Follow by Email

Sunday, 4 October 2015

අපොස උ. පෙ..හතර සමරු පොත් සහ තවත් නංගිලා..

ඒ නමසිය අසු නවය වර්ෂ යයි.  චමින්ද , සුරාජ් සහ මගේ මිතුදම උපරිම තත්වයෙන් පැවති කාලය මෙය යැයි කිවොත් නිවැරදිය. එමෙන්ම අරලගන්විල මහා විද්‍යාලයේ බොහෝ සිසු සිසුවියන් රට ජාතිය ගැන ඇල්මෙන් කතා කල  කාලයකි. මේ.

උසස් පෙළ ජීව හා රසායන  විද්‍යා කොටස් එකට පාඩම් කල බැවින් සතියේ වැඩි කාලයක් අප  තිදෙනා ගත කලේ එකටමය.

මේ කාලයේ උතුරු නැගෙනහිර හැර සියලු පළාත් වල  ශිෂ්‍ය සටන් ඇවිලී ගියේය.ඒ පුද්ගලික වෙද විදුහලට විරුද්ධව සහ පැවති රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට එරෙහිවය.

ඒ කාලයේ බොහෝ දිනවල අරලගංවිල නගරයේ පාසැල් හැම එකකම වාගේ  විරෝධතා පැවැත්විනි.

අරලගංවිල මහා විද්‍යාලය මින් ප්‍රධාන තැනක් ගත අතර  අසල පිහිටි බිම්බිසාර  විද්‍යාලයද අපේ මාර්ග පෙළපාලි වලට බොහෝ විට එකතු කර ගැනිණි.

නගර මද්‍යයේ පිහිටි ශාන්ත ජෝශප් විදුහල මෙන්ම සුජාතා සහ පුදමු කුසුම් බාලිකාවන්ද  මේවාට සහභාගී වුහ.

උදේ පාසැල් යන අප  තිදෙනාද  රජයට විරුද්ධව සටන් පාඨ කියමින් මේ  විරෝධතා වලට එක් වූයෙමු.

සුරාජ් සහ මම අරලගංවිල දීත්  චමින්ද යෝධ ඇල මහා විද්‍යාලයේදීත්   මේවායෙහි  කොටස් කාරයන් වූයෙමු.

ඒ කාලේ සිසු සටන් නායකයින් කාන්තා සහ පිරිමි පාර්ශව දෙකේම ආකර්ෂණයට පාත්‍ර වු පිරිසකි.

තමන් සටන් කාමී ශිෂ්‍යයෙක් බව විශේෂයෙන්ම අවට පාසැල් වල නංගිලාට ඒත්තු ගන්වන්නට  අපේ පන්තිවල කොල්ලෝ බොහෝවිට උත්සාහ කළහ.

උදාහරණයක් ලෙස   සුගත් , සුරංජිත් වැනි අය අප විද්‍යාලයේ  සියළුම පන්තිවල සිටි නංගිලාගේ වීරයන් වුහ.

මේ අයගෙන් සමහරක් ඇත්තම සටන් කාමින් වූ අතර අවාසනාවකට ඔවුන් අද අප අතර නැත.  

ඉතිරි වී ඇති අයගෙන් සමහරක් ඇත්තටම "දේශප්‍රේමින්/ මානව හිතවාදීන් " දැයි දන්නේ ඔවුන්ම පමණි. 

සමරු සටහන් අතර 



ඒ කාලේ බොහෝදෙනා අතර ප්‍රසිද්ධ වූ  සමරු පොත් සහ "Favorite book"  නම් පොත් වල  මෙවැනි සිසුන් ගැන විරෝධාර අදහස් ලියවුනේය.

මින් සමරු පොත් ඔබ අප කවුරුත් දන්නා සංකල්පයකි.  දොළහේ විභාගය ආසන්නයේදී  හිතවත් අහිතවත් හැමෝම වෙත සමරු පොත් දික්කිරිම අපේ සිරිතකි.

 ඒ කාලේ මටත් එවැනිම කොළ පාට සමරු පොතක් තිබිණි.


 "ආදරණිය කවිඳු අය්යේ....ලෝකය විවිධයි .. විෂමයි.."  . " ඔබ පැතු ලෝකය ඔබේ දෑස් ඉදිරිපිට බිඳී යත්දී ඒ දෙස  උපේක්ෂාවෙන් බලා සිටිය හැකි නම් එයයි ජිවිතයේ විසිස්ටත්වය ... "

එහි ඉහත සඳහන් "වාක්‍ය භණ්ඩය"  ලියනු ලැබුවේ  අපේ සුගත් නම් සටන් කාමී සගයාගේ  මාමගේ දුව වූ සුරේකා  විසිනි.


බෙලගන්වැව බසයේ  චමින්දට සිටි පුස් බනිස් මෙන් 30 ශ්‍රී 3869 අම්පිටිය බසයේ මට සිටි නැගණිය ඇයයි.

සුරේකා ඒ කාලේ  අපට දක්නට ලැබුණු ලස්සනම ගැහැණු ළමයින්ගෙන් එක්කෙනෙකි. ඇය ගියේ අපේ පාසැල අසලම තිබු බිම්බිසාර විද්‍යාලයටයි.

සුගත්ගේ මාමගේ දියණිය වූ ඇයට තිබු හිතවත් කම නිසාම  ජිවිතයට තර්ජනයක් වුවත් මම  ප්‍රසිද්ධියේම  සුගත්ගේ හොඳම මිතුරා වූයෙමි.


අටේ පන්තියේදී  සඳා ගැන කීවා මෙන් සුරේකා ගැන උසස් පෙළ පංතියේ ප්‍රසිද්ධියේම කතා කලෙමි.

එහෙත් චමින්දට පුස් බනිස් මෙන් කවිඳුට සුරේකාද " හා.. කියනු තියා ඒ ලගින් යන අදහසක් වත් ප්‍රකාශ කර තිබුනේ නැත.

එහෙත් ඇය පුස් බනිස්ට වඩා තරමක් හොඳ ගති ඇත්තියකි.


ඒ  මුව පුරා සිනාසී අප තිදෙනා දෙස බලන්නට තරම් ඇය නිහතමානී  වූ නිසාය.

ඇත්ත වශයෙන්ම කියනවානම්.. " මේ කොල්ලෝ ඔක්කොම බලන්නේ මා දිහානේ" යැයි සිතමින්   නිහතමානී ලෙස ලෙස ඇයගේ රු සපුව වර්ණනා කර  ගත්  නිසාය.

මේ බව තේරුම් ගත් නිසාදෝ 13 සී එකේ සිටි මධුමාලී නම් මගේ මිතුරිය මෙවැනි සමරු සටහනක්  මගේ සමරු පොතේ තැබුවාය.

" ඉතින් ප්‍රොෆා  හව්...

සුකිරි කියා කෑවත් පුත්තලමේ ලුණු...

කන්නට එපා බිම්බිසාරේ කෙල්ලන් දෙන දිරපු ලනු..."

මෙයට ඔබේ හිතවත් මධු...


ලස්සන කෙල්ලෙකු වූ මධු අපේ පංතියේ මැද හරියේ තිබුණු කල්ලියේ සාමාජිකාවකි.

ඇය  ඒ වන විටත්  අපේ කල්ලියේ සිටි දිළුම් සෙට්ටිනායක සමග යහළු වී සිටියාය.


දෙමළ ඉස්කෝලේ පංතිය




ඒ කාලයේ සුගත් සිටියේ අපේ පාසලේ උසස් පෙළ ගණිත අංශයේය. ඔහු අරලගංවිල නගරයේ පිහිටි පන්සලේ දහම් පාසැල් ගුරුවරයෙකුද විය.


 " සුගත් අය්යේ.. සුගත් අය්යේ ..කියමින් අරලගංවිල සියළුම පාසැල් වල සිටි නංගිලා ඔහුගේ හිතවතියන් වී සිටියහ.

සුරේඛා ද මේ අතර වූ අතර ඇයට සුගත් ගේ ළඟ නෑදෑ කමක් ද තිබුනේය.

මගේ අතිජාත මිත්‍රයා වූ සුගත් සුරේඛා පිලිබඳ  මගේ අදහස හොඳින්ම දැන ගෙන සිටියේය.

එහෙත්  මට සුරේඛා ලඟා කර ගත හැකි මාර්ගයක් පාදා දෙන්නට ඔහු උනන්දු වුයේ නැත.

ඒ මාර්ගය සකස් කර ගැනීමද මටම බාර විය.

බනිස් දැලේ දාගත්තා වැනි උපක්‍රම මෙයට හරි යන්නේ නැත. මම වෙන උපායක් කල්පනා කලෙමි.
සුගත්ගේ සහ සුරේඛාගේ නෑදෑ කමෙන් වැඩක් ගත යුතුය.

මම මගේ අදහස චමින්ද සහ සුරාජ්ට පැවසුයෙමි.

" මචන්ලා .. මම දෙමළ ඉස්කෝලේ පන්තියක් පටන් ගන්නවා.  එකේ විද්‍යාව උගන්වන්නේ මම හැබැයි ගණන් දෙනවා සුගත්ට"

"ඇයි මචං අපිට ගණන් දෙන්න බැරිද ..? මොකද මල්ලි.. ඇයි අපි කළුද?" පැනය සුරාජ් ගෙනි.
" කියන එක තේරුම් ගනින් කෝ.. සුගත් ගණන් උගන් වන්න පටන් ගත්තු ගමන් සුගත්ගේ නංගි සුරේඛා පන්තියට එනවා."

"විද්‍යාව කරන්නේ මමනේ... මගේ  පංතියටත් එයා එනවා.." මම කරුණු පැහැදිලි කෙරුවෙමි.
" හරි... හරි.. උඹට හරි ගියොත් අපිට හරි ගියා වගේනේ.."  චමින්දයා පැවසු වේ  බණ්ඩාගේ විරෝධය ඉවත හෙළමිනි.

කල්ලියේ අනුමැතිය ලත් මා අදහස සුගත්ට ඉදිරිපත් කලෙමි.

සුගත් මගේ අදහසට එකග වුයේ එක පයින්මය.

ඒ අනුව සෙනසුරාදා උදේ අටේ සිට දහය දක්වා ගණිත පංතියත්  දහයයි කලේ සිට දොළහයි කාල දක්වා විද්‍යා පංතියත් ආරම්භ කෙරුණි.

සිසු සිසුවියන්  පහළොව ත් -විස්සත් අතර ප්‍රමාණයක් පංතියට සහභාගී වුහ.  ඉන් බොහෝ දෙනෙක් විෂයන් දෙකටම පැමිණියහ.

රුපියල් විසි පහ ගනනේ අය කල බැවින් මගේ අතට මුදල් ගලා එන්නට පටන් ගත්තේය.

එහෙත් මගේ පළමු බලාපොරොත්තුව  කෙසේ වත් ඉටු වුයේ නැත.

 ගුරුවරයෙක් ලෙස සුගත් පන්තියට පැමිණියද සුරේඛා නම් සිසුවියක් ලෙස ඒ පැත්ත පළාතට වත් ආවේ නැත.

එකල 13 වසරේ සිටි මා සිරිමල් වත්ත දෙමල විද්‍යාලයේ 8,9 , 10 සහ 11 වසර සඳහා විද්‍යා පන්තියක් පටන් ගත්තේ මේ අයුරිනි.



"Favorite Book"  හෙවත් ප්‍රියතම පොත් සටහන් සහ දේශප්‍රේමින් සහ  නිවටයින්




පුස්බනිස් වෙනුවෙන් චමින්ද මහන්සි වූ ප්‍රමාණයටම  හෝ ඊටත් වඩා මම සුරේඛා වෙනුවෙන් වෙහෙසුනෙමි.

එසේ වෙහෙසෙන අතර ඇය වෙත මගේ Favorite Book එකද ලබා දුන්නෙමි. ඒ  සමරු සටහනට වඩා වෙනත් අදහසක් එහි තබනු ඇතැයි  මහත් වූ බලාපොරොත්තු ඇතිවයි

කැමතිම පාට: රතු
කැමතිම ගීතය: යදමින් බැඳ විලංගු ලා..
කැමතිම ගායකයා: ගුණදාස කපුගේ
ප්‍රියතම ගායිකාව: නන්දා මාලිනි
වඩාත්ම ප්‍රිය කරන්නේ:  රටට දැයට හිත ඇති සිසුන්ට/ දේශ ප්‍රේමින්ට
වඩාත්ම අප්‍රිය කරන්නේ: පාවා දෙන්නන් , නිවටයන්.
ඉන්නට කැමතිම ස්ථානය: බිමිබිසාර විද්‍යාලය.

මේ සුරේඛා මගේ  "ප්‍රියතම පොතේ " තිබු සටහන් වලින් සමහරකි.  මේ පිළිතුරු බොහොමයක් සුගත් අනෙක් අයගේ සහ මගේ ප්‍රියතම පොතේ තබා තිබු සටහන් වලට බෙහෙවින් සමානය.

ඇයට දේශප්‍රේමින් මිසක් අප වැනි පොත් ගුල්ලන්ගෙන් වැඩක් නැති බව මා තේරුම් ගත්  අදහසයි.

වාසනාවකටදෝ  සුරේඛා ඇල්ලීමේ මෙහෙයුම ඊට වඩා ඉදිරියට ගෙන යන්නට මට අවශ්‍ය වුයේ නැත .

එසේ නොවුනේ නම් " සුගත් කට පාඩමින් කියවූ පංති තුන" කියවා මාද සුරංජිත් ගිය පාරේ යන්නට    ඉඩ තිබිණි.

මම චමින්දගේ "ප්‍රියතම පොතේ" තැබූ සටහන්  කිහිපයක් පහත දක්වමි.

ප්‍රියතම ගායකයා: මිල්ටන් මල්ලවආරච්චි
ප්‍රියතම ගීතය:  සිහිනෙන් ඔබ මට
ඉන්නට කැමතිම ස්ථානය: 30 ශ්‍රී 3869
වඩාත්ම ප්‍රිය කරන්නේ: උත්සහවන්තයින්ට
වඩාත්ම අප්‍රිය කරන්නේ: කම්මැලියන්, අවස්ථාවාදීන්.






චමින්දගේ ප්‍රියතම දේවල් කිහිපයක් මට මතක හැටියට මෙසේය.

ප්‍රියතම ගායකයා: මිල්ටන් මල්ලවආරච්චි
ප්‍රියතම ගීතය:  ඔරුවක පාවෙන
ප්‍රියතම නිළිය: සුසන්තා චන්ද්‍රමාලි.
ප්‍රියතම ටෙලි නාට්‍ය: දිමුතු මුතු
ප්‍රියතම නළුවා: ශ්‍රියන්ත මෙන්ඩිස්





අරුමයකි සීනි බනිස් නිසා අපි දෙදෙනාට වඩා සතුටින් විසු බණ්ඩා ප්‍රිය කලේ මොනවාට දැයි මට හරියට මතක නැත.

ඊලගට:  අසහාය නායකයා අප තිදෙනාට හමුවූ හැටි...







5 comments:

  1. මමත් හැමදාමත් මිල්ටන් රසිකයෙක්.

    ReplyDelete
  2. අපි තාමත් එහෙමයි. මගේ මෝටර් රථයේ වාදනය වන cd වලින් වැඩි හරියක් මිල්ටන් ගේ...

    ReplyDelete
  3. උසස් පෙළ ගණිත අංශයේ සුගත් ලාට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටි සිසු නායකයින් සිටි බව මතක් වුනා. ඒ අතර ප්‍රමුඛ චරිතයක් තමයි වැල්ලවායේ ජයරත්න. ඔහු ගැන වෙනම බ්ලොග් පොස්ටුවක් ලියන්න අදහස් කරනවා නුදුරේදීම... සමහර විට විජේවීර හමුවටත් පෙර විය හැකියි..

    ReplyDelete
  4. දේශප්‍රේමය යනු ප්‍රතිගාමී බැටලු හමකි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... අපි ඒ කාලේ ඔය ප්‍රේමයවල් මොකවත් දන්නේ නෑ.. ( පත්තරවල .. වෙබ් අඩවි වල පලවෙන වර්ගයේ දේශ ප්‍රේමයවල්..)

      දැනුත් එහෙමම තමයි.. රටට ජාතියට ආදරෙයි කියන එකට මගේ විග්‍රහය හරි වෙනස් එකක්...

      Delete