Follow by Email

Monday, 28 September 2015

මුදු තුනක් සහ මාලයක් තුන්වන කොටස - මගේ ශිෂ්‍යත්වය සහ නෙදර්ලන්ත ගමන




"මිනිසුන්ට අසීමිතව ආදරය කරන මිනිසෙක් පහළ වන්නේ කලාතුරකිනි.

ඒ  ආදරය මුදල්, බලය, තනතුරු තරාතිරම් නොබලා කෙරෙන්නක් නම් එහි අගය තවත් වැඩි විය යුතුය.

මේ පාරිභෝගික සමාජයේ සියල්ල අප සිතන පරිදි  සිදුවේවිද?...  "

පසුගිය  කලාප වලින්.

1.  මුදු තුනක් සහ  මාලයක්  

2. රජුමාමාගේ විවාහය 


තුන්වන මුද්දේ කථාව සඳහා ඔබ සැම දශකයකට මදක් වැඩි පුර අනාගතයට රැගෙන යන්නෙමි.



මම ඒ කාලයේ අලදෙණිය වෙද විදුහලේ (පරිවාස) කථිකාචාර්යවරයෙකි.

විවාහ වී වසර තුනක් ගත වී ඇත. මගේ එකම පුත් සුපුන් මව් කුස පිළිසිඳගෙන මාස කිහිපයක් ගත වුවා පමණි.

මේ වන විට අලදෙණිය වෙද විදුහලේ  කාර්යමණ්ඩලයේ  බොහෝ දෙනෙක් ගැන බෙහෙවින් කල කිරී සිටියෙමි.

හේතුව  දෙනුවර එකෙක් නොවූ මා වෙත අනෙක් කථිකාචාර්ය වරුන්ගෙන් එල්ල වූ සුළු සුළු කෙනෙහිලිකම් නම් නොවේ.

දෙපාර්තමේන්තු ප්‍රධානත්වය අරභයා එහි ඇති වූ ගැටුම් ප්‍රධාන හේතුවකි.

තම රාජකාරිය බෙහෙවින්ම පැහැර හැරි ලොකු කුඩා සේවකයින් පිරිසක් සමග දිනපතා සේවය කිරීමට සිදුවීම අනෙකයි.

එකෙකුට එකෙක් නැති ලොකු පොඩි සේවකයින් රැසක් අතර මගේ හොඳම මිතුරන් වුයේ සුළු සේවකයින් තිදෙනෙකි.

ඒ ප්‍රේමදාස , පියතිලක සහ  ජයරත්න නම්  කම්කරුවන් තිදෙනාය.




රටින් ලියුමක් ඇවිත්




විශේෂිත දිනයක් නොවූ එදාද මම දෙපාර්තමේන්තු කොරිඩෝවේ ඇවිදිමින් සිටියෙමි.

 " සර් .. සර්.. අදනම් වැඩේ හරි වගේ "   අනියම් කම්කරුවෙකු වූ පියතිලක මා වෙත දිව එයි.

ඔහුගේ මුහුණ පුරා රැඳී තිබුනේ අනෙක් මිනිසාගේ සුබ සිද්ධිය ගැන අවංකවම  ඇතිවූ සතුටක සේයාවයකි.

"ලොකු ලියුමක් තියෙනවා සර්ගේ නමට පිට රටින්"

"රට යන්න චාන්ස් එකක් වගේ... මේකෙන් ගැලවෙලා යන්න ඇත්තන් ලොකු දෙයක් සර්" පියතිලක කියාගෙන යයි.

මා එක් වරම ගල් ගැසී ගියෙමි. " ගර්භනී බිරිඳ... කුළුඳුල් දරුවා " ආදී නොයෙක් අදහස්  මා සිත තුල  තෙරපේ.

"ඇයි  සර් බලා ඉන්නේ.. කඩමු කඩමු .." පියතිලකට ලියුමේ අන්තර්ගතය දැන ගන්නා තෙක් ඉවසිල්ලක් නැත.



" Dear Dr. Jayasinghe,

 we are pleased to inform you that you have been selected  for a 2 year Master's degree at  Center for International Health at Aarhus University.

This includes 2 year NORAD fellowship with all your expenses and airfare"





"වැඩේ හරි තමයි පියතිලක.  මට ශිෂ්‍යත්වයක් ලැබිලා."


මගේ හිතට ලොකු සහනයක් දැනේ.


පරිවාස කාලය ඉවර වෙන්න ඇත්තේ තව වසරක් පමණි. එයට පෙර පශ්චාත් උපාධියක් නැති වුවහොත් එලියට විසි වීමේ අවධානමක් තිබේ.

හවස හතරේ ඉඳන් අලදෙණිය- වල්පොල පාරේ බෙහෙත් කඩේ ඉඳන් හොයන සොච්චම පෙට්‍රල් වලටත් ප්‍රමාණවත් නැත.

පොඩිකාලේ අක්කා සහ නංගි සමග කිවූ මිල්ටන් පෙරේරාගේ ගීතයක් මට සිහිවේ.

" අද දෙවියන් අපගේ මුහුණ බැලුවා ..කාලෙකට පස්සේ..." 


අක්කලා අපි මෙය ගයමින් නැටුවේ වියලි ගිය තක්කාලි කොටුව තෙමමින් කඩා හැලෙන වැස්ස දැකීමෙනි.


අද තක්කාලි කොටු නැත. මම රටේ ඉහලම රැකියාවක් කරන්නෙකි.. අලදෙනියේ කථිකාචාර්ය යනු සුළු පටු දෙයක් නොවේ..

එහෙත් මගේ සිත කුඩා කල දුටු ඒ වෙනසම දකිමින් සිටියි.. " වියලුණු කතරට මහා වරුසාවක්" . සිද්ධි දෙකෙහි වෙනසක් මට නොහැඟෙයි.




http://sarigama.lk/profile/song_profile/4221/ada-deviyan-apage-priyankara-perera-mp3-song-download-online-listen




"නියමයි සර් ... මාර සන්තෝෂයක්  මටත්  දැනෙන්නේ " පියතිලක තවමත් කියවයි.

   "මටත් මාර සන්තෝෂයි පියතිලක. කියලා වැඩක් නෑ.."

මම පියතිලකගේ අත් දෙක තදින් අල්ලා  ගත්තෙමි.

මේ මොහොතේ සුර දුතයා වෙන කවුරුත් නොව අපේ දෙපාර්තමේන්තුවේ  මිනී එම්බාම් කරන ඔහුය.

"සර් ඔන්න වරද්දන බෑ පාටි එකක් ඕනෑ..මැඩම්ට කියන්න එයාගේ අතින්ම උයලා ඕනෙ"

"හරි හරි  පොඩ්ඩක් ඉන්නවකෝ... අපේ නෝනට රසට උයන්න පුළුවන් ..  අපේ ගෙදර කෑම වේලකට එනවා.

මගේ සතුටේ හැබෑ කොටස් කාරයෝ තමුසෙලා තුන් දෙනා තමයි." . මොනවා උනත් අනිත් හාදයත් එක්කන් එනවා.  "

මා එසේ කිවේ මිනී කාක්කෙකු වූ  ජයසේන නම් ප්‍රධාන එම්බාම් කරුවා ගැනය.

"හැබැයි සර් වන්නමකුත් නටන්න ඕනේ එදාට.." පියතිලක කියන්නේ වෙරි වූ පසු ඔහු කරනා අහිංසක රැඟුම ගැනයි.



 


ශිෂ්‍යත්ව පුවත සහ සගයින්ගේ ප්‍රතිචාර





ඇත්තටම කියනවානම් මට හිතවත් දොස්තර වරයෙක් ලෙස දෙපාර්තමේන්තුවේ එකල සිටියේ එකම එක අයෙක් පමණි.   ඒ ඉරුගල් බණ්ඩාර නම් නියම උඩරට නමක් ඇති   කථිකාචාර්ය වරයාය.

මගේ සම වයසේ සිටි අනෙක් දෙදෙනා දෙනුවර උන්මාදය නිසා  හෝ මම කරගම්පිටියේ එකෙක් නිසා හෝ මට එතරම් හිතවත් වුයේ නැත.

ඔවුන්ද මා වැනිම අය වුවත්  ඉපදී තිබුනේ  දෙනුවර  මහා රෝහලේදීය.

මා ඉපදී තිබුනේ උඩරට වුවත් අරලගංවිල නම් තරමක් පිටිසර ප්‍රදේශයේය.

එබැවින් මට නැති කිසියම් ඉහල තත්ත්වයක් මවා ගන්නට මේ දෙදෙනා උත්සහා කළා යැයි කිවොත් නිවැරදිය.

මම ඉරුගල්ට විස්තරය මුලින්ම පැවසුවෙමි. අනතුරුව තේ මේසයේදී අනෙක් සගයන්ට සහ මැඩම්ලාට විස්තරය කීවෙමි. 

පියතිලකට ආසන්න ප්‍රතිචාරයක් කිසිවකුගෙන් නොලැබුන බව පවසන්නේ මගේ මිතුරන් ගැන ඇති මහත් ආඩම්බරයෙනි.  

ඉරුගල් බණ්ඩාර නම් ඉත සිතින්ම සතුටු වූ බව පෙනෙනෙන්නට තිබුණි.

එලෙසම සතුටු වූ අනෙක් දෙදෙනා වූ යේ අපේ දෙපාර්මේන්තුවේ සිටි පරිවාස කථිකාචාර්යවරියන් දෙදෙනාය.

අපට වඩා වයසින් සහ ආයතනයේ සේවා පළපුරුද්දෙන් වැඩි ඒ දෙදෙනා කිසිවිටක "දෙනුවර උන්මාදයකින්" පෙලෙන බවක් පෙනුනේ නැත.

ඉන් ආයතනයේ වඩාත් පළපුරුදු කථිකාචාර්ය වරිය වූ  සුරේඛා හා මා අතර ඇතිවුයේ මෙවැනි කතා බහකි.

"මට නෙදර්ලන්තෙට යන්න ඇවිල්ලා"

"හරි ශෝක් නේ කවිඳු..  මොකද ළමයෝ ඔයා බය වෙලා වගේ?    මේ වගේ ආරංචියක් ආවහම සන්තෝෂෙන් ඉන්න එපැයි"

"හොඳයි තමයි එත් වැරදි වෙලාවට.. නිමල්කා ඉන්න තත්වේ ගැන හිතුවම  යන්න හිතෙන්නේ නෑ."

" පිස්සුද ළමයෝ .. ලැබුණු චාන්ස් එක අතාරින්න එපා.."

"කොහොම හරි ගිහිල්ලා මාස්ටර් එක කර ගන්න.. අපි ඉන්නවානේ .. අපි නිම්මි ගැන බලන්නම්කෝ.."

සුරේඛා එලෙස පැවසුවේ මගේ උරහිසට තට්ටුවක්ද දමමිනි.



සමුගැනීමේ සාදය



මම හවස ගෙදර ගිය ගමන් ආරංචිය බිරිඳට පැවසුවෙමි.

ඇය පියතිලකට නොදෙවෙනි ලෙස සතුටු වුවාය.

අපේ අනාගත ඉරණම තීරණය කල ලිපිය කිහිප වාරයක් කියවුයෙමු. 

"බඩේ ඉන්න කොල්ලගේ වාසනාව" . ඇය කියන විට මාද ඒ කියමනට එක හෙලා එකඟ වීමි.

"ඔයා නෙදර්ලන්තේ යන්න මම මෙහේ වැඩ කොහොම හරි කර ගන්නම්" .  

ඇය මා අස්වැසුවේ ලැබෙන්න ඉන්න දරුවා ශිස්‍යත්වයට බාධාවක් කර නොගන්නා ලෙසයි.

මම පියතිලකගේ පාටි යෝජනාවද ඇයට ඉදිරිපත් කලෙමි. 

ඇය තම අතින්ම සැකසු රාත්‍රී ආහාරයක් මගේ වැඩ පොලේ ඉන්න සුළු සේවකයින්ට  පිළිගන්වන්නට එකග වුවාය

දෙපාර්තමේන්තු පරිසරය ගැන හොඳින් කල්පනා කල මා ඉරුගල්ට මගේ අදහස පැවසුවෙමි. 

"මගේ සතුට බෙදා ගන්නේ උඹයි, අපේ ලේබර්සලා හතරදෙනා එක්කයි විතරයි." 

" පියතිලකලට බොන්නත් ඕනේ කිව්වා..උඹට පුලුවන්ද ඒ වැඩේ සංවිධානය කරන්න..? " 

ඉරා මගේ  අදහසට උඩින්ම කැමති විය.

 " මගේ කාර් එකේ කට්ටිය දාගෙන එන්නම් . බීලා වාත වෙන්න ගත්තොත් අරන් යන්නම්" . ඔහු මගේ හිතේ යන්තමට තිබු සැකයද තේරුම් ගත් සෙයකි.

දවස උදා විය . අපේ මැඩම් රසම රස රාත්‍රී භෝජනයක් පිළියෙළ කලාය. 

ඉරා පියතිලක ඇතුළු පිරිසත් ඔවුන්ට අවශ්‍ය බිමත් අපේ කුලී නිවසට රැගෙන ආවේය.  

මා මෙතක් දුටු සංතෝෂයෙන් පිරුණුම රාත්‍රී භෝජනය පැවැත් වුනි. 

ප්‍රේමදාස  බිව්වේ නැත. අනෙක් තිදෙනා  යහමින් සප්පායම් වුහ .  සතුට දෝරේ ගලා යයි. 

සාදය අවසන් වන්නට ඔන්න මෙන්න වී ඇත.

පියතිලක එක් වරම ඇඹරෙන්නට විය.

"පියතිලකට වන්නම මතක් වෙලාද කොහෙද " කම්කරුවන්ගෙන් තැන්න්පත්ම ගති ඇත්තා , ප්‍රේමදාස කියයි. 

"මැඩම්ට  පේන්නත් එක්ක වන්නමක් නටන්න ඕනෑ සර්..." පියතිලක තම අවශ්‍යතාවය මට ප්‍රකාශ කළේය .

මම ඉරා දෙස බැලුවෙමි.  ඔහු මට හිසින් සන් කළේය.. අහිංසකයින්ගේ සංතෝෂයට අකුල් හෙලන්නේ කුමටද.? 

අපේ කුඩා සාලයේ පියතිලකගේ වන්නම රඟ දැක්විණි. 










17 comments:

  1. අප ආ මාවත...
    සතුටුයි මචං
    අභියෝග ජය ගෙන target එකට ගිය ආකාරය අපටත් ආදර්ශයක්. කව්රු බාදා කලත් යන්න ඕනි තැනට යන්න උත්සාහය තියනවනම් පුළුවන්...එක ක්‍රියාවෙන් පෙන්නපු ඔබ අපට ආඩම්බරයක්.


    ReplyDelete
    Replies
    1. මගේ අවංක ආදර ස්තුතිය... මේ මාවතේ වරින් වර එකට ගමන් කල හැටි තාම මතකයි... බලමු අපේ අරලගංවිල ඉස්කෝලේ වර්තමාන පරම්පරාවත් එවැනි අභියෝග වලට සුදානම්ද කියලා..

      Delete
  2. කවිඳු, අරලගංවිල ඉස්කෝලේ වර්තමාන පරම්පරාව ගැන නම් අහන්නත් දුකයි. ටික දෙනෙක් වැඩ කරනවා ඇති. ඒත් බහුතරය පිස්සු කෙලිනවා..සාමාන්‍ය පෙළ නම් ගන්නම දෙයක් නැහැ. උසස් පෙළත්විද්‍යා අංශය විතරයි අධ්‍යාපනයේ අැති වැදගත් කම තේරුම් ගත්ත ටික දෙනෙක් හරි ඉන්න එකම තැන.

    ReplyDelete
    Replies
    1. මට මතකයි කලිනුත් අපි මේ සමාන අදහසක් ගැන සාකච්ඡා කළා. දැන් අරලගංවිල ඉස්කෝලේ විතරක් නෙවෙයි ගොඩක් පළාත්වල මේ තත්ත්වය දකින්න තියෙනවා.. අරලගන්විල ඉස්කෝලෙත් ටිකක් විතර මොඩ් වෙලා.. බිග් මැච් .. ස්විමින්ග් පූල් .. පැත්තට බර වැඩියිනේ දැන්... ඔබ කියූ කතාව හරියට හරි .. අපේ වසරේ වෙද විදුහල් ගිය ගනන 15ක් අපේ ඉස්කෝලෙන් විතරක්... දැන් එන්නේ අතලොස්සක් කියලයි ආරංචිය.

      Delete
  3. Thawath lassana kathawak ..... Very sensitive....

    ReplyDelete
  4. Nicely written. . Seen many piyathilaka kinds in parties.. they provide the additives nicely to the situation. :)

    ReplyDelete
  5. ඔබ සොඳුරු මිනිසෙක් කියා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ටුවට... ඔබත් එවැනිම කෙනෙක් බව මට පසක් වුනා ඔබේ බ්ලොග් පෝස්ට්ස් සහ පිළිතුරු බලද්දී...එහෙත්...ඒ සොඳුරු බව නැති කරන්න හදනා මිනිසුන් බොහෝමයි. ඒ අතරින් මා ලඟම ඉන්නා අය ප්‍රමුඛ තැනක් ගන්නවා. තමන්ගේ කෙනා අහක ඉන්න අහිංසක, දුප්පත් එහෙත් සොඳුරු අයට "ඕනෑවට වඩා කිට්ටු වී " තමන්ගේ යැයි කියා ගන්නා බෙලිකපන්නන් , වල කපන්නන් අමතක කරාවි යන හුඹස් බිය එයට හේතුව බවයි මට නම් පෙනෙන්නේ ...

      Delete
    2. මගේ "ගම නැගුම සහ මග නැගුම කියවන්න " එහි එන පුවක් බාස් ගෙන් මාව බිඳවන්න දරනා උත්සාහය දැන් මගේ නිවසේ එල්ලිපත්තටම ඇවිල්ලා....

      Delete
  6. මොකක්ද අප්ප ඒ වන්නම

    ReplyDelete
    Replies
    1. පිළිමතලාවේ "පියතිලක වන්නම "

      Delete
  7. ow doctor podi minissu langa thoyena awanka kama , samahra ugath loku minissu lanaga na.. obage sathutedi owun sathutu una wagema obata wipathak uwa nam jeewithaya paraduwta thama ho idiripath wannata owun deparak hithanne na

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.කතාව ඇත්ත

      Delete