Follow by Email

Friday, 18 December 2015

සඳකඩපහන -පළමු කොටස


මා මේ කියන කාලයේ සිටියේ  වෙද විදුහලේ  දෙවන සහ තුන්වැන වසර අතරයි.

වෙනත් අයුරකින් කිවහොත්    සායනික කටයුතු පටන් ගන්න  පෙරාතුව ඇති සංක්‍රාන්ති සමයයේය.

අප වෙද විදුහලේ මේ කාලය ගත කරන ශිෂ්‍ය කණ්ඩායමට (තුන්වන වසරේ සිසුන්ට )පැවරෙන වගකීමක් තිබේ.

ඒ "ස්වයං උපකාර ශිෂ්‍යත්වය" නමින් හැඳින්වෙන අපේම සහෝදර සිසුන්ට උපකාර කරනා ශිෂ්‍යත්ව අරමුදලකට මුදල් එකතු කිරීමයි.

ඒ සඳහා   සාමාන්‍යයෙන් කරන්නේ සංගීත සංදර්ශනයක් , නාට්‍යයක්  වැනි යමක්  කොළඹින් ගෙන්වා පෙන්වීමයි.

සුපුරුදු පරිදි කණ්ඩායම් රැස්වීමක් කැඳවා  මේ සම්බන්ධයෙන් සාකච්චා කළෙමු.

ඒ දිනවල ප්‍රසිද්ධියට පත් නාට්‍ය  කිහිපයක් සහ ඒක පුද්ගල හෝ ද්වීපුද්ගල සංගීත ප්‍රසංග කිහිපයකුත් යෝජනා වුවා මතකය.

පුරුදු පරිදි කිසිදු මතගැටුමකින් තොරව  අදාල ප්‍රසාංගික අංගය තෝරා ගැනිණි.


කණ්ඩායමේ ඒකමතික  තීරණය වුයේ සුනිල් එදිරිසිංහ යන්ගේ  "සඳකඩපහන " ගීත ප්‍රසංගය  ගෙන්විමටයි.

අපේ  වෙද විදුහල් ශ්‍රවනාගාරය   මේ සඳහා ලබා දීමට සුචරිත් අල්විස් මහතා ( අපේ  වෙද විදුහල් අදිපති තුමා ) එකඟ වී තිබුණි.

බොහෝ විශ්ව විද්‍යාල වල ගුරුවරු සිසුන්ගේ වැඩ ගැන වපර ඇහින් බැලුවද සුචරිත් සර්ලා එහෙම කලේ නැත,

 මේ කාලේ හතර වන කණ්ඩායමේ ශිෂ්‍ය නියෝජිතයා  ලෙස කටයුතු කලේ මමයි.

 මගේ සහයට සිටි සිසු නියෝජිත වරිය වුයේ සුජානි දෙහිගස්ලන්ද   සොයුරියයි.

සුජානිත් මමත් මුල් වසර දෙක   එකම ශරීර කණ්ඩායමේත්   ඉන්පසු එළැඹී වසර තුනේ එකම සායනික පුහුණු කණ්ඩායමේත් සාමාජිකයෝ වූයෙමු.

කාලය කෙමෙන් ගෙවී ගොස් අපේ ප්‍රථම සායනික පුහුණු මාස තුනද ආරම්භ විය.  ඉස්ඉස්සෙල්ලාම රෝගීන් සමග ගණුදෙනු පටන් ගැනුණු මේ කාලයේ සිසුන් ලෙස අපේ මනස නිරවුල්ව තිබීම අත්‍යවශ්‍ය දෙයකි.

අනෙක් සිසුන්ට නැති බරක් මගේ හිස මත තිබේ .  ඒ ශිෂ්‍ය නියෝජිත තනතුරයි.   තමා නියෝජනය කරන කණ්ඩායමත් ආචාර්ය මණ්ඩලයත් අතර ගණුදෙනු  හැල හැප්පිමකින් තොරව කරගෙන යෑම සිසු නියෝජිතයාගේ වගකීමයි.

ශිෂ්‍ය නියෝජිතයෙක් ලෙස ලැබිය හැකි හොඳම වර්ගයේ සහෝදර සිසුන් සමූහයක්  සහිත බැච් එකක් ලැබීමට තරම් මා වාසනා වන්ත විය.

 එමෙන්ම තම රාජකාරිය හරියට කල සායනික හා අනෙකුත් ගුරුවරු සමුහයකුත් ලැබීම මගේ කටයුතු ඉතාම පහසු  කරවන්නක් විය.

විශේෂයෙන් ළමා රෝග අංශයේ සිටි අජිත් සමරසේන සර් වැනි අපේ ගුරුවරු අපට තම දරුවන් හෝ සහෝදරයන් මෙන් සැලකු ගුරු පියවරු වූහ.

ලොකු කුඩා වෙනසක් නැතිව අප මුහුණ දුන් ඕනෑම ආකාරයේ ගැටලුවකදී සුචරිත්  මහතා සහ අජිත් මහතා අප වෙනුවෙන් පෙනී සිටියහ.

 මෙහිලා විශේෂයෙන් සඳහන් කල යුතු තවත් සායනික ගුරුවරයෙක් වන්නේ  ජනරංජන නම් සර්ජන් මහතාය.  
ඒ වනවිට රජයේ ව්‍යිදය නිලධාරී සංගමයේ සභාපති වූ ඒ මහතා  තම වෘත්තීය සමිති  අදහසට පවා පිටුපා යමින් අපේ සායනික කටයුතු  වෙනුවෙන් කැපවී සේවය කල හැටි මට මතක තිබේ.

 ( GMOA එක වර්ජන කලද හතරේ කණ්ඩායමේ අපට තිබු ඉමහත් හිතවත් කම නිසා ජනරංජන සර් අපේ සායනික කටුයුතු දිගටම කරගෙන ගියේය.).

මේ හේතුන් නිසා  ශිෂ්‍ය නියෝජිත තනතුර දරන අතරම මගේ අධ්‍යාපන කටයුතුත්  ඉතා හොඳින් කරගෙන යෑමට  මට පහසු විය. 

 

සංවිධායක කමිටු සහ ආධාර රැස් කිරීම.

සායනික සහ අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යන අතර අපේ ශිෂ්‍යත්ව අරමුදල් වැඩද  ඉදිරියට යමින් තිබිණි.

සාමාන්‍යයෙන්  සංගීත ප්‍රසංගයට මාස ගණනාවක් තිබියදී  ඒ සඳහා සුදානම්වීම ඇරඹෙයි.

මුලින්ම ආචාර්ය මණ්ඩලයෙන් එක් අයෙක් භාණ්ඩාගාරික ලෙසත්  අපේ කණ්ඩායමේ   කණඩායම් නියෝජිතයා  සභාපති ලෙසත් පත් කරනු ලැබීය.

  මේ ක්‍රියාවට සක්‍රියව දායක වීම සඳහා  ශිෂ්‍ය අනුකමිටු කිහිපයක්   ද  අපේ කණඩායම්  සගයින් අතරින්  තෝරා පත් කෙරුණි.

සමරු කලාප කමිටුව, ටිකට් පත් විකිණීමේ කමිටුව, ආහාර කමිටුව  ආදී කමිටු ගණනාවක් මෙයට ඇතුලත් විය.

ඇත්ත වශයෙන් ම ශිෂ්‍ය නියෝජිතයා  සහ ගුරු මණ්ඩල නියෝජිතයාට වඩා කාර්යයක් මෙම කමිටු වලට පැවරුනා කිවහොත් නිවැරදිය..

බොහෝවිට මෙම කමිටු වලට වැටුනේ  එකිනෙකා අතර හිතවත් කම් වැඩි අය හෝ එකම ශරීර කණ්ඩායමේ අයය.

කණ්ඩායම් නියෝජිතයා ලෙස මම ප්‍රධාන කමිටු කිසිවකට අයත් නොවූ අතර  හැකි සෑම අවස්ථාවකම  ඒ ඒ වෙලාවේ ක්‍රියාකාරී කමිටු වලට මගේ සහාය දුන්නෙමි.

මේවා අතර මා ඉතා සක්‍රිය ව දායක වූ කමිටු වුයේ ටිකට්  පත් විකිණීමේ කමිටුව සහ සමරු කලාප කමිටුවයි.

සමරු කලාපය සකස් කිරීමේදී මෙන්ම ටිකට් පත්  අලෙවි කිරීමේදීත් සිදු වූ සමරහක් සිදු වීම් ඉතා රසවත්  මෙන්ම සදා මතකයේ රැඳෙන වර්ගයේ ඒවා විය.


සායනික කටුයුතු අවසානයේ කල ටිකට් විකිණීම.



ඒ දවස් වල සුජානිත් මමත් අපේ සායනික කණ්ඩායමේ සියළුම දෙනාත් එකම අරමුණක් වෙනුවෙන් වැඩ කළෙමු. 

ඒ මගේ නායකත්වයෙන් ඇති 4 කණ්ඩායමේ   වගකීම වූ සඳකඩපහන ප්‍රසංගය අති සාර්ථක එකක් කර ගැනීමයි.

වෙනත් විශ්ව විද්‍යාල වල මෙන් නොව අපේ විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් හැඟීම හොඳින්ම පැවති තැනකි. එයිනුත්   හතරේ කණඩායම සුවිශේෂී ලෙස එකමුතු වී සිටියහ.

ඒ නිසාම අපේ සායනික කණ්ඩායමේ සිටි නොයෙකුත් දේශපාලන අදහස් දැරූ  සිසුන්ද අප හා සුජානිලා මෙන් ඉතා ඕනෑ කමින්  සඳකඩපහනේ වැඩ වලට උදව් කළහ.

අප ටිකට් විකිණීම සඳහා පිටත් වන්නේ  හවස හතර හමාරට පමණය.  හවස් වරුවේ දේශන අවසන් කර කැන්ටිමට එක් වන අපේ සායනික කණ්ඩායම කොටස් දෙකකට  බෙදෙන්නේ ප්ලේන්ටියක් සප්පායම් වන අතරයි.

එක කණ්ඩායමක්  අසල පිහිටි ගමටත් අනෙක් කණ්ඩායම ඊට විරුද්ධ පැත්තට ගමන් කරන්නේ  ගෙයක් ගෙයක් ගානේ ගොස් ප්‍රවේශ පත්‍ර විකිනිම සඳහාය.

එදා හවස මා සමග ගිය කණ්ඩායමට සුජානිත් , වනමලී , දේවින්ද ඇතුළු පස් දෙනෙක් ඇතුලත් වූහ.

" ටක්.. ටක්.. ගෙදර කවුද? "  නඩේ ගුරා ලෙස ගිය මම ගෙදර දොරට තට්ටු කලෙමි.

අපේ අම්මලාගේ වයසේ වූ අම්මා කෙනෙක් තම අත් දෙක පිහදමින් ඉදිරි දොර වෙත ආවාය.

"කවුද මේ ළමයි? " ඒ අම්මා අපෙන් විමසා සිටියාය.

"මචං  ජයේ .. උඹ කතා කරපන් " අපිත් සමග සිටි දේවින්ද හෝ පොඩි චාමර හෝ කීවා මතකය.

මේ ගෙවල් හැම එකකදීම වාගේ ගෘහ මුලිකයින් සමග කතා කිරීම සිදු වුයේ මා අතිනි.

මට අමතරව සුජානිද ගෙන ගෙට ගොස්  අපේ "ස්වයං උපකාර ශිෂ්‍යත්ව" වැඩ පිළිවෙල ගැන කතා කළාය.


"අම්මේ  අපි කරගම්පිටිය වෙද විදුහලේ ශිෂ්‍යයෝ" ..  මම කටහඬ අවදි කලෙමි.

"අපි අපේම කණ්ඩායම් වල ඉන්න ආර්ථික අපහසුකම් වලින් පෙළෙන සහෝදරවරුන්ට ශිෂ්‍යත්ව දෙන්න  කරන වැඩක් ගැන කියන්නයි ආවේ.."

"අම්මා දන්නවනේ ලංකාවේ හැමෝටම එක වගේ ආර්ථික ශක්තියක් නැති බව".  "ඒ වුනාට  දුප්පත් පවුල් වලත් ඉගෙන ගන්න දක්ෂ ළමයි  ඉන්නවා" .

"අපි ඒ අයට උදවු කරන්න ශිෂ්‍යත්ව දෙකක් දෙනවා හැම අවුරුද්දෙම" .

"ඒ අරමුදලට ආධාර පිණිස අපි  සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සඳකඩ පහන  පෙන්වනවා  අපේ ශ්‍රවනාගාරයේ ".
"ඒක හරි ලස්සන ගොඩනැගිල්ලක් අම්මේ .. ෂෝ එකත් හරි ලස්සනයි ..අම්මලා අපෙන් ටිකට් කිහිපයක් මිලදී ගත්තොත් අපේ බැච් එකේ දුප්පත් ශිෂ්‍යයෝ දෙන්නෙක් තමන්ගේ අනාගතයට භය නැතුව මුහුණ දෙනවා..".


මම ඒ අම්මාට මා නතර කරන්නට නොදී කියාගෙන ගියෙමි. අප තාමත් ගේ දොරකඩය..

"හරි හරි පුතේ මට තේරෙනවා.. එන්නකෝ කට්ටියම ගේ ඇතුළට.. මෙන්න මෙහෙන් වාඩි වෙමුකෝ.
මහන්සිත් ඇතිනේ කට්ටියට තේ එකක් බොමු නේද ?"

"දුවේ අර ඉදිච්ච කෙහෙල් කැනක් තිබ්බා නේද? එන්න ඒක අරන් එන්න මේ අය්යලා අක්කලාට දෙන්න"

"ඒක නෙවෙයි පුතා .. මම ඔයාගෙන් අහන්න හිටියේ .. ඔයාගේ ගම කොහේද ? "

ඒ අම්මා අනෙක් උන් පසෙක සිටියදී මා හා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට  පටන් ගත්තාය.

"මගේ ගම අරලගංවිල අම්මේ... මම ඉස්කෝලේ ගියේ අරලගංවිල සෙන්ට්‍රල් එකට".


"ඔයා හරි කටකාරයි නේ " ...ඔයා වගේම පුතෙක් මටත් හිටියා.. එයාත් කතාව පටන් ගත්තම ඔයා වගේමයි"

"එයා අසුනවයේ කළබල කාලේදී නැතිවුණා.  හිටියනම් එයත් ඔයා වගේම තමන්ගේ යාළුවන් වෙනුවෙන් මේ විදිහට කතා කරයි".

මගේ ඇස්  දෙකට කඳුලක් නැගුණේ ඉබේමය. මා   අසලම සිටි සුජානි එය  දකින්නට ඇතිවාට සැක නැත.

"ඔයා පරිස්සම් වෙන්න පුතේ ඔහොම කතා කරන අයට  මේ රටේ සමහර මිනිස්සු කැමති නෑ.."

මේ අතර මමත් සුජානිත්  ඇයගේ පුත්‍රයාගේ විස්තර අසන්නට පටන් ගත්තෙමු.

හිත ඇතුලෙන් මට අපිත් එක්ක අරලගංවිල ඉස්කෝලේ හිටී සුරංජිත්, කත්‍රිආරච්චි වැන්න වුන් මතකයට නැගේ.

මේ අම්මාගේ පුතාටද අත්වි ඇත්තේ සුරංජි ලාට අත්වූ  අවාසනාවන්ත ඉරණමයි.

මට මිනිසුන් ගේ හිත් කියවිය නොහැක. එහෙත්  ඇය ඒ වෙලාවේ හිතමින් සිටි දේ කුමක් දැයි මට ඔබට කිව හැකිය.

" මේ  කොල්ලා 1989 දී  බේරුණේ කොහොමද ?"  ඇයගේ සිතේ එවෙලේ  පැනනැගුනු ප්‍රශ්නය බව මම  ඒ ශෝකාන්විත විත එහෙත්  ආදරයෙන් පිරුණු ඇස්  දෙක  තුලින් කියවුයෙමි.

අප ඒ නිවසේ විනාඩි 20ක් 30 ක් පමණ ගත කරන්නට ඇත.  අප තිදෙනාගේ සාකච්චාව අතර තුර නයිස් බිස්කට් , කෙසෙල් ගෙඩි , ක්‍රීම් ක්‍රැකර් සමග කිරි තේ වලින් අපට සංග්‍රහ කරනු ලැබිය.

සුජානි ඇතුළු මගේ සගයන්ගේ විඩාව හොඳින්ම නිවී ගියේ අපට ලැබුණු ඒ  සංග්‍රහ නිසාය.

අනතුරුව ඒ අම්මා අපෙන් ටිකට් පත් තුනක්ම මිලදී ගත්තාය.  " සින්දු කොහොම වුනත් මම ඔයාලගේ වැඩේබලන්න එදාට එනවා"  ඇය අපට පොරොන්දු වුවාය.

ඇගෙන් සමුගෙන පාරට පැමිණි  පසු මගේ කණ්ඩායම් සගයින්ගෙන් අනේක විද පැසසුම් මා කරා ගලා එන්නට විය.

" ජයේ මිට පස්සේ උඹම විස්තරේ කියපන් .. එහෙම වුනොත් අපිට හොඳ සැලකිලි තමයි " කොල්ලෝ කියන්නට වූහ.

"ජයසිංහ නම් වැඩ කාරයෙක් තමයි . දැක්කනේ  කවදාවත් දැකලා නැති ඇන්ටිලා අල්ලාගන්න හැටි "  වනමලී පැවසුවේ හිනාවෙන ගමන්මය.

මගේ සිත ඒ තරම්ම සැහැල්ලු නැත.. මොකක්දෝ බරක් මගේ පපුව මත පතිත වූ ගතියක් මට දැනෙන්නට විය.

බිම බලාගෙන ගමන් කරන මා අසලින්ම එන තවත් යුවතියකි. ඒ  අපේ බැච් රෙපී  "දෙහි " සොයුරියයි.

 " ඒක නෙවයි ජයසිංහ .. ඒ ඇන්ටිගේ කතාව  අහලා ඔයාට  දුක හිතුනා නේද..?" මගේ සිතැගි ඉවෙන් මෙන් දැනගත් සුජානි ඇසුවාය.







No comments:

Post a Comment