Follow by Email

Monday, 7 March 2016

ප්‍රාථමික පංතියේ බටු බැදුම සහ ඉහළ පංතියේ තක්කාලි ඇඹුල



මේ දිනවල මම තරමක් විවේක සහිත  සේවා මුර  කිහිපයක්  ආවරණය කරන්නෙමි.  උදේ අටේ සිට පහ දක්වා සේවයේ යෙදෙන බැවින් මට සෙනසුරාදා සහ ඉරිදා මෙන්ම සතියේ දිනවල හවස් කාලයේද සුපුන් සමග කාලය ගත කරන්නට පුළුවන .



 ඒ නිසා නිම්මි  සාමාන්යෙන් වැඩ කරන සති අන්ත වල මටත් සුපුන්ටත්  "කුස්සියේ පර්යේෂණ" කිරීමේ ඉඩකඩ හිමිවේ.



අපේ ගෙවත්තේ  සරු සාරෙට වැවී ඇති අල , තක්කාලි, බටු , මාළු මිරිස්  වැනි එළවළු මෙන්ම කංකුන්  වැනි පලාවර්ග එක එක ක්‍රමයට උයමින් තාත්තලා පුතාලා කුස්සිය වනසන්නේ  එබැවිනි.








සුපුන් බිත්තර ඔම්ලට් හැදීමේ කෙළ පැමිණ ඇති අතර මම තක්කාලි ඇඹුල හැදීමේ ශිල්පය  අතැඹුලක් ලෙස ප්‍රගුණ කළෙමි.


මේ තක්කාලි ඇඹුල හැදීමේ වට්ටෝරුව මා අද ඊයේ දැනගත්තක් නොවේ.

කුඩා කල මල්දෙණියේ නිවසේ දීත් ඉවුම් පිහුම් ගැන යම් යම් අත්හදා බැලීම් කර ඇත්තෙමි.
















පසුගිය සෙනසුරාදා සුපුනුත් මමත්  මෙසේ නිම්මිගේ කුස්සියේ හරඹ කරන අතර මගේ සිත එක්වරම අතීතයට දිව ගියේ එබැවිනි.



"ක්‍රින්.. ක්‍රින්.. "කුකුළා කොටන ටයිම් පීස් එක අතොරක්  නැතිව නාද දෙයි .

"ඒයි චුටි නැගිටපන් .. නැගිටපන් .. "

"අර කොල්ලෝ දෙන්නට ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා ..උන්දෙන්නට  තේ දෙකක් හදලා දීපන් ".

අපේ අම්මා නිදි ඇඳේ සිටම අක්කාට කතා කරන්නේ සමන්තටත් මටත් උදේ තේ එක හදලා දෙන්නැයි ඉල්ලමිනි.

අක්කා තවම නැගිටින පාටක්  නැත. ඇය  නැවතත් අනෙක් පසට හැරී නිදා ගත්තාය.

මම කුස්සියට ගොස්  කේතලය ලිපේ තිබ්බේ අක්කා නැගිට්ට වෙලාවක තේ හදා දෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

ඊයේ රෑ උයපු බත් ඇති ඒවා කන්න මොකක්  හරි මාළුවකුත් හදලා දීපන් ඔය දෙන්නට.

"යකෝ කොල්ලෝ දෙන්නට පරක්කු වෙනවා . නගිටපන්කෝ බන් .."

අම්මා නැවතත්  අක්කා වෙත තම නෝක්කාඩුව  පල කලාය.

අක්කා ගේද  ඉවසීමේ සිමාව ඉක්මවා ගියේ ඈ මෙසේ පිළිතුරු දුන්නාය.

"මට බෑ.. මෙච්චර උදෙන් නැගිටින්න .. මොකෝ මමයැ  ටවුමේ ඉස්කෝලෙට යන්නේ ? මට හතට නැගිට්ටම හොඳටෝම ඇති.  "

කතාව ඇත්තය. ඒ වන විට නගරයේ පාසලට ගියේ මමත් සමන්තත්  පමණි .

පසු කලෙක ඒ දෙදෙනාත්  අප සමග නගරයට  ගියේ වුවද  මුල් කාලයේ අක්කත් ලොකු නංගිත් ගියේ  අපේ ගමේ ඉස්කොලේටයි.

වෙලාව උදේ හයයි විස්ස පමණ වන්නට ඇත.  සමන්ත ඉස්සරහ කාමරේට වී ඔහුගේ පොත් පත් වැඩ වල යෙදේ.

අක්කා නැතිව කහට එකක් පෙරා  ගැනීම මහා දෙයක් නොවුවද උදේට බත් නොකා යන්නට මගේ සිත ඉඩ නොදේ.


ප්‍රාථමික පංතියේ බටු බැදුම






මේ වන විට මම අරලගංවිල  කනිෂ්ට දිවියිතික විද්‍යාලයේ හතරේ පන්තියේ  සිසුවෙකි.

සමන්ත  එම විද්‍යාලයේම නව වන ශ්‍රේණියේ දීප්තිමත්  සිසුන්ගෙන් අයෙක් විය.

අප දෙදෙනා නගරයට පැමිණ ගතවී තිබුනේ මාස කිහිපයක්  පමණි. 

අක්කා නැගිටින්නේ නැතිබව සහසුද්දෙන්  දැන ගත්  මම අම්මාගේ  එළවළු රාක්කය  වෙත ඇදුනෙමි.
බටු ගෙඩි කිහිපයක්  සහ රතුළුණු  ගෙඩි කිහිපයක්  අතට ගත්තෙමි.



 ඒ   කෙසේ හෝ සමන්තටත්  මටත් උදේ ආහාරයට ගත හැකි එළවළුවක් සදන්නේමියි  යන අධිෂ්ඨානය ඇතුවයි.

වක් පිහියක් බිම තබා  එහි මිට මත පාදය තබා තද කරගත්තෙමි. බටු ගෙඩි තුනක්  දිගටි අතට කැපුවේ හිනි  පෙති ගොඩක් වන ලෙසිනි.

බටු වල කහට යන්නට අම්මා සහ පල්ලැහැ ගෙදර ජේන් අක්කා  යොදා ගන්නා උපක්‍රමය භාවිතා කලෙමි.

ඒ ලුණු  මිශ්‍ර වතුර භාජනයක පෙති ගැසූ බටු  ගිල්වා මිරිකා ගැනීමේ ක්‍රමයයි.

"ටවුමේ ඉස්කෝලේ යන එවුන් ඕනෑ විදිහකට ලෑස්ති වෙලා යන එකයි මම යන්නේ කිරඹ ඔය ඉස්කෝලෙට නේ "
අක්කා අම්මාට ගෝරනාඩු කරන හඬ තවමත් ඇසෙයි.

බටු පෙති ටිකට රතුළුණු ගෙඩි කිහිපයක් කපා දැමු මා තාච්චියක් ලිප තැබුවේ බටු බැදුමක් හදන අපේක්ෂාවෙනි.

ලිප ළඟ රත්වෙන්නට  තබා තිබු පොල් තෙල් බෝතලය ගත්තේ එහි ඊළඟ පියවර වශයෙනි.
"දෙය්යනේ.. තෙල් බින්දුවක් වත් නෑ.."  මට දෙවියන් සිහි වුයේ දැන් බටු බදින්නේ කෙසේදැයි යන ගැටළුවට පිළිතුරක් දෙන්නට කිසිවෙක් නැති බව වැටහිමෙනි.

උදේ පාන්දර නෙවෙයි නම් ජේන් අක්කලගෙන්  වත් නයට තෙල් ටිකක් ගේන්න තිබුනා.

"ඇයි චුටි මහත්තයා  කිලාක් මහත්තයට  තව පඩි හම්බ වුනේ නැද්ද පොල් තෙල් බෝතලයක්  ගේන්න.."

බුලත් විටක් හපමින් ජේන් අක්කා අසන හැටි මට මැවී පෙනේ..

හරි මම කොහොමහරි හදන්නම් කෝ බටු මාළුව.

රත්වූ තාච්චියට  ලුණු ටිකක්  දැමු මා රත්වූ ලුණු එකට බටු  සහ රතුළුණු මිශ්‍රණය දැමුවෙමි.

ටික වෙලාවක් මද ගින්නේ බටු එක  තැම්බෙන්නට  හැරියෙමි.

"ඒයි  සමන්ත  බත් කන්න වරෙන් "

"කෝ චුටි නැගිට්ටේ නෑනේ "

"මම බටු එකක් හැදුවා ඒකත්  එක්ක කාලා යමන් "

මම බෙදා දුන් බත් එක හිස පහත්  කරගෙන කටට දෙකට  ගිල දැමු සමන්ත  පාසැල් බසයට දිව යන්නට සුදානම්ය.

" කොහොමද මගේ බටු එක ?"

"හොඳයි  වරදක් නෑ.. චුට්ටක් ලුණු වැඩියි වගේ ඒත් නරක නෑ.."

මගේ ප්‍රථම එළවලු අත්හදා බැලීම ගැන සමන්ත ඉතා සතුටින් කතා කලේ එලෙසිනි.



ඉහළ පංතියේ තක්කාලි  ඇඹුල




ඒ නමසිය අසුගණන් වල මැද භාගයයි .

මේ වන විට මම  නමය දහය වැනි පංති වල ඉගෙන ගනිමින්  සිටියෙමි. නැවතත් අම්මා සහ අක්කා අපේ ඉවුම් පිහුම් වලින් ( විශේෂයෙන් දිවා ආහාරය )  ඈත් මෑත්වූ යුගයකි.

ඒ  මා හතරේ පන්තියේ සිටිද්දී මෙන් උදේම නැගිටින්නට  බැරි කමකට නොව  දෙදෙනාම වගා සටනේ  යෙදී සිටි නිසා මාරගස්වැල්ල කුඹුරට  සිරවී සිටීම ට සිදුවූ බැවිනි,

සමන්තත් මමත් නිවසට එන විට අම්මා  උදේ උයා තබා ගිය බතත්  එලවලුවකුත්    අපේ දිවා ආහාරය ලෙස තබා තිබේ.

ඒ වන විටත් කිරඹඔයේ  රත්තා මුත්තාගේ රටබටු මාළුව රසබලා සිටී මට   ඒ මාළු පිණි එතරම් ප්‍රිය ඉපදුවේ නැත.

















ඒ නිසාම පාසැල් ඇරී නිවසට ආ සැනින් තක්කාලි ගෙඩි දෙකක් කපා ගන්නා මම මුත්තාගේ ක්‍රමයටම තක්කාලි බැදුමක් හදන්නෙමි.




යහමින්  ළුණු , මිරිස් , කරපිංචා  ආදිය දමා සකස් කරන මේ තක්කාලි බැදුමඇඹුල් රස කරන්නේ  තක්කාලි තෙලට දැමීමට ගන්නා අබ අහුරක් මගිනි.


මගේ හතරේ පන්තියේ බටු බැදුම සමග මෙන් නොව මේ තක්කාලි බැදුම    සමග  ඕනා තරම් බත් කෑමට  පුළුවන.


මම හැමදාම තක්කාලි ගෙඩියක් තෙල් දාගන්නා බව දැන ගත් අම්මා පසු කලෙක මා භය කලේ.

"චුටි පුතා ඔය හැටි තක්කාලි කන්න එපා...... කාපන් තව තක්කාලි  .. ඕවා හරි උෂ්ණයි  ..

"තක්කාලි කාලා  කාලා අන්තිමේට  උඹේ බඩ වැල්  ඔක්කොම පිච්චිලා යයි "

යනුවෙන් අනතුරු හඟවමිනි.