Follow by Email

Friday, 18 September 2015

මුදු තුනක් සහ මාලයක්






මේ මගේ අතේ තියෙන මුද්දේ චායා රුපයක්. කන්තෝරු කාමරේ බිත්තිය පසුබිම් කරගෙන ගත්තේ.  මෙහි අඩංගු රත්ත්‍රන් වලටත් කථාවක් තියෙනවා . ඒක කියන්නයි මේ ලෑස්තිය.

අල වවමු රට නගමු

මම ඒ කාලේ උසස් පෙළ අවසන් කර විශ්ව විද්‍යාලයට ඇතුල් වීම බලාපොරොත්තුවෙන්  සිටියෙමි.

මේ වන විට අම්මා , අක්කා සහ මා එකතුවෙන් කල ලොකු අල කොටුවක් මාර ගස්වැල්ල කුඹුරේ  තිබුණි.   අපේ අල කොටුවට යාබදව අම්මාගේ පොඩි මල්ලී අංජු  ද අල කොටුවක් කලේය.

ඒ කාලේ අල තක්කාලි මොනවා හැදුවත් ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් දැරීමට ගොවියන් වූ අපට සිදුවිය.

දැන් කාලේ ගොවීන්ට එය එසේ නොවේ යයි නොකියමි.

එහෙත් දැන් කාලේ අප එදා සිටියා මෙන් නාඹර වයසේ සිටින  ගොවිතැන් කරුවන් දුලබය.

හේතුව වත්මන් තරුණයා මහන්සි වීමට ඇති අකමැත්තද  රටේ  වර්තමාන දියුනවද යන්න විදේශයක සිටින මට එතරම් පැහැදිලි නැත.

ඒ  1993 ව වසරේ මුල්  භාගයයි.

මට අවුරුදු  22ක්- 23ක්  වන මේ යුගයේ අංජු මාමා මට ගමේ සිටි හොඳම මිතුරා විය.

අපි දෙදෙනා දවල් කාලයේ කොටුවල වැඩ කල අතර  රාත්‍රියට අපේ අල කොටු මුර කරන්නටද ගියෙමු.

එකල අංජු මාමා හැදු පැලේ සිට අප දෙගොල්ලන්ගේම  අල වගාවල්  ඌරන්ගෙන් ගෙන් සහ හොරුන්ගෙන් බේරා ගත්තේ අප දෙදෙනා විසිනි.

ඔය ගාව වත්ත  සහ තුන් හවුල

ඒ දිනවල මල්දෙනියේ වත්තේ සහ  මාරගස් වැල්ල කුඹුරේ  වගාවන් වල යෙදුනේ අම්මා , අක්කා සහ මා ඇතුලත් කණ්ඩායමයි.

ඒ අතර  අපේ අම්මා  අංජු මාමාටත් හවුලට හදන්නට දුන්නාය . අපේ ආතම්මට අයිති ඔය ගාව වත්තේ තක්කාලි කොටුවක්  කෙරෙන්නේ ඒ අනුවයි.

ඇය එසේ කළේ  අක්කා මම ඇතුළු අපි තුන් දෙනාට වැඩ කර ගන්න බැරි කමකට නොවේ.  මහගෙදර සිටි නිසා අංජු මාමාට අයිතිව තිබු   ඉඩම්  ( ඔය ගාව වත්ත වැනි )  අපේ වගාවන්ට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙසයි.

" ලොකු අක්කා.. මට වැඩ ටිකක් වැඩියි .. බැරිද චුටි පුතාටත් එන්න කියන්න උදව්වට.?"  යැයි අංජු මාමා ඇසුවේ  මාවත් වගාවට  එකතු කර ගැනීමේ අටියෙනි.

"අදහස නම් හොඳයි හැබැයි මටත් අදායමෙන් කොටසක් ඕනෑ"  මම කීවෙමි.

ඒ අක්කත් මල්ලිත් අතර හවුල් වගාවකට නිකන් ඇතුල් වන්නට මට හේතුවක් නැති නිසාය.

වෙනත් වචනයකින් කියතොත්  මා ඉල්ලා සිටියේ මටත් හවුලෙන් කොටසක් ලැබෙන ක්‍රමයකි.

 අදායමෙන් භාගයක් අම්මා ගනිත්දී ඉතිරි භාගය  අංජු මාමා සහ මා අතර බෙදෙන ක්‍රමයක් අම්මා යෝජනා කළේ ඒ අනුවයි

 එබැවින්  තුන් හවුල් කරුවෙකු ලෙස මටද ඔය ගාව වත්තේ තක්කාලි කොටුවට එක් වන්නට සිදු විය.

බිම් සැකසීමේ සිට පැල සිටුවීම දක්වා වැඩ වලදී මාත් අංජු මාමත් හරි හරියට වැඩ කළෙමු.

තුන් හවුලක් කීවාට අපේ අම්මාද පැල සිටුවීම වැනි වැඩ  වලට සහභාගී වුයේ කිසිදු වාරවකින් තොරවයි.

තක්කාලි කොටුව ඉදිරියට පවත්වාගෙන යාමේ  මුලික වග කීම පැවරුනේ මා වෙතයි.  තක්කාලි පස් දැමීම, කෝටු සිටවීම මෙන්ම ජල සම්පාදනය මින් ප්‍රධාන තැනක් ගත්තේය.

අල කොටු මුර කරන අතර   මහා රෑ හඳ එළියෙන් තක්කාලි කොටුවට වතුර දැමු හැටි අද වාගේ මතකය.

ඉන්පසු උදෑසනම අවදි වී වත්ත ලඟම ඇති ඔයෙන් ( ඔය ගාව වත්ත ළඟ තිබෙන ඔය)  නා ගන්නෙමි.

ඒ උදේ හත හමාර වන විට සඳ තැන්නේ ඉස්කෝලෙට ලඟා විය යුතු නිසාය

 ( මේ කාලයේ මා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සඳතැන්න විද්‍යාලයේ සේවය කලෙමි).


ඊළඟ  කොටස.... අංජු මාමාගේ විවාහය  

11 comments:

  1. වගාව කටුක කටයුත්තක් වුවත් පුදුමාකාර ලෙස මානසික සුවය සදන කටයුත්තක්ත ඒ වගේම වගා විනාශයකදී මානසිකව හොදටම වැටෙන්නත් හැකියි. හෙල වගා ක්‍රමයේ හවුල් ක්‍රමය අඳ ක්‍රමය වැනි රාටාවන් කිපයක්ම වෙනවා. මොනවා නමුත් මේ සටහනෙන් බොහෝ දේ කියැවෙනවා. වවන්නෝ දිනන්නෝය. මේ කියමන ට තාමත් ලංකාවේ නං සර්ව සාධාරණයක් ඇති වෙලා නෑ. හේතුව අපි තාමත් මන්දගාමී විමද? නුතන තාක්ෂණය හේතුවෙන් අපේ සාම්ප්‍රදායික රටාවන් වැනසී අතුරු ආබාධයන් පැමිණිමද යන්න තාමත් මගේ හිතට ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.. දැනටත් මම මෙහේ වසන්ත සහ ගිම්හාන සමයේදී තක්කාලි ගස් කිහිපයක්, මාළු මිරිස් පැල කිහිපයක්, අල, බටු , බෝංචි , ගොටුකොල මුකුණු වැන්න ආදිය හදලා පුදුමාකාර සන්තෝෂයක් ලබනවා.
      හැබැයි නුතන තාක්ෂනය අනුව මහා පරිමාණයෙන් එලවලු වවන මේ රටේ සම්ප්‍රදායික ගොවියන් අතර ඔබ කියන මානසික ඇද වැටීම සිදුවෙනවා නියගයක් හෙම ආපු කාලෙට... දියුණු රටක් වන මෙහි ගොවියන් අතර සිය දිවි නසා ගැනීම අධික වන්නට මෙය ප්‍රභල හේතුවක්...
      අපේ රටේ ගොවිතැනින් උපරිම ප්‍රයෝජන නොලැබෙන්න එක හේතුවක් තමයි මනා පරිපාලනයක් නොමැති එළවලු වගාව.. සහ වෙළඳ පොලට සරිලන පරිදි වගාව පාලනය නොකිරීම ( රජයෙන් සිදු විය යුතු කොටස හරි හැටි සිදු නොවීම)

      Delete
  2. කෝ ඉතුරු ටික? :) තම එක මුද්දෙනුත් භාගයිනේ.. තව මුදු දෙකහමාරක් හා මාලයක් තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. නැවත නැවතත් පැමිණ බලන්න ටික ටික අලුත් කරනවා..

      Delete
    2. එකවර ලියන් අමාරුනම් වෙන පෝස්ට් එකක් විදියට දාන්න. එකේම අප් ලෝඩ් කළාම හුගක් අයට මිස් වෙනවා. ඔබේ පහුගිය එකේත් ඒක වුණා. පසු දාපු ටික කියෙව්වේ ටික දෙනයි. නැවත නැවත අලුත් කරන්න එපා. එය අසාර්ථක ක්‍රමයක්

      Delete
    3. කොටස් වශයෙන් ලියන්නයි හිතුවේ.. තව ටික වෙලාවකින් දෙවන කොටස (වෙන පොස්ට් එකක් විදිහට ) දෙන්න පුළුවන් වෙයි.

      Delete
  3. දැන් නම් මට සිදුවීම් හා ස්ථාන වගේ දේවල් අහු වෙලා හින්දා කලින්ට වඩා කියවලා ඒ පරිසරයට හිතින් ගිහින් කතාව කියවන්නේ. ඒක නිසා කතාව වෙනදට වඩා දැනෙනවාත් එක්ක.

    ඔබට තරම් නොවුනට මටත් බට්ටා කාලේ එළවළු කොටුවක් තිබ්බා. මගේ අයිතිය නම් ඉතින් අම්මා පස්සෙන් ගිහින් ඔය පොඩි පොඩි උදව් කරලා අර හොඳ වැඩ පොතට අප්ඩේට් කරගන්න කරපුවා විතරයි. (අපේ කාලේ එහෙම පොතකුත් තිබ්බානේ දහම් පාසලෙන් වෙන්නැති දීලා තිබ්බේ.)
    අපේ කොටුවකටත් රෑට හොරු පනින එක හරි වදයක් වෙලාත් තිබ්බා. එක දවසක් නම් අපි හොරාව අල්ලල මඩේත් ඔබලා දෙන්න පුළුවන් වද ඔක්කොම දීලයි පොලීසියට බාර දුන්නේ. ඒව මතක් වෙද්දි හිනහත් එක්ක. ඒ වුනාට ඔබේ කතාව මගේ අතීතයේ අවුරුදු පහේ හයේ කාලේ හා හොඳටම සමානයි.

    ReplyDelete
  4. මේකේ ඊ ළඟ කොටස් බැලුවහම තේරෙයි මම වගාවෙන් ලොකු පංගුවකට අයිති කාරකම් කිව බව.. අදහස් දැක්වීමට ස්තුතියි..

    ReplyDelete
  5. කාලය පිළිබද පොඩි COMPLICIT එකක් තියනවා වගේ. 1990 අගදී නොව 1992 අගදී තමයි තරිදු ගුරුවරයෙක් උනේ.... ඒ කොහොම උනත් ගෙදර ලග පාසලට එන්න පුළුවන් උනේ 1993 මුලදී තමයි. එතකම් 50 km විතර දුර ගදපානාගල ඉස්කෝලෙ ඉගැන්නුවේ. ඒ කාලේ එතරම් දුරක් උදයට ගිහින් ඉස්කෝලේ යන්න බැහැ. එක නිසා කවිදු ලග ගෙදරක බෝඩින් වෙලා හිටියේ.ඒ පාසලේ විදුහල්පති නිතරම " නේද මහත්තයා " කියලා කියනවා. නේද මහත්තයා
    1993 මුලදී කවිදු ගෙදර ගාවට මාරුවක් අරගෙනේ තිබුනා.
    කොහොම උනත් තරිදුට ගෙදර ගාව ඉස්කෝලේ වැඩි කාලයක් උගන්නන බැරි වෙන්න ඇති. 1993 තමයි තරිදු Medical Faculty ගියේ....

    ReplyDelete
  6. ඔවු ඔවු .. ඒ 1993 මට අවුරුදු 23ක් එතකොට.. මම වයස හදන්නම්..

    ReplyDelete