Follow by Email

Tuesday, 24 November 2015

බ්ලැක් නයිට් සහ බ්ලැක් ඇන්ඩ් වයිට් ..




අද  මට නිවාඩු දවසකි.  පහු ගිය දවස් වල උදේ පාන්දරින්  ගෙදරින් පිටත් වූ නිසා  සුපුන් පාසැල් පිටත් වන මොහොතේ ගෙදර හිටියේ නැති තරම්ය.

පුරුදු පරිදි  කාර්යාල කාමරයට වී  බෙඩ් ටී එක ලැබෙන තෙක් සිටියෙමි.

උදේ පාන්දර  කුස්සිය පැත්තෙන් කාල ගෝට්ටියක් ඇසේ..

" මේ මොකද ඔළුව පුරා ක්‍රීම් නාලා "  "ඒයි කවිඳු  මේ බලන්නකෝ මෙයා .. " නිම්මිගේ හඬින්  පරිගණකයෙන් ඈත් වුනෙමි.

දැන් අවුරුදු දොළහ සපිරෙන  සුපුන්  " මොඩ්" කරන්නට  පටන්ගෙන තිබෙන්නේ  මුහුණේ ගාන්න ගෙනා ක්‍රීම් යොදා කොණ්ඩා මෝස්තරයක් දැමීමෙනි.

නිම්මි අද කඩේ ගිහින් සුපුන්ට ඉස්තරම් වර්ගයේ හෙයා ජෙල් එකක් ගෙනෙනු ඇත.

එහෙත්  අද සුපුන්ලා අම්මලාට මෙන් කියන පමාවෙන් දේවල් ගෙනත් දෙන්න අපේ අම්මලාට  හැකියාවක් තිබුණේ නැත.

අපි කුඩා කාලේ  සමාන සිදුවීම් මීට වඩා තරමක් වෙනස් ආකාරයක් ගත්තේ ඒ නිසාය.

" පුතා ඉස්සර තාත්තත් ඔය වගේ වැඩ කරනවා.. " මම අතීත කතාව සුපුන්ට සහ නිම්මිට කියන්න තීරණය කලෙමි.

උදේ පාන්දර සිදු වූ  අම්මලා පුතාලගේ ආරෝවත්  සමගම  මගේ සිත වේගයෙන් ඇදී ගියේ  මල්දෙණියේ අපේ නිවස වෙතයි.


බ්ලැක් නයිට් හෙයා ජෙල්...



ඒ නමසිය අසු ගණන් වල මුල් භාගයයි. ඒ කාලේ අපේ තාත්තා පසු කරමින් සිටියේ මගේ වර්තමාන වයසට සමාන වයසකි.

අප මෙන් (දැකුම්) කළු පෙනුමකින් හෙබි ඔහු ඒ වන විට පස් දරු පියෙකි.

එවකට    මැදි වයසේ තරුණයෙක් වු නාමරත්න  ක්ලාක් මහත්තයා සෑහෙන්න  මෝස්තරයට බර කෙනෙකි.

වැඩට යන්නට පෙර කණ්නාඩිය ළඟ සෑහෙන වෙලාවක් ගත කිරීම ඔහුගේ දිනචරියාවේ කොටසක් වී තිබිණි.

හොඳින් රැවුල බා තොල් දෙකට උඩින් ගිණි කූරූ කට් එකක් ඉතිරි කර තැබීම ඔහුගේ සිරිතයි.

රැවුල කැපීමෙන් අනතුරුව මුහුණේ ක්‍රීම් සහ පවුඩර් ආලේප කිරීමද සිදුවේ.

ඔහු ඒ කාලේ පාවිච්චි කල රුපලාවන්‍ය කළමණා අතර තිබුණු  තවත් වැදගත් දෙයක් වුයේ බ්ලැක් නයිට් හෙයා ක්‍රීම්/ජෙල් එකයි.

හොඳින් හෙයා ක්‍රීම් ආලේප කර තම හිසකෙස් සකසන ඔහු ලොකු "බම්ප් " එකක් සහිත කොණ්ඩ මෝස්තරයක් දමන්නට පුරුදු වී සිටියේය..

කවිඳුගේ කොණ්ඩා මෝස්‌තර


මේ වන විට මා සිටියේ අරලගන්විල කනිස්ටයේ ( දැන් බිම්බිසාර මහා විද්‍යාලයේ ) හතර නෙළුම් පංතියේය.

ඒ කාලේ පන්තියේ සිටි හොඳම මොඩ් කරන්නන් වුයේ දඹේතැන්නේ  ප්‍රියංක , "අරලගංවිල " නිමාලි ගෙස්ට් හවුස් එකේ දිලිත් වැනි යයි.

මොවුන් දෙදෙනාගේම  කොණ්ඩා ඉස්සරහට රැල්ලක් එන ලෙස සකස් කල තරමක් කැරලි ගැසුණු ඒවා විය.

ඒ කාලේ කවිඳුගේ හිස කේස් ඉත්තෑ කූරු මෙන් ඉහලට එසවී තිබුණේ අපේ "වන්නියා" ගේ  කූරු කොණ්ඩෙට පමණක් දෙවැනි වන පරිද්දෙනි.

මම ප්‍රියංක ලාගේ උපදෙස් මත එක එක රුපලාවන්‍ය ක්‍රම අත්හදා බැලු සැටි තාමත් මතකය.

ඉන් එකක් වුයේ අම්මලාට හොරෙන් උදේ පාන්දරම ජේන් අක්කලා ගෙවල් ළඟ  ලිඳට ගිය ගමනයි.

ගෙදරින් බිත්ත්රයක්ද රැගෙන ගිය ඒ ගමනේ අභිලාෂය වුයේ බිත්තර සාරු ගල්වා හිස සෝදා ගැනීමයි.

එමෙන්ම වරක් මගේ කොන්ඩේ ගැන කතා කරද්දී ප්‍රියංකයා දුන් උපදෙස් කිහිපයකි.

" මචං කවිඳු .. උඹ කොහෙන්ද කොන්ඩේ කපන්නේ.. ?"

"අරලගංවිල අලුත් සුපර් මාර්කට් එකෙන් "

"ඉතින් ඊළඟ පාර ගියාම බාබර්ට කියපන් සැගී කට් එකක් කරන්න කියලා.."

කල්ලියේ සිටි තවකෙකු වූ සනත් කිවේ " එක්කෝ තට්ටේ ගෑවා නම් හරි .. ඊළඟ පාර කොන්ඩේ ක්‍රේල් වෙලා එනවා" යනුවෙනි.

මේ සාකච්චා  වලින් පසු තාත්තා මාව බාබර් සාප්පුවට අරන් ගියේ ඉරිදා උදසනකයි.

" බබා කොහොමද කොන්ඩේ කපන්නේ..?"

"සැගී  කපන්න .. "

බාබර් ගේ ඇස් උඩ ගියේය.. ඔහු තාත්තට ඉඟියක් ද කළා මතකය.

එදා කොන්ඩේ කැපුනේ ද වෙනදා පුරුදු ආකාරයටමය.


මෙසේ කොන්ඩේ හදා ගන්නට වෙහෙසෙමින් සිටි මට  මට තාත්තගේ හෙයා ක්‍රීම් එක හොඳ  රුපලාවන්‍ය මෙවලමක් විය.

සාමානයෙන් උදෑසන පාසැල් යන්නට සැරසෙන මා තාත්තගේ කාමරයට එබීම පුරුද්දක් කරගෙන සිටියෙමි.

තාත්තගේ සාක්කුවෙන් සත විසි පහේ , පනහේ කාසි කිහිපයක් මාටියා ගැසීම  එහි ප්‍රධාන අරමුණයි.

තාත්තාගේ රුපලාවන්‍ය වැඩ ගැන උනන්දුවෙන් සිටි මා හට හෙයා ක්‍රීම් පාවිච්චියට දොළදුකක් ඇති වුයේ මේ අතරය.

පුරුදු පරිදි එදා උදැසනත්  තාත්තගේ කාමරයට රිංගුවෙමි.   එදා මට අවශ්‍ය වුයේ මාරු කාසි නොව ඔහුගේ හෙයා ක්‍රීම් එකයි.

වට පිට බලමින් කාමරයට ගිය මා ඩප්පිය ඇර ක්‍රීම් තලියක් ගත්තෙමි.

ලහි ලහියේ කන්නාඩිය ලඟට ගොස් ක්‍රීම් අතුල්ලා හිසකේ සැකසිම ඇරඹුවෙමි.

 ඒ කාලේ මගේ හිසකෙස් තිබුණේ ඉත්තෑ කූරු ගොඩක් එකට තැබුවා මෙනි. වැඩේ ලේසි පහසු එකක් නොවුයේ  ඒ බැවිනි.

 කොන්ඩේ හද හදා ඉන්න වෙලාවක් නැත.

" චුටි පුතා උඹ අද ඉස්කෝලේ යන්නේ නැද්ද.. ? පරක්කු වෙනවා "  අම්මා සිය හඬ අවදි කළාය.

"හරි හරි .. මම යන්න ලැහැස්තියි..."

මම හැල්මේ දුව ගියේ  සිරිමල්වත්තෙන් පාසැල් බසයක්  අල්ලා ගන්නා අදහසිනි.

පාසල් බසය මතක හැටියට 29 ශ්‍රී 1984 පල්ලෙවෙල  බස් රථයයි..  උදේ හත පමණ වී ඇති නිසා බසයේ සෙනග ද තරමක් වැඩිය.

"හා.. හා.. ඔය ළමයා පස්සට යනවා.."

කුඩා මම බසයේ මැද හරියට ගියේ  කොන්දා පස්සට යන්න කියමින් කෑ ගැසූ නිසාය.

අවාසනාවකට මට යන්නට සිදු වුයේ බ/සාන්ත පීතර විද්‍යාලයට යන ලොකු අය්යලා ගොඩක් ළඟටයි..

අප මෙන් නිල් පාට කොට කලිසම් නොව සුදු දිග කලිසම් හැඳ සිටි ඔවුන් එම විද්‍යාලයේ උසස් පෙළ පංති වල සිටි  අය වුහ.

ලොකු කොල්ලෝ හතර පස් දෙනා ඔවුන්ගේ වල් පල් කතා කරමින් බසයේ ගමන් කළහ.

මේ අය අතර සිටි පනංගල  පැත්තේ ඉඳලා එන "ජා" අය්යා කෙනෙකී.

ඔහුගේ නම මට නිච්චියක් නැති වුවත් මුහුණුවර තාමත් මතකය.

මේ "ජා" අය්යා මම හිතන  හැටියට  අපේ පාසැල් බසයේ හිතවතෙක් වූ ඇලන් පකීර් ගේ  අය්යා කෙනෙක්  විය හැකිය.

ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි  "ජා " යන වචනයෙන් හඳුන් වන්නේ මැලේ ජාතිකයින්ය.

ඔවුන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් වරුන් ගෙන් කොටසකි.

ඒ කාලේ අපේ ගෙවල් පැත්තේද මෙවැනි ජා පවුල් කිහිපයක් වාසය කළහ.

ඔවුන්ට තිබුණේ අපට මෙන්  අඳුරු පැහැති සමක් නොව  යුරෝපීයයන්ට මෙන් වූ පැහැපත් සමකි.

වෙනත් අයුරකින් කියනවනම් බ්ලැක් නයිට් ක්‍රීම් ගා මම ගිය පාසැල් බසයේ  කළු  අපි මෙන්ම සුදු "ජා " අය්යලාද  ගමන් කළහ.

"ඒක නෙවෙයි මොකක්ද මේ සුවඳ ?"  කොල්ලෝ කල්ලියේ එකෙක් ඇසුවේ මා අසලම  සිටගෙන සිටිනා අතරය.

"මචං  .. මාර ඕඩිකොලොන්  ගඳක්  එනවා.."  " මෙන්න මේ පැත්තෙන් එන්නේ බන් " අර  ජා අය්යා එක් වරම හුස්.. හුස්.. ගාමින් යමක් ඉව කරන්නට විය..

මා සිතුවේ මේ අය බසයේ සිටි වෙනත් අයෙකු ගැන කතා  කරනවා ඇති කියාය.  මම හිමිහිට හැරී බැලුවෙමි.

මගේ අදහස වැරදිය. ජා අය්යා  ඔඩිකොලෝන් ගඳ එනවා කියමින්  බලන්නේ මගේ හිස දෙසය.

 ඔහු තමාට වඩා උසින් අඩු මගේ හිස ඉහලින් හුස් .. හුස්..  කියන බව තේරුම් ගියේ  බසය තවත්  වංගු කිහිපයක් ගත්තාට පසුවයි.

මගේ හිස ඉවකරමින්   සිටි  සුදු "ජා " අය්යා ට එදා දැනුනේ   තාත්තගේ  බ්ලැක් නයිට් හෙයා ජෙල් එකේ සුවඳය.











17 comments:

  1. ඉතිරි කොටසත්‍ ඉක්මනට පලකරන්න

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි.. ඉක්මනින් දෙන්නම්..

      Delete
  2. මොකක්ද බං හෙන පොඩ්ඩයිනෙ

    ReplyDelete
    Replies
    1. පොඩි සිද්ධියක් නේ බ්ලැක් ඇන්ඩ් වයිට් කෑල්ල හදන්න බලන්නම් ටිකක් එතකොට පොඩ්ඩක් වැඩි වෙයි.. ඒක නෙවයි අපේ පාසැල් සගයා ඇලන් පකීර් ගැන සටහනක් දාලා තිබුණ දැක්කා "කලාහිතේ " අටමත් ඌව පුත්‍රයෙක්ද?

      Delete
  3. ඔන්න අද ඉඳන් බ්ලොග් කියවන්න පටන් ගත්තා. මම නැතිවෙලා හිටි කාලේ කවිඳු පෝස්ට් දහයක් විතර ලියලා . නියමයි !!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ඇවිත් ගිය බව අහන්න සතුටුයි ...

      Delete
  4. ඇත්ත විස්තර දාන්ට අප්පා... නැත්තං මඥ්ඥං වගේ වෙනවා... ලියන විදිහ එහෙම ජාති... කියවන්ට බැරි වෙච්ච ඒවා ටිකක් තියෙනවා කියවලා එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ඔබේ අපහසුව මට වැටහෙනවා "අරලගංවිල" අපිත් එක්ක ඉස්කෝලේ හිටපු අයට මේ අපහසුව නැහැ... කලින් කිව්වා වගේම මේ කථාවේත් මනක්ල්පිත නගර සහ ගම් තිබෙනවා.. ඒ අතර ඇත්ත නම් .. ( ඇලන්ගේ නම වගේ) සහ ගම් ( බස් එක එන ගම සහ එහි අංකය) තියෙනවා.. මගේ රටාව අල්ලාගත්තොත් මඥ්ඥං වෙනවා අඩුයි...

      Delete
  5. මෙහි කියැවෙන "ඇලන්අහමඩ්පකීර්" 1987-1989 අපේ ඉස්කෝලේ හිටපු කෙනෙක් ( කොමර්ස් පන්තියේ හිටියේ). ඒ වගේම අපිත් එක්ක එක පාසැල් බසයේ ගිය කෙනෙක් ....ඔහු උතුරේයුද්ධයේදී අපට නැතිවුණා ඔහුපැදවූ හෙලිකොප්ටරය ත්‍රස්ත ප්‍රහාරයකටලක්වීමෙන්...

    ReplyDelete
  6. no Alen is math student and before A/L exam he joint to Air force. he was the assistant pilot of his plane. not a helicopter....

    ReplyDelete
  7. නිවැරදි කීරීමට ස්තුතියි ඉඳුනිල්.. ඇලන් පකීර් අපේ ඉස්කෝලේ ගණිත පන්තියේ හිටියේ. ඒ වගේම අපිත් එක්ක එක පාසැල් බස් එකේ ඉස්කෝලේ ගියේ.. ඔහු ගිය ගුවන් යානය (සහය නියමුවා ලෙස) උතුරේ දී ප්‍රහාරයකට ලක්වුණා .. ඔහු උතුරේයුද්ධයේදී අපට නැතිවුණා ඒ නිසා...

    ReplyDelete
  8. බ්ලොග් එකේ හරිනම දැනුම් දුන්නාට ස්තූතියි. දැන් හරි.

    මේ ව්‍යාජ ග්‍රාම නාම සහ පාසැල් නාම මටත් පටලැවෙනවා

    ReplyDelete
    Replies
    1. මේ කතා වල එන අනෙකුත් චරිත වලට හානියක් නොවෙන්නයි එහෙම ලියවෙන්නේ..

      Delete
  9. ඇත්තටම මේ අතීතය සොඳුරුයි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete