Follow by Email

Friday, 8 July 2016

කල දුටු කල වල වල ඉහගත් කුමාරලා



මේ 1989 වසරේ   මැද  භාගයේ  සිදුවූ  සිදුවීමක්.  මම ඒ කාලයේ 13 වසර විද්‍යා පංතිවල ශිෂ්‍යයෙක්.

ඒ වන විට අපේ අය්යා හිටියේ වෙද විදුහලේ පළමු වසරේ ඉගෙනගනිමින්. එහෙත්  ඒ දිනවල ඔහුත් ගෙදරට වී සිටියේ  සරසවි වැසී තිබු නිසා .

මේ කතාව මට මතක් වුයේ  සමන් අය්යා හමුදාව විසින් අත්අඩංගුවට පත්වූ හැටි විස්තර විස්තර කරද්දී  මගේ සිත ඒ කාලයේ අපි මාරගස් වැල්ල කුඹුරේ රාත්‍රිය ගත කල ආකාරය වෙත ගමන් කල නිසයි.




මට මතක හැටියට අපේ අම්මා ඒ කාලයේ මමත් අපේ අය්යත් රෑ කාලයේ ගෙදර සිටිනවාට වැඩි කැමැත්තක් දැක්වුයේ නෑ.

ඒ කාලයේ ඈ අප ගෙදරට වී පොත් පාඩම්  කරනවාට වඩා  මාමලා සමග පැලට වී සිටීම ගැන කැමැත්තෙන් සිටියා කිව්වොත් නිවැරදියි .

එයට ආසන්නම හේතූ ලෙස මා දකින්නේ  පැවති කලබල කාරී වාතාවරණයත්,  ගමේ අයගේ ඇහැට උල් අණින්නක් වැනි කාරණයක් වූ  එවකට පළාතේ  උගත්කමින් ඉහළම පිරිමි ළමුන් දෙදෙනා ඇයගේ නිවසේ සිටීමත්ය.

ඒ කාලේ ගම් ගොඩේ තිබු දේශපාලන භේද සහ ඉරිසියාව හා කුහකකම් වල ප්‍රතිඵලයක් ලෙස අප දෙදෙනාද රජයේ හමුදාවන්ගේ බිලි දෙකක් බවට පත්වනු ඇතැයි යන සාධාරණ බියක් ඈ සිත තුල විය.

එහෙත් අප  පැල් රැකීමට ගියේ ඒ හේතුව නිසාම පමණක් නොවේ.

මේ කාලය වනවිට  අය්යත් මමත්  අපේ මාමලා දෙන්නා සමග හරි හරියට වැඩ කරමින් සිටි එළවලු ගොවින් වී සිටියහ.

 ඒ වන විට  මාරගස්වැල්ල  කුඹුරු යායේ තිබු එළවලු කොටු අතර අපේ තක්කාලි කොටුවත් අර්තාපල් වගාවත්  ප්‍රධාන තැනක විය.






අපේ රාත්‍රී පැල් සංචාරයේ  ප්‍රධාන අරමුණ ඒ කොටු දෙක මුරකිරිම  වූ අතර අපේ හිත්වල තිබු  යටි අරමුණ වුයේ රාත්‍රී කාලයේ ගෙදරින් පිටත ගත කිරීමයි.

මේ කාලයේ කුඹුරු යායේ  "අපේ අයගේ " කොටසේ පැල් තුනක් තිබු අතර  එකක් අපේ තක්කාලි කොටුව අසන්නයේත්  අනෙක් පැල් දෙක යායේ පහළට වන්නටත් පිහිටා තිබිණි.

මේ කියන දවසේ මමත් සමන්තත්  පුරුදු පරිදි පැලේ ගොස් සිටියෙමු.

 සාමාන්‍යයෙන් අපි දෙදෙනා අපේ පැලේ රැය ගතකරන අතර අපේ  ලොකු මාමා සහ අංජු මාමා ඔවුන්ගේ අර්තාපල් වගාවන්  මුර කරමින් පහළ පැත්තේ තිබෙන ඔවුන්ගේ  පැල් කොටවල සිටිති.

මේ වන විට අපේ තක්කාලි කොටුවේ ගෙඩි කැඩෙමින් තිබු නිසා  අපේ ලෑලි ඇඳ යට නිතරම තක්කාලි ගොඩගසා තිබුණේ එහිදීම   පෙට්ටි වලට පටවා කොළඹ යැවීමේ අරමුණෙනි.









සමන්තගේත් මගෙත් රාජකාරිය වුයේ  එසේ ගොඩ ගසා ඇති තක්කාලි මුර කිරීමත් , කොටුවේ ඇති අල සහ තක්කාලි සත්තුන් ගෙන් සහ සොරුන්ගෙන් බේරා ගැනීමත් ය.

ඊට අමතරව කාලීන අවස්‍යතාවයක් ලෙස අප සියළු දෙනාගේ පණ බේරා ගැනීමද අපේ රාත්‍රී රාජකාරියට එකතු වී තිබිණි.



පැල් රකින  අතරේත් ආරක්ෂිත  උපක්‍රම




මේ සිදුවීම වූ රාත්‍රියේ ද  අපේ පැලේ තක්කාලි ගොඩක් සහ රට වට්ටක්කා තොගයක් ගොඩ ගසා තිබිණි.

 කුඹුරු යායේ පැල් තුන හතරකම මිනිසුන් වූ අතර  අපේ කොටු වල දෙකෙලවරේ  වූ අපේ පැලත් "ගොඩ ගෙඩිය " නම් වූ කුඹුර මැද වූ උස් පස් ගොඩැල්ලේ පිහිටි ලොකු මාමාගේ පැලත් යන දෙකේ ඒ  රාත්‍රිය ගත කරන්නට අපි හතර දෙනා තීරණය කළෙමු.

අපේ පැල් කොටය පිහිටියේ කුඹුරු යායේ ඉහළම වූ ගොඩ ඉඩම් කොටසකයි. ඊට යාබදව තිබුණේ විශාල පාළු ඉඩමකි .  පුනාගල පැත්තේ තේ වත්තක සිටි වත්තේ මහත්තයෙකුට අයත් ව තිබු ඒ ඉඩමේ පැරණි ගෙයක්  තිබුනා මතකය.

මේ කියන දිනවල ඔහු විසින් ඒ නිවසේ දෙමළ පවුලක් නතර කර සිටියේය.  එහි සිටි කුඩා ළමුන් තිදෙනෙකි. ලොකුම ළමයා " කුමාර " අපේ කුඹුරට නිතර පැමිණෙන කෙනෙකි.  

මුලින් ම කුඹුරු යායේ  ඉහළ කෙළවරේ වූ අපේ පැලට රැස් වූ හතරදෙනා රාත්‍රී ආරක්ෂක  උපක්‍රම  සාකච්චා කරන්නට වූයෙමු.

"මේ දවස් වල රෑ තිස්සේ  පාරේ හමුදා වාහන යනවා වැඩියි. ඊයේ රෑත් මට ට්‍රක් එකක සද්දේ ඇහිලා ඇහැරුණා "   ලොකු මාමා තම හඬ අවදිකළේය.

"ලොකු අක්කා හැමදාම අපිට කියනවා උඹලා දෙන්නා ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න කියලා . අහුවුනොත් නම් පුතෝ  ආපහු ගෙදර එනවා බොරු "

"අද රෑ එහෙම සද්දයක් ආවොත් මම උඹලට  කතා කරන්නම් . තේ කෑල්ලට  ගිහිල්ලා හැන්ගෙමු"

ඔහු රාත්‍රියේ ඇති බැරෑරුම් කම මටත් සමන්තටත් ඒත්තු ගන්වන්නට උත්සාහ කළේය. 

මම පැලේ ගිණි මැලය පට පට ගා පුපුරණ වියළි මල්කොල  කෝටු වලින් පුරවමින් සිටියෙමි .  

ඒ වටා හිඳගෙන සිටිනා රාජුමාමා ගේ සහ ලොකු මාමා ගේ මුහුණු ලිපේ  එළියෙන් ඒකා ලෝක වී තිබේ.

පැලේ කණුවකට හේත්තු වී සිටි සමන්ත  මල් කෝටු හීනියට කඩමින් ගිනි මැලයට  විසි කරයි. බර කල්පනාවක  නික්මුණු  මුහුණක් ඔහුගෙන් දිස්වේ.

සභාවේ සිටි බාලයා වූ මා රාත්‍රියේ භයානක කම තේරුම් ගත්තේ ඉතාම අඩුවෙනි.  

රාත්‍රියේ පමණක්ඒ නොව  ඒ කාලයේ තිබු  බැරෑරුම් කම වුවද මා සිතට එතරම් බරක් එක් කලේ නැත.  

එසේ වූවානම්  මා සුරංජිත් , සුගත්  වැනි අය  සමග  සමීප ඇසුරක් පවත් වන්නට  තරම් එඩිතර වන්නට හැකියාවක්  නැත. 

මට වඩා දැනුම් තේරුම් ඇති සමන්ත ලොකුමාමා කියනා වචනයක් වචනයක්  පාසා දරකෝටු කැඩුවේ රාත්‍රියේ ඇති බියකරු බව හොඳින්ම වටහා ගෙනයි.

මේ අතර ලිපේ තබා තිබු වතුර මුට්ටිය  ගොජ ගොජ  ගා  බුබුළු දමයි. මම අංජු  මාමා දෙස බැලුවෙමි. 

"හරි හරි ඉස්සෙල්ලා හොඳ කහට එකක් බිලා ඉමු. චුටි පුතා ඔය  සීනි තේ කොළ ටික ගණින් මෙහාට "

කතාව වෙනතකට හැරෙව්වේ  කිරඹඔය පවුලේ බාලයා අංජු  මාමා විසිනි.

පවුල් දෙකේම වැඩිමහල්  දෙදෙනා තත්වයේ බැරෑරුම් කම ගැන සිතනා අතර බාලයන් වූ රාජුමාමාත්  මමත් එය එතරම් ගණනකට ගත් බවක් පෙනුනේ නැත.

ලොකුමාමා ටත්  සමන්තටත්  මරණ භිය  අප දෙදෙනාට වඩා  වැඩියෙන් දැනෙන්නට හේතුවක්  තිබිණි.

ඒ වනවිට  ලොකු මාමා  නාවික හමුදාවෙන් ඉවත් වී සිටි නාවික සෙබළෙකි.  අපේ  අය්යා පළමු වසරේ විශ්ව විද්‍යාල සිසුවෙකි.

මේ තත්ත්ව දෙකම 1988-1990  කාලයේ මරණ වරෙන්තුව අතින් ගෙන සිටියා වැනි තත්වයකට  මිනිසෙකු පත් කරන්නේ ඉබේටමය.


අංජු මාමාත්  මමත්  කහට  කෝප්ප  හතරක් සහ අම්මා දුන් ක්‍රීම් කැකර්  සහ කෙසෙල් ගෙඩි හතර  දෙනා අතර බෙදා හැරියෙමු.

තේ බීමෙන් අනතුරුව  එළැඹියේ එදා රැය ගත කරන අකාරය ගැන වූ සකච්චාවයි.

"උඹලා දෙන්නා  මේ පැලේ  ඉන්න එක එච්චර  හොඳ නෑ  . අංජු යි  චුටිපුතයි  උඩහ පැලේ ඉඳපල්ලා සමන්ත  උඹ  මාත් එක්ක  පල්ලැහැ  පැලේ ඉඳපන් "

" මම කොහොමටත්  රෑ එළිවෙනකන් පාරේ ඇහෙන සද්ද බද්ද ගැන කණ දාගෙන ඉන්නේ මොනවා හරි වුනොත් තේ වත්තට පනිමු."

ලොකුමාමා  නැවතත් කතාව පටන් ගත්තේය.

ලොකුමාමා  අප දෙදෙනා ඉහළ පැලේ නවත්වන්නට සිතුවාට අපේ අය්යා ඒ යෝජනාවට කැමති වුයේ නැත.

 ලොකුමාමා මෙන් ලොකු විශ්වාසයකින් අප දෙස නොබැලු  සමන්ත අංජු මාමා ගේ සහ මගේ  "භීම සමය" ගැන තිබු අදහස් දෙස තරමක් සැකයෙන් බලන්නට පුරුදු වී සිටියේය.

"මට හිතෙන්නේ අපි හතර දෙනාම එකම පැලක ඉමු කියලයි. අනික් පැලේ ලාම්පුවක් පත්තු කරලා තියමු.  උඹලා දෙන්නත් අපිත්  අපිත් එක්ක ගොඩ ගෙඩිය උඩට වරෙල්ලා "

යැයි ඔහු කිවේ එබැවිණි.

"එතකොට  මේ තක්කාලි ගොඩ ?  හොරෙක් එහෙම ආවොත්  ? " මම හඬ අවදි කළෙමි.

"යකෝ හොරෙක් ඇවිත් තක්කාලි ගෙනියනවා වගේ ද තොපි දෙන්නට  කළුකුඩු භෂ්ණේ
හම්බවුනොත්?

ලොකු අක්කාගෙන්  විසුමක් වෙන්නේ නෑ .. 

පල්ලැහැ පැලට වගේ නෙවෙයි මෙතෙන්ට  ඕනෑ කෙනෙකුට එන්න ලේසියි "


ලොකුමාමා පැවසුවේ ඇත්තකි.  අපේ පැල පිහිටියේ තේ වත්තේ පාරට  ළඟාවිය හැකි පැත්තේය .

ගොඩගෙඩිය  උඩ පැල වෙත බුට්ස් කාරයෝ රැලක් එන්නේ නම්  කොයි පැත්තෙන් ආවත් කුඹුරු යාය මැදින් පැමිණිය යුතුය. 

ඉහළ පැල  තේ වත්තේ  පාරට අසන්න  වීමත් , හතරදෙනා වෙන වෙනම සිටීමත් අනතුරුදායක කමින් වැඩි යැයි හැමෝගෙම අදහස විය.

 හතරදෙනාම  පහල පැලේ  ( ගොඩගෙඩිය උඩ පැලේ ) සිටිය යුතු යැයි වූ සමන්ත ගේ යෝජනාව ඒකච්චන්දයෙන්   සම්මත වුයේය. 

උඩහ පැලේ ගිණිමැලයත් ලාම්පුවත් දල්වා තැබූ අප සියළු දෙනා ලොකුමාමා ගේ පැල වෙත ගමන් කළෙමු.

ටෝර්ච්  සහ හුළු අතු බැඳගෙන  නියර දිගේ පල්ලහැට යන ගමන මහපාරේ සිටි ඕනෑම කෙනෙකුට  පැහැදිලිව පෙනෙන්නට ඇත.

හතරවටින් තේ යායත් දෙපැත්තකින්  අපේ ගමට සහ දෙමළ ලැයිම් දෙසට යන  ප්‍රධාන පාරවල් දෙකත් අතර මැද  පිහිටි ද්‍රෝනියක කුඹුරු යාය පිහිටා තිබිණි.

අපේ මුත්තාට පරම්පරාවෙන් හිමිවූ මේ කුඹුරු යාය

පළාතේ සියළු ඉඩම් තේ වැවීමට යොදාගත්   සුද්දන්

 විසින්  ද්‍රෝණියේ පිහිටි කිරඹඔය "ඔය "  නිසා ඉතිරි කල ඉඩම් කොටසක  පිහිටා තිබිණි.

කුඹුරු යාය දෙකට බෙදමින් ගලා ගිය "ඔය"   හේතුවෙන්  ගොඩ ගෙඩියේ පිහිටි පැලට තවත් ආරක්ෂාවක් එකතු වුවේය.

පාරේ සිට ඒ පැල වෙත එන  කෙනෙක් අනිවාර්යයෙන්ම ඔයෙන් එකන් වී පැමිණිය යුතු වීම ලොකු මාමගේ  පැල  ආරක්‍ෂිත මර්මස්ථානයක් ලෙස සැලකීමට  තවත් හේතුවක් විය.

ලොකුමාමා ගේ පැලට  ළඟාවූ සමන්ත මම ඇතුළු පිරිස රෑ දොළහ පමණ වෙද්දී නින්දට වැටුනෙමු.

උඩහ පැලේ ලාම්පු එළියත් ගිනි මැලයත් තිබුනද මේ පැලේ එවැනි  කිසිවක් නැතිව අන්ධකාරයේ ඉන්නට  තීරණය කර තිබුණේ තවත් ආරක්ෂක උපක්‍රමයක් ලෙසිණි.

ලොකුමාමා සහ සමන්ත කෙසේ වෙතත් මාත්  අංජු  මාමත් පුරුදු පරිදි තද නින්දට වැටුනෙමු.

රාත්‍රිය ගත වෙද්දී ඔවුන් දෙදෙනාගේ ද ඇස් පිය වෙන්නට ඇත.

"ඒයි  අංජු  ... නැගිටපන් නැගිටපන්  ... පුකට ඉළිය වැටෙනකන්  බුදිය ගෙන පුළුවන්ද  යකෝ පැල්  රකින්න  ?  තුන්දෙනාම  නැගිටපල්ලා   "

ලොකුමාමා ගේ  කටහඬ අපව අවදිකළේ උදේ පහහමාර පමණ වන විටයි.

 ඒ වනවිටත්  පැලේ ළිප ගිණි මෙලවූ ඔහු තේ මුට්ටියක්ද  රත් කර තිබුණේය.

"චුටි පුතා උඹයි  සමන්තයි දෙන්නා ගිහිල්ලා  අල කෑල්ලයි  තක්කාලි කෑල්ලයි වටේ රවුමක්  ගහලා වරෙල්ලා
මම තේ පෙරලා තියන්නම් එනකොට"

ඔහු නින්අදේ සිටි අපේ   කශේරුකා වලට  තම කකුලේ මහපට ඇඟිල්ලෙන් අනින්නට විය.

මේ වනවිට අප තිදෙනාම සිටියේ දයන්නක් මෙන් වක ගැසුණු ඉරියව්වකයි.

ඒ ඉහේ සිට  දෙපතුල් දක්වා පොරවාගෙන හුන් "බුලන් කෙට්ටු" වලින් වැසි සිටිනා ගමන්ය.



සමන්තගේ  සිහිනය සහ  කලදුටු කල වල ඉහ ගැනීම





ආ... ආ .. ආ... අත් දෙක දෙපසට විහිදමින්  ඇඟ මැලි  කඩන්නෝ තිදෙනෙකි.  

ඒ  අංජු  මාමා සහ  මල්දෙණියේ  අය්යා මලෝ දෙදෙනාය. 

"ඊයේ රෑ මොකුත් කලබලයක් වුණේ නෑ නේද?   මම හීනෙන් භයවුනා නේ  ඊයේ රෑ " සමන්ත කතාව පටන් ගත්තේය . 

"ඇයි ඇයි .. උඹ දැක්කද  කාට හරි කළු කුඩු භෂ්ණේ හම්බවෙනවා? "  ලොකු මාමා හීනේ විස්තර අහන්නට විය. 

" නෑ .. කවදාවත් නැතුව මම අපේ හින්නි මාමා හීනෙන් දැක්කනේ . පොර මගේ ඔළුවට මිටියකින් ගහනවා දැකලයි මම ඇහැරුණේ"

සමන්ත පැවසුවේ ඒ කාලේ ගමේ ප්‍රසිද්ධ වඩු බාස් කෙනෙක් වූ හින්නිමාමා  ඔහුගේ ඔළුවට අඬු මිටියකින් ගැසූ බව හීනෙන් දුටු බවයි. 

"හරි හරි ඒකෙන් කමක් නෑ ගිහිල්ලා තම තමන්ගේ කොටු බලලා වරෙල්ලා  "
ලොකුමාමා නැවතත් ගෝරනාඩු කරන්නට වුයෙන් අප තිදෙනා උදෑසන මුර සංචාරය පටන් ගත්තෙමු. 

"චුටිපුතා වරෙන් අපි  උඩහ පැලට ගිහින් එමු . උඹලා ගේ  තක්කාලි ටික බලලා එන්න. " 

අංජු මාමා මා  කැඳවුයේ  ලොකු අක්කගේ  තක්කාලි ආරක්ෂා කිරීමේ වගකීම  තමා සතු බව සිහිවීමෙන් විය යුතුය. 

මම දනිපනි ගා  ගොඩ ගෙඩියෙන් පහළට  බැස්සේ රාජුමාමා ගේ  පස්සෙන් වැටුනෙමි.  

නියර දිගේ අපේ පැල දෙසට යද්දී  උඩහ වත්තේ වූ කුමාරලා  නිවස  අප නෙත් ගැටුනේ  එහි කුස්සියෙන් පිටවන දුම් රොටු නිසාය.  

ඒ දෙස නෙත් යොමමින්  කුඹුරේ  ඉහළට ගමන් කල  අප පැල්  කොටය වෙත ලඟා වූයෙමු.

"දෙය්යනේ අද  අපි  ඉඳලා  ඉවරයි" අංජු  මාමා කෑ ගසන්නට විය.  

"ඇයි  ඇයි  මොකද මොකද ? "  මමත් යුරියා බෑග් වලින් වටකර තිබු පැලේ ඇතුළට එබුනෙමි.  

"මේ බලපන් උඹලාගේ තක්කාලි ගොඩටයි  වට්ටක්කා ගොඩටයි  කවුරු හරි වැඩේ දීලා. එක ගෙඩියක් නැති වෙන්න සුද්ධ  කරලා "

අංජු  මාමා  වෙවුලන කටහඬකින් කියාගෙන ගියේ තම ලොකු අක්කා (අපේ අම්මා ) ගේ තරම දන්නා නිසාය. 

සිද්ධිය සමන්තට සහ ලොකු මාමාට ද සැලවිමට වැඩි වෙලාවක් ගියේ නැත..  


"ඒක තමයි හින්නා මගේ ඔළුවට  මිටියකින්  ගැහුවේ . අපේ තක්කාලි හොරු ගෙනියනවා කියලා මට කියන්න "
සමන්ත තම  සිහිනය අර්ථ දක්වන්නට විය.

මේ භීෂණ සමයේ  තක්කාලි හොරකම් කරන්නට කිසිවෙක් ඒ තරම් දුරක සිට පැමිණිය නොහැකි බව ලොකු මාමාගේ අදහස විය.

"ඒකත් එකටම ඕක  කුමාරයලා තාත්තගේ වැඩක්. ඔය මිනිහගේ මුණ දැක්කම තේරෙනවා  මිනිහා ලෝක හොරෙක් බව  " 

ලොකුමාමා අපේ ප්‍රධාන සැකකරුවා හඳුනාගත්තේ එසේය.

"උඹලා කවුරු හරි තේ කොළ ටිකක් ඉල්ලගන්න  කියලා කුමාරලා ගෙදරට පලයල්ලා . හොඳට වට පිට බලපල්ලා මොකක් හරි හෝඩුවාවක් තියෙන්න බැරි නෑ.."

ලොකුමාමා ගේ උපදෙස් පරිදි රාජුත් මමත් කුමාරලා අම්මා සොයාගෙන ඔවුන්ගේ කුස්සියට ගියෙමු .

ඇය තේ කොළ සොයනා අතර අපේ උකුසු ඇස් ඒ මේ අත දිව ගියේය..

අපට කතාකරමින් ලිපේ තිබු හැලියේ පියන ඉවත් කල කුමාරලා අම්මා  ලොකු මාමාගේ  සැකය ස්ථිර කළාය.

කුමාරලා ලිපේ දුම් දමමින් තැම්බෙන රට වට්ටක්කා  හැලියකි...ඒ එකත් එකටම ඊයේ රෑ අපේ පැලෙන් පැන්නු වට්ටක්කා විය යුතුය. 

ඔවුන්ගේ ගෙවත්තේ කිසිවක් වගා නොකරන කුමාරලා වට්ටක්කා දළු කඩාගන්නේද අපේ කුඹුරු වලිනි. 

එහෙත් ඒ මොහොතේ  තක්කාලි ඇඹුලක් නම් ලිපේ  අහලක  වත් තිබුණේ  නැත..




24 comments:

  1. තක්කාලි පෙට්ටි ටික ඒ වනවිටත් තේවත්තේ හැංගිලා හෝ ටවුම බලා ඇදෙමින් තිබෙන්නට හෝ ඇත. අපේ ගම්පලාතෙ දෙමල මිනිහෙක් එහෙම ඔයවගේ දෙයක් කලානං ඌ ආයි 'රොටි' කාලා හමාරයි. අඬු හතාටක් කඩාගෙන වත්තෙන් යන්නයි වෙන්නේ. පොලිස් පොතේ ඇන්ටරියවත් ලියාගන්නේ නෑ. ලොකු මාමගෙ මොලේ ඉස්තරං. ගම් පළාතෙ 'සරලොක් හෝංස්' වෙන්න තිවුන මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග .. ඔව් ඒ තක්කාලි පෙට්ටි හත අටක් පමණ වූ තක්කාලි ගොඩ නගරයට ගෙන ගොස් විකිණූ බවයි කුමාර අප සමග කිවේ. පුදුමෙනුත් පුදුමයි අපේ මාමලා හෝ අපි කුමරලාට කිසිදෙයක් කලේ නෑ ඔවුන් අපේ මහන්සිය හොරකම් කල බව අහුවෙලා තියෙද්දිත් .. කුමාරලා තවදුරටත් වට්ටක්කා හොදි එක්ක "රොටී කන්න " ඇති .. අපේ ලොකුමාමා 1977 නාවික හමුදාවට බැඳුනු ( හමුදා සේවය ඉතා ඉහලින් සැලකුණු යුගයේ ) නාවික සෙබළෙක් , බොම්බඩියර් කෙනෙක් විදිහට ත්‍රිකුණාමලය කරෙයිනගර් නාවික කඳවුරේ වැඩ කරලා තිබ්බ කෙනෙක්..එයාට ඉන්නේ දුවලම තුන්දෙනෙක්.. අපි තමයි ඒ කාලේ එයාගේ සරලොක් හෝම් වැඩ වල කොටස් කාරයෝ... ලොකුමාමා ගැන මම කලින් පොස්ට් එකක් ලිව්වා ..මේකට ලින්ක් එකක් දාන්න ඕනේ

      Delete
  2. මහන්සිය යෙදූ එලදාව සොරා ගැනීම කොතරම් නරුම ක්‍රියාවක් ද ?

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තුතියි ට්‍රාන්ස්.. //මහන්සිය යෙදූ එලදාව සොරා ගැනීම කොතරම් නරුම ක්‍රියාවක් ද ?// හරියට හරි.එහෙත් එදත් අදත් හැමදාමත් ඒ වගේ නරුම වැඩ කරන මිනිස්සු ඉන්නවා දැන දැනම හෝ නොදැනුවත්ව හෝ..

      Delete
  3. භූමි වාසි තිබුන නිසා හොඳයි.. නැත්තං අපට කියවන්න වෙන්නෙ කළුකුඩු භස්නෙ ගැන තමා..
    ඔය නුවර එළිය පැත්තෙ ට්‍රිප් ගිහිල්ලා රෑ වෙරිමරගාතෙ කැරට් කොටු වලට රිංගන එවුන් ඉන්නවා නේද? උන් හරි චාටර් නේහ්..? චික්... අපි නෑ නෙ ඔව්වට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් .. //භූමි වාසි තිබුන නිසා හොඳයි.. නැත්තං අපට කියවන්න වෙන්නෙ කළුකුඩු භස්නෙ ගැන තමා.//..එහෙනම් එහෙනම් අපිත් අර ඈත අතීතයේ ඇල්ල කපොල්ල , බලන කපොල්ල වැනි භුමි වාසි පාවිච්චි කළා වාගේ කුඹුරු යායේ පිහිටීම ප්‍රයෝජනයට ගත්තා .. බැලුවහම සුද්දා වුනත් අපිට භුමි වාසි සලසලා දීලා තේ වතු වැවීම මගින් /බලන් ගියාම අධිරාජ්‍යවාදියත් දේශප්‍රේමී වෙන වෙලාවල් තියෙනවා.. .. ඔය ට්‍රිප් ගිය අය තැන් තැන් වල චයාරුප දාල තිබුනා ඒත් කැරට් වගාවක් නම් දැක්කේ නැහැ..

      Delete
  4. අමුතු කතාවක් ගොවි ජීවිතය, අභියෝග , කාලීන ප්‍රශ්න ඒවා ජයගැනීමට පවුලේ සාමුහික උත්සාහය හැමෙකම තියෙනවා.
    මේක අත්දැකීම් සාහිත්‍යට තියෙන දායකත්වය නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අපි මේවා ලියන්නේ නම් අත්දැකීම් සාහිත්‍යට දායකත්වයක් වශයෙන් තමයි. කියවන අය ඒවායින් කිසියම් ප්‍රයෝජනයක් ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් කරනා ලියවිලි මේවා ... ජයවේවා !!!

      Delete
  5. විචා‍රකගෙ යුද්ධ උපක්‍රම වලට සමානවම මේ ගොල්ලත් ලයිෆ් සේවිං වලට සෑහෙන්න උපක්‍රම භාවිතා කරල තියෙනව වගෙයි.
    ඉතිං ඊට පස්සෙ තක්කාලි වලට මොකද උනේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Praසන්ன.. තක්කාලි ටික ආපහු ලැබුණේ නැහැ කුමාරලා තාත්තා ඒවා විකුණා මුදල් කල බවයි ආරංචි වුණේ..

      Delete
  6. ආන්ඩුවේ රස්සාවල් කරන උනුත් ඔහොමනේ.... කිසි මහන්සියක් නැතිව කනවා බොනවා... අපි පුක ඉරාගෙන උන්ට කඹුරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් ..//ආන්ඩුවේ රස්සාවල් කරන උනුත් ඔහොමනේ.... // හැමෝම නෙවෙයි මැති ඇමති ගොල්ලන්ගේ පන්දම් එළියෙන් ආණ්ඩුවේ පොඩි පොඩි රස්සා ගන්නා දේශපාලන ගැත්තෝ කිහිප දෙනෙක් ඇරුනහම තමන්ගේ රාජකාරිය හඳුනන රජයේ සේවකියින් එහෙම නෑ...

      Delete
  7. මේ සමන්තයි අර බ්ලොග් ලියන සමන්තයි එක්කෙනෙක්ද? කවිඳු සෑහෙන කට්ටක් කාල තියනවා ඒ කාලේ. තක්කාලි හොරකමට මුකුත් නොකලේ ඒ මිනිසුන් නුත් දුප්පත් නිසා වෙන්න ඇති. නමුත් අඩුම ගානේ කියන්න තිබ්බ ආයේ නොකරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් ... මේ "සමන්තයි" බ්ලොග් ලියන සමන්තයි දෙදෙනෙකි. එහෙත් දෙදෙනාටම මගේ අය්යා යැයි කියන්නට හැකිනම් එය මට මහත් ආඩම්බරයක් වනු ඇත. හේතු ;
      1. බ්ලොග් ලියන සමන්ත ( සමන්ත විද්‍යාරත්න)වැනි තම අනාගතයත් , මුළු ජිවිතයමත් අපේ පළාතේ ( ඌවේ ) දුප්පත් ජනතාව වෙනුවෙන් කැප කල මිනිසෙකුට තමන්ගේ අය්යා යැයි කියන්නට ලැබේ නම් එය වාසනාවක්ම වන බැවිනි.
      2. මෙවැනි අවිචාර සමයක් පසු කර පැමිණි "අපේ සමන්ත " දැන් ලොව සුපතළ මහාචාර්ය වරයෙකි. ඔහුගේ සෙවනේ සේවය කරන්නෝ , අධ්‍යාපනය හදාරන්නෝ ලෝකයේ සතර දිග්භාගයෙන් පැමිණි වෙදැදුරන් වෙති. මා සේවය කරන රෝහලේදී හෝ අප යන එන සම්මන්ත්‍රණ වලදී හමුවන ඔවුන් "සමන්තගේ " ගුණ කියද්දී මම සියුම් සතුටක් ලබන්නෙමි.
      //කවිඳු සෑහෙන කට්ටක් කාල තියනවා ඒ කාලේ..// ඔබ මේ ලිපියේ යටින් දිවෙන තේමාව හරියට ස්පර්ශ කලේනම් මා කිසිම විටෙක අප කල වගා කටයුතු කට්ටක් ලෙස සැලකුවේ නැත.. අප මෙතෙක් ජිවිතයේ ලැබූ සියළු අපහසුතා අපේ අනාගතය ගොඩ නැංවීමට පහුරක් ලෙස පාවිච්චි කල අය වෙමු. ගොවිකම් "කට්ටක්" ලෙස සැලකුවේ නම් ඌව වැනි පළාත් වලින් බිහිවූ සියළුම විද්වතුන්, ඉහළ රැකියා දරන්නන් මේ "කට්ට " කා තිබේ.. ඔබ අදහස් කරන්නට ඇත්තේ අප පණ බේරා ගැනීමට කල සටන ගැන විය හැකිය. එය කට්ටක් බව හැබෑය එයද 1989-90 අපේ පළාතේ සිටි සියළු තරුණයින්ට උරුම වූ කට්ටකි.. මෑතකදී දුයිෂෙන් හෙවත් බ්ලොග් ලියන සමන්ත ලිවූ පොස්ටුවකට කට්ටිය කොමෙන්ටු දමද්දී මම බලා සිටියේ .. මේ කියනා "කට්ට" ඇත්තටම කා නැති අයට කලහැක්කේ පරිගණක යතුරු පුවරුවෙන් ඌව ගොඩ දමන හැටි කීම පමණක් බව හොඳින් වටහා ගනිමිනි. බ්ලොග් ලියන සමන්තත් අපත් ඌවෙ සැබෑ තත්වය අතැඹුලක් සේ දැනගන්නට සමත් වීමු . ඒ අප අපේ ජිවිතයේ වැඩි කොටසක් ගෙවුයේ ඒ කර්කශ පරිසරයේ නිසාය. ඔහුගේ වෑයම අප ඉහලින් අගය කරන්නේ ඒ නිසාමය.

      Delete
  8. දාඩිය මහන්සියෙන් වවපු දෙයක් හොරකම් කරනව කියන්නෙ හරි පහත් වැඩක්..දුප්පත් මිනිස්සු වෙන්න ඇති කියමු.ඒත් ඉල්ලුවනං වට්ටක්ක ගෙඩියක් තක්කාලි ටිකක් නොදී ඉන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තර මල්ලී.. ඔව් ඔව් ඔය කුමාරලා අපේ කොටුවට ඇවිත් වට්ටකක්ක දළු. තක්කාලි , මුකුණුවැන්න වගේ දේවල් අරන් යනවා ඒ කාලේ ඇත්තටම තක්කාලි කඩන දවසට එහෙම උදව්වට ආවම ගෙදර ගෙනියන්න එලවලු දෙනවා අපි කුමාර්ට. මෙතැන වුණේ එහෙම දෙයක් නෙවෙයි..මුදල් ලබා ගැනීමේ ආශාවෙන් කල හොරකමක්..

      Delete
  9. භීෂණ සමයේ තිබුන කරදර ඇරෙන්න ඔබ ජිවිතයේ බොහොම සුන්දර අත්දැකීම් ලබපු කෙනෙක්...මට හිතෙන්නේ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරුවැහි.. එවැනි සුන්දර මෙන්ම ත්‍රාසජනක අත්දැකීම් ලබන්නට ලැබෙන්නේ කලාතුරකින්... භිෂණය ගැන කිව්වහම මතක් වුණේ අපේ රටේ උතුරු නැගෙනහිර පළාත්වල පාසැල් සිසුන් පරම්පරා දෙකක් තුනක්ම මෙවැනි මරණභියකුත් කරපින්නාගෙන ඉගෙන ගත්තා නේද කියලා . ඒ අයගේ කතා ලියවුණා නම් ඔබටත් අපටත් වටහා ගන්න තිබුනා යුධමය වාතාවරණයක් යටතේ ඉගෙන ගන්නා තරුණ තරුණයින්ගේ අපහසුව...

      Delete
  10. භීෂණ සමය ඇතුලේ කෘෂිකාර්මික ජනජීවිතයට එබිලා බලන්න හොඳ අවස්ථාවක් මේ ලිපිය ඇතුලේ තියනවා. බොහොම ලස්සන ආත්මකථනයක්.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි... ඉදිරියටත් අපිව කියවන්න .. ජයවේවා !!!

      Delete
  11. ඔන්න ආවා මේ පැත්තට , නිවාඩු පාඩුව කියවන්නම් හිමිහිට

    ReplyDelete
  12. ස්තුතියි ශානි මේ පැත්තට ආවට .. කියවලා අදහස් ලියන්න.. ජයවේවා !!

    ReplyDelete
  13. You have written lot of inspiring stories... well done doctor !!! have to read lot of posts of your blog
    P.S : I'm willing to know few more details regarding Australia migration process.Appreciate if you could let me know any method that I can keep in touch with you (email of FB)

    ReplyDelete
    Replies
    1. thanks. I have already sent you my email.. happy reading

      Delete