Follow by Email

Friday, 20 May 2016

අය්යෝ එයා මන්ත්‍රී කෙනෙක්ද?



ඌව පළාතේ   පළාත් සභා මන්ත්‍රී  සමන්ත විද්‍යාරත්න ඉතා  සොඳුරු  ගති ගුණ ඇති මිනිසෙක් බව  අප පසුගියදා  සඳහන්  කළෙමු.

ඒ  හා සම්බන්ධ  බ්ලොග් පෝස්ටුව සහ  ඒ  උසස් මානුෂිය  ගති ගැන කෙරුණු කතිකාව මෙතනින්  බලන්න .

සමන්ත අපේ ගම් පළාතට පැමිණි අවස්ථා තුනක් මෙහි සඳහන් කරන්නට සිතුවෙමි.

ඒ ඔහුගේ යහපත්  ගති ගුණ ගැන තව දුරටත් දැන ගත හැකි නිසාත්  ඔහු ගේ පුද්ගල  සම්බන්දතා  වලදී  හැසිරෙන ආකාරය පිලිබඳ   සාකච්චා කිරිමත්  සඳහාය.

සමන්ත මුලින්ම අපේ ගමට එන්නේ   අහම්බෙනි. එය  කිසිවෙකුගේ හෝ කිසියම් කණ්ඩායමක  බලපෑමක් නිසා සිදුවූවක්  නොවේ .

අසළ ප්‍රදේශයක රැස්වීමකට පැමිණි  ඔහු අපේ දැන හැඳුනුම් කම් ( මුහුණු පොතේ )  නිසා අම්මාටත් තාත්තාටත් කතා කරන්නට අපේ නිවසට පැමිණේ.

ඒ ඉතා කාර්ය බහුල මොහොතක  රැස්වීම් දෙකක් අතර තිබු මද විරාමයකදීය.

ඔහු පැමිණ ගොස් දින කිහිපයකට පසු මට ලැබුණු ස්කයිප්  ඇමතුමකි.

"චුටි පුතාට  ගන්න බැලුවා බැලුවා කෝ බැරි වුනානේ  පහුගිය දවස් ටිකේ "

අපේ තාත්තා  එහා පැත්තේ සිට මට පවසයි.

"පොඩ්ඩක් වැඩ තිබුනා පහුගිය ටිකේ . මොකද වෙන්නේ ඔය පැත්තේ ? "

"ඔයා දන්නා කෙනෙක් ඇවිල්ලා ගියා ඊයේ පෙරේදා "


"සමන්ත විද්‍යාරත්න  . පළාත් සභා වේ ඉන්නේ , එයා "

"කොහොමද මනුස්සයා? මොකෝ හදිස්සියේ ඇවිත් තියෙන්නේ  ?"

" ළඟ තැනකට ආපු ගමන් ආවා කිව්වා . ගෙදර ලඟට ඇවිල්ලා කෝල් එකක් දෙනකන්  අපි දන්නේ නෑ .

මහා ගොඩක් එක්ක  නෙවෙයි. එයයි  ඩ්‍රයිවර් කෙනෙකුයි විතරයි ආවේ.

මේ මන්ත්‍රී කෙනෙක්ද කියලා හිතා ගන්නවත් බැරි තරම් .

බොඩිගාඩ් ලා අරගොල්ලෝ මේ ගොල්ලෝ කවුරුත් නෑ.

වාහනේ  රතුකොඩි  බැනර් මොකුත් තිබ්බෙත් නෑ .

අම්මේ ..තාත්තේ  කියලා තමයි අපිට කතා කරේ "

මෙන්න අම්ම ඉන්නවා . කතා කරන්න ඕනෑලු.

"කොහොමද අම්මා  සමන්ත මොකද කිව්වේ ?"

"සමන්ත හරි හොඳ ළමයෙක් නේ පුතා . ගෙට ආපු ගමන්ම අපි දෙන්නට දන ගහලා වැන්දා.

මම හිතන් හිටියේ  ඔය ටී. වී . එකේ එහෙම සද්ද කරන හැටියට මහා සැර පරුෂ කෙනෙක් කියලා .



සෑහෙන වෙලාවක් කතා කර කර ඉඳලා ගියා.  තේ එකක් බිව්වා .

බත් කාලා යන්න ඉන්න බෑ කිව්වා . තව රැස්වීමකට  යන්න ඕනි කියලා ".

"ඉතින් අම්මා මොනාද  කතා කරේ?"

"මට ඇත්තටම  කඳුළු ආවා ඒ  ළමය  දණගහල  වඳින කොට .  මම සේරම කිව්වා . "

"සේරම කිව්වේ. ?"

" ඒ  කාලේ අපි ඔය දෙන්නා බේර ගන්න විඳපු කරදර .

ඔයාගේ පන්තියේ යාළුවෝ නිසා ඔයා  කරදරේ වැටෙන්න ගියහැටි .

කැම්පස් වහලා තියෙද්දී  අය්යා   වතු කුඹුරු  වලට වෙලා හිටපු හැටි ...ඔක්කොම.. "

" ඉතින්  මිනිහා මොකද කිව්වේ ?  "

"දුක් වෙන්න  එපා අම්මේ . පුතාලා දෙන්නා දැන් හොඳ තැන්වල  ඉන්නවනේ ? .

මට දැනගන්න ලැබුණු හැටියට  එයාලා ගමට රටටත්  සෑහෙන්න උදව් කරන කට්ටිය  වගේ "  කියලා කිව්වා.

"හරි හොඳ ළමයෙක් . අපේ මිනිස්සු එයාට චන්දෙ දෙන්නේ නැත්තේ ඇයි කියලා මට හිතා ගන්න බෑ ".

අම්මා සමන්තගේ පැත්තට හැරෙන්න ගතවී ඇත්තේ පැය කිහිපයක් පමණි.

"ඒක නෙවෙයි  චුටි පුතා . අර  කළුලා ගේ හදන එක ගැනත් එයා දන්නවා  .

ඔයාගේ  ෆේස් බුක් එකේ පින්තූර දකිනවා කිව්වා.

 ඒ ගැන පළාත් සභා අරමුදලෙන් මොනවා හරි කරන්න බලන්නම්  කිව්වා .

ආයි  මේ පැත්තේ  ආපු වෙලාවක ඇවිත් යන්න එන්නම් කියලා තමයි ගියේ "

ඒ සමන්ත  අපේ ගෙදරට පැමිණි මුල්ම අවස්ථාවේ  1956  සිට  ශ්‍රී  ලංකා නිදහස්  පාක්ෂිකයෙක් වූ  අපේ තාත්තා  සහ  විවාහයෙන් පසු ඔහුගේ පක්ෂයට එකතු වූ  , කලින්  යුඇන්පී කාරියක් වූ  අපේ  අම්මා  ඔහුගේ වසඟයට  ගත්  ආකාරයයි.


දෙවැනි ගමන 


සමන්ත  දෙවන වතාවට  අපේ ගමට එන්නේ   2015  අවුරුද්දේ අග භාගයේදීය.

  ඒ  ඔහු පාර්ලිමේන්තු මැතිවරණය දිනනු ඇතැයි  බොහෝ අනාවැකි පලවී තිබු කාලයකට  පසුවයි.

සමන්ත    බදුල්ල දිස්ත්‍රික්කයෙන්  ලබාගත්තේ  චන්ද  21445  පමණි .  

ඒ අනුව  මේ  දෙවැනි ගමන සිදුවන්නේ ජන්ද  පරාජයට  පත් වීමෙන්  පසුවයි. 


මේ වන විට  අප සහ  මා මිත්‍ර  චමින්ද රාජපක්ෂ  එකතු වී  ආරම්භ කල අපේ ගමේ  නැති බැරි පවුල් වලට  උපකාර කිරීමේ  වැඩ සටහන සැහෙන්න ඉදිරියට ගොස් තිබිණි.

ඒ  යටතේ ඉදිකළ   පළමු නිවසට  ඉඩම ලබා දුන්නේ චමින්ද විසිනි  .  

අවශ්ය මුදල් ප්‍රතිපාදන සොයාගැනුනේ  මගේ සහ  මගේ මුහුණුපොතේ මිතුරන් ගේ දායකත්වයෙනි. 

මෙහි ප්‍රගතිය දෙස නිහඬව බලා සිටි සමන්ත ඔහුගේ පළාත් සභා ප්‍රතිපාදන වලින්  රුපියල් 30000 ක් කළු සහ ප්‍රියන්තගේ  නිවසට  වෙන් කරදුන්නේය.

සමන්ත දෙවැනි වතාවට කිරඹඔයට ආවේ කළුලා  ගෙදරට ගොඩවී කතා කර යන්නටයි.

ඒ වනවිට  කළුලා නව නිවසේ පදිංචියට  ගොස්  මාස තුනක් පමණ ගත වී තිබිණි.


සමන්ත පැමිණ ගිය පසු මට කතා කලේ ප්‍රියන්ත ඇලෙක්සැන්ඩර්  ( කළුගේ මහත්තයා ) විසිනි.

"හලෝ  මාමා කොහොමද වැඩද?  කතා කරතහැකිද? " ...

(ඇලෙක්ස් අපට මාමා යැයි කියන්නේ නෑදෑ  කමක් නිසා නොව  ගමේ කමට කළු අපට මාමා කියන බැවිනි .

ඇත්තටම කියනවා නම් මා සමන්ත හා ඇලෙක්ස් අතර ඇත්තේ අවුරුදු දෙක තුනක වයස් පරතරයකි)


"කොහොමද ඇලෙක්ස්?   නෑ නෑ  කතා කරතහැකියි."

" ඊයේ සමන්ත මහත්තයා ආවනේ අපේ ගෙදර බලන්න  .  ෂා හරි ශෝක් මනුස්සයා. හරි සන්තෝෂයි  ගේ  දැකලා ."

"මොනවද කිව්වේ මෑන්ස් ? "

"චමින්ද මහත්තයගෙයි  ඔයාගෙයි  හොඳ කියලා ගියා . මේ වගේ වැඩක් කරන්න හිතුන එක ගැන. "

"අපේ ගෙදරින් තේ එකක් එහෙම බිලා ගියා. ඒ  වුනාට මට සමන්ත මහත්තයා ගියාට  පස්සේ හරි  දුකක් ඇති වුනා "

"ඒ   කිව්වේ ? "

" එයා ආවේ ත්‍රී වීලර්  එකක. එකෙන් බැහැලා  අපේ ගෙදරට එන අඩිපාරේ එනකොට  පල්ලැහැ ගෙදර රාළහාමි  අය්යා දැකලා එයාටත් කතා කරා අපි "

"ඉතින් ?"

"හවස රාළහාමි අය්යා මගෙන් අහනවා .. කවුද අද  උදේ එහෙ ආවේ හොඳට දැකලා පුරුදු  කෙනෙක්? කියලා  "
"මම කිව්වා ඒ තමයි පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න  කියලා "

"ඒ  පාර එයා කියනවා  .. අය්යෝ ඒ  මන්ත්‍රී කෙනෙක්ද  ? ඉතින් එයා ආවේ ත්‍රී විල් එකක නේ ? කෝ  බොඩි ගාඩ් ලා එහෙම හිටියෙත් නෑ නේ....  කියලා "

"මම නම් කියන්නේ  සමන්ත මහත්තයටත් තියෙන්නේ ලොකු කැබ් එකක් අරන්  හොඳට සැන් පවුඩර් එහෙම දාලා ගම් වලට එන්න නැතිනම් මිනිස්සු ගණන් ගන්නේ නෑ ."

"ගණන් ගන්න එපා ඇලෙක්ස්  අපි දන්නවා නේ  මනුස්සය කවුද කියලා .

අනිත් අයත් කවදා හරි තේරුම් ගනීවි එයා හොඳ මනුස්සයෙක් බව .."

මම ඇලෙක්ස්ව සනසාලුවේ  ඔහුගේ නිවසට දුන් වහලයේ අගයත්  ත්‍රී විල් ගමනින් අඩු විය හැකි බව නොදැනම නොවේ.

සෝමේ  අය්යා  හොඳ  යුඇන්පී කාරයෙක් නිසා  කළුලාද චන්දය දෙන්නේ යුඇන්පී යටයි.  එය  මේ  මහමැතිවරණයටත් එසේ වන්නට ඇතැයි මම සිතමි.

සෝමේ අය්යාගේ  බෑණාවන ඇලෙක්ස් නම්  සමන්ත ගැන පැහැදීමකින් කතා කරයි.


එය හුදු රසිකත්වයක්ද  එසේ නැතිනම්  චන්දයක් දෙන තරමටම ඇති පැහැදීමක් ද යන්න හරියටම දන්නේ ඇලෙක්ස් ම පමණි.

 සමන්ත මන්ත්‍රී කෙනෙක් වූ හැටි 




කළුලා ගෙදර වැඩ භාගයට  සම්පුර්ණ වෙද්දී අපේ තාත්තා තවත් කෙනෙක් ගේ ගෙවල්  හැදීමක්  මා කර මත පැටවීය. 

ඒ  අසල ඇති ආණ්ඩුවේ  තේ වත්තේ කම්කරුවෙකු වන චමින්දගේ  නිවසයි .

චමින්දත් ඇලෙක්ස්  මෙන්ම දරුවන් තිදෙනෙකු ගේ පියෙකි.

මම නැවතත් මගේ මුහුණු පොතේ මිතුරන්ගෙන් උදව් ඉල්ලා සිටියෙමි .

ඒ චමින්ද සහ  ද්‍රවිඩ කාන්තාවක් වූ ඔහුගේ බිරිඳගේ අදායම් නිවසක් තැනීමට තරම් ප්‍රමාණවත් නැති බව කියාපාමිනි.

කළුලට තරම් නැති වුනත් චමින්දලාටත්  අපේ හිතවතුන්  ඇති හැකි පමණින් උදව් කළහ.

නැවතත් සමන්ත  අපේ වැඩ ගැන මුහුණු පොතෙන් බලා සිටියේය.

අපේ වැඩ ගැන යම් අවබෝධයකින් සිටි ඔහු චමින්දගේ නිවසට  සම්බන්ධ කරගන්නේ  අපේ තාත්තා විසිනි.

ඒ ඉතා පටු ඉඩ කොටසක  ( රජයේ තේ වත්ත අයිනේ) තැනෙන  චමින්දගේ නිවසට බාධකයක් ලෙස තිබෙන  විදුලි පහන් කණුවක් ඉවත් කර ගැනීමටයි.

එය බැලීමට චමින්දගේ නිවස ගොඩනැගෙන  තැනට සමන්ත  පැමිණ ගිය බව පැවසුයේ අපේ තාත්තා විසිනි.

පසුකාලීනව සමන්ත මේ වෙනුවන්  ඉතා වෙහෙසුන බව මා දැනගත්තේ ද තාත්තා මගිනි. 

අනෙක් මිනිසුන්ට මන්ත්‍රී කෙනෙක් ලෙස නොපෙනුන සමන්ත අපේ තාත්තා මන්ත්‍රී කෙනෙක් බවට පත් කලේ මේ ලයිට් කණු සිද්ධියත්  සමගය.

මෙහිදී චමින්දගේ දේශපාලනය ගැන සඳහන් නොකලොත් එය මේ කතාවට කරන්නේ බලවත් හානියකි.

චමින්ද යනු ඌව පළාත් වත්මන් මහා ඇමති තුමා ගේ සුවච කීකරු ගෝලයෙකි.

චමින්ද වත්තේ  කම්කරුවන් රැසක් එකතු කරගෙන මහා ඇමති තුමාට පක්ෂපාත  සමිතියක් ගොඩ නගා ගෙන තිබේ .

එහි "තලෙවර් " නොහොත් සභාපති  ලෙස තවමත් කටයුතු කරන්නේ චමින්දමය.

එහෙත් මේ කිසිවක් සමන්තට තම උදව් උපකාර වලට ගැටළුවක් වුයේ නැත.

ඔහු ඉතා ඕනෑ කමෙන් තම ප්‍රතිවාදියා ගේ සමිති ශාඛාවේ තලවර්ට උදව් කළේය.

මේ වනවිට  කළුලගේ මෙන්ම චමින්දලාගේද නිවාස වල වැඩ නිමවී තිබේ. 

මෙහි සඳහන් කල අපේ ගමේ චරිත අතරින් සමන්තට 2015 මහා මැතිවරණයෙදී  චන්දය දුන්නා යැයි මට සැකයක් නැතිවම සහතික විය හැක්කේ අපේ අම්මා ගැන පමණි. 

අනෙක් සියල්ලෝ තම තම  පැරණි සම්බන්ධකම් මත තම කැමැත්ත පල කල බව මගේ විශ්වාසයයි.

සමන්ත සොඳුරු මිනිසෙක් යැයි මා කියන්නේද ඒ නිසාමය.

ඔහු අප කල  ප්‍රජා සත්කාර ගැන සතුටු වී  ඔහුට හැකි පමණින්ඒවාට  සහය වුවා මිස කිසිම දේශපාලන වාසියක් බලාපොරොත්තු වුයේ නැත.





34 comments:

  1. \"මම නම් කියන්නේ සමන්ත මහත්තයටත් තියෙන්නේ ලොකු කැබ් එකක් අරන් හොඳට සැන් පවුඩර් එහෙම දාලා ගම් වලට එන්න නැතිනම් මිනිස්සු ගණන් ගන්නේ නෑ ."
    \ ඔය කියල තියෙන්නෙ ඇත්ත. බදුල්ලේ වතුවලට අරක්ගත් එක දේසපාලඥක්ඥයෙක් ඉන්නවා. මිනිහා කටවුට් ගහන්නෙ කිරිබත් කැටේ හැඩේට. ඉරට මැද්දෙං තමුංගෙ මූන දාලා. ආං උන්නැහැ ගාව වැඩකරන එකෙක් මට මෙහෙම කිව්වා.

    "වත්තකට යනකොට කැබ් පහක්වත් නැතුව යන්න නරකයි. පාරෙ දූවිලි අවුස්සගෙන පුලුවං වේගෙං යන්න ඕන. එතන ගිහිං නවත්තන විදිහකුත් තියෙනව. බොස්ගෙ වාහනේට දෙපැත්තෙං ඒ පැත්තට හරවලා එක ක්‍රමයක් තියෙනව ආං ඒ හැඩේට ගහන්න ඕන. දෙමල චිත්‍රපටිවල තියෙන්නෙ, ආං ඒ ක්‍රමේට. එතකොට තමයි සට සට ගාලා චංද වැටෙන්නෙ."

    /"මට ඇත්තටම කඳුළු ආවා ඒ ළමය දණගහල වඳින කොට . මම සේරම කිව්වා . "

    "සේරම කිව්වේ. ?"

    " ඒ කාලේ අපි ඔය දෙන්නා බේර ගන්න විඳපු කරදර .

    ඔයාගේ පන්තියේ යාළුවෝ නිසා ඔයා කරදරේ වැටෙන්න ගියහැටි .

    කැම්පස් වහලා තියෙද්දී අය්යා වතු කුඹුරු වලට වෙලා හිටපු හැටි ...ඔක්කොම.. "/ජේ.වී.පී ගැන මිනිස්සුංගෙ හිතේ තියෙන දේ අම්මා කියලා තියෙනව මෙතන. මේං මේ බය මිනිස්සුංගෙ හිතේ තිබෙන තුරු ජේ.වී.පී එකට ඡංදෙ ගන්නවා බොරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග..

      //ජේ.වී.පී ගැන මිනිස්සුංගෙ හිතේ තියෙන දේ අම්මා කියලා තියෙනව මෙතන. මේං මේ බය මිනිස්සුංගෙ හිතේ තිබෙන තුරු ජේ.වී.පී එකට ඡංදෙ ගන්නවා බොරුයි. //

      බය මිනිස්සුන්ට අපේ අම්මගෙන්ම තමයි ආදර්ශයක් ගන්න තියෙන්නේ. එයා සමන්තගේ චන්ද දායිකාවක් වුණේ ඒවා ගැන දැනුවත්වම තමයි.. අපේ මිනිස්සු අතීතයට වුනත් යන්නේ වාසියට මිසක් ඇත්තටම හිතට එකඟව නෙවෙයි. අතීතයයි වර්තමානයයි කල්පනාවෙන් හා කරොත් තේරෙනවා සමන්ත ඉන්න ජ.වී . පෙ කවදාවත් රට 1989 කට හෝ 71 කට ගෙනියන්නේ නෑ කියලා. මම හිතන හැටියට ඒකම තමයි පෙරටුගාමී කියලා එකක් කැඩිලා යන්න හේතුව ( පරණ ජවිපෙ ගති එහෙම්මම තියෙන්නේ එයාලා ළඟ )

      Delete
    2. මේක බොරු හේතුවක්.චන්දය නොදෙන ඇත්තම හේතුවේ ලැජ්ජාවෙන් හැංගෙන්න හදාගත්ත හේතුවක් මේක.මොකද දන්නවද, මිනිස්සුන්ට අවුරුදු 27ක අමිහිරි අතීතයක් මතක තිබිල පැය 24ක අතීතයක් අමතකවෙන්න විදියක් නෑ. මොකද ජවිපෙ ඒ අමිහිරි අතීතෙ සදහටම වළදාල අවුරුදු 27ක් ගෙවිලා.අද වෙනතුරු නියපිටින් හානියක් කරල නෑ මේ රටට.ඒත් මිනිස්සු ඒ අතීතෙ විතරක් මතක තියාගෙන 48 ඉඳල මේ ගෙවෙන තත්පරෙ දක්වා නොකඩවා අරන් එන යූ එන් පී, ශ්‍රී ලංකා භිෂණය අමතකකලා වෙන්න බෑ මිනිස්සු.

      Delete
    3. ස්තුතියි මනොෂ්

      //මොකද ජවිපෙ ඒ අමිහිරි අතීතෙ සදහටම වළදාල අවුරුදු 27ක් ගෙවිලා.අද වෙනතුරු නියපිටින් හානියක් කරල නෑ මේ රටට.//
      මේ කාරණය ඉස්මතු කෙරෙනවා මදී ඔය අමිහිරි අතීත කතාව කියන වෙලාවල් වල.. මට ලඟදි මතක් වුනා ඒ අතීත කාලෙම ආණ්ඩුව පැත්තේ හිටපු මන්ත්රිකෙනෙක් ( රතන්පුර පැත්තේ ) වෙද සිසු ත්‍රිමාවිතාන ගේ ඔළුවට පරාල ඇණ ගහලා මහා පාරේ ඇදගෙන ගිහින් මරා දැමුවා.. ඒ තැනැත්තා තවමත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිකමක් එහෙම කරගෙන ඉන්නවා නේද? ඒ භීෂණ සමයේ එහෙම පැත්තකුත් තිබුන බව තමයි අපට නම් මතක

      Delete
  2. හුඟ දවසකින් ආවේ ..පරණ ලිපි දෙක තුනක්ම මග ඇරිලා කියෝලා එන්නම්

    ReplyDelete
  3. ස්තුතියි.... බලලා ගුණ අගුණ කියන්න....

    ReplyDelete
  4. සෑම දේශපාලන පක්ෂයකම, හොඳ අවංක මන්ත්‍රීවරු සිටිති. ඒ අතරින් ජවිපෙ මන්ත්‍රීන් සහ ක්‍රියාකාරීන් වැඩි දෙනෙක් හොඳ අවංක අයයි. 1970 දී මා ජවිපෙට බැඳී වැඩකරද්දී, එක්තරා අන්ධ භක්තියකින් ජවිපෙ ඇදහූ බව, අද මට ලැජ්ජාවෙන් යුතුව පසක්වේ.

    ජවිපෙට අද සිදුවී තිබෙන්නේ මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්නාසුළු දර්ශනයක් ඉදිරිපත් කරන්නට අපොහොසත් වීමයි. පළමුව එය ජයගතහොත්, ජවිපෙට රාජ්‍ය බලය හිමිකරගැනීමට හැකිවනු ඇත.

    ReplyDelete
    Replies
    1. //සෑම දේශපාලන පක්ෂයකම, හොඳ අවංක මන්ත්‍රීවරු සිටිති. ඒ අතරින් ජවිපෙ මන්ත්‍රීන් සහ ක්‍රියාකාරීන් වැඩි දෙනෙක් හොඳ අවංක අයයි// අපි ඇත්ත ඇති හැටියට දකිනවා නම් මේක තමයි වර්තමාන ලංකාවේ තත්වය.. //ජවිපෙට අද සිදුවී තිබෙන්නේ මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්නාසුළු දර්ශනයක් ඉදිරිපත් කරන්නට අපොහොසත් වීමයි// දැන් තියෙන තත්වය අනුව ජනතාවගේ සිත් දිනා ගන්න හරි අමාරුයි තමයි. ගොඩක් දෙනා ඉතා ළඟ වාසිය බලලානේ තීරණ ගන්නේ.. "දුවට රස්සාවක්, පුතාට ඉස්කෝලයක් , ටකරන් ටිකක් , ගෙදරට පාර .. ඒ හැමදේම බලාගෙන තමයි චන්දෙට යන්නේ "

      Delete
    2. විචාරක Wicharaka,

      සමන්ත කියන්නේ ඉතා නොද මහත්මයෙක් මේවගේ ය හැම පක්ෂයකම වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා.
      ජනතා විමුක්ති පෙරමුණට චන්දය දෙන්නේ නැති වීමට හේතු තියනවා මිනිසුන්ට මතකයි ඔවුන් මල මිනියෙන් පවා පලිගත්ත බව,
      මට මතක්වෙනවා බදුල්ල ප්‍රදේශයේ රජයේ සේවකයකුට වැඩට යන්න එපා කියල ජනතාවිමුක්ති පෙරමුණ කිව්වා, අවාසනාවකට මේ මනුස්සය වැඩට ගියා සිදුවුනේ ඔහුට වෙඩිතබා මරා දැමීමයි, පලිගැනීම එතනින් ඉවර උනේ නෑ ඔහුව පෙට්ටියක නොදමා වලදාන්න කියල කිව්වා ගෙදර මිනිසුන් එහෙම කලේ නෑ, බුමදානයෙන් සතියකින් පසු ගෙදර මිදුලේ තිබුනේ තම පියාගේ දේහයේ කොටස් බව දරුවන් ට දැකීමට සැලසීමයි.

      අවසානයේ ඕජස් ගලන ශරීර කොටස් ඔවුන්ට පොලිතින්වලින් ඔතා වලලන්න සිදුවුනා.

      මෙවැනි කෘර මිනිසුන් ගෙන් බහුතරයක් තමයි මේ පක්ෂයේ සිටින්නේ. ඔවුන්ට ආර්ථිකය මෙහෙයවීමට නිසි දැනුම නෑ , මෙතක් රට දියුණු කිරීමට අදාළ සැලසුමක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකිවී නෑ. යම් විදියකින් ඔවුන් බලයට පැමිණි විට වෙන්නේ ලෝකයත් සමග ගනුදෙනු කිරීමට නොහැකි කම නිසා අවසානයේ ලෝකයෙන් කොන් වී ආර්ථිකය ගොඩනැගීමට සිදුවීමයි, මේ දේවල් ලෝකයේ සිදුවී තියනවා කම්බෝජියාවේ පොල් පොට් පාලනය තුල මෙයයි සිදුවුනේ.

      මෙනිසා මෙය මතක මිනිසුන් සිටිනා තුරා ජනතා විමුක්ති පෙරමුණ කිසිදා බලය නොගනී.

      රටේ මුලික පක්ෂ 2 ඉතා දුෂිත බව ඇත්ත නමුත් මේ ජනතා විමුක්ති පෙරමුණත් ඉතා දුෂිතයි. පසුගියදා අයර්ලන්තයේ පක්ෂ ක්ර්යාලයක් පිහිටවපු ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තා අයර්ලන්තයේ සිටින්නේ නොසලාකා හරියහැකි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව. මෙහි තියෙන්නේ ඩීල් දෙසපලනයක්, සමන්ත විදාර්ත්න වැනි මිනිසුන් මේ කැත දෙසපාලනයේ ලස්සන සැරසිලි විතරයි.

      Delete
    3. මේ පක්ෂයේ මිනිසුන් කොච්චර කෘර උනත් ඉතා සංවේදී කරුණු ප්‍රකාශ කිරීමට හරිම දක්ෂයි, මේ ලගදි නවක වදය ගැන කුරුටුගෑ ගිපවුරේ මේගැන නැවත මත්ක්කලා. ඔවුන් කොච්චර සංවේදී උනත් ඇතුලින් සිටින්නේ නොහික්මුණු මිනීමරුවන් පිරිසක්. නිසි ආර්ථික ක්‍රමයක් නැති රටක මේ මිනීමරු චරිතය රගපාන්න වැඩි ඈත යන්නේ නෑ

      Delete
    4. kawindu jayasinghe,

      මටත් හිතෙන්නේ මේ පළමු වතාව කියල මම මේකේ කොමෙන්ටුවක් දමන නමුත් මම මෙහි ලිපි කියලාව තියනවා.

      ඔබකියන දේ සමන්ත විද්‍යාරත්න කියන මහත්මය සම්බන්දයෙන් නම් නිවැරදියි.
      නමුත් මේ වැදගත් මිනිසුන් මර්කෙට් කරන පක්ෂය ගැනනම් මගේ විශ්වාසයක් නෑ.

      මගේ විතරක් නෙමෙයි මේ රටේ මිනිසුන් බහුතරයක් විශ්වාස කරන්නේ නෑ, මෙය මිනිසුන්ගේ මෝඩකම කියන පිරිසක් ඉන්නවා තව කියනවා "1989 කාලේ ගියානේ දැන් මේ අය හරිම ප්‍රගතශීලි" වගේ කතා කියනවා නමුත් ඇත්ත තත්වය බලන්න පුළුවන් මොවුන්ට බලය ලැබෙන තැන් වල හැසිරින විදියට එතැනදී සරසවියේ නවකවදය දෙන අයගේ මානසිකත්වය බැලුවහම 1989 න් පසු කිසිම වෙනස් වීමක් වී නෑ https://transyl2014.blogspot.com/2016/05/blog-post_20.html?showComment=1463806784733#c7578792632963411764

      දොස්තර රුවන් මහතා පෙන්වා දෙන මේ තත්වය බලන්න අදත් මේ පිරිස් විවිර්තව අනුන් ගේ අදහස් පිලිගන්නවට වඩා තමමතය බලෙන් සමාජ ගත කිරීමයි වෙන්නේ. කලයුත්තේ බලෙන් කිරීම නෙමෙයි ඔවුන්ට ඉතා අනර්ග ප්‍රටිහ්පත්තියක් තියනවනම් ඔවුන්ට වැඩි බලයක් ඇති ස්ථාන වල මේවා විද්‍යාමාන වෙන්න ඕනේ.

      Delete
    5. ලංකා සිතුවිලි මේ පැත්තේ ප්‍රථම වතාවටයි දැක්කේ. ඔබ මේ ඉහලින් ලියා අතිදෙය පවසා ඇත්තේ විචාරකට බවයි පෙනෙන්නේ . ඊට අමතරව මෙහි අදහස් නොදැක්වූ තුන්වැනි පාර්ශවයක් ගැනත් සඳහනක් පෙනෙනවා. ඒ අයට මෙහි දැක්වෙන අදහස් නොපෙනෙන නිසා එසේ අදහස් දැක්වීම වැරදියි. මමනම් මෙහි ලියා ඇත්තේ සමන්ත විද්‍යාරත්න ගැන පුද්ගලයෙක් ලෙස දැනගත්/අත්විදි කරුණු මිස ජනතා විමුක්ති පෙරමුණ ගැන නෙවෙයි.

      Delete
    6. //ඊට අමතරව මෙහි අදහස් නොදැක්වූ තුන්වැනි පාර්ශවයක් ගැනත් සඳහනක් පෙනෙනවා. ඒ අයට මෙහි දැක්වෙන අදහස් නොපෙනෙන නිසා එසේ අදහස් දැක්වීම වැරදියි.//

      ඒ අය බ්ලොග් කියවන්නේ නැද්ද ? මේක පුද්ගලික විශේෂ පිරිසකට පමණක් අදහස් දක්වන්න පුළුවන් අඩවියක් නම් ඔබ කියන දේ නිවැරදියි නමුත් ඕනෑම කෙනෙකුට පසුව හෝ මිට අදහස් දක්වන්න පුළුවනි

      Delete
    7. මේ අදහස මේ බ්ලොග් පොස්ට් දෙකටම අදාලව මගේ පුද්ගලික අදහසයි ...//සමන්ත දේශපාලනයට තෝරාගෙන තියෙන්නේ ජ වී පෙ. හැබැයි අපිට විශ්ව විද්‍යාලේදී හෝ බොහෝවිට කාර්යාලයක සේවකයෙක් ලෙස හෝ හමුවී ජීවිතේට ජවිපෙ එපා කරන්න තරම් හේතු වූ සමහර මිනිස්සුන්ට වඩා සමන්ත සම්පුර්නයෙන්ම වෙනස්. හොඳ මිනිහෙක් හොදයි කියන්න අපි මැලිවෙන්න ඕනේ නෑ කියන එකයි මගේ පුද්ගලික අදහස. එකෙන් අපි ගැනත් යමක් කියවෙනවා . අපේ පුද්ගලික දේශපාලන මත පසෙක තබා හොඳ දේ හොඳ ලෙස දකින්න අපිට පුළුවන් කියන එක ලොකු දෙයක්... අපි එහෙම කියන නිසා ඔහුට හෝ පක්ෂයකට වාසියක් හෝ අවාසියක් වෙයි කියලා අපි ඒක ගිලගන්න හෝ වෙන වැල්වටාරම් කියනවා නම් ඉන් අපේ මනුස්සකම ගැනත් ලෝකයට අදහසක් ලැබෙනවා. "මම මෙවැන්නක් දැක්කා මුහුණු පොතේ අපේ ප්‍රසිද්ධ බ්ලොගර් කෙනෙක් කරලා තියෙනවා ගස් ලබ්බ ජයලාල් රෝහණගේ ගුණ ඉස්මතු කලාම " ඒකට මම නම් කියන්නේ කුහකකම කියලා..//

      Delete
    8. ලංකා සිතිවිලි ... //මට මතක්වෙනවා බදුල්ල ප්‍රදේශයේ රජයේ සේවකයකුට වැඩට යන්න එපා කියල ජනතාවිමුක්ති පෙරමුණ කිව්වා, අවාසනාවකට මේ මනුස්සය වැඩට ගියා සිදුවුනේ ඔහුට වෙඩිතබා මරා දැමීමයි, පලිගැනීම එතනින් ඉවර උනේ නෑ ඔහුව පෙට්ටියක නොදමා වලදාන්න කියල කිව්වා ගෙදර මිනිසුන් එහෙම කලේ නෑ, බුමදානයෙන් සතියකින් පසු ගෙදර මිදුලේ තිබුනේ තම පියාගේ දේහයේ කොටස් බව දරුවන් ට දැකීමට සැලසීමයි.

      අවසානයේ ඕජස් ගලන ශරීර කොටස් ඔවුන්ට පොලිතින්වලින් ඔතා වලලන්න සිදුවුනා.// අපට ජවිපෙ, පෙසපේ , මහින්ද , රනිල් හෝ විරවංශ සමග දේසපාලන ගමනක නැහැ... එත් ඔය කියන කාලෙත් මගේ පුද්ගලික අත්දැකීම ගැන මම ලියලා තියෙනවා ඒ කාලේ ජවිපෙ සහ අනෙක් පක්ෂ දෙපැත්තේ සිට කරපු වැරදිත් සමගම ... මෙන්න මේ පොස්ට් කියවන්න...http://helmalu.blogspot.com.au/2016/02/blog-post_20.html

      Delete
    9. http://helmalu.blogspot.com.au/2015/08/blog-post.html මේ තව එකක් ඔය කියන භීම සමය අපි අත්දුටු හැටි ගැන ලියවුන...

      Delete
    10. මූණුපොතේ උන දේ මම දැක්කෙ නෑ.. චැහ්ඃ

      Delete
    11. //මූණුපොතේ උන දේ මම දැක්කෙ නෑ.. චැහ්ඃ// මේ කනෙන් පෙන්නනන්න තිබ්බා...

      Delete
    12. Lanka sithiwili වෙත..

      ඔබ වෙනි බොහෝ දෙනෙකුට වසර 25කට එහා ජවිපෙ අමිහිරි සිදුවීම් අදටත් අකුරක් නෑර මතකයි.. නමුත් අනෙක් දෙපක්ෂයේ මේ ගෙවෙන තත්පරෙත් රටේ කොතනක හෝ සිදුවන භීෂණය මේ තත්පරෙන් අමතකයි.. ජවිපෙ අවි බිම තියල විසිහත් වසරක් ගෙවිලා.නමුත් ඊටත් වඩා මිනී මරපු අදටත් මරන,කපන කොටන, හැම චන්දෙකදිම භීශණය කොතනක හෝ වපුරන අනිත් පක්ෂ දෙක ගෙන ඔබලාගේ හිතේ මෙවන් පිලිකුලක්,විවේචනයක් නැති එක ගැන මට හරි පුදුමයි.

      Delete
    13. Are you on FaceBook. Send me your link, I have been following you.

      Delete
  5. මෙවන් මිනිසුන්ට ඡන්ද අඩුවීම ජනතාවගේ අවාසනාවයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ජනතාව හැමදාම අවාසනාවන්ත වෙන්න කැමතියි වගේ..

      Delete
  6. සමන්ත වැනි ජනතා නියෝජිතයින් දියවන්නාවේ නොසිටීම රට ට පාඩුවකි. එහෙත් එසේ නොසිටීම සමන්තගේ වාසනාවකි.

    පක්ෂ දේශපාලන මානසිකත්වයෙන් මිනිසුන් ඉවත් වන තුරු සමන්තලා වැනි ජනතා සේවකයින් කිසිදා දේශපාලන වශයෙන් ජය නොලබනු ඇත. නමුත් මිනිසුන් අතර ඔවුන් සදා රැඳෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්...//පක්ෂ දේශපාලන මානසිකත්වයෙන් මිනිසුන් ඉවත් වන තුරු සමන්තලා වැනි ජනතා සේවකයින් කිසිදා දේශපාලන වශයෙන් ජය නොලබනු ඇත. නමුත් මිනිසුන් අතර ඔවුන් සදා රැඳෙනු ඇත.// .. මේ සමහර කමෙන්ට්ස් වලිනුත් ඒ දෙයම පෙන්වනවා නේද ?

      Delete
  7. //////මෙහි සඳහන් කල අපේ ගමේ චරිත අතරින් සමන්තට 2015 මහා මැතිවරණයෙදී  චන්දය දුන්නා යැයි මට සැකයක් නැතිවම සහතික විය හැක්කේ අපේ අම්මා ගැන පමණි. 
    අනෙක් සියල්ලෝ තම තම  පැරණි සම්බන්ධකම් මත තම කැමැත්ත පල කල බව මගේ විශ්වාසයයි.//////

    සාමාන්‍යෙයන් ලංකාවේ මිනිස්සු කළගුණ දක්වන මිනිස්සු කොටසක් උනාට කවිදු දේශපාලනය අතින් ක්‍රියාත්මක වෙනකොට ඒව නෑ... මහජන නියෝජිතයෝ කොයිතරම් තමන්ට, ගමට, රටට වැඩ කළත් තමන්ගේ තියන පුහු ආකල්ප ගොඩක් අය වෙනස් කරන්න කැමති නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් නිර්මාණි... //සාමාන්‍යෙයන් ලංකාවේ මිනිස්සු කළගුණ දක්වන මිනිස්සු කොටසක් උනාට කවිදු දේශපාලනය අතින් ක්‍රියාත්මක වෙනකොට ඒව නෑ... මහජන නියෝජිතයෝ කොයිතරම් තමන්ට, ගමට, රටට වැඩ කළත් තමන්ගේ තියන පුහු ආකල්ප ගොඩක් අය වෙනස් කරන්න කැමති නෑ..//
      අපේ අය අතීත කතා තලු මර මරා එකතැන පල්වෙන්නත් .. තමන්ගේ "පාට කණ්ණාඩියෙන් පේන දේට වාසිවන පරිදි එය යොදා ගෙන තමන්ගේ තර්කය හරියි කියමින් පරණ දේම කරන්නත් හරි දක්ෂ කට්ටිය

      Delete
  8. සමන්තලා වගේ තවත් අය බොහොමයක් නිවැරදිව තම දේශපාලන භාවිතාව ජනතාව වෙනුවෙන් යොදවනවා. මේ වගේ උදවිය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. ඒත් අපි යවන්නේ අම්මට සලකන අය නේ අම්මට **** අය. දැක්කනේ බදුල්ලෙම එකෙක් කතා කරපු ලස්සන. අපේ මිනිස්සු උලා කන එක නවත්තලා බෙදාගෙන කන්න පුරුදුවෙන කම් රට අඩියක් ඉස්සරහට හොලවන්න බැහැ. ඡන්දයකදි අපි හැසිරෙන ආකාරය තමිල්නාඩුවට වඩා පහලයි. එහෙම මානසිකත්වයකට ජනතාව යොමු කරවන්නෙත් මහ පක්ෂවල කපටි නායකයොයි, උන්ට ආවඩන කටුකන හෙංචයියොයි තමයි.

    ReplyDelete
  9. ස්තුතියි අරු .. //දැක්කනේ බදුල්ලෙම එකෙක් කතා කරපු ලස්සන// මම ඔය කියන බදුල්ලේම ඒ කාලේ දැක්ක විඳපු දේවල් ලියලා තියෙන බ්ලොග් පොස්ට් දෙකක් තියෙනව බලන්න.. 1. http://helmalu.blogspot.com.au/2015/08/blog-post.html
    2. http://helmalu.blogspot.com.au/2016/02/blog-post_20.html

    ReplyDelete
  10. පුද්ගලයෙක් වශයෙන් සමන්තව අගයනවා.පක්ශය ආගමක් කරගෙන නොතේරෙන වචන අතර අතරමං නොවී මනුස්සයෙක් වීම ඔහුගෙන් රටට වැඩක් වෙන්න හේතු වෙලා කියලයි ගස්ලබ්බ හිතන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  11. ස්තුතියි .. //පක්ශය ආගමක් කරගෙන නොතේරෙන වචන අතර අතරමං නොවී මනුස්සයෙක් වීම // එහෙම අය හැම පක්ෂ කණ්ඩායම් වලින්ම හැදෙන්න ඕනෑ.. ඒ විතරක් නෙවෙයි පක්ෂ අනුගාමිකයින් අතරත් ඉන්න ඕනෑ...

    ReplyDelete
  12. සමන්ත දෙවැනි ගමන ඇවිත් අපේ මහා ගෙදරට ගොඩවූ මොහොතේ සිදුවූ දෙයක් ගැන ඊයේ දැන ගත්තා. ඔහු පැමිණි ඩිසල් ත්‍රිරෝද රථය අපේ නිවසේ සිට ආපසු යන්න කන්ද නගිද්දී කන්ද මැද නැවතුනාලු... සමන්ත එයින් බැස එය තල්ලු කරද්දී අපේ තාත්තාත් ඒකට අතක් දෙන්න ගිහිල්ලා .. ඒ වෙලේ ඇතිවූ කතාබහ .. සමන්ත: තාත්තේ තාත්තා මහන්සි වෙන්න එපා අපි මේක කොහොම හරි උඩට තල්ලු කරගන්නම් .. තාත්තා : නෑ පුතා එහෙම කියලා කොහොමද . හරි... ඇල්ලුවා... තාත්තා : ඒක නෙවෙයි පුතා මේ වැඩේ හරියන්නේ නෑ .. මොනවා හරි කරලා මහේන්ද්‍රා එකක් වත් ගන්න තියෙන්නේ ඔයා කොහොමද මේ විදිහට මුළු පළාත පුරාම ඇවිදින්නේ?? සමන්ත: කමක් නෑ තාත්තේ තියෙන හැටියට /පුළුවන් හැටියට ඔහොම යනවා . ගමන නම් ඉතින් හිමින් තමයි....

    ReplyDelete
  13. kawindu...

    sathutui obage katha kiywanna labuna ekata.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන්සකු.. කතා එකසිය ගානක්ම තියනවා..

      Delete