Follow by Email

Tuesday, 29 September 2015

මුදු තුනක් සහ මාලයක් හතරවන කොටස- දුෂ්කර ක්‍රියා

"මිනිසුන්ට අසීමිතව ආදරය කරන මිනිසෙක් පහළ වන්නේ කලාතුරකිනි.

ඒ  ආදරය මුදල්, බලය, තනතුරු තරාතිරම් නොබලා කෙරෙන්නක් නම් එහි අගය තවත් වැඩි විය යුතුය.

එමෙන්ම එවන් මිනිසෙකුගේ ආදරය තම පවුලට , නෑදෑයින්ට සහ හිතවතුන්ට පමණක්ම සිමා වන්නේ නැත.... 

මේ පාරිභෝගික සමාජයේ සියල්ල අප සිතන පරිදි  සිදුවේවිද?...  සියල්ල ඒ ලෙස තේරුම් ගනීවිද ?.."


ඒ කාලේ නිම්මි වැඩ කලේ දෙනුවර මහා රෝහලේ  කායික රෝග වාට්ටුවකයි. අප නිවසේ සිට රෝහලට තිබුනේ කිලෝ මීටර් පහක පමණ දුරකි.

නිම්මිලාගේ මහා ගෙදර සිට රෝහලට පැමිණීමට පැය එක හමාරක් වත් අවශ්‍යය.

 ඒ නිසා මා රටින් පිට වුවද අලදෙනියේ පිහිටි අපේ කුලී නිවසේම නැවතී වැඩට යන්නට ඇය තීරණය කලාය.

එම රෝහලේම වෙනත් වාට්ටුවක වැඩ කල  ඇගේ එකම සොහොයුරිය හෝ ඇයගේ මව තනියට ගෙන්වා  ගන්නා ලෙස ඇයට යෝජනා කලෙමි.

එහෙත් ඇගේ සොහොයුරිය පුරුදු පරිදි මාවනැල්ලේ සිය නිවසේ සිටම වැඩට එන්නට තීරණය කලාය.

ඒ නිසාම නිම්මිගේ මවද තම පොඩි දුව බලාගෙන මාවනැල්ලට වී සිටියාය.

පියතිලකට සහ ඉරුගල්, සුරේඛා ඇතුළු පිරිසට  මගේ නෙදර්ලන්ත ගමන ගැන තිබුණ සතුට මට නැත.

 සියල්ල අතහැර පිටත් විය යුතුය. මම කරන්නේ කුමක්දැයි දහ අතේ කල්පනා කරමින් සිටියෙමි.

මේ අතර මගේ දෙපාර්තමේන්තුවේ එකම එක සගයෙක් කීවේ

 " මම එහෙම නම් උපාධි නෙවෙයි රජකම ලැබුනත් නිම්මි ඔය තත්වයෙන් ඉද්දි තනියෙන් දාලා යන්නේ  නෑ.. " යනුවෙනි.

වාසනාවකට හෝ අවාසනාවකට ඔහු  ඉරා මෙන් හිතේ ඇති දේ කෙලින් කියන අයෙක් නොවීය.

එය මගේ හිතට ඒ තරම් තදින් කා වැදෙන තත්වයේ අවවාදයක් නොවුනේ එහෙයිනි.

අලදෙනියේ දෙපාර්තමේන්තු කෙණෙහිලි, ගැටුම් , බෙලි කැපිලි ආදිය සිහියට නගා ගත්තෙමි.

අපි හැමෝගෙම අනාගතය ගැන සිතා මම අභිනිෂ්ක්‍රමණයට  හිත හදා ගත්තෙමි.

ජුලි මාසේ අග හරියේ දිනක නෙදර්ලන්තය බලා පිටත් වීමි.

සිශ්‍යත්වයට අනුව තම පවුල එරටට ගෙන්වා ගත හැකි වන්නේ වසරකට පසුවයි.

ඒකත්  අපේ පළමු වාරයේ  විෂයන් වල පැවරුම් වලට හොඳ ලකුණු තිබුනොත් පමණි.

මට උසස් පෙළට පාඩම් කල හැටි සිහිවෙයි.

ඒ කාලේ ..."විභාගේ ගොඩ ගියොත්  ....මගේ බලා පොරොත්තු ව ඉටු කර ගත හැකිය"

මෙවරත් එසේමය. හොඳ ලකුණු ගත්තොත් නිම්මිලාට මා සමග එන්නට හැකිවේ.

ඒ නිසා මේ අභියෝගයත් උසස් පෙළ  සේම  බාර ගන්නට තීරණය කලෙමි. මුළු වැර යොදා A සාමාර්ථයක් වෙනුවෙන් වැඩ කලෙමි.

මේ අතර  අලදෙනියේ...සුපුන් කුසේ දරා ගත් නිම්මි තනියෙන් පාරේ බස් එකේ නැග වැඩට ගියාය.

 ඒ පමණක් නොව ඒ වනවිට අපේ හිතවතෙකුට බලා ගන්නට දී තිබු බෙහෙත් කඩේ කුලී ගෙවීම් ඇතුළු වැඩද ඈ පිට පැවරුණේය.

බොහෝ දිනවල කොළඹ- දෙනුවර පාරේ බස් වල හිටගෙන ගමන් කරන්නට ඇයට සිදු විය.


නෙදර්ලන්තයේ මුල් මාස හය

මම "ජාත්‍යන්තර සොඛ්‍ය " පිලිබඳ මාස්ටර්  උපාධිය පටන් ගත්තෙමි.  මුල් මාස හයේ තිබුනේ පර්යේෂණ කිරීම නොව ඊට අදාල විෂයයන්ය. හිසේ වැඩ කලේ එකම එක දෙයකි. 

"නිම්මි සහ සුපුන් මා ලඟට ගෙන්වා ගන්නේ කෙසේද.." යන්න පමණි.  එය ඉටු කර ගත හැකි වන්නේ හොඳම ලකුණු ලබා ගැනීමෙන් හා හැකි තරම් මුදල් රැස් කිරීමෙන් පමණි.

රැස්කර ගත යුතු මුදල ලේසි පහසු ගනනක් නොවේ . ක්‍රෝනර් අසූ දහසකි ( රුපියල් ලක්ෂ දොළහකි). මට මාසයකට ලැබුනේ ක්‍රෝනර් අට  දහසකි. 

පොතේ හැටියට ඔක්කොම ඉතුරු කලත් නිම්මිලට  මාස දහයක් යනතුරු මෙහි පැමිණිය නොහැක.

දිවා රෑ නොතකා පාඩම් කලෙමි.  ලැබුණු ශිස්‍යත්වයෙන්  නිවාස කුලිය ( ක්‍රෝනර් දෙදහසක්) හැරුණු කොට වියදම් කලේ ඉතාම සුළු ප්‍රමාණයකි.

ඒ අත්‍යවශ්‍යම කාරණය වූ ආහාර වෙනුවෙන් පමණි. මගේ අහාර මමම පිළියෙළ කරගත්තෙමි. 

නවාතැනේ සිට CIH හෝ නගරයට ගියේ පයින් හෝ බයිසිකලයකිනි.

මේ කාලේ මගේ හොඳම මිතුරන් වුයේ දකුණු අප්‍රිකා, බංගල්දේශ් , ඉන්දියානු, පකිස්ථාන්  සහ නේපාල ජාතිකයන්ය.

ඔවුන් මා මෙන්ම  තම උපාධිය වෙනුවෙන් මෙරටට පැමිණි අයවලුන්ය.  ඒ අතර සිටි පකිස්ථාන් කාන්තාවක් පැමිණි සිටියේ තම කිරිබොන දරුවා සමග ස්වාමියා තනිකරමිනි.

හිත හදා ගන්නට තරම් ඒ ආරංචිය වුවද ප්‍රමානවත්ය.

CIH ( Center for International Health) එකේ සේවිකාවන්ද බොහෝ සෙයින් ශෝක වුහ. ඒ ගැබිණි බිරිඳක් තනිකර මට එන්නට වූ ගමන ගැන දැන ගත් පසුවයි.

මුල් මාසය ඉතා අපහසුවෙන් ගෙවා ගත්තෙමි.  ලැබුණු පැවරුම් හැම එකටම වැඩිම ලකුණු ගත්තේ මා විසිනි.

හොඳම හොඳ ගණන් කාරයෙක් වූ වියට්නාම් ජාතික මිතුරෙක්  medical statastics වලින් පළමු වැනියා විය.

අරමුණ මා ඉතා හොඳින් වැඩ කරන බව NORAD නියෝජිතයින්ට පෙන්වීමයි.

එවිට ඔවුන්ට කියන දිනයට කලින් නිම්මිලා මෙහාට ගෙන්වා ගත හැකිය. දිගින් දිගටම ඉහලම ලකුණු වෙනුවෙන් පාඩම් කලෙමි.

CIH සේවිකාවක් හරහා NORAD නියෝජිතවරියද හඳුනා ගත්තෙමි.

සියල්ල අවශ්‍ය පරිදි කෙරීගෙන යයි.  මුදල් ඉතිරි කිරීමද එලෙසම වුවත් මාස හයකින් ( සුපුන්ගේ උපතින් පසුව)  නිම්මිලා ගෙන්වා ගැනීමට එය ප්‍රමාණවත් නොවේ.



මේ අතර නිම්මි තනිවම අලදෙනියේ ගෙවන ජීවිතය එන්න එන්නම අපහසුවිය. 

මම අරලගංවිල සිටි අපේ අම්මා නිම්මිගේ තනියට නවත් වන්නට තීරණය කලෙමි.  ඒ ඇයට නොකිව්වත් මාස හය අවසානයේ සැලකිය යුතු මුදලක් ඇගේ ගිණුමට බැර කරන බලාපොරුත්තුවත් ඇතුවයි.


මම අරලගන්විලට කතා කර අම්මා අලදෙනියට ගෙන්වීමේ සැලසුම සාකච්චා කලෙමි.

අවසානයේ අපේ අම්මා අලදෙනියට පැමිණියාය.  


සුපුන්ගේ උපතට නැවතත් ශ්‍රී ලංකාවට



NORAD නියෝජිත වරිය සමග පැවති සාකච්චා අති සාර්ථක විය. මාස දොළහ වෙනුවට මාස හයකින් නිම්මිලා ගෙන්වා ගැනීමට අවසර ලැබිණි.  

එපමනක් නොව මානුෂීය පදනම මත සුපුන්ගේ උපත සිදුවන සතියට නිවාඩුත් නොමිලේ ගුවන් ටිකට් පතකුත්  සංවිධානය කෙරිණි.

දෙසැම්බර් මාසයේ අග දිනක කටුනායකට ලඟා වීමේ බලාපොරොත්තුවෙන්  තාබ්රු සර් වැඩ කල SAS සමාගමට අයත්  ගුවන් යානයකට  ගොඩ වූයෙමි.

දුෂ්කර ක්‍රියාවේ මහිමයෙන් කිලෝ හත අටක් කෙසේ වෙතත් කිලෝ  දහයක් දොලහක් පමණ මගේ  බරද අඩුවී ගොසිනි.

එය  පෙන්නුම් කෙරුනේ SAS ගුවන් යානය තුල  ජර්මනියේ  Frankfort ගුවන් තොටුපලේදී සිදුවූ සිද්ධියකිනි.

ගුවන් යානයෙන් බසින්නට ඔන්න මෙන්න තිබියදී මම මාගේ ශීතල කබාය ගලවන්නට තීරණය කලෙමි.

දකුණු අතේ සුලෑඟිල්ලේ තිබු යමක් ගුවන් යානයේ ආසන අතර සැඟවී ගත්තේය. 

ඒ මාගේ අතේ තිබු පවුම් එක හමාරක් පමණ වූ මංගල මුද්දයි.

මගේ  දුෂ්කර ක්‍රියාවේ ප්‍රතිඵලය සුළු පටු දෙයක් නොවන්නේ එබිවිණි.

ගුවන් සේවිකාවන් ආසන කිහිපයක් යට බැලුවත් මුද්ද ලැබුනේ නැත. 


කාගේ හෝ ඔඩොක්කුවකට වැටුනා නම්  එය නැවත ලැබෙන්නේද නැත. 

"Sorry.. we have to get ready for the next flight".  ඇය මාගේ අවසාන බලාපොරොත්තුවද සිඳ දැම්මාය.

කෙසේ හෝ සිද්ධිය අමතක කර ඊළඟ ගුවන් යානයට ගොඩ වූයෙමි.

රෑ පාන්දර වෙද්දී  කටුනායකට ලඟා වුනෙමි.  නිම්මි සමග අපේ පොඩි නංගි ඇතුළු පිරිසක් මා පිළිගන්නට පැමිණ සිටියහ.

"ඔයා කෙට්ටු වෙලා..." නිම්මි කිවූ මුල්ම වචනයයි.

"චුටි අය්යා මොකද ඔච්චර කෙට්ටු .. ? ඇයි එහේ කන්න නැද්ද.. ?

නියම ජයසේකර කෙනෙක් අසනා පරිදි ප්‍රශ්නය යොමු කලේ අපේ පොඩි නංගි විසිනි.

එදා සිට පහුගිය වාරයේ (2014) ලංකාවට යන තෙක් මගේ අතේ මුද්දක් තිබුනේ නැත.

2014 ලංකාවට යන්නට පෙර නිම්මි විසින් මගේ මුල්ම රන් මාලය පෙට්ටියක තිබී සොයා ගත්තාය. ඉතා සිහින් බව නිසා එය කිහිප පොලකින්ම කැඩී තිබුණි.

එවර අරලගංවිල ගිය අවස්ථාවේ "ගාන්ධිමතියෙන්"  මාලය උණු කර මුද්දක් හදන්නට ඇය තීරණය කලාය.

ප්‍රමාණය පවුම් එක හමාරක් දක්වා වැඩි කිරීමට තව රුපියල් තිස්දහසක් ඉල්ලන ලදී.

 නිම්මි  එය කිසි කතාවක්  නැතිව ගෙවා දැම්මාය.

අදටත් මා අතේ තිබෙන්නේ වයස 23 කදී  මා මුලින්ම උපයාගත් රත්රන් වලින් කොටසකි...





රත්රන් කථා වස්තුව මෙතෙකින් සමාප්තයි..

8 comments:

  1. වසර දෙක අවසානයේදී "A" සාමාර්ථයක් සහිතව උපාධිය සමත් වෙන්න ලැබීම.. සතුටට කරුණක්... ඒ නිසාම මට තව වසරක තුනකට නෙදර්ලන්තයේ ආචාර්ය උපාදියක් සඳහා ශිෂ්‍යත්වයක් ලැබුනා... ඉහතින් සඳහන් කල පරිදිම අපේ නෑදෑ හිතවතුන්ට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් එය අතහැර කැනඩාවේ ආචාර්ය උපාදියට යන්න තීරණය කළා..

    ReplyDelete
  2. ඔබේ දිරිමත් බව හා සිය පවුලට ඇති බැඳීම මේ හැම කතාවකින්ම මනාව පැහැදිලි වෙයි. මේ කතා කවදා හෝ තව පරපුරකට ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ අය්යා... අනාගත පරපුරෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේවා කියවලා හැදෙනවා නම් වැඩිපුරම සතුටු වන්නේ මම තමයි... අඩුම ගානේ අපි දන්නා කියන පවුල් වල අයවත්....

      Delete
  3. රෑ.. දුරු රට මේ ... හිම වරුෂා ශීත පාළුවේ...

    ReplyDelete
  4. අපේ මංගල මුදු මාල නිවස බිඳ හොරු අරගත්තා. එසේ වුනේ අප ඒවා පැැළන්දේ නැති නිසයි. ඉතිං ඉන් පසුව අවශ්‍ය වුනෙත් නෑ!

    ReplyDelete
    Replies
    1. ඒවායේ හැටි එහෙම තමයි. සමහර ජිවන අවස්ථා වල සංකේතාත්මක මතක සටහන් අපිට නැති වෙලා යනවා...මමත් ගොඩක් කාලයක් මුද්දක් පැලන්දේ ඩේ නෑ.. පසුගිය වතාවේ ලංකාවේ ගිහින් එනකොට මේ මුද්ද අරන් ආවා දැන් ඒක පළඳිනවා ..

      Delete
  5. හ්ම්.... දුක්බර කතාවක සතුටුදායක අවසානයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ටිකක් වැඩ වැඩියි අළුතින් මොකුත් ලියන්න , බලන්න බැරිවුණා.

      Delete