Follow by Email

Friday, 16 October 2015

දුෂ්කර ක්‍රියා 2 - අරපරිස්සම



"මිනිසුන්ට අසීමිතව ආදරය කරන මිනිසෙක් පහළ වන්නේ කලාතුරකිනි.

ඒ  ආදරය මුදල්, බලය, තනතුරු තරාතිරම් නොබලා කෙරෙන්නක් නම් එහි අගය තවත් වැඩි විය යුතුය.


එමෙන්ම එවන් මිනිසෙකුගේ ආදරය තම පවුලට , නෑදෑයින්ට සහ හිතවතුන්ට පමණක්ම සිමා වන්නේ නැත.... 


මේ පාරිභෝගික සමාජයේ සියල්ල අප සිතන පරිදි  සිදුවේවිද?...  සියල්ල ඒ ලෙස හරිහැටි තේරුම් ගනීවිද ?.."



නෙදර්ලන්තයේ මුල් මාස හය ගත කල අයුරු

මා සමග NORAD ශිෂ්‍යත්ව ලබා පැමිණි පිරිස් අතර ආසියානු රටවලින් පැමිණි අයත් කිහිප දෙනෙක්ම වුහ.  Fantoft studenby නම් සිසු ගම්මානයක්  අප සැමගේ වාසස්ථානය ලෙස ලබාදී තිබුණි.  A, B , C, G  සහ  H නැමැති  ගොඩනැගිලි පහකින් යුක්ත වූ මේ සිසු  ගම්මානයේ  ක්‍රීඩාගාරයක් ,  Fantoft club නම් අවන්හලක් සහ Safari නම්  සුපර් මාර්කට්  එකක්ද විය.

සිසුන්  බොහෝ දෙනෙක් සෆාරි  එකෙන් තම කෑම බීම මිලදී ගත්තද එහි බඩු REMA 1000, RIMI  වැනි කඩවලට වඩා මිලෙන් වැඩි බව කවුරුත් දැන සිටියහ. 
බොහෝ ආසියාතික මුදල් වර්ග වලට වඩා නෙදර්ලන්ත ක්‍රෝනර් වල අගය වැඩි විය.

මා පමණක් නොව අපේ ආසියාතික මිතුරන් බොහෝ දෙනෙක් වියදම් කරන හැම මොහොතකම මේ ගැන සිහිපත් කෙළේ වියදම අපේ රටේ මුදල් වලට පරිවර්තනය කරමිනි.
එහෙත් අනෙක් සිසුන්ට නැති තත්වයේ මුල්‍ය ගැටළුවක් මට තිබුණි. ඒ ක්‍රෝනර් අසු දහසක් මගේ බැංකු ගිණුමේ තිබෙන බව පෙන්වීමේ අභියෝගයයි.  

මාස හයක් - අවුරුද්දක් ඇතුළත නිම්මි සහ අපේ එකම පුත් සුපුන් නෙදර්ලන්තයට ගෙන්වීමට නම් බැංකු ගිණුම ඉතා වේගයෙන් තර කල යුතු විය.

මාසික බස් කාඩ් එක ක්‍රෝනර් අසුවකි. මුල්ම මාසේ කාර්ඩ් එකක් ගත්තා නොව  ඔවුන් අපට බලෙන් අරන් දුන්හ. දෙවැනි මාසයේ සිට Fantoft  සිට විශ්ව විද්‍යාලයට තිබු කිලෝමීටර් තුනක පමණ දුර පයින් යන්නට තීරණය කලෙමි. 
එසේම කිසියම් වැඩකට  ප්‍රධාන විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලට යන්නට සිදුවුවහොත්  නගර මධ්‍යයට හෙවත් Centrum එකට ඇති කිලෝමීටර් පහක දුර ගියේද පයින්මය.  



අතිරේක රැකියා 

මේ අතර අප්‍රිකානු සහ නේපාල ජාතික හිතවතුන් කිහිප පොළකටම  පත්තර බෙදීමේ රස්සා ලැබුනේ ඔවුන්ගේ ජේස්ට හිතවතුන් හරහාය.  BT, BA සහ තවත් පත්තරයක් දිනපතා   පත්තර මිලදී ගන්නා ගෙවල් වලට දැමීම ඔවුන්ගේ රාජකාරිය විය.
ඒ රටේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි නොවූ නිසා මෙවැනි ජාත්‍යන්තර සිසුන් පත්තර දැමීම හැර වෙනත් රැකියා කලේ ඉතාම අඩුවෙනි.   
ලංකාවෙන් පැමිණ සිටි ද්‍රවිඩ ජාතිකයින් කිහිප දෙනෙක් අප පර්යේෂණ කල රසායනාගාරය තිබු රෝහල් නිල ඇඳුම් සෝදන ඒකකයේ වැඩ කළහ.  Vaskeri නම් වූ එහි සමහරක් අප්‍රිකානු සිසුන්  අවේලාවේ සේවය කළහ. එමෙන්ම මගේ  පර්යේෂණ ඒකකයේ සිටි ආචාර්ය උපාධි අපේක්ෂිකා "ඩානියා"  ද  Vaskeri හි වැඩ කල බව මා දැන සිටියෙමි.

ලංකාවේ ඊට පෙර වසරේ එහි පැමිණි සිසුන් දෙදෙනෙක් සිටියද ඔවුන් එවැනි රැකියා කල අය නොවුහ.  
එක් අයෙක් මාතර විශ්ව විද්‍යාලයේ සිට පැමිණි අයෙක් වූ අතර අනෙක් සිසුවා නගුලන් පෙරියතම්බි  නම් අයෙකි.  

මා මෙන්ම වෙද්‍ය උපධිදාරියෙක් වූ නගුලන් සිටියේ මා සිටි  CIH එකේම ආචාර්ය උපාධියකට  ඉගෙන ගනිමිනි.  මේ දෙදෙනාම ලැබෙන සිශ්‍යත්වයෙන් එදිනෙදා  වියදම් කරමින් සෑහෙන සුව පහසු ජිවිත ගත කළහ.

අතුල සුමංගල නම් වූ  මාතර මල්ලී අමුතු චරිතයක් වූ අතර   ඔහු රැකියා කරන සිසුන් දෙස බැලුවේ ඉතා පහත් ආකාරයකටය.  සුමංගල සමග කල සාකච්චා වලදී මටද යම් රැකියාවක් කරන්නට සිදු වන බව කිවේ ඔහුගේ මේ ආකල්පය ගැන දැන ගෙන සිටිද්දීමය. එය පත්තර දැමීම විය හැකි බවද ඉඟි පලකලෙමී.  ඔහුගේ මිත්‍ර ඉන්දුනීසියානු සිසුවෙක් මොපෙඩ් එකක් තබා ගෙන පත්තර දැම්මේ මේ කාලයේදීය. 

ඕලන්ද භාෂාව සහ  ලංකාවේ අපි

 සුමංගල නිතර කාලය ගෙව්වේ රුපවාහිනිය හෝ yahoo messenger එක සමගයි.  කතාකරන හැම  වෙලාවේම  "ඕ... සිත්"  "ඕ .. සිත් " යැයි නිතර පවසමින් ඕලන්ද ජාතිකයන් අනුකරණය කරන්නටද ඔහු බලවත්    කැමැත්තක් දැක්විය. 

එමෙන්ම ඔහු ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෑමක් වූ  Peppes pizza කෑමට ආශා කල අතර එ ගැන වර්ණනා කරන්නටද රුසියෙක් විය. 

එක දවසක් මම සෆාරියට යන්න ලැහැස්ති වී සුමංගල හමුවුයේ ඔහුටත්  යමක් අවශ්‍ය දැයි අසන්නටය.

කවිඳු.. උඹ සෆාරියෙන් බඩු ගත්තම අන්තිමට එතැන  ඉන්න කෙල්ලෝ " පුසා" කියලා කිව්වොත් මතක ඇතුව "නයි" කියලා කියපන්.
සුමංගල  මට ප්‍රයෝජනවත් දෙයක්  කියා දුන්නා මතකය.  ඕලන්ද භාෂාව යම් තරමක්  දැනසිටි ඔහු මේ කියන්නේ කුමක්දැයි මා දැන සිටියේ නැත.
" මොකද සුමංගල ඒ..?"
මම ප්‍රශ්න කලෙමි . "ගිහින්ම බලපන්කෝ "  සුමංගල පිළිතුරු දුන්නේය..

සෆාරියෙන් අලගෙඩි කිහිපයක්, ඌරුමස් සහ කිරි ආදී බඩු කිහිපයක් රැගෙන කවුන්ටරය ලඟට ආවෙමි..
"පුසා..? "
කවුන්ටරයේ කෙල්ලෝ  ඕලන්දක්කාරයන්ගෙන් අසුනු දුටුවෙමි..

" යා..දා.."

කියා කියන ඔවුන් කවුන්ටරයේ කෙල්ලන් දෙන සෆාරි පොලිතීන් මළු වල බඩු අසුරාගෙන ගමන් කරති.

මගේ වෙලාව පැමිණෙයි  .. පුසා..?  " නයි... " මම කිවේ සුමංගල කිවූ දෙය සිහියට ගනිමිනි.

මට මල්ලක් නොදුන්  ඕලන්ද කෙල්ල මගේ බඩු ටික අතට දුන්නාය. අනතුරුව ඈ  කිසිවක් නොවූ පරිදි අනික් අයට බිල් කඩන්නට පටන් ගත්තාය.


    

5 comments:

  1. ලංකාවෙන් දියුණු රටවලට ආපු උදවිය හැම දෙනා ගාවම මුල් අවුරුදු 5 ඇතුලේ කාපු කට්ට ගැන කියන්න දුක හිතෙන කතන්දර ගොඩයි.. මම එකම පොල් ගෙඩිය මාරු කරන්න හැතැක්ම 8 ක් පයින් ගිහින් තියෙනවා මෙහෙ ආපු කාලේ.. මුල්ම පොල් ගෙඩිය ගෙනල්ල බිඳලා බැලුවාම නරක වෙලා.. එකේ බෑ දෙකත් අරන් ආයේ ගියා ඉන්දියන් කඩේට.. ගිහින් ගෙනාව දෙවැනි ගෙඩිය.. එකත් බිඳලා බැලුවාම නරක වෙලා.. ආයෙත් ගියා බෑ දෙකත් අරගෙන .. ඒ ගිහින් කඩෙන්ම පිහියක් ඉල්ලගෙන ගෙඩි කීපයක් පළල බලල තමයි හොඳ එකක් හොයා ගත්තේ.. හොඳ පොල් ගෙඩියක් ගෙදර ගේද්දී අන්තිමේ හැතැක්ම 8ක් පයින් ගිහින්.. ඒ වගේ කාපු කටු ලියනවනම් ලියන්න බ්ලොග් අවකාශය මදි වෙයිද මන්ද..

    ReplyDelete
  2. ඇත්ත අම්බලන්ගොඩ... මේකට ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ මුදලේ අගය අඩුකම.. හැබැයි මට නම් දියුණු රට වල ඉන්න අපේම අය කරන අනවශ්‍ය වියදම් දැක්කහම පොඩි තරහකුත් එනවා.. හේතුව මගේ හිත නිතරම අපේ රටේ , අපේ ගම්වල ඉන්න නැති බැරි මිනිස්සු දිහාවට ඇදිලා යනවා මෙහෙ හිටියත්...

    ReplyDelete
  3. පුසා නයි කතාව තේරුනේ නැ , ඇයි මල්ලක් නොදුන්නේ, ඇයි වෙන බිලක් කැඩුවේ , ඔයාගෙන් සල්ලි නොගෙන හිටියාද

    ReplyDelete
  4. මගෙන් සල්ලි ගත්තා .. අන්තිම වාක්‍ය ටිකක් හැදුවා ඒක පැහැදිලිවෙන්න.. පුසා නයි කතාව හරි රසවත්.. ඒ රටේ භාෂාවෙන් පුසා ( pose) කියන්නේ මල්ලට/ බෑග් එකට.. නයි (nei) කියන්නේ නෑ හෝ එපා කියන එකට ... යා.. ( yaa) කියන්නේ ඔව් /හා කියන එකට

    ReplyDelete
  5. සුමංගල ඕ සිත්... කිව්වේ .. Ohh.. shit !!! කියලා ඉංග්‍රීසියෙන් කියනවා වගේ ඒ රටේ අය ඒ දෙයම වෙනස් හඬකින් උච්චාරණය කරමින් කියනවා වගේ....
    හරිනම් ඒ රටේ භාෂාවෙන් shit= Dritt උච්චාරනය කරන්නේ ද්රිත් කියලා... සුමංගල දැන් රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්...

    ReplyDelete