Follow by Email

Monday, 30 May 2016

පුවක් බාස්ගේ තෙසක් රිය


පසුගියදා  අපේ සහෝදර බ්ලොග් කරුවෙක්  වූ ඉකොනමැට්ටා  විසින් ලංකාවේ  තෙසක් රිය  (ත්‍රී වීලර් ) භාවිතය  පිළිබඳ  ලියු හරවත්  ලිපියක් පළවිය.

එය  කියවමින්  සිටිනා  අතරේ මා මාවනැල්ලේ දී  සිදු වූ සිදුවීමක්  වෙත ඇදී ගියේ  ඉබේටමය.

ඒ 2006  අවුරුද්දේ ආරම්භක දිනවලින්  එකකි.  අපේ මග නැගුම  වැඩ සටහන අවසන් වී  ගත වුයේ  දින කිහිපයක් පමණි.

අපට නැවතත්  අප සිටි රට  බලා පිටත් වීමට තිබුනේ  මාසයක  පමණ  කාලයකි. පාරේ වැඩ අවසන් කල අප නැවතත්  පොල් වගා වැඩ වල යෙදෙමින් සිටියෙමු.

ඒ එවැනි දවසක් අවසන් කර සිටි අවස්ථාවකි.  වෙලාව  රාත්‍රී  අට අට හමාර පමණ වන්නට ඇත.

මමත් ලෙනදොර ත්  සාලයට  වී ලයිව් ඇට් එයිට්  බලමින් සිටියෙමු. 

ඩිග්. ඩිග්  . ඩිග්  අළුත  කැපු පාර  අපේ  මිදුලට  වැටෙන හරියෙන් වගේ ඇසෙනා  අඩි  ශබ්දයකි.

එය  අපි සිටිනා සාලය  පැත්ත  පසු කර නිම්මිලා  කුස්සිය  පැත්තට  ඇදී  නැති වී  ගියේය.
සුළු  මොහොතකින්  අප  දෙදෙනා  සිටි දෙසට  දිව  ආ  නිම්මිගේ  නංගි  අමරා..

" අන්න  යාළුවෙක්  ඇවිල්ලා දොස්තර මහත්තයා  හොයාගෙන   " යැයි පැවසුවාය.

"කවුද ? කවුද?  පුවක්  ද?"  ලෙනදොර  ඇසුවේ ඒ දිනවල  අපේ  හොඳම  මිතුරා  ඔහු  බැවිණි.

"ඔව් .... ඔව්  ... එයා තමයි හොඳටම බිලා  . දොස්තර  මහත්තයා  එක්ක වැදගත්  කාරණයක්  කතා කර ගන්න තියෙනවා  කියන්නේ "

" වැදගත්  කාරණා කතා කරන්න  බිලා  ඇවිල්ලා  හරියන වැයි?   සාකච්චාවකට  නම් හොඳ  සිහියෙන්න  එන්න  එපැයි.?"

මා පැවසුවේ  පුවකාට  ඇති අකමැත්තකට වඩා  රෑ  බෝ වෙද්දී  බිමත්  ම්නිසුන්  ගෙවල්  වලට ගෙන්වීම  ගැන මා හට  නිම්මි ලා ගෙන් දොස් අසන්නට  සිදු විය  හැකි බව ඉවෙන් මෙන් දැනගැනීම නිසාය.

"මොකක්දෝ  බෑග් එකකුත්  ගෙනැල්ලා හංග ගෙන  ඉන්නවා.  අපිට පෙන්නන්නේ  නෑ . දොස්තර මහත්තයට  පෙන්නන්න ගෙනාවැයි  කියන්නේ ?"

අමරා  නෝක්කාඩුව කට  මෙන් මා දෙස බැලීය.  අවුරුදු ගණනාවක්  අසල්වාසීන් වූ ඔවුන්ට වඩා  පිටගම් කාර  මා වෙත  පුවක් බාස්ගේ  ගේ ඇති ආකර්ෂණය ඇයට ගැටළුවක්  වී ඇති සෙයකි.

මේ අතර  ඇතුල් කාමරයේ  සිට අප වෙත පැමිණි නිම්මි..  " මේ කියන්න තියෙන දෙයක්  අහගෙන ඉක්මණට ආපහු යවනවා.. " යැයි මට පුර්ව අවවාදයක්  සැපයුවාය.

" යමු මල්ලි මොකක්ද මිනිහා කියන්නේ බලන්න.. "  මම  ලෙනදොරත්  සමග  කුස්සියට  පියමැන්නෙමි.

" කොහොමද ප්‍රේමරත්න  දැන්  අළුත් පාරේ  යනවා නේද කට්ටිය  අත පය දිගෑරලා ? "

"ඔව් .. ඔව් .. ඔය  සමහරු වැඩේ  හොඳ කම  ගැනත් කියන්නේ,  හිත ඇත්නම් කරන්න බැරි දෙයක්  නෑ කියලා එහෙම "

"කවුද කවුද  ඔය අපි කරපු  දේවල් වල  හොඳ කියන  අය  ?"

"බිලින්ගහ වත්තේ  ජයසේකර  අය්යා මා දැක්ක  කිව්වා  ඒ වගේ කතාවක්. "

"ඉතින්  මොනවද මේ  මට පෙන්නන්න  ගෙනාවා කිව්වේ ?"

එතෙක්  මා සමග  දොඩමලු වූ  පුවකා එක්වරම  හැඟුම් බර විය .

තමා රැගෙන  ආ  "ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්" ප්ලාස්ටික්  මල්ලට  අත දමද්දී  ඔහුගේ නෙතඟ  රැදුණු කඳුළු බිඳුවක් යන්තමට මෙන් දිස් වනු දුටුවෙමි.

" මෙන්න  .. "  ප්‍රේමරත්න බිම බලාගෙනම  මල්ලෙන් යමක්  ඇද මා අත  තැබිය.

"මේ මොකක්ද  මේ  ?  පාස් පොර්ට් එකක් නේ ?"

මම මා අතට දුන් කුඩා  කුණු ලේ පැහැති කුඩා  පොත් පිංච පෙරලන්නට  වුයෙමි.

" රැකියාව : බරවාහන   රියදුරු  ..  ඇතුල්විය හැකි රටවල් : සියළුම  රටවල්   " එහි සඳහන් වී තිබිණි.

මේ අතර කිසිත් නොදෙඩු පුවකා තවත් පොත් පිංචක්  මා අත තැබීය.

" මේ  බැංකු  පොතක් නේ  . මට  මොකටද  බැංකු පොත්  දැන්  ?  අපි පාර කපලා  ඉවරයි නේ "

මා  එසේ කීවද  පුවකා ගේ හැටි දන්නා මා  මේ එන්නේ වෙන පොටකට  විය හැකි බව ඉවෙන් මෙන් තේරුම් ගෙන සිටියෙමි.

එසේ  කියමින්  ජාතික ඉතිරි  කිරීමේ  මේ බැංකුවේ  තිබූ ප්‍රේමරත්නගේ   ගිණුමේ  විස්තර  වෙත  මගේ දෙනෙත් යොමු කලෙමි.

සති පතා  මුදල් තැන්පත්  කල  විස්තර  සඳහන් පේලි අතර මගේ දෙනෙත් ඉබිගමනින්  දිව යන අතර සිත අවුරුදු  දහයක්  පහළොවක්  පිටිපසට වේගයෙන් දිව ගියේය.

දිවගොස් නැවතුනේ  මගේ මුල්ම  බැංකු පොත මාරගස්වැල්ල  කුඹුරේ එළවලු වගාවෙන් සහ  ගමේ ළමුන්ට   උපකාරක  පංති කිරීමෙන් ලද   මුදලින් සෙමින් සෙමින් පිරවුන  තැනයි.

මදක් එහි සැරිසැරූ මා නැවතත් වර්තමානයට  පැමිණියෙමි.

" සෝමරත්නට  මොකද දැන් අපේ කෙරෙන්න  ඕනෑ...?"

කිසිත් නොකියා බිම බලා  තම පාදයේ  මහපට  ඇඟිල්ලෙන්  පොලවේ රටා  අඳින  පුවකා ගෙන්  ඇසුවෙමි.

"දොස්තර මහත්තයා  අපේ පාර  හදා දුන්නා  . දැන් මට මගේ  හිතේ තිබුණ අනික් හීනය හැබෑ කර ගන්න උදව් කරන්න ඕනේ."

"ඔය බැංකු පොතේ ලක්ෂ  එක හමාරක් තියෙනවා  . මට රෝද  හතරක්  ගන්න උදව් කරන්න,"

ලෙනදොර, අමරා  , කරුණා අක්කා නොහොත් නිම්මිලා අම්මා ඇතුළු පිරිස  ගල් ගැසී මෙන්  මා කුමන පිළිතුරක්  දේදැයි බලා සිටිති.

මට මේ අහිංසක හැබෑ දිරිය ගති ඇති මිනිසාගේ  ඉල්ලීමට  පිටු පෑ  නොහැක.  එහෙත් හදිසියේ ලක්ෂ  හත අටක්  වැනි මුදලක් මොහු වෙත ප්‍රධානය  කරන්නට  හැකියාවක් ද  නැත.

මා  බලා සිටින්නේද   මුල්මාස කිහිපයේ  ඉතා දුෂ්කර විය හැකි ඔස්ට්‍රලියාවේ  උසස් අධ්‍යාපන  ශිෂ්‍ය ජිවිතයක් වෙත යන්නටය.

ඒ සියල්ල සිතේ සක්මන් කරද්දී   මම පුවාකාට  පිළිතුරු දුන්නෙමි.

"දැන් ප්‍රේමරත්නට වාහනයක්  මොකටද?  පොල් පලන එක අතහැරලා වෙන බිස්නස් එකකට යන්න ද ?"

" නෑ  .. නෑ  .. මම දිගටම පොල්  පලන එක කරනවා ඒකෙ  ආදායම හොඳයිනේ . ඒ අතරේ හයර් අවොත් වාහනේ දුවනවා. "

"ඒ කියන්නේ වාහනේ  ගන්නේ ගෙදර නවත්තලා තියන්න ?"

"ඔවු  ගොඩක් දවස් වල  ගෙදර තියෙයි.  වැඩකට   හයර් එකකට   දුර යන්න  වුනොත් වාහනේ  යනවා.

පස්සේ  කාලෙක  පොල් පලන්න  මැෂින් එකක් ගන්නත් හිතන්  ඉන්නවා . එහෙම වුනොත් වාහනයක්  තියෙන එක හොඳයිනේ  ඒක එහා මෙහා ගෙනියන්න "

මම නැවතත් කල්පනාවට  වැටුනෙමි.

වැඩිපුර  ගෙදර  නවතා තබමින් අත්‍යවශ්‍ය අවස්ථාවකදී  වැඩට යන්න ( පොල් පලන්න යන්න). ගස් කපන යන්තරයක් වැනි දෙයක්  රැගෙන යන්නට කියාපු වාහනය  ත්‍රී විලරයයි.

"ඒක  නෙවෙයි  ප්‍රේමරත්න රෝද  හතරක් නෙවෙයි  තුනක් ගත්තොත්  ඔය වැඩේම  කර ගන්න පුළුවන් නේද ? පෙට්‍රල්  වලට එහෙම වියදම් වෙන ගානත්  අඩුයිනේ?"

"ත්‍රී විලරයක් ගන්න තව කියක් විතර  යනවද"

"ලක්ෂ තුනක් විතර වෙයි අලුත් එකක් .."

"හරි අපි එහෙනම්  මෙහෙම කරමු.  මම ඔයාට රුපියල් ලක්ෂයක්  ණයට දෙන්නම්  මාසෙට  රුපියල්  දහ දාහ  ගානේ මගේ බැංකු පොතට  දාලා  ඒක ගෙවන්න .."

ඔයාගේ සල්ලියි මම දෙන සල්ලියි දාලා  රෝද තුනක් ගමු ඉස්සෙල්ලා.. පස්සේ බලමු රෝද හතරක් ගැන...
දින කිහිපයකට පසු   සෝමරත්න  සමග බැංකුවට ගිය මම ඔහුට මගේ සම්පත්  බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයක්  රැගෙන දුන්නෙමි

ඊට දින කිහිපයකට පසුව  පුවකා කොළ පැහැති  තෙසක් රියක්  රැගෙන  ආවේය.

එහි පිටුපස "අතහිත  දොස්තර මහතා ගෙනි!"   කියලා නම් ලියා තිබුණේ නැත..




Friday, 27 May 2016

අපේ කාලයේ ගුරුගීතයද?



ගුරුවරයා දෙවැනි වන්නේ  දෙමව්පියන්ට පමණක් බව අප අසා ඇති කියමනකි.  ඔබ අප කාටත්  අපේ දෙගුරුනටත් වඩා සෙතක් සැලසු ගුරුවරු හමුවී ඇතුවාට සැක නැත.

මා  මහකළු  කඩ්ඩේකුගේ  ආගමනය  නමින්  ලියු  බ්ලොග් පොස්ටුවේ  එවැනි  ගුරුපිය තුමෙක්  ගැන  සඳහන් කළෙමි.

ඒ  "අරලගංවිල මහා විද්‍යාලය"  වැනි ඉස්කෝලෙකින් හිස කෙලින් තබා ගෙන  ලෝකෙට බැසිය හැකි මිනිසුන් සමුහයක්  හැදු  තාබ්රු සර් ගැනයි.


ස්වෙච්චා  ගුරුවරයෙක්  ලෙස ඔහු කල අගනා සේවය  මට  යලි සිහිපත්  කර දුන්න  අපුරු  බ්ලොග්කරුවෙක්
ජනිත  වුනා මීට  දින කිහිපයකට පෙර.

දුයිෂෙන් ගේ  අඩවිය  නමැති  බ්ලොගය   හරහා  ඔහු අප  අතරට  එන්නේ  අප ඉගෙනගත් පරිසරයට  සමීපව පිහිටි එහෙත් ඊටත් වඩා දුෂ්කර ප්‍රදේශයක්  වූ  රිටිගහ ආරාව ප්‍රදේශයේ පාසැලක  කතාවක් සමගින්.

එහිදී දුයිෂෙන් තම වැටුපට සේවය කරනා ගුරුවරුන් අතර  සිට වියළි ඉරිතැළුණු පොලවේ බඩගින්නට එරෙහිව සටන් කල දුවා දරුවන් වෙනුවෙන් සැබෑ ගුරුවරයෙක් ලෙස වෙහෙසුන හැටි අපට කියනවා.

දුයිෂෙන් ගේ ම වචන වලින්  කියනව නම්

"මල් සුවඳට  කවුරුත් කැමතියි.  වියළුණු මේ බිමේ මල් පිපෙන්නේ හරි අඩුවෙන් . සුවඳ හමන එකම එක මලක් වී පිපි පරවීමත් නරක නැහැ. ඒත්  රටම  සුවඳ  කරන මල් පුදින  බිමක්  හදන්න  ඕනෑ " .

ඒ බව අපට ක්‍රියාවෙන් පෙන්නුම් කල  දුයිෂෙන්  ඉන් නොනැවතී තමන් ඉදිරියට  ගමන්  කළහැටි  ඔහුගේ බ්ලොගයේ  කියනවා.

ඔහු හා අනෙකුත් බ්ලොග් කරුවන් අතර සිදුවන සංවාදයද  අපේ මනස එළිය කරවන්නට  සමත් සංවාදයක් .

ගුරුවරයෙක් ලෙස  ජීවිතය අරඹා  දුෂ්කර  පාසැල්  සේවයෙන් ජීවිතය  දුටු  දුයිෂෙන් ට බ්ලොග්  ලෝකයේ දිගු ගමනක්   යා  හැකියි.

ඒ  ගමන   බ්ලොග් ලියන  කියවන  අපි හැමෝටම  ප්‍රයෝජනවත් වේවි .

දුයිෂෙන් ගේ  කතාවට  මෙතනින්  පිවිසෙන්න  


Monday, 23 May 2016

අප ලංකාවේ සෑදු දෙවන නිවස.













අප   ගම්  ප්‍රදේශයේ  මේ වන විට  නිවාස හෝ  ඉඩම්  නැති  පවුල් ඇත්තේ  අතළොස්සකි .

එයින් සමහරක් පවුල් තමන්ගේ  නෑදෑ යනට  ඉඩම්  ඕසේට තිබෙද්ද්දී  පර්චස් කිහිපයක්  වත් ඔවුන්ට නොලැබුන  අයයි.

මෙවැනි  පවුලක් අප හා  මුලින්ම  සම්බන්ධ කලේ  අපේ  තාත්තා විසිනි . ඒ 2014  මැද භාගයේදීය.   ඒ  ප්‍රේමේ අය්යාගේ  දුවගේ  පවුලයි .



ප්‍රේමේ අය්යාගේ දුව "&##" සහ ඇයගේ ස්වාමියා ට  දරුවන් තිදෙනෙකි. ඔවුන් හැමෝම පාසැල් යන්නේ  මම හතරේ පංතිය තෙක්  අකුරු කල බ/ කිරඹඔය විදුහලටයි.

"&##"ලා නිවසේ වැඩ  තරමක්  දුරට කරගෙන යද්දී අපේ උදව් උපකාර සොයා පැමිණි  දෙවන පවුල  ( HM චමින්ද පවුල ) තාත්තා   අප වෙත යොමු කළේය.

චමින්ද අපේ  මහගෙදරට  ආසන්නයේ ඇති  ආණ්ඩුවේ වත්තේ  කම්කරුවෙකි.  ඔහු විවාහ වී සිටින්නේ  ද්‍රවිඩ  කාන්තාවක්  සමගය.  මේ  දෙදෙනාද දරු  තිදෙනෙකුගේ   දෙමව්පියන් වෙති.


දැනට ඔවුන් පදිංචි  පැල්පතට  පැමිණීමට  පෙර  චමින්ද  පවුල   ජිවත් වුණේ  ආණ්ඩුවේ වත්තේ  තිබුණ ලැයිමේ  කාමරයකයි.

පසුව  තම  වුර්තිය  සමිති  බලය යොදා  ( චමින්ද  ඌවෙ  වත්මන් මහා ඇමතිට සම්බන්ධ  වතු සමිතියක  සභාපති  හෙවත් තලවර්ය )  තේ වත්ත අයිනේ  මහා පාරට  යාබද  පර්චස් කිහිපයක ඉඩමක් අල්ලාගන්නට  චමින්ද සමත් වී තිබේ.

වත්තේ  අදායමෙන්  ඒ ඉඩමේ  කොන්ක්‍රීට්  කණු ටිකක් ගැසූ චමින්ද අප හමුවන විට  ඒ  කණු ටිකට   අවුරුදු දහයක්  ගතවී තිබිණි.


චමින්දලා  මෑතක්  වනතුරු  ජිවත්  වූ  පැල්පත.

අපේ  තාත්තා  කලුලා  නිවසේ  වැඩ අතරමග  සිදුවෙද්දී  මා  චමින්දලා  නිවසට  යොමු කළේය.   පවුල් දෙකම  ළමයින් තිදෙනා බැගින් සිටිනා  නිසා ආර්ථික  අපහසුතා වලින් පෙලෙන්නෝ වෙති.  

ඔවුන්ට  දුප්පත්  යැයි  කියන්නට  මා අකමැති බව  මා සමග ළගින් ඇසුරු කරන්නෝ දනිති.  

ආර්ථික  අපහසුතා  නිසා  අමාරුවෙන් දිවි ගෙවුවද  ඔවුන්ද  ඔබ අප මෙන් රටේ ආර්ථිකයට  දායක වන්නෝ වෙති.

කෙසේ වෙතත් අපි චමින්ද නිවසේ ප්‍රගතිය බලමු.

මම  බ්ලොග් පොස්ට් එකක් සහ මුහුණු පොතේ පින්තුර කිහිපයක් දමා වැඩේ ආරම්භ කලෙමි.

ලඟ  ලඟම  කල දෙවැනි  නිවාස ව්‍යාපෘතියක් නිසා ආධාර ලැබුනේ  ඉතා සෙමින්ය .  එහෙත්  බ්ලොග් ගල්  , වැලි සිමෙන්ති  ගන්නට  තරම්  මුදලක්  එකතු විය.

මුලින්ම  කෙරුනේ  චමින්ද  දමා තිබු කොන්ක්‍රීට් කණු යා කරමින් ස්ලැබ් එකක් දැමිමයි.

මතක  හැටියට  රුපියල් ලක්ෂයකට වඩා එයට වියදම් විය.(සියළු ගණුදෙනු වියදම් තාත්තා ළඟ තිබේ ). 







තාත්තා  ඒ  අසලම සිටි නිසා වැඩේ පහසු විය.  ඔහු සියළු  විය  හියදම්  අකුරට  ගණන්  හදා තබා ගත්තේය.


චමින්දගේ  පැල්පත  ළඟ  වසර ගණනක්  තිබු  කොන්ක්‍රීට්  කණු මත අප දැමු සැල්බ් එක උඩ  කාමර දෙකක්  ගොඩ නැගෙමින්. 

චමින්ද ද  &##ලා  මෙන් නොව නිතර නිතර අපේ තාත්තා හමු  වී  තව උදව් අවශ්ය බව කියා සිටියේය  ( තාත්තා  කියන පරිදි වැඩේට  ඇති උනන්දුව පෙන්නුවේය ) .

&##ලා  අප දුන් දෙයකින් වැඩ  කළා මිස එතරම්  අපෙන් ඉල්ලීම් කලේ නැත. ( ඉන් පෙනෙන්නේ අලසකමකට  වඩා නිකන් දෙන දේ බලෙන් ඉල්ලා නොසිටීමේ  ගතියක්  බව මගේ පුද්ගලික හැඟීමයි ).

කෙසේ වෙතත්  චමින්දගේ උනන්දුවත්   අපේ තාත්තගේ උද්යෝගයත්  මගේ මිතුරන්ගේ  හොඳ හිතත් එක්වී  චමින්ද නිවසේ බිත්ති ඉහලට එසවිය.





බූරුවෙක්

පෙනෙන  අපගේ සහ අප මිතුරන්ගේ  සරණට  වඩා  නොපෙනන  සරණක්  ද  ලැබෙන බවක්  නිවසේ   ප්‍රගතියත්  සමග පෙනෙන්නට  විය  

පාරට  මුහුණලා ඇති  බිත්තිය.



(මේ පින්තුරයේ  ඇති  ලයිට් කනුව චමින්දගේ  නිවසට ඇති භාදකයකි.

එය ඉවත්  කර  ගැනීම  වෙනුවෙන් අපේ තාත්තා  සමන්ත විද්‍යාරත්න ( ඌව  පළාත් සභා මන්ත්‍රී ) සෑහෙන වදයක් දුන්නේය )


මේ වන විට  අපට  රුපියල් ලක්ෂ එක  හමාරක්  පමණ එකතු වී  ආධාර  ගලා ඒමද  අඩු වෙන්නට  විය.  චමින්ද  මෙන්ම  අපේ  තාත්තාද  තරමක්  නොසන්සුන් වූ  බවක් පෙනිණි.

එහෙත්  අපේ තාත්තා මා වැනිම අයෙකි.  පටන් ගත් දෙයක් ලෙහෙසියෙන් අතෑරලා යෑම ඔහු අකමැතිම දෙයකි.

මා මුහුණු පොතේ සහ බ්ලොග් අවකාශයේ ඉල්ලීම් කරන අතර තාත්තා තමන් සභාපතිත්වය  දරන ප්‍රදේශයේ විශ්‍රාමික  සංගමය  ඇමතුවේය.

තම හිතවත් සමාජිකයින් ගෙන්  චමින්දගේ  කාමර දෙකේ නිවසට අවශ්‍ය සෙවිලි තහඩු වලට උපකාර ලබා ගන්නට  ඔහු සමත් විය .



අපේ  අම්මා  චමින්දලා  ගෙදර  ගිහින්  අලුත්  වහලේ  චයාරුප  ගනිද්දී ඇයවත්  කැමරාවට  හසුවී . 


මේ අතර චමින්ද  ගම පුරා ගොස්  තම වහලයට අවශ්‍ය  යටලි, පරාල ආදිය එකතු කර ගත්තේය.  ඒ අනුව මුල්‍යමය උපකාර  අපේ හිතවතුන්  ලබා දෙද්දී  චමින්ද  තමන්ට  හැකි පමනින්  තම නිවස වෙනුවෙන් වෙහෙසුණේය.

දෙවන වටයෙන් පසු නැවතත්   යම්  මන්දගාමී බවක් දුටු මම භාගෙට වැඩ කල නිවසේ පදිංචි වෙන ලෙස ( ගෙට ගෙවදින ලෙස  ) චමින්දට උපදෙස් දෙනමෙන් තාත්තාගෙන් ඉල්ලා සිටියෙමි.












පන්සලේ  හාමුදුරුවෝ  සහ  තාත්තලා විශ්‍රාම සමිතියේ  සාමාජික මහතෙකුද  උත්සවයට  සහභාගී වූහ. 



අසල් වාසීන්   අතර  සිටි  පුෂ්ප රාජාගේ  බිරිඳද   ගෙවදීමේ  උළෙලට ඇවිත්  ( උළුවස්ස  අසලම  ඉන්නේ  පුෂ්පෙගේ බිරිඳයි ) 

චමින්දලා  ගෙට ගෙවදීමේ  චයාරුපද   මගේ මුහුණු පොතේ පළකලෙමි. ඒ  මගේ ප්‍රචාරයකට  ඇති කැමැත්තට වඩා උදව් උපකාර කල මිතුරන්ට  දැන ගැනීම  සඳහාය.  

ඊට අමතරව  ප්‍රගතිය දැක සතුටු වන එහෙත් සහභාගී නොවූ පිරිස් ඇවිස්සිමක්ද ඉන් බලාපොරොත්තු වුයෙමි. 

කාලය  කෙමෙන් ගෙවී ගොස්  අප්‍රේල් මාස්යටද  ලඟා විය. හදිසියේ මට ලැබුණු දුරකථන  ඇමතුමකි .

ඒ  අප සමග  එකට පාසැල් ගොස් එකම වෙද විදුහලටද  ගිය හිතවතෙකුගෙනි.  

"මචං කවිඳු  ..උඹේ අර ගෙවල් දෙකේ වැඩ ඉවරද?"  එහා පැත්තෙන් ඇසෙන්නේ  කාලිංග ප්‍රනාන්දු  නම්  පවුලේ  ව්‍යිදය වරයෙකුගේ  ( GP)  කටහඬයි.

" නෑ මචං... දෙකම  භාගෙට කරලා  ඇදගෙන යනවා.. "

"මට සුද්දියෙක්  $ 1100ක් ගෙනැත් දුන්නා  ඊයේ.. කාලිංග  මේක  ඔයාගේ  යාළුවගේ  ලංකාවේ  වැඩ වලට  ගන්න කියලා  "

"නියමයි නේ  මචං  ගෙවල්  දෙකේ  කපරාරුවයි  .. ජනෙල්  දොරවල්  , වයරින් වැඩ  තාම තියෙනවා ඒවාට  යොදා ගනිමු."

මේ අනුව නැවත තාත්තා ඇමතු මා  රුපියල්  57000 ක පමණ මුදලකින්  චමින්ද නිවසේ මේ වැඩ කරන්න  පුළුවන් දැයි ඇසුවෙමි.

$ 1100 කතාව අපේ චමින්ද රාජපක්ෂටද  කිව්වෙමි. 

" නියමයිනේ  මචාන්හ්...  බැරිද බන් ඕකෙන් කියක් හරි  අර  ඤන් ඤඋන් ආතාලා  
වහලේ  හදවන්න  දාන්න "

චමින්දයා තවත්  මරාලයක්  මගේ ඇඟට  දැම්මේය.. ඒ හා සම්බන්ධ සිදුවීම්  වෙන බ්ලොග් පොස්ට් එකක පළකලෙමි. 

ඔක්කොම නැතත්  කාලිංග දුන් මුදලෙන් රුපියල් 10000 ක් අපේ  චමින්දයා  කිව් දෙයට යොමු කලෙමි.

ඒ අනුව H M චමින්ද  නිවසට  දෙන්නට හැකිවුයේ රුපියල්  50000 ක් පමණි. 


ඒ මුදලින් මට  අවශ්‍ය වුයේ හැකිනම් කපරාරුව සහ ජනෙල්
පමණකි.

එහෙත් තාත්තා ඒ මුදලින් වයරින් ජනෙල් සහ කපරාරු යන වැඩ තුනම  කර ගත්තේය.










  
මේ චමින්දගේ  කාමර දෙකේ  නිවසේ  අද  තත්වයයි.  

Sunday, 15 May 2016

සමන්ත විද්‍යාරත්න නම් "සොඳුරු මිනිසා "





සමන්ත විද්‍යාරත්න යන නම් මට මුලින්ම ඇසෙන්නේ 2010 මම ලංකාවට ඇවිත් අපේ මහ ගෙදර ගොස් සිටිද්දීය. ඒ වනවිට සමන්ත චන්ද්‍රිකා රජයේ සංස්කෘතික නියෝජය අමාත්‍ය ධුරය දරා අවසන් කර බදුලු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස සිටි කාලයයි . "මල්ලී සමන්ත ගැන අහලා තියෙනවද ? හරි දක්ෂ කථිකයා" සාකච්චාව ආරම්භ කලේ උග්‍ර ශ්‍රී ලංකා කාරයෙකු වූ අපේ සමරනායක අය්යාය ( අපේ අක්කගේ මහත්තයා ). "එච්චර ගානක් නෑ අය්යා . විමල් විරවංශ ගැන නම් නිතර දකිනවා " මම පිළිතුරු දුන්නෙමි. "විරවංශ කවුද සමන්තනේ කථිකයා . හරියට කරුණු කාරනා හොයලා කතා කරන්නේ . අර නිල්ගල කැලේ ගැන එයා පාර්ලිමේන්තුවේ කරපු කථාව බැලුවද මල්ලී?"


"ගහකොළ , සතා සීපාවා ගැන මාර දැනුමක් සමන්තට තියෙන්නේ "

අක්කලා අය්යා මට අපේ කථානායකයා ගැන තවත් විස්තර කරන්නට විය.
"ඒත් මිනිස්සු කියනවා සමන්තට නම් පිස්සු කියලා " අපේ අක්කා ද කතාවට එකතු වුවාය. "ඇයි ඒ..? මිනිහා මොනවද කරන පිස්සු වැඩ " මම කුතුහලයෙන් යුතුව විමසුවෙමි. 
"නියෝජ්‍ය ඇමති කෙනෙකුත් වෙලා ඉඳගෙන හවස් වෙද්දී ගමේ බෝක්කු ගානේ ඉඳගෙන ඉන්නවා කියන්නේ " . අක්කා සමන්ත මන්ත්‍රී තුමෙකුට තරම් නොවටිනා වැඩක් කිරීම ගැන අමනාපයෙන් මෙන් කීවාය.

මේ කතා බහ සිදු වී දින කිහිපයකින් අපි අපේ  ගමට ආයුබෝවන්  කියා නිම්මිලා ගමට  පැමිණියෙමු.

එහි දින කිහිපයක් ගෙවා  නැවත  ගුවන් ගත වුයේ  සමන්ත ගැන  වූ  කතා බහ ද මුළු මනින්ම  අමතක කරමිනි.

ඌවේ රිදිසීනුව  නැවත කරලියට 



එදිනෙදා විශ්ව විද්‍යාල  සිසුන්ගේ  කටයුතු  කරමින් කාලය ගෙවී  ගියේ  2014  වසරටද  ලඟා වෙමිනි.

අපේ අය්යා සමන්ත ( දැනට  අප ඉන්නා රටේ මහාචාර්ය වරයෙක් ) තමන්ගේ  මුහුණු පොතේ  සමන්ත විද්‍යා රත්නගේ   කථාවක්  පලකලේ 

 "කලකට පසු ඌවෙන් බිහිවූ  ගමට රටට හිතැති සැබෑ නායකයෙක් "  

යන හෙඩිම යටතේයි.

ඒ නිසාම මම පළමු වතාවට  සමන්තගේ කථාවකට සම්පුරණයෙන් සවන් දුන්නෙමි.

එය  තමන් උපන් ගම් පළාතේ අස්සක් මුල්ලක් නෑර  දන්නා සැබෑ ජනතා  සේවයෙකුගෙන් ඇසෙන වර්ගයේ  කථාවකි.





ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  දිස්ත්‍රික් බල මණ්ඩල ලේකම්  කෙනෙකුගේ  ( අපේ තාත්තා )  නිවසේ හැදුනු මා මෙවැනි අර්ථවත් , අපේ  පළාත ගැන සත්‍ය තත්වය මැනවින් පැහැදිලි කල කතාවක්  අසා තිබුනේ නැත.

මේ නිසාම ඒ කතාව මගේ මුහුණු පොතේ  පල කල මා තව තවත් සමන්ත විද්‍යාරත්න ගැන  සොයන්නට පෙළඹුනෙමි.

දුෂ්කර  කුඩා  කාලයක් 


සමන්තගේ  කුඩා කාලයද  අපේ  ළමා කාලය මෙන් විවිධ  දුෂ්කරතා  මද්‍යයේ   ගෙවී  ගිය එකකි.


දරුවන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා ලෙස ඔහු  උපන්නේ බදුල්ලේ තිබෙන දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් වූ  රිදීමාලියද්ද   ප්‍රදේශයේය.


වැඩිමහල්  සොහොයුරියක්  සහ බාල සොහොයුරියන් දෙදෙනෙක්  ඔහුගේ පවුලේ සිටි අනෙක්  සාමාජිකාවෝ  වුහ.

ඔහු ඉතා කුඩා කාලයේදී  ඔවුන්ගේ පියාණන්  මිය පරළොව ගොස් තිබේ.  ඒත් සමගම සමන්තලාගේ  දුෂ්කර ක්‍රියා කාලය ආරම්භ වී ඇත. 

පියා නැති දරුවන් හතර දෙනෙක් රක්ෂා කිරීම වෙනුවෙන්  සටනට බට තම මෑණියන්ට  සවියක් වන්නට ඔහු තීරණය කළේය.

අම්මා සමග අඳ කුඹුරේ වැඩ කළේය. හේන් කෙටුවේය.  අම්මා සමග ගඩොල් කපා විකුණුවේය.

තම සොහොයුරියන්ගේ සහ තමාගේ අධ්‍යාපනය වෙනුවෙන්  නොවිනිදිනා දුක් විඳිමින් වැඩ කළේය..


ගමේ පාසලෙන්  අධ්‍යාපනය  ලබා  විශ්ව විද්‍යාලයට  ගියේය.  උපාධියක් ලබා නැවතත්  ගමට පැමිණ එහි පාසැලක සේවය කළේය.  

පසුව දේශපාලනයට  පිවිසි ඔහු දෙදහස් පහ මහා මැතිවරණයේ  බදුලු දිස්ත්‍රික්කයේ  වැඩිම  මනාප චන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට  ගියේය. 

ඒ  රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් සමග එකඟතාවයකින් පිහිට වූ සන්ධානයකින්  චන්දයට  මුහුණ දෙමිනි. 

එදා එසේ නියෝජ්‍ය ඇමතිකම් පවා ලැබුවද  ඔහු අදටත්  එදා මෙන් සරල මිනිසෙක් ලෙස ජිවත් වෙයි. 



ඔහු තෝරා ගත් දේශපාලන ගමන් මග වෙනම දෙයකි.


මා කතා කරන්නේ සමන්ත විද්‍යාරත්න නම් සොඳුරු මිනිසා ගැන පමණි. 

සමන්ත ගැන මේ  පොස්ට් එක ලියන්න හිතුනේ  මෑතකදී  ජාතික රුපවාහිනියේ   විකාශනය  වූ අව්‍යාජ  සම්මුඛ සාකච්චාවක්.

 එහි සිටි කලාකරුවා ජයලාල්  රෝහණ  තමාගේ කුඩා කාලය ගැන කල හෙළිදරව්ව  මගේ හිත අපෙත්, සමන්තලා වැනි දේශපලනයේ දී  කලාතුරකින්  හමුවන අව්‍යාජ  මිනිසුන්ගේත්  අතීතයට  ගෙන යන්නට හේතු වුනා. 


මෙය දෙස පක්ෂ දේශපාලනයට  ආවේණික වූ  පාට කන්නාඩි වලින් නොබලා  ඉතිරි  කොටසට  සුදානම්  වන්න.....

Saturday, 7 May 2016

රබන් සුරල්




පසුගියදා අපේ අක්කගේ පුතා එවූ දියතලාවේ අවුරුදු උත්සවයක  රබන් වයන දර්ශනයක් දැක මෙය ලියන්නට සිත් විය .



ඒ කාලේ අපේ ගමට අවුරුදු උදාවන්නේ ගමේ දෙපැත්තේ ඇති ගෙවල් දෙකකින්  තරඟයට කෙරෙන රබන්  වැයිම් හඬත් සමගිනි.

"දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත - පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත."

අපේ ගෙට සමාන්තර  එගොඩ ගොඩේ කඳු මුදුනක පිහිටි ලැයිමේ ගෙදරින් ඇසේ.


"එගොඩ ගොඩෙත්  රත්තරං - මෙගොඩ ගොඩෙත් රත්තරං

එගොඩ ගොඩෙත්  මෙගොඩ ගොඩෙත් -ඇතෙක් බරට රත්තරං"

පිළිතුරු රබන් පදේ වයන්නේ ගමේ පල්ලැහැ  පැත්තට වන්නට අනෙක් පස කඳු බැවුමක පිහිටි  ටේලර් මාමලා ගෙදර රබානෙනි.



"උඩින්  උඩින් වර පෙත්තප්පු - බිමින් බිමින් වර පෙත්තප්පු

උඩින් උඩින් වර බිමින් බිමින් වර - කැවුම් කන්න වර පෙත්තප්පු "


තවත් අලුත් පදයක්  ලැයිමේ ගෙදර රබන්  වාදනයට එකතු වේ .


"තෙලෙන් බැද්දත්  කොබෙය්යා- කිරෙන් බැද්දත්  කොබෙය්යා

තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් - කොහොම බැද්දත් කොබෙය්යා "

ටේලර් ගෙදර පැත්තේ  හඬ වෙනස් වන්නේ  මේ තාලය ටය.



"පිලවක්කන් කැත්ත දොදොන් - පිලවටකර  කැත්ත දොදොන්

"රාන් රූන්  කැත්ත දොදෙන් - රාන් රූන්  කැත්ත දොදෙන්"

නව තාලයකින්  ලැයිමේ ගෙදර කට්ටිය රබාන ට  තඩි බාති.



"කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා

පුංචි ළමයි ගමට යන්න ඇඳුම් අඳිනවා - තකදොන් ඇඳුම් අඳිනවා "

මෙවැනි තාලයක් මල්දෙණිය - කිරඹ ඔය වා තලයට මුසු වන්නේ  ටේලර් මාමලා ගෙදර පැත්තෙන්ය.


"රන් රඹුටන් ගස්‌ දෙකයි  - වළිකුකුළන් පස්‌දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි -  බලන්න හරි ලස්‌සනයි"



බක් මාසේ මුල්ම දින කිහිපයේ අපි උදෑසන මුහුණ හෝදන්නේ මෙවැනි තාල වලට ඇහුම්කන්  දෙමිනි.

මේ මට මතක ඇති රබන් පද ටිකයි . මීට වඩා ගොඩක් වෙනස්  තාල  මේ රබන් සුරල් තරඟයේ  තිබුනා යැයි මට සිතේ.

ප. ලි..  ඔබ අසා ඇති රබන් පද  මෙහි සටහන් කළහොත් මගේ මතකයද  අලුත් කර ගත හැකිය..