Follow by Email

Friday, 22 July 2016

ඔස්ට්‍රේලියාවට අපේ අය සංක්‍රමණය වන විවිධ ක්‍රම 1- ශිෂ්‍යයෙක් ලෙස




පසුගිය සතියේ  මා විසින් ලියන්නට යෙදුන  අපේ මස්සිනාලට  ගඩොල්  ඇතිරීමේ පාඨමාලාවක්  කරවීමේ ලිපි පෙළ බලා මේ සම්බන්ධව  උනන්දු වූ අය කිහිප දෙනෙක් මේ ගැන විමසුවා මේ ඒ අය වෙනුවෙන්.

ශ්‍රී ලාංකිකකයින්  ඔස්ට්‍රේලියාවට එන ක්‍රම සහ නිත්‍යානුකුලව එසේ කල හැකි ක්‍රම රාශියකි.  

මේ ක්‍රම වේදයන් පාවිච්චි කර ඔස්ට්‍රේලියාවට එන්නේ ලාංකිකයින් පමණක් නොවේ ඉන්දියාව, චීනය, නේපාලය , බංග්ලාදේශය , පකිස්ථානය ආදී අපේ අසල්වැසි රටවල අයද මෙහි එන්නේ  මේ ක්‍රම වලටය. 
එමෙන්ම බොහෝ සංවර්ධිත රටවලින්ද  ශිෂ්‍යයන් ලෙස මෙහි මුලින්ම  පා තබන්නෝ රාශියකි.

ඉන් පලමු සහ ප්‍රධාන ක්‍රමයක් වන්නේ ශිෂ්‍ය විසා ලබා ගෙන මෙරටට පැමිණීමයි . 

පළමු උපාධිය කීරීමට ( undergraduate degree) මෙන්ම දෙවැනි , තුන්වැනි උපාධි ( post graduate degree) හෝ සමහර විට  ඩිප්ලෝමාවක් කීරීමට මෙහි එන ලාංකික පිරිස් සිටිති. 

අපේ මස්සිනාලට ලංකාවේදී ඉගැන්වූ ගඩොල් ඇතිරීමේ පාඨමාලාව වැනි  ඒවා කිරිමටද  ශිෂ්‍යයෙක් ලෙස මෙහි පැමිණිය හැකිය . 

එය වර්ග කර ඇත්තේ  vocational training යටතේය. 

තමා එන පාඨමාලව තෝරා ගැනීමේදී   මෙහි ස්ථිර පදිංචිය  ( Permanent Residency) සඳහා  හැකියාවක් ලැබෙන අධ්‍යන ක්‍රමයක් තෝරා ගන්නට  හැමදෙනාම උත්සුක වෙති . 

මේ සඳහා  හොඳ පරිගණක සහ අන්තර්ජාල දැනුමක් ඇති අයෙකුට වෙනත් කිසිදු උදව්වක් අවශ්‍ය නොවේ.   

අනෙක් අයට කලින් එහි ගිය අයෙක් සමග  විවුර්ත සංවාදයක් ( genuine discussion) මගින් හෝ නොඑසේනම් මේ සඳහා මුදල් අයකර සේවය සලසන   ඕස්ට්‍රේලියා රාජ්‍ය යේ පිළිගත් ඒජන්සියක්  හරහා  මේ කාර්යය කර ගත හැකිය.

මෙහිදී  තමන්ට යායුතු ප්‍රාන්තය, පාඨමාලව හැදෑරිය හැකි විශ්ව විද්‍යාලය , අඩුම පාඨමාලා ගාස්තු වැනි බොහෝ දේවල් සොයාබැලීමක් සිදු කෙරේ.

ඔස්ට්‍රේල්යානු මුදලෙත් තම තමන් එන රටේ මුදලේ වටිනකමේත් ඇති වෙනස සහ තම දෙමව්පියන්ට වියදම්හෝ කල හැකි හෝ  තමා රැස්ගකරගත් මුදල් ප්‍රමාණය අනුව මේ හැකියාවන් වෙනස් වේ. 

ඒ නිසා බොහෝ ශිෂ්‍ය විසා ලබා එන්නන් පාඨමාලවට ඇතුල් වීමට අවශ්‍ය අවම ගාස්තුව පමනක් ගෙවන අතර ඉතිරි මුදල්  අතිරේක රැකියාවක් කර සොයන්නට පෙළඹෙති .


ශිෂ්‍ය  රැකියා 




මා දන්නා හැටියට ශිෂ්‍යකුට  රැකියාවක් කල හැක්කේ සතියකට පැය විස්සක් පමණි. ඔහුගේ , ඇයගේ සහකරුවාටද එසේමය.  

මෙය වෙනස් වන්නේ ශිෂ්‍යයා  පස්චාත් උපාධියක් කරන්නේ නම් පමණි.  

එවිටද ශිෂ්‍යයාට  කල හැක්කේ පැය විස්සක් උපරිමයක් වුවද   ඔහුගේ ඇයගේ සහකරුවාට  සීමාරහිත කාලයක්  (සාමාන්‍යයෙන් සතියට පැය තිස්පහක්-හතළිහක් ) වැඩ කලහැකිය.

මේ සියළු දේවල් ඉතා තද නීති යටතේ ක්‍රියාත්මක වන අතර  ඕස්ට්‍රේලියානු  සංක්‍රමණික  ආයතනයේ වෙබ් අඩවිය මැනවින් අධ්‍යනය කිරීමෙන් මේ විස්තර හරියටම සොයාගත හැකිය.

මා මෙහි ලියන්නේ මගේ මිතුරන් සහ සමහර විට මා පුද්ගලිකව ලැබූ අත්දැකීම් නිසා පොඩි පොඩි වැරදි තිබිය හැකිය.  කරුණාකර නිවැරදිම තොරතොරු සඳහා ඒ  ඒ ආයතන වල  වෙබ් අඩවි බලන්න.

මෙම ක්‍රමය "ලංකවේ අය දකිනා හැටියට" ටිකක් දුෂ්කර ක්‍රමයක් වුවත්  අප දන්නා බොහෝ පිරිස් මේ ක්‍රමයට  සංක්‍රමණය වී සිටිති . 

අධ්‍යාපනය කාරනා අතරම  තම  වියහියදම් සඳහා මුදල් සෙවීමට සිදුවීම    මේ "දුෂ්කර බව" දැනීමට  හේතුවයි. 

එහෙත් මෙය  සියළු වර්ග වල ශිෂ්‍යයන්ට  අත් විඳින්නට  සිදුවන දෙයකි. 

උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියානු ජාතික  සිසුන් ( මගේ විශ්ව විද්‍යාල  සිසුන් ) සුපර් මාර්කට් වල සපත්තු කඩ වල  සේල්ස්  ගල්ර්ස් ලා ලෙස සතිඅන්තයේ හමුවීම සාමාන්‍ය දෙයකි.


ලංකාව ඉන්දියාව වැනි රටවලින් එන සිසුන් පිට්සා  කඩවල, පෙට්‍රල් ස්ටේෂන් වල  සහ  බොහෝ  රජයේ ආයතන  පිරිසිදු කිරීමේ රස්සා වල යෙදෙන බව කවුරුත් දන්නා දෙයකි.

පත්තර බෙදීම,  ගෙවතු අලංකරණය වැනි රැකියා කරන්නේ අපේ රටේ අය පමනක් නොවේ.  

යුරෝපිය රට වලින් පැමිණි සිසුන් පවා තම ආර්ථිකය සහ රැකියාවන් පැහැදිලි වනතෙක් හෝ මෙවැනි රැකියා වල නිරතවෙති.

පත්තර බෙදීමේ රැකියාව  සඳහා  මෙහි ඇති ප්‍රධාන  සමාගම් දෙකකි .   එකක් PMP නමින් හඳුන්වන අතර අනෙක  Salmat නම් වේ. 

ඒ දෙකේ  සතියට දෙවතාවක්  බෙදා හරින්නට ලබා දෙන  වෙළඳ දැන්වීම් පත්‍රිකා  ගෙයින් ගෙට ගොස්  බෙදා දීම  කෙනෙකුගේ රැකියාවයි.  

මේ රැකියාවෙන් පැයකට ලැබෙන්නේ ඩොලර්  පහක -දහයක අදායමක් වුවද  තමන්ට කැමති වෙලාවක කීරීමට හැකිවීම ( රෑ දොළහට හෝ දහවල දොළහට වුවත් ) එහි ඇති ප්‍රධාන වාසියකි. 

අනෙකුත් රැකියා බොහොමයක අවම පැයක වැටුපක් රජයෙන් නියම කර ඇති අතර එය අප සිසුන් කාලයේ  ඩොලර් පහළොවකි.  දැන් එය අනිවාර්යයෙන් එයට වැඩි විය යුතුය. 

 පුරුද්දක්අ ලෙස අපේ අය  ( අවුරුදු ගණනාවකට කලින් මෙහි පැමිණි හෝ  කෙලින්ම   යහපත් ආරථික මට්ටම් ඇති රැකියා වලට පැමිණි අය ) සමහර විට මෙවනි සිසුන් ලෙස  බලන්නේ , මෙවැනි අය ගැන සිතන්නේ අත පල්ලෙන් වැටුණු ගාණටය. 

එහෙත් මේ බොහෝ දෙනෙක්  සංක්‍රමණය කල මුල්ම අවධියේ "මේ කට්ට කෑ අය බව "  ඔවුන් සමග  විවුර්ත සංවාදයක් ( genuine discussion) කිරීම මගින් දැන ගත හැකිවේ. 

මේ  එවන්උ අවස්ථාවකි.

දිනක් මා ඉන්නා පළාතේ ඉන්න ප්‍රසිද්ධ ඉංජිනේරුවෙක්   ( මගේ ලඟම හිතවතෙක් ) 

"කවිඳු මොකද අනේ අර ලංකාවේ අච්චර සල්ලි තියෙන ළමයි මෙහෙ ඇවිල්ලා දුක් විඳින්නේ " 

යැයි මගෙන්  ඇසුවේය. මට මතක හැටියට එය මිට වසර දෙකකට පමණ පෙරදී ඇති වූ කතා බහකි. 

ඒ මා හිතවත් කම් දක්වන  ලංකාවේ බස් හිමි , කඩ සාප්පු  හිමි පවුලක මල්ලී කෙනෙක් මේ පළාතේ  සුපර් මාර්කට්  පිරිසිදු කිරීමේ කොන්තරාත්තුව අරගෙන පැමිණි මුල් කාලයේය.

මා මගේ මිත්‍රයට ( මොහු දැන් ඔස්ට්‍රේලිවේ ඉන්න ලොකු සල්ලි කාරයෙකි )මා   දුන්නේ ඉතා සරළ පිළිතුරකි . 

එහි අගට   ඔහුට යොමු කෙරුණු ප්‍රශ්නයක් ද විය .

"අපිට  ඒක ප්‍රශ්නයක් වෙන්න ඕනේ  නැනේ  #$% ..

අපි මුලින්ම පිටරටකට  ඇවිත් ජිවත් වූ මාස කිපය  ගැන හිතුවනම්   ඒ මල්ලිලායි අපියි අතර ලොකු වෙනසක් නෑ නේද කියලා හිතෙයි ඔයාට"  

"මමනම් හිතන්නේ එහෙම යි . එ

හෙම කෙනෙක් "දුක් විඳිනවා .. කට්ටක් කනවා "

 කියලා මට කවුරු හරි මතක් කලොත් පොඩ්ඩක් අපේ මුල් කාලෙට ගිහින් බලනවා "

"හැබැටම   #$%  ඔයාලා ආපු මුල්ම  කාලේ  ඔය වගේ අමාරුකම්  තිබ්බේ නැද්ද?

පොඩි පොඩි රස්සා කරන්න වීම් වගේ "

"මොකෝ නැත්තේ .. ඒ දවස්වල @&%$ මෙල්බන් වල  ස්පෝට්ස් සෙන්ටර් එකක් පිරිසිදු කරලා ගෙදර එන්නේ රෑ  තුනට විතර  ..

අපිත් ඒ වගේ දුක් විඳලා තියෙනවා . 

ඒත් මන් කල්පනා කරන්නේ කවිඳු .. 

මේ පොඩි ළමයි ..අම්මලා තාත්තලාට  අරහේ  විසිකරන්න සල්ලි .. මේ රට වල් වල ඇවිල්ල දුක් විඳිනවා නේ "  

" #$% . අපි ඒ ගැන කලබල වෙන්න ඕනේ නෑ . ඒක එයාලට  ඕනේ නිසා කරන දෙයක් නේ.. ඔය ළමයිනුත්  අපි වගේ අවුරුදු දහයක් පහළොවක් මෙහෙ ඉන්න කොට  අපිටත් වඩා "සැපට "  ඉඳියි..

"ඔව්.. ඔව්  කවිඳු ඒකත් ඇත්ත තමයි .."

සීනියර්  ඉංජිනේරු මහතා සහ මගේ දුරකතන සංවාදය අවසාන වුයේ එසේය. 

 #$% . මහතාගේ  මේ දුරකථන ඇමතුමට හේතුව වුයේ ඊට කලින් තිබු සති අන්තයේ අපේ සුපුන්ගේ උපන්දින සාදයට  මේ  පිරිසිදු කරන මල්ලිද ප්‍රධාන අරාධිතයෙක් වූ බැවිනි.  

මගේ නිවසේ සින්දු කියමින් නිදහසේ විනෝද වූ  ඒ තරුණ යුවල  රැකියා ලෙස කරන්නේ  පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ( තරුණයා )   සහ KFC එකක කැෂියර්  තනතුර  ( තරුණිය )  වීම  #$% . මහතාගේ ඒ සංවාදයට  නිමිත්ත වන්නට ඇත.



සිසුන්ලෙස එන ලොකු  ලොක්කන්ගේ  දරුවෝ 


ලංකාවේ  පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකේම මැති ඇමති වරුන්ගේ  දුවරු සහ පුත්තුද  විශාල පිරිසක්  
සිසුන් ලෙස මෙහි පැමිණ සිටිති.
ප්‍රසිද්ධ කලාකරුවන්ගේ දරුවන්ද ඒ අතර වෙති. 

සුප්‍රකට  බැල්කනියකින් වැටීමේ සිද්ධිය  සහ  නිතර නිතර මෙල්බන් නුවර පැවැත්වෙන සංගීත ප්‍රසංග වලට  හේතුවක් වන්නේ  මේ අයගේ දුවා දරුවන් මේ රටේ පදිංචි වී සිටීමයි.

ඒ අයද  ගත කරන්නේ මා ඉහතින් සඳහන් කල  ආකාරයේ රැකියා කරන වරගයේ ශිෂ්‍ය ජිවිත මය. 

හේතුව අම්මලා තාත්තලා කොතරම් ලංකවේ මුදල් රැස් කලත් එය මේ මුදලේ අගයට පරිවර්තනය කල විට එය සිය ගුණයකින් අඩු වීමයි.

මා අසා ඇති පරිදි හිටපු අගමැති තුමාගේ දියණිය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් , උදය ගම්මන්පිල මහතා වැනි අය මෙල්බන් නුවර ශිෂ්‍ය ජිවත ගත කොට නැවත ලංකාවට  පැමිණි අය වෙති.

කලාකරු  රෝහණ වීරසිංහ මහතාගේ පුතෙක් සහ සුනිල් එදිරිසිංහ මහතා හේ පුතෙක් මෙල්බන්  නුවර වාසය කරන බවද මා අසා ඇත්තෙමි.


මම ශිෂ්‍යයෙක් ලෙස ගතකල කාලයේ අවසාන දිනවල මට හමුවූ එවැන්නෙක් මගේ මතකයට එයි.

ඔහු එවකට පැවති විපක්ෂයේ ( යුඇන්පී එකේ ) හිටපු ඇමතිවරයෙකුගේ පුතෙකි. 

ඉතා තදබල සෙල්ලක්කාරයෙකු වූ ඔහු ගේ විනෝදාංශ ය වුයේ  තරුණ සිසුවියන් ආශ්‍රය සහ රේසින් කාර් පැදීම බව මා අසා තිබේ.







අප දන්නා කෙනෙකුගේ නිවසේ නැවතී සිටි මේ සිසුවා මට හමුවූ ප්‍රථම දිනයේ  ( කොලබෙදීමේ  රැකියාවක් සොයා දීමට ) අප දෙදෙනා අතර ඇතිවූ සාකච්චාව  ඔබ හැමෝටම වැදගත් වේ යැයි සිතමි.

රට හදන්නට අවුරුදු පහෙන් පහට බලයට පත්කරගනනා කණ්ඩායම් දෙකේ ඇයගේ දරුවන් ( අනාගතයේ අපේ රටේ පාලකයන් ) හැසිරෙන්නේ කෙසේද යන්න ඔබට එයින් වටහා ගත් හැකි වන නිසයි.

"හලෝ කවිදු අය්යා මට  $%#@ අය්යා කිව්වා ඔයාව හම්බවෙන්න කියලා කොළ ජොබ් එකක් හොයාගන්න "

"ආ .. ඔයාද  $%#@ අය්යලා ගෙදර ඉන්නේ ? හරි හරි එයා මට කිව්වා තමයි "

"මල්ලී කොහෙද?  "

"අපි කුරුණෑගල අය්යා.. "

"එතකොට ඔයාලා අම්මා තාත්තා ? "

"ඒ ගොල්ලෝ දැනට
ලංකාවේ ඉන්නේ අය්යේ . අපේ තාත්තා හිටපු ඇමතිකෙනෙක් "

"යුඇන්පී ද ? ශ්‍රී ලංකාද ? "

"යුඇන්පී අය්යා එයා තමයි හිටපු  #@#(%&+ ඇමති"

"මට යුඇන්පී හාදයෝ නම් පෙන්නන්න බෑ .. එත් ඔයාට උදව් කරන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි "

"නෑ අය්යා ඒ වුනාට අපේ තාත්තා  හරි අහිංසකයි.. අනික් යුඇන්පී අය වාගේ නෙවෙයි  . "

"ඔයාලා ගෙදර එතකොට ඔයා විතරද?"

  "නෑ මමයි අක්කයි  . අක්කා ඇමෙරිකාවේ  උපාධියක් කරනවා .. "

"අක්කා . ඇමෙරිකාවේ මල්ලි ඕස්ට්‍රේලියාවේ නියමයිනේ.. වියදම් කරන්නේ ?"

"තාත්තලා තමයි. 

මම එහෙන් මෙහෙන් කෑමට එහෙම වියදම් හොයාගන්නවා "

ඉතින් මලයා දැන් තාත්තා ආණ්ඩුවේ නෙවෙයිනේ ...  ඔයාලට සල්ලි වලින් කරදර ඇති ඒ නිසා "

නෑ නෑ අය්යා.. 

අපේ තාත්තාගේ යාළුවෝ නේ ආණ්ඩුව පැත්තේ ඉන්නේ එයාලා තාත්තට තමයි ඔක්කොම ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් දෙන්නේ එයා දැන් කරන්නේ කොන්ත්‍රාත් .. 

අපිට ඒ කාලේ වගේම සල්ලි තියෙනවා නැත්තේ  ඇමති තුමා කියන නාමේ විතරයි. "

"ඉතින් මල්ලි ..ඔයාගේ උපාධිය ඉවර වෙන්න ලඟද? "

"නෑ නේ මගේ මේ වැඩ නිසා කිහිප සැරයක්ම  කෝස් මාරු කළා . තවම ඩිග්රි එකක් ඉවර කලේ නෑ .."

"ඒක ටිකක් භයානකයි නේ මල්ලී උපාධිය ඉවර කර ගන්න බැරිවුනොත් ලංකාවට යන්න වෙයි නේ ඔයාට"

"ගානක් නෑ අය්යා . කරගන්න බැරිවුනොත් ආපහු ලංකාවට යනවා."

"ගිහිල්ලා ?  කොන්ත්‍රාත් කරනවද .. දේශපාලනේට යනවද? "

"ඔව් අය්යා ඒ දෙකම තමයි  තමයි ඉතින් මට කරන්න වෙන්නේ "

"හරි හරි .. එහෙනම් කුරුණෑගල පළාත් සභා මන්ත්‍රී විදිහට ඔයා හම්බවෙන්න ලැබෙයි "

"ඔව් .. ඔව් දිගටම දේශපාලනේ හිටියොත් ඇමති කෙනෙක් වෙන්නත් බැරි නෑ "

තම රටේ දුක් විඳින මිනිසුන්ගේ ධනයෙන් මේ රටට ඉගෙන ගන්න කියා ඇවිත් එය අමතක කර දමා සෙල්ලකාර ජිවිතයක් ගෙවන  @#$%))%@  මල්ලී මා සමග  කල සාකච්චාව  එවැන්නකි.

(ඒ පළාතේ සිටි අනෙක් ලංකික සිසුන්ගෙන් අසා දැන ගත් කරුණු අනුව මොහු තමන් පැමිණි උපාධිය නොකර කාන්තාවන් ආශ්‍රය සහ  කාර් වලින් රේස් යෑම වැනි දේවල් කරමින් කාලය ගෙවූ අයෙකි)

මම ගල් ගැසී ගියෙමි.

 @#$%))%@  මල්ලීට කොලපාරවල් දෙකක් අරන් දුන් මා ඔහු වහාම  මා නිවසින් පිටත් කර හැරියෙමි. 

මට අපේ ගම් වල සිටිනා මගේ නංගිලා මල්ලිලා ඇතුළු නෑදෑයින් ගැන තදබල දුකක් දැනිණි. 

ඔවුන් කල්ලි වලට බෙදී අවුරුදු හයෙන් හයට කරනා අපරාධයේ  ප්‍රතිඵල මා අසලම සිටි.  

"දෙය්යනේ.... මගේ රටට දෙවියන්ගේ පිහිටයි !!!  . බුදු සරණයි දෙවි පිහිටයි !!! " 

මගේ ධාර්මික සිත ප්‍රාර්ථනය කලේ ඉබේටමය.






මා මා මිත්‍ර සමන්ත විදයරත්නට  චන්දයක් දීපල්ලා  යැයි කිවූ විට ජ.වී. පෙ. මිනීමැරුම් , භිෂණ ආදිය ගැන කතා කරමින් වාද කල මගේ මස්සිනාලා ගැන මට බලවත් දුකක් ඇතිවිය.



මේ ශිෂ්‍යයා වැනි  කොල්ලෙක් තව අවුරුදු පහකින් ලංකාවට ඇවිත් 

" දිනු දෑය අනතුරේ රට බෙදෙන්නයි යන්නේ ... අහවල් පක්ෂේ හොර ගිවිසුමක් ගහලා  .. රට බේරාගන්න  මා වටා රොක්වව් "

කියූ සැණින් ඔහු තරුණ මන්ත්‍රී කෙනෙක් වනු ඇත.

ඒ සඳහා  ඔහුට අත්වශයම සුදුසුකම  ( ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකේ මන්ත්‍රී කෙනෙකුගේ පුතෙකු වීම ) ඉහලින්ම තිබේ. 

අපේ රටේ අනාගතය මේ වගේ තරුණ කාලයක් ගතකල  අයෙක් විසින් තීරණය කරනු ඇත.





ලොකු ලොක්කන්ගේ සමහර දරුවෝ එසේ වුවද සිසුන් ලෙස පැමිණ  හොඳ දේවල් කරන්නෝද නැත්තේම නොවේ  .

විශේෂයෙන් කළා කරුවන්ගේ දරුවන්  මේ රටේද කලා කටයතු කරමින් සිටිනා අවස්ථා එමට තිබේ  . ඒ ගැන ඉදිරියේදී  ....



22 comments:

  1. ආමිකාරයින් ගේ පුතාලාත් හිටියා මං හිතන්නේ කාලෙකට කලින්. ඔය වැඩි දෙනා එන්නේ මෙල්බර්න්.

    ජගත් ජේ එදිරිසිංහ ගේ අසුර අඩවිය නවකතාව කියවන්න.

    මේ දිනවල සංගීත ප්‍රසංග වැඩිවෙන්න එක හේතුවක් රෝහණ වීරසිංහ/සුනිල් එදිරිසිංහ වගේ අයගේ පුතාලා මට හිතෙන විදියට. ඉන්ද්‍රජිත් මිරිහාන සංක්‍රමණය නිසාත් ප්‍රසංග වැඩි වුණා.

    සමහරු ප්‍රසංග කරලා අතින් කයිට් කර ගන්නවා!

    ReplyDelete
    Replies
    1. අසුර අඩවිය නොවෙයි "ගිම්හාන සුළඟ" නවකතාව

      Delete
    2. ස්තුතියි රසික.. //මේ දිනවල සංගීත ප්‍රසංග වැඩිවෙන්න එක හේතුවක් රෝහණ වීරසිංහ/සුනිල් එදිරිසිංහ වගේ අයගේ පුතාලා මට හිතෙන විදියට. ඉන්ද්‍රජිත් මිරිහාන සංක්‍රමණය නිසාත් ප්‍රසංග වැඩි වුණා.// ඒ තාත්තලා පුතාලව බලලා අපිවත් සන්තෝෂ කරලා යනවා . ඒ දෙන්නගේ සංගීත ප්‍රසංගයක් අපි කලින් හිටපු නගරයේ තිබ්බා. මට මතකයි අපේ පුතා සුනිල් එදිරිසිංහ ගෙන් ඉල්ලුවා "පිණිබර යාමේ" සිංදු වෙන් කොටසක් කියන්න කියලා...සුනිල් ඒක හරි ලස්සනට කළා අවුරුදු හයක පොඩි ළමයෙක් ඒ සිංදුව ඉල්ලුවා කියලා එයාට හරි සතුටුයි.. ඔබහරි ඔය වැඩි පිරිසක් එන්නේ මෙල්බන් තමයි.... ජගත් ගේ "ගිම්හාන සුලඟ " කියවන්න බැරි වුනා කියවන්න ඕනේ...

      Delete
  2. අ.පො.ස. (අපරාදෙ පොදු ජනතාවගෙ සල්ලි) හැක්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්.......

      Delete
  3. ලංකාවේ ගෙවල් වලට ගොස් ටියුෂන් කිරීමද, ජපානයේදී පර්යේෂණ සහකාරවරයෙකු ලෙස සේවය කිරීමද පමණක් කර ඇති මම කිසිදු දිනක මෙවැනි අර්ධකාලීන සේවා කර නැත. මා තුල ඒ ගැන ඇත්තේ ආඩම්බරයක් නොව කණගාටුවකි. ඊට හේතු දෙකකි.

    නිවෙස් වල සාද වලට ගිය විට, පීසා කඩේ වැඩ කරනා සිසුන් ශුර ලෙස පීසා සාදති. බාර් සහ කරෝකේ වලට සේවය කරනා සිසුන් ශුර ලෙස කොක්ටේල් සාදති. බාබකිවු දමන තැන්වල වැඩකරන සිසුන් ශුර ලෙස ඒවා පිළියෙළ කරති. විද්‍යාගාරය පිරිසිදු කරන්න විට පිරිසිදු කිරීමේ අර්ධකාලීන වැඩ කරනා සිසුන් ශුර ලෙස පිරිසිදු කරති. ඒ මොකුත් කර අත්දැකීම් නැති මම ඔවුන්ගෙන් අසමින් ඒවා කරමි. අර්ධකාලීන රැකියා වලින් ලැබෙන පුහුණුව ඔවුන් පිරිපුන් තරුණ තරුණියන් බවට පත්කර ඇත.

    අනෙක නම්, ජර්මනියේ සිට පැමිණි බංගලාදේශ සිසුවෙකු පැවසු පරිදි, විශ්විද්‍යාලයේ අපට ඇසුරු කරන්නට ලබන්නේ අධ්‍යාපනයෙන් හා රැකියාවේ වගකීමෙන් හික්මුන ජීවිතයේ ඉහලටම ගිය මහාචාර්යවරුන්ය. නමුත් අර්ධකාලීන රැකියාවේදී එකිනෙක පරදා යාමේ වියරුන් සිටින උගත් නුගත් සමනය සමාජය සමග ගැටීමෙන් ලබන ජීවිත අත්දැකීම මා සතුව නැති වීමයි.

    Skill migration වලින් එන අයගේ තත්වය සිසුන් වශයෙන් එන අයට වඩා බොහෝ වෙනස් ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්කියුෂා... මම ලංකාවේ ගෙවල් වලට ගොස් මෙන්ම අපේ පැත්තේ දෙමළ ඉස්කෝලෙක සහ ගමේ පන්සලේ ටියුෂන් කරලා තියෙනවා.. අර්ධකාලින රැකියා ලෙස පත්තර බෙදීම ( නෙදර්ලන්තයේදී ) සහ ගෙවතු අලංකරණය සම්බන්ධ වැඩ ( ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් කාලයේදී ) කරලා තියෙනවා.. ඔබ කියන එක හරි කෙන්කියුෂා අදටත් මට මගේ ගෙදර තණකොළ ටික සහ ගාර්ඩන් එජ්ස් එහෙම කපා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ සුළු රැකියා වලින් ලැබුණු අත හුරුව නිසයි.. මේ ලඟදි මගේ ගෙදර පිටිපස්සේ ඇති වැටිය කපන්න ගාර්ඩ්නර් කෙනෙක් ඇවිත් $ 160ක් ගත්තා පැය හතරට ( මට හෙජ් ට්‍රිම්ර් එකක් තිබුණට වෙලාවක් තිබුණේ නෑ ඒ වැඩේ කරන්න ).... Skill migration වලින් එන අයත් කෙලින්ම අදාල රැකියාවට ආවේ නැත්නම්.. (රැකියා සපයන්නෙකු සමග සම්බන්ධවී ) මුල් මාස කිහිපය පිට්සා ඩිලිවරි , පිරිසිදු කිරීම ආදිය කරලා තමයි තමන්ට අදාළ රස්සාවට යන්නේ... මේ ගැන පස්සේ ලියන්නම්...

      Delete
  4. සංක්‍රමණයේ තිබෙන අවාසි ගැන මම ලිපියක් ලිව්වට කමක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්. ඔව් හැමදෙයකම වගේ සංක්‍රමණයේත් වාසි අවාසි දෙකම තියෙනවා. තම දෙමව්පිය නෑදෑයින් ඇතුළු හිතවතුන්ගෙන් වෙන් වී සිටිමට සිදුවීම ඉන් එකක්... මමත් මේ කොටසේ පොඩි ඉඟියක් දුන්නා.. "මේ ඇමති පුතා මෙහෙම වෙයි කියලා එතුමාගේ තාත්තා හිතන්න නැතිව ඇතිනේ.. ..තරුණ වයසේ සමහර ළමයි තනියෙන් මේ රටවල් වලට ඇවිත් විනාශ වෙන හැටි අපි ඕනා තරම් දකිනවා.. දෙමව්පියන්ගේ සොයා බැලීම් අඩුවෙනවනේ මේ වගේ ඇතකට ආවහම.... ඔව් ලියන්න සංක්‍රමණයේ අඩු පාඩුත් දැනගෙනම කෙනෙක් තීරණය කරන්න ඕනේ ඒ ගැන.... මම මේ ලිපි පෙළ පටන් ගත්තේ ඒ අඩු පාඩු මැද්දේ වුනත් ආර්ථික අහසුතා නිසා ලංකාවේ ගැලවුමක් හොයාගන්න බැරි අයට ඇති විකල්ප මාර්ග පෙන්වීමට...

      Delete
  5. ගොඩ දෙනෙකුට මඟ ඇරිච්ච ලස්සන කවියක් තියෙනවා මෙතන

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් කවිය කියෙව්වා.. ඔබ අලුත් බ්ලොග් වලට දෙන මේ සහයෝගය අගය කරනවා...

      Delete
  6. ඔය SLFP එකේ මහලේඛම් ගොයියත් ඔසී ඉඳල කෝස්එක කරන්නැතුව චන්දෙට ලංකාවට ආව ඩයල් එකක්ලු නේද ?

    ReplyDelete
  7. ස්තුතියි.... එහෙම වෙන්න ඇති. මෙහෙ හිටියා කියලානම් (මෙල්බන් ග්ලෙන්වවලි පැත්තේ) අහලා තියෙනවා...කෝස් එක ඉවර කරාද නැද්ද දන්නේ නෑ..

    ReplyDelete
  8. ගොඩක් වටින ලිපි පෙළක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. එන්න ක්‍රම කියල දෙන එක හොඳයි . vocational training වලට ත් එන්නේ දෙනවා කියල දන්නේ අදයි. මට 1998 දී ලන්ඩන් ඉඳන් apply කරලා එන්න වීසා ලැබුන අර skills system එක යටතේ.. මෙහෙ ඉඳන් ඉල්ලන්න ලේසියි ඔස්ට්‍රේලියාවට. නමුත් අන්තිමට බිරිඳ අකමැති වුණා ඈත වැඩියි කියල. - අර පුතා වගේ පුතාල ගොඩක් හම්බ වෙනවා මේ පැත්තේ. හපොයි. මම නම් අයින් වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්...//මට 1998 දී ලන්ඩන් ඉඳන් apply කරලා එන්න වීසා ලැබුන අර skills system එක යටතේ.. මෙහෙ ඉඳන් ඉල්ලන්න ලේසියි ඔස්ට්‍රේලියාවට// ඔව් වෙන රටක ඉඳලා ඉල්ලුවහම මෙහාට එන්න ලේසියි තමයි.
      //අර පුතා වගේ පුතාල ගොඩක් හම්බ වෙනවා මේ පැත්තේ. හපොයි. මම නම් අයින් වෙලා යනවා.// ඔව් ඇඟට ගුණම වැඩේ ඒක තමයි.. ජයවේවා !!!

      Delete
  11. ගස්ලබ්බගෙ යාලුවෙක් උසස් පෙල ඉවර වෙලා 'අබ්‍රෝට් ඩිග්‍රි' කරන්න කියල ගියා.මෙහෙ හිටියෙ කුමාරයෙක් වගේ.එහෙදි ක්ලීනිං ජොබක් කරන්න උනා කියලා අඬලා ආපහු එන්න ඕනෙයි කියලා.අම්මලා තාත්තලා මෙහෙ තිබුන දේපල විකුණ විකුණ සල්ලි පොම්ප කලා.එහෙ වැඩේ කෙරුනෙත් නෑ.. මෙහෙ දෙයක් ඉතුරු උනෙත් නෑ..
    'රට' යනවා කියලා හිතන් ඉන්න වැලි මාලිගා සහ යතාර්ථය අතර වෙනස මෙහෙම හරි කියවන්න ලැබෙන එකෙන් කෙනෙකුට වඩා හොඳ තේරීමකට යන්න පුළුවන්.
    ජයවේවා..!!

    ReplyDelete
  12. //රට' යනවා කියලා හිතන් ඉන්න වැලි මාලිගා සහ යතාර්ථය අතර වෙනස මෙහෙම හරි කියවන්න ලැබෙන එකෙන් කෙනෙකුට වඩා හොඳ තේරීමකට යන්න පුළුවන්.// ඔව් එක අරමුණක් තමයි ඒක.. අනෙක තමයි ලංකාවේ ඉඳන් උනත් දියුණු වෙන්න පුළුවන් කම්මැලි නොවී වැඩ කරනවානම් කියන එක

    ReplyDelete
  13. ඇත්තටම වැදගත් ලිපි පෙළක්, වාසි/ අවාසි, හොඳ/නරක දෙකම දැනෙගෙන පිලිවෙලකට දැනුවත් වෙලා එන එක තමයි ඇඟට ගුණ.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම වැදගත් ලිපි පෙළක්, වාසි/ අවාසි, හොඳ/නරක දෙකම දැනෙගෙන පිලිවෙලකට දැනුවත් වෙලා එන එක තමයි ඇඟට ගුණ.// අදහස් දැක්වීම ගැන ස්තුතියි.. ඔව් එක එක අයගේ අවශ්‍යතා රුචි අරුචිකම් වෙනස් නේ...

      Delete