Follow by Email

Monday, 5 October 2015

ත්‍රි පුද්ගල කමිටුවට මුණගැසුණු අමුත්තා..


ඒ අසු නවය වසරේ මැද භාගයේ දිනයකි.  මේ දිනවල දිවයිනේ බොහෝ පාසැල් වල  වැඩ කෙරුනේ පළමු හා දෙවන කාල පරිච්චේද වල පමණි.

අනතුරුව එළඹෙන විවේක කාලයත් සමග විරෝධතා ව්‍යාපාර  ඇරඹීම එකල බහුලව සිදු වූ දෙයකි.

මේ කාලයේ කණ් ඩුල , ගාට්ටා, තිලාන් හේවගේ, හරීන් වැනි ඉගෙනිමටම කැපවූ අය පා සැල් ආවේ ඉතාම අඩුවෙනි.

ඒ දවසේ වැඩි කාලයක්ම සටන් පාඨ කියමින් ඉන්නට ඔවුන් කිසි කැමැත්තක් නොදැක්වූ බැවිනි.

නො එසේනම් ඔවුන්ගේ දෙමව්පියන්  රටේ සිදුවෙන දේවල් ගැනත් ළමයින් මේ අස්සේ පාසැල් යැවීමෙන් සිදුවිය හැකි අනතුරු ගැනත් විමසිල්ලෙන් සිටියා විය යුතුය.

ඒ කෙසේ වෙතත් චමින්ද, සුරාජ් සහ කවිඳු ත්‍රිත්වය මේ දිනවල නොවරදවාම පාසැල් ගිය පිරිසකි.

පාසැල් ගොස් අපි කරන්නේ පාරට බැස කෑ ගැසීම වුවත්,  එය නතර කරන්නට අපේ දෙමව්පියන් කිසිම උත්සහයක් ගත්තේ  නැති ගානය.

කොල්ලන් වූ අප පමණක් නම් කම් නැත.

සුජාතාවේ, කොන්වන්ට් එකේ මෙන්ම බිම්බිසාර විද්‍යාලයේ සහ අප විද්‍යාලයේ කෙල්ලන්ද වැඩි පිරිසක් නොවරදවා පාසැල් පැමිණි කාලයකි මේ.

 ඒ අනුඅව සීනි බනිස් , පුස් බනිස් සහ සුරේඛා යන නංගිලාද ඒ කාලේ අප මෙන්ම උනන්දුවෙන්  පාසැල් ගියහ.


දික්වැල්ලේ විජිත සිසු ඝාතනය සහ අරලගංවිල විරෝධය



මේ කියන දවසේද චමින්දත් , සුරාජ් සහ මමත් උදැසනින් පාසැල් ගියෙමු. ඒ වෙනදා මෙන්ම  බනිස් වර්ග දෙකත් සමග කෙරෙන උදාසන සාකච්චා සම්මන්ත්‍රණද  ආවරණ වන පරිද්දෙනි.

මේ දෙදෙනා පැමිණෙන්නේ බෙලගන්වැව බසයේ වුවද සුරේඛා අපට මුණ ගැසෙන්නේ හවස් වරුවේදිය.

ඒ  320  අම්පිටිය හෙවත්  30 ශ්‍රී 3869 බසයේදී පමණි. 

එම නිසා උදැසන කවිඳු කලබල අඩු  සිසුවෙකුගේ චරිතයට පණ පොවයි.

එහෙත් චමින්ද සහ සුරාජ් තොර තෝංචියක් නැතිව බනිස් නංගිලාට බන දෙසති.

එදා සුරාජ් සහ මම පාසලට පැමිණ ටික වෙලාවකින් ලැබුණු ආරංචියකි . 

" ඊයේ දික්වැල්ලේ විජිත මහා විද්‍යාලයේ විරෝධයට පොලීසියෙන් වෙඩි තියලා.. එක කොල්ලෙක් මැරිලා...අද ඉන්ටර්වල් එකට මේන් හෝල් එක ලඟට වරෙල්ලා." 

මේ ආරංචිය පැතිර වුයේ වැලි කන්දේ 79 කල්ලියේ සිටි තවත් සටන් කාමී සිසුවෙකු වූ කමල් විසිනි. 

උදේ පන්තියේ උගන්වන දේට සවන් දෙනවාට වඩා අප සාකච්චා කලේ විජිතයේ සිදුවුයේ කුමක්ද යන්නයි.

පාසැල පටන් ගෙන පැය එක හමාරක් ගතවී ඇත.

"ටිලින්.. ටිලින්.. ටිලින්.." ජේමිස් අය්යා බෙල් එක ගහන ශබ්දය ඇසීමත් සමගම අපි එලියට බැස්සෙමු.

13 සිටි ලොකු අය්යලා වූ අප මෙහි පෙරමුණ ගත යුතුය.  ක්‍රියාකාරී සිසුන්ගෙන් එදා ඉස්කෝලේ සිටියේ කමල් හා සුගත් පමණි. 

මෙයින් කමල් දිනයේ නායකයා ලෙස හැසිරුණ හැටි මට තාමත් මතකය. මුලින්ම 13 පන්තිවල අපි ප්‍රධාන ශාලාව අසලට ගියෙමු. 
එතන ටික වෙලාවක් ගත කිරීමෙන් පසු විදුහලේ අනෙක් සිසුන්ට මෙය දැන්වීම සිදු විය. 

ජේමිස් අය්යාගේ තඩි බෙල් එක  පඩිපෙළ මුදුනේ වූ පඩි ගැට්ටේ තිබේ.. 

අප අතර සිටි එක් අයෙක් සියලු වෙර යොදා බෙල් එකට පා පහරක් ගැසිය... 

දැන් බෙල් එක පඩි පෙළ පහලට පෙරලි පෙරලි යයි.   ටිලින්.. ටිලින් .. හඬ තුන්වරක් නොව පනස් වරක් පමණ ඇසෙද්දී ලොකු කුඩා සියලු සිසුන්  ප්‍රධාන ශාලාව ළඟ මිදුලට රොක් වුහ.

දැන් කමල් ඇතුළු නායකයින් සහ එයට සම්බන්ධ නැති උණ කාරයින්ගේ මග පෙන්වීම මත සිසු සිසුවියන් කොස්ගම- කණවැරැල්ල පාර දෙසට ඇදෙති.

අප දැන් සිටින්නේ කොස්ගම සමුපකාරයට මුහුණලා  විද්‍යාල භුමියේ තිබු ට්‍රාන්ස්පෝමරය ආසන්න උස්බිමෙහිය. 

සටන ආරම්භ විය. අපි අතට ලැබුණු සටන් පාඨ කියවන්නට පටන් ගතිමු. 

" අපිට  ඕනේ ආණ්ඩුවක්... දේශප්‍රේමී ආණ්ඩුවක්...

උතුර රකින ආණ්ඩුවක්... දකුණ රකින ආණ්ඩුවක්...

රට සුරකින ආණ්ඩුවක්..."

"අපිට එපා පාන්ඩුවක්...."

මේ අතර අරලගංවිල නගර සභාවෙහි පිහිටවා තිබු  හමුදා අනුඛණ්ඩයට  පණිවිඩය ලැබේ.

අප කෑ ගසනා අතර කොළ පාට තොප්පි පළඳින හමුදා සෙබළුන් රැගත් ටාටා වර්ගයේ ට්‍රක් රථයක් සමුපය අසලට ලඟා වෙයි.

කමල් ඇතුළු පිරිස විසින් අපට ලබා දුන් සටන් පාඨ හිටි හැටියේ වෙනස් වෙයි. 


"යුද සෙබළුනි මේ අහන්න... ඔබේ ආයුධ අපට දෙන්න ... අපි යන්නෙමු රට රකින්න..."


විරෝධය මෙසේ ගත වෙද්දී අප අතර සිටි තවත් උණ කාරයෙක් මෙවැනි යෝජනාවක් ගෙනාවේය.

"අපි  විජිතයේ සහෝදරයාට මෙහෙම විතරක්  ගරු කරලා මදි.. එයාගේ නමින් අපේ  ප්‍රධාන ශාලාව නම් කරමු "නිශාන්ත ජයවර්ධන  අනුස්මරණ ශාලාව කියලා.."

එය ඉදිරිපත් වුයේ සටනේ නියමුවෙකු වූ වැලිකන්දේ කමල් වෙතය..

"බෑ... බෑ... එහෙම කරන්න බෑ.. අපේ ඉස්කෝලේ සහෝදරයෙක් නැති වුනාම එයාගේ නම තියන්න එපැයි  මේන්හෝල් එකට "

කමල් ගත් කටටම කිවේය. 

එහෙනම් මේකයි මෙයාලගේ බලාපොරොත්තුව? 

කමල්ගේ පිළිතුරෙන් මගේ සටන් කාමී සිසුන් ගැන තිබු පිළිගැනීම සියට බර ගණනකින් පහල බැස්සා මතකය.

කණවැරැල්ල  බසයට ගල් ප්‍රහාර

මෙතෙක් පැවති විරෝධයන්ට වඩා අද තත්වය තරමක් දරුණු බවක් පෙනෙයි . ඒ පෙරමුණ ගත් කමල් නිසාදෝයි යම් සැකයක් මසිතට නැගුනා මතකය. 

විජිතයේ බිල්ලෙන් පසු දෙවැනි බිල්ල මෙහෙන් දෙන්න උවමනා ගතියක් ද තරමකට වගේ පෙන්නුම් කෙරිණි. 
සිංහ රෙජිමේන්තු නිල ඇඳුමට විරුද්ධ සටන් පාඨ ඇරඹින..

 " කොළ කොටියන් අපට එපා .. මිනී මරුවෝ අපට එපා.."  හඬ ඇසෙන්න්නේ කාන්තා පර්ශ්වයෙනි.

තරුණ වියේ මෙන් පසු වූ සමහර සෙබළුන්.. නංගි..... අපි කොළ කොටි නෙවෙයි ...මේක අපේ යුනිෆෝර්ම් එක..කියමින් කියනු අපට ඇසේ .

මේ අතර අරලගංවිල සිට කනවරැල්ල දක්වා යන 325 බසයක් කන්ද නගිනු ඇසේ.. අපේ ශබ්දය තවත් වැඩි වෙයි. බසයේ රියදුරා තට්ට ප්‍රේමේය..

දඩාන්.. කවුදෝ කොල්ලෙක්  විසි කල ගලක් ප්‍රේමේ ගේ බසයේ වැදිණි. කඩි ගුලක් මෙන් ඇවිස්සුනු  අනෙක් සිසුන් ගල් වරුසාවක් බසය දෙසට එල්ල කළහ...

ප්‍රේමේ ගල් පහර කාගෙන බසය ඉදිරියට ධාවනය කරන්නට ඇත.

විරෝධය නිසා පාසැල වෙලසනින්  හමාර විය. කොලපාට හමුදාව තවමත් සමුපකාරය අසල රැකවල් ලා සිටිති.

අපි කිසි වැරද්දක් නොකළ උපාසකයින් ලෙස නිවෙස් බලා පිටත් වූයෙමු.  එදින හවස කවුරුන් අතුරුදහන් වේදෝයි යන බිය හැමෝගෙම සිත් තුල පවතින්නට ඇත. 

ඇත්තටම කිව්වොත් මේ අපේ විදුහලේ සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබු කාලයකි.

බස් වර්ජන සහ රෝහල් වර්ජන.



පසුදාට පහන් විය. ගුවන් විදුලියෙන් හෝ අපේ අය්යා අහන  පිලිපීනයේ මැනිලා ගුවන් විදුලි සේවයෙන් හෝ අරලගංවිල සිදු වූ කිසිවක් ගැන වාර්තා වුයේ නැත.

සුරාජ්, චමින්ද හා මා සුදෝ සුදු ඇඳුමින් සැරසී පාසැල් යන්නට පැමිණියෙමු. මල් ගහ ලඟට වී සෑහෙන වෙලාවක් සිටියද බසයක් එන ලකුණක්  නැත.

"මචන්ලා.. මොකද කරන්නේ ? ගෙදර යමුද?  පයින් යනවද? මම ඇසුවෙමි... 

ගෙදර යන්න? පිස්සුද උඹට?... "බනිස්ලා එහෙම කපාගෙන" ටවුමට යන්න ඕනා මටනම් " ගෝරනාඩුව  බණ්ඩා ගෙනි.

"ඔන්න ඔහේ පයින් යමු මචෝ...චමින්දටත් ලෙස්ලන්ඩ් හන්දිය සිහි වී තිබේ.බනිස්ලානම් පයින් යයි. ඒත් හැතැක්ම හත අටක දුරක් පයින් එන්න සුරේඛා එයිද? 

අවසානයේ ත්‍රි පුද්ගල කමිටුව තීරණය කලේ සැතපුම් පහක් වූ දුර ගෙවා පාසැල වෙත පයින් යන්නටයි.

සුජාතාවට යන රන්දිලා, බනිස්ලා මෙන්ම තවත් බොහෝ සිසුවියන් අප හා සමගාමිව අරලගංවිල දෙසට පයින්ම ගමන් කළහ.

බණ්ඩාගේ භාෂාවෙන් කිව්වොත් අපි "කට්ටිය කපාගෙන" ඉස්කෝලේ ගියෙමු. බස් නැති වුවද සෑහෙන පිරිසක් පාසලට පැමිණ සිටියහ. 

එදා චමින්දත්  යෝධ ඇලට නොයා අපිත් සමගම අපේ ඉස්කෝලේ පැත්තට ආවේය.  විරෝධතා නිසා ඉස්කෝලේ එන්නේ කවුද නැත්තේ කවුද කියා සොයන්නට කෙනෙක් නැ ත.

පුරුදු පරිදි දවසේ පැය කිහිපයක් ශබ්ධ පුජා පවත්වනු ලැබිය. 

අවසානයේ වෙහෙසට පත්ව නැවතත් අරලගංවිල සිට සිරිමල්වත්ත දෙසට පයින්ම ගමන් කළෙමු.

අනෙක් සිසුන් ගැන මට මතකයක් නැත . අප තිදෙනා  නැවතත්  ගමන් කලේ  බනිස් , පුස් බනිස්, සුරේඛා ආදී සිසුවියන්ට අතේ දුරිනි  

" අපි කපාගෙන යන ගමන්" නිවෙස්  බලා යමින් සිටියෙමු.  

කෙල්ලෝ ටික අපට ඉදිරියෙන් ගමන් කරති. 

පාරේ එතරම් වාහන දක්නට නොමැති බැවින් අප ගමන් කලේ පාර පුරාමය. 

අප හෙලමුදුනේ මහා වංගුව පසු කළා පමණි.  සුදු පැහැති මෝටර් රථයක් ( ලාන්සර් වැගන් වර්ගයේ) අප පසු කර ගොස් නතර කළේය.

කෙළිදෙලෙන් පාරේ ගියද ඒ කාලේ සිදුවූ අමිහිරි සිදුවීම්  අප හොඳින් දැන සිටියෙමු.  " 

කොළ කොටි .. කළු බළල්ලු.. කහ බළල්ලු... ප්‍රා... ආදී මෙකි නොකී සංවිධාන සියල්ල මගේ සිහියට නැගේ..
බනිස්ලා.. සුරාජ්ලා ඇතුළු අපි හැමෝගෙම අවසානය අද වීමටද බැරි නැත.

අපි බිය සැක හා සන්ත්‍රාශයෙන් යුතුව  මෝටර් රථය දෙස බලා සිටියෙමු.

කාරයේ දකුණු පස දොර ඇරිණි. 

ක්‍රීම් පැහැති යුරෝපිය ඇඳුමින් සැරසුන  හොඳින් රැවුල කපා සිටි මහත්මයෙක් කාරයෙන් බැස්සේය.

අනතුරුව ඔහු චමින්ද , සුරාජ් සහ මා වෙත කෙලින්ම පැමිණියේය.

ඒ කාරයේ පැමිණ සිටියේ  ඔහු පමණි.  

මල්ලිලා කොහොමද?  කොහාටද යන්නේ..?

"සිරිමල්වත්තට" චමින්දයා පැනලා දුන්නේය..

  පයින් යන්න අමාරුයි නේද  ? එන්න යමු මාත් එක්ක . මම සිරිමල්වත්ත පහු කරලා යනවා.

" මේ යකාට පිස්සුද මචං... අන් සැපතට ඉර්ෂ්‍යා කරන්නේ..? "  බණ්ඩා කුටු කුටු ගා මගේ කනට කර මුමුනයි.

මේ අතර චමින්දයා   අමුත්තා සමග හරි හරියට කතාවකය.  

මේ වෙලාවේ සක්‍රයා මාතලී සමග ආවත් අපි වාහනයට නග්ගනවා බොරු.

" කමක් නෑ  අංකල් යන්න... අපි හෙමිහිට පයින් එන්නං...."

අපි තුන්දෙනා  ඉතා නිහතමානිව ඒ මහත්මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමු. 

කොල්ලෝ ගමනට එකතු නොවන බව දැනගත් කාර් මහත්තයා අප ගෙන් සමුගෙන යන්න ගියේය..

" කවුද බන් ඒ..? උඹට නම් මිනිහා ටිකක් හුරු පාටයි..?" 

මම චමින්දගෙන් ඇසුවෙමි..

ආ.. ඔය දොළුවේ පැත්තේ තේ වත්තක ඉන්න මහත්තයෙක් නේ බන්.. පොර අපේ කඩෙන් බඩු අරන් යනවා වෙලාවකට..

අත්තනායකද කොහෙද මෑන්ගේ නම.. චමින්දයා මට කරුණු පැහැදිලි කළේය.

මම සිද්ධිය සැනෙකින් අමතක  කලෙමි.

එහෙත්  ඒ 1989 නොවැම්බර් දහතුන්වෙනිදා වෙන තෙක් පමණි.

නොවැම්බර් 12 රාත්‍රී  රජයේ රූපවාහිනියෙන්  ඒ මහත්මාගේ මුහුණ නැවතත් දැක්කෙමි.

එදා අපට ලිෆ්ට් එකක් දෙන්න හැදුවේ  දොළුවේ තේ වත්තක සිටි "අත්තනායක මහත්තයා" විසිනි  . 

ඔහු අන් කිසිවෙක් නොව   කමල්ලගේ බොස් නොහොත් රෝහණ විජේවීර සහෝදරයාය. 




34 comments:

  1. your parents did not done sin done. So you did not enter that vehicle.

    ReplyDelete
    Replies
    1. thanks machan... not sure about the sins/ good deeds of our parents. We and all the friends/relatives and innocent people in our area are lucky enough to see all of us alive today.
      at least you guys are lucky to read these memories of ours ...unfortunately.. we have lots and lots of sad stories around our A/L time.

      Delete
  2. තනියම යන එකේ අවදානම පහකරගන්න කතා කලා වෙන්නත් බැරි නැ

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑ නේන්නම් .. එහෙම වෙන්න ඉඩ තියෙනවා...

      Delete
  3. දේශප්‍රේමය යනු අති ප්‍රතිගාමී භයානක බැටලු හමකි.

    ReplyDelete
    Replies
    1. ඔවු .. ඔවු... ඔය බැටළුහම පොරවාගත්තු බොහෝ දෙනෙක් ළඟ සැබෑ මානව ප්‍රේමය... මානව දයාව කියන එක ගෑවිලා වත් නෑ... මගේ පිළිගැනීමේ හැටියට නම් සැබෑ දේශප්‍රේමියා දේශයේ වසන සෑම ජාතියකම, තරාතිරමකම මානවයින්ට ප්‍රේම කරන්නෙක් විය යුතුයි මුලින්ම...

      Delete
  4. මචං, ගෙවල් කොහේද???

    ReplyDelete
  5. දැන් ගෙවල් නම් ඕස්ට්‍රේලියාවේ.... ඔය කතා ලියන කාලේ අපි හිටියේ අරලන්ගන්විලත් - දොලුවත් අතර ප්‍රදේශයක ( හැබැයි මචං .. මේ ගම් දෙකම මනක්කල්පිත ගම් දෙකක්.)
    ඔබ මේ කියන අතීතය හොඳින් දන්නා කෙනෙක් නම් අපේ ගෙවල් තිබුණ පැත්ත අනුමාන කර ගත හැකි වේවි... ඒ කෙසේ වෙතත් අපේ කතා රසවින්දනය කරනවා ඇසීම සතුටක්....
    ඔබ වත්මන් යාපනය විශ්ව විද්‍යාල සිස්යයෙක් වගෙයි පෙනෙනෙන්නේ එසේනම් මේ අපි කියන්නේ අවුරුදු 25 කට් උඩදී සිදු වූ දේවල්...
    ඔන්න මන් චතුරංග ව මගේ බ්ලොග් රෝල්ට දාගත්තා..

    ReplyDelete
  6. "කමක් නෑ අංකල් යන්න.. අපි හෙමිහිට පයින් එන්නං.." සදාකල් මතකයේ රැඳෙන " රෝහණ විජේවීර වැනි කෙනෙකුට මෙහෙම කියන්න ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද?

    ReplyDelete
    Replies
    1. සහෝදරයා කියන්නේ නැතිව අන්කල් කියපු නිසා ...එයා බලයට ආවානම් උඹලගේ අවසානේ එදාමයි.....(JOKE)......

      Delete
  7. ඒක තමයි මට පැටලුනේ.. ඒ පැත්ත දන්නේ නැති වුණාට ගම් ටිකේ නම් දන්නවා... මුලින් මම හිතුවේ පොලොන්නරුව පැත්තේ කියලා... පස්සෙ අම්පිටියක්, දික්වැල්ලක්, කණවැරැල්ලක්, ඇවිත් තිබුණා...
    \\ අවසානයේ වෙහෙසට පත්ව නැවතත් අරලගංවිල සිට සිරිමල්වත්ත දෙසට පයින්ම ගමන් කළෙමු.\\
    මේක දකින කොට හිතුණේ අරලගංවිල ක් නුවර පැත්තේ ඇති මම දන්නේ නැති වුණාට කියලා...
    මොකද, අම්පිටිය සිරිමල්වත්ත තියෙන්නේ නුවර කියලා විශ්වාසයි නේ...
    අපරාදේ ගම් වල නම් වෙනුවට ****** වලින් දාලා අන්තිම අකුරු විතරක් දාන්න තිබුණේ... (උදාහරණයක් විදිහට උලපනේ = **පනේ වගේ...)

    ReplyDelete
    Replies
    1. දොළුව= .... ළුව ඔබ කිව්වා වගේම. මගේ බ්ලොග් පොස්ට් ටිකක් කියවන විට ඔබට රටාව අහුවෙයි. සමහරක් නම් ගම් සත්‍ය ඒවා උදාහරනයක් ලෙස දිකවැල්ලේ විජිත මදය මහා විද්‍යාලය සහ මියගිය සිසුවා..

      Delete
  8. මේවා සත්‍ය සිදු වීම් නිසා නම් ගම් මෙහෙම තියන්න හිතුවා.. හැබැයි පරිස්සමින් බැලුවොත් ඒවා rhyme වෙන නම් .. අරලගන්විල අහඹු ලෙස යොදාගත් නමක්... අනික් නම් බොහොමයක් rhyme වෙනවා පුද්ගල නාමත් ඇතුළුව..

    ReplyDelete
  9. this blog is so good.I am a student of Aralaganvila Central from grade 1 to 13. I attended Mahathma Gandhi Primary on 1994 and completed my school at 2007.now i am a preintern doctor awaiting internship. Really like your Blog.Keep it up.....By the way if you know any stories about Our beloved teachers who were in bio section for long like IV Edirisuriya (Chemistry), Ariyapala Sir, Punchihewa Sir Please write them too...

    ReplyDelete
  10. we do have Aariyapala and punchiheva stories.. both are some mischievous acts we did with them ... we called Mr . Ariayapaala the name Zoopaala not sure whether you guys use the same name.. I heard that he passed away sadly.. is that correct.. wish you good luck with intern-ship and rest of your medical career.. read our stories about several big and also good names who are proud products of "Aralaganwila central".. nice to have met you here.. good luck Putha..

    ReplyDelete
    Replies
    1. Thank you very much. sir.....Yes Ariyapala Sir has passed away few years back.In his last days I went to see him at Diyathalawa hospital.He was really happy about all his Golays speciall doctors....I think sir has passed away happily and peacefully.I still can remember his smiling face at hospital eventhough he had severe ascites..Yes we too used zoopala to sir eventhough we did biology (Together botany and zoology)
      Punchihewa sir became the section head after Dharmasiri sir(Who taught maths for A/Ls - famous as Dadoriya)..then Punchihewa sir too was retired and sir is currently living in his own home which is situated near Tanthiriya...
      please write the stories about them and I too have hundreds of stories as 'Aralaganwila central' is my second mother from grade 1 to 13... hope to read new stories soonnn...thank you..

      Delete
    2. You are wrong mallie. Mr. Darmasiri is called අප්පච්චි. in our days 1989 A/L he was really අප්පච්චි.

      Delete
  11. Mr Wijeweera was staying in a tea state,I think st claire Neluwa before he went to Ulapane where he was arrested..His name was Mr Attanayake and his car became famous as Attanayake model..it was a legend that large amount of gold was buried in that estate bunglow. recently there was a robbery and when police came they found a big hole in kitchen of that bunglow...so legends may be true.....

    ReplyDelete
  12. Yes ... Lancer wagon became famous as Attanayake model just like the specific Toyota hiase van Became Rukmanie model after Rukmanie Devi' s accident. I have been to Neluwa bungalow and heard about the stories of gold... We unfortunetly lost lot of gold from Aralganwila central during that time... They were priceless golds ... You would have seen many more doctors and engineers .. If we did not lose those ," Aralganwila central gold,,"

    ReplyDelete
    Replies
    1. Not heard any thing about lost "Gold" except teachers had to guard old chemistry lab. Past/History is a great book to learn lesson.so Kavindu please write about that too

      Delete
  13. ....බස් එකට ගල් ගහපු දවසෙන් පසුව මම ආපසු ඉස්කෝලේ ගියේ 1989 ජනවාරි වල. අපි සමග හිටපු ගොඩක් අය destructive වැඩ වලට කැමති නැහැ. අපි ගොඩක් අය මම වගේම ආපසු ඉස්කෝලේ ගියේ 1989 ජනවාරි වල. මට මතකයි ගොඩක් දෙනෙක් බස් වලට ගල් ගහපු එකට විරුද්ද උනා. ඒ උනත් මට නම මටක නැහැ 1988 දී 12 වසරේ හිටපු NIC Name එක හිනාපුකා කියුවා ජුන්ටෝ යන Pajero වලට ගල් ගැහුවාට කමන් නැහැ කියලා. 1995 දී විතර මට හිනාපුකා නුවර යන බස් එකේදී තවලන් තැන්නේ තේ බොනකොට හම්බ උනා. එම හමුවීම මට සතුටට කරුණක් උනේ ඒ කාලයේදී එයාට ජීවිත අනුතුරක් නොවූ නිසා.

    ReplyDelete
  14. ඇත්ත.. එදා තමයි මටත් අපේ වීරයෝ ගැන කලකිරීමක් ඇති වුනේ.. HP එහෙම කිව්වද? HP දැන් වැඩි පුර හිටපු රජතුමා ගැන තමයි කියවන්නේ.. ඒත් HP හරි හොඳ එකා..

    ReplyDelete
  15. හැබැයි අපිනම් දිගටම ඉස්කෝලේ ගියා.. මතකයි තරකයි මමයි පෙළපාලියක පලවෙනියටම ගියා . පළමුව මව්බිම... දෙවනුව ඉගෙනුම කියලා බැනර් එකත් අල්ලන්.. ඒක ලිව්වේ බොට්ටා..

    ReplyDelete
  16. බලාගෙන යනකොට අපි දෙන්නටම තියෙන්නේ සමකාලීන අත්දැකීම්. තංගල්ලේ විජිතේ සිසු ඝාතනය ගැන මමත් පොස්ට් එකක් ලිව්වා.

    පිලිපීන රේඩියෝව වෙරිටාස්. ඒ එක්කම චීන ගුවන්විදුලිය අහන්න ඇති මතකද නිතරම නැව් හෝන් සද්ද ඇහෙනවා. ඒක නැවක ඉඳලා දෙන එකක් කියලා අපේ විශ්වාසය තිබුණේ. බී.බී.සී. සංදේශයත් ඒ කාලේ ජනප්‍රිය වැඩසටහනක්. මොකද ඇත්ත ගණන් මිනුම් ගැන දැනගන්න ලැබුණේ මේවායින්.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ පොස්ට් එකේ තියෙනවා තංගල්ලේ සිසු ඝාතනය කාලේ අත්දැකීම්

      Delete
    2. කියෙව්වා.. මේ පැත්තේ ආවට ස්තුතියි. මගේ සුරංජිත් ගැන ලියපු දිග පොස්ට් එක බලන්න..

      Delete
  17. අපිත් ඒ කාලේ වෙරිටාස්,චීන ගුවන්විදිලිය, මොස්කව් පුවත්,සමස්ත ඉන්දීය ගුවන් විදුලිය අසුව..... ඒ වගේම එල්.ටී.ටී.ඊ. සිංහල විකාශයකුත් රණ හඬ කියලා ජේ.වී.පී. සේවයකුත් තිබුණා... අපි කෙටි තරංග වලින් බොහොම අමාරුවෙන් ඒවා ඇසුවේ..... 94 වෙනකල්ම බේ.බේ.සී. ඇසුවේ කෙටි තරංග වලින්.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි. ඔව් . ඔව් .. මට මතකයි ඒ කාලේ අපේ අය්යා .. දැන් අපි ඉන්න රටේ ස්පෙෂලිස්ට් කෙනෙක් ( මට මහප්‍රාණ අකුරු නෑ දොස්තර වර්ගේ හරියට ලියන්න) චුරු . චුරු ගගා කෙටි තරංග අල්ල ගන්න දඟලනවා වෙරිටාස් , බී. බී. සි . එහෙම අහන්න..

      Delete
  18. අපි රත්නපුරේ කුරුවිට. පත්මසිරි ත්‍රිමාවිතාරණ ,ඩී.බී.බන්දුවර්ධන,(අනිත් කෙනා රෝහණ පත්මසිරි වගේ නමක්) රත්නපුරේදී පැහැරගෙන ගිහින් කනේ ඇණ ගහල පුච්චලා මරල වැල්ලවායේ සුසන්ත පුන්චිනිලමෙලගේ වත්තේ වල දාල තිබුන..... රත්නපුරේ නන්ද එල්ලාවල (නන්ද අප්පෝ) ඒ මිනීමරුම ගැන පරීක්ෂණ කරන්න ආණ්ඩුවට බල කළා.... අපේ ගෙවල් ළඟ තමයි ඩී.බී. බන්දුවර්ධන්ගේ ගේ තිබුනේ.... කොළඹ ඉදං බන්දුගේ මිනිය ගෙනාවේ හෙලිකොප්ටරේ අපි ඇහැලියගොඩ කුරුවිට අතර පුස්සැල්ලේ ඉදං බන්දුගේ ගෙදරට පෙළපාලියේ ගියා....මට මතකයි කියපු සටන් පාඨ ජේ.ආර්. ව ගෙනල්ලා..... අර හන්දියේ තියාලා.... වංගෙඩියට දමාලා.... මෝල් ගහෙන් කොටාලා.... උගේ ඉස්ම අරගෙන අපි .... හදනවා හොද ආණ්ඩුවක් .....දේශප්‍රේමී ආණ්ඩුවක්...... එතකොට මම 9 වසරේ

    ReplyDelete
    Replies
    1. දැන් පුංචි නිලමේ මහත්තයා " රට බේරා ගැනීමේ " ගොඩේ ඉන්නවා වත් ද මන්දා..???
      දයිවය අපේ රට වැසියන්ට සරදම් කරනවා වගේ නේද?

      Delete
    2. අපි මේ වෙනකොට 13 වසරේ. උසස් පෙළ කරන්න ඔන්න මෙන්න...

      Delete
  19. ඒ කාලේ තමයි කාලේ.කොළඹට කිරි අපිට කැකිරි.

    ReplyDelete
    Replies
    1. ඇයි කොළඹ බනිස්.... අපට ෆ්හනිෂ්...!!!

      Delete
  20. මමත් 'අරලගංවිල' ම.ම.වි. තමයි, හැබැයි දෙදාස් මුල ගණන්වල අවුට් වුනේ. මේ බ්ලොග් එක කියවන ඇත්ත 'අරලගංවිල' එවුන්ට පිස්සු හැදෙනවා ලොකේෂන් මැප් කරගනිද්දි! ඒ වගේම රසයටත් පොඩි බාධාවක් වෙනවද මන්දා..

    මට වයස 3-4 විතර කාලෙක අත්තනායක මහත්තයා අපේ අම්මයි මාවයි දාගෙන ඇවිත් තියෙනවා කාර් එකේ, අම්මා එතකොට මල්ලි හම්බවෙන්න pregnant, ගිනි අව්වෙ බස් නැතුව 'දොළුව' පාරේ පයින් එනකොට නවත්තලා දාගෙන ආවේ. පස්සෙ තමයි දැනගෙන තියෙන්නේ විස්තර..
    තාත්තා පස්සෙ කාලෙක කියන විදියට ගමේ මිනිස්සුන්ට කරදර වලදී සෑහෙන්න උදව් එහෙම කරපු පාඩුවේ හිටපු මනුස්සයෙක්.

    ReplyDelete