Follow by Email

Sunday, 27 December 2015

මිස්ට පොල් (ගම නැගුම - දෙවන කොටස)



පළමු කොටස මෙතැනින්

ගනේවත්ත සහ   මිස්ට පෝල්  හමුවීම



පොල් වගාවේ ඉදිරිය සහ ඒ ආශ්‍රිතව ඇතිවන නිම්මිලා ගේ ගෙවල් අවට දියුණුව ගැන සිහින දකිමින් රාත්‍රිය පහන් විය.
උදාසනින්ම  ලෙනදොර මල්ලී වත්තට යන්නට සුදානම්ය.  නිම්මි සහ මම නුවර යන්නට සුදානම් වෙමින් සිටියෙමු.

"අය්යා මිස්ට පෝල් හම්බවෙන්න එන්න පුළුවන් වෙයිද? ". ලෙනදොර කියන්නේ එදින එහි පැමිණීමට නියමිත පොල්  සංවර්ධන නිලධාරියා ගැනයි.

 " කීයටද මනුස්සයා එන්නේ.. ? අපිට නුවර පොඩි වැඩ වගයක් තියෙනවා .. ඉවර වුන ගමන් එන්න බලන්නම්"  . මම පිළිතුරු දුන්නෙමි.

මේ දිනවල මට මෝටර් රථයක් තිබුණේ නැත. ඒ නිසා ගමන් බිමන් ගියේ පාරේ  බස්  වලයි. පොල් මහත්තයා අප බස් වලින් පැමිණ ගෙදර එනතෙක් නිම්මිලා වත්තේ රැඳී සිටී දැයි සැක සහිතය.

"කමක් නෑ .. මල්ලී ඉඩම පුරාම එයා අරන් ගිහිල්ලා   අපි කපපු පොල් වලවල් එහෙම පෙන්නන්න කෝ .. අපි එන්න පරක්කු වුනොත් හවසට පොල් මණ්ඩලේට ඇවිත් එයා මුණගැහෙනවා කිව්වා කියන්න.."

මම ලෙනදොර ගේ සිත සැනසුවෙමි.

"මේ කයිවාරුව නෙවෙයි.... අපි යමු නේද ?    බ්‍රිටිෂ් කවුන්සිල් එකටත් යන්න තියෙනවනේ ... "

නිම්මි මට මතක් කර දුන්නේ එදිනට නියමිත වැඩ රාජකාරි කිහිපයක් ගැනයි.

"අටටත් ලඟයි .. එහෙනම් පිටත් වෙමු " . මම නිම්මිත් සමග පහළට බහින්න පටන් ගත්තෙමි.

මේ කාලේ නිම්මිලා ගෙදර සිට ගමේ ගුරුපාර දක්වා යෑමට තිබුණේ ඔවුන්ගේ මාමා කෙනෙකුට අයත් වත්තක් මැදින් තිබු අඩි පාරකිනි.

 පියතිලක මාමා නම් වූ ඔහුගේ වත්ත පුරාම කෙසෙල් වගා කර තිබුනා මතකය.

පියතිලක මාමා ට ගමේ එවුන් කිවේ "කක්කුට්ටා" කියාය. පසු කලෙක මා දැනගත් පරිදි ඔහුගේ සිතිවිලි සහ ක්‍රියාකාරකම් අතර අහසට පොළව මෙන් වෙනසක් තිබුණි.

ඒ අනුව සැලකීමේදී කක්කුට්ටා යන නම තැබූ කෙනා මේ ලක්ෂණයට  සාධාරණයක් කර ඇති බව පැහැදිලිවේ.

නිම්මි අත් බෑගයත් එල්ලා ගෙන පියතිලක මාමගේ වත්තේ මැද හරියෙන් පල්ලම් බහී. මම ඈ පිටුපසින් හෙමින් හෙමින් ගමන් කළෙමි.

කළුම කළු උඩුකය නිරාවරිත මිනිසෙක් කෙසෙල් පඳුරු අතර බස බස ගාමින් වැඩ කරනු පෙනේ. නිම්මි බිම බලාගෙනම ගමන් කළාය.

මම මේ කඩියා මෙන් වැඩ කරන මිනිසා දෙස බැලුවෙමි. ඔහුගේ උඩු ඇන්දේ දත් කිහිපයක් දිරා ඇත. දහදියෙන් වැසි ගොස් තිබු  ඔහුගේ කාල වර්ණ ශරීරය  ඒ මත පතිත වූ හිරුරැසින් දිලිසෙයි.

අප වෙද විදුහලේදී ඉගෙන ගත් පුර්ව ගාත්‍රා වල සහ පපු ප්‍රදේශයේ පේශි සියල්ල එකිනෙකින් වෙන් කර තැබුවක් මෙන් පැහැදිලිව ඉල්පී තිබේ.

මා දුටු වනම ඒ මිනිසා මා දෙසත් ඉතා ඕනෑකමින් බලන බව මට දක්නට ලැබිණි.

කක්කුට්ටා නිම්මිලාට කෙනෙහිලිකම් කල බව දැන සිටි මා ඔවුන්ගේ ගෝලයා වූ ඔහු වෙත ඔරවා බැලුවෙමි.

කක්කුටු මාමගේ වත්ත පසු කල අප වෙල මැදින් ඉදිරියට ඇදුනෙමු.

"ඒයි  කවුද ඒ  මනුස්සයා ?  හරියට අපේ ගෙවල් පැත්තේ පුෂ්පරාජා වගේ.." මම නිම්මිගෙන් ඇසුවෙමි.

" මම දන්නේ කොහොමද?  කවුරු හරි කුලීවැඩ කාරයෙක්.. කක්කුට්ටගේ වත්ත නේ ඔය "

"ඔවු .. ඔවු .. මිනිහා මා දිහා හොඳට බැලුවා.. "

"ඔයා ඒ මිනිහට හිනා වුනාද ? "..

 පිස්සුද මට මතක් වුනා එයා කක්කුට්ටගේ ගෝලයා කියලා .. මම හොඳට ඔරවලා බැලුවා "...

පියතිලක මාමා  යනු  නිම්මිලා අම්මාගේ ලොකු අම්මාගේ පුතෙකි.

ඔහු දේශපාලන වශයෙන් සමාජවාදියෙක් ( නිම්මිලා ගමේ ඉන්න ප්‍රසිද්ධ ජ. වී. පෙ. සාමාජිකයෙක් ) බව මා අසා තිබේ,

එහෙත් සාමාන්‍ය භාවිතයේදී ඔහු කුඩු කේඩු  කම් වලින් අනුන චරිතයකි. උදාහරනයක් ලෙස අප මේ ගමන් කල අඩි පාරෙන් නිම්මිලා යනවාට ඔහු අකමැතිය.

ඒ පාර පළල් කර නිම්මිලා ගෙදරට වාහනයක් ගන්නට කක්කුට්ටා නම් මේ කපේ දී ඉඩක් දෙන එකක් නැත.

එහෙත් නිම්මි මුල්ම රස්සාවට කොළඹ යද්දී ඇයව එහි කැඳවා ගෙන ගියේ පියතිලක මාමා බවද මා අසා තිබේ.

මේ කරුණු සලකා බැලුවිට  පියතිලක මාමා අපට බොහෝ ගම් වලදී හමුවන  ගැමියන්ගේ ලක්ෂණ පෙන්නුම් කල අයෙක් බව කිව හැකිය.

පියතිලක මාමා කෙසේ වෙතත් ඔහුගේ ගෝලයා නම් මගේ සිත් ගත් කෙනෙක් බව මෙහිදී නොකියාම බැරිය.

ඒ නිසාම එදින හවස නිම්මිලා වත්තට වී සිටිද්දී මා ඔහු ගැන නැවතත් කතා කලේ මෙලෙසිනි.

"ඒක නෙවෙයි ප්‍රේමරත්න .. අද මම නුවර යනකොට දැක්කනේ නියම බුලට් එකක්  කක්කුට්ටගේ කෙසෙල් කොරටුවේ වැඩ කරනවා.."/

"මිනිහා මා දිහා හොඳට බලනවත් දැක්කා.."

"කවුද අප්පා ඒ.. මිනිහගේ හැඩරුව කොහොමද ? මම මා දුටු මිනිසා පුවක් බාස්ට විස්තර කලෙමි.

"බැරිද අපිට මිනිහා අපේ වැඩට එකතු කරගන්න. එහෙම වුනොත් මේ පොල් වලවල් ටික ඉක්මනින් ගහලා දැම්ම හැකි" .

බළලා මල්ලෙන් එළියට පැන්න බව පුවක් බාස් තේරුම් ගන්නට ඇත.

"ආ .. ඔය අපේ ගනේවත්ත යා නේ ... මිනිහා අපිට හවසට හංදියේදී හම්බවෙනවා..නේද පුවක් අය්යා " අසල සිටි සුසන්ත පිළිතුරු දුන්නේය.

"එහෙමනම් ඔය දෙන්නා  ගනේවත්තට කතා කරලා බලන්න අපි ළඟ වැඩට එන්න කැමතිද කියලා."

"අපි අනෙක් තැන වලට වඩා වැඩියෙන් පඩි ගෙවනාවා කියලත් කියන්න .. එතකොට මිනිහා කක්කුටු මාම අතහැරලා අපි ලඟට එයි"

මම කිව යුතු සියල්ල සංක්ෂිප්ත කර පුවක්ලාට ඉදිරිපත් කලෙමි.  පසුදා උදැසනම පුවක් සහ සුසන්ත වැඩට ආවේ තුන්වෙනියෙක් ද සමගය.

ඒ කුරුණෑගල ගනේවත්තේ සිට මාවනැල්ලට පැමිණි  "ගනේවත්ත හෙවත් ගනේ.. " සමගය.


මිස්ට පෝල් හමුවීම




එදා අප නුවර ගොස් එද්දී හවස දෙක පහුවී තිබුණි. 

අප නැති අතර පොල් මහත්තයා හෙවත්  මිස්ට පෝල්  නිම්මිලා ගෙදර වත්ත බලන්නට පැමිණි බව ලෙනදොර මල්ලී මට කිවේ මෙසේය.

" ඒක නෙවෙයි අය්යා මිස්ට පෝල් ආවා වත්ත බලන්න.. මම අපි කපපු පොල් වලවල් පෙන්නුවා.. එයාට හරි සතුටුයි අපි මේ වෙනකොට කරලා තියෙන වැඩ ගැන "

"ඇත්තද මල්ලී .. වෙන මොනවද කිව්වේ ?"

"එයා ආධාර දෙන්න ගිය වෙන කොහේවත් පොල් පැල ටික අතට දෙනකන් වැඩ පටන් ගන්නේ නෑ කිව්වා "

"ඉඩමේ හරහට පෙට්ටි කාණු ටිකක් කපන්න කිව්වා ... සෝදා පාළුව අඩු කරන්න.. "

"හරි ..හරි .. ප්‍රේමරත්නලට කියලා කාණු ටික කප්පවමු".

"මේ වත්තටම සැහෙන්න පල දෙන්නම් කිව්වා..තව ඉඩම් තියෙනවද හදන්න කියලත් ඇහුවා."

"ඔයා කිව්වේ නැද්ද  අඹගහමුල හේන  ගැන?" මම ඇසුවේ නිම්මිටත් අමරාටත් දෙකෙන් පංගුව බැගින් අයිති ඔවුන්ගේ තාත්තා ගේ පැත්තේ ඉඩමක් ගැනයි.

"කිව්වේ නෑ අය්යා .. මම බණ්ඩාර මහත්තයට කිව්වා අය්යා අද හවස එහේ ඒයි කියලා.. අය්යටම කිව්වහැකිනේ"

"මිස්ට පෝල් අසාවෙන් ඉන්නවා අය්යත් එක්ක කතා කරන්න " ලෙනදොර දැන් දැන් හැමතැනම මගේ නම විකිණීම අරඹා ඇත.

එදා හවස තේ වේලාවෙන් පස්සේ ලෙනදොරත් මමත් පොල් මණ්ඩලයට ගියෙමු.

"කෝ බණ්ඩාර මහත්තයා ඉන්නවද ? " අපි අසල සිටි නෝනා කෙනෙක් ගෙන් ඇසුවෙමු.

"හලෝ ..කොහොමද එන්න එන්න . මිස්ට ලෙනදොර මට ඔයා ගැන කිහිප සැරයක්ම කියලා තියෙනවා කැනඩාවේ හයර් ස්ටඩි  කරනවලු නේද?"

"බණ්ඩාර මහත්තයා හඳුනා ගන්න ලැබීම සතුටක් .. කොහෙද ඩිග්රි එක කලේ අලදෙනියේද ?"

"නෑ.. මම කුණ්ඩසාලේ ඩිප්ලෝමා කාරයෙක්.."

"ඩොක්ටර් ජයසිංහ ගේ මල්ලී හරි උනන්දුයි නේ මේ වැඩේට ඔච්චර පිරිසිදුවට , පිළිවෙලට  පොල් වගාවට සුදානම් කරපු වත්තක් මම දැකලා නෑ.."

"ලෙනදොර මල්ලී හමුදාවේ හිටපු කෙනෙක් නේ . හරි පිළිවෙලයි එයාගේ වැඩ.. මෙහෙම කෙනෙක් මේ වගේ වගාවක් කරනවා කියන එකම මදිද ?"

මමත් ලෙනදොර මුරුංගා අත්තේ ඉහළටම නැන්ගුවෙමි.

"අක්කර තුනකට නෙවෙයි ඊටත් වඩා පොල් පැල දෙන්න වටිනවා මේ වගේ අයට? තව ඉඩම් තියෙනවද ?"

බණ්ඩාර මට අවශ්‍ය තැනකට සාකච්චාව රැගෙන ආවේය.

"තියෙනවා තව අක්කර හතරක ඉඩමක් .. මාවනැල්ල නගර සිමාවෙමයි තියෙන්න .. අහලත් ඇති අඹගහ මුලහේන කියන ලොකු ඉඩම.. ?"

"ඒක ඉඩම් නඩුවකින් කැඩිලා මෙයාගේ නෝනාටයි  මගේ නෝනාටයි  අක්කර දෙක ගානේ අයිති වුණා."

"අම්මයි දුවලා දෙන්නයි නම් ලැස්ති වුණේ ඉඩම් කෑල්ල විකුණලා ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න"

"මම කිව්වා මේ වගේ ලොකු වගාවක් ඒකෙත්  දාමු .. ආදායම් එන කාලෙට වාහනයක් ගමු කියලා.."

"මොකද වාහන මේන්ටේන්  කරන්න අදායමකුත් තියෙනවානේ එතකොට..".

"මම හරි කැමතියි ඩොක්ටර් ජයසිංහ හිතන ක්‍රමේට .. එහෙම හිතන අය ඉන්නවා නම්  අපේ රට දියුණු කරන්න ලේසියි."

ලෙනදොර හොරෙන්  මා දෙස බලා  හිනහ වෙනු  දුටුවෙමි. 

ඔහු මිස්ට පෝල් දැන් අපේ අතේ බව වටහා ගෙන තිබේ.

සාකච්චාව අවසාන වෙද්දී බණ්ඩාරත් මමත් හොඳ හිතවතුන් වීමු. 

ඊළඟ නිවාඩුවට ලංකාවට පැමිණි පසු ඔහුගේ නිවසට එන ලෙස ආරාධනා වක්ද ලැබිණි.

ගෙදර වත්තටත්  අඹගහ මුල හේනටත්  ( අක්කර හතකට ) පොල් පැල ලබා දෙන්නට   බණ්ඩාර එකඟ වුයේ අපේ සාකච්චාවේ ප්‍රතිඵලයක් වශයෙනි.






ඊළඟ කොටස මෙතනින්


8 comments:

  1. සරත් මධූ නිර්මාණයක්...

    ReplyDelete
  2. මම අහල තිබුනේපොල් කඩන දොස්තර ල ගැන..මෙන්න මේ දොස්තර පොල් වවනවා..වවාගෙන කන්න වගේ ලෑස්තිය..අනේ හොඳයි. ඔස්ට්‍රේලියාවේ පොල් වැවේන්නැද්ද ඇත්තටම..දන්නැති නිසයි ඇහුවේ...

    ReplyDelete
  3. ඔස්ට්‍රලියාවේ උඩ පැත්තේ පොල් වැවෙනවා ..අපි ඉන්න පැත්තේ නැහැ..

    ReplyDelete
  4. anna ehema enna.. "saara karamu mudu bim ape siri lanakwe... wawanno hama dinannaoya me maha polawe..."

    ReplyDelete
  5. වටේම කට්ටිය අල්ලන්න වගෙයි හදන්නෙ. හැක්..

    ReplyDelete
  6. API LANKAWAMA SARU BIMAK KARANNA>PATAN GANIMU>WAGAWEN WITARAK NOWA ADAHAS WASAYENUTH>

    ReplyDelete