස් පෙළ 13 වසරේ සිටි අප මේ කාලයේ සිදු වූ මහා පොලව නොඋහුලන අපරාධ  රාශියක් ගැන දැන ගන්නට තරම් අවාසනා වන්ත වීමු.

දිනක්  උදෑසනම අපේ පංති වල පැතිරී ගිය ආරංචිය කින් කියවුනේ අප විද්‍යාලයේ  ශෝක ගීතයේ ආරම්භය යැයි මම අදටත් සිතමි.

" ඊයේ රෑ අරුණ ශාන්තගේ තාත්තා වෙඩි තියලා මරලා"    ආරංචිය ලැව් ගින්නක් මෙන් විද්‍යා , ගණිත , වාණිජ ආදී සියලු පංති අතර පැතිර ගියේය.

අපත් සමග හයේ පන්තියේ සිට එකට හිටි අප කාගේත් හිතවතෙක් වූ අරුණ ශාන්තගේ පියා ඝාතනය
කෙරුනේ ඔහු UNP සාමාජිකයෙක් නිසා බව කියැවුනි.

සිද්ධියෙන් කණගාටුවට පත් ගැට්ටා වැනි අරුණ ශාන්ත ගේ ලඟම හිතවතුන් ඔහු වෙනුවෙන් වැළපුන හැටි, දුක්වුන හැටි මට තාම මතකය.

එහෙත් මේ වන විට රට ගමන් කරමින් තිබු දිශාව හේතුවෙන් බොහෝ දෙනෙක් මල ගෙදර යාමට පවා බියක් හෝ මැලි කමක් දැක වුහ.

මේ ආරංචිය අප හැම ඉතා තදින්  සසල කරන්නට හේතුවක් විය.

"මේ අපරාධය කරපු උන් මම දන්නවා"  අරුණ ශාන්ත හඩමින් කියා සිටියේය.   අපට දුක්විම හැර කිසිවක් කල නොහැකි විය.

මගේ  පුද්ගලික මතය අනුවනම් නම්  මේ කාලයේ ප්‍රේමදාස- රන්ජන් ලාගේ  ගැට නියමෙට වැඩ කලේය.

එකට එක කල  ජ. වී . පෙ. සටන් කාමින්ද ඒ උගුලේ හොඳ හැටි පැටලී සිටියහ.

 එකල සිදුවූ බොහෝ සිදුවීම් යන්තම් හෝ මොලයක් ඇති අයෙකුට තේරුම් ගත නොහැකි වන සේ  අවුල් සහ ගත  ස්වභාවයක් ගත්තේය.

කොටින්ම කියතොත් මොලේ නැති වැඩ වැඩි හරියක් සටන් කාමීන්ගේ ගිනුමට බර විය.

සිදුවීම් හරි හැටි දන්නා අය සිටිය හැකිය . එහෙත් මෙතෙක් කල් ඒවා එලියට පැමිණි බවක් මා අසා නැත.

මේ අතර UNP රජය සටන් කාමීන් අතින් මිය ගිය අයගේ පවුල් වල අයට ( තම පක්ෂයේ ) රජයේ රැකියා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළේය. 

අරුණ ශාන්තටද යුද හමුදාවේ දෙවන ලුතිනන් වරයෙක් ලෙස පුහුණුව ලබන්නට අවස්ථාව ලැබෙන්නේ මෙම ක්‍රමය  අනුවයි.

එවකට අප සිටියේ 13 වසර සි පංතියේය.  කලබල එන්න එන්නම වැඩි වූ අතර කණ්ඩුල , තිලාන් වැනි  අධ්‍යාපනයටම  කැප වූ පිරිස් කොළඹ හෝ නුවර බලා ගියේ විභාගයට සුදානම් වීමටයි.

රටේ ගින්න තවත් උග්‍ර වනු ඇති යැයි සිතු අප අරලගන්විලටම වී සිටියේ විභාගය කල් යනු ඇති බවක් සිතමිනි.

මේ අතර රට පුරා ස්ථානගත වූ හමුදා කඳවුරු සහ පුනරුත්ථාපන කඳවුරු ලෙස නම් කෙරුණු වධකාගාර බිහි වෙන්නට විය.

අප ප්‍රදේශයේ ප්‍රසිද්ධ කදවුරු දෙකක් වුයේ "යෝධ ඇල මෝටර්ස්"   කඳවුර සහ දවුලගල තේ කර්මාන්ත ශාලාවක පැවති පුනරුත්ථාපන කඳවුරයි.

ඉතා ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු කල සුගත් දවුලගල කඳවුර වෙත රැගෙන යන්නේ මුල් අවධියේ දීමය.

 එහි මාස තුනක පමණ කාලයක් රඳවා සිටි සුගත් එකල සිදුවූ සියලු සිද්ධි දැක ඇතුවාට සැක නැත. ඉන්පසු කත්‍රිආරච්චි, ජයරත්න , උදේනි ඇතුළු පිරිස් එහි ගෙන ගොස් තිබේ.

ඉන් අද ජීවත්ව ඉන්නේ සුගත් පමණි. ඔහු වැලිකන්ද ප්‍රදේශයේ රජයේ කාර්‍යාලයක සේවය කරයි.  සුගත් ජ.වී.පෙ . න් කැඩී ගිය පෙරටුගාමී පක්ෂයට හිතවත් බව  කවුරුත් දන්නා දෙයකි.

 මේ අතර  මගේ හිතවතා සුරංජිත් ද හමුදා අත් අඩංගුවට පත් වූ බව පාසැලේ ප්‍රසිද්ධ විය. ඔහු රැගෙන ගොස් තිබුනේ යෝධ ඇල මෝටර්ස් වධකගාරයටයි.

මෑතදී මා සුගත් ගෙන් අසා දැන ගත් පරිදි රජයේ හමුදාවට අසු වී පලා ගිය අප පාසලේ එකම ශිෂ්‍ය ක්‍රියාකාරිකයා සුරංජිය.

නමුත් සුරංජි ගලෙන්බිඳුනුවැව සිය පෙම්වතියගේ නිවසේ සිටියදී දෙවන වරටත් අල්ලා ගැනිණි.

යෝධ ඇල මෝටර්ස් හිදී දස වධ දුන් ඔහුගේත් තව තරුණියන් කිහිප දෙනෙකුගේත් මල සිරුරු  තෙළුල්ල - අරලගංවිල පාර අද්දර ටයර් සෑයක දැවුණු බව මට කිවේ දැනට ජිවත්වන එකම ක්‍රියාකාරිකයා වන සුගත් විසිනි.

එමෙන්ම වැලිකන්දේ  චමල්ලාගේ පිරිමි දරුවන් තිදෙනෙක් විසු පවුල සහමුලින් අවසන් කර තිබුනේ  පුද්ගලික පලිගැනීමක් හේතුවෙන් ඔවුන් රජයේ හමුදාවන්ට  අල්ලා දීමේ ප්‍රතිඵලයක් වශයෙනි


අද කත්‍රිගේ අම්මටත් , තාත්තාටත්  "ඔළුවේ අමාරු  හැදී ඇති බව " මට කිව්වේ ඔවුන්ගේ හිතවතෙකු වූ අපේ තාත්තා විසිනි.


තම පුතාලා දෙදෙනාම (උදේනිත් , මල්ලිත්) නැති සොවින් ඔවුන්ගේ මවද මානසික රෝගියෙක් වී ඇත.

මෑතකදී මට මුහුණු පොතේ මුණ ගැසුණු , තවත් මේ සියවසේ රජෙක් හොයනා උහනේ පුතා සුරංජි ලාගේ ගෙදර විස්තර මට කිවේය.

ඔහු සුරන්ජිලා ගෙදර හොයාගෙන සියඹලාණ්ඩුවට ගොස් තිබේ.

ඔහු දුටු ගමන්............ " කෝ මගේ පොඩි පුතා? "         කියමින්  අම්මා හඬා වැලපී තිබේ.




 "මචං සුරංජිලා අම්මටත් පිස්සු හැදිලා බන්.  " ඒ වර්තමානයේ උහන ප්‍රදේශයේ සාර්ථක ව්‍යාපාරිකයකු වූ රන්ග්ජිව මට කියූ දෙයයි.

දයාබර සුරංජි.. නුඹ සිටියානම්  ....... මගේ සිත  එදා අපි කෙළිදෙලෙන් ගෙවූ කාලය වෙත දිව යයි...








13 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. me godak dewal mata mawela penawa eath 'Aralaganvila' kiyane kohetada kiyala ternne na.. ..podak matakkarala depanko ?

    ReplyDelete
    Replies
    1. උඹලා අපි හැමෝම උපන් ගම.. ඌවේ හදවත පිහිටි නගරය...

      Delete
  3. යකෝ මේ කවිඳුවා අනික් හැම එකෙක් ගැනම මොකක් හරි කෙහෙම්මලක් ලියලා තියනවා.. මේකා මගේ ගැන මුකුත්ම ලියන්නෑ නේ. චික්...

    ReplyDelete
    Replies
    1. සිසු වර්ජන කරද්දී අපිටනම් බෑ කිය කියා ඉඳලා අවසාන කාලයේදී සටනට බට මෙත්සිරි නම් ශිෂ්‍ය නායකයෙක් ගැන එනවා ඉදිරියේදී.

      Delete
  4. මේකට මොකක් කියල කමෙන්ට් කරන්නද කියලා උදේ ඉඳන් කල්පනා කරනවා.. පිට දිගේ එන හිතලක් කන් දෙක හිරි වට්ටගෙන ගිහින් හිස කෙස් කෙලින් කරවන හුස්මක් සමඟ පිටවෙනවා මිසක් වෙන මොකුත් මතකෙට එන්නේ නෑ.. :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත ක. මි. මේක ලියන කොටත් මට එහෙම දැනුනු වාර අනන්තයි.

      Delete
  5. ඇත්තටම ජයරත්න ආවෙ ගදපානගලින්. එම ඉස්කොලෙ හොඩම සිසුවා ලෙස. අප පන්තියෙ අමතර පන්ති නොයන හතර දෙනාගෙන් එකකු වන ඔහු ඉගනුමෙන් ඉහලට යන ලකුනු පෙන්න්නුම් කලා. ඔහු පන්ති නොගියෙ අපෙ පන්තියෙ සිටි හරින් මෙන් ගුරුවරුන්ටත් වඩා පරිපුර්න දැනුමක් තිබුනු සුපිරි මොලයක් නිසා නොව ඔහුට තිබුනු ආර්ථික අබියොග ජය ගැනීමට නොහැකි නිසාවෙනි. එ කොහොම උනත් 25ක් වුනු පන්තියෙ ලමුන්ගෙන් කැම්පස් ගිය 15 දෙනා 16ක් කිරිමට නොව ඉන්ජිනෙරු ගිය 12 දෙනා 13 ක් කිරිමට හැකියාව බුද්ධියක් තිබු කෙනෙකි. අවසනාවකට ඔහු 13 වසරට එන්නත් කලින් "පලමුව මවුබිම, දෙවනුව ඉගනුම" සටන් පාඨය පෙනදැරි කරගෙන කටයුතු කරගෙන ඉගෙනුම අතහැර පුර්නකාලිනව දෙශපාලනයට අවතිර්නයවිය.

    ReplyDelete
  6. අරුන ශන්ත පලමුව බිම්බිසාර විදුහලෙ ගුරු පත්වීමක් අරගෙන ටික කලක් එහි උගන්නා පසුව ඔහුගෙ කැමත්ත තිබුනු යුඩ හමුදාවට සම්බන්ඩ උනෙ. තිබුනා. උසස් පෙල නොකලත් පසු කලෙක උසස් පෙල කොහොම හරි පාස් උනබව ඔහු පසු කලෙක හමු වු විටක කීවා.
    පාසැල් යන කාලෙ ටිකක් අන් අයට වඩා උඩින් වාගෙ හිටියත් පලදරන ගොයම් කරල බිමට නැවෙනනවා වගෙ පසු කලෙක ඔහු බොහොම නිහතමානියි.

    ReplyDelete
  7. Jayarthna පළමුව හමුදාවට අසු උනේ හේරත් රාජමන්ත්‍රී සමග දියතලාව පැත්තේ පන්සලක ඉන්නා විටදීයි. කොහොම උනත් රාජමන්ත්‍රී සිවිලිම උඩට නැගලා බේරෙන්න පුළුවන් උනත් අපේ ජයරත්න හමුදාවට පළමු වතාවට අහු උනා. ඒ උනත් හමුදාව දැනගෙන උන්නේ නැහැ මොහු ගේ දේශපාලන විස්තර. එක නිසා තමයි ඔහුව පසුවදාම නිදහස් කලේ. ඔහු නිදහස් කරන ලෙස අරලගංවිඅල සියලුම ප්‍රදාන පාසැල් උද්ගෝෂණය කලත් උද්ගොෂණය පටන් ගන්න පෙර ඔහුව නිදහස් කල බව තමයි ඒ කාලයේ සමහරුන් කිවේ.
    ජයරත්න නිදහස් කරගන්න 1989 මැයි වල තිබුණ උද්ගෝෂණය තමයි ඉතිහාසයේ අරලගන්විල ලොකුම උද්ගෝෂණය. ඒ නිසා ජයරත්න කියන්නේ සාමාන්‍ය ඉස්කෝලේ යන ළමයෙක් නොවන වග පන්තියේ හිටපු අනෙක් අය විතරක් නොවෙයි රජයට සම්බන්ද ඔත්තුකරුවොත් දැනගන්න ඇති. කොහොම උනත් සංවිදානයේ අය ජයරත්නගේ ජිවිත අවදානම ගැන කිසිවක් නොතිතාම තවත් එක් රජයට විරුද්ධ උද්ගෝෂණයක් පමණක් බවයි මට නම් හිතෙන්නේ. උද්ගෝෂණය ඉවර වී පාසලට පැමිණෙන විට ජයරත්න පාසලේ ගේට්ටුව ලගදි අපට හමු උනා. ඉන් පසු කිසිම දිනක ඔහු පාසලට පැමිණියේ නැහැ, ඊට දින කීපයකට පසු නගරයේදී ඔහු හමු වී අපගේ B පන්තියට මාස කීපයකට පෙර පැමිණි හුංගම දම්මික ට දෙන්න කියලා ලියුමක් දුන්නා. එදායින් පසු කිසිම දිනක නැවත ඔහු හමු උනේ නැහැ.
    1989 මැයි මාසේ බස් වර්ජනය නිසා මම මගේ ගමට ගිහින් ඉන්නා අතර මට අහන්බෙන් වාගේ අපේ අල්ලපු ගෙදරට රත්තියකදී ගිය වෙලාවේදී එහි පැමිණි හේරත් රාජමන්ත්‍රී හමු උනා. ඔහු මම දන්නේ අපට වසර දෙකක් ඉහල පන්තියේ හිටපු සාමානය පෙලට D 7 ගත්ත උසස් පෙළ ගණිත අංශයෙන් සමත් කෙනෙකු ලෙසත් උසස් පෙළ සිටියදී දක්ෂ ශිෂයෙක් ඌ ඔහු පබහින්නේ කෙනෙකු ලෙසත් මා O\L කරන විට ඔහු අපේ බෝඩිම කිට්ටුව නැවතී සිටි අයෙක් බව පමණි.
    කෙසේ නමුත් මා ඔහුට මතක තිබු බව මා සමග පැවසුවා. ඔහු පැමිණ සිටියේ අපේ අල්ලපු ගෙදර රාජා අයියා හමුවන්නැයි.
    පසු දින මම රජා අයියාට ඔහුගේ මිත්‍රයාගේ දේශපාලන විස්තර දන්වා අනතුරු ඇගවිම් කලවිට ඔහු කිවේ රජා අයියාට ඔහු සමග දේශපාලන අරමුනක් ඇතිබව සහ අපගේ ගමේ එම දේශපාලනය නැති බව ඔහු දන්නා බවත්ය. එම නිසා හේරත් රාජමන්ත්‍රී ඔහුගේ සියලුම සහතික රාජ අයියා ගාව තියන්න ආ බවත්ය. එය සනාත කරන්න මාහට හේරත් රාජමන්ත්‍රීගේ සියලුම සහතික පෙන්නුවා. ඒ සහතික අතර o\L D 7 සහ C එකක සහතිකයක් ද A/L වල C 3ක් හා S එකක් ඇති සහතිකයක්ද විය.
    එවැනි හොද සුදුසුකම් සහිත ඔහු ඔහුගේ සහතික රාජ්‍ය විරෝධී දේශපාලනයට හසු නොවන ප්‍රදේශයක ආරක්ෂා කර තබා එවැනි සුදුසුකම් ලබාගන්න හැකි ජයරත්න misguide කල බව තමයි මට නම් ඒ දවස් වල හිතුනේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මම ජයරත්නට ගොඩක් කැමති වුනාට කොහොමවත් එච්චර ලඟින් ආශ්‍රය කරන්න ලැබිලම නැහැ.. ඔය පන්සලේ සීලිමේ කතාව වගේම.. ඔහු වැලිකන්ද -අරලගංවිල පාර අයිනේ ටයර් සැයක් මත අවසන් සුසුම් හෙලූ බව මට දැන ගන්න ලැබුනා..
      ඔහු අවසන් මොහොත දක්වා වෙන කිසිවෙකු පෙන්වා නොසිටි බව ඇතුළුව.. ඔහු ගැන වෙනම පොස්ට් එකකින් මේ විස්තර ගෙන එන්නයි හිතුවේ... ඒ කාලේ අරලගංවිල හැසිරවූ ප්‍රධානියෙක් ( පාසැල් ගිය කෙනෙක් නෙවෙයි )දැන් " දිනු දේශය ගැන කතා කරන" කට්ටියගේ ලොකුම තැනකලු ඉන්නේ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  8. අපේ පංතියෙ ළමයෙක්ගෙ තාත්ත කෙනෙකුත් ඔය කාලෙ මරල දාල තිබුණ. දැං අපේ පංතියෙ හිටපු එකා ප්‍රා. සභා මංත්‍රී කෙනෙක්.

    ReplyDelete