Follow by Email

Sunday, 19 June 2016

ණය ගැනීම සහ ණය පියවීම



පුවක් බාස්  තෙසක් රියක් ගැනීමට මගෙන් උදව්  ඉල්ලා දින කිහිපයක්  ඇතුලත දී  මට නැවතත්  රටෙන් පිටවී යාමට නියමිතව තිබුණි.

ඒ මගේ පශ්චාත් උපාධිය  සඳහා  වූ  දුෂ්කර දිවිය ආරම්භ කිරීමටයි. එසේ යාමට  දින කිහිපයක් තිබියදී  අපේ තාත්තා  මාවනැල්ලට  ආවේ මගේ ගමනට සුභ පැතීම සඳහාය.

මා නෙදර්ලන්තයට නොයා වෙනත් රටකට   යන ගමන ගැන ඔහු බොහෝ සෙයින් සතුටට පත් වී සිටියේය.

හේතුව මා එම රටට   ගොස් ටික කලකින් ඔහුගේ බෑනලාට ද එහි යාමට උදව් කරනු ඇති බවට ඔහු තුල තිබු විශ්වාස යයි.

ඒ වන විට තම බිස්නස් වැඩ පාඩු වීම නිසා  අපහසුවෙන් සිටි විපුල් ගේ ( අපේ නංගිගේ මහත්තයගේ ) ආර්ථික තත්වය ඉහළ නැංවෙන යමක් මා අතින් සිදුවනු ඇති  බව ඔහු උදක්ම විශ්වාස කළේය.

මේසේ මාවනැල්ලට පැමිණි තාත්තාට මම මාස තුනකටත් අඩු කෙටි කාලයකදී සමීපවූ  එහෙත් කිසිදු නෑදෑ  සබඳතාවයක්  නැති  පුවක් බාස් හට ගෙඩි පිටින් රුපියල් ලක්ෂයක් දෙන්නට යන බව ආරංචි විය.

"චූටි පුතා ඇත්තද  ඔයා අර පුවක් ට සල්ලි වගයක් දෙන්න යනවා කියන්නේ ? "

"ඔව් තාත්තා මිනිහා වාහනයක්  ගන්න උදව් ඉල්ලුවා . මට ටික ටික ගෙවන පොරොන්දුව පිට."

"ඉතින් ඔයා ලබන සතියේ රටින් පිට යනවනේ ?  මිනිහා සල්ලි නොදුන්නොත් එහෙම  කොහොමද  ගන්නේ ?"
" නෑ පුවක් වචනෙට ගරු කරන මිනිහා. මාසෙකට  දහ දාහා  ගානේ  මාස  දහයෙන් ගෙවයි  ඕක.

අනික මිනිහගේ දවසක අදායම  රුපියල්  දාහකට  වැඩියි කිව්වා "

" මොනවා ?  පොල් පලලා  එච්චර හොයනවා ? "

"ඔව් .. ඔව්   පුවක් ගේ නෝනත් හරි සකසුරුවම්  කමටයි වැඩ.  මට විශ්වාසයි  ඔය මිනිස්සු ඕක  ගෙවයි කියලා. "

"ඒ  වුනාට පුතා නොදන්නා මනුස්සයෙකුට  එහෙම නිකන් සල්ලි දෙන්න එපා . අඩුම  ගානේ  ලෝයර්  කෙනෙක් ළඟ  ලියලා දෙන්න ".

මේ හදිස්සියේ ලෝයර්ලා හොයන්නේ කෙසේද ?  මම කල්පනා කළෙමි.  අත්තනායක  මාමලා ගේ  ඉඩම් වල  අවුල් නිරවුල්  ගැන හොයන්නට  මා අල්ලා ගත්  නොතාරිස්  මහතා මගේ සිහියට නැගුණේ නිතැතිනි.

" මම දන්නා නොතාරිස් කෙනෙක් ඉන්නවා මාවනැල්ල ටවුන් එකේ.  එහෙමනම් මම ලෙනදොර එක්ක  ගිහින්   මේ ලියුමේ විස්තරේ එයත් එක්ක කතා කරගෙන එන්නම් "

තාත්තා නිවසේ නැවතූ මා ලෙනදොර සමග නොතාරිස් හමුවීමට ගියේ  රට හැර යන ගමනට තිබෙනා වැඩ අස්සේ වැටුණු මේ  ලියුම් ගණුදෙනුව එකලාසයක්  කර ගැනීමටයි .

පුවක් බාස් ට ණය දීමේ විස්තරය ඇසු  නොතාරිස් මහතා.  " මේකේ නීතිමය  තත්වෙට  වඩා ඔය මනුස්සයා පොඩ්ඩක් භය කරන්න නේ ඕනෑ  වෙලාවට  ණය ගෙවන්න. අපි පොඩි ලියුමක් ගහමු මහත්තයා  . හෙට උදේ දහයට එන්නකෝ  එයත් එක්කම ඒක අත්සන් කරන්න "

යැයි පවසා මා අස්වැසුවේ සරල ලියුමක් මගින් සියල්ල කල හැකි බව පවසමිනි.

හවස  පුවක් බාස් හමුවූ මා "අපේ තාත්තා මෙන්න  මෙහම වැඩක් කියනවා  .  නොතාරිස් කෙනෙක් ළඟ ලියලා ණය දෙන්න කියලා . ඒකට  කමක් නෑ නේද ?" කියා ඇසුවේ  ලියකියවිලි වල අවශ්‍යතාවය ඇත්තටම තිබුනේ මට නොවූ බැවිණි.

" හ්ම්.  හ්ම්  . ගානක් නෑ . අපි එහෙම කරමු . අද හෙටම  රට යන්නත් තියෙනවා නේද එහෙනම්  ඉක්මන්   කරන්න වෙයි ඔය ලියුම් වැඩේ "

කියමින් පුවකාද   එම අදහසට එකඟ වුවේය.

" අපි ඔක්කොම කතා කරගෙන ආවේ . හෙට උදේ දහයට  නොතාරිස් ලඟට එන්න කිව්වා .  ඒ ගමන්ම  මම බැංකුවෙන් සල්ලි අරන් දෙන්නම් "

මම පැවසුවෙමි.

පසුදා තාත්තා මා සහ පුවක් තෙසක් රියක නැගී මාවනැල්ලට ගියෙමු.

නොතාරිස් ළඟ ලියුමට පුවක් සහ මා අත්සන් තැබුවේ මාසයකට රුපියල් දස දහස බැගින් මගේ සම්පත් බැංකු ගිනුමට මුදල් බැර කරන්නට  පුවකා පොරොන්දු වන බවට වූ ලියවිල්ලකටයි.

නොතාරිස් මහතා අපට ඇසක් ගසා ලියුමේ ඇති  සරල බව හැඟවූවද  තාත්තා සිතු පරිදිම පුවක් බාස් වැඩේ බරපතලව  සිතට ගන්නට ඇත.

ඇත්තම කියනවා නම්  පුවක්  ගැන තද බල විශ්වාසයකින්  උන් මට ඒ ලියුමේ කිසිදු වැදගත් කමක් පෙනුනේ නැත.

නොතාරිස් කාර්යාලයෙන්  පිටතට පැමිණි මම පොරුන්දු  වූ පරිදිම  සම්පත්  බැංකුවට ගොස්  රුපියල් ලක්ෂයක්  ගෙන පුවකා  අත තැබුවෙමි.

"බාසුන්නැහැ  එහෙම නම්  මාස්  පතා මෙතෙන්ටම  ඇවිල්ලා මහත්තයගේ  අකවුන්ට්  එකට සල්ලි දාන්න  ".

මුදල් මිටිය දෙස තරමක ගිජු බැල්මක් හෙලු තාත්තා පැවසුවේ තම ආරථික අපහසුකම් ඇති බෑනාට  නොදෙන සල්ලි  අහක යන බාස් කෙනෙකුට යන හැටි නිරීක්ෂණය  කරන අතරමය.

"හරි  හරි  මට මාස් පතා මගේ අකවුන්ට් එක නෙට් බෑන්ක්  චෙක්  කරන්න පුළුවන් නේ "

 යැයි  මා පැවසුවේ  තාත්තා අස්වසන අතරම  මුදල් මාස් පතා වැටිය යුතුය යන්න පුවකාට ද  දැනෙන පරිද්දෙනි.



පුවක් බාස්  ණය ගෙවූ  හැටි 


දෙදාස්  හයේ  පෙබරවාරි  මාසේ දහසය වෙනිදා නිම්මි , සුපුන් සහ මම ඔස්ට්‍රේලියාව  බලා පිටත් වුයේ  අනාගතය පිලිබඳ දහසක් පැතුම්   අප සිත්හි දරාගෙනයි .

ඒ පිටත් වන දිනයේ අප සමග ගුවන් තොටුපළට  පැමිණි අය අතර තාත්තා , ලෙනදොර සහ විපුල්ද විය.

ගුවන් තොටුපළ පර්යන්තයේ දී  තාත්තා හඬනු ඇතැයි  මා සිතුවද  ( අය්යා රට හැර යන වෙලාවේ තාත්තා  ඉකිගසා අඬපු බව මා අසා තිබේ )  ඔහු පසුවූයේ සැහෙන සතුටකිනි. 

ඒ තම දියණියන් තිදෙනා ඇතුළු සිය පවුලම  ගොඩ දමනු ඇතැයි  යන බලාපොරොත්තුව  පිරි සතුටයි. 

ඒ බව මා තේරුම් ගත්තේ මගේ අත්දෙක අල්ලා ගත්  ඔහු පැවසු දෙයත් සමගයි . 

"චූටි පුතා  පුළුවන් ඉක්මණින්  මේ විපුල් පුතාටත්  ඔහෙට එන්න උදව්  කරන්න " යන ඉල්ලීම තාත්තා අතින් කෙරුනේ  මම පිටත් වන්නට  ඔන්න මෙන්න කියා තිබියදීය.

එමෙන්ම මා වැළදගෙන කඳුලක් හෙලු විපුල්  නොකියා කිව්වේ " අපි ගැනත් බලන්න "  යන ඉල්ලීම යැයි  මම අදටත් විශ්වාස කරමි.

කෙසේ හෝ මේ රටට    පැමිණි මුල් කාලයේ මට ජිවන වියදම් දීමනාවක් ලැබුණේ නැත.  

ඒ මගේ  මහාචාර්ය තුමා විසින් මගේ විශ්ව විද්‍යාල  ගාස්තු  පමණක් ගෙවන්නට පොරොන්දු වී සිටි නිසාය. 

නෙදර්ලන්තයේ   කලින් ගෙව්වා මෙන් දෙගුණයක් ගෙවන සිස්යත්වය  පසෙක දමා මම ඔස්ට්‍රේලියාවට   එන්නේ ඇත්ත  වශයෙන්ම  විපුල්  ලා වෙනුවෙනි. 

ඒ  බව මම තාත්තා සමග පැවසුවේ  මාවනැල්ලේ නිවසේදීය.  

ඒ වන විට මට නෙදරලන්තයෙන් අවුරුදු හතරක සම්පුර්න ගෙවීම් සහිත ශිෂ්‍යත්වයක්  සහ මේ රටෙන්  විශ්ව විද්‍යාල  ගාස්තු  පමණක් ගෙවන එහෙත්  විශ්ව විද්‍යාලයේ  ඉගැන්වීම  කර මුදල්  ඉපයීමට  ඉඩ ඇති ක්‍රමයේ ශිෂ්‍යත්වයක්  යන දෙකටම ආරාධනා  ලැබී තිබිණි.

"තාත්තා මම නෙදර්ලන්තේ ගියොත් ලංකාවට  එන්නේ කෝටිපතියෙක් වෙලා හැබැයි විපුල් ට වත් ලෙනදොරට වත් එකෙන් ලොකු දෙයක් වෙන්නේ නෑ.

  ඒත් මම  අරහේ  ගියොත් මට එච්චර  සල්ලි හම්බ වෙන එකක් නෑ හැබැයි  එයාලගේ  උනන්දුව තිබුනොත් විපුල් විතරක් නෙවෙයි ඔය මස්සිනා ලා හතර දෙනාම  ගොඩ දැම්මහැකි"

ඒ  පවුලේ අය ගොඩ දැමීමේ මගේ අනාගත බලාපොරොත්තුව සහ ඊට අදාල පොරොන්දුව තාත්තා  හට මා ලබා දුන් ආකාරයයි .



ඉන්පසුව ඒ වෙනුවෙන් සිදුවූ  දැවැන්ත  වැඩ පිළිවෙල ඉදිරියේදී බලා පොරොත්තු වන්න . දැන් අපි නැවතත්  පුවකාගේ  ණය  පියවීම දෙසට හැරෙමු.

අළුත් රටක කාත් කවුරුත් නොමැතිව  ගත වූ මුල්ම මාසය අතිශය දුෂ්කර එකක් විය.  

අපේ වියදම් අපිම පියවා ගැනීමට සිදුවීම.  අවුරුදු දෙකක දඟ මල්ලක් වූ සුපුන් සහ තවමත් කුලෑටි ගතියෙන් පසුවන නිම්මි නිවසේ දමා මුදල් සෙවීමේ  කාර්යය මටම කිරීමට සිදුවීම  මේ අතර ප්‍රධාන විය.

නෙදර්ලන්තයෙන්  ඉතිරි කරගෙන පැමිණි ඩොලර් විසිපන්දහසක් මගේ හිතේ ආරක්ෂාවට  තිබුණත්  එය වියදම් කිරීමේ බලාපොරොත්තුවක්  මා තුළවත් නිම්මි තුල වත් තිබුනේ නැත.

වදෙන් පොරෙන් මාසයක් ගතවූ තැන මම මගේ සම්පත් ගිණුම පරික්ෂා කළෙමි  හරියට  10  වෙනිදා වන විට පුවකා ගේ මුදල් මගේ ගිණුමට වැටි තිබිණි.

දුෂ්කර මාසයක් අවසානයේ මගේ සිතට සැනසීමක් ගෙන දෙන්නට පුවකා සමත් වී තිබේ.  ඒ මා හොඳ මිනිහෙක් යැයි ඔහු ගැන තිබු විශ්වාසය අකුරටම රැකීම  මගිනි.

දෙවැනි තුන්වැනි මාස ගත වන විට අපේ ජීවන රටාව කෙමෙන් කෙමෙන්  පිළිවෙලක් වන්නට විය.

ඒ අපේ අතිරේක අදායම් මාර්ගද  සෙමෙන් සෙමෙන් ඉහල යාමත් සමගයි.  පුවකාද හරියටම  මාසේ දහවෙනිදා  වන විට මගේ ණය  වාරිකය  සම්පත්  බැංකුවේ තැන්පත් කළේය.  

හරියටම  මාස දහයක් ගතවූ තැන  පුවක් තම තෙසක් රිය වෙනුවෙන් ගත් සම්පුර්න  ණය මුදලම ගෙවා දැම්මේය.

 මගේ මහාචාර්ය තුමාද  මට සුභ ආරංචියක්  ලබා දුන්නේය  .  ඒ මා පී. එච්. ඩි  සිසුවෙකු ලෙස ඇතුලත් කර  ඔහු ලියු රිසර්ච්  ග්‍රාන්ට් එක  ඔහුට ලැබී ඇති බවයි.. 

පුවකා  ණය පියවන අතරේ මම මගේ නෑදෑයින්  වෙනුවෙන් ගත්  "ණය"  පියවුනේ  එලෙසය. 


Sunday, 12 June 2016

ටින් ටුං ටින් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි



පසුගිය  දින කිහිපයේ පළවූ  කල්‍යාණ මිත්‍රගේ  මඩ ගුවන් විදුලි ප්‍රචාරයත්

රසිකලොගිස්ට්  යන්තමින් ගුවන් විදුලි ගැන කියා නැවතත්  ඔහුගේ මොබයිල් ෆෝන් සාකච්චාවට  පැමිණි මේ පොස්ට් එකත් දැක  හැත්තෑව- අසුව දශකයේ  ගුවන් විදුලිය  මා සිතේ අවදි වන්නට විය .

උදේ පාන්දර අවදිවන අපේ අම්මා ළිප ගිනි මොලවද්දී අපට රේඩියෝවේ හඬ ඇසේ .

ඒ ඇය කුස්සියට යද්දී සාලයේ වූ  සත පහේ බැටරි දමනා රේඩියෝවද  දමා යන බැවිණි.

ඈ එසේ කරන්නේ  ඉස්කෝලේ යන්නට ඉන්නා  අපව අවදි කරවන්නටයි.

පන්සිල් සහ සෙත් පිරිත් අවසානයේ විනාඩි  පහක "ධර්ම චින්තාවට " ට සවන් දෙමින් අවදිවන මා අම්මා තේ හදන තෙක්  කුස්සියේ ලිප් බොක්කේ හිඳ ගන්නෙමි.

අද උදැසන ධර්ම චින්තාව  පවත්වන්නේ පානදුරේ අරියධම්ම  ම හිමි පාණන් විසිනි

විනාඩි පහ අවසානයේ "දවසේ සිතුවිලි"  ආරම්භ වේ  සතියේ දවස් හයක්  ක්‍රිස්තියානි  පුජකයෙකු විසින් පවත්වන මෙය  සිකුරාදා  දිනවලට  වෙනස් ආරක්   ගනී

 "අස්ස්ලාම් අලෙයික් කුම්  ... ව්හම්තුල්ල්යි වබර කාතහුම් ... අසීමිත  දයාවන්ත  වුද.. අපරිමිත  කරුණාවන්ත  වුද .. අල්ලාහ් තාලා  ගේ  නාමයෙන් ආරම්භ කරමු.. "

අනෙකුත් ආගමික පුජකයින්ගේ වාග්  මාලාවන්ට  වඩා මේ වාග් මාලාව  මගේ සිත් ගත්තේ  එය මට අලුත්ම අද්දැකීමක්  නිසා විය යුතුය .

අනතුරුව "මොහම්මඩ් සල්ලල්ලාහු අලෙයිවසම් තුමා" ගැන කියන කතාවද මගේ සිත් ගත් යෙදුමකි.

ඉන් පසුව උදා ගී ඇරඹෙයි.



විල්බට් ඇන්තනීගේ "හිරු පායා එන." ඒ  කාලේ  එහි නිතර  වාදනය වන ගීතයකි.

වික්ටර් රත්නායකගේ  රුවන් නිදන  තවත් එවැනිම  ගීතයකි.


ආර්ථික  වශයෙන්  ඉහළම තත්වයක  නොවූ ඒ කාලේ අපේ ජිවිත  ගැට ගහගන්න  අම්මා විඳිනා දුක ඉතා ලඟින්ම   දැනුණේ මටයි.

ඒ නිසාම  උදා ගී වල ඇසෙනා සුනිල් එදිරිසිංහගේ  මේ ගීතය  මගේ සිතට තදින්ම  කා වැදුනා කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ. 

චමින්ද රාජපක්ෂ  ඇතුළු  සහචර කල්ලියත් එක්ක ගැවසුණු මගේ හිතට  නැවතත්  අධ්‍යාපනයේ වටිනාකම කියා දුන්   මේ  ගීතය පොඩි කාලේ  මගේ  ආදර්ශ  ගීතයයි. 

 මෙන්න ඒ  ගීතය.





මම අපේ සුපුන්ට  මේ ගීතය කට පාඩම් කරවුවේ  වයස මාස පහේ සිටම රටෙන් පිට ජිවත්හ වූ ඔහුට  යන්තම් අවුරුදු  පහක් -හයක් වෙද්දීය.

සුනිල් ශාන්තයන් ගේ  ගීතද  මේ උදා ගී වල  නිතරම  වාදනය වුවා මතකය.

මේ ඒවා අතරින් මා ජීවිතය හැඩ ගස්වන්නට බොහෝ සේ බලපෑ  එක ගීතයකි.



සුනිල් ශාන්තයන්ගේ  තවත්  මා කැමති  ගීත දෙකක්   එකල ඇසුනේ  මෙසේය







ජාතික හැඟීම් පිබිදුනු  ගීත  මා නොඅසුවා  කිවොත් එය ලොකු මුසාවදයකි. මේ උදා ගී වලින් මා සිතට තදින් කා   වැදුණු එවැනි ගීතයකි.



නන්දා  මාලනිය  ගැයූ  මේ ගීතය  අපට ඒ දිනවල උදා  ගී වල නිතර ඇසුණු තවත්  ගීතයකි.


මේ මෑතකදී   ( 2013 ) අපේ  හාදයා  බුද්ධානු  භාවෙන  කියූ ආකාරයයි.





උදා  ගී  අවසාන වෙද්දී   වදෙන් පොරෙන් මුහුණ කට සෝදා ගන්නා අපට පාසැල් බසයට  දිව යා යුතු යැයි සන් කරන්නේ   මෙන්න මේ තාලයයි.

"ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

ඩඩ්ලි ඩඩ්ලි හූ හු......."

මේ ශ්‍රී ලංකා  ගුවන් විදුලි සංස්ථාවයි  උදෑ සන ප්‍රවුර්ති  ප්‍රකාශය  දැන්..

මේ තේමා වාදනය පසු කාලීනව

ඇන් ඇම්ට  පුළුවන්ද අලි ඇත්තු  එලවන්න

කොල්වින්ට  පුළුවන්ද අලි ඇත්තු පෙරලන්න

සිරිමාට  පුළුවන්ද අලි  ඇත්තු එලවන්න

සිරිමාට  පුළුවන්ද  අලි ඇත්තූ තූ... එලවන්න  යනුවෙන් වෙනස් විය ...

මේ වාදනය පැමිණීමෙන් පසු ගැයුණු තවත්  උදා ගීතයක්  මගේ සිත් ගත්තේ එහි රචකයා  රණසිංහ ප්‍රේමදාස අගමැති තුමා බව දැන දැනමය.

එච්. ආර්. ජෝතිපාල ගේ සමනළ මුදුණින්  ..ඒ  ගීතයයි.