Follow by Email

Monday, 9 November 2015

පුෂ්ප රාජා සහ අපේ කථාව - පළමු කොටස



මට මතක හැටියට  ඒ 1991 වසරේ ආරම්භයයි .  මේ වන විට මම සඳතැන්න  විද්‍යාලයේ  ස්වෙච්චා ඉංග්‍රීසි ගුරුවරයා ලෙස සේවය කලෙමි.

ඇත්තටම සේවය ආරම්හ කර ගතවී තිබුණේ දින කිහිපයක් පමණි. එහි එකේ සිට හය වසර දක්වා  පංති තිබු අතර සිසුන් සිටියේ පනහකට  අඩු ප්‍රමාණයකි.   විදුහලට තිබුනේ එක ගොඩනැගිල්ලක් පමණි.

මුලදී විමලරත්න මහතා කී පරිදි  3 සිට 6 වසර දක්වා කාල පරිච්චේද  එක බැගින් ඉංග්‍රීසි ඉගැන්වුයෙමි.  වැඩ නැති වෙලාවට ගුරු විවේක කාමරයට ( ගොඩ නැගිල්ලේ කෙළවරම තිබු කාමරය ) වී සිටිය යුතු විය.

එය මහා කම්මැලි වැඩකි. කුලරත්න සර් ( පහේ පංති භාර ගුරුතුමා ) ගෙන එන පත්තරය  බැලීම හැර වෙන කල හැකි දෙයක්ද නොවිය.

සඳ තැන්නේ තේ වෙලාව


දිනක් තේ වෙලාවේ මම ලොකු සර්ට කතා කලෙමි.

" සර් මට හිතන්නේ බාලාංශය ටයි දෙකේ පන්තියටයිත් ටික ටික ඉංග්‍රීසි හුරු කරා නම් හොඳයි කියලා "

"ඒක නම් හොඳ අදහස කවිඳු සර්" "හැබැයි පෙළ පොතක්   නැති එක තමයි ප්‍රශ්නේ "

විමලරත්න අංකල් අනෙක් ගුරුවරියන් දෙස බලමින් පැවසුවේය.

ඒ පන්ති දෙක භාර ටීචර් ලා දෙදෙනා සතුටින් මගේ අදහස අනුමත කරන බව පෙනිණි.

මේ දිනවල අපේ නංගිලා අම්මා  (පොඩි විමලා ටීචර් ) හිටියේ තුනේ පන්තිය භාරවයි.

ඒ පංතියට  ඒ වන විටත් මම ඉංග්‍රීසි උගන්වමින් සිටියෙමි.

" ඒ , බී,සි,  ඩි අකුරු හඳුන්වා දීලා පටන් ගමු පෙළ පොතක් නැතුවට කමක් නෑ.."

"නැත්නම් හරි කම්මැලියි සර්." මම කීවෙමි.

"මොකද ටීචර්ලා කියන්නේ ?" "එහෙනම් කවිඳු සර්ට පීරියඩ්  එක ගනනේ වෙන් කරමු හැමදාම."

"හරි ලොකු සර් " අපි කැමතියි එකේ පංතිය භාර ටීචර් පැනලා උත්තර දුන්නේ පොඩි කයිවාරුවක් ගහන්න තවත් පැයක් එකතුවන බව දැනගෙන විය යුතුය.

විදුහලේ තේ වෙලාව පැමිණෙන්නේ  උදේ 10.30 ට ළමයින්ට විවේක කාලය ලැබීමත් සමගය.  ඒ දවස් වලත් මම තේ වෙලාවට ගෙනියන්නේ  අම්මා සකස් කර දෙන පාන්  පෙති කිහිපයකි.

පාන් පෙති දෙකක් අතරට අල, ළුණු හෝ ලීක්ස් දමා අම්මා මට කෑම එකක් සදා දෙන්නීය.

වර්තමානයේ  මගේ බිරිඳ නිම්මි මගේ දිවා ආහාරය සකස් කරන්නේද එලෙසටමය.

අල සහ ලීක්ස් එකට දමා සැදු බැදුමක් මැදි කර නිම්මි හදන පාන් ටෝස්ට්  මේ කාලේ මගේ ප්‍රියතම දිවා ආහාරයකි.

ඒ කාලේ මම තේ රැගෙන යන්නේ නැත.  මට තම උණුසුම් බෝතල් වලින් කිරි තේ එකක්  දෙන්නේ අනෙක් ටීචර්ලා විසිනි.   මා පමණක් නොව ලොකු සර්  තේ බොන්නෙත් ඒ ආකාරයටමය.

"මල්ලි මගේ එකෙන් බොන්න " හෝ "පුතා මගෙන් තේ ගන්න"  කියමින් එක එක ටීචර්ලා තම තර්මොස් ප්ලාස්කුව  මා වෙත දික් කරති.

එහෙත් මට උවමනා වුයේ අපේ විමලා අක්කා  ගේ ආරාධනා වයි.  ඇයට එහායින් වූ පුටුවේ වැඩිවී සිටි මට  "හ්ම්.  මේකෙන් ගන්න එහෙනම් " යැයි  ඇය බෝතලය දිගු කාලය

ඒ අනුව පාසැල් ගිය ප්‍රථම දිනයේ සිට මා තේ බිව්වේ ඇගේ ප්ලාස්කුවෙනි.

මෙසේ දින කිහිපයක් ගත වුයේ විශේෂ යමක් සිදු වීමකින් තොරවයි.

සුපුරුදු පරිදි එදා තේ වෙලාවේත්  විමලා අක්කගේ  ප්ලාස්කුව ගන්නට අත දිගු කලෙමි.

කරුමෙක මහත.... මගේ අත වැදුණු උණුසුම් බෝතලය  මේසයෙන් බිමට වැටුණි.

"ස්ලාන්ග්...". යන හඬක් නගමින් වීදුරු කෑලි පොළව පුරා විසිරී ගියේය.

එදා අක්කා මලෝ දෙදෙනාටම තේ බොන්න වුයේ අනෙක් ටීචර්ලා ගේ ප්ලාස්කුවලිනි.

"ඕක ගණන් ගන්න එපා "කියමින්  ඇය මා අස්වැසුවාය. මේ වනවිට  ඇය මා හට " මල්ලි " යන වචනය වැඩි පුර භාවිතා කලේ නැත.

හවස නිවසට එන අතරේ වෙනදා මෙන්ම වල් පල් කතා කරමින් පැමිණියෙමි.  ඇය මගේ වගා කටුයුතු ආදිය ගැනත් විමසුවාය.

ජයරත්න අය්යා ( සිය සැමියා ) ළඟ කටුගස්තොට නම් හොඳ කොලපාට බෝංචි ඇට වර්ගයක්ද තිබෙන  බව මෙහිදී සඳහන් කෙරිණි.

" ඔයාටත්  ඇට ටිකක් ගෙනත් දෙන්නම් කෝ බෝ කර ගන්න"  විමලා අක්කා පැවසුවේ මගේ වගා කටුයුතු වල දියුණුව ගැන  සැබෑ උවමනාවකිනි.

අපේ නංගිලා  ගෙදරට ගිය මුල්ම ගමන

පාසැල නිමවී පැමිණි මා හවස එක පමණ වන විට නිවසට ලඟා වුයෙමි .

" අම්මා අද මාර වැඩේනේ වුණේ  ඉස්කෝලෙදි.." මා පිළිගැනීමට පැමිණි අම්මාට  උණුවතුර බෝතල් කතාව පැවසුයෙමි.
"උඹත් හරි වැඩනේ කරන්නේ චුටි පුතා " "දැන්  ඒ මනුස්සයට තේ ගෙනියන්න විදිහක් නෑනේ ". අම්මාගේ අදහස වුයේ වහාම ඇයට උණුවතුර බෝතලයක් අරන් දිය යුතු බවයි.

"අද කුඹුරේ යන්න ඕනේ නෑ "  "ගිහිල්ලා ගුණසිරියෙන් හරි විජේසිරියෙන් හරි  උණු වතුර බෝතලයක් ගෙනෙන් "  

යැයි ඈ පැවසුවේ  මගේ  සාමාන්‍ය දින චර්යාව  වන්නේ හවස දෙකෙන් පසු  මාර ගස් වැල්ල කුඹුරේ  තක්කාලි කොටුවට  යෑමබව දන්නා නිසාය.

 "එතකොට පුෂ්පේ අවොත්..?"

මා පෙරලා ප්‍රශ්න  කලේ  එකල මගේ අතවැසියා අක්කර පනහේ ලැයිමේ   පුෂ්ප රාජා ගැනයි.  

"පුෂ්පරාජා මම තනියෙන් කුඹුරේ යවන්නම්." "උඹ හවස හය වෙනකන්  අරලගංවිල පැලවෙන්නේ නෑ නේ.."

"බෝතලේ ගෙනත් තියලා කුඹුරේ යන්න පුළුවන් නේ " අම්මා හවස් වරුවේ වැඩ සටහන මට පැහැදිලි කළාය.

"ඊට පස්සේ හෙට උදේම ඒක ඒ මනුස්සයාට  ගිහින් දීපන් " . අම්මා මට විමලා අක්කලා ගෙදරටම යන්නටද යෝජනා කරයි.

මම අම්මා  කියූ පරිදිම වැඩ සටහන ක්‍රියාත්මක කලෙමි.  අලුතින් එකතු කලේ ඉතා සුළු කොටසක් පමණි. 

එහෙත් ඒ කොටස  මගේ ඒ කාලේ දින චර්යාවේ ඉතා වැදගත් අංගයකි.  

අම්මා කිවූ පරිදි අරලගන්විල ගුනසිරියෙන් තැඹිලි පාට උණුවතුර බෝතලයක් ගත්තෙමි.  

එයත් රැගෙන හානි හනිකට දිව ආවේ 2.10 පල්ලෙවෙල බසය  (29 ශ්‍රී 1984) වෙතයි.  

මේ වන විටත්  බනිස් , ඇතිමලේ බාප්පලා නංගිලා ඇතුළු සුජාතාවෝ මෙන්ම  පුස් බනිස් , දොළුවේ නංගි ඇතුළු පුදමු කුසුම් බාලිකාවෝද  තම තම පාසැල් බස් වෙත ඇදෙමින් සිටියහ.

1984  බසයේ අන්තිමේ සිට දෙවැනි සිට් එක අල්ලාගත් මා  බලා සිටියේ " අපේ නංගි " ඒ වෙත ලඟා වන තෙක්ය.  සුපුරුදු පරිදි ඈ සමග කතාවක් දා ගෙන ගෙදර ආවෙමි.  

තම මවගේ උණු වතුර බෝතලය බිඳීමත් එම නිසා හෙට උදේම ඇයගේ නිවසට එන ප්‍රථම ගමන ගැනත් සාකච්චා කරන්නට අමතක නොකලෙමි.

"හෙට ඔයාලා ගෙදර එනවා ..මොනවද මට දෙන්නේ ..?"

 "හරි වැඩක්නේ .. අපේ ගෙදර එන්නේ මාව බලන්න යැ .. අම්මා මුණ ගැහෙන්න නේ .."

"හරි හරි ඒ වුනාට ඔයත් ගෙදර ඉන්නවනේ.."

"හා .. එන්නකෝ බලන්න මොනවා හරි දෙන්න බැරියැ..."

පසුදාට පහන් විය.  ජැන්ඩි පහට ඇඳුමක් දා ගත්තෙමි. විමලා අක්කගේ  අලුත්ම අලුත් උණුවතුර බෝතලයත් රැගෙන මල්දෙණියේ කන්දේ ගෙදර දෙසට ගමන් කලෙමි.

බුරුස් මාමල  කඩේ පැත්තේ පාරෙන් පැමිණි මා නතර කරන්නට හදන උන බම්බු තුනක් දමා හැදු ගේට්ටුවකි.


උඩම  ලීය ඉවත් කර කඩුල්ල පැන්නෙමි.



"මල් තුනක්  පිපී ඇත ..කිව්වට කණු තුනක් නේ  තිබුණේ ඉස්සරහට.. "  

 දින කිහිපයකට පසු මුණ ගැසුණු "අපේ නංගිට"  මා මේ කඩුල්ල අර්ථ දැක්වුයේ එලෙසය. 

පපුව ඩිග්.. ඩිග්..  ගා ගැහෙන්නේ උණු වතුර බෝතලය දෙන්නේ කෙසේද කියා නම් නොවේ..

හෙමින් හෙමින් නිවස අසලට ලඟා වුනෙමි.

මැද  කාමරයේ ජනේලෙන් මෑත් වුණේ මා එහි එන බව දැන සිටි එකම තැනැත්තියයි.

 මිදුලේ තඩි ගිරා අඹ ගසකි.  එයත් පසු කර ගිය තැන ඉස්සරහ දොර හමුවෙයි..

"ක්‍රින් .. ක්‍රින්.."

"ආ .. මම මේ කවුද බැලුවා  මේ නාමරත්න මාමලා මල්ලිනේ.. "  දොර ඇරියේ  ජයරත්න අය්යා විසිනි.

. "කෝ අක්කා ඉන්නවද..?" මම ආපු කාරණය පැහැදිලි කලෙමි.

"ආ කොහොමද  ඉස්සර වෙලා වාඩි වෙන්නකෝ."

"තේ එකක්  බොමු නේද මල්ලී "

"පොඩි දුව මෙන්න කවිඳු අය්යා ඇවිල්ලා . එයාට තේ එකක් හදා ගෙන එන්න පුතේ.."

විමලා අක්කා මා හමුවට ආවේ එලෙසිනි.

" පිස්සුද ළමයෝ ... මට උණුවතුර බෝතල් ඕන නෑ .. මේක ඔයා තියා ගන්න හෙට ඉඳන් තේ ගේන්න "

ඇය මගේ උණුවතුර බෝතලය ගත්තේ නැත.

ඒ වෙනුවට අපේ නංගි ප්‍රථම වරට තම දැතින් හදා දුන් කිරි කෝප්පයක් මට ලැබිණි.

ඇයගේ  පිළිගනිම හැම දෙයකටම වඩා උණුසුම්  බව තේරුම් ගන්නට මට අපහසු නොවිය.

ලොකු නංගිත් , ජානක මල්ලිත් හොරෙන් හොරෙන් සාලයට එබී බලා ඉවත්ව ගියහ.

ජයරත්න අය්යා මගේ වගා කටයුතු ගැන සාකච්චා  කළේය.

  "අක්කා කිව්වා ඔයාට බෝංචි ඇට ටිකක් දෙන්න ඕනා කියලා .. "

කියමින් සුදුම සුදු කටුගස්තොට  බෝංචි ඇට හුන්ඩුවක් පමණ ඔහු මා අත තැබිය.

පැය භාගයක් පමණ එහි ගත කල මා අක්කාට හා අය්යාට සමුදී ගෙදර ආවෙමි.

උණුවතුර බෝතලය නොගත් කතාවද අම්මාට  කීවෙමි.

ජයරත්න අය්යා දුන් කටුගස්තොට බෝංචි ඇට ටිකත් ඇයට දුන්නේ

 "මේවගේ පලදාව හරි හොඳයිලු අම්මා " කියමිනි.

සිතේ ඇතිවූ අපමණ ප්‍රීතියකින් යුතුව දවස ගත වුනා කිවොත් නිවැරදිය.

මගේ දින චර්යාවේ අවසන් කොටසට ලඟා වෙමින් තිබිණි ..

අම්මා  රාත්‍රී  ආහාරය පිළියෙළ කරමින් සිටියි.

මම  සුපුරුදු පරිදි ලිප ළඟ බන්කුවට වී තේ දර කඩ කඩා ලිපට දමමින් සිටියෙමි .

අම්මලා පුතාලගේ  දිනයේ වැඩ ගැන සංවාදය බොහෝ විට සිදුවන්නේ මේ වටපිටාව තුලයි.

එදා සාකච්චාව හදිසියේම වෙන පැත්තකට යොමු කෙරුනේ මටත් නොදැනීමය.

" අම්මා.. ඇයි සමහර මිනිස්සු  තේ එකට කිරියි  සීනියි  ගොඩාක්  දාලා හදලා දෙන්නේ..?"

මා ඇගෙන් ඇසුවේ නිකමට වගේය.

"ඒ තේ එක බොන කෙනාට තියෙන ආදරේ වැඩි කමට නේ පුතා.."

ඇයත්  පිළිතුරු දුන්නේ  එසේ තේ එකක්  ලැබුනේ කොහෙන්දැයි මගෙන්  විමසීමක් නොකරමිනි.














14 comments:

  1. සබ් ටෙක්ස්ට් එක හොඳයි.

    මං නං පාං කෑම අවන කළා. තේ එක්ක කෑමත් නෑ.

    ReplyDelete
  2. ස්තුතියි රසික..
    ටිකක් හොඳට ආවා කියලා හිතුනා.. හැබැයි ලියන්න ගත්තේ ලඟදි මිය ගිය පුෂ්ප රාජා ගැන ලියවුනේ වෙන දෙයක් .. පුෂ්ප රාජා දෙකේ පුෂ්පෙයා ගැන ලියන්නම්..

    මම කොහොමත් තුන් වේලටම බත් තමයි කන්න කැමති.. පාන් කෑවත් කන්නේ දුඹුරු පාන්.. සමහරක් දවස් වල දවල් ආහාරයට ඒ දුඹුරු පාන් ඇතුලට අල/ලීක්ස් දාලා ටෝස්ට් හදලා දෙනවා අපේ ගෙදර උන්දැ... පාන් කෑවත් කන්නේ එලවලු එක්ක තමයි..

    ReplyDelete
  3. But nothing about Pushparaja

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික..
      ටිකක් හොඳට ආවා කියලා හිතුනා.. හැබැයි ලියන්න ගත්තේ ලඟදි මිය ගිය පුෂ්ප රාජා ගැන ලියවුනේ වෙන දෙයක් .. පුෂ්ප රාජා දෙකේ පුෂ්පෙයා ගැන ලියන්නම්..

      Delete
  4. But nothing about Pushparaja

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන් ගත්තේ පුෂ්පේ ( මගේ ගොවිතැන් සගයා / අපේ අම්මලාගේ කුලී වැඩ කාරයා ) ගැන තමයි.. පුෂ්පේ හිටියේ අපි අලුත හදවන ගෙදර ( චමින්ද ලගේ ගෙදර) ට අල්ලපු ගෙදර . අක්කර පනහේ ලැයිමේ... පුෂ්පේ ගිය සතියේ හදවත් ලෙඩකින් මිය ගියා.. ඒ නිසයි මාතෘකාව ගත්තේ.. ඊළඟ පොස්ට් එක ඒ වෙනුවෙන් යොදවනවා..

      .

      Delete
  5. කාලෙකට පස්සේ පරණ ගැමියා මතුවෙලා වගෙයි

    ReplyDelete
  6. එහෙමයි.. ස්තුතියි..

    ReplyDelete
  7. අම්මේ කවිඳුවගේ මූනේ තියන පෙම් පාට.. මට මැවිලා පේනවා..කොහොමත් ප්‍රථම ප්‍රේමය හරි සුන්දර අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත... බොහෝ දෙනෙක් ඒ ගැන ජිවිත කාලෙම කතා කරන්නෙත් ඒ නිසාමයි. ප්‍රථම ප්‍රේමය වගේම මේ සිදුවීම් මාලාවත් හරි සුන්දර අත්දැකීමක් තමයි.

      Delete
  8. අම්මේ කවිඳුවගේ මූනේ තියන පෙම් පාට.. මට මැවිලා පේනවා..කොහොමත් ප්‍රථම ප්‍රේමය හරි සුන්දර අත්දැකීමක්...

    ReplyDelete
  9. ලස්සනයි.. ඊළඟ කොටස එනකම් නොඉවසිල්ලෙන් ඔන්න අපි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. වෙලාව ලැබෙන විදිහට තමයි..

      Delete