Follow by Email

Saturday, 20 February 2016

බණ්ඩාරවෙල මහා විදුහලේ ගිනි සිළුව - හඳපානාගල ජයරත්න



මා පසුගිය ලිපියකින් අප උසස් පෙළ කරන කාලයේ පාසලේ අධ්‍යාපනයට අමතරව දේශපාලන කටයුතු වල යෙදුනු සිසුන් ගැන සාකච්චා කලෙමි (මගේ ආදරණිය සුරංජි. කියවන්න )

එහිදී බණ්ඩාරවෙල නගරයේ විසු $%#@ , සුරංජිත් රත්නායක , චමල් බණ්ඩාර, කත්‍රිආරච්චි සහ ජයරත්න බණ්ඩාර  ගැන සඳහන් කලෙමි.

ඒ අය අතරින් අප කිසිකෙනෙකුට බලපෑම් නොකර  තම කටයුතු කරගෙන ගිය අයෙක් මගේ මතකයට නැඟේ.

ඔහු  හඳපානාගල කණිස්ටයෙන් අපේ පාසැලට ආ  ජයරත්න බණ්ඩාරයි.

ජයරත්න හඳපානාගල වැව පෙනෙන මානයේ දුප්පත් ගොවි ගම්මානයක උපන් දරුවෙකි.

ඔහු පවුලේ වැඩිමලා වුවා මෙන්ම එකම පිරිමි දරුවාද විය.  වැල්ලවායේ හඳපානාගල ගොවි ගම්මානය ඔහුගේ උපන් ගමයි.

මා අසා ඇති පරිදි ඒ වසරේ  හඳපානාගල කනිෂ්ට විද්‍යාලයේ හොඳම ප්‍රතිඵල හිමිවී තිබුනේ ජයරත්නටයි.

දුප්පත් ගොවි දරුවෙක් වූ ඔහු බණ්ඩාරවෙල මහා විද්‍යාලයට එන්නේ සමන්ත සහ මා මෙන් පිවිතුරු අරමුණකිනි.

ඒ තම අද්‍යාපනය තුලින් හොඳ රැකියාවක් ලබාගෙන තම පවුල ගොඩ දැමීමේ පරම චේතනාව පෙර දැරි කර ගෙනයි.

අපට සමගාමී ගණිත පංතියේ  දීප්තිමත් එහෙත් තරමක් නිහඬ සිසුවෙක් ලෙස 1987 වසරේදී  අප ජයරත්න හඳුනාගත්තෙමු.

වැඩි කතා බහක් නොතිබුණා වුවද ඔහු කෙරෙන් දිස්වූ තැන්පත් බව සහ   වැඩිමහල් සොහොයුරෙකු මෙන් වූ ආකල්ප ඔහු කෙරෙහි අපේ සිත් ඇදී යන්නට හේතුවක් විය.

අපේ විද්‍යා පංති තුනේ සිටි පහළොස් දෙනෙක් වයිදය් වරුන් වෙද්දී  ඔහු ගේ පන්තියේ සිටි සිසුන් ගෙන් 13 දෙනෙක්  ඉංජිනේරුවරු බවට පත් වූහ.

ජයේ සමග එක පන්තියේ සිටි  සිසුන්  අතර දැනට ඔස්ට්‍රේලියාවේ  මහාචාර්යවරයෙකු වන හරීන් සොමරත්නද  විය.

හරීන් තරම් අති දක්ෂයෙකු නොවුවද ඉංජිනේරුවෙකු වන්නට තරම්   ඉගෙනීමේ හැකියාවක් ජයරතන්ගෙන්  දක්නට ලැබිණි.


ඉන්ඳු- ලංකා ගිවිසුම  සහ සිසූ  දේශපාලනය 



අ. පො. ස.  ( උ. පෙ.)  පංතියේ  බොහෝ දෙනෙක් සමන්  අය්යා , ගුණරත්න සර් වැනි අයගේ උපකාරක  පංති ගියද ජයේ ඒ කිසි පංතියකට ආවේ නැත.

ඒ හරීන් මෙන් උපන්ගෙයි දක්ෂයෙක් වීම නිසා නොව ඔහුගේ දෙමාපියන්ට පංති ගාස්තු ගෙවන්නට තරම් ආරථික හැකියාවක් නොතිබූ නිසාය.

කෙසේ වෙතත් උසස් පෙළ පටන්ගෙන  ටික කලකින්  ජයරත්න  වැලිකන්දේ චමල් ඇතුළු පිරිස අනුගමනය කල  දේශපාලනයට අවතීර්ණ වන්නට තීරණය කළේය.

එය කෙසේ සිදුවුවාදැයි කියන්නට තරම් විස්තර මා දන්නේ නැති වුවද ටික කලක් ගතවෙද්දී  ජයරත්න  අප විදුහලේ සිසු දේශ පාලකයින්ගේ  ප්‍රධානියා බවට පත්වූ හැටි මා නිරීක්ෂණය කලෙමි.


ඒ  1988 ජුනි මාසයේ පැවති  බණ්ඩාරවෙල මහා විදුහලේ  ( අපේ උසස් පෙළ කාලයේ) ප්‍රථම  විරෝධතාවයට නායකත්වය දීම මගිනි.

ඒ වනතෙක් අළුයට ගිනි පුපුරක් සේ සැඟ වී සිටි ජයරත්න කරලියට පැමිණෙන්නේ මේ විරෝධයත් සමගයි.

මා ජයරත්න සමග එකම පංතියේ ඔහුට එහා ඩෙස්ක් එකේ සිටි දැනට ලංකාවේ සාර්ථක ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන  කමල් සසරසිංහ  ගෙන් දැනගත් පරිදි  ජයේ දේශපාලනයට ගෙන ආවේ චමල් ලා නොවේ.

ඔහු අපේ පාසැලට එන්නට පෙර සිටම  සමාජවාදී දේශපාලන  අදහස් දැරුවෙකි. 

කෙසේ වෙතත් කල් ගත වෙත්ම  ජයරත්න සහ අනෙකුත් දේශපාලනයේ යෙදුන සිසුන්  පාසැල් පැමිණීම එන්න එන්නම අඩුකළේය.

 ඒ වන විට රට පුරා  ගිනිදැල් ඇවිලෙමින්  තිබුනේ ජ. වී. පෙ. මර්ධනය කරමින්  UNP ආණ්ඩුව ගෙන ගිය වැඩ පිළිවෙල  නිසයි.

එමෙන්ම  මා කලින් ලිපියක සඳහන් කල පරිදිම  ජ.වී. පෙ . අනුගාමිකයින් අතින්ද බොහෝ අකටයුතු කම් සිදු විය.

මේ අතර 1988 සැප්තැම්බර් මස  වෙද්දී  ජයේ සහ කිහිපදෙනෙක්  පුර්ණ කාලීන  දේශපාලනයට  පිවිසුන බව අපට ආරංචි විය.

ඒ බව අප දැන ගත්තේ  ජයේ යලට මහට ඉස්කෝලේ එන්න පටන් ගැනීමත් සමගය.

බණ්ඩාරවෙල  $%#@ වැනි පුර්ණ කාලීනයන් දිගටම පාසැල් ගිය අතර ජයරත්න , කත්‍රිආරච්චි වැනි අය පාසැල් ගමන බෙහෙවින් අඩුකළ සිසුන් වූහ.

දිනක් උදෑසන චමින්ද, සුරාජ් සහ මම බෙලගන්වැව බසයෙන් බැස  බණ්ඩාරවෙල නගරය  මැදින් ගමන් කරමින් සිටියෙමු.

දැක පුරුදු මුහුණක් ඇති උස, කළු කෙට්ටු අයෙක් සහ මිටි රතු මහත  අයෙක්  අප හමුවේ පෙනී සිටියහ.

"හලෝ මචංලා  ඉස්කෝලේ යන ගමන් වගේ ?"

ඒ දෙදෙනාගෙන් කෙට්ටු උස තරුණයා අප හා කතාවට වැටුණේය.

"ඔවු ජයේ ..  අපි ඉස්කෝලේ යන ගමන් "

ඒ දෙදෙනා සිටියේ  දිග ගමන් මලු දෙකක් තමන් ළඟ තබාගෙන  ඈත යන බසයකට ගොඩ වන්නටය.

මලු දෙක පිරෙන්නට කිසියම් දෙයක් පුරවා ඒවා වැහෙන ලෙස මල් පොකුරු කිහිපයක් දමා තිබු අයුරු අප නෙත ගැටිණ.

මේ කාලය වන විට ජයරත්න සහ ඔහුගේ ලඟම හිතවතා හුංගම ඉන්දික යන දෙදෙනා බණ්ඩාරවෙල සිටි ප්‍රධාන සිසු ක්‍රියාකාරිකයින් දෙදෙනෙක් විය.

ඒ හේතුව නිසාම ඔයාලා කොහෙද යන්නේ ? මේ බෑග් වල තියෙන්නේ මොනවාද ?

වැනි  නිරර්ථක ප්‍රශ්න අපගෙන් පැන නැගුනේ නැත.

ජයරත්නගේ අගය කලයුතුම ලක්ෂණයක් වුයේ  කවිඳු චමින්ද වැනි අයට කැමති දෙයක් කර ගන්නට ඉඩ හරිමින් ඔහු ඒ කිසිවෙකුට අනිසි බලපෑම් කරන්නට  ඉදිරි පත් නොවීමයි.

එමෙන්ම සැබෑ විරෝධතාවයකදී එලියට පැමිණ එයට නායකත්වය දීම මිස  අපේ සමහරක් හිතවතුන් මෙන් "උණට " එලියට බැසීමක් ඔහුගෙන් දිස්වූයේ නැත.



රජයේ හමුදා වලින් කල  සිසු දඩයමේ නොඇසූ කතා



වසර 1988 අග භාගයේ දිනක ජයරත්න ප්‍රථම වතාවට රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගැනිණි.

ඒ කහගොල්ලේ පන්සලක තවත් එවැනිම සිසුවෙකු ( අපට වසර දෙකක් ඉහළ පන්තියක සිටි)  වූ හේරත් රාජමන්ත්‍රී සමග සිටියදීය.

එදා ජයේ හමුදා අත්අඩංගුවට පත්වෙද්දී  රාජමන්ත්‍රී කහගොල්ල පංසලේ සිවිලිමේ සැඟවී තම දිවි ගලවාගෙන තිබේ.

පසුකාලීනව රාජමන්ත්‍රී නැවතත් අත්අඩංගුවට පත් වුවද ඔහු හමුදා භාරයට ගනිද්දී රටේ ගිනිදැල් නිවී යමින් තිබිණි.

ඒ  නිසා රජමන්ත්රිට තමා ඇලුම් කල දේශපාලනය අද දක්වාම කරගෙන යන්නට තරම් වාසනාව උදාවී තිබේ.


ඒ වනවිට බණ්ඩාරවෙල පමණක් නොව මුළුරටම  ජ.වී. පෙ. සහ රජයේ එකට එක කිරීම් වලින් ගිනිගෙන දැවෙමින් තිබුණි.

ජයරත්න අත්අඩංගුවට ගත් දිනට පසුදා අප විද්‍යාලයේ සිසුන් මෙන්ම බණ්ඩාරවෙල සියළුම පාසල් වල උද්ගෝෂණ කරන ලදී.

මට මතක හැටියට එතෙක් මෙතෙක්  බණ්ඩාරවෙල  ප්‍රදේශයේ පැවති විශාලතම සිසු විරෝධතාව පැවැත්වුනේ ඔහු නිදහස් කර ගැනීම වෙනුවෙනි.

පාසලේ උද්ඝෝෂණය යන අතර තුරම ජයරත්න නිදහස් වී  පාසල ඉදිරිපිට ඇති අඹ ගහ ළඟ ට පැමිණි සිටියේය.

එහෙත් ඒ නිදහස් කිරීම තාවකාලික එකකි. එකල විදුහලේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරී  සිසුන් රාශියක් අත්අඩංගුවට පත් වූ දෙවැනි වටයේදී ජයරත්නද නැවතත් හමුදා භාරයට ගැනිණි.

ඉන් අනතුරුව ඔවුන් රඳවා තැබුණේ අප ප්‍රදේශයේ බොහෝ පාසැල් සිසුන් තම අවසන් කාලය ගත කල  බෙරගල  තේ කර්මාන්ත ශාලා   කඳවුරේය.

පුනරුත්ථාපන  කඳවුරක් ලෙස හැඳින්වූ එහි පුනරුත්ථාපනය වී නැවත අප අතරට පැමිණි එකම සිසුවා $%#@ පමණි.

$%#@ ගෙන්  මා අසා දැන ගත් පරිදි   එහි රඳවා සිටි කත්‍රිආරච්චි, වැලිමඩ උදේනි  ඇතුළු බොහෝ පිරිස් වරින් වර කඳවුරෙන් එලියට රැගෙන විත් මරාදමා තිබිණි.

දවුලගල කඳවුරේ යාව ජීව සාමාජිකයකු වූ $%#@,  ජයරත්න දෙවැනි වතාවට කඳවුරට ගෙන ආ දිනයේ ඔහු නෙත ගැටුණු අයගෙන් එක් අයෙකි.

$%#@ පසුගිය වසරේ දිනක සිද්ධිය මා සමග ස්කිය්ප් ඔස්සේ පැවසුවේ මෙසේය.

" එයා අරන් එනකොට අපි කැම්ප් එකේ හිටියා.. මම කකුලට දම්වැල් දාලා ගැට ගහලා හිටියේ. එයා අපේ ලඟට අරන් එද්දී එයා හැසිරුනේ අපි කවුරුත් ගැන නොදන්නා ආකාරයට."

"මචං උඹ මේවා ලියන්නම ඕනේ දේවල් ...

ජයේ අපි කිසිම කෙනෙක් පාවලා දුන්නේ නෑ.

එයාට වෙලාවක් ලැබුන ගමන් අපිට ඉඟි කරා අපි එයා ගැන දන්නා  බවක් හමුදාවට කියන්න එපා කියලා. "

"එදා රෑ ජයේත් තව කිහිප දෙනෙකුත් කඳවුරෙන් එළියට ගෙනිහින් තිබුනා"

"ඒ තමයි  අපි ජයේ අවසාන වතාවට දැක්ක මොහොත "

ජයරත්න අත්අඩංගුවට පත් වූ දින උදැසන  ඔහු මුණගැසුණ තවත් කෙනෙක් කී කතාවක් ඔහුගේ වචන වලින්ම මෙහි සඳහන් කරමි.

එකල ප්‍රසිද්ධ සිසු ක්‍රියාකාරිකයකු නොවූ මේ හිතවතා දැන් සිටින්නේ යුරෝපිය රටකයි.

එකල 79 වැලිමඩ  බසයේ යාව ජීව සාමාජිකයකු වූ මේ හිතවතා ජයරත්න ගේ අවසාන දිනය සියසින් දුටු අයෙකි.

"මචං .. මචං  මට උඹේ සපත්තු දෙක දීපන්.. මට හදිස්සි ගමනක් යන්න තියෙනවා "

බණ්ඩාරවෙල නගර මධ්‍යයේ දී හමුවූ ජයරත්න අප මිතුරා වූ නාරද ගෙන්  ඉල්ලා තිබේ.

ඒ වන විට ජයරත්න සිට ඇත්තේ ඔහුට හුරු පුරුදු  බාටා සෙරෙප්පු දෙක පැළඳ පිටේ එල්ලා ගත් කළු බෑග් එක සහිතවයි.

නාරදගේ  සපත්තු කුට්ටම රැගෙන   නගරයේ වැසිකිලියක් තුලට රිංගු ජයරත්න ආපහු පැමිණ ඇත්තේ ඔහුගේ සපත්තු දෙක  පැළඳ ගෙනයි.

"ඒක නෙවෙයි උඹට සපත්තු දෙක දීලා මම දැන් ගෙදර යන්නේ කොහොමද ? "

නාරද මැසිවිලි නැගුවේය.

"මොනවා කරන්නද මචං මට ලොකු හදිස්සියක් වෙලා .. උඹ මගේ සෙරෙප්පු දෙක දාගෙන ගෙදර පලයන් "

යැයි කියූ ජයරත්න සැණෙකින් එතැනින් අතුරු දහන් විය.

සිද්ධිය අමතක කල නාරද 310 බසයක නැගී වැලිකන්ද බලා ගමන් ගත්තේය.

එදා රාත්‍රියේ සිදු වූ දේවල් දන්නේ දෙවියන්ම පමණි.

එහෙත්  පසුදා උදැසන වැලිකන්දේ සිට බණ්ඩාරවෙල එන්නට පිටත් වූ  නාරදට දකින්නට ලැබී ඇත්තේ ඔබ අප කවුරුත්   සිහිනෙකින් වත් දකින්නට අකමැති දසුනකි.

එහෙත් එය එකලනම් සුලභ දසුනකි.

වැලිමඩ - බණ්ඩාරවෙල පාරේ  අතර මග එක පිට එක  ගොඩ ගසා  ඒ මතට ටයර් දමා  පිලිස්සු තරුණ මල සිරුරු සමුහයක දසුනයි ඒ.

එකල බොහෝ අය කළාසේ නාරද ද  බසයෙන් බැස ගොස් භාගයට පිළිස්සුනු යොවුන් මල සිරුරු දෙස විපරම් බැල්මක් හෙලා ඇත.

ඔහු දුටු දෙයින් ඇතිවූ කම්පනය තවමත් ඔහු සිත හොල්මන් කරන බව දැනට යුරෝපා රටක සිටින ඔහු මා සමග පැවසිය.

තමගේ ඊට පෙර දෙන ජයරත්නට  දුන් සපත්තු කුට්ටම සහිත කළු කෙට්ටු කකුල් දෙකක් සහිත භාගයට පිළිස්සුනු සිරුරක දසුනයි ඒ.

ඒ වෙන කිසිවකුනොව  බණ්ඩාරවෙල මහා විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ හඳපානාගල  ජයරත්න බංඩාරයි.




ජයේ නුඹ පැතූ දේශය තවම ගොඩ නැගී නැත.

එහෙත් නුඹත් සමග කහගොල්ල පංසලේ එදා එකට සිටි  රාජමන්ත්‍රී එක කණ්ඩායමක දෙවැනි නායකයා ලෙසත්  බණ්ඩාරවෙල ප්‍රදේශයේ 89-90 සිදුවීම් වලට කෙලින්ම වගකිව යුතු  (එවකට පාසැල් සිසුවෙක් නොව රජයේ ඉහළ නිලයක සිටි ) නායකයා  අනෙක් කණඩායමේ ( රජමන්ත්රිලට කෙලින්ම විරුද්ධ පිලේ )  ඉහළම මොළ කාරයා ලෙසත් අද කටයුතු කරති.

අද $%#@  සිටින්නේ මේ දෙකටම විරුද්ධ තුන්වැනි කණ්ඩායමත් සමගයි.

උඹත් සමග එක පංතියේ සිටි අපි හැමෝම ළමා ළපටින් ඇති පියවරු / මව් වරු වී  ජිවිත සටනට බැස සිටින්නෙමු .

බොහෝ දෙනෙකු ඒ අවිචාර සමය ගැන   කතා කිරීමෙන් වැලකි සිටිති.

ඒ වෙනුවට  බණ්ඩාරවෙල මහා විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සව, වාර්ෂික ක්‍රිකට් ගැටුම්,  ආදිය ගැන මුහුණු පොතේ  කතා කරති.

අපි නුඹව  මුණ ගැසුණු අඹ ගහ යට වත්මන් බණ්ඩාරවෙල සිසුන්ට රංචු ගැසීමටද නොහැකිය.

රාජමන්ත්‍රී  නුඹේ අදහසට පිටු පෑ බවක් පෙනෙන්නට නැත. ඒ ගැන නුඹටත්  මේ සියල්ල දෙස සානුකම්පිතව බලා සිටින අපටත් මේ දක්වා සතුටු විය හැකිය.

තවමත්   සියළු වර්ග වල "පවුකාරයින් " එක එක පැති වලට ඇඟිලි දික්කරමින් " අනෙක් පවුකාරයින් " සොයමින් පසුවෙති .

නුඹලා වැනි පවුලකට, ගමකට පමණක් නොව රටකට ජාතියකට යමක් කල හැකි පිරිසක් අප හැමට අහිමි විය.

නුඹ මෙවන් දේශයක නොඉපදී  නිවහල් අදහස් ගරු කරන  එහෙත්  විරුද්ධ මත දරන්නන් අමු අමුවේ මරා නොදමන දේශයක ඉපදේවා.. !!!

නුඹටත්   සුරංජි ,  කත්‍රි  උදේනි ඇතුළු සැමටත් නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමි.

නුඹලා මේ පාරේ ගෙනගොස්  අතරමන් කොට වර්තමානයේ බෙදී වෙන් වී ගිය අයගෙත්  ඇස් ඇරේවා!!

40 comments:

  1. ඒ කාලයේ මටත් අවුරුද්දක් තරම් වයස ඇති. හැබැයි ඔය කාලයේ පුච්චපු බස් දෙකක් කලවාන ඩිපෝවේ තිබුණා


    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග... අරලගංවිල ඩිපෝවේ බස් නම් ගිණි තැබුණේ නෑ. මගේ පරණ පොස්ට් එකක මම ලිව්වා අපේ ඉස්කෝලේ ලඟින් ගිය "තට්ට ප්‍රේමේ එලවන කනවැරැල්ල බස් එකට" ගල ගහපු හැටි .
      හැබැයි අපේ පැත්තේ ට්‍රාන්ස්ෆොර්මර් කිහිපයක් ගිනි තැබුණා..

      Delete
  2. බිහිසුණු රාජ්‍ය තන්ත්‍රණයකට එරෙහිව මෙවැනි අත්දැකීම් අඩු ළමුන් බිලි බෝයිස්ලා ලෙස වෘකයන්ට ආහාර පිණිස ෆෝම් කොට විසි කල පිරිසද මේ මරණ වලට වග කිව යුතුය​. මොවුන් පිටරටවල් වලට පැන හෝ එන් ජී ඕ හදාගෙන ජීවිත ගොඩදාගෙන තිබේ. විමල් වීරවන්ස වැනි සමහරු දේශපාලනය හරහා මිලියනපතියන් වී තිබේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් රුවන් .. ඔබ සඳහන් කල දේවල් අපද නිරීක්ෂණය කළෙමු. මගේ "ආදරණිය සුරංජි" කියවන්න. එහි කොමෙන්ටුවක් තියෙනවා උසස් පෙළ ගණිත පන්තියේ ජයරත්නට අල්ලපු ඩෙස්ක් එකේ හිටපු කෙනෙක් ලියපු. ඒ පොස්ටුවේ සඳහන් වෙනවා ජයරත්නත් සමග එක පන්සලේ නැවතී සිටි තවත් අරලගංවිල සිසුවෙක් ගැන.. ඔහු ජයරත්න හමුදාවෙන් රැගෙන යද්දී පන්සලේ සිලිමේ හැංගි බේරෙනවා එදා. පසුකාලීනව ඔහුද අත්අඩංගුවට පාත් වෙනවා.. නමුත් ඔහු ජයරත්නට අත්වූ ඉරනමට ගොදුරු වන්නේ නැහැ. අදටත් ඔහු ප්‍රසිද්ධ දේශපාලනයේ නියැලෙන කෙනෙක්.. විමල් වීරවංස ගේ පැත්තේ නම් නොවේ..

      Delete
    2. රුවන් ඔබේ .. http://transyl2014.blogspot.com.au/2015/10/blog-post_12.html කියෙව්වා.. මේ අපි වටින් ගොඩින් දන්නා දේවල් වලට වඩා 89-90 විස්තර එළියකන්ද වද කඳවුර පොතේ තියෙන බව එයින් දැන ගත්තා..

      Delete
    3. Thanks; මගේ Shell Shock to Palali Syndrome PTSD Sri Lankan Experience පොතේ මේ ගැන සවිස්තරවාත්මකව කතා කෙරෙනවා.

      Shell Shock to Palali Syndrome PTSD Sri Lankan Experience Kindle Edition

      http://www.amazon.com/Shell-Palali-Syndrome-Lankan-Experience-ebook/dp/B00MOE1IBA

      Delete
    4. ඔක්කෝම බේරනා නම් හොඳයි .අඩු ගානෙ එකෙක් හරි බේරුණ එක වැරදි ද ? ඔක්කෝම මැරෙන්න ද ඕනෑ

      Delete
    5. ඔක්කෝම බේරනා නම් හොඳයි .අඩු ගානෙ එකෙක් හරි බේරුණ එක වැරදි ද ? ඔක්කෝම මැරෙන්න ද ඕනෑ

      Delete
    6. උණ්ඩි .. බේරුණ අය අපි දන්නා කට්ටිය. ඔක්කොම බේරුනා නම් හොන්දයි තමයි.. මම පුදගලිකව කිසිම කෙනෙක් මැරෙනවාට කැමති නැහැ ඒ ගොල්ලෝ වෙනස් මත දැරුවා කියලා.. ඔබ ආදරණිය සුරංජි කියවලා බලන්න.. සුරංජි කියන්නේ අපිත් එක එක පතේ කාපු.. එක ඇඳුම් ඇඳපු.. එකටම හිටිය කෙනෙක්... බේරුණ අය කෑලි කෑලි වලට බෙදී වෙන්වී ඉන්න එකටයි අපි කැමති නැත්තේ...

      Delete
  3. බොහොම අභාග්‍ය සම්පන්න කාලයක්. අපේ පංතියෙ හිටපු ළමයෙක්ගෙ තාත්තත් ඔය දවස්වල මරල දාල තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඔවු Praසන්ன ,
      හරිම අභාග්‍ය සම්පන්න කාලයක් ඒක. අපේ පංතිවල මෙන්ම ඉහළ සහ පහළ පංතිවල සෑහෙන පිරිසක් මිය ගියා. එකම එක ළමයෙක්ගේ තාත්තා සටන්කාමීන් විසින් මරා දැමුනා. මම කලින් පොස්ට් එකක ඒ මරණය ගැන සඳහන් කළා.

      Delete
  4. ඔයි දවුලගල හෙවත් බෙරගල කඳවුරේ හිටි මගේ හොඳම යාලුවෙකුත් මරා දැමුනා. උදේ 47 ස්කූල් බස් එකේ ගිය මේ මිතුරා වෙනත් ඉස්කෝලෙක උනත් මා සමග පුදුම හිතවත්කමකින් හිටියා . මම හැමදාම පතන්නේ එහෙම කාලයක් ආයේ එන්න එපා කියල. ඇත්තටම අහින්සකයෝ තමයි බිල්ලට ගියේ

    ReplyDelete
    Replies
    1. දවුලගල ( බෙරගල) "පුනරුත්තාපන " කඳවුරේ හිටපු අපේ පන්තිවල සිසුන් 8- 10 පමණ මරා දැමුනා. එහි සිට බේරුණු අයෙක් මේ සියළු විස්තර අපට කීවා. අපටත් 1989 අග භාගය වනවිට හිතුනේ කොහොම හරි කමක් නෑ මේ භිෂණය ඉවර වෙනවානම් කියලයි.. එත් ඒ වෙනුවෙන් ගොඩක් අහිංසකයෝ බිලි ගැනුණා. ඔබ වගේම අපෙත් ප්‍රාර්ථනය උතුරේ , දකුණේ කොහෙවත් එහෙම භීම සමයක් නැවත නො ඒවා කියන එක තමයි.

      Delete
  5. මට නම් ජවිපෙ එපා වුනේ 1984 දී නව රිද්ම ජාතිවාදී ගායනා ඇරඹූ කාලයේ දී යි..

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නැහැ රසික.. මේ කියන්නේ විමුක්ති ගී ගැන නෙවෙයි මම හිතන්නේ?

      Delete
    2. එය යෙදුමක්. අරුත වෙනස්.

      Delete
  6. මටත් ජවිපෙ අරහන් වුනේ ඇසු ගණන් වල. 1988-89 කවුරු මොනවා කීවත් ජවිපෙ පටන් ගත්ත එක අපි වැරදියි කියන්න කියන්න උන් පිලි ගත්තේ නැහැ. නන්දන මාරසිංහ වගේ අහිංසකයෙක් මාරුවට පස්සේ තවත් මොන කතාද? මගේ පෙරටුගාමී යාළුවෙක් මේ මතකදිත් කිව්වා නන්දන මරපු එක සාධාරණයි වගේ කතාවක්. නිකන් අනුකම්පාවට ලියල වැඩක් නැහැ. රනිල්ලා වැරදිය කියමු. 88-89 දිවි දුන්නේ 71 ටත් වඩා මෝඩ විධිහට.

    ReplyDelete
  7. තුන් වෙනි මෝඩ කමක් නොවේවා. කියලා තමයි කියන්න වෙන්නේ. අනුකම්පාවට ලියවෙන්නේ නැතිවුන මිතුරන් ගැන මිසක් සිදුවන දේශපාලන සංසිද්ධි ගැනම නෙවෙයි..

    ReplyDelete
  8. අපට ජ. වී.පෙ. එපාම කලේ ඔවුන්ගේ අනුගාමිකයන් යැයි කිවූ අපත් සමග විශ්ව විද්‍යාලයේ එකට සිටි කුඩුකේඩු කමින් අනුන පිරිසයි.

    ReplyDelete
  9. අප දැක නැති යුගයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් මිට අවරුදු 27 කට පෙර ඔබ අප ඉපදුන ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් සමුදායක්. උගතහැකි පාඩම් රාශියකි.

      Delete
  10. ඒ කාලේ campus වලත් ඉස්කෝලෙත් පොදු ශිෂ්‍යයන් අතර තිබුණේ සමාජයේ තිබුණා වූ හෝ ඇතිකලාවූ විශයමුල තත්වයේම reflexion එකක් , අද බොහොමයක් තැන්වල එවැනි තත්වයක් සමජයෙවත් ශිෂ්‍යයන් අතරත් නෑ වගේ තම මට දැනෙන්නේ .

    ReplyDelete
    Replies
    1. එකඟයි ඔබේ නිරිකශ්නයට.. අද පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන් බාහිර සමාජයේ තිබෙන හෝ ඇතිකරන දේවල් ගැන එතරම් සංවේදී නැති හැඩයි. යුගයක වෙනස...

      Delete
  11. ඒ කාලේ campus වලත් ඉස්කෝලෙත් පොදු ශිෂ්‍යයන් අතර තිබුණේ සමාජයේ තිබුණා වූ හෝ ඇතිකලාවූ විශයමුල තත්වයේම reflexion එකක් , අද බොහොමයක් තැන්වල එවැනි තත්වයක් සමජයෙවත් ශිෂ්‍යයන් අතරත් නෑ වගේ තම මට දැනෙන්නේ .

    ReplyDelete
  12. එවැනි සමාජයක් අද කොහෙන්ද? පුද්ගලික අවශ්‍යතා ගැන මිස තම වටපිටාවේ සිදුවන කිසිවක් ගැන අවධානයක් නැති මිනිසුන් , සිසුන් සහිත සමාජයක් නොවේද අද තිබෙන්නේ??

    ReplyDelete
  13. කවිදුගෙ බ්ලොග් එක මුල ඉදන්ම කියවන කෙනෙක් විධියට මට යම් යම් පරස්පර අදහස් තියෙනවා. මේ ඔබ විසින් හදුන්වන යම් යම් ප්‍රදේශයන් මෙයිට වඩා ගැලපෙන නම් ගම යොදා ගන්න බැරිද මට මේ අරලගංවිල කිඉවම මතක් වෙන්නෙම ඩ්‍රයි ඒරියා එකක්. ඒත් කවිදු කියන්නේ ඊට හාත්පසින් වෙනස් පැත්තක්. එතකොට අපිට කතාව ඇතුලට එබිලා විදින්න අමාරුවක් එනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේක මහා මෝඩ වැඩක්.

      අලුත් නමක් හැදුවා නම් හෝ ගමක නම නොකියා ලීයනවා නම් ප්‍රශ්නයක් නෑ.

      මං "කවිඳු"ට කීපවරක් ම කීවා "බණ්ඩාරවෙල" කියාම යොදන්න කියලා.

      Delete
    2. මමත් හිත හිත හිටියේ "අරලගංවිල " වෙනුවට වෙන නමක් අළුතින් හදන්නම් කියලා . ඔව් රසික කියන්නා වගේ බණ්ඩාරවෙල කියලා දාන්න පුළුවන් ඕනේ නම්.. ටික කලක් දෙන්න මුල් පොස්ට් එකේ ඉඳලා මේ වෙනස කරගෙන එන්න.. දැනට මේ තියෙන විදිහට කියවමු... දිගටම කියෙව්වට ස්තුතියි...

      Delete
  14. පෝස්ට් කරපු දවසෙම කියෙවුවා.ඒත් මේ මාතෘකාව මට ගොඩක් සංවේදීයි.ඒක නිසාම කමෙන්ට් කලෙත් නෑ එදා.
    ඔය කාලේ අපි අත දරුවෝ.71/89 ගැන දන්නේ පොත් පත් වලින් විතරයි.ඒවගෙන් කියවලා තේරුම්ගත්ත විදිහටනම් මේ ඉන්නේ කාගේ හරි දේශපාලන සිහිනයක් සැබෑකරගන්න නිරපරාදේ බිලිවිච්ච අහිංසකයෝ ටිකක්.තරුණ වයසේ හැඟීම් කුළුගන්නවලා තකතීරු මාවතකට ඇදලා දැම්ම මෝඩයෝ ටිකක්.සමජීය ප්‍රශ්ණ තියෙන්න ඇති,ඔවුන්ට සටන් කරන්න තරමට ඔඩු දුවපු.ඒත් නිවැරදි කළමනාකරණයක් නැති විප්ලවයක් වෙනුවෙන් ඔවුන්ට ඔවුන්ගේ වටිනා ජීවිත දෙකයි පනහට බිලිදෙන්න සිද්දවුනා.

    මොනවා වුනත් අරමුණක් වෙනුවෙන් ඔවුන්ගේ කැපකිරීම මම අගය කරනවා.තමන් විශ්වසකරන දෙයක් වෙනුවෙන්, ආත්මාර්තයෙන් තොර සිහිනයක් වෙනුවෙන් මේ තරම් කැපවුන ඔවුන් සමාජීය වීරයෝ.
    දකුනෙත් උතුරේත් මැරිච්ච කාර්ඩර්වරු හැම කෙනෙක්ටම ඒ ගෞරවය අයිතියි.

    ReplyDelete
  15. ස්තුතියි කටුස්සා.
    මම වුණත් සැහෙන්න සංවේදී වේවි තමයි මේක ලිව්වේ. ආවේගශීලී නොවී ලියන්න උත්සාහ ගත්තා. මේ අය බොහෝ දෙනෙක් අද හිටියනම් සමාජයට , රටට ජාතියට ලොකු සේවයක් කරන උදවිය වෙන්න තිබුණා.
    මමත් ඔබේ මතයේම තමයි ඉන්නේ ඔවුන්ගේ කැප කිරීම ගැන.. අපි අනෙකෙකු වෙනුවෙන් කැප කරන්නේ කාලය , මුදල්, ශ්‍රමය වගේ දේවල් ... ඔවුන් කැප කලේ ඔවුන්ගේ ජීවිතයයි...

    "මොනවා වුනත් අරමුණක් වෙනුවෙන් ඔවුන්ගේ කැපකිරීම මම අගය කරනවා.තමන් විශ්වසකරන දෙයක් වෙනුවෙන්, ආත්මාර්තයෙන් තොර සිහිනයක් වෙනුවෙන් මේ තරම් කැපවුන ඔවුන් සමාජීය වීරයෝ.
    දකුනෙත් උතුරේත් මැරිච්ච කාර්ඩර්වරු හැම කෙනෙක්ටම ඒ ගෞරවය අයිතියි"

    ඔබේ අදහස මගේ අදහස මයි....

    ReplyDelete
  16. මට මතක් වෙන්නේ 89 අන්තිම කාලේ වගේ හැම ඉරිදාම අම්මත් එක්ක පොඩි අයියා බලන්න බෙරගල ගිය හැටි.. ලඟට ගෙනත් පෙන්නනකම් ෂුවර් නෑ ඒ වෙනකොට ජිවතුන් අතර ඉන්නවද කියලා.. පස්සේ කැප්පටිපොලට මාරු කරාම සැහෙන නිදහසක් හිතට ආවා..

    මේ අන්වර්ථ නම් ඉවත් කරලා සත්‍ය නම් ගම ලියන එක ගොඩක් අවුල්ද? පුද්ගල නම් නෙවෙයි ගම වල හා ස්ථානවල..

    ReplyDelete
    Replies
    1. බෙරගල ( දවුලගල) කැම්ප් එකේ ඉඳලා බේරිලා ආවේ ටික දෙනයි. ක. මි. ලා අය්යලා. (අරලගංවිල) සුගත් ලා වගේ අය තවත් ජිවත් වෙන්න වාසනාව තිබුණ අය.
      ඔය පුනරුත්ථාපන කොමසාරිස් හිටපු..... මහත්තයා දැන් මහණ දම් පුරනවා සංසාරයෙන් එගොඩ වෙන්න.. ඒ දවස් වල උදේම එයාට " බුදු සරණයි " කිව්වේ නැතිනම් රෑට ටයර් සෑ යට යවන්න තෝරාගන්නවලු..

      Delete
  17. ඒකාලෙ දස වධ විඳලා වතුර ඉක්කන ශිෂ්‍යයින්ගෙ කටට මුත්‍රා කරපු එවුන් අද අපේ සල්ලි වලින්ම ඇම්බියුලන්ස් ප්ලේන් වල තරුපහේ ඉස්පිරිතාල වලට යනවා පොඩි කැක්කුම් මොනවද බලන්න.. රටට ආදරේ කොල්ලො මරණෙට දක්කපු එවුන් එව්වට හුරේ දානවා... ආයෙ මෙහෙම කාලයක් නම් එන්න නෑ.. මිනිස්සු කලකිරිල ඉන්නෙ.එන්නත් එපා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි. ඔවු ග. ල. එහෙම දේවල් කරපු කට්ටිය දැන් තම දු දරුවන් නැති වූ දෙමව්පියන් ගානේ ඔය වගේ සැප විඳිනවා. ඇයි ඉතින් අර පරාල අන ගහපු කට්ටිය දැන් රට බේරා ගන්න කතාකරමින් .. මේ කාලයේ රටට අදරේම කට්ටිය වෙලා ඉන්නේ..

      Delete
  18. මේ යුගය ගැන කියන්න නම් බොහෝ දේ තිබෙනවා. ඒවා ඉතාම සංවේදි, අමිහිරි අත්දැකීම්. එවන් කාලයක් නැවත නොම ඒවා කියලා හිත හදාගන්නවා. මම බොහෝදේ දුටුවා.

    ReplyDelete
    Replies
    1. ඔය රාජමන්ත්‍රීට විරුද්ධව මඩපාරක් යනවා මේ දවස් වල...

      Delete
    2. මට තේරෙනවා කවුද කියලා.

      Delete
  19. පැතූ ලෝකය කොහේ ගොඩ නගන්න ද උන්ව මරපු හමුදා ලොක්කෙක්ව ජනාධිපති කරන්න ඒ ආණ්ඩුව කරපු උන්ගෙම පක්ෂෙ ස්ටේජ් එකට නැග්ගම.

    ReplyDelete
  20. ඒකත් එහෙම වුනා නේන්නම්... කලින් කලට පවතින තත්ත්වය වෙනස් වෙනවා කියලා තර්කයක් හැම පර්ශ්වයෙන්ම ගෙනෙනවා .. ඒ කථාවේත් ඇත්තක් නැත්තේම නෑ....

    ReplyDelete
  21. කටුසු හදවත ගේ අදහසට මාත් එකඟයි. කවිඳු පුද්ගල නාම නැතත් මින් පස්සේ ප්‍රදේශ නාම නිවැරදිව සඳහන් කරන්න. ඒකෙන් කාටවත් හානියක් වෙන එකක් නෑ.. මම මේ භීෂණ සමයේ මුහුණ දුන් අත්දැකීම් බොහෝමයක් කවිඳු දන්නේ නැ මං හිතන්නේ..චන්න අයියලා, කිත්සිරි අයියලා කරපු දේශපාලනයක් නෑල හැබැයි පොලීසියෙන් නොමරා මැරුවා, උදේ 8 ඉඳන් හවස 2 වෙනකම් ධර්ම චක්‍රයේ දාලා කකුල් පුපුරන තුරු බට වලින් තැලුවා. ඉස්පිරිතාලයකට අරන් යන්න දුන්නෑ. බූස්සේ කඳවුරේ දහදුක් විඳලා යන්තම් පන ‍බේරගෙන එලියට ආවා. අද දෙන්නම වෛද්‍යවරයෙක් හා ඉංජිනේරුවෙක්. මගේ උසස් පෙළත් අනාගතයත් නැති කලේ ඒ භීෂණ සමය හා ඒ දේශපාලන අරගලය... අන්තිමට මුළු උසස්පෙළ අවුරුදු දෙකටම දවස් 69 ඉස්කොලේ ගිහින් තිබුනේ. කවිදු විඳපු දුෂ්කරතා දැනගත්තෙත් අවුරදු ගණනකට පස්සේ.. එක පන්තියේ එකට හිටපු හොඳ හදවත් තිබුණු ඒ සොයුරන්ව අතරමං කරපු දේශපාලනයටත්, ඔවුන්ව මරා දාපු දේශලාපනයටත් ශාප වේවා.. දැන් නම් මේක අපේ ලැබීම කියලා හිත හදාගෙන ජීවත් වෙනවා. ගුරුවරයෙක් ලෙස මමම නම් මගේ ගෝලයින්ට කියන්නේ හොඳින් ඉගෙන ගෙන කවිඳුලා වගේ වෙන රටකට වත් ගිහිල්ල ජීවත් වෙයල්ලා කියලා. මොකද උන්ගේ දෙමාපියෝ විඳින දහ දුකම තමා අපේ, කවිඳු ලාගේ දෙමාපියොත් වින්දේ, ඒ අය හැමෝගෙම බලාපොරොත්තුව වුනේ තමන්ගේ දරුවා රටට වැඩදායී පුද්ගලයෙක් කරවන්න. මොන දේශපාලනයක් වත් නැතුවට කමක් නැහැ. අපට පුළුවන් විදිහට මිනිස්සුන්ට උදවු කරමු කවිඳු. දරුවන්ගේ ඇස් පාදන්න උන්ට අකුරක් වත් කියලා දෙන්න, යහපත් ගුණ දහම් හුරු කරවන්න ගුරු වෘත්තීය තුල ලැබුණු අවස්ථාවත් ඇති..උන්ට මේ ක්‍රමය වෙනස් කරන්න කියලා කුලප්පු කරනවාට වඩා කොයි ලෝකෙක ගිහිල්ල හරි, කමන්ගේ දෙමාපියන්ගේ බලාබොරොත්තු ඉටු කරල හොඳින් ජීවත් වෙයල්ල කියල කියල දෙන්න පුළුවන් වුනා නම් මට ඒ ඇති..

    ReplyDelete