Follow by Email

Wednesday, 30 December 2015

යලි හමුවෙමුද අපි...

පහුගිය කලාප වලින්..

1. කුඩා බණ්ඩාර මාමා සහ බෙස්ට් සිලෙක්ෂන්


2. බෙස්ට් සිලෙක්ෂන් -පළමු කොටස


3. බෙස්ට් සිලෙක්ෂන් - දෙවන කොටස


4. මා ලියු ප්‍රථම නිසදැස


5. වෙන්ඩ නැන්දම්මා හෙවත් අක්කා නැන්දා


6. පුෂ්ප රාජා සහ අපේ කතාව


7. පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව -එක



8. පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව-දෙවන කොටස


9. පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව- අවසාන කොටස


10. සමුගන්නට අවසරයි




යලි හමුවෙමුද අපි...



ජයංගනී නංගිට සමුගැනීමේ ලිපිය දී  ගතවුයේ එක රැයක් පමණි.  මම පසුදා පාන්දර සුපුරුදු පරිදි සඳතැන්න පාසැල වෙත ගියේ පෙරදින කිසිවක් සිදු නොවූ පරිද්දෙනි.

එහෙත් උදේ කාලයේ විමලා අක්කා මග හැර සිටින්නට උත්සහ කලේ   මගේ සිත කිසියම් දෙගිඩියාවකින්  පෙළුණු නිසාය.

ඒ අන් කිසිවක් ගැන නොව සමුගැනීමේ ලිපිය ලද "අපේ නංගි" ගෙදරදී  කල කී දේවල්  විමලා අක්කා දැනගෙන ඇතැයි යන දෙගිඩියාවයි.

තේ වෙලාවේ ඇය මුණ ගැසුනද අනෙක් ගුරුවරුන් සිටින තැන මේ මාතෘකාව ඇදෙන්නට විදිහක්  නැත.

එහෙත් විමලා අක්කා මා දෙස බලමින් ඇයට හිතවත්ම ගුරුවරියන් දෙදෙනෙකු සමග කතා කරමින් සිටිනු මගේ විපරම් ඇසට නොගෑටුනා නොවේ.

එදත් පාසැල නිමවුයේ වෙනදා පරිදිමය.   මගේ සිත බරපතල ගැටළු රැසක මැදිවී තිබුනද  සඳතැන්නේ එදිනෙදා කටයුතු වලට එය එතරම් බලපෑවේ නැත.

හැමදෙයක් ම සාමාන්‍ය පරිදි සිදුවූ දිනයක  මගේ නිවස බලා යන ගමන පමණක් වෙනස් කල නොහැකිය.

මම වෙනදා මෙන් විමලා අක්කා සමගම නැවත නිවස බලා එන්නට පිටත් වුනෙමි.

වෙනදා ඇය කතා කරන "දූ  දරුවෝ " ටෙලි නාට්‍ය  සහ එහි සම්පත් ගේ භූමිකාව වැනි මාතෘකා  අදත් පැන නගිනු ඇතැයි බලාපොරොත්තු වුනෙමි.

තේ වත්ත මැදින් ටික දුරක් ගමන් කළෙමු.  වෙනදා මෙන් නොව අද විමලා අක්කා කිසි හා හුවක් නැත.

මගේ සිතේ ඇති  දෙගිඩියාවද දෙගුණ තෙගුණ වෙයි..

 " ජයංගනී ඊයේ ගෙදර ගිහින් මොනවා කරන්නට ඇත්ද ? "    මට පිළිතුරක් අවශ්‍ය වී තිබේ.

" මොකද අද කතාවක් නැත්තේ ? "  ඉවසීමේ සිමාව ඉකමවන්නට ඔන්න මෙන්න සිටි මම නිහඬතාවය බින්දෙමි.

" කතා?.. මොනවා කතා කරන්නද ඔයත් එක්ක??.. අර  පොඩි කෙල්ල  අමාරුවේ දාලා ..  ඔයාට දැන්ද  එයා පොඩි වැඩියි කියලා තේරුණේ??.. "

විමලා අක්කා එක්වරම මා වෙත කඩා පනින එහෙත්  හඬාවැ ටෙන ස්වරයෙන් පැවසුවාය.

"මම තමයි වැරැද්ද කරේ ගින්දරයි පුළුනුයි ලංකරලා .. මම පොඩි දුවව ඔයාගේ පන්තියට එවුව එකයි වැරැද්ද "

ඇය මට පමණක් නොව ඇයටමත්  අවලාද කියා ගත්තේ තම පොඩි දුව තදබල හිතේ අමාරුවක දැමීමට අප දෙදෙනාම වග කිවයුතු බව මතක් කරමිනි.

" ඔයාට ඕක මගේ දුවගේ ඔළුව නරක් කරන්න ඉස්සර වෙලා හිතන්න තිබුනා.. " විමලා අක්කා නතර කරන පාටක් නැත.

තරහක් නැති තරහ වීම

ජයංගනි ට සමුගැනීමේ ලිපිය දෙන්නට පෙර ගත වී ගිය සති දෙක තුනක පමණ කාලය නැවතත් ම සිතේ ඇඳුනේ සිතුවමක් මෙනි..

ඇත්තෙන්ම මට ජයංගනී ගෙන් හැබැවටම සමුගන්නට තරම් හිතේ හය්යක් තිබුනේ නැත.

විමලා අක්කා අපේ ගෙදරට ඇවිත් කල යෝජනාව නිසා අපේ අම්මලා හොඳටම කලබලවූ බවද දුටුවෙමි.

පුද්ගලිකව මගේ වැඩිදුර ඉගෙන ගැනීමේ ආශාවද ජයංගනී නිසා වැඩි වුවා මිස අඩුවක් වී තිබුනේද  නැත.

කවදා හෝ  දොස්තර කෙනෙකු වී ජයංගනී ලඟට ගැනීම ඉතාම පහසු කර ගැනීමේ බලාපොරොත්තු ව මා තුල දිගටම තිබුණු දෙයකි.

එය ලඟා කර ගැනීමට ඇය ගෙන් සමුගත යුතු යැයි මා කවදාවත්  සිතුවේ නැත.

ජයංගනීට සමුගැනීමේ ලිපියක් දුන්නේ   මේ සියල්ල තරයේ සිත්හි දරා ගෙනයි.

එහෙත් හිත ඇතුලෙන් ඇත්තටම මට අවශ්‍ය වුයේ කාටත් හොරා අපේ සම් බන්ධය ඉදිරියට ගෙන යාමටයි.


මේ සියල්ල විමලා අක්කාට කියනවාද ? නැද්ද?  .. මම විපිළිසර වීමි.

සමහර විට මෙයා අපි දෙන්නට උදව් කරයි . මම මගේ යටි අදහස කිව්වොත්..මම තවමත් දෙගිඩියාවෙන්මය.

විමලා අක්කලා සම්බන්ධයට කැමති බව පෙනෙන එකේ ඔන්න ඔහේ කියල දානවා මම හිත හදා ගත්තෙමි.

" නෑ.. නෑ.. කළබල  වෙන්න දෙයක් නෑ.. මම ඇත්තටම මේක නවත්තන්න හිතුවේ නෑ  "

"එහෙනම්. ? ඔයා අර පොඩි ළමයා එක්ක සෙල්ලම් කරනවද?  .. ඔහොම බරපතල ලියුම් දෙන්නේ ..?"

"හරි හරි මං ඒක එයත් එක්ක කතා කර ගන්නම් කෝ. ඔයා කලබල නොවී ඉන්න.. "

මම විමලා අක්කාව අස්වැසුවෙමි.

"මොනවා උනත් ඔයාට කල්පනා කරන්න තිබ්බා ඉගෙන ගන්න ළමයෙකුට ඔහොම හිත් වේදනා නොදී ඉන්න .. "

ඇය තව තවත් කියවයි.

 " දැන් තම තමන්ම  බේරාගන්න එකයි ඇත්තේ..  මොකද අපෙන් අහලායැ ඕවා පටන් ගත්තේ ?"

කතාව අවසානයේ මා තේරුම් ගත්තේ විමලා අක්කා තම දියණිය අත හරිනවාටද අකමැති බවයි.

මේ යන ක්‍රමේ හොඳයි .. දැන් මෙයාල මට සම්පුර්ණ සහයෝගය දෙයි වගේ . එහෙම වුනොත් මට අපේ ගෙදරට නොදැනෙන්න මේක ඇදගෙන යන්න පුළුවන් වෙයි.

මා උපකල්පනය කලේ විමලා අක්කා ගේ ක්‍රියා කලාපය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිතා බැලීමෙන් අනතුරුවයි.


යලි හමුවීම



එදා හවස සඳතැන්නේ සිට ආ සැණින් අරලගංවිල බලා යන්නට තීරණය කලෙමි. 

"චුටි පුතා උඹ කොහේ යන්නද ලෑස්ති වෙන්නේ .. තවටිකකින් පුෂ්ප රාජා එයි කුඹුරේ යන්න.." අම්මා ගේ සුපුරුදු හඬ මා වලක්වන්නට උත්සාහ කරයි.

"මම ටවුමට ගිහිල්ලා එන්නම් .. මං ආපහු එන්න ඉස්සෙල්ලා පුෂ්පේ ආවොත් තනියෙන් කුඹුරේ යවන්න .. මම තේත්  අරගෙන පස්සේ යන්නම්.."

"හරි හරි ඉක් මනට ගිහින් වරෙන් එහේ පැලවෙන්නේ  නැතුව " අම්මා කියන්නේ මම කරන්නට යනදේ හරියටම දන්නවා වගේය.

පාසැල් ඇරී එන අපේ නංගි නගරයේදී හමුවූ මා ඈ සමග නැවත පාසැල් බසයෙන්  පැමිණියෙමි.

ඒ එන අතර වාරයේ කිසි වෙනසක් නැතිව පුරුදු පරිදි ඈ හා කතා කලෙමි.  

ලියුමේ සඳහන් කර තිබු සියල්ල අමතක කරන ලෙසද පැවසූ වෙමි. 

මෙතැන් පටන් අපේ නෑදෑයින්ට නොපෙනන ලෙස මුණගැසීමටත්  කිවයුතු දේවල් ලියුම් වලින් කතා කර ගැනීමටත් යෝජනා කලෙමි.

විමලා අක්කා මට කිවූ දේවල් ද ඇය හා පැවසුවේ  මෙතැන් පටන් ඔවුන්ගේ ගෙදරින් අපට බාධා එල්ල වනු නැති බවද ඇයට ඒත්තු ගන්වමිනි.

ජයංගනී නංගිද කිසිවක් සිදු නොවූ පරිද්දෙන් මා හා දොඩමළු  වුවාය.

"අම්මා මොකද කිව්වේ ..? ඔයා අම්මාට ලියුම ගැන කිව්වද ? "වැනි ප්‍රශ්න වලට මට පිළිතුරු ලැබුනේ නැත.

ඇයට එසේ හැසිරෙන ලෙස ඇගේ මව උපදෙස් දුන්නාද නැතිනම් ඇය විමලා අක්කාට  ඇගේ දුක කීවාද යන්න තවමත් මා හට නම් නොවිසඳුණු  පැනයකි.

Sunday, 27 December 2015

මිස්ට පොල් (ගම නැගුම - දෙවන කොටස)



පළමු කොටස මෙතැනින්

ගනේවත්ත සහ   මිස්ට පෝල්  හමුවීම



පොල් වගාවේ ඉදිරිය සහ ඒ ආශ්‍රිතව ඇතිවන නිම්මිලා ගේ ගෙවල් අවට දියුණුව ගැන සිහින දකිමින් රාත්‍රිය පහන් විය.
උදාසනින්ම  ලෙනදොර මල්ලී වත්තට යන්නට සුදානම්ය.  නිම්මි සහ මම නුවර යන්නට සුදානම් වෙමින් සිටියෙමු.

"අය්යා මිස්ට පෝල් හම්බවෙන්න එන්න පුළුවන් වෙයිද? ". ලෙනදොර කියන්නේ එදින එහි පැමිණීමට නියමිත පොල්  සංවර්ධන නිලධාරියා ගැනයි.

 " කීයටද මනුස්සයා එන්නේ.. ? අපිට නුවර පොඩි වැඩ වගයක් තියෙනවා .. ඉවර වුන ගමන් එන්න බලන්නම්"  . මම පිළිතුරු දුන්නෙමි.

මේ දිනවල මට මෝටර් රථයක් තිබුණේ නැත. ඒ නිසා ගමන් බිමන් ගියේ පාරේ  බස්  වලයි. පොල් මහත්තයා අප බස් වලින් පැමිණ ගෙදර එනතෙක් නිම්මිලා වත්තේ රැඳී සිටී දැයි සැක සහිතය.

"කමක් නෑ .. මල්ලී ඉඩම පුරාම එයා අරන් ගිහිල්ලා   අපි කපපු පොල් වලවල් එහෙම පෙන්නන්න කෝ .. අපි එන්න පරක්කු වුනොත් හවසට පොල් මණ්ඩලේට ඇවිත් එයා මුණගැහෙනවා කිව්වා කියන්න.."

මම ලෙනදොර ගේ සිත සැනසුවෙමි.

"මේ කයිවාරුව නෙවෙයි.... අපි යමු නේද ?    බ්‍රිටිෂ් කවුන්සිල් එකටත් යන්න තියෙනවනේ ... "

නිම්මි මට මතක් කර දුන්නේ එදිනට නියමිත වැඩ රාජකාරි කිහිපයක් ගැනයි.

"අටටත් ලඟයි .. එහෙනම් පිටත් වෙමු " . මම නිම්මිත් සමග පහළට බහින්න පටන් ගත්තෙමි.

මේ කාලේ නිම්මිලා ගෙදර සිට ගමේ ගුරුපාර දක්වා යෑමට තිබුණේ ඔවුන්ගේ මාමා කෙනෙකුට අයත් වත්තක් මැදින් තිබු අඩි පාරකිනි.

 පියතිලක මාමා නම් වූ ඔහුගේ වත්ත පුරාම කෙසෙල් වගා කර තිබුනා මතකය.

පියතිලක මාමා ට ගමේ එවුන් කිවේ "කක්කුට්ටා" කියාය. පසු කලෙක මා දැනගත් පරිදි ඔහුගේ සිතිවිලි සහ ක්‍රියාකාරකම් අතර අහසට පොළව මෙන් වෙනසක් තිබුණි.

ඒ අනුව සැලකීමේදී කක්කුට්ටා යන නම තැබූ කෙනා මේ ලක්ෂණයට  සාධාරණයක් කර ඇති බව පැහැදිලිවේ.

නිම්මි අත් බෑගයත් එල්ලා ගෙන පියතිලක මාමගේ වත්තේ මැද හරියෙන් පල්ලම් බහී. මම ඈ පිටුපසින් හෙමින් හෙමින් ගමන් කළෙමි.

කළුම කළු උඩුකය නිරාවරිත මිනිසෙක් කෙසෙල් පඳුරු අතර බස බස ගාමින් වැඩ කරනු පෙනේ. නිම්මි බිම බලාගෙනම ගමන් කළාය.

මම මේ කඩියා මෙන් වැඩ කරන මිනිසා දෙස බැලුවෙමි. ඔහුගේ උඩු ඇන්දේ දත් කිහිපයක් දිරා ඇත. දහදියෙන් වැසි ගොස් තිබු  ඔහුගේ කාල වර්ණ ශරීරය  ඒ මත පතිත වූ හිරුරැසින් දිලිසෙයි.

අප වෙද විදුහලේදී ඉගෙන ගත් පුර්ව ගාත්‍රා වල සහ පපු ප්‍රදේශයේ පේශි සියල්ල එකිනෙකින් වෙන් කර තැබුවක් මෙන් පැහැදිලිව ඉල්පී තිබේ.

මා දුටු වනම ඒ මිනිසා මා දෙසත් ඉතා ඕනෑකමින් බලන බව මට දක්නට ලැබිණි.

කක්කුට්ටා නිම්මිලාට කෙනෙහිලිකම් කල බව දැන සිටි මා ඔවුන්ගේ ගෝලයා වූ ඔහු වෙත ඔරවා බැලුවෙමි.

කක්කුටු මාමගේ වත්ත පසු කල අප වෙල මැදින් ඉදිරියට ඇදුනෙමු.

"ඒයි  කවුද ඒ  මනුස්සයා ?  හරියට අපේ ගෙවල් පැත්තේ පුෂ්පරාජා වගේ.." මම නිම්මිගෙන් ඇසුවෙමි.

" මම දන්නේ කොහොමද?  කවුරු හරි කුලීවැඩ කාරයෙක්.. කක්කුට්ටගේ වත්ත නේ ඔය "

"ඔවු .. ඔවු .. මිනිහා මා දිහා හොඳට බැලුවා.. "

"ඔයා ඒ මිනිහට හිනා වුනාද ? "..

 පිස්සුද මට මතක් වුනා එයා කක්කුට්ටගේ ගෝලයා කියලා .. මම හොඳට ඔරවලා බැලුවා "...

පියතිලක මාමා  යනු  නිම්මිලා අම්මාගේ ලොකු අම්මාගේ පුතෙකි.

ඔහු දේශපාලන වශයෙන් සමාජවාදියෙක් ( නිම්මිලා ගමේ ඉන්න ප්‍රසිද්ධ ජ. වී. පෙ. සාමාජිකයෙක් ) බව මා අසා තිබේ,

එහෙත් සාමාන්‍ය භාවිතයේදී ඔහු කුඩු කේඩු  කම් වලින් අනුන චරිතයකි. උදාහරනයක් ලෙස අප මේ ගමන් කල අඩි පාරෙන් නිම්මිලා යනවාට ඔහු අකමැතිය.

ඒ පාර පළල් කර නිම්මිලා ගෙදරට වාහනයක් ගන්නට කක්කුට්ටා නම් මේ කපේ දී ඉඩක් දෙන එකක් නැත.

එහෙත් නිම්මි මුල්ම රස්සාවට කොළඹ යද්දී ඇයව එහි කැඳවා ගෙන ගියේ පියතිලක මාමා බවද මා අසා තිබේ.

මේ කරුණු සලකා බැලුවිට  පියතිලක මාමා අපට බොහෝ ගම් වලදී හමුවන  ගැමියන්ගේ ලක්ෂණ පෙන්නුම් කල අයෙක් බව කිව හැකිය.

පියතිලක මාමා කෙසේ වෙතත් ඔහුගේ ගෝලයා නම් මගේ සිත් ගත් කෙනෙක් බව මෙහිදී නොකියාම බැරිය.

ඒ නිසාම එදින හවස නිම්මිලා වත්තට වී සිටිද්දී මා ඔහු ගැන නැවතත් කතා කලේ මෙලෙසිනි.

"ඒක නෙවෙයි ප්‍රේමරත්න .. අද මම නුවර යනකොට දැක්කනේ නියම බුලට් එකක්  කක්කුට්ටගේ කෙසෙල් කොරටුවේ වැඩ කරනවා.."/

"මිනිහා මා දිහා හොඳට බලනවත් දැක්කා.."

"කවුද අප්පා ඒ.. මිනිහගේ හැඩරුව කොහොමද ? මම මා දුටු මිනිසා පුවක් බාස්ට විස්තර කලෙමි.

"බැරිද අපිට මිනිහා අපේ වැඩට එකතු කරගන්න. එහෙම වුනොත් මේ පොල් වලවල් ටික ඉක්මනින් ගහලා දැම්ම හැකි" .

බළලා මල්ලෙන් එළියට පැන්න බව පුවක් බාස් තේරුම් ගන්නට ඇත.

"ආ .. ඔය අපේ ගනේවත්ත යා නේ ... මිනිහා අපිට හවසට හංදියේදී හම්බවෙනවා..නේද පුවක් අය්යා " අසල සිටි සුසන්ත පිළිතුරු දුන්නේය.

"එහෙමනම් ඔය දෙන්නා  ගනේවත්තට කතා කරලා බලන්න අපි ළඟ වැඩට එන්න කැමතිද කියලා."

"අපි අනෙක් තැන වලට වඩා වැඩියෙන් පඩි ගෙවනාවා කියලත් කියන්න .. එතකොට මිනිහා කක්කුටු මාම අතහැරලා අපි ලඟට එයි"

මම කිව යුතු සියල්ල සංක්ෂිප්ත කර පුවක්ලාට ඉදිරිපත් කලෙමි.  පසුදා උදැසනම පුවක් සහ සුසන්ත වැඩට ආවේ තුන්වෙනියෙක් ද සමගය.

ඒ කුරුණෑගල ගනේවත්තේ සිට මාවනැල්ලට පැමිණි  "ගනේවත්ත හෙවත් ගනේ.. " සමගය.


මිස්ට පෝල් හමුවීම




එදා අප නුවර ගොස් එද්දී හවස දෙක පහුවී තිබුණි. 

අප නැති අතර පොල් මහත්තයා හෙවත්  මිස්ට පෝල්  නිම්මිලා ගෙදර වත්ත බලන්නට පැමිණි බව ලෙනදොර මල්ලී මට කිවේ මෙසේය.

" ඒක නෙවෙයි අය්යා මිස්ට පෝල් ආවා වත්ත බලන්න.. මම අපි කපපු පොල් වලවල් පෙන්නුවා.. එයාට හරි සතුටුයි අපි මේ වෙනකොට කරලා තියෙන වැඩ ගැන "

"ඇත්තද මල්ලී .. වෙන මොනවද කිව්වේ ?"

"එයා ආධාර දෙන්න ගිය වෙන කොහේවත් පොල් පැල ටික අතට දෙනකන් වැඩ පටන් ගන්නේ නෑ කිව්වා "

"ඉඩමේ හරහට පෙට්ටි කාණු ටිකක් කපන්න කිව්වා ... සෝදා පාළුව අඩු කරන්න.. "

"හරි ..හරි .. ප්‍රේමරත්නලට කියලා කාණු ටික කප්පවමු".

"මේ වත්තටම සැහෙන්න පල දෙන්නම් කිව්වා..තව ඉඩම් තියෙනවද හදන්න කියලත් ඇහුවා."

"ඔයා කිව්වේ නැද්ද  අඹගහමුල හේන  ගැන?" මම ඇසුවේ නිම්මිටත් අමරාටත් දෙකෙන් පංගුව බැගින් අයිති ඔවුන්ගේ තාත්තා ගේ පැත්තේ ඉඩමක් ගැනයි.

"කිව්වේ නෑ අය්යා .. මම බණ්ඩාර මහත්තයට කිව්වා අය්යා අද හවස එහේ ඒයි කියලා.. අය්යටම කිව්වහැකිනේ"

"මිස්ට පෝල් අසාවෙන් ඉන්නවා අය්යත් එක්ක කතා කරන්න " ලෙනදොර දැන් දැන් හැමතැනම මගේ නම විකිණීම අරඹා ඇත.

එදා හවස තේ වේලාවෙන් පස්සේ ලෙනදොරත් මමත් පොල් මණ්ඩලයට ගියෙමු.

"කෝ බණ්ඩාර මහත්තයා ඉන්නවද ? " අපි අසල සිටි නෝනා කෙනෙක් ගෙන් ඇසුවෙමු.

"හලෝ ..කොහොමද එන්න එන්න . මිස්ට ලෙනදොර මට ඔයා ගැන කිහිප සැරයක්ම කියලා තියෙනවා කැනඩාවේ හයර් ස්ටඩි  කරනවලු නේද?"

"බණ්ඩාර මහත්තයා හඳුනා ගන්න ලැබීම සතුටක් .. කොහෙද ඩිග්රි එක කලේ අලදෙනියේද ?"

"නෑ.. මම කුණ්ඩසාලේ ඩිප්ලෝමා කාරයෙක්.."

"ඩොක්ටර් ජයසිංහ ගේ මල්ලී හරි උනන්දුයි නේ මේ වැඩේට ඔච්චර පිරිසිදුවට , පිළිවෙලට  පොල් වගාවට සුදානම් කරපු වත්තක් මම දැකලා නෑ.."

"ලෙනදොර මල්ලී හමුදාවේ හිටපු කෙනෙක් නේ . හරි පිළිවෙලයි එයාගේ වැඩ.. මෙහෙම කෙනෙක් මේ වගේ වගාවක් කරනවා කියන එකම මදිද ?"

මමත් ලෙනදොර මුරුංගා අත්තේ ඉහළටම නැන්ගුවෙමි.

"අක්කර තුනකට නෙවෙයි ඊටත් වඩා පොල් පැල දෙන්න වටිනවා මේ වගේ අයට? තව ඉඩම් තියෙනවද ?"

බණ්ඩාර මට අවශ්‍ය තැනකට සාකච්චාව රැගෙන ආවේය.

"තියෙනවා තව අක්කර හතරක ඉඩමක් .. මාවනැල්ල නගර සිමාවෙමයි තියෙන්න .. අහලත් ඇති අඹගහ මුලහේන කියන ලොකු ඉඩම.. ?"

"ඒක ඉඩම් නඩුවකින් කැඩිලා මෙයාගේ නෝනාටයි  මගේ නෝනාටයි  අක්කර දෙක ගානේ අයිති වුණා."

"අම්මයි දුවලා දෙන්නයි නම් ලැස්ති වුණේ ඉඩම් කෑල්ල විකුණලා ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න"

"මම කිව්වා මේ වගේ ලොකු වගාවක් ඒකෙත්  දාමු .. ආදායම් එන කාලෙට වාහනයක් ගමු කියලා.."

"මොකද වාහන මේන්ටේන්  කරන්න අදායමකුත් තියෙනවානේ එතකොට..".

"මම හරි කැමතියි ඩොක්ටර් ජයසිංහ හිතන ක්‍රමේට .. එහෙම හිතන අය ඉන්නවා නම්  අපේ රට දියුණු කරන්න ලේසියි."

ලෙනදොර හොරෙන්  මා දෙස බලා  හිනහ වෙනු  දුටුවෙමි. 

ඔහු මිස්ට පෝල් දැන් අපේ අතේ බව වටහා ගෙන තිබේ.

සාකච්චාව අවසාන වෙද්දී බණ්ඩාරත් මමත් හොඳ හිතවතුන් වීමු. 

ඊළඟ නිවාඩුවට ලංකාවට පැමිණි පසු ඔහුගේ නිවසට එන ලෙස ආරාධනා වක්ද ලැබිණි.

ගෙදර වත්තටත්  අඹගහ මුල හේනටත්  ( අක්කර හතකට ) පොල් පැල ලබා දෙන්නට   බණ්ඩාර එකඟ වුයේ අපේ සාකච්චාවේ ප්‍රතිඵලයක් වශයෙනි.






ඊළඟ කොටස මෙතනින්


Friday, 25 December 2015

ගම නැගුම - පළමු කොටස



දෙදාස් පහේ නොවැම්බර් අවසාන වන විට   නිම්මිලගේ මහා ගෙදර වත්ත සම්පුර්ණයෙන්ම එලි පෙහෙළි කරන්නට මාත් ලෙනදොර මල්ලිත් සමත් වීමු.

අක්කර තුනක් පමණ වූ මුළු ඉඩම කොටස් දෙකකින් යුක්ත විය. නිවස තිබු පහළ කෑල්ල පුවක් බාස් ලා ගෙදරට ආසන්නයේම තිබු කොටසයි.

උඩහ වත්ත යැයි හැඳින්වූ අනෙක් කොටස තැනින් තැන තිබු පොල් ගස් සහ ඇට්ටෝනියා ගස් මෙන්ම වෙරළු , ගොරකා , මැන්ගුස් ටින් වැනි පලතුරු වර්ග වලින්ද යුක්ත විය.

මේ වන විට ලෙනදොර මල්ලිත් මගේ දින චරියාවටම අනුගත වෙමින් සිටියේය. ඒ උදේ පහ හමාරට පමණ අවදි වී අම්මා තේ හදන තෙක් වත්තේ වැඩ කිරීමෙන් ආරම්භ වන දවසකටයි.

උඩහ වත්තේ මැද කොටසට පුවක් බාස් ගේ ගෙදර එක එල්ලේම  පෙනෙන්නේ  පුවක්, දුල්මිණි ඇතුළු සියළු දෙනා කරන කියන දේ අප දෙදෙනාට  දැක ගන්නට සලස්වමිනි.

මේ දිනවල පුවක් අපට වඩා හිතවත්ව සිටියේ ඒ අසලම නිවසක සිටි උක්කු බන්ඩේ  මාමා සමගය.  උක්කු බන්ඩේ මාමගේ අත් උදව් කරුවෙක් ලෙස පුවක් බාස් ඔහු සමග සිටි කාලයකි ඒ .

මේ නිසා  අසල තිබුණු රබර් කෑල්ලේ  මැදින් එහා මෙහා යන පුවක් සහ උක්කු බන්ඩේ  මාමා දිනපතාම අපේ නෙත ගැටේ.

වත්තේ ඉහළ  කොටස එලි පෙහෙළි කරද්දී මට පහලවූ අදහසකි.  මේ ගැන මම ලෙනදොර මල්ලී සමග කතා කලෙමි.

"මල්ලී මට හිතෙනවා මේ වත්තේ අපි මොනවා හරි ප්‍රයෝජනවත් වගාවක් කළා නම් හොඳයි කියලා .."

"මෙහේ  හොඳට පොල් හැදෙනවා නේද ? අපි දාමුද මේකේ හොඳ පොල්වගාවක් ?"

"මෙහේ නැද්ද පොල් සංවර්ධන මණ්ඩලයක් එහෙම?" "ගිහිල්ලා කතා කරානම්  වගාව ගැන උපදෙසක් ගන්නත් පුළුවන්"

මම ලෙනදොර මල්ලියාට  ගම නැගුමේ පළමු පියවර ගැන අදහසක් දුන්නේ එලෙසෙනි.

"හදමු අය්යා මට ගෙදර ඉන්න ගමන් පොල් පැල ටික බලාගන්නත් පුළුවන් නේ " ලෙනදොර මල්ලී තම කැමැත්ත ප්‍රකාශ කළේය.

"නංගිත් එක්කත් කියලා බලන්නකෝ .. මම නිවාඩු ඉන්න මාස ටිකේ අපි වැඩේ කරලා දාමු"  මම ගෘහ මුලිකයන්ට දැනුම් දීමේ වැදගත්කමද ලෙනදොරට මතක් කර දුන්නෙමි.

කුරුණෑගල උපන් කෙනෙක් නිසා ලෙනදොර මල්ලී පොල් හදන හැටි ගැන හොඳින් දැන සිටියේය. අරලගංවිල උපන් මම දැනගෙන හිටියේ පොල් කෑමට පමණි.

"අය්යා පොල් හදන්න අඩි දෙකේ දෙකේ වලවල් කපන්න ඕන"  ලෙනදොර මල්ලී තම පොල් දැනුම මට බෙදා දුන්නේය.

එදා  තේ වේලාවෙන්  පස්සේ ප්‍රමිතියට අනුව පොල් වලවල් කැපීම ආරම්භ කළෙමු. දිනකට අපට කැපිය හැකි වුයේ වලවල් දෙක හමාරක් පමණි.

පුවක් බාස් හේරත් මුදියන්සේලාගේ ප්‍රේමරත්න වෙයි


හවස වැඩ අවසන් වී උඩහ වත්තට වී ඉන්නා අතර පුවක් බාස් පහළින් යනු දුටුවෙමි.

"මල්ලී අර යන්නේ පුවකා නේද? එන්න කියමුද මෙහාට.. අපේ පොල් වලවල් කැපිල්ලට අල්ලා ගන්න තිබ්බනම් හොඳයි " මම පොල් වලවල් කැපීම පුවකාට  භාර දෙන්නට තීරණය කලෙමි.

"පී.. පී..  මේ...එන්නකෝ මේ පැත්තට පොඩ්ඩක් .. මේ අය්යා ඔයාට කතා කරනවා " අත්පුඩියක් ගහමින් ලෙනදොර එගොඩහ ගොඩේ ඉන්නා පුවක් ට කතා කළේය.

"කොහොමද ?  අපි මෙච්චර කල්  ලඟපාත හිටියට ඔයාගේ නමවත් දන්නේ නෑනේ .. මොකක්ද ඔයාගේ නම? "
මම සාකච්චාව ආරම්භ කලෙමි.

"මගේ නම ප්‍රේමරත්න " පුවකා උත්තර දුන්නේය.   "ගම? " මගෙන් තවත් කෙටි පැනයකි.  "ගම රඹුක්කන මම ඉස්කෝලේ ගියේ පින්නවලට " මම උසස් පෙළට කොමර්ස් කරේ  .. වැඩ තුනක් පාස් "

පුවකා තමාගේ  අතීතයේ මා දැනගත් යුතු කොටස් ටික මට ඉදිරිපත් කළේය. "එතකොට වාසගම?" .. මට අවශ්‍ය වුයේ වාසගමෙන් හෝ පුවකා අපට නෑදෑයෙක් වන්නේදැයි දැනගැනීමටයි.

"අපි හේරත් මුදියන්සේලාගේ .. කට්ටිය.. "  එච්. එම්. ප්‍රේමරත්න නොහොත් පුවක් බාස් පිළිතුරු දුන්නේය.

"කොහෙද මේ ගමේ අය ඔයාට පුවක් මල්ලී, පුවක් බාස් කියා කියා ඉන්නවා මිසක් ඕවා දන්නේ නෑනේ නේද ?"
මගේ නෝක්කාඩුව ලෙනදොරලා ඇතුළු නිම්මිලා ගමේ උදවියටය.

"ඔයාගේ  දුව දුල්මිණි ඉගෙනගන්න දක්ෂයි කියලත් මට ආරංචියි.. ඉතින් තාත්තා ඒ ලෙවෙල් කොමර්ස් කරා නම්  දුවට බැරි වෙන්නේ කොහොමද නේද ? "

මම ඉගෙන ගැනීමට උනන්දු  වීමේ ඇති ජානමය සම්බන්ධය  පුවකාටත් ලෙනදොරටත් පැහැදිලි කලෙමි.

ප්‍රේමරත්න බුලත් විටකුත් හපමින් හ්ම් .. හ්ම් .. කියනු හැර වැඩි දෙයක්  කිවේ නැත.

"ප්‍රේමරත්න මේකයි වැඩේ.  ලෙනදොර මහත්තයලා මේ වත්තේ පොල් හිටවන්න යන්නේ අපිට පොල් වලවල් කපන්න කෙනෙක් ඕනෑ.. බැරිද අපට උදව් කරන්න"

"ම්හු.. මට මේ දවස් වල පොල් පැලිලි කීපයක් තියෙනවා .. මම උඩහ සුසන්ත අල්ලලා දෙන්නම් කෝ.."

"මමත් පුළුවන් වෙලාවට එන්නම් "

ප්‍රේමරත්න අපට උදව් කරන්න කැමැත්ත පළකළේය.

මා ඔහුගේ නම දැනගත්තේ එදාය. එදා සිට අද දක්වාම මම පුවක් බාස් අමතන්නේ ප්‍රේමරත්න යන නමිනි. ලෙනදොර මල්ලී විහිලුවට මෙන් ඔහුට මිස්ට පුවක් .. මිස්ට පී .. වැනි නම් පාවිච්චි කළේය.

නිම්මිලා අම්මා ගමේ බොහෝ වැඩිහිටියන් ඔහුගේ මුහුණට  කීවේ පුවක් මල්ලී හෝ දුල්මිනිලා තාත්තා යන නමයි.
ඔහු නැති තැන ඒ නම පුවකා බවට පත් වුයේ නිතැතිණි.

කෙසේ හෝ එදාට පහුවදා ප්‍රේමරත්නපැමිණියේ ඔහු කියූ හිතවතා සුසන්තත් සමගය.

සුසන්තත් ඔහුත් සමග අප දෙදෙනාද එකතු වී එදා පොල් වලවල් අටක් -දහයක් කපන්නට ඇත.

එසේ ආරම්භ වුනු පොල් වලවල් කැපීම දිනෙන් දින ඉදිරියට කරගෙන ගියෙමු.

පොල් මහත්තයා හමු වීම 


දහවල් කෑම වෙලාවේ පුවක්, සුසන්ත සහ අප දෙදෙනා  අතර අනාගත වැඩ සටහන් ගැන සාකච්චාවන් සිදුවෙයි.
පොල් මණ්ඩලයෙන් බෙදාහරින පොල් පැල ගැන සඳහන් කෙරුනේ ප්‍රේමරත්න සහ සුසන්ත අතිනි.

"කොහේද පොල් සංවර්ධන මණ්ඩලේ ඔෆිස් එක තියෙන්නේ ? " මම ඔවුන්ගෙන් විමසා සිටියෙමි.

"කොළඹ -නුවර පාරේ මීපිටිය හරියේ  ඇයි අර ඉස්සරහ ලස්සන පොල් ගස් තුනක් එහෙම තියෙන ඔෆිස් එක මතක නැද්ද ?"

ප්‍රේමරත්න අපට පොල් මණ්ඩලේ තිබෙන තැන මතක් කර දුන්නේය.

මම එවෙලේම  ලෙනදොර මල්ලීට පොල් මහත්තයා හමුවීමට යායුතු බව කීවෙමි.

එසේ ගොස් පොල් පැල ඉල්ලා අයදුම් පත්‍රයක් දෙන ලෙස උපදෙස් දුන්නෙමි.

අප අතර සිදුවුයේ මෙවැනි කතා බහකි.

"මල්ලී එතෙන්ට ගිහිල්ලා නිකන්ම ඇප්ලිකේෂන් එක දෙන්න එපා පොල් මහත්තයත් එක්ක කතා කරන්න "

"ඔයා උතුරේ ක්‍රියාන්විතයේ හිටපු සෙබෙලෙක් බවත් , සුළු තුවාල නිසා දැන් විශ්‍රාම අරන් ඉන්න බවත් කියන්න "

"නිකං ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා පොල් ටිකක් හදන්න හිතුවා කියලා කියන්න.. අපිට අක්කර තුනක් ගෙදර වත්තෙම තියෙනවා කියන්න   "

"කැමති නම් අපි ගැනත් කියන්න .. අපේ අය්යා මෙහෙම කෙනෙක්, එයත් මේ වැඩේට සම්බන්ධයි .. එයා මහත්තයා හම්බවෙන්නත් එන්න ඕනි කිව්වා වෙලාවක ... කියලා කියන්නකෝ "

"ඔය වගේ කතා කරාම ඕන මහත්තයෙක් උදව් කරනවා . ඔයා දැන්ම ඒ පැත්තේ ගිහින් එන්නකෝ. අපි තුන් දෙනා ඉතිරි පොල් වලවල් ටික ගහන්නම්  ."

යැයි ලෙනදොරට පැවසු මම  ඔහු පොල් සංවර්ධන මණ්ඩලයට පිටත් කර හැරියෙමි.

ලෙනදොර අපෙන් සමුගත් මොහොතේ මා පුවක් බාස් කතාවට අල්ලා ගත්තෙමි.

" මේකයි ප්‍රේමරත්න වැඩේ මගේ ප්ලෑන් එක මේ වත්තයි අනෙක් වත්තයි දෙකම පොල් වතු දෙකක් කරන්න.  ඔයා ලෙනදොර මහත්තයා ගැන දන්නවනේ .. මිනිහා මේවා බලා කියා ගන්න තරම් පුළුවන් කෙනෙක් ද ? අපේ මහන්සියි ..වියදමුයි වතුරේ යයිද දන්නේ නෑ..."

මට අවශ්‍ය වුයේ අවුරුදු දෙක තුනක් අසල් වැසියා ලෙස ජිවත් වූ පුවක් බාස් තුල ලෙනදොර ගැන ඇති ආකල්පය මොනවගේ එකක් දැයි දැන ගැනීමටයි.

" දොස්තර මහත්තයා වගේ උනන්දුවෙන් වත්තේ පිටියේ වැඩ කරනවා නම් මම දැකලා නෑ ..

පහුගිය අවුරුදු දෙකට කෙසෙල් ගහක් වත් හිටෙව්වේ නෑනේ..

හැබැයි මේ කරගෙන යන එකෙන් එයා ඕවා කරන පිළිවෙල  හිමින් හිමින් අල්ල ගයි ".

ප්‍රේමරත්න මා මෙන්ම අනාගතය ගැන සුභවාදිව සිතන බව පෙනේ. එය මගේ සිතටත්  අස්වැසිල්ලකී.

මේ අතර වත්තේ පහළින් බර අඩි තබා යමෙක් කන්ද නැග එන (බුට්ස්  පැළඳ ) හඬක් ඇසේ..

පොල් මණ්ඩලේට ගිය ලෙනදොර මල්ලියා නැවතත් අප සමග එක්වන්නට එන හඬයි ඒ..

"කොහොමද මල්ලී ගමන ?  පොල් මහත්තයා හම්බ වුනා ද ? "

"ගමන ඇති සාර්ථකයි අය්යා.. ඔයා කියපු විදිහටම කිව්වා "

පොල්මහත්තයා බණ්ඩාර කියලා කෙනෙක් .. එයාට හරි සතුටුයි මම වගේ කෙනෙක් මෙහෙම පොල් වගාවක් පටන් ගන්නවා කිව්වම "

"ඒකනේ මම කිව්වේ මල්ලී ...තරුණ ජවය යහපත් දේකට යොදවනවා කිව්වම ඔය තැන්වල ඉන්න මහත්තුරුගොඩ දෙනෙක් ඒක අගය කරනවා.."

"හරියට හරි අය්යා .. බණ්ඩාර මහත්තයත් එහෙමම කිව්වා.. ඔයා වගේ හිටපු හමුදා සෙබෙලෙක් මේ වගේ හොඳ වැඩක් කරන එකේ අපි උදව් ක‍රන්නම එපැයි .. කියලා කිව්වා..."

"එයා වත්ත බලන්න හෙට එනවා කිව්වා . අක්කර තුනටම හරි යන්න පොල් පැල දෙන්න පුළුවන් වෙයි කියලත් කිව්වා.."

"නියමයි, නියමයි .. ඕකනේ මම කිව්වේ ඔයා කව්ද කියලා කතාව පටන් ගන්න කියලා .." මම මගේ සතුට ප්‍රකාශ කලෙමි.

"ඒක නෙවෙයි මම අය්යා ගැනත් කිව්වා.. හෙට බණ්ඩාර මහත්තයා  එනකොට අය්යා හිටියොත් හොඳයි.. එයාට අය්යා අඳුරගන්න ඕනේ කියලා කිව්වා.."  ලෙනදොර මල්ලී මගේ නමද පාවිච්චි කර ඇත.

"මල්ලි හෙට අක්කාට නුවර යන්න ඕනේ කිව්වා.. කමක් නෑ අපි වෙන වෙලාවක ඔෆිස් එකට ගිහින් එයා හම්බ වෙමු."

කතා බහෙන් පසු අපි නැවතත් පොලව සමග හැප්පීම ආරම්භ කළෙමු. ගල් මුගුරු සහිත පොලවේ පොල් වලවල් කැපීම සිදුවන්නේ ඉතා සෙමිනි.

මේ අතර ලෙනදොර මල්ලී ඉතා උද්යෝගයෙන් වැඩෙහි යෙදෙනු දක්නට ලැබිණි. බණ්ඩාර මහත්තයා ( පොල් මහත්තයා ) ඔහුගේ සිතට කා වදින ලෙස කතා කර තිබේ.

මගේ සිතද දිනයේ සිදුවීම් සහ කතා බහ  ගැන උපන් සතුටකින් පිරී යයි.




ඊළඟ කොටස මෙතැනින්...





Tuesday, 22 December 2015

2005 නොවැම්බර් 16- 17 මාවනැල්ලේදී




මේ  වන විට මා සිටියේ විදේශ අධ්‍යාපන නිවාඩු පිටය.  නෙදර්ලන්ත අධ්‍යාපන කටයුතු අවසන් කර  කෙලින්ම ඔස්ට්‍රේලියාවට  පැමිණි මා එහි මාස තුනක් ගතකලෙමි .

ඒ ඉදිරියේදී අරම්භ වීමට නියමිත ( 2006) මගේ  ඊළඟ උපාධියට අදාළ පර්යේෂණාගාරයට  හුරුවීමක් වශයෙනි.

රටවල් දෙකක සිදුවූ අධ්‍යාපන කටයුතු නිසා මාස හතරක අධ්‍යාපන හිඩැසක්  මට හිමි විය.

ඒ මාස හතර අලදෙණියේ නිවාඩුවෙන් ම ගත කලේ ආපසු වැඩ භාර ගතහොත් ඇතිවිය හැකි පරිපාලන ගැටළු අවම කර ගන්නා අටියෙනි. 

මගේ පුද්ගලික ජීවිතය මෙසේ දියුණුව කරා යොමුවෙමින් තිබෙන අතර රටේ ජන ජිවිතයද වෙනස් වෙමින් පැවතිණි.

මේ වන විට නව ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට අපේ රටේ ජනතාව මහත් උනන්දුවකින් කටයුතු කරනු දක්නට ලැබිණි.

මා ගුවන් තොටුපලේ සිට රැගෙන ආ වාහනයේ රියදුරා සමගින් ආරම්භ වූ දේශපාලන කතිකාව අලදෙණියේ අනධ්‍යන , අධ්‍යන සේවක සේවිකාවන් සමගද පවත්වා ගෙන ගියෙමි.

රටේ නැගෙන ජන රැල්ලත්  තුන්වන පාර්ශවයක් වූ ජ.වී. පෙයේ  ප්‍රමුඛ  කථිකයන් වූ විමල් විරවංශ වැනි අයගේ ආකර්ශනීය බවත් නිතර පැන නැගුන මාතෘකා විය.

මේ වනවිට මාවනැල්ලේ පවුලට මට අමතරව තවත් පුතෙක් එකතු වී සිටියේය.

ඒ නිම්මිගේ නංගි අමරාගේ  මහත්තයා  "ලෙනදොර" මල්ලීයාය.

ලෙනදොර මල්ලී විවාහ වන කාලේ කොළඹ යුද හමුදා මුලස්ථානයේ  වැඩ කලේය.

ඊට කලින් ඔහු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි වලදී කොටි බෝම්බයකට හසුවූ තුවාල ලබා සිට ඇත.

2005 වන විට ඔහු බෝම්බයේ කම්පනයෙන් ඇතිවූ   අතුරු  අබාධ සඳහන් කර හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන සිටියේය.

මේ කාලයේදීත්  නිම්මිලා අසල්වැසියා පුවක් බාස් ඔවුන් සමග සෑහෙන කිට්ටුවෙන් කටයුතු කළේය.

 ඒ ඔවුන්ගේ පොල්  කඩා දීම , යන එන ගමන් කොස් ගෙඩියක් ගෙනැත් දීම වැනි දේවල්ද සමගය.

ලෙනදොර මල්ලීලා  සහ අපේ ගණුදෙනු



අප ඕස්ට්‍රේලියාවේ  සිට ලංකාවට එන ගමනේදී අපව රැගෙන එන්නට ගුවන් තොටුපළට පැමිණි  අය අතර අරලගන්විල අපේ මස්සිනාලා දෙදෙනෙකුත්   ලෙනදොර මල්ලීත් සිටියා මතකය.

ගුවන් තොටුපලේ සිට මාවනැල්ලට එන මොහොත දක්වාම  මා කතා කලේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රට වල් වල දියුණුවත්  එහි මිනිසුන්ගේ හොඳ ගති ගුණ ගැනත්ය.

"මල්ලිලා කිව්වට විශ්වාශ කරන්නේ නෑ ..

ඒ රටවල මිනිස්සු කොච්චර තමන්ගේ රටට වැඩ කරන ආයතනයට ආදරේද කියලා"

"අල්පෙනෙත්තක දෙයක් වත් වැඩ කරන තැනින් අර ගන්නේ නෑ නේ ඒ මිනිස්සු "

මම කියා ගෙන ගියේ 

"මමය ..මගේය කියනවාට වඩා  අපිය .. අපේ රටේ දේය" 

යන තදබල හැඟීමක් ඒ රට වැසියන් තුල මට දක්නට ලැබුණු වගයි.

එමෙන්ම ශීතල නොතකා එහි මිනිසුන් කම්මැලි වැඩ කරන හැටි ගැනද කතා කලෙමි.

 මමත් නිම්මිත් දෙදෙනාම එහිදී ලැබූ අත්දැකීම් මෙන්ම අප කල අතිරේක රැකියා ගැනද අකුරක් නෑර පැවසුයෙමි.

උදේ පාන්දර හිම ගොඩේ ඇවිදිමින් පත්තර බෙදීම අප දෙදෙනා කල එකම සහ කටුකම අතිරේක රැකියාවයි.

මෙය වැඩිපුරම කලේ නිම්මි වූ අතර මම  පත්තර දැමීමට ගියේ සති අන්තයේ පමණි. 

සතියේ දිනවල නිම්මි උදේ පාන්දර හතරට පිටත් වෙයි . ඒ  නේපාල ජාතික "රාජේශ් තාපා" ගේ බිරිඳ  "අශිලා" ත් සමගය. 

මම උදේ හතරේ සිට  පොත් පත් කියවමින් නිම්මි නැවත එන තුරු සුපුන් බලා ගෙන සිටියෙමි.

මේ කතා සියල්ල අකුරක් නෑර ලෙනදොර මල්ලිටත්  අපේ නංගිලා අක්කලාගේ මහත්වරුන්ටත් කී හැටි මට අද වාගේ මතකය.

අරමුණ  අන් කිසිවක් සඳහා නොව  ඒ කතා අසා ඔවුන්ද අපේ රටට වැඩ දායක දෙයකට යොමු කරන බලාපොරොත්තුවයි.

අමුතු අය්යා කෙනෙක් 



අනෙක් නිවාඩු මෙන් මේ නිවාඩුවද වැඩිපුර ගත කෙරුනේ මාවනැල්ලේ ය.

නිම්මි අමරා නංගි සහ අම්මා සමග රට තොට විස්තර කතා කරන අතර මම ලෙනදොර කතාවට අල්ලා ගත්තෙමි. 

මේ වනවිට අමරා නංගි ගේ ලොකු පුතාගේ වයස අවුරුද්දක්  පමණ වන්නට ඇත.

 අමරා මේ දිනවල  දෙනුවර රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස  සේවය  කළාය.

ඒ නිසාම නිවසේ විශ්‍රාමික සුවයෙන් සිටි ලෙනදොර මල්ලිගේ ප්‍රධාන රාජකාරිය වුයේ සිය පුතු මාලක බලාගෙන නිවසට වී සිටීමයි.

අපේ සාකච්චාව සිදු වුයේ මේ ආකාරයෙනි.

"ලෙනදොර මල්ලී  .. මොනවද අපි  නැති කාලේ ලංකාවේ විස්තර ?" ලඟදි කුරුණෑගල ගම පැත්තේ එහෙම ගියේ නැද්ද?"

"ගියේ නෑ අය්යා .. මේ මාලක ගේ වැඩ නිසා.."

"මොනවද අප්පා මාලක ගේ වැඩ ?" "නංගි නැති වෙලාවට එයා බල ගන්න එකද ?"

"ඉතින් අම්මත් ඉන්නවනේ ?" ..

"අම්මත්  එයා බලා ගන්නවා තමයි . ඒ වුනාට අමරා කැමතියි මම නිතරම පුතා ගැන ඇහැ ගහගෙන ඉන්නවනම්.."

"ඒ කියන්නේ බබා බලා ගන්න ගමන් වත්තේ පිටියේ වැඩක් එහෙම කරන්න වෙලාව තියෙනවා ?"

"ඔවු .. ඔවු ..එයා දවල්ට ටිකක් නිදා ගන්න එකත් කරනවානේ ..?"

"මොනවද ඔයා දැනට හදලා තියෙන්නේ ?"

"මම   රඹුටන්  පැල ටිකකුයි අඹ පැල ටිකකුයි හැදුවා .. ගන්නොරුවෙන් ගෙනැල්ලා"

"කොහෙද උඩහ වත්තේ ද  ?"  .. මා ඇසුවේ මා මුලින්ම මෙහි පැමිණි දිනවල එලි පෙහෙළි කල ප්‍රදේශය ගැනයි.

මේ වනවිට මම හැදු කෙසෙල් , ගම්මිරිස් , එනසාල් ඇතුළු සියළු වගාවන් කැලයෙන් වැසි තිබෙනු දක්නට ලැබිණි.

"නෑ.. අය්යා මිදුලේ මෙන්න මේ පැත්තේ.." ලෙනදොර ඒ පැත්තට අත දික්කළේය.

"යමුකෝ බලන්න ඔයාගේ වගාව.."

ටයර් දෙකකින් වටකර හැදු රඹුටන් පැල කිහිපයක් සහ අඹ පැල කිහිපයක් ලෙනදොර මල්ලියා මට පෙන්නුවේය.

"මල්ලී ..කෝ මෙතැන තිබ්බ ලොකු පොල් අඹ ගහ?:... මා ඇසුවේ ඉස්සර ගෙට එන අඩිපාර අයිනේ තිබු පරණ අඹ ගහ ගැනයි.

"ඒක පුවකාට කියලා කපලා දැම්මා අය්යා.. ඊට පස්සේ තමයි මේ බඩ් අඹ පැල දෙක හැදුවේ.."

මේ වන විට ලෙනදොර මල්ලිට  කවිඳු අය්යා ගැන යම් අදහසක් පහළ වී ඇති සෙයකි.

 මා ගහට කොළට ඉතා කැමැත්තක් දක්වන බව ඔහු ඉවෙන් මෙන් වටහා ගෙන ඇත.

මට ඒ ඉඟිය සැපයුවේ ඔහු අඹ ගහ ගැන මා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් ආකාරයයි.

මාතෘකාව වෙන අතකට හැරවූ මා  ඔහුගේ පරණ රැකියාව ගැන සහ ඔහු විශ්‍රාම ගැනීම ආදිය ගැන කතා කලෙමි.

ඔහුගේ විශ්‍රාම ගැනීමට හේතු වූ දේවල් අතර ඔහු කොළඹින් මාවනැල්ලට මාරු කිරීම මෙන්ම අමරා වැඩට යන නිසා මාලක බලාගැනීමේ වගකීමද ද  ඇතුලත් විය.

"මල්ලී  ඔයාගේ පඩි කොහොමද ?  "

"පහළොවක් විස්සක් විතර හම්බ වෙනවා අය්යා "

"ඔයාගේ වයස කියද  දැන්  ..?"

"තිස් එකක් වෙන්න ලඟයි  "

"අය්යෝ මල්ලී .. ඔයා තාම තරුණයි නේ  .. ඔය තරුණ ජවය අපතේ යවන්න එපා.."

"විශ්‍රාම ගත්තට ඔයාගේ ඇඟේ තවම හය්ය තියෙන කාලෙනේ.."

"අනික පොඩි ළමයෙක් බලාගෙන ගෙදරට වෙලා හිටියනම් මට නම් පිස්සු හැදෙයි.."

මේ සාකච්ඡාව සිදු වුයේ නොවැම්බර් 16 වෙනිදාය.  මේ වන විට රටේ ඡන්ද උණුසුම නහුතයට නැග තිබුනා කිවොත් නිවැරදිය.

ලෙනදොර මල්ලී, අම්මා නංගි ඇතුළු හැමෝමත් මම සමන්ත සහ අරලගංවිල පවුලේ හැමෝමත් මහින්ද රාජපක්ෂ ජනාදිපති වන තුරු පුල පුලා බලා සිටි දිනයකි.

ගිරුවාපත්තුවේ  ජන නායකයා ඇවිත් අපේ රට ගොඩ ගන්නා දිනයක් ගැන සිහින මැවූ පිරිස අතර අලදෙණියේ වෙද විදුහලේ මගේ සගයෝ සැහෙන පිරිසක්ද වූහ.

මම හවස් යාමයේ නැවතත් ලෙනදොර සමග සාකච්චාව ඉදිරියට ගෙන ගියෙමි.

"මල්ලී මම මෙහාට එනකොට  තිබ්බේ තනි කැලයක් .."

"මම සැහෙන්න මේ වත්ත සුද්ධ කරලා හරි ගැස්සුවා .. හෙට උදේ ඉඳලා අපි ආයෙත් ඒ වැඩේ පටන් ගමු.. "


මම කලින් කිව්වා වගේ ඔයාගේ තරුණ ජවය අහක යවන්න එපා..

ඒකෙන් වැඩක් ගමු පුළුවන් වෙලාවට මාලක බලන එක අම්මාට කරන්න ඉඩ දෙමු.

පසුදාට පහන් විය. අපි පුවක් බාස්ගේ ගෙට පෙනෙන මානයේ තිබුණේ වත්තේ පහළ කොටසට ගියෙමු.  මා  ලෙනදොර මල්ලිගේ පරණ කොට කලිසමක් ඉල්ලා හැඳ ගත්තෙමි.

ලෙනදොර මල්ලියා  අතට ග්ලවුස් දමා ආමි බුට්ස් දෙකක් එහෙම දමාගෙන වැඩට බැස්සේය.

පසුකලෙක මමද ඔහු මෙන් ආරක්ෂා කාරීව වත්තට යන්නට පුරුදු වුයේ  බුට්ස් සහ ග්ලවුස් පැළඳීම මමද පුරුද්දක් කර ගත්තෙමි.

හොඳ කිඹුලා උදළු දෙකක් ගත් අප කැලය එලි කරන්නට පටන් ගත්තෙමු.

මගේ සිතට දිනයේ වැදගත් කම සිහි වුයේ මේ අතර  .

මා පළමු උදැල්ල ගසා ලෙනදොර දෙස හැරුණු හැටි මට තාමත් මතකය.

"මල්ලී.. අද නොවම්බර් 17 .. වැදගත් දවසක් මහින්ද රටේ ජනාදිපති වුණ දවසත්  අද.. අද අපි මේ පටන් ගන්නේ ලොකු වැඩක්"

මේ මාස හතර ඉවර වෙනකොට මේ වත්තයි  නිම්මිලාගේ "අඹගහමුල  හේන " වත්තයි දෙකම වගා කරන්නයි මගේ අදහස.

ඊට පස්සේ මම ඔස්ට්‍රේලියාවට යනවා හැබැයි ඔයාට මේ දේවල් බලා කියා ගන්න පුළුවන් නේ. "

" ඔවු .. ඔවු .. අය්යා අය්යා කිව්වා වගේ මටත් ඇත්තටම කම්මැලියි ගෙදරට වෙලාම ඉඳලා "

මම නැවතත් කටහඩ අවදි කලෙමි.

"මල්ලී මම ආපසු එවෙන්නේ අවුරුදු හතරකින් පහකින් ..

ඒ වෙනකොට මම බලාපොරොත්තු වෙනවා මහින්ද අපේ රට හොඳ තැනකට ගෙනෙයි කියලා..

ඒ වගේම ඔයා මේ වතු පිටිත් හොඳ තත්වෙකට ගෙනෙයි කියලා.."


අපි බලමුකෝ අවුරු හතරකට පස්සේ රට තියෙන්නේ කොතැනද  .. ලෙනදොරලා ඉන්නේ කොතැනද කියලා.."

මම සාකච්චාව හමාර කලෙමි.

ලෙනදොර මල්ලියා හඬ අවදි කළේය.. " අය්යා මම හිතුවේ ඩොක්ටර්ස් ලා කිව්වම හරි අමුතු මිනිස්සු කියලා ... ඔයා ආශ්‍රයට හම්බ වුනාට පස්සේ තමයි මගේ ඒ අදහස බොරුවක් කියලා තේරුණේ.."

"මට ඔයවගේ කෙනෙක් කලින් හම්බ වෙලා තිබුණේ නෑ නේ.."

දැන් ලෙනදොර මල්ලිත් මමත්  සිටින්නේ එකම අරමුණක් සහිතවයි.


ඒ ගම හදා රට හැදීමේ බලාපොරොත්තුව  පෙරදැරි කරගත් අය්ය මලෝ  දෙදෙනෙක් ලෙසයි.







ඊළඟ කොටසට මෙතනින් පිවිසෙන්න .

Friday, 18 December 2015

සඳකඩපහන -පළමු කොටස


මා මේ කියන කාලයේ සිටියේ  වෙද විදුහලේ  දෙවන සහ තුන්වැන වසර අතරයි.

වෙනත් අයුරකින් කිවහොත්    සායනික කටයුතු පටන් ගන්න  පෙරාතුව ඇති සංක්‍රාන්ති සමයයේය.

අප වෙද විදුහලේ මේ කාලය ගත කරන ශිෂ්‍ය කණ්ඩායමට (තුන්වන වසරේ සිසුන්ට )පැවරෙන වගකීමක් තිබේ.

ඒ "ස්වයං උපකාර ශිෂ්‍යත්වය" නමින් හැඳින්වෙන අපේම සහෝදර සිසුන්ට උපකාර කරනා ශිෂ්‍යත්ව අරමුදලකට මුදල් එකතු කිරීමයි.

ඒ සඳහා   සාමාන්‍යයෙන් කරන්නේ සංගීත සංදර්ශනයක් , නාට්‍යයක්  වැනි යමක්  කොළඹින් ගෙන්වා පෙන්වීමයි.

සුපුරුදු පරිදි කණ්ඩායම් රැස්වීමක් කැඳවා  මේ සම්බන්ධයෙන් සාකච්චා කළෙමු.

ඒ දිනවල ප්‍රසිද්ධියට පත් නාට්‍ය  කිහිපයක් සහ ඒක පුද්ගල හෝ ද්වීපුද්ගල සංගීත ප්‍රසංග කිහිපයකුත් යෝජනා වුවා මතකය.

පුරුදු පරිදි කිසිදු මතගැටුමකින් තොරව  අදාල ප්‍රසාංගික අංගය තෝරා ගැනිණි.


කණ්ඩායමේ ඒකමතික  තීරණය වුයේ සුනිල් එදිරිසිංහ යන්ගේ  "සඳකඩපහන " ගීත ප්‍රසංගය  ගෙන්විමටයි.

අපේ  වෙද විදුහල් ශ්‍රවනාගාරය   මේ සඳහා ලබා දීමට සුචරිත් අල්විස් මහතා ( අපේ  වෙද විදුහල් අදිපති තුමා ) එකඟ වී තිබුණි.

බොහෝ විශ්ව විද්‍යාල වල ගුරුවරු සිසුන්ගේ වැඩ ගැන වපර ඇහින් බැලුවද සුචරිත් සර්ලා එහෙම කලේ නැත,

 මේ කාලේ හතර වන කණ්ඩායමේ ශිෂ්‍ය නියෝජිතයා  ලෙස කටයුතු කලේ මමයි.

 මගේ සහයට සිටි සිසු නියෝජිත වරිය වුයේ සුජානි දෙහිගස්ලන්ද   සොයුරියයි.

සුජානිත් මමත් මුල් වසර දෙක   එකම ශරීර කණ්ඩායමේත්   ඉන්පසු එළැඹී වසර තුනේ එකම සායනික පුහුණු කණ්ඩායමේත් සාමාජිකයෝ වූයෙමු.

කාලය කෙමෙන් ගෙවී ගොස් අපේ ප්‍රථම සායනික පුහුණු මාස තුනද ආරම්භ විය.  ඉස්ඉස්සෙල්ලාම රෝගීන් සමග ගණුදෙනු පටන් ගැනුණු මේ කාලයේ සිසුන් ලෙස අපේ මනස නිරවුල්ව තිබීම අත්‍යවශ්‍ය දෙයකි.

අනෙක් සිසුන්ට නැති බරක් මගේ හිස මත තිබේ .  ඒ ශිෂ්‍ය නියෝජිත තනතුරයි.   තමා නියෝජනය කරන කණ්ඩායමත් ආචාර්ය මණ්ඩලයත් අතර ගණුදෙනු  හැල හැප්පිමකින් තොරව කරගෙන යෑම සිසු නියෝජිතයාගේ වගකීමයි.

ශිෂ්‍ය නියෝජිතයෙක් ලෙස ලැබිය හැකි හොඳම වර්ගයේ සහෝදර සිසුන් සමූහයක්  සහිත බැච් එකක් ලැබීමට තරම් මා වාසනා වන්ත විය.

 එමෙන්ම තම රාජකාරිය හරියට කල සායනික හා අනෙකුත් ගුරුවරු සමුහයකුත් ලැබීම මගේ කටයුතු ඉතාම පහසු  කරවන්නක් විය.

විශේෂයෙන් ළමා රෝග අංශයේ සිටි අජිත් සමරසේන සර් වැනි අපේ ගුරුවරු අපට තම දරුවන් හෝ සහෝදරයන් මෙන් සැලකු ගුරු පියවරු වූහ.

ලොකු කුඩා වෙනසක් නැතිව අප මුහුණ දුන් ඕනෑම ආකාරයේ ගැටලුවකදී සුචරිත්  මහතා සහ අජිත් මහතා අප වෙනුවෙන් පෙනී සිටියහ.

 මෙහිලා විශේෂයෙන් සඳහන් කල යුතු තවත් සායනික ගුරුවරයෙක් වන්නේ  ජනරංජන නම් සර්ජන් මහතාය.  
ඒ වනවිට රජයේ ව්‍යිදය නිලධාරී සංගමයේ සභාපති වූ ඒ මහතා  තම වෘත්තීය සමිති  අදහසට පවා පිටුපා යමින් අපේ සායනික කටයුතු  වෙනුවෙන් කැපවී සේවය කල හැටි මට මතක තිබේ.

 ( GMOA එක වර්ජන කලද හතරේ කණ්ඩායමේ අපට තිබු ඉමහත් හිතවත් කම නිසා ජනරංජන සර් අපේ සායනික කටුයුතු දිගටම කරගෙන ගියේය.).

මේ හේතුන් නිසා  ශිෂ්‍ය නියෝජිත තනතුර දරන අතරම මගේ අධ්‍යාපන කටයුතුත්  ඉතා හොඳින් කරගෙන යෑමට  මට පහසු විය. 

 

සංවිධායක කමිටු සහ ආධාර රැස් කිරීම.

සායනික සහ අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යන අතර අපේ ශිෂ්‍යත්ව අරමුදල් වැඩද  ඉදිරියට යමින් තිබිණි.

සාමාන්‍යයෙන්  සංගීත ප්‍රසංගයට මාස ගණනාවක් තිබියදී  ඒ සඳහා සුදානම්වීම ඇරඹෙයි.

මුලින්ම ආචාර්ය මණ්ඩලයෙන් එක් අයෙක් භාණ්ඩාගාරික ලෙසත්  අපේ කණ්ඩායමේ   කණඩායම් නියෝජිතයා  සභාපති ලෙසත් පත් කරනු ලැබීය.

  මේ ක්‍රියාවට සක්‍රියව දායක වීම සඳහා  ශිෂ්‍ය අනුකමිටු කිහිපයක්   ද  අපේ කණඩායම්  සගයින් අතරින්  තෝරා පත් කෙරුණි.

සමරු කලාප කමිටුව, ටිකට් පත් විකිණීමේ කමිටුව, ආහාර කමිටුව  ආදී කමිටු ගණනාවක් මෙයට ඇතුලත් විය.

ඇත්ත වශයෙන් ම ශිෂ්‍ය නියෝජිතයා  සහ ගුරු මණ්ඩල නියෝජිතයාට වඩා කාර්යයක් මෙම කමිටු වලට පැවරුනා කිවහොත් නිවැරදිය..

බොහෝවිට මෙම කමිටු වලට වැටුනේ  එකිනෙකා අතර හිතවත් කම් වැඩි අය හෝ එකම ශරීර කණ්ඩායමේ අයය.

කණ්ඩායම් නියෝජිතයා ලෙස මම ප්‍රධාන කමිටු කිසිවකට අයත් නොවූ අතර  හැකි සෑම අවස්ථාවකම  ඒ ඒ වෙලාවේ ක්‍රියාකාරී කමිටු වලට මගේ සහාය දුන්නෙමි.

මේවා අතර මා ඉතා සක්‍රිය ව දායක වූ කමිටු වුයේ ටිකට්  පත් විකිණීමේ කමිටුව සහ සමරු කලාප කමිටුවයි.

සමරු කලාපය සකස් කිරීමේදී මෙන්ම ටිකට් පත්  අලෙවි කිරීමේදීත් සිදු වූ සමරහක් සිදු වීම් ඉතා රසවත්  මෙන්ම සදා මතකයේ රැඳෙන වර්ගයේ ඒවා විය.


සායනික කටුයුතු අවසානයේ කල ටිකට් විකිණීම.



ඒ දවස් වල සුජානිත් මමත් අපේ සායනික කණ්ඩායමේ සියළුම දෙනාත් එකම අරමුණක් වෙනුවෙන් වැඩ කළෙමු. 

ඒ මගේ නායකත්වයෙන් ඇති 4 කණ්ඩායමේ   වගකීම වූ සඳකඩපහන ප්‍රසංගය අති සාර්ථක එකක් කර ගැනීමයි.

වෙනත් විශ්ව විද්‍යාල වල මෙන් නොව අපේ විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් හැඟීම හොඳින්ම පැවති තැනකි. එයිනුත්   හතරේ කණඩායම සුවිශේෂී ලෙස එකමුතු වී සිටියහ.

ඒ නිසාම අපේ සායනික කණ්ඩායමේ සිටි නොයෙකුත් දේශපාලන අදහස් දැරූ  සිසුන්ද අප හා සුජානිලා මෙන් ඉතා ඕනෑ කමින්  සඳකඩපහනේ වැඩ වලට උදව් කළහ.

අප ටිකට් විකිණීම සඳහා පිටත් වන්නේ  හවස හතර හමාරට පමණය.  හවස් වරුවේ දේශන අවසන් කර කැන්ටිමට එක් වන අපේ සායනික කණ්ඩායම කොටස් දෙකකට  බෙදෙන්නේ ප්ලේන්ටියක් සප්පායම් වන අතරයි.

එක කණ්ඩායමක්  අසල පිහිටි ගමටත් අනෙක් කණ්ඩායම ඊට විරුද්ධ පැත්තට ගමන් කරන්නේ  ගෙයක් ගෙයක් ගානේ ගොස් ප්‍රවේශ පත්‍ර විකිනිම සඳහාය.

එදා හවස මා සමග ගිය කණ්ඩායමට සුජානිත් , වනමලී , දේවින්ද ඇතුළු පස් දෙනෙක් ඇතුලත් වූහ.

" ටක්.. ටක්.. ගෙදර කවුද? "  නඩේ ගුරා ලෙස ගිය මම ගෙදර දොරට තට්ටු කලෙමි.

අපේ අම්මලාගේ වයසේ වූ අම්මා කෙනෙක් තම අත් දෙක පිහදමින් ඉදිරි දොර වෙත ආවාය.

"කවුද මේ ළමයි? " ඒ අම්මා අපෙන් විමසා සිටියාය.

"මචං  ජයේ .. උඹ කතා කරපන් " අපිත් සමග සිටි දේවින්ද හෝ පොඩි චාමර හෝ කීවා මතකය.

මේ ගෙවල් හැම එකකදීම වාගේ ගෘහ මුලිකයින් සමග කතා කිරීම සිදු වුයේ මා අතිනි.

මට අමතරව සුජානිද ගෙන ගෙට ගොස්  අපේ "ස්වයං උපකාර ශිෂ්‍යත්ව" වැඩ පිළිවෙල ගැන කතා කළාය.


"අම්මේ  අපි කරගම්පිටිය වෙද විදුහලේ ශිෂ්‍යයෝ" ..  මම කටහඬ අවදි කලෙමි.

"අපි අපේම කණ්ඩායම් වල ඉන්න ආර්ථික අපහසුකම් වලින් පෙළෙන සහෝදරවරුන්ට ශිෂ්‍යත්ව දෙන්න  කරන වැඩක් ගැන කියන්නයි ආවේ.."

"අම්මා දන්නවනේ ලංකාවේ හැමෝටම එක වගේ ආර්ථික ශක්තියක් නැති බව".  "ඒ වුනාට  දුප්පත් පවුල් වලත් ඉගෙන ගන්න දක්ෂ ළමයි  ඉන්නවා" .

"අපි ඒ අයට උදවු කරන්න ශිෂ්‍යත්ව දෙකක් දෙනවා හැම අවුරුද්දෙම" .

"ඒ අරමුදලට ආධාර පිණිස අපි  සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සඳකඩ පහන  පෙන්වනවා  අපේ ශ්‍රවනාගාරයේ ".
"ඒක හරි ලස්සන ගොඩනැගිල්ලක් අම්මේ .. ෂෝ එකත් හරි ලස්සනයි ..අම්මලා අපෙන් ටිකට් කිහිපයක් මිලදී ගත්තොත් අපේ බැච් එකේ දුප්පත් ශිෂ්‍යයෝ දෙන්නෙක් තමන්ගේ අනාගතයට භය නැතුව මුහුණ දෙනවා..".


මම ඒ අම්මාට මා නතර කරන්නට නොදී කියාගෙන ගියෙමි. අප තාමත් ගේ දොරකඩය..

"හරි හරි පුතේ මට තේරෙනවා.. එන්නකෝ කට්ටියම ගේ ඇතුළට.. මෙන්න මෙහෙන් වාඩි වෙමුකෝ.
මහන්සිත් ඇතිනේ කට්ටියට තේ එකක් බොමු නේද ?"

"දුවේ අර ඉදිච්ච කෙහෙල් කැනක් තිබ්බා නේද? එන්න ඒක අරන් එන්න මේ අය්යලා අක්කලාට දෙන්න"

"ඒක නෙවෙයි පුතා .. මම ඔයාගෙන් අහන්න හිටියේ .. ඔයාගේ ගම කොහේද ? "

ඒ අම්මා අනෙක් උන් පසෙක සිටියදී මා හා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට  පටන් ගත්තාය.

"මගේ ගම අරලගංවිල අම්මේ... මම ඉස්කෝලේ ගියේ අරලගංවිල සෙන්ට්‍රල් එකට".


"ඔයා හරි කටකාරයි නේ " ...ඔයා වගේම පුතෙක් මටත් හිටියා.. එයාත් කතාව පටන් ගත්තම ඔයා වගේමයි"

"එයා අසුනවයේ කළබල කාලේදී නැතිවුණා.  හිටියනම් එයත් ඔයා වගේම තමන්ගේ යාළුවන් වෙනුවෙන් මේ විදිහට කතා කරයි".

මගේ ඇස්  දෙකට කඳුලක් නැගුණේ ඉබේමය. මා   අසලම සිටි සුජානි එය  දකින්නට ඇතිවාට සැක නැත.

"ඔයා පරිස්සම් වෙන්න පුතේ ඔහොම කතා කරන අයට  මේ රටේ සමහර මිනිස්සු කැමති නෑ.."

මේ අතර මමත් සුජානිත්  ඇයගේ පුත්‍රයාගේ විස්තර අසන්නට පටන් ගත්තෙමු.

හිත ඇතුලෙන් මට අපිත් එක්ක අරලගංවිල ඉස්කෝලේ හිටී සුරංජිත්, කත්‍රිආරච්චි වැන්න වුන් මතකයට නැගේ.

මේ අම්මාගේ පුතාටද අත්වි ඇත්තේ සුරංජි ලාට අත්වූ  අවාසනාවන්ත ඉරණමයි.

මට මිනිසුන් ගේ හිත් කියවිය නොහැක. එහෙත්  ඇය ඒ වෙලාවේ හිතමින් සිටි දේ කුමක් දැයි මට ඔබට කිව හැකිය.

" මේ  කොල්ලා 1989 දී  බේරුණේ කොහොමද ?"  ඇයගේ සිතේ එවෙලේ  පැනනැගුනු ප්‍රශ්නය බව මම  ඒ ශෝකාන්විත විත එහෙත්  ආදරයෙන් පිරුණු ඇස්  දෙක  තුලින් කියවුයෙමි.

අප ඒ නිවසේ විනාඩි 20ක් 30 ක් පමණ ගත කරන්නට ඇත.  අප තිදෙනාගේ සාකච්චාව අතර තුර නයිස් බිස්කට් , කෙසෙල් ගෙඩි , ක්‍රීම් ක්‍රැකර් සමග කිරි තේ වලින් අපට සංග්‍රහ කරනු ලැබිය.

සුජානි ඇතුළු මගේ සගයන්ගේ විඩාව හොඳින්ම නිවී ගියේ අපට ලැබුණු ඒ  සංග්‍රහ නිසාය.

අනතුරුව ඒ අම්මා අපෙන් ටිකට් පත් තුනක්ම මිලදී ගත්තාය.  " සින්දු කොහොම වුනත් මම ඔයාලගේ වැඩේබලන්න එදාට එනවා"  ඇය අපට පොරොන්දු වුවාය.

ඇගෙන් සමුගෙන පාරට පැමිණි  පසු මගේ කණ්ඩායම් සගයින්ගෙන් අනේක විද පැසසුම් මා කරා ගලා එන්නට විය.

" ජයේ මිට පස්සේ උඹම විස්තරේ කියපන් .. එහෙම වුනොත් අපිට හොඳ සැලකිලි තමයි " කොල්ලෝ කියන්නට වූහ.

"ජයසිංහ නම් වැඩ කාරයෙක් තමයි . දැක්කනේ  කවදාවත් දැකලා නැති ඇන්ටිලා අල්ලාගන්න හැටි "  වනමලී පැවසුවේ හිනාවෙන ගමන්මය.

මගේ සිත ඒ තරම්ම සැහැල්ලු නැත.. මොකක්දෝ බරක් මගේ පපුව මත පතිත වූ ගතියක් මට දැනෙන්නට විය.

බිම බලාගෙන ගමන් කරන මා අසලින්ම එන තවත් යුවතියකි. ඒ  අපේ බැච් රෙපී  "දෙහි " සොයුරියයි.

 " ඒක නෙවයි ජයසිංහ .. ඒ ඇන්ටිගේ කතාව  අහලා ඔයාට  දුක හිතුනා නේද..?" මගේ සිතැගි ඉවෙන් මෙන් දැනගත් සුජානි ඇසුවාය.