Follow by Email

Monday, 25 January 2016

අවසාන උත්සාහය (මග නැගුම හත්වන කොටස )

මෙතෙක්  කතාව ....  (පසුගිය කලාප වලින්)

1. දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්


2. පුවක් බාස් දෙවන කොටස


3. මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස


4. පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී


5. ගම නැගුම - පළමු කොටස


6. ගම නැගුම දෙවන කොටස


7. ගම නැගුමෙන් මග නැගුමට


8. මග නැගුම - දෙවන කොටස



12. මග නැගුම -හයවන කොටස


අවසාන උත්සාහය


පසුදාට පහන් වුයේ පාරේ වැඩ කඩිනම් කිරීමේ අපේ වෑයම තවත් අඩියක් හෝ ඉදිරියට ගෙන යන අරමුණ පෙරදැරි කරගෙනය.

ලෙනදොරත් මමත් උදේ පාන්දරම පියතිලක මාමා සමග එක්වී ඔහු ලබා දුන් අඩි තුනේ පාර සලකුණු කළෙමු.

උදේ අහාරයටත් පෙරාතුව කල  පාර මැනීමෙන් පසු  අපේ අනෙක් සගයා පුවක් බාස්ද  අප වෙත පැමිණියේය.

"මම මේක කියන්නමයි හිටියේ....මේ දැන්ම වුනත් කමක් නෑ අත්තනායක හම්බවෙලා ඒ ඉඩමේ වැඩෙත් කතා කර ගත්තනම් හොඳා."

පුවකා අප දෙදෙනා එවෙලේම අත්තනායක වෙත යවන්නට  උත්සාහ කළේය.

"මොකද ඩිංගිරි බණ්ඩාට ආරංචි වුනොත් ඒකටත් අංචියක් අදියි වගේද ? "

මම ඇසුවේ  ගමේ පල්ලැහැ පැත්තේ කතාවෙන දේවල් සියල්ල පුවක් බාස් දන්නා බව  මට ඉවෙන් මෙන් දැනී තිබුණු නිසාය.

"ඔවු.. ඔවූ,.. ඕවා කියන්න බෑනේ .. දන්නේ නැද්ද ගමේ ගොඩේ කට්ටිය... හැමදේම වලක්වන්න නේ හදන්නේ ".

"ඒක නෙවෙයි.. අත්තනායකට  මේ දවස් වල මුදල් හදල් හිඟ වෙලා ඉන්නේ .. අනික මිනිහා හොඳට කන බොන මනුස්සයා "

පුවක් බාස්  අත්තේ සමග කලයුත්තේ කුමන වර්ගයේ සාකච්ඡාවක් ද යන්න අපට පැහැදිලි කළේය.

"ඒ කියන්නේ ගානක් දෙන්න වෙයි වගේද? " ලෙනදොරට පුවක් පැවසූ  දෙය වැටහී නැති  සෙයකි.

"ගානක් දෙන්න විතරක් නෙවෙයි බොන්නත් අරන් දෙන්න වෙයි කියලනේ ඔය කියන්නේ "

 මම පුවකා කියූ කාරණය ලෙනදොරට පැහැදිලි කලෙමි.

"රුපියල් පන්දාහක් විතර ඇතිවෙයිද? " මම පුවකා ගෙන් ඇසුවෙමි.

"ඔවු  ඔවූ...එහෙම හොඳා.."

"ආපහු ලැබුණේ  නැතත් කමක් නෑ කියලා හිතාගෙන දෙන්න වෙයි හැබැයි..."

ඔහු මගේ යෝජනාව අනුමත කළේය.

"එහෙනම් අනිත් වැඩේට මෙහෙම කරමු ".

"අපි මිනිහා හංදියේ  රේස්ටුරන්ට් එකට එක්ක ගිහිල්ලා බැරැන්ඩි භාගයකුත් අරන් දෙමු"

ලෙනදොර  ඉතිරි සංග්‍රහය සැලසුම් කළේය.

"මම මිනිහට සල්ලි දෙන වැඩේ කරන්නම් . මල්ලී ඔය බොන ගණුදෙනුව සම්පුර්නයෙන්ම භාර ගන්න "

මම බොන කන වැඩේ  ලෙනදොරට පන්ගනාත්තු කළෙමි..

අත්තනායක හමුවීම

"පුතේ..  බත් කණ්ඩ එන්ඩෝ...."

නිම්මිලා අම්මා ලෙන්දොරත් මමත් උදේ කෑමට කැඳ වුවාය. 

පාරේ ගනුදෙනුව මුළු හිසම වෙලාගෙන තිබු මේ මොහොතේ  නිවිහැනහිල්ලේ බත් ටිකක් කන්නවත් ඉඩක් නැත.

කටට දෙකට බත් ටික ගිල දැමුවෙමි.

උදේ ආහාරයෙන් පසු ලෙනදොරත් මමත් අත්තනායක මාමා මුණ ගැසීමට පල්ලම් බැස්සෙමු.

අප ඔහුගේ නිවසට ලඟා වන විට ඔහු සිටියේ සාලයේ ඇඳි පුටුවක හාන්සි වී වහලේ ඇති සිංහල උළු ගණන් කරමිනි. 

මුල්ම වටයේ සාකච්චාව ඉතා සාර්ථක ස්වභාවයක් ගත්තේය.

මම ඩිංගිරි බණ්ඩා මාමා පාරේ වැඩට විරුද්ධව ගම පුරා යන කතාවද අත්තනායක මාමා හමුවේ තැබුවෙමි.

" මම වචනයක් කිව්ව්වොත් ඒකෙ ආයේ දෙකක් නෑ.. කෙරෙනවාම තමයි. " අත්තනායක මාමා අපට අඩි තුනක් ලාබා දීමට කැමැත්ත පල කළේය.

ප්‍රීතියෙන් ඉපිල ගිය අප දෙදෙනා අත්තනායක මාමා ට නොසෑහෙන සේ ස්තුති කළෙමු.

ලෙනදොර  මා වෙත ඉඟියක් කලේ මේ අතරයි.

මම උඩ සාක්කුවට අත දමා අළුත්ම අළුත්   "මොණර කොළ " පහක් ගෙන අත්තනායක අත තැබුවෙමි.

"මෙන්න මේක වියදමට තියාගන්න මාමා.."

"නෑ.. නෑ.. මට සල්ලි එපා . තවම ඉඩම දුන්නෙත්  නෑ .. නේ..?"

"කමක් නෑ . හිතවත් කමට දෙන දේ නේ ඔන්න ඕක තියා ගන්න "

අත්තනායකගේ දෙනෙත්  කෑදරකමින් දිළිසෙන්නට විය.

ඒ  දවස් ගණනක් බඩ ගින්නේ සිටි කුඩා දරුවෙකු  රසවත් ආහාරයක් නෙත ගැටුණු විට ඔහුගේ දෙනෙත් දිලිසේන්නාක් මෙනි

"ඒක නෙවයි මාමා හවසට හවසට හන්දිය පැත්තෙත් යනවා නේද? " ලෙනදොර තමන්ගේ රාජකාරියට  සූදානම් වෙයි.

"ඔව් දන්නැද්ද .. තනියම ඉන්න එකේ ටිකක් හවසට සප්පායම් වෙනවා.  ඔය ළමයිනුත් ඒවගේ දේවල් වලට කැමතිද? "

"නෑ අපේ අය්යා නම් ඕවට නෑ .. මම ඉතින් ඉඳලා හිටලා ඔය බියර් එකක් එහෙම  ගන්නවා "

ලෙනදොර පිළිතුරු දුන්නේය.

අප අත්තනායක මාමාට සමු දුන්නේ ඔහු සමග සවස් කාලයේ ගමේ පහළ පැත්තේ තිබෙන රේස්ටුරන්ට් එකට යන්නට  පොරොන්දු කරගැනීමෙන්  පසුවයි.

නැවත ගෙදරට ලඟා වූ අප නිම්මිලා අම්මා සමග අත්තනායක ගැන කතා කළෙමු.

ඔහු ඩිංගිරි බණ්ඩා මෙන් නොව කෙලින් වැඩ කරන මිනිහෙක් බව ඇයගේද අදහස විය.

අත්තනායක හමුව පිළිබඳව දුල්මිණි ලා තාත්තාද දැනුවත් කරන්නට අමතක නොකළෙමු.

ඔහුද අප තිදෙනා මෙන්  අත්තනායක කෙරෙහි සෑහෙන  විශ්වාසයක්  ඇතුව  කතා කළේය.

නිම්මිලා අම්මා මෙන් සියයට සියයක්ම විශ්වාස නොවුනත්   අත්තනායක තවත් ඩිංගිරි බන්ඩා කෙනෙක් නොවනු ඇත යන විශ්වාශය ඔහු අප තුල ඇති කළේය.

එදා හවස් වෙද්දී කොළඹ නුවර පාරේ ඇති  "අරලිය රෙස්ට් " එකට අත්තනායක මාමා රැගෙන ගියෙමු.

ලස්සන තිරයක් ඇතිරූ රවුම් මේසයක වාඩිවූ අප  වේටර් මල්ලීට කතා කළෙමු.

" මල්ලී අපට ලයන් ලාගර් එකයි, බ්‍රැන්ඩි භාගයයි , ෆැන්ටා බඩියකුයි ගේන්න. "

ලෙනදොර බීම ඕඩර් කළේය .

"කාටද බ්‍රැන්ඩි ඕඩර් කරන්නේ  ?.. මටද?  ' පැනය අත්තනායක ගෙනි.

"ඔව්. ඔව් .. මාමට තමයි . ඇයි බ්‍රැන්ඩි හොඳ නැද්ද ? " ලෙනදොර පිළිතුරු දුන්නේය.

"නෑ. නෑ. මට බ්‍රැන්ඩි එපා.  ගල් කාලක් තිබ්බම හොඳටම ඇති "

"අපිට ඉතින් පුරුදු ගල් නේ ?"

" මේකේ  නම් ගල් නැතුව ඇති මාමා " මම පිළිතුරු දුන්නෙමි.

අර හංදියේ තියෙන බාර් එකට යමු. එතැනින් තමයි මම වෙනදට ගල් කාලක් ගහන්නේ.

අත්තනායක මාමා තම පුරුදු තැබෑරුම වෙත යන්නට දැඩි කැමැත්තක් පල කළේය.

"මොකද කරන්නේ අය්යා ?" ලෙනදොර මා වෙත හැරුනේය.

"මොනවා කරන්නද ? බාර් එකට ගිහිල්ලා එයාට ගල් කාලක් අරන් දෙමු "

එදා මම ජිවිතේ පළමු සහ අවසාන වතාවට  ලී පොළු ගසා බෝතල් රාක්ක කර තිබු බාර් එකකට හේත්තු වී සිටියේ  අත්තනායක ගල් කාල ඉවර කරන තෙක්ය.


ඉටු නොවන බලාපොරොත්තුව

එදා අත්තනායකට සංග්‍රහ කිරීමෙන් පසු ගෙදර පැමිණි මා  ඇත්තටම සිටියේ සෑහෙන  කලකිරීමකිනි. 

කලකිරීමට හේතුව අත්තනායක අප දෙදෙනා  චයිනිස් රේස්ටුරන්ට් එකෙන්  ඉවත් කර මහ පාර අයිනේ තිබු බාර් එකට රැගෙන යාමම නොවේ.

 එයට ප්‍රධානම හේතුව ඔහු ඩිංගිරි ටත් වඩා වෙනස් ආකාරයක කපටියෙකු යැයි මා සිත ඇති වූ සාධාරණ සැකයයි.

අප අත්තනායක හමුවී පැමිණි වහාම ඔහුගේ නිවසට ගිය අනෙක් අමුත්තා ගැන දැන ගන්නට ලැබීම තවත් හේතුවකි. 

පුවක් බාස් ගේ නෝනා දැක තිබු හැටියට එදා අපි අත්තනායක හමුවී නිවසට පැමිණි පසුත්  හවස ගල් කාලක් අරන් දෙන වෙලාවත් අතර කාලයකදී ඩිංගිරි බණ්ඩා අත්තනායක හමුවීමට ගොස් තිබේ.

හවස සය කන් මන්ත්‍රන  සභාව පුරුදු පරිදි රැස් වුයේ මේ අල්ල පනල්ලේය.

වෙනදා මෙන් නොව එදා මම ලෙනදොරටත් පුවක් බාස් ටත් දැඩිව කතා කරන්නට තීරණය කලෙමි.

"ඇත්තම කියනවා නම මට අත්තේයා ව ෂුවර් නෑ.. ඔය මනුස්සයත්  අන්තිමට අපිට බෑ කියන්න බැරි නෑ.. ආරංචියේ හැටියට ඩිංගිරි බණ්ඩා මිනිහගේ ඔළුවටත් විෂ කවලා තියෙනවා අද හවස් වරුවේ "

මම කතාවට මුල පිරුවෙමි.

"මම කිව්වනේ සල්ලි ටිකක් විසි කරන්න වෙයි. හැබැයි මිනිහා ඉඩම දෙයි කියලා තමයි මගේ නම් විශ්වාසේ "  
පුවක් බාස් තවමත්  අත්තනායක ගැන බලාපොරොත්තු වෙන් පසුවෙයි.

" මට නම් මේ බලන් හිටිය කාලේ හොඳටම ඇති කියලයි හිතෙන්නේ "

"අද කවදද කියලා දන්නවද දෙසැම්බර් විසි පහ..මට ඉඩම දෙන්නේ කවුද පාර එන්නේ කොහෙන්ද කියලා වැඩක් නෑ ජනවාරි පලවෙනිදා වෙන කොට පාර කැපිලා තියෙන්න ඕනෑ.."

මම මගේ ස්ථිර සාර අධිෂ්ඨානය  මගේ මග නැගුමේ සගයින් දෙදෙනා හමුවේ තැබුවෙමි.

ලෙනදොර මෙන්ම පුවකාද තරමක් සසල වූ බව මම හොඳින් නිරීක්ෂණය කලෙමි.

"මේ ගමේ ඉන්න ඩිංගිරි බණ්ඩලා වගේ කොන්ද පණ නැති උන්ට බයේ මම  පටන් ගත්ත වැඩක් නවත්තන මිනිහෙක් නෙවෙයි මම"
"මේ වෙලාවේ තමයි අපි තුන්දෙනා එකටම ඉන්න ඕනේ.  ප්‍රේමරත්න මොකද කියන්නේ ? "

"ඕන දෙකට ඔට්ටුද? අපි පාර කැපුවොත් ඔයාටත් පාරක් එනවා.  හැබැයි ඩිංගිරි බණ්ඩා මේ වෙනකොට මුළු ගමක් ම අවුස්සලා ඉවරයි "

"මට ඔය හාදයයි එයාගේ අය්යලා දෙන්නයි තුන්දෙනාම කියලා තියෙනවා අපේ මානෙන් ප්‍රේමරත්නටත් පාරක් එන එකට එයාලා කැමති නෑ කියලා. "

මම ප්‍රේමරත්නට ඉතා ඉක්මණින් පාර කැපීමේ උවමනාව පැහැදිළි කළෙමි . 

"ප්‍රේමරත්න මට අදහසක් ආවා. මම දන්නවා ඔයාට ලොකු ඉඩමක් නෑ කියලා .. හැබැයි අත්තෙයා දුන්නේ නැත්නම් අපිට තියෙන එකම විකල්පය ඔයා තමයි. "

"ඔයාගේ ඇලදිගේ  වගුර පුරවාගෙන පාර හැදුවොත් අපට අහුවෙන්නේ ඔයාගේ ඉඩමයි , අපේ ඉඩමයි , අපේ කුඹුරයි   කියන තුනනේ එතකොට ඔය කාටවත් අපිට ලෙඩ දාන්න බෑ."

"ඒ වුනාට කුඹුරෙන් තුනෙන් එකක් ඩිංගිරි  බැන්ඩය්යට අයිතියි නේ ? මිනිහා ඒකටත් ලෙඩේ අදියි "

පුවක් බාස් මට අමතක වන්නට ඇති යැයි සිතු යමක් මතක් කර දුන්නේය .

මේ අතර ලෙනදොර  කිසි හාවක් හුවක් නැතිව බලා සිටියි.

මම ඔහු දෙසට හැරුණෙමි.

"මල්ලී ඔයා හමුදාවේ හිටිය කෙනෙක් නේ..  ඔයාට  මීට වඩා මේ වැඩේට යමක් කරන්න  පුළුවන් වෙන්න ඕනේ "

"නැද්ද පි. බී..?... හමුදාවේ හිටියා කිව්වම ගම හොල්ලන් ඉන්න එපැයි.. බොරුවට හරි " .

මම ලෙනදොර මට අවශ්‍ය පැත්තට හරවා ගන්නට උත්සාහ කලෙමි.

ඒ ඔහුගේ හමුදා සම්බන්ධය පාවිච්චි කර ඩිංගිරි බණ්ඩා නිස්ශබ්ධ  කිරීමයි.

"නෑ .. නෑ. ගමේ අය ඇත්තටම ලෙනදොර මහත්තයට හරි බයයි" . පුවක්ද මගේ කතාවට උඩ ගෙඩි දෙන්නට විය.

"ඔව්. ඔව්.. ඒ අය දන්නේ නෑනේ  මෙයා  විශ්‍රාම අරන් ඉන්නේ කියලා..  හුගක් වෙලාවට හිතනවා අත්තේ මොකක් හරි ගේමක් දීලා වැඩ නැති වෙලා ඇවිල්ලා කියලා...මල්ලී අපි ඕකෙන් වැඩක් ගමු"

" හෙට ඩිංගිරියාව  භය කරමුද? . එතකොට මිනිහා කුඹුරේ තුනෙන් එකේ කතාවට එන්නේ නෑ. "

"හැබැයි අපි ඒක කරන්න නම් පුවක් ගේ වචනේ ස්ථිර වෙන්න ඕනෙ.. '

"හැබැයි තමුසේ කිසි කෙනෙකුට කියනවා නෙවෙයි අපේ ප්ලෑන් එක".

අඩුම ගානේ දුල්මිණි ලා අම්මාට වත් කියන්න  එපා අපි බැකෝ එක ගෙනෙන කන් "

"හරි .. හරි ... මම කැමතියි වැඩේට, අපේ ගෙදර උන්දැට වත් නොකියා ඉන්නම් කෝ දොස්තර මහත්තයා කියනවනම්." .

ප්‍රේමරත්න මට එතෙක් ඇසුණු මිහිරිම වචන ටික එළියට දැම්මේය.

"ඔව්. ඔව්.. එහෙම හොඳයි.  ප්‍රේමරත්න අපි එක්ක හිටියොත් අපි ඔයා ගැන බලා ගන්නවා.  ඔයාල හැමදාම ඔහොම ඉන්නේ නෑ නේ.. "

"පස්සේ කාලෙක දුල්මිණි කැම්පස් එහෙම යයි . අපි ඒවාට උදව්  කරනවා . "

"ඇත්තම කියන්න මේ වැඩේ කෙරුනොත් මම ප්‍රේමරත්නට සලකන්නේ අපේ නෑ කෙනෙකුට වගේ තමයි ".

"හරි . හරි .... ආයේ ඉතින් කළබල වෙන්න දෙයක් නෑ.  වැඩේ පටන ගන්න කෝ . මම අපේ වත්ත අයිනෙන් පාර යන්න හදලා දෙන්නම් "

"හරි  පි. බි... එහෙමනම් අපි හෙට ඩිංගිරි නවත්වනවා ආයේ දෙකක් නෑ.. අපිට ඔයා ඉන්නවා නේ . අත්තෙයා අඩි තුනක් දුන්නත් එකයි නැතත් එකයි. "

ප්‍රේමරත්නගෙන් සමුගත් මා ලෙනදොර රැගෙන ගෙදර ආවේ ඉතා බරපතළ සාකච්චාවක් සඳහාය.

ඒ ඩිංගිරි සාධකය පාරේ සමීකරණයෙන් ඉවත් කරන ආකාරය ගැන කතා කිරීමටය.

"මෙහෙමයි මල්ලී වැඩේ .. පල්ලැහැ පාරේ මිනිහා තනියෙන් එන වෙලාවක් බලලා අල්ල ගමු. "

"අපේ වැඩේට ආයිත් අත දැම්මොත් හොඳ වැඩක් කරනවා කියලා කියමු"

"ඔය තෝ  මකනවා .. තොගේ කෙල්ල උස්සනවා " වගේ මොකක් හරි කියමු.

"අමු  කුනුහරුපයක්   කන අ.. අ. ට කරලා කියලා පටන් ගන්න ඕන .."

 "මම දොස්තර කෙනෙක් නේ මම  කුණුහරුප කියන එක හරි නෑ ..මුලින්ම අඩෝ .... තෝ කියලා  ඔයා පටන් ගන්න  . ඉතිරි ටික මම කියන්නම්. "

" හරිනේ  එහෙනම් හෙට උදේ වැඩේට බහිමු. "

ලෙන්දොරත් මමත් පුස් පැටවුන් දෙදෙනෙක් මෙන් නිවසට ගොඩ වුයේ රාත්‍රී ආහාරය සඳහාය .


මග තොටදී..... හමු වෙද්දී....


පසුදා උදෑසන ලෙනදොරත් මමත් පුවක් ලා ගෙවල් පැත්තට ගියේ ඩිංගිරි පාන් ගේන්න යන වෙලාව අල්ලා ගන්නටය. 

අප හිතුවා හරිය.  කළු පැහැති මල්ලක් වනමින් ඩිංගිරි බැන්ඩේ මාමා වෙල මැදින් පල්ලම් බහී.

කඩේ ට ගොස් ආපසු හැරෙන්නට තරම් කාලයක් ඔහුට දුන් අප දෙදෙනා ඔහු නැවත එන මාවත් වෙත පිය මැන්නමු.

ගමේ පන්සල පෙනෙන නොපෙනන මානයේදී ඩිංගිරි බණ්ඩා අප දෙසට එන අයුරු දර්ශනය විය.

මම නැවතත් ලෙනදොර  සුදානම් කලෙමි . "මල්ලී මතකයිනේ දත්මිටි කාලා අඩෝ ව්... කියලා පටන් ගන්න ඕනෑ."

දැන් ඩිංගිරි අප අසළටම ලඟා වෙයි.   අප දෙදෙනාම සිටියේ කොට කලිසම් සහ ටි ෂර්ට් හැඳ කැප් තොප්පි අනික් පැත්තට හරවා දමාගෙනයි. 

නාදුනන කෙනෙකුට ඇත්තටම පෙනෙන්නේ ගමේ ගණන් කාරයෝ දෙන්නෙක් කඩේ පැත්තට යන ස්වරූපයකි. 

" හා කොහොමද පුතාලා කඩේ පැත්තේ යනවා වගේ ?".

මුහුණේ හිනා කලඳක් වත් නැති කළුම කළු මුහුණක් පෙන්වමින් ඩිංගිරි බණ්ඩා ලෙනදොර දෙසට හැරුනේය.

"හ්ම් පුතා..? ??? ... ඈ..."

කියමින් ලෙනදොර දත්මිටි කයි එහෙත්  ජාතිය ඇමතීමේ වචනය ඔහුගෙන් පිටවුයේ නැත. 

"කියන්න.. කියන්න .."
මම සැලසුම වතුරේ යයි දෝ සිතමින් ලෙනදොරට වැ ලිමිටෙන් ඇන්නෙමි .  ලෙනදොර ගල් ගැසී සිටියි. 

"අනේ මුගේ  විශේෂ බළකාය .." මම මටම මුමුණා ගත්තෙමි.

එසේ සිතමින් ඩින්ගිරි බණ්ඩා ගේ මුහුණ අසළටම එබුනෙමි .

" අඩෝ  ඩිංගිරි .... ගේ පුතෝ.. තෝ මෙච්චර දවස් කරපුවා අපි දන්නේ නෑ කියලා හිතන්න එපා.  අපිට මෙහෙන් පුතේ .පුතේ කියා කියා  උඹ ගම පුරා ගිනි  ගෙඩි ගෙනිච්චා නේද ?

 "මට ආරංචියි  උඹ ඊයේ  අත්තනායකට ත්  ගිනි ගෙඩියක් දුන්නා කියලා"

උඹ අද ඉඳලා අපේ වැඩ ගැන ගමේ උන්ට  මොනවා හරි කියලා තිබුනොත් බලාගෙනයි. "

" තෝ මකවනවා එහෙම වුනොත් ..."

"හොඳට මතක තියා ගැනින්  පරයා.  මීට පස්සේ අපේ වැඩ වලට  අත දානවා එහෙම නෙවයි."

"අපි හොඳට හොඳයි  නරකට නරකයි".

මම එක හුස්මට කියාගෙන ගියේ ඩින්ගිරි බණ්ඩා  හොඳටම සලිත කරමිනි.

ලෙනදොර තුෂ්නිම්භූත වී ඇති ආකාරයකි.

"මගේ වාග් ප්‍රහාරය දෙස එසේ බලා සිටි  ලෙනදොර  එක් වරම ඩිංගිරි ගේ  ෂර්ට් කොලරය වෙත තම අත යොමු කරන්නට සුදානම් විය.

ඩිංගිරි බන්ඩේ  මාමා බියෙන් වෙව්ලනු මට පෙනේ.

"නෑ... නෑ.. මල්ලි මූට දැන්ම අත තියන්න එපා. "

"අපිට ගැරඬි මරලා පව් කර ගන්න ඕනි නෑ."

"මේකා අයිත් වතාවක් අපිට අංචි අදින්න අවොත්  ඒ ගැන බලමු. "

"නෑ පුතේ .. මම කිව්වේ.. " කියමින් ඩිංගිරි යමක් පැහැදිලි කරන්නට සැරසෙයි. එයට කිසිසේත් ඉඩ නොදුන් මා. මට අවශ්‍යම ටික මෙසේ පැවසුවෙමි.

"අඩෝ ඩින්ගිරියා .. අපි අද හෙටම කුඹුර උඩින්  පාර ගහනවා .. ඒකේ තුනෙන් එකක අයිතිය කරුණා අක්කට තියෙනවනේ"
"හැබයි ...පාරේ වැඩ ඉවර වෙනකන් තෝ ගේන් එළියට බැස්සොත් බලාගෙනයි. "

"අපි නරක මිනිස්සු කියන්න එපා ඊට පස්සේ.. තොට තියෙන්නේ අපේ වැඩේ ඉවර වෙනකන් ගොනා වගේ ගෙට වෙලා ඉන්න එක විතරයි."

කඳුළු පනින්ට සැරසුණු දෑසින් යුතු ඩිංගිරි බන්ඩේ මාමා " හරි හරි පුතාලා ඕන එකක් කර ගන්න .. හැබැයි මගේ ගොයම් ටික තැලෙයිද දන්නේ නෑ? "

යැයි පාරේ වැඩේ  පරක්කු කරන්නට හැකි අවසන් තුරුම්පුවද ගැසුවේය.

"මොනවා හු...  පුතා  තෝ කිව්වේ.. ?  ගොයම්..? .." ලෙනදොර නැවතත් යකෙක් මෙන් ඔහු වෙතට කඩා පනින්නට සුදානම් විය.

හමුදාවේ විශේෂ  බලකායේ සෙබළෙක් ලෙස ත්‍රස්තයන් බර ගාණකට  වග කියා ඇති ආරෝහ පරිණාහ දේහයකින් යුත් ලෙනදොර වැන්නෙක්   එවැනි ඉඟියක් කිරීමම ප්‍රමාණවත්ය.

ඩිංගිරියා දැන් නම් අම්ම මුත්තා කිව්වත් අපේ පාරට නම් ලෙඩක් දමන එකක්  නැත.

"හොඳට මතක තියා ගනින්  පාරේ වැඩ ඉවර වෙනකන් තොට අපිට පේන්න එලියට වත් එන්න බෑ.."

මම වැදගත්ම පණිවිඩය ඩින්ගිරි බණ්ඩාට නැවතත් මතක් කළෙමි.

"තව එකක්....තෝ මේ ගැන ගමේ කාටවත් කියනවා එහෙම නෙවෙයි.. " අද ඉඳලා මොකුත් දන්නේ නැති ගොනා වගේ හිටපිය. අපි වැඩේ ඉවර කරනකම්.."

"අපි යමු මල්ලී යන්න"

.කියමින් මම ලෙනදොරත් රැගෙන ජයග්‍රාහී ලීලාවෙන් එතැනින් ඉවත් වුයෙමි. 








16 comments:

  1. යෙප්! ඕකනේ මම කියුවේ.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි තියෙන්න ඕනි.. :)

    ReplyDelete
    Replies
    1. ඕනෑම බාල්දි වැටෙන වැඩක අවසාන උත්සාහයෙදී .. අපි අනිවාර්යයෙන්ම සලකන්නේ එහෙම තමයි..

      Delete
  2. කුඹුරු ඉඩම් ගොඩ කරන එක නිති විරෝධීනෙ, කවුරුහරි පොලීසියට පැමිණිලි කලා නං ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඒක අපේම කුඹුරක් ඒත් නිතිවිරෝදියි තමයි. ඩිංගිරි කලින්ම විරුද්ධ වීම හරහා ඔය විදිහට කිසින් කෙනෙක් අපිට විරුද්ධ නොවෙන තැනට වැඩේ ගෙනාවා ( ඇත්තටම ඩිංගිරි කල වැඩෙන් අපිට ලොකු වාසියක් වුනේ )අපි... හැබැයි ඩිංගිරි ගේ ලොකු අය්යා ගොවි ජන සේවා එකෙන් එව්වා.. ඒ ආපු පොඩි නෝනා ලෙන්දොරගේ මායම් පාරකටත්.. කොමසාරිස් තුමිය *ලොකුනොනා මගේ හිතවත් කම නිසාත් වැඩේ ඇද්දේ නෑ...

      Delete
  3. කුඹුරු ගොඩ කරන එක අපරාදයක්නේ.

    ReplyDelete
    Replies
    1. අපි කුම්බුරක් ගොඩ කරේ නෑ ඇත්තටම.. ලියදි පේලි අතරින් තිබ්බ ඇල කණ්ඩි දෙකක් අතරට පස් පිරෙව්වා .. අඩි 20ක් 25ක් විතර කෑල්ලක .. ඇත්ත පාර දන්නේ නැතිව කතාව කියවන කොට හිතෙන්නේ ලොකු කුඹුරක් පිරෙව්වා වගේ . එහෙම කලේ නෑ... ලංකාවේ නීතියක් නැත්තේම නෑනේ එහෙම කළා නම් අපිට පාරක් කපන්න වෙන්නේ නෑ...

      Delete
  4. මල හත්තිලවුවයි, නාකිය හොදටම බය වෙන්ඩ ඇති..මේක මානව හිමිකම් ගියොත් විනාසයි.

    ReplyDelete
    Replies
    1. බයනම් වෙන්න ඇති...
      නෑ. නෑ.. දන්නේ නැද්ද ගම් වල හැටි. ඩිංගිරි ලා ලෙන්දොරලා හොඳ යාලුවෝ දැන්.. ඩිංගිරිගේ දුව බැන්දේ ලෙන්දොරගේ හොඳ යාළුවෙක්... එයාලා අපි හදපු පාරෙන් එයාලගේ රබර් කෑල්ලට එහෙම යනවා..

      Delete
  5. කළ දේ හරිද වැරදිද නැතිනම් යුක්ති සහගතද කියන එක හිතන්න ගත්තොත් අව්‍යාජව අතීත විස්තර ලියන්න බෑ . ඒ කාලේ අපේ ගැමි සමාජයේ හරස්කඩක් තමයි මේ. ගිරි දුර්ගයක් මැදින් පාරක් කපනවට වඩා අමාරුයි මේ මිනිස්සුන්ගේ අරියාදුකම් වගේම යටි උගුල් මැදින් පාරක් කපන්න . තව කොටස් තියෙනවද? එහෙනම් ඒවා මීට වඩා ඉවසිල්ලේ , පරිසරයත් මිනිස් හැසිරීමුත් ලස්සනට නිරුපණය කරමින් ලියවෙයි කියා හිතනවා . ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි වුනා.. ඊළඟ කොටසට ඇත තියන්නයි ඉන්නේ...

      Delete
  6. කවිඳු ත් එක්ක පරිස්සමින් වැඩ කරන්න වෙයි. හි හි :)

    ReplyDelete
    Replies
    1. හිතන තරම් යකා කළු නැහැ.. මේක ඩිංගිරි මාමටත් මටත් දෙන්නටම අදාලයි..

      Delete
  7. samahara wada walata ooka thamai kramaya.

    ReplyDelete
  8. කතාව ඇත්ත... අපිටත් වෙන ක්‍රමයක් නැති තැනටම ආවා..

    ReplyDelete
  9. සාමෙන් නැත්තං ගේමෙන්
    - බ්‍රෑන්ඩ් එක ගල් -

    හැක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටාසන්.. අන්තිමට මේ ගේමෙන් ගහපු පාරේ පුවක් බාස්ගේ තෙසක් රියයි . ලෙනදොරගේ ඇලියන් එකයි ( ලෙනදොර දැන් සංචාරක මග පෙන්වන්නෙක් ) දුම දාගෙන යනවා. අපිත් ලංකාවට ආපු වෙලාවට නිම්මිලා ගේ මිදුලටම වාහනේ ගන්නවා. "ඔබට සතුටුයිද දැන් " කියලා අහන්න ඕනේ ඩිංගිරි මාමාගෙන් .

      Delete