Follow by Email

Tuesday, 22 December 2015

2005 නොවැම්බර් 16- 17 මාවනැල්ලේදී




මේ  වන විට මා සිටියේ විදේශ අධ්‍යාපන නිවාඩු පිටය.  නෙදර්ලන්ත අධ්‍යාපන කටයුතු අවසන් කර  කෙලින්ම ඔස්ට්‍රේලියාවට  පැමිණි මා එහි මාස තුනක් ගතකලෙමි .

ඒ ඉදිරියේදී අරම්භ වීමට නියමිත ( 2006) මගේ  ඊළඟ උපාධියට අදාළ පර්යේෂණාගාරයට  හුරුවීමක් වශයෙනි.

රටවල් දෙකක සිදුවූ අධ්‍යාපන කටයුතු නිසා මාස හතරක අධ්‍යාපන හිඩැසක්  මට හිමි විය.

ඒ මාස හතර අලදෙණියේ නිවාඩුවෙන් ම ගත කලේ ආපසු වැඩ භාර ගතහොත් ඇතිවිය හැකි පරිපාලන ගැටළු අවම කර ගන්නා අටියෙනි. 

මගේ පුද්ගලික ජීවිතය මෙසේ දියුණුව කරා යොමුවෙමින් තිබෙන අතර රටේ ජන ජිවිතයද වෙනස් වෙමින් පැවතිණි.

මේ වන විට නව ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට අපේ රටේ ජනතාව මහත් උනන්දුවකින් කටයුතු කරනු දක්නට ලැබිණි.

මා ගුවන් තොටුපලේ සිට රැගෙන ආ වාහනයේ රියදුරා සමගින් ආරම්භ වූ දේශපාලන කතිකාව අලදෙණියේ අනධ්‍යන , අධ්‍යන සේවක සේවිකාවන් සමගද පවත්වා ගෙන ගියෙමි.

රටේ නැගෙන ජන රැල්ලත්  තුන්වන පාර්ශවයක් වූ ජ.වී. පෙයේ  ප්‍රමුඛ  කථිකයන් වූ විමල් විරවංශ වැනි අයගේ ආකර්ශනීය බවත් නිතර පැන නැගුන මාතෘකා විය.

මේ වනවිට මාවනැල්ලේ පවුලට මට අමතරව තවත් පුතෙක් එකතු වී සිටියේය.

ඒ නිම්මිගේ නංගි අමරාගේ  මහත්තයා  "ලෙනදොර" මල්ලීයාය.

ලෙනදොර මල්ලී විවාහ වන කාලේ කොළඹ යුද හමුදා මුලස්ථානයේ  වැඩ කලේය.

ඊට කලින් ඔහු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි වලදී කොටි බෝම්බයකට හසුවූ තුවාල ලබා සිට ඇත.

2005 වන විට ඔහු බෝම්බයේ කම්පනයෙන් ඇතිවූ   අතුරු  අබාධ සඳහන් කර හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන සිටියේය.

මේ කාලයේදීත්  නිම්මිලා අසල්වැසියා පුවක් බාස් ඔවුන් සමග සෑහෙන කිට්ටුවෙන් කටයුතු කළේය.

 ඒ ඔවුන්ගේ පොල්  කඩා දීම , යන එන ගමන් කොස් ගෙඩියක් ගෙනැත් දීම වැනි දේවල්ද සමගය.

ලෙනදොර මල්ලීලා  සහ අපේ ගණුදෙනු



අප ඕස්ට්‍රේලියාවේ  සිට ලංකාවට එන ගමනේදී අපව රැගෙන එන්නට ගුවන් තොටුපළට පැමිණි  අය අතර අරලගන්විල අපේ මස්සිනාලා දෙදෙනෙකුත්   ලෙනදොර මල්ලීත් සිටියා මතකය.

ගුවන් තොටුපලේ සිට මාවනැල්ලට එන මොහොත දක්වාම  මා කතා කලේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රට වල් වල දියුණුවත්  එහි මිනිසුන්ගේ හොඳ ගති ගුණ ගැනත්ය.

"මල්ලිලා කිව්වට විශ්වාශ කරන්නේ නෑ ..

ඒ රටවල මිනිස්සු කොච්චර තමන්ගේ රටට වැඩ කරන ආයතනයට ආදරේද කියලා"

"අල්පෙනෙත්තක දෙයක් වත් වැඩ කරන තැනින් අර ගන්නේ නෑ නේ ඒ මිනිස්සු "

මම කියා ගෙන ගියේ 

"මමය ..මගේය කියනවාට වඩා  අපිය .. අපේ රටේ දේය" 

යන තදබල හැඟීමක් ඒ රට වැසියන් තුල මට දක්නට ලැබුණු වගයි.

එමෙන්ම ශීතල නොතකා එහි මිනිසුන් කම්මැලි වැඩ කරන හැටි ගැනද කතා කලෙමි.

 මමත් නිම්මිත් දෙදෙනාම එහිදී ලැබූ අත්දැකීම් මෙන්ම අප කල අතිරේක රැකියා ගැනද අකුරක් නෑර පැවසුයෙමි.

උදේ පාන්දර හිම ගොඩේ ඇවිදිමින් පත්තර බෙදීම අප දෙදෙනා කල එකම සහ කටුකම අතිරේක රැකියාවයි.

මෙය වැඩිපුරම කලේ නිම්මි වූ අතර මම  පත්තර දැමීමට ගියේ සති අන්තයේ පමණි. 

සතියේ දිනවල නිම්මි උදේ පාන්දර හතරට පිටත් වෙයි . ඒ  නේපාල ජාතික "රාජේශ් තාපා" ගේ බිරිඳ  "අශිලා" ත් සමගය. 

මම උදේ හතරේ සිට  පොත් පත් කියවමින් නිම්මි නැවත එන තුරු සුපුන් බලා ගෙන සිටියෙමි.

මේ කතා සියල්ල අකුරක් නෑර ලෙනදොර මල්ලිටත්  අපේ නංගිලා අක්කලාගේ මහත්වරුන්ටත් කී හැටි මට අද වාගේ මතකය.

අරමුණ  අන් කිසිවක් සඳහා නොව  ඒ කතා අසා ඔවුන්ද අපේ රටට වැඩ දායක දෙයකට යොමු කරන බලාපොරොත්තුවයි.

අමුතු අය්යා කෙනෙක් 



අනෙක් නිවාඩු මෙන් මේ නිවාඩුවද වැඩිපුර ගත කෙරුනේ මාවනැල්ලේ ය.

නිම්මි අමරා නංගි සහ අම්මා සමග රට තොට විස්තර කතා කරන අතර මම ලෙනදොර කතාවට අල්ලා ගත්තෙමි. 

මේ වනවිට අමරා නංගි ගේ ලොකු පුතාගේ වයස අවුරුද්දක්  පමණ වන්නට ඇත.

 අමරා මේ දිනවල  දෙනුවර රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස  සේවය  කළාය.

ඒ නිසාම නිවසේ විශ්‍රාමික සුවයෙන් සිටි ලෙනදොර මල්ලිගේ ප්‍රධාන රාජකාරිය වුයේ සිය පුතු මාලක බලාගෙන නිවසට වී සිටීමයි.

අපේ සාකච්චාව සිදු වුයේ මේ ආකාරයෙනි.

"ලෙනදොර මල්ලී  .. මොනවද අපි  නැති කාලේ ලංකාවේ විස්තර ?" ලඟදි කුරුණෑගල ගම පැත්තේ එහෙම ගියේ නැද්ද?"

"ගියේ නෑ අය්යා .. මේ මාලක ගේ වැඩ නිසා.."

"මොනවද අප්පා මාලක ගේ වැඩ ?" "නංගි නැති වෙලාවට එයා බල ගන්න එකද ?"

"ඉතින් අම්මත් ඉන්නවනේ ?" ..

"අම්මත්  එයා බලා ගන්නවා තමයි . ඒ වුනාට අමරා කැමතියි මම නිතරම පුතා ගැන ඇහැ ගහගෙන ඉන්නවනම්.."

"ඒ කියන්නේ බබා බලා ගන්න ගමන් වත්තේ පිටියේ වැඩක් එහෙම කරන්න වෙලාව තියෙනවා ?"

"ඔවු .. ඔවු ..එයා දවල්ට ටිකක් නිදා ගන්න එකත් කරනවානේ ..?"

"මොනවද ඔයා දැනට හදලා තියෙන්නේ ?"

"මම   රඹුටන්  පැල ටිකකුයි අඹ පැල ටිකකුයි හැදුවා .. ගන්නොරුවෙන් ගෙනැල්ලා"

"කොහෙද උඩහ වත්තේ ද  ?"  .. මා ඇසුවේ මා මුලින්ම මෙහි පැමිණි දිනවල එලි පෙහෙළි කල ප්‍රදේශය ගැනයි.

මේ වනවිට මම හැදු කෙසෙල් , ගම්මිරිස් , එනසාල් ඇතුළු සියළු වගාවන් කැලයෙන් වැසි තිබෙනු දක්නට ලැබිණි.

"නෑ.. අය්යා මිදුලේ මෙන්න මේ පැත්තේ.." ලෙනදොර ඒ පැත්තට අත දික්කළේය.

"යමුකෝ බලන්න ඔයාගේ වගාව.."

ටයර් දෙකකින් වටකර හැදු රඹුටන් පැල කිහිපයක් සහ අඹ පැල කිහිපයක් ලෙනදොර මල්ලියා මට පෙන්නුවේය.

"මල්ලී ..කෝ මෙතැන තිබ්බ ලොකු පොල් අඹ ගහ?:... මා ඇසුවේ ඉස්සර ගෙට එන අඩිපාර අයිනේ තිබු පරණ අඹ ගහ ගැනයි.

"ඒක පුවකාට කියලා කපලා දැම්මා අය්යා.. ඊට පස්සේ තමයි මේ බඩ් අඹ පැල දෙක හැදුවේ.."

මේ වන විට ලෙනදොර මල්ලිට  කවිඳු අය්යා ගැන යම් අදහසක් පහළ වී ඇති සෙයකි.

 මා ගහට කොළට ඉතා කැමැත්තක් දක්වන බව ඔහු ඉවෙන් මෙන් වටහා ගෙන ඇත.

මට ඒ ඉඟිය සැපයුවේ ඔහු අඹ ගහ ගැන මා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් ආකාරයයි.

මාතෘකාව වෙන අතකට හැරවූ මා  ඔහුගේ පරණ රැකියාව ගැන සහ ඔහු විශ්‍රාම ගැනීම ආදිය ගැන කතා කලෙමි.

ඔහුගේ විශ්‍රාම ගැනීමට හේතු වූ දේවල් අතර ඔහු කොළඹින් මාවනැල්ලට මාරු කිරීම මෙන්ම අමරා වැඩට යන නිසා මාලක බලාගැනීමේ වගකීමද ද  ඇතුලත් විය.

"මල්ලී  ඔයාගේ පඩි කොහොමද ?  "

"පහළොවක් විස්සක් විතර හම්බ වෙනවා අය්යා "

"ඔයාගේ වයස කියද  දැන්  ..?"

"තිස් එකක් වෙන්න ලඟයි  "

"අය්යෝ මල්ලී .. ඔයා තාම තරුණයි නේ  .. ඔය තරුණ ජවය අපතේ යවන්න එපා.."

"විශ්‍රාම ගත්තට ඔයාගේ ඇඟේ තවම හය්ය තියෙන කාලෙනේ.."

"අනික පොඩි ළමයෙක් බලාගෙන ගෙදරට වෙලා හිටියනම් මට නම් පිස්සු හැදෙයි.."

මේ සාකච්ඡාව සිදු වුයේ නොවැම්බර් 16 වෙනිදාය.  මේ වන විට රටේ ඡන්ද උණුසුම නහුතයට නැග තිබුනා කිවොත් නිවැරදිය.

ලෙනදොර මල්ලී, අම්මා නංගි ඇතුළු හැමෝමත් මම සමන්ත සහ අරලගංවිල පවුලේ හැමෝමත් මහින්ද රාජපක්ෂ ජනාදිපති වන තුරු පුල පුලා බලා සිටි දිනයකි.

ගිරුවාපත්තුවේ  ජන නායකයා ඇවිත් අපේ රට ගොඩ ගන්නා දිනයක් ගැන සිහින මැවූ පිරිස අතර අලදෙණියේ වෙද විදුහලේ මගේ සගයෝ සැහෙන පිරිසක්ද වූහ.

මම හවස් යාමයේ නැවතත් ලෙනදොර සමග සාකච්චාව ඉදිරියට ගෙන ගියෙමි.

"මල්ලී මම මෙහාට එනකොට  තිබ්බේ තනි කැලයක් .."

"මම සැහෙන්න මේ වත්ත සුද්ධ කරලා හරි ගැස්සුවා .. හෙට උදේ ඉඳලා අපි ආයෙත් ඒ වැඩේ පටන් ගමු.. "


මම කලින් කිව්වා වගේ ඔයාගේ තරුණ ජවය අහක යවන්න එපා..

ඒකෙන් වැඩක් ගමු පුළුවන් වෙලාවට මාලක බලන එක අම්මාට කරන්න ඉඩ දෙමු.

පසුදාට පහන් විය. අපි පුවක් බාස්ගේ ගෙට පෙනෙන මානයේ තිබුණේ වත්තේ පහළ කොටසට ගියෙමු.  මා  ලෙනදොර මල්ලිගේ පරණ කොට කලිසමක් ඉල්ලා හැඳ ගත්තෙමි.

ලෙනදොර මල්ලියා  අතට ග්ලවුස් දමා ආමි බුට්ස් දෙකක් එහෙම දමාගෙන වැඩට බැස්සේය.

පසුකලෙක මමද ඔහු මෙන් ආරක්ෂා කාරීව වත්තට යන්නට පුරුදු වුයේ  බුට්ස් සහ ග්ලවුස් පැළඳීම මමද පුරුද්දක් කර ගත්තෙමි.

හොඳ කිඹුලා උදළු දෙකක් ගත් අප කැලය එලි කරන්නට පටන් ගත්තෙමු.

මගේ සිතට දිනයේ වැදගත් කම සිහි වුයේ මේ අතර  .

මා පළමු උදැල්ල ගසා ලෙනදොර දෙස හැරුණු හැටි මට තාමත් මතකය.

"මල්ලී.. අද නොවම්බර් 17 .. වැදගත් දවසක් මහින්ද රටේ ජනාදිපති වුණ දවසත්  අද.. අද අපි මේ පටන් ගන්නේ ලොකු වැඩක්"

මේ මාස හතර ඉවර වෙනකොට මේ වත්තයි  නිම්මිලාගේ "අඹගහමුල  හේන " වත්තයි දෙකම වගා කරන්නයි මගේ අදහස.

ඊට පස්සේ මම ඔස්ට්‍රේලියාවට යනවා හැබැයි ඔයාට මේ දේවල් බලා කියා ගන්න පුළුවන් නේ. "

" ඔවු .. ඔවු .. අය්යා අය්යා කිව්වා වගේ මටත් ඇත්තටම කම්මැලියි ගෙදරට වෙලාම ඉඳලා "

මම නැවතත් කටහඩ අවදි කලෙමි.

"මල්ලී මම ආපසු එවෙන්නේ අවුරුදු හතරකින් පහකින් ..

ඒ වෙනකොට මම බලාපොරොත්තු වෙනවා මහින්ද අපේ රට හොඳ තැනකට ගෙනෙයි කියලා..

ඒ වගේම ඔයා මේ වතු පිටිත් හොඳ තත්වෙකට ගෙනෙයි කියලා.."


අපි බලමුකෝ අවුරු හතරකට පස්සේ රට තියෙන්නේ කොතැනද  .. ලෙනදොරලා ඉන්නේ කොතැනද කියලා.."

මම සාකච්චාව හමාර කලෙමි.

ලෙනදොර මල්ලියා හඬ අවදි කළේය.. " අය්යා මම හිතුවේ ඩොක්ටර්ස් ලා කිව්වම හරි අමුතු මිනිස්සු කියලා ... ඔයා ආශ්‍රයට හම්බ වුනාට පස්සේ තමයි මගේ ඒ අදහස බොරුවක් කියලා තේරුණේ.."

"මට ඔයවගේ කෙනෙක් කලින් හම්බ වෙලා තිබුණේ නෑ නේ.."

දැන් ලෙනදොර මල්ලිත් මමත්  සිටින්නේ එකම අරමුණක් සහිතවයි.


ඒ ගම හදා රට හැදීමේ බලාපොරොත්තුව  පෙරදැරි කරගත් අය්ය මලෝ  දෙදෙනෙක් ලෙසයි.







ඊළඟ කොටසට මෙතනින් පිවිසෙන්න .

5 comments:

  1. Good account we are looking for what next

    ReplyDelete
    Replies
    1. thank you. this has many episodes.. I will bring them to you all one by one

      Delete
  2. Good account we are looking for what next

    ReplyDelete
  3. After four years, one of your dream I know had come true. Let's see about Lenadora's progress

    ReplyDelete