Follow by Email

Friday, 25 December 2015

ගම නැගුම - පළමු කොටස



දෙදාස් පහේ නොවැම්බර් අවසාන වන විට   නිම්මිලගේ මහා ගෙදර වත්ත සම්පුර්ණයෙන්ම එලි පෙහෙළි කරන්නට මාත් ලෙනදොර මල්ලිත් සමත් වීමු.

අක්කර තුනක් පමණ වූ මුළු ඉඩම කොටස් දෙකකින් යුක්ත විය. නිවස තිබු පහළ කෑල්ල පුවක් බාස් ලා ගෙදරට ආසන්නයේම තිබු කොටසයි.

උඩහ වත්ත යැයි හැඳින්වූ අනෙක් කොටස තැනින් තැන තිබු පොල් ගස් සහ ඇට්ටෝනියා ගස් මෙන්ම වෙරළු , ගොරකා , මැන්ගුස් ටින් වැනි පලතුරු වර්ග වලින්ද යුක්ත විය.

මේ වන විට ලෙනදොර මල්ලිත් මගේ දින චරියාවටම අනුගත වෙමින් සිටියේය. ඒ උදේ පහ හමාරට පමණ අවදි වී අම්මා තේ හදන තෙක් වත්තේ වැඩ කිරීමෙන් ආරම්භ වන දවසකටයි.

උඩහ වත්තේ මැද කොටසට පුවක් බාස් ගේ ගෙදර එක එල්ලේම  පෙනෙන්නේ  පුවක්, දුල්මිණි ඇතුළු සියළු දෙනා කරන කියන දේ අප දෙදෙනාට  දැක ගන්නට සලස්වමිනි.

මේ දිනවල පුවක් අපට වඩා හිතවත්ව සිටියේ ඒ අසලම නිවසක සිටි උක්කු බන්ඩේ  මාමා සමගය.  උක්කු බන්ඩේ මාමගේ අත් උදව් කරුවෙක් ලෙස පුවක් බාස් ඔහු සමග සිටි කාලයකි ඒ .

මේ නිසා  අසල තිබුණු රබර් කෑල්ලේ  මැදින් එහා මෙහා යන පුවක් සහ උක්කු බන්ඩේ  මාමා දිනපතාම අපේ නෙත ගැටේ.

වත්තේ ඉහළ  කොටස එලි පෙහෙළි කරද්දී මට පහලවූ අදහසකි.  මේ ගැන මම ලෙනදොර මල්ලී සමග කතා කලෙමි.

"මල්ලී මට හිතෙනවා මේ වත්තේ අපි මොනවා හරි ප්‍රයෝජනවත් වගාවක් කළා නම් හොඳයි කියලා .."

"මෙහේ  හොඳට පොල් හැදෙනවා නේද ? අපි දාමුද මේකේ හොඳ පොල්වගාවක් ?"

"මෙහේ නැද්ද පොල් සංවර්ධන මණ්ඩලයක් එහෙම?" "ගිහිල්ලා කතා කරානම්  වගාව ගැන උපදෙසක් ගන්නත් පුළුවන්"

මම ලෙනදොර මල්ලියාට  ගම නැගුමේ පළමු පියවර ගැන අදහසක් දුන්නේ එලෙසෙනි.

"හදමු අය්යා මට ගෙදර ඉන්න ගමන් පොල් පැල ටික බලාගන්නත් පුළුවන් නේ " ලෙනදොර මල්ලී තම කැමැත්ත ප්‍රකාශ කළේය.

"නංගිත් එක්කත් කියලා බලන්නකෝ .. මම නිවාඩු ඉන්න මාස ටිකේ අපි වැඩේ කරලා දාමු"  මම ගෘහ මුලිකයන්ට දැනුම් දීමේ වැදගත්කමද ලෙනදොරට මතක් කර දුන්නෙමි.

කුරුණෑගල උපන් කෙනෙක් නිසා ලෙනදොර මල්ලී පොල් හදන හැටි ගැන හොඳින් දැන සිටියේය. අරලගංවිල උපන් මම දැනගෙන හිටියේ පොල් කෑමට පමණි.

"අය්යා පොල් හදන්න අඩි දෙකේ දෙකේ වලවල් කපන්න ඕන"  ලෙනදොර මල්ලී තම පොල් දැනුම මට බෙදා දුන්නේය.

එදා  තේ වේලාවෙන්  පස්සේ ප්‍රමිතියට අනුව පොල් වලවල් කැපීම ආරම්භ කළෙමු. දිනකට අපට කැපිය හැකි වුයේ වලවල් දෙක හමාරක් පමණි.

පුවක් බාස් හේරත් මුදියන්සේලාගේ ප්‍රේමරත්න වෙයි


හවස වැඩ අවසන් වී උඩහ වත්තට වී ඉන්නා අතර පුවක් බාස් පහළින් යනු දුටුවෙමි.

"මල්ලී අර යන්නේ පුවකා නේද? එන්න කියමුද මෙහාට.. අපේ පොල් වලවල් කැපිල්ලට අල්ලා ගන්න තිබ්බනම් හොඳයි " මම පොල් වලවල් කැපීම පුවකාට  භාර දෙන්නට තීරණය කලෙමි.

"පී.. පී..  මේ...එන්නකෝ මේ පැත්තට පොඩ්ඩක් .. මේ අය්යා ඔයාට කතා කරනවා " අත්පුඩියක් ගහමින් ලෙනදොර එගොඩහ ගොඩේ ඉන්නා පුවක් ට කතා කළේය.

"කොහොමද ?  අපි මෙච්චර කල්  ලඟපාත හිටියට ඔයාගේ නමවත් දන්නේ නෑනේ .. මොකක්ද ඔයාගේ නම? "
මම සාකච්චාව ආරම්භ කලෙමි.

"මගේ නම ප්‍රේමරත්න " පුවකා උත්තර දුන්නේය.   "ගම? " මගෙන් තවත් කෙටි පැනයකි.  "ගම රඹුක්කන මම ඉස්කෝලේ ගියේ පින්නවලට " මම උසස් පෙළට කොමර්ස් කරේ  .. වැඩ තුනක් පාස් "

පුවකා තමාගේ  අතීතයේ මා දැනගත් යුතු කොටස් ටික මට ඉදිරිපත් කළේය. "එතකොට වාසගම?" .. මට අවශ්‍ය වුයේ වාසගමෙන් හෝ පුවකා අපට නෑදෑයෙක් වන්නේදැයි දැනගැනීමටයි.

"අපි හේරත් මුදියන්සේලාගේ .. කට්ටිය.. "  එච්. එම්. ප්‍රේමරත්න නොහොත් පුවක් බාස් පිළිතුරු දුන්නේය.

"කොහෙද මේ ගමේ අය ඔයාට පුවක් මල්ලී, පුවක් බාස් කියා කියා ඉන්නවා මිසක් ඕවා දන්නේ නෑනේ නේද ?"
මගේ නෝක්කාඩුව ලෙනදොරලා ඇතුළු නිම්මිලා ගමේ උදවියටය.

"ඔයාගේ  දුව දුල්මිණි ඉගෙනගන්න දක්ෂයි කියලත් මට ආරංචියි.. ඉතින් තාත්තා ඒ ලෙවෙල් කොමර්ස් කරා නම්  දුවට බැරි වෙන්නේ කොහොමද නේද ? "

මම ඉගෙන ගැනීමට උනන්දු  වීමේ ඇති ජානමය සම්බන්ධය  පුවකාටත් ලෙනදොරටත් පැහැදිලි කලෙමි.

ප්‍රේමරත්න බුලත් විටකුත් හපමින් හ්ම් .. හ්ම් .. කියනු හැර වැඩි දෙයක්  කිවේ නැත.

"ප්‍රේමරත්න මේකයි වැඩේ.  ලෙනදොර මහත්තයලා මේ වත්තේ පොල් හිටවන්න යන්නේ අපිට පොල් වලවල් කපන්න කෙනෙක් ඕනෑ.. බැරිද අපට උදව් කරන්න"

"ම්හු.. මට මේ දවස් වල පොල් පැලිලි කීපයක් තියෙනවා .. මම උඩහ සුසන්ත අල්ලලා දෙන්නම් කෝ.."

"මමත් පුළුවන් වෙලාවට එන්නම් "

ප්‍රේමරත්න අපට උදව් කරන්න කැමැත්ත පළකළේය.

මා ඔහුගේ නම දැනගත්තේ එදාය. එදා සිට අද දක්වාම මම පුවක් බාස් අමතන්නේ ප්‍රේමරත්න යන නමිනි. ලෙනදොර මල්ලී විහිලුවට මෙන් ඔහුට මිස්ට පුවක් .. මිස්ට පී .. වැනි නම් පාවිච්චි කළේය.

නිම්මිලා අම්මා ගමේ බොහෝ වැඩිහිටියන් ඔහුගේ මුහුණට  කීවේ පුවක් මල්ලී හෝ දුල්මිනිලා තාත්තා යන නමයි.
ඔහු නැති තැන ඒ නම පුවකා බවට පත් වුයේ නිතැතිණි.

කෙසේ හෝ එදාට පහුවදා ප්‍රේමරත්නපැමිණියේ ඔහු කියූ හිතවතා සුසන්තත් සමගය.

සුසන්තත් ඔහුත් සමග අප දෙදෙනාද එකතු වී එදා පොල් වලවල් අටක් -දහයක් කපන්නට ඇත.

එසේ ආරම්භ වුනු පොල් වලවල් කැපීම දිනෙන් දින ඉදිරියට කරගෙන ගියෙමු.

පොල් මහත්තයා හමු වීම 


දහවල් කෑම වෙලාවේ පුවක්, සුසන්ත සහ අප දෙදෙනා  අතර අනාගත වැඩ සටහන් ගැන සාකච්චාවන් සිදුවෙයි.
පොල් මණ්ඩලයෙන් බෙදාහරින පොල් පැල ගැන සඳහන් කෙරුනේ ප්‍රේමරත්න සහ සුසන්ත අතිනි.

"කොහේද පොල් සංවර්ධන මණ්ඩලේ ඔෆිස් එක තියෙන්නේ ? " මම ඔවුන්ගෙන් විමසා සිටියෙමි.

"කොළඹ -නුවර පාරේ මීපිටිය හරියේ  ඇයි අර ඉස්සරහ ලස්සන පොල් ගස් තුනක් එහෙම තියෙන ඔෆිස් එක මතක නැද්ද ?"

ප්‍රේමරත්න අපට පොල් මණ්ඩලේ තිබෙන තැන මතක් කර දුන්නේය.

මම එවෙලේම  ලෙනදොර මල්ලීට පොල් මහත්තයා හමුවීමට යායුතු බව කීවෙමි.

එසේ ගොස් පොල් පැල ඉල්ලා අයදුම් පත්‍රයක් දෙන ලෙස උපදෙස් දුන්නෙමි.

අප අතර සිදුවුයේ මෙවැනි කතා බහකි.

"මල්ලී එතෙන්ට ගිහිල්ලා නිකන්ම ඇප්ලිකේෂන් එක දෙන්න එපා පොල් මහත්තයත් එක්ක කතා කරන්න "

"ඔයා උතුරේ ක්‍රියාන්විතයේ හිටපු සෙබෙලෙක් බවත් , සුළු තුවාල නිසා දැන් විශ්‍රාම අරන් ඉන්න බවත් කියන්න "

"නිකං ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා පොල් ටිකක් හදන්න හිතුවා කියලා කියන්න.. අපිට අක්කර තුනක් ගෙදර වත්තෙම තියෙනවා කියන්න   "

"කැමති නම් අපි ගැනත් කියන්න .. අපේ අය්යා මෙහෙම කෙනෙක්, එයත් මේ වැඩේට සම්බන්ධයි .. එයා මහත්තයා හම්බවෙන්නත් එන්න ඕනි කිව්වා වෙලාවක ... කියලා කියන්නකෝ "

"ඔය වගේ කතා කරාම ඕන මහත්තයෙක් උදව් කරනවා . ඔයා දැන්ම ඒ පැත්තේ ගිහින් එන්නකෝ. අපි තුන් දෙනා ඉතිරි පොල් වලවල් ටික ගහන්නම්  ."

යැයි ලෙනදොරට පැවසු මම  ඔහු පොල් සංවර්ධන මණ්ඩලයට පිටත් කර හැරියෙමි.

ලෙනදොර අපෙන් සමුගත් මොහොතේ මා පුවක් බාස් කතාවට අල්ලා ගත්තෙමි.

" මේකයි ප්‍රේමරත්න වැඩේ මගේ ප්ලෑන් එක මේ වත්තයි අනෙක් වත්තයි දෙකම පොල් වතු දෙකක් කරන්න.  ඔයා ලෙනදොර මහත්තයා ගැන දන්නවනේ .. මිනිහා මේවා බලා කියා ගන්න තරම් පුළුවන් කෙනෙක් ද ? අපේ මහන්සියි ..වියදමුයි වතුරේ යයිද දන්නේ නෑ..."

මට අවශ්‍ය වුයේ අවුරුදු දෙක තුනක් අසල් වැසියා ලෙස ජිවත් වූ පුවක් බාස් තුල ලෙනදොර ගැන ඇති ආකල්පය මොනවගේ එකක් දැයි දැන ගැනීමටයි.

" දොස්තර මහත්තයා වගේ උනන්දුවෙන් වත්තේ පිටියේ වැඩ කරනවා නම් මම දැකලා නෑ ..

පහුගිය අවුරුදු දෙකට කෙසෙල් ගහක් වත් හිටෙව්වේ නෑනේ..

හැබැයි මේ කරගෙන යන එකෙන් එයා ඕවා කරන පිළිවෙල  හිමින් හිමින් අල්ල ගයි ".

ප්‍රේමරත්න මා මෙන්ම අනාගතය ගැන සුභවාදිව සිතන බව පෙනේ. එය මගේ සිතටත්  අස්වැසිල්ලකී.

මේ අතර වත්තේ පහළින් බර අඩි තබා යමෙක් කන්ද නැග එන (බුට්ස්  පැළඳ ) හඬක් ඇසේ..

පොල් මණ්ඩලේට ගිය ලෙනදොර මල්ලියා නැවතත් අප සමග එක්වන්නට එන හඬයි ඒ..

"කොහොමද මල්ලී ගමන ?  පොල් මහත්තයා හම්බ වුනා ද ? "

"ගමන ඇති සාර්ථකයි අය්යා.. ඔයා කියපු විදිහටම කිව්වා "

පොල්මහත්තයා බණ්ඩාර කියලා කෙනෙක් .. එයාට හරි සතුටුයි මම වගේ කෙනෙක් මෙහෙම පොල් වගාවක් පටන් ගන්නවා කිව්වම "

"ඒකනේ මම කිව්වේ මල්ලී ...තරුණ ජවය යහපත් දේකට යොදවනවා කිව්වම ඔය තැන්වල ඉන්න මහත්තුරුගොඩ දෙනෙක් ඒක අගය කරනවා.."

"හරියට හරි අය්යා .. බණ්ඩාර මහත්තයත් එහෙමම කිව්වා.. ඔයා වගේ හිටපු හමුදා සෙබෙලෙක් මේ වගේ හොඳ වැඩක් කරන එකේ අපි උදව් ක‍රන්නම එපැයි .. කියලා කිව්වා..."

"එයා වත්ත බලන්න හෙට එනවා කිව්වා . අක්කර තුනටම හරි යන්න පොල් පැල දෙන්න පුළුවන් වෙයි කියලත් කිව්වා.."

"නියමයි, නියමයි .. ඕකනේ මම කිව්වේ ඔයා කව්ද කියලා කතාව පටන් ගන්න කියලා .." මම මගේ සතුට ප්‍රකාශ කලෙමි.

"ඒක නෙවෙයි මම අය්යා ගැනත් කිව්වා.. හෙට බණ්ඩාර මහත්තයා  එනකොට අය්යා හිටියොත් හොඳයි.. එයාට අය්යා අඳුරගන්න ඕනේ කියලා කිව්වා.."  ලෙනදොර මල්ලී මගේ නමද පාවිච්චි කර ඇත.

"මල්ලි හෙට අක්කාට නුවර යන්න ඕනේ කිව්වා.. කමක් නෑ අපි වෙන වෙලාවක ඔෆිස් එකට ගිහින් එයා හම්බ වෙමු."

කතා බහෙන් පසු අපි නැවතත් පොලව සමග හැප්පීම ආරම්භ කළෙමු. ගල් මුගුරු සහිත පොලවේ පොල් වලවල් කැපීම සිදුවන්නේ ඉතා සෙමිනි.

මේ අතර ලෙනදොර මල්ලී ඉතා උද්යෝගයෙන් වැඩෙහි යෙදෙනු දක්නට ලැබිණි. බණ්ඩාර මහත්තයා ( පොල් මහත්තයා ) ඔහුගේ සිතට කා වදින ලෙස කතා කර තිබේ.

මගේ සිතද දිනයේ සිදුවීම් සහ කතා බහ  ගැන උපන් සතුටකින් පිරී යයි.




ඊළඟ කොටස මෙතැනින්...





13 comments:

  1. you picked it I will edit .. thanks.. yes Soma is real...

    ReplyDelete
  2. Replies
    1. ඊට පස්සේ කෑල්ල ළඟ එනවා...

      Delete
  3. Replies
    1. නිවාඩු දවස් නිසා එන්න බැරි නෑ.. එත් 100ක් වත් කියවනකන් ඉන්න ඕනේ..

      Delete
  4. දැන් සීය හරි අැති...............

    ReplyDelete
    Replies
    1. සීය පැන්නා.. තව ටික වෙලාවකින් දෙන්නම්....

      Delete
    2. 121 යි . ඔන්න ඊළඟ කොටස දැම්මා...

      Delete