Follow by Email

Saturday, 30 July 2016

අප නොදකින ඔවුන්ගේ ලෝකය - ළමා හිංසනය නතර කරමු



පසුගිය සතියේ පළවූ සුවිශේෂ  බ්ලොග් පොස්ට් දෙකක්   දැක මේ ලිපියට අකුරු අමුණන්න සිත් විය.


පළමු වැන්න


සිය  සැමියා  අකාලයේ මිය යන  අම්මා කෙනෙක්  දු  දරුවන් තිදෙනෙක් සමග තනිවෙයි.  පවුලේ සිටියේ දුවරු දෙදෙනෙක් සහ  පුතෙකි.

වයස අවුරුදු දෙකක් වූ එකම පුතා පසුකාලීනව ඌව පළාත පමණක් නොව මුළු රටම ආදරයෙන් වැළඳ ගන්නා  මිනිසෙක් බවට පත්වේ.

එහෙත් අග හිඟ කම්  බහුල වීම නිසා මේ කුඩා දරුවා  අම්මා සමග නොවිදිනා දුක් විඳින හැටි කියැවෙන අනුවේදනීය  කතාවක්   මෙහි ඇතුලත්ය.

නැති බැරි කම නිසා වයස අවුරුදු හයක වැනි කිරිසප්පයෙක්   ගල්කැඩිම , ගඩොල් කැපීම  වැනි බර වැඩවල යෙදී අම්මා සමග  කුසගින්න නිවීමේ සටනට  යොමුවේ.

එහෙත් අවාසනාවකට  ඒ  සටනෙන්  පැරද  අවසානයේ  අසල්වැසියෙකුගේ  කෙසෙල් කැනක්  කපන කතාවක්  මෙහි කියැවේ.

මේ ලියන්නේ අන් කිසිවෙක් නොව අප ඔබ කවුරුත් හොඳින් හඳුනන  "දුයිෂෙන්"    සමන්ත විද්‍යාරත්නයි.



දෙවැන්න














මේ කතාව සිදුවන්නේ නාගරික පරිසරයක්  තුලයි.  

මෙහි එන කුඩා පිරිමි දරුවා  ඔහුගේ පියාගේ රැකියාව  නිසා  බන්ධනාගාර නිල නිවසක සිටින්නෙකි.

ඒ කර්කශ පරිසරයේ හැදී වැඩෙන අනෙක් ළමයින් ( වැඩිහිටි පිරිමි ළමුන් ) කාරනා අකටයුතු කම් වල ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය පියාගේ  දැඩි  දඬුවම් වලට යොමුවේ.

සිරකරුවන්  හා සේවය කිරීමෙන් ලැබෙන කර්කශ  බව ඒ දඬුවම්  රටාවේ  මොනවට සඳහන් වී තිබෙයි 

මේ කතාව එන්නේ  සිංහල  බ්ලොග් කලාවේ  ප්‍රසිද්ධ  පුරුකක්  වන  "අටම්පහුර "  ගේ   නවතම බ්ලොග් පොස්ට් එකකින් 


ළමයින්ගේ  ලෝකය සහ වැඩිහිටි අපි










මේ කතා දෙක සිදු වන්නේ රටේ එකෙනෙකට හාත්පසින්ම වෙනස්  පරිසර වලය.  එහෙත්  දෙකේම සිටින්නේ ඔබේත් මගෙත් දරුවන් වැනිම   වූ  කුඩා දරුවන් දෙදනෙකි.  

ගෘහමුලිකයා  අකාලයේ මියගිය  පවුලක් ගැන  සොයා නොබලන  සමාජයක්  විසින් පලමුදරුවා  ගේ  ළමා ලෝකය නැති කරයි. 

දෙවැන්නා  ගේ හැදෙන වැඩෙන පරිසරයේ  ඇති කර්කශ බව විසින් ඔහු කුඩා කාලයේදීම  වැඩිහිටියෙක් බවට  පත් කරයි. 

මේ දෙකම නොවිය විය යුතු දේවල් ය.  

එහෙත් එවැනි  "ළමා  අපචාර" දැනුවත්ව හෝ නොදැනුවත්ව ( අපේ  අයගේ නොසැලකිල්ල නිසා )    තවමත් අපේ රටේ හැමතැනම සිදුවෙමින් පවතී.

විශේෂයෙන්  අපේ සමාජයට  පිළිලයක් වී ඇති  පක්ෂ දේශපාලනය  මත පදනම් වී මිනිසුන් ගෙන් පලිගන්නා මානසිකත්වය  මේ ආකාරයෙන් ළමා ලෝකය විනාශ කරන කතා මට හොඳට  හුරුපුරුදුය.






අතීත  කතාව 





ඒ 1978  වසරයි.  මේ වන විට  මගේ වයස  අවුරුදු  අටකි. මම  අපේ ගමේ ඉස්කෝලේ  දෙකේ පන්තියේ ඉගෙන ගනිමින්  සිටියෙමි. 

අපේ තාත්තා   ඊට පෙර පැවති සමගි පෙරමුණු  රජය කරවූ ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ  ප්‍රභල  ආධාර කරුවෙකි.  

ඒ නිසාම  දරුවන්  සහ බිරිඳ  ගෙන් ඔහු වෙන් කාරනා යුඇන්පී ආණ්ඩුව  ඔහු "සයිබීරියාවට " යවන්නට තීරණය  කරයි.




ඒ කියන්නේ  ගෙදරට බත සපයන්නා  බෝඩිම් වල නතරවී  වැඩට යන්නට යන තත්වයකට පත් කිරීමයි.

ඒ හරහා ඔහු සහ දරු පවුල ආර්ථිකව අපහසුවට  පත්කරමින් යුඇන්පී ආණ්ඩුව අපේ තාත්තා කොළඹ  පළාත් පාලන දෙපාර්තමේන්තුවට මාරු කර  යවයි.

ඒ ඇසු අපේ ගමේ විසු ( මේ බොහෝ පිරිසක් අපිට  ලේ නෑකම් ඇති අය වෙති)  යුඇන්පී කාරයෝ මෙන්ම   අපි  ඉතා දක්ෂ ළමුන් බව සහ තාත්තා  හොඳ  දේශපාලන  අනාගතයක්  ඇති අයෙක් බව  දත් ඔහුගේ   ලඟම හිතවතුන් (ශ්‍රී ලංකා කාරයෝ ) පවා සතුටු වෙයි.

මේ එකෙක් වත් කුඩා ළමුන් පිරිසක් වූ අපේ දුක ගැන කල්පනා  කලේ නැත.

ඔවුන් ගෙන් සමහරෙකුට  අවශ්‍ය වුයේ  තම දේශපාලන හතුරා ගෙන් පලිගැනීම පමණි. 


අනෙක් පිරිසට  ( ඔහුගේම පක්ෂයේ අයට ) අවශ්‍ය වුයේ ඔහුගේත් අපේ පවුලේත්  අනාගතය අඳුරු වනු දැක සතුටු විමටයි.


වයස අවුරුදු 13 ක් වූ වැඩි මහලු ළමයත්  හැත්තෑ හතේ චන්දේ  තිබුණු මැයි මාසයේ  උපන් බාලම දියණියත් ඇතුළු ළමයින් පස් දෙනෙක් සමග තනි වූ අපේ අම්මා දිවි සටනට මුහුණ දුන් හැටි ඉතා ආදර්ශමත්  කතාවකි.


එසේ අප හැදු වැඩු අපේ අම්මා  සහ  සමන්තගේ ( දුයිෂෙන් ගේ )   අම්මා  අතර වෙනසක්  මට නම් නොපෙන්.

ඒ  නිසාම ඒ කාලයේ අප අත්විඳි  දුෂ්කර තා  සියල්ල  තාත්තා  මියගිය සමන්තගේ ( දුයිෂෙන් ගේ ) අත්දැකීම් වලට  ඉතා සමගාමී  ය  

පියා අසලක නැති අපේ අත්දැකීම් සහ  පියා මියගිය සමන්තලා ( දුයිෂෙන් ලගේ ) ගේ  අත්දැකීම අතර ලොකු වෙනසක් ඇත්තේ  නැත.




වර්තමාන කතාව




මෙවැනි අතීත  කතා කොපමණ කිවත්  අපේ  මිනිසුන්  ඒවායින් පාඩම් ඉගෙන ගන්න බවක් පෙනෙන්නට  නැත. 

එදා අනික් පාර්ශ්වයකින් පහර කෑ  මිනිසා මෙදා  තවත් දරුවන්  පිරිසක් අනාථ වනු බලා සතුටු වීම අපේ සාමාන්‍ය  ලක්ෂණ යයි.

එය එසේ නොවිය යුතු යැයි කියන අතලොස්සක් අතරේ   දුයිෂෙන් සහ  අප සිටියද රටේ බොහෝ දෙනා සිතන්නේ  අප අනෙකා ගෙන් සහ ඔහුගේ හත්මුතු පරම්පරාවෙන්ම පළිගත යුතු බවයි.

මේ හා අදාළ කතාවක්  ඊයේ මට අසන්නට ලැබිණි.

අප ලංකාවේ හැදු පළමු නිවස ගැන ඔබට මතක ඇති යැයි සිතමි. එහි ගෘහමුලිකයා   වූ ඇලෙක්ස්  දැන්  මගේ හිතවත්ම  ඉංජිනේරුවෙක්  ළඟ  සේවය කරයි.

ඒ  අපේ තාත්තා ඒ  කාලේ සිටියාක් මෙන් තම දරු තිදෙනා සහ බිරිඳගෙන් වෙන්වූ ඈත  පළාතකය. 

මේ අතර  ඇලෙක්ස් සහ පවුලට අළුතින් නිවසක්, විදුලිය, රුපවාහිනී ආදිය  ලැබෙනු දුටු ( මින් අවසාන දෙක ඇලෙක්ස් සහ පවුල තම ස්වඋත්සාහයෙන්  ලබා ගත් දේ වෙති )   අසල්වැසියෝ තම ඉර්ෂ්‍යා ව සහ කුහක කම පෙන්වන්නට පටන්ගෙන තිබේ.

ඒ ඔවුන් වතුර බොමින් සිටි ලිඳට යන පාර වසා දමා වතුර සොයා ඈතට  යන තත්ත්වයට  ඔහුගේ දරු පවුල  පත් කිරීම මගිනි.

ගමේ අය  අපි සහ චමින්ද  රාජපක්ෂලා  එකතු වී ඇලෙක්ස් ලා ගොඩ දැමු බව දනිති. 

දැන් ඔවුන් බලන්නේ ඒ වා ආයුධ කරගෙන  ඔහුගේ  පවුලෙන්  පලිගැනිමටයි.

මට නම් මේ වර්තමාන කතාවේ සහ අපේ අතීත  කතාවේ අතර ලොකු වෙනසක් නොපෙනේ  . 

තමන් සමග එකට වැටී සිටි එහෙත්දැන් අළු ගසා දමා නැගිටින  තවත් පවුලක්   දැක ඇතිවන ඉරිශ්යව සහ කුහක කම මේ මිනිසුන් ගේ හිත්වල තවමත් එසේමය.

මෙවැනි මිනිසුන් සිටිනා ගම් හදන්නට  දඟලන දුයිෂෙන් ලා ගේ කාර්ය භාරය එතරම් පහසු නැත්තේද  එබැවිණි.

තමන් වැනිම වූ අනෙක් මිනිසාට , ඔහු නැති වෙලාවේ  ඔහුගේ දරුවන්ට  ආදරය දක්වන්නට  බැරි මෙවැනි නොමිසුන් පිරී රටක්  හදන්නේ කෙසේද?

කුහක මිනිසුනි......  

දෙමව්පියන් සමග ඇති තරහට ( නුඹලගේ නොදැනුවත් කම නිසා )  දරුවන් ගෙන් පලිගැනීම  දැන් වත් නවත්තපල්ලා !!!!


23 comments:

  1. කොළඹට මාරුවකුත් දඬුවමක් වෙන හැටි...! මෙතෙක් කල් අසා තිබුණේ දුෂ්කර පළාත්වලට දඬුවම් මාරු ගැන පමණයි.

    ReplyDelete
    Replies
    1. පාසල් යන වයසේ දරුවන් පිරිසක් සහ රැකියාවක් නොකරන බිරිඳක් සිටිනා ගමේ හොඳින් ස්ථාවර වී සිටි කෙනෙකුට සහ ඔහුගේ ළමයින්ට කොළඹ මාරුවත් දඬුවම් මාරුවකි..

      Delete
  2. අටං අයියාගේ පෝස්ට් එක කියවූ කළ මට මාරයා ආවේශ විය. ඒ වැඩිහිටි සමාජයටම හිරෝෂිමාවට දුන්නාක් මෙන් පරමාණු බෝම්බයකට වඩා අඩු යමක් දෙන්නට මට නොසිතේ. ඒ නිසා මොකුත් නොලියා ඇරියෙමි. ලිව්වා නං ලියවෙන්නේ වැඩිහිටි සමාජයට එරෙහිව පමණි.

    දුයිෂෙන්ට තම මුල මතක තියෙනවා පමණක් නොව ඒ මුලට ඇති සම්බන්ධතා සිඳ නොගනිමින් ජීවිතය ගෙනයයි. දැනට ඉහළ සිටින හුඟක් මිනිසුන්ට එවන් අතීතයක් ඇතත් කියන්නට අකමැතිය. ඒ අතරින් දුයිෂෙන් ශ්‍රේෂ්ඨ වන්නේ ඔහු 'යථාවාදී තථාකාරී' නිසාය.

    කෙසේ හෝ අටං අයියා, දුයිෂෙන් මෙන්ම අපේ අජිත් ධර්මකීර්ති මහතාද පොඩි කාලයේ නිරාවරණය නොවිය යුතු තරමේ වැඩිහිටි සමාජයකට අහුවූවෝය. හැබැයි අපේ බ්ලොගර්ලා ඒවා ලියති. ලෝකයට කියති. තමන්ට වුනු අසාධාරණය ඊළඟ පරම්පරාවට නොවන්නට වගබලාගනිති. අටං අයියා, දුයිෂෙන්, අජිත් මහතා, සහ ඔබ ඇතුළු තවත් බොහෝ අය මීට උදාහරණයෝය.

    ඉතින් අපි වර්තමානයේ ඇලෙක්ස්ගේ දරුවන්ට සිදුවී ඇති 'වතුර උගුරක් බීමේ' අයිතිය උදුරා ගැනීම නොදැක කට පියාගෙන සිටිය යුතුද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග...//දුයිෂෙන්ට තම මුල මතක තියෙනවා පමණක් නොව ඒ මුලට ඇති සම්බන්ධතා සිඳ නොගනිමින් ජීවිතය ගෙනයයි. දැනට ඉහළ සිටින හුඟක් මිනිසුන්ට එවන් අතීතයක් ඇතත් කියන්නට අකමැතිය. ඒ අතරින් දුයිෂෙන් ශ්‍රේෂ්ඨ වන්නේ ඔහු 'යථාවාදී තථාකාරී' නිසාය.// මෙහෙම මිනිස්සු තමයි අපට ඕනෑ. සමාජයක් ඉදිරියට යන්නේ එවැනි මිනිස්සු වැඩි වෙන තරමටයි..

      Delete
  3. තමන්ගේ එකාට වල කපන්නේ තමන්ගේ එකාමයි... ගම හදන්න බැරි ඇයි කියන දේ මේ කතාව තුල අපූරුවට තියෙනවා.. ගමෙයි නඟරෙයි තියෙන වෙනස ඒ දෙකේම හැදුන වැඩුන අපි වගේ උන්ට අපූරුවට තේරෙනවා.. මම හිතන්නේ නගරයේ තියෙන උස තාප්ප මිනිස්සුන්ගේ පෞදගලිකත්වය රකිනවා. ඒ හේතුවෙන් ඔවුන් ගමේ වගේ අසල්වැසියාගෙන් එන කුහක කම් වලට ගොදුරු වෙනවා අඩුයි. ගම හරි සුන්දරයි කියන්නේ පට්ට බොරුවක්.. ඒ සුන්දරයි කියන්නේ ඔය වගේ කුහක දේවල් වලට අපේ උන්ගේ තියෙන කාළකන්නි කැමත්ත. සමහර විට රජ කාළේ යම් කිසි සහජීවනයක් ගම් වල තියෙන්න ඇති.. ඒත් සුද්දගේ වික්ටෝටියානූ සඟිස්කුරුතිය නිසා ඒ සියල්ල කුඩු වෙනවා.. මම නම් හිතන්නේ ඒක වෙන්න ඕන දෙයක්ය කියලා.. එතනදි තමයි තරඟ කාරිත්වය ඇති වෙන්නේ.. ඒකට ඔරොත්තු දෙන්න බැරි දුබලයෝ හැලෙනවා.. ධෛර්යසම්පන්න එකා ජය ගන්නවා... ඒවට ඕන තරම් උදාහරණ මේ බ්ලොග් ලෝකයේම තියෙනවා..

    දියිෂෙන් කෙසේ වෙතත් අටමගේ කතන්දරවල තියෙන යටි පෙල හා සමාජ කතිකාවත තේරුම් ගැනීම ගැන උඹට ස්තූතියි...

    මේ රට තාම ගෝත්‍රික රටක්.. ඉතින් මේකේ තියෙන්නේ කැලෑ නීතිය.. ඒක මොකක්ද කියන්න ඕන නෑ නේ උඹට..

    මට මෙතනදි මතක් වෙනවා ජේ ආර් පප්පා කියපු කතාවක්.. ඒක මම නම් පට්ට ආදර්ශ පාඨයක් විදියට ගන්න දෙයක්.. මම පෞද්ගලික අංශයේ වැඩ කරන කාලේ ස්ටාෆ් ට්‍රේනින්ග් වලදි මම ඉස්සෙල්ලම කියලා දෙන්නේ ඒක.. ඒ තමයි තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතුයි කියන දේ..

    අපි හදන්න ඕන අපි ගැන වෙන කවුරු හරි බලාගනියි කියන ගොබ්බ මානසිකත්වය නැති කරන්න. හදන්න ඕන හිත ශක්තිමත්, ස්වාධීන චින්තන ඇති උන්.. ඒත් අජ්ජාපනයෙන්වත්, පන්සලෙන්වත්, කිසිම පක්ෂයකින්වත් ඒ දේවල් වෙන්නේ නෑ...

    ඉතින් දන්න කියන හැම එකාම හදාපන් මරාගෙන මැරෙන කොටි වගේ මානසිකත්වයකට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්... අපි හදන්න ඕන අපි ගැන වෙන කවුරු හරි බලාගනියි කියන ගොබ්බ මානසිකත්වය නැති කරන්න. හදන්න ඕන හිත ශක්තිමත්, ස්වාධීන චින්තන ඇති උන්.. ඒත් අජ්ජාපනයෙන්වත්, පන්සලෙන්වත්, කිසිම පක්ෂයකින්වත් ඒ දේවල් වෙන්නේ නෑ...

      ඉතින් දන්න කියන හැම එකාම හදාපන් මරාගෙන මැරෙන කොටි වගේ මානසිකත්වයකට..//
      අපි හෙමින් හෙමින් හදන්නේ එහෙම අය තමයි. මෙතෙක් එහෙම ගොඩනැගුනු සාර්ථකම මිනිහා තමයි ඇලෙක්ස්.. ලෙනදොරලා ටික දුරක්ජ ගිහින් පරණ අච්චුවටම වැටුනා. ඇලෙක්ස් ඒ ගමන් හොඳට යනවා ජයවේවා !!!

      Delete
  4. අටම්ල දුයිෂෙන්ල තමන්ට පොඩිකාලෙ විඳින්න සිද්ධඋන දේවල් හිතේ කොණක තියාගෙන පොළොවෙ පය ගහල ජීවත් වෙන ගමං තව කෙනෙකුට ඒ දේ සිද්ධ නොවෙන තැනට වැඩ කරනව. නමුත් ගොඩක් දෙනෙකුට තමන්ට හරිගියාට පස්සෙ තමං මුල ගතකරපු ජීවිතේ මතක නෑ.
    ගම්වල තියෙන කාරණයක් තමයි ඔය කෙනෙක් තමංගෙ ස්වෝත්සාහයෙන් දියුණු වෙනකොට ඒක උදාහරණෙට අරන් තමනුත් ඒ මාර්ගයේ යන්නෙ නැතුව අර මනුස්සයට වල කපන එක. පිට මනුස්සයෙක් වෙන්න ඕන නෑ බොහෝ දුරට ඔය තත්වෙ ඇති කරන්නෙ තමංගෙ නෑදෑයොමයි.

    ReplyDelete
    Replies
    1. ගං වලට පිටිං ආපු අයට දියුණුවෙන්න ලේසියි. ගමේ එකාලට දියුණු වෙන්න දෙන්නෙ නෑ.

      Delete
    2. ම්ම් ඉන්ටරෙස්ටින් ෂුරන්,
      මොකද දන්නෑ මිනිස්සු තමා දන්න,එක ලෙවෙල් එකේ හිටි එකෙක් තමාට වඩා උඩට යනවට ඔතරම් අකමැති.
      කවිඳු,
      සත් භාවයෙන් උදව්වක් කරනකොට බලන්න පැති කීයක් තියේද

      Delete
    3. //පිට මනුස්සයෙක් වෙන්න ඕන නෑ බොහෝ දුරට ඔය තත්වෙ ඇති කරන්නෙ තමංගෙ නෑදෑයොමයි.//

      එකෙන්ම ප්‍රසන්න අයියා.. ඕකුංගෙ ටැලිපෝං වලට හෙණ ගහල පලච්ච දාට තමයි සැනසිල්ලෙ ඉන්න හම්බ වෙන්නෙ :D

      Delete
    4. හැක්.. හැක්.. පත්තර මල්ලි නෑදෑයින්ගෙන් බොහෝ සේ අතවරයට ලක්වෙලා වගෙයි. මමනං දැන් ගොඩක් කට්ටිය අයින් කරල තියෙන්නෙ.

      Delete
    5. පිටිං ගිහින් දියුණු වෙන්න පුළුවන්.හැබැයි තනියෙන් ඉන්න ඕනෙ.අදටත් ගස්ලබ්බ ජීවත් වෙන ගමේ කොල්ලො මොක්කුද බල්ලො මොක්කුද කියල වත් බලන්න යන්නෑ.. ගියොත් ඒමකුත් නෑ.

      Delete
    6. මොනව කියනවද ප්‍රසන්න අයියෙ.. :D
      මාත් සෑහෙන අය ලොස් දාල ඉන්නෙ.ඊට වඩා යාලුවො හොඳටම හොඳා !!!

      Delete
    7. ගමේ වැඩ වලදී මුලින්ම ලෙඩ දාන්නේ හෝ වැඩේ වන කරන්නේ නෑදැයෝ තමයි. ඒක මම ඔය වැඩ කරද්දීම දැක්කා. එයාලට ලකුණු දාගන්න ඕනා වීමත් එකක්...

      Delete
  5. //තමන් සමග එකට වැටී සිටි එහෙත්දැන් අළු ගසා දමා නැගිටින තවත් පවුලක් දැක ඇතිවන ඉරිශ්යව සහ කුහක කම මේ මිනිසුන් ගේ හිත්වල තවමත් එසේමය.//
    මේ ගැන නං මොකට කියනවද... කේලං කියන්න මිනිස්සු ඉදිරිපත් වෙන්නෙ අතිං වියදං කරගෙන.එකම අරමුණ අනිකට කෙලවීම ම පමණයි. හප්පේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු හදන්න ලේසි නැත. එහෙමයි කියලා අතහරින්නත් මමනම් කැමති නෑ...

      Delete
  6. ගම්වල විතරක් නෙවෙයි, සමහර නාගරික ප්‍රදේශ වලත් මෙවැනි මානසික රෝගීන් ඉන්නවා. තාප්ප, ගේට්ටු, දාගෙන හිටියත්, හැම වෙලාවේම, අල්ලපු ගෙදර මිනිහා කෑවේ බිව්වේ මොනවාද, ඒ මිනිහාගේ මාසික ආදායම කීයද, කියා හොයන අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තිතුයි විචාරක.. //ගම්වල විතරක් නෙවෙයි, සමහර නාගරික ප්‍රදේශ වලත් මෙවැනි මානසික රෝගීන් ඉන්නවා. තාප්ප, ගේට්ටු, දාගෙන හිටියත්, හැම වෙලාවේම, අල්ලපු ගෙදර මිනිහා කෑවේ බිව්වේ මොනවාද, ඒ මිනිහාගේ මාසික ආදායම කීයද, කියා හොයන අයත් ඉන්නවා.//
      ඔව්.... ඔව් තරමක් අඩුවුනත් එහෙම අය නගරෙත් ඉන්නවා.. මෙතන තියෙන්නේ පුද්ගලයින්ගේ ආකල්ප වල ප්‍රශ්නයක් මිස ඉන්නේ ගමේද නගරේද කියන එක නෙවෙයි..

      Delete
  7. මම සා.පෙ. කලේ ගමේ ඉස්කෝලේ ... අපේ සම වයසේ උන්නු නෑදෑයින් ගෙ ළමයි හැමෝම 06 යේ පන්තියෙන් පස්සේ ආසන්න ප්‍රධාන නගරයේ හෝ උප නගරයේ ඉස්කෝල වලට දැම්ම.....
    මාත් බලාගෙන හිටිය අපේ තාත්තා මාව ටවුමේ ඉස්කෝලෙකට දායි කියල... ඒත් එහෙම උනේ නෑ.
    අනිත් නෑදෑයින්ගේ ළමයි අතරේ මම කිසිම වැඩකට නැති එකෙක් ගානට වැටුන....

    ඒත් 1991 සා.පෙ. විභාගේ මට වාර්තාගත ප්‍රතිපල ගන්න හැකි උනා..... (හැමදාම බීලා ඇවිත් අපේ මානසිකත්වය බින්දුවට වට්ටපු තාත්තා ගේ කරදරත් විඳගෙන)
    මට පහසුවෙන්ම ආසන්න ප්‍රධාන නගරයේ ජනප්‍රිය ජාතික පාසලේ ජීව විද්‍යා අංශයට ඇතුල් වෙන්න හැකි උනා.
    කොහොම උනත් ඒක හිටපු කාල කන්න්නි අපිට නවක වදය දුන්න. උන් ඒ පාසලට ඇතුල් වෙලා තිබුනේ අම්මලාගේ තාත්තලගේ හැකියාවන් වලට.
    උන් දෙන හැම රැග් එකකටම මුණ දුන්නා.. ඒ වෙනකොට කථිකත්වයෙන් ක්‍රීඩාවෙන් සමාජශීලිත්වයෙන් වගේ හැම අංශයකින්ම මම හොඳ පවුර්ෂයක් මම ගොඩ නගාගෙන තිබුනේ... කොහොම හරි එක කාලකන්නියෙක් මගේ කොන්ඩේ කැපුවා.. ඌ කිව්වේ උඹට වෙන විදියකට රැග් කරන්න බෑ...... උඹ රැග් වෙන්නේ නෑ .... කියල....
    මට ඒ කරපු සක්කිලි වැඩේ දරා ගන්න බැරි උනා..... මට මම ගැන ගොඩක් දුක් උනා .... මට හිතුන දේ තමයි ඌ මගේ කොන්ඩේ කැපුවේ මේ ඉස්කෝලෙට අලුතෙන් ආපු නිසා.... එහෙම උනේ පොඩි කාලේ අපේ තාත්තල මාව ලොකු ඉස්කෝලෙකට දාපු නැති නිසා....මම කරපු වැරැද්ද මොන අපහසුකම් මැද්දේ හරි සා.පෙ. ඉහලින් සමත් වීම නේද? කියල.... කොහොම උනත් මට A/L පාස් වෙන්න බැරි උනා.... මම අදටත් විස්වාස කරනවා අර සක්කිලියා මගේ කොන්ඩේ කපපු සිද්දිය මගේ මනසට බලපෑවා කියලා......
    කොහොම උනත් මචන්ලා..... මගේ යටි සිතට කවදින්න ඇති කවදාවත් පොඩි එකෙකුට මම මුණ දුන්න අත්දැකීම ලබන්න තියෙන අවස්ථාවක් මගහරවන්න ඕන කියලා.....

    මචන්ලා අද මගේ පුතා යන්නේ කොළඹ රගර් ක්‍රීඩාවට ප්‍රසිද්ධ ප්‍රධාන පාසලකට.... මම ඌව කොහොම හරි 1 වසරටම ඔය ඉස්කෝලෙට ඇතුල් කළා...
    මගේ පුතාට පාසල් කාලය තුල මම මුණ දුන්න අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන්නේ නෑ මම ඒ ගැන ලොකු සතුටක් ලබනවා... මට ලබන්න බැරි උන අද්යාපන ජයග්‍රහණ කොල්ල ලබාවි .. ඒ වෙනුවෙන් මම කොල්ලව මම හිටපු තැන ඉදල ගව් ගානක් ඉදිරියෙන් තිබ්බ කියල මම අද සතුටු වෙනවා......
    හැබැයි මට පුංච් කාලේ ඔය අමිහිරි අද්දැකීම් වලට මූණ දෙන්න සිදු නොවුන නම් ... මගේ පුතත් මම වගේම රත්නපුර දිස්ත්‍රික්කය ඈත ගමේ පුංචි ඉස්කෝලෙකට යන්න තිබුන..... ඔන්න මගේ කතාව ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බංගරා මේ පැත්තේ ආවට ඔබ කියන දෙය තේරෙනවා. තමන්ට කළ නොහැකිවූ දෙය ළමයින්ට හරි දෙන්න තමයි ගොඩක් දෙමව්පියෝ බලන්නේ

      Delete
  8. එක පෝස්ට් එකක් ඇතුලේ කතන්දර ගොඩක්.. බංගාරා ගේ කතාව මගේ කතාවට ගොඩක් ලඟයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කළණේ.. ඔහොම යමු ඔහොම යමු ..දෙවැනි පරපුර ඔබේ අරමුණු ඉටි කරයි...ජයවේවා !!

      Delete
  9. 30/08/2016 දැන් මේ කතාවට සම්බන්ධ සුන්දර සිදුවීමක් ගැන කියන්න වෙලාව. ගිය සතියෙදවසක දුයිෂෙන් මැදිහත් වී ඇලෙක්ස්ලාට ඔහුට හිතවත් ඔහුගේ පාක්ෂිකයෙකුගේ ලිඳෙන් වතුර ගන්න සකස් කරදීලා අද හෙටම ඇලෙක්ස් බැංකු ලෝන් එකක් අරන් ඒ ලිඳෙන් තමන්ගේ නිවසටම වතුර පොම්ප කර ගන්නවලු.... අතීත සහ වර්තමාන කතා සම්බන්ධ වූ සොඳුරු අවස්ථාවක් .. දුයිෂෙන් ට ස්තුතියි...

    ReplyDelete