Follow by Email

Monday, 4 April 2016

සමාන වී ඉපදී..



මේ  බ්ලොග් පොස්ට් එක ලියන්න නිමිත්ත වුණේ  පසුගිය දා  හිරු නාලිකාවේ ගිය රුපවාහිනී සංවාදයක්.

සංවාදය පැවැත්  වුණේ ඌව පළාත් සභාවේ මහා ඇමති  තුමා සහ  එම පළාත් සභාවේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න  අතරයි.

මේ දෙදෙනාම අප පුද්ගලිකව දන්නා අය වන අතර  දෙදෙනාම කුඩා තැනකින් පටන් ගෙන  දේශපාලන ගමන් මගේ ඉදිරියට පැමිණි අය වෙති.

මෙම සංවාදය ආරම්භයේදී  මහා ඇමති තුමා සමන්ත විදයරත්නයන්ට  සිය කුලය පිළිබඳව මතක් කර දීමක් කරනු ලබයි. 

එමෙන්ම සමන්ත විසින් දෙදෙනාම  කුඩා තැනින් පටන් ගෙන ඉහළට පැමිණි දේශපාලකයින් බව මහා ඇමති තුමාට මතක් කර දෙයි.


 2014 වසරේ ඌව  පළාතේ ප්‍රසිද්ධම චරිතය වුයේ  සමන්ත විද්යරත්නයි.

බොහෝ දෙනෙක් ඔහු එවර පළාත් සභා චන්දයේදී විශාල වෙනසක් කරනු ඇතැයි බලාපොරුත්තු තබා සිටියහ.

එහෙත් බොහෝ දෙනෙක් නොදැන සිටි කාරණයක් වුයේ  සමන්තගේ පරම්පරා නාමය ඔහුට  අවාසි සහගත ලෙස බල පෑ බවයි.

ඒ වන විට ඔහුට චන්දය නොදී සිටීමට හේතු සොයමින්  සිටි   පළාතේ චන්ද දායකයින් සමහරක්  සමන්තට තම චන්දය නොදී සිටීමට තීරණය කළහ.

ඒ ඔහුගේ පෙළපත් නාමය සැලකිල්ලට ගෙන බව මගේ විශ්වාශයයි.

මේ බව මතක් වීමෙන් දෝ මැතකදී පැවති හිරු රුපවාහිනී සංවාදයේදී  "කුලය" ගැන කතා කරමින් මහා ඇමති තුමා සංවාදය ඇරඹුවේය.

"සමන්ත මන්ත්‍රීතුමා  අපි දෙන්නා එක කුලේ.... එක පැදුරේ " යැයි සඳහන් කරමින් ඔහු ඒ බව මතක් කලේ  මෙසේය.



"කවිඳු කවදාවත් නැතුව  දේශපාලන  කතාවක් ලියන්න අරං "

මගේ පසුගිය බ්ලොග් පොස්ට් රසවිඳි හිතවතුන් කල්පනා කරනු ඇත. නැත මේ  මගේ කුල-මල සම්බන්ධ අතීත  මතකයට නිමිත්තක් පමණි.

එහෙමනම් අපි  1980 වසරට යමු.

ඒ වන විට   මා "අරලගංවිල කනිෂ්ටයේ"  හතර මානෙල් පංතියට ඇතුල් වී සිටියෙමි.

මා අලුත් පාසැලට පැමිණ ගත වී තිබුණේ  සති කිහිපයක් පමණි.

දිනක් පාසැල අවසන් වූ වහාම මා වෙත පැමිණි හිතවතෙකි.

"මචං  කිටී  අද උඹ අපේ ගෙදර යන්න වරෙන් "  . එසේ කියමින් මාවෙත  ආවේ  අපේ පන්තියේ සිටි සුජිත්ය.

ඔහු ගේ මුළු නම  W. D. සුජිත් තිලකසිරි  නම් විය.

හතරේ කොල්ලෝ  හැමෝම මෙන් මාද ඔහු ඇමතුවේ සුජිත් නමින් පමණි.

W. D.  යනුවෙන් කෙටි කෙරුනේ "......මුණි .....ගේ" යන ඔහුගේ පෙළපත් නාමය වුවද එය කුඩා අපට එතරම් වැදගත් වුයේ නැත.

"බෑ මචං රෑ වෙන්න ඉස්සෙල්ලා ගෙදර යන්න ඕනෑ . උඹලා ගෙදර ගියොත් මට පරක්කු වෙයි බං "

යැයි මා පැවසුවේ  ඊට දින කිහිපයකට පෙර චමින්දයා ලා ගෙදර ගොස් මට සිදු වූ අකරතැබ්බයද  හොඳින් මතකයේ තිබුණු නිසාය.

"බය වෙන්න එපා බන් අපේ ගෙදරට යන්න වැඩිම උනොත් පැය භාගයක් යයි."

"යනකොට අපි ඉස්කෝලේ ඉඳලා පයින් යන් .. එනකොට මම උඹව බස් එකකට දාන්නම් "

කියමින් සුජිත් පැවසුවේ  ඒ අසල ඇති කන්ද උඩ තිබෙනා  පන්සල අසලින් ඇති කෙටි  පාරකින්  තම නිවසට යා හැකි බවයි.




ප්‍රාථමික  පංතියේ කුල භේදය



එදා  දවල් එක පමණ වෙද්දී අප  සුජිත්ලා ගේ නිවසට ලඟා වූයෙමු.  එය පන්සල පසු වී ටික දුරක් ගිය පසු හමුවන නිවසකි. 

අප පයින් ගියේ වුවද අරලගංවිල දක්වා යන බසය ධාවනය  වන පාරද ඒ අසලින්ම විය.

මා සිත් ගත්තේ මේ කිසිවක් නොව  ගෝවා , තක්කාලි, බටු  ,වට්ටක්කා  ආදිය පිරී පැවති සුජිත්ලා  නිවස අසලම වූ ඔවුන්ගේ කුඹුරයි.

නිලට නිලේ බැබලෙමින් තිබු වගාව දැක මා ලැබූ සතුට සවස ගෙදර ගිය සැණින්  අම්මා සමග පවසන්නට  අමතක නොකළේ එබැවිණි.

"එන්න පුතා .. තේ එකක් එහෙම බීලා කෑම ටිකක් කමු " කියමින් සුජිත්ගේ  අම්මා මා සාදරයෙන් පිළිගත්තාය. 

කෑමෙන් පසු මා සමග ඈ කතාවට වැටුනේ 

"පුතාලා ගම කොහෙද?" කියා අසමිනි.

"අපි කිරඹඔයේ  කට්ටිය ඇන්ටි.."

මම පිළිතුරු දුන්නෙමි.

"හා .. ඇත්තද .. මම අහලා තියෙනවා ඒ පැත්තේ අය ගැන ... රාජපක්ෂලා ගොඩාක් එහෙම ඉන්නේ එහේ නේද?"

ඒ වන විට තරුණ ගොවි මවක් වූ  ඇයද චමින්දලා  සහ අපේ මුත්තලා කබල් ගානා වංශය ගැනද දැන සිටියාය.

මට කෑමෙන් බිමෙන් සංග්‍රහ කිරීමෙන් නොනැවතුණ ඇය  වට්ටක්කා ගෙඩියක්  , ලොකු ගෝවා ගෙඩියක් , ඉදුණු තක්කාලි මල්ලක් සහිත විශාල එළවලු මල්ලක් මා අත තැබුවාය.

ඒ "මේක අම්මාට ගිහින් දෙන්න පුතා මම දුන්නා කියලා " යැයි මට පවසමිණි.


"සුජි... මේ  පුතා බස් එකට ඇරලවලා වරෙන් "  යැයි තම පුතාට පැවසූ ඇය  

"කවිඳු පුතා ආයිත් දවසක මෙහෙ එන්න එහෙනම් .. ඔය අපේ සුජිත් යාළුවෙක් ගෙදරට ගෙනාවමයි "

කියමින් මට සමු දුන්නාය.

අපේ අම්මා කියා දී තිබු පරිදි

"බිම දන ගසා"

සුජිත් ගේ මවට ආචාර කල මා   එළවලු කදත් රැගෙන නිවෙස බලා පිටත් වුයේ මහා මෙරක් ලැබුවෙකු පරිද්දෙනි.

"අද අම්මා හරි සතුටුවෙයි   මගේ යාළුවා ගෙදරින් සලකපු හැටි අහලා "  මගේ යටි සිත සතුටින් ඉපිල ගොසිණි.

4.10 නෙළුව බසය "අරලගන්විලින්"  අල්ලා ගත් මා නිවසට ලඟා වන විට හවස පහ පමණ වන්නට ඇත.



"අම්මා මම අද යාළුවෙක් ගේ  ගෙදර ගියානේ .. එයාලා මුත්තලා ගැන එහෙම දන්නා කට්ටිය"

"මෙන්න  ඒ ඇන්ටි අම්මාට දෙන්න කියලා එළවලු මල්ලකුත් දුන්නා "

මම සුජිත්ගේ අම්මා අපේ  අම්මාට දුන් තෑග්ග ඈ අත  තැබුවෙමි.

එළවලු මල්ල අතට ගනිමින්


"කොයි හරියේද චුටි පුතා යාළුවගේ ගෙවල් ?"  අම්මා මගෙන්  ඇසුවාය.

"...... ගොල්ලේ  .. අපේ ඉස්කෝලේ  ළඟ   ...... උල්පත  පන්සල  පහුකරපු ගමන්ම  දකුණු පැත්තේ තමයි සුජිත් ලා ගෙදර තියෙන්නේ.."

"මොනවා ? තෝ  කොහේද ගියේ යකෝ...?" 

අම්මා මම චමින්දලා ගෙදර ගිය දා මෙන් පරළ  වුවාය. 

"මේකා අපිට නොගැළපෙන තැන් වලට ගියා මදිවට ඒ ගෙවල් වලින් කාලා බීලත් ඇවිල්ලා  ".

"දාපිය මේ එළවලු බල්ලට ... උඹ ඔය "වහම්පුර" ගෙවල් වලින් කෑවා බීවට  අපි ඔවුන්ගේ දේවල් කන එවුන් නෙවෙයි බොල"

කියමින් එතකින් නොනැවතුණු  අපේ අම්මා  සුජිත් ලා  අම්මා  මට දුන් එළවලු මල්ලද  කුණු වලට   වීසි කළාය.

නොසිතු නොපැතූ ලෙස මගේ සතුට බිඳ වැටෙනු දුටු මා නැවත කිසි දිනෙක සුජිත්ලා නිවසට පා නැගුවේ නැත.

එපමණක් නොව සෙනසුරාදා ඉරිදා අපේ කිරඹ ඔයේ මුත්තා සමග යෙදෙන අල්ලාප සල්ලාපයේදී ... ගොල්ල ගම ගැනත් ... "වහම්පුර " කතාව ගැනත් සහ සුද්දෙන්  දැන ගත්තෙමි.

"චුටි පුතා  උඹ අළුත් යාලුවෙක් හොයාගෙන කියලා ආරංචියි ... මොකක්ද එයාගේ වාසගම ? "

"එයා ....මුණි .....ගේ ... කියලා නම පටන් ගන්න කෙනෙක් "

"ඔය මිනිස්සු  අපිට නොගැළපෙන කට්ටිය... අම්මා මාත් එක්ක කිව්වා විස්තරේ .. නොදන්නා  කමට ගියාට කමක් නෑ.. ආයේ එහෙම ඔය ගෙවල් වල යනවා නෙවෙයි "

මුත්තා මගේ ...... ගොල්ල පැත්තේ ගමන් බිමන් සම්පුර්නයෙන්ම  නවතා දමන තැනට මා පත් කලේ එසේය.








එපමණක් නොව එතෙක්  කුල, මල  වාසගම්  ගැන කිසිවක් දැන නොසිටි මා  වහම්පුර , බෙරවා  ආදී  වංශ කිහිපයක්  ගැන  දැනුමැත්තෙකු බවට පත් කරන්නටද අපේ මුත්තා සමත් විය.

සඳුදා පාසැල් ගිය මා හමුවට පැමිණි සුජිත් " කොහොමද මචං .. උඹලා  අම්මා මොකද කිව්වේ අපේ ගෙදර  ගමන ගැන..?"

යැයි මගෙන් විමසා සිටියේය.   

"මොකුත් නෑ අළුත්  යාලුවෝ අඳුර ගන්න එක හොඳයි කිව්වා "

මම ගානක් නැතිව කියාගෙන ගියෙමි. 

මගේ පිළිතුරෙන් සුජිතා සෑහිමකට පත් වුන බවක් පෙනෙන්නට තිබිණි .

එහෙත්   මා සිත ඇදී  ගියේ  අපේ සමන්තත් මමත් පසුකාලීනව නිතර  ගායනා කල ගීත දෙකකටයි. 






ඒවායින් කියැවෙන පරිදිම "කුලයක්" ඇදගෙන අපේ අම්මලා සහ මුත්තලා කරනා විකාරය මට නම් මහා විහිළුවක් විය.

එහෙත්  නැවත  කිසි දවසක සුජිත් ලා ගෙවල් පැත්තේ නොයන්නට වග බලා ගත් මා

"මචං කිටී අදත් යමන් අපේ ගෙදර"  යැයි සුජිත් කිවූ දින කිහිපයකම  කුමක් කෝ බොරුවක් කියා ඇඟ බේරා  ගත්තෙමි.

ප. ලි.   හිටපු ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රියතම ගීතයක් මෙහි ඇතුලත් කරන්නට සිතුවේ  එතුමාද   කුල ගෝත්‍ර වාදයෙන් බැට කෑ ප්‍රසිද්ධ දේශපාලකයින් ගෙන්  කෙනෙක් බැවිනි.






"දිවියිතික   පංතියේ කුල භේදය." .... ඉදිරියේදී  බලාපොරොත්තු වන්න .....



24 comments:

  1. ළමයෙකුගේ විචිත්‍ර මිත්‍ර ලෝකය කඩන්නේ දෙමාපියන්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... මේ සිද්දීධියේ දී නම් දෙමව්පියන් සහ අනෙකුත් වැඩිහිටියන් කියලා කියන්න වෙනවා. විශේෂයෙන් අපේ මුත්තා ( අම්මලා පැත්තේ.) මෙවැනි විෂ පෙවීම් තව දුරටත් සිදු කළා .. මෙහි දිගුවක් වන දිවිතිය්ක පන්තියේ කුල භේදය කතාව ළඟදීම ලියනවා එතකොට හෙළිවෙයි ඒ බව...

      Delete
  2. මනුස්සයගෙ අංග ලක්ෂණ සහ හැසිරීම අනුව එයාගෙ කුලේ කියන්න අපේ නැන්දම්මට පුලුවන්. මට ඉන්න සමහර යාළුවංගෙ කුලේ මොකද්ද කියලා මං අදටත් දන්නෑ. නුවර පැත්තෙ බෙරවාදන කුලේ ගොවි කුලේට වඩා ඉහළයිලු.

    සිංහල අයට වඩා තදින් දෙමළ අය අතර කුලවාදේ දරුනුයි. අඩුකුලේ අයට ඉහළ කුලේ අයගෙ කෝවිලට යන්නත් තහනම් .

    ReplyDelete
    Replies
    1. මනුස්සයගෙ අංග ලක්ෂණ සහ හැසිරීම අනුව එයාගෙ කුලේ කියන්න අපේ නැන්දම්මට පුලුවන්.

      එහෙම එකකුත් තියනවා තමා බං

      Delete
    2. දැන් නම් ඔය කුල මල කතා කවුරුත් එච්චර ගණන් ගන්නේ නැහැ වගේ නේද? විශේෂයෙන් යමක් කමක් කියවා අසා දැන ගත් අය.
      සුරංග ... ඔය දෙමළ ජනතාව අතර කුල භේදය දරුණු කතාව මමත් අහලා තියනෙවා..

      Delete
    3. ඌව පළාතේ බෙර වාදන කුලය හා සම්බන්ධ මගේ මතකය ඊළඟ පොස්ට් එකෙන් අවදි කරන්නයි ඉන්නේ ... "දිවියිතියික පංතියේ කුලවාදය " මාතෘකාව යටතේ..

      Delete
  3. මට දවසක් ගැහුවනේ අපේ ටල්ලම්මා එක මනුස්සයෙකුට මාම කියුවා කියලා ‘‘තෝ මොකද බොල අර පද්දට මාම කියුවේ ‘‘ කියල

    ReplyDelete
    Replies
    1. මම නගරයේ ඉස්කෝලේ ගිය කාලේ නිසා මොඩ් එකට තමයි ඇන්ටි කියලා කිව්වේ.. (ඉස්කෝලේ අනික් කොල්ලෝ කියන්නා වගේ )කිරඹ ඔයේ ඉස්කෝලේ ගියානම් එහෙම ඒ නැන්දට ඇත්තටම කියවෙන්නේ නැන්දා කියල තමයි..

      Delete
  4. බොහොම ප්‍රබුද්ධව සිතන අය යයි අපි හිතන පුද්ගලයන් තුල පවා මේ මානසිකත්වය තදින්ම මුල්බැසගෙන තිබෙනවා. සබරගමුව පළාතේ පදිංචිව සිටි/සිටින වාමාංශික දේශපාලනයේ පතාක යෝධයන් වූ/වන කීපදෙනෙකුට ඔවුන්ගේ ගම් පළාතේ අදටත් අමතන්නේ අප්පො කියලයි. ඔවුන් කවදාවත් එය වළක්වන්නේ නැහැ.

    පුන්සිරි සොයිසාගේ ගීතය වෙනුවට එම ගීතයේ මුල් ගායකයා වන ඒ.ජේ.කරීම් ගයන මේ ගීතය දැම්මානම් හොඳයි.

    https://www.youtube.com/watch?v=qWfvNjERzgI

    ReplyDelete
  5. ස්තුතියි.. විචාරක.. ඔවු .. ඔවු .. ඒ අය ලොකුකම පෙන්වන්න මේ කිසිවදගම්මකට නැති නමක් පාවිච්චි කරනවා.. මම අලුත් ලින්ක් එක දැම්මා .. හොයලා දුන්නට ස්තුතියි..

    ReplyDelete
  6. කුලය කියන්නේ වැඩවසම් ක්‍රමය තුළ එකිනෙකාට පැවරූ රාජකාරිය මත ගොඩනගා ගත් දෙයක් මිස එය මිනිහාගේ ඇගේ තියෙන දෙයක් නෙමෙයි..... දැන් ඔය කියන වැඩවසම් ක්‍රමය ලෝකයේවත් නැහැ... ඒත් අපි අර කුලය තාම උස්සගෙන දුවනවා... ඒකත් හරියට පනික්කියා මැරුණාට පස්සේ නයා උස්සං දුවනවා වගේ දෙයක් තමා.... ඒ නයා දැන් හැමෝට ම දෂ්ට කරනවා....... මේක විකාරයක් තමා..

    ReplyDelete
  7. "වැඩවසම් ක්‍රමය ලෝකයේවත් නැහැ... ඒත් අපි අර කුලය තාම උස්සගෙන දුවනවා... ඒකත් හරියට පනික්කියා මැරුණාට පස්සේ නයා උස්සං දුවනවා වගේ දෙයක් තමා.... ඒ නයා දැන් හැමෝට ම දෂ්ට කරනවා....... මේක විකාරයක් තමා.." හරියට හරි කුරුට්ටෝ සියයට දෙසීයක් එකඟයි.... මේ කතාව 1980 වෙච්ච එකක් දැන් තත්වය එතරම් නරක නැතිව ඇති කියලයි මම නම් හිතන්නේ..

    ReplyDelete
  8. අපි කුඩාකල සිටම අම්මලා ඇතුළු වැඩිහිටි නෑදෑ පරපුර ඔය කුල භේදය දරුණු විදියට ඔලුවට අරගෙන අපටත් එය ඒ විදියටම කාවද්දන්න හැදුවා.නමුත් අපට කුලවාදය ඉහට ගන්නට අවශ්‍ය කමක් තිබ්බෙ නෑ.හොඳම නිදර්ශනය මගේ දරුවා.ඔහු කුල ගැන තබා කුලභේදයක් කියා එකක් තියෙනවාද කියලවත් තාම දන්නෙ නෑ අපි කියන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අපිටනම් කුඩා කාලේ මේවා මෙහෙම කාවද්දුවා හැබැයි අපිත් ඔය කුල, ජාති , ආගම් ඔය කිසිම භේදයක් ගැන නොසිතන තත්වයට පත් වුනා .. අපේ පුතත් කුලය යන වචනය වත් දන්නේ නැහැ.. ඔහු දැන ගන්නේ ශ්‍රී ලංකාවේ ආගම් තුන හතරක් සහ භාෂා දෙකක් පාවිච්චි වෙන බව විතරයි..

      Delete
  9. හරිම නරක දැක්මක් නේද ඒ වැඩිහිටියන්ට තිබිල තියෙන්නෙ...ඔය කුල භේදයේ දරුණු බව සෙන්කොට්ටන් පොතේ හොඳින් පෙන්වලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මට පොත් ලිස්ට් එකක් තියෙනවා ලංකාවට ආවහම අරන් කියවන්න ... එළියකන්ද වද කඳවුර එකක්.. ඔන්න ඉන්ද්‍රජිත් නිසා දැන් සෙන්කොට්ටන් පොතත් ලිස්ට් එකට එකතු වෙනවා..

      Delete
  10. මටත් කවිඳුට ලැබුණු අත්දැකීමට සමාන අත්දැකීමක් ලැබිල තියෙනව. ඒත් ඒ වෙනකොට මම ඔයිට වැඩිය ලොකු වයසක හිටියෙ. එතනින් එහාට මම ඒ ගැන හිතුවෙ නෑ. ඔය කුල බේදය කියන එක මම තදින්ම අප්‍රිය කරන එකක්. හොඳ යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න පුලුවන් ‍එකෙක්නං මට උගේ කුලේ මොකක් උනත් එකයි. ඕක දෙමව්පියො විසින් ළමයින්ගෙ මොලේට බලෙන් ඇතුල් කරන දෙයක්.

    තමංගෙ කුලේ නිසා කොංවෙලා හිටපු සුජිත්ට කවිඳු එයාගෙ ගෙදර ගියාට පස්සෙ යම් පිළිගැනීමක් ලැබෙයි කියල හිතෙන්න ඇති.

    අර සමාන වී ඉපදී කියන සින්දුව මගෙත් ජනප්‍රිය ගීතයක්.

    ReplyDelete
    Replies
    1. //හොඳ යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න පුලුවන් ‍එකෙක්නං මට උගේ කුලේ මොකක් උනත් එකයි.// ... මේකම තමයි මගෙත් ක්‍රමේ.... සමාන වී ඉපදී මම හරි කැමති සිංදුවක්... පොඩි කාලේ අපේ මුත්තට සවුත්තුවට වගේ අක්කයි මමයි ඔය "අඩු කුලේ කියලා..." කියන සිංදුව කියනවා..

      Delete
  11. කොච්චර යට ගැහුවත් අදටත් 'කුලය' ප්‍රධාන සාධකය වන තැන් ඕනෙ තරම්.. වැඩිය ඕන නෑ.. විමල් වීරවංශ කෙරෙහි ඔහුගේ ප්‍රතිවදීන් බුකියේ දක්වන අදහස් බලන්න.ඕනෑම පත්‍රයක මංගල යෝජනා තීරය බලන්න. සංඝ සමාජය බලන්න.ඇතැම් බ්ලොග් කරුවන් හා මතවාදීව ගැටෙන්නට බැරි වූ විට ඇනෝ කොමෙන්ට් හරහා කරන වැඩ.. ඇත්තටම රට එක විදිහකට හිරවෙලා තියෙන්න මේ යල් පැනගිය අදිසි බලවේග වගකිව යුතුමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. විමල් වීරවංශට නම අල්ලා ගෙන පහර දීම නම් මමත් දැක්කා.. පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු දෙයක් ඒක.. විමල්ගේ වැඩ හොඳයි කියලා කියනවා නෙවෙයි මෙවැනි පහත් දේවල් උපයෝගී කරගෙන ඔහුට හෝ වෙන ඕනෑම කෙනෙකුට හෝ පහර ගැසීම නොකළ යුතු දෙයක් බවයි මමත් කියන්නේ..

      Delete
  12. එක දිගට ඔබේ ලිපි කියවගෙන කියවගෙන ගියා . අද දවසේ විශේෂත්වයත් එක්ක භීෂණ කාලයේ තොරතුරු පපුවටම වැදුණා .දිගටම ලියන්න . මගේ සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. මටත් දවසේ විශේෂත්වය මතක් වුනා ඒ වෙනුවෙන් මුහුණු පොතේ යමක් ලියන්න හිතුවත් අපේ පුතත් එක්ක එයාගේ පාසලේ ව්‍යාපෘතියට " ලී වලින් ගිටාර් එකක් හැදීමේ " වැලි කඩදාසි ඇල්ලීම වගේ දේවල් කරමින් උදව් කල නිසා අමතක වුණා.. මගේ "තියරියක්" තියෙනවා පුනරුත්පත්තිය විශ්වාශ කරන්නෙක් (බොදුනුවෙක් ) හැටියට පාවිච්චි කරන .. ඒක ප්‍රයෝජනයට ගන්නවා නම් සමහර විට ඔය අපේ සමහරක් දෙනා ගාව තිබෙන දේශපාලනමය හේතුන් නිසා මිය ගිය පිරිස් සමග තිබෙනා වයිරය අඩුවෙයි... ඒක තමයි "අපේ දුවලා පුතාලා වෙලා අපි ළඟ ඉපදෙන්නේ මෙසේ අකාලයේ මිය ගිය අපේ පාසැල් , විශ්ව විද්‍යාල මිතුරන් හෝ අපි හිතවත් කම් දැක්වූ එවැනි අය යැයි සිතා කටයුතු කිරීම" බැලු බැල්මට මෝඩ අදහසක් යැයි හිතෙනවා එත් ටික කලක් ඒ විදිහට හිතලා බලන්න .. අපිටත් අපේ දරුවන්ටත් ඔය හැමෝටමත් හොඳ දෙයක් ඒක....

      Delete
  13. කුලවාදය තරම් එපා කරපු දෙයක් තවත් නැහැ.මස්ඉඹුලගේ සෙංකොට්ටං වගේ පොත් තව තවත් ලියැවෙන්න ඕනෑ කියා හිතෙන්නෙ මෙවැනි දේ කියවද්දීයි..

    ReplyDelete
  14. //කුලවාදය තරම් එපා කරපු දෙයක් තවත් නැහැ// සියයට දෙසීයක් එකඟයි.... මේ සිද්ධිය වෙන කලෙත් එක්ක බලනකොට දැන් තත්ත්වය සැහෙන්න හොඳයි.. ඒ වුනත් ආර ගස් ලබ්බ කියන්නා වගේ වරින් වර මුහුණු පොතේ එහෙම ඔය සිද්ධි මතු කෙරෙනවා කාට හරි මඩ ගහන්න ඕනා වුනාම...

    ReplyDelete