Follow by Email

Wednesday, 28 September 2016

හින්නි අප්පුහාමිලා සහ මගේ කාර් එක



මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  පරිවාස කථිකාචාර්ය වරයෙකු ලෙස පත්වෙන්නේ වසර දෙදාහේ මැද භාගයේදීය.

තනිකඩයෙකු ලෙස පේරාදෙණියට පැමිණි මා  මුලින්ම නතර වුයේ  පිළිමතලාව පාරේ නිවසකයි.

විශ්ව විද්‍යාලයේ සරප් වරයෙකුට අයත් නිවසේ යට තට්ටුව මගේ ප්‍රථම කුලී නිවාසය විය.

ඒ කාලයේ මගේ මාසික කුලිය රුපියල්  හාර දහසකි. රුපියල් දොළොස් දහසක මාසික වේතනයක් ලැබූ මට
විශ්ව විද්‍යාල වැටුපෙන් පමණක් කල හැකි දේ ඉතාමත් සීමිත විය.

මාසිකව මුදලක් අම්මලාට යැවීමටත්  නිවසේ කුලිය ගෙවීමත් හැරුණු කොට මට ඉතිරි කල හැකි දෙයක් නොවිය.

පරිවාස කාලයේදීම පුද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කරන්නට මා පෙලඹෙන්නේ ඒ නිසාමය.

උදේ අටේ සිට හවස හතර දක්වා විශ්ව විද්‍යාලයේ සේවය කල මම හවස  හතරෙන් පසු  පිළිමතලාව පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන ගියෙමි.

මුල් කාලයේ පාරේ බස් එකේ ගමන් බිමන් ගිය මට මෝටර් රථයක් අත්‍යාවශ්‍ය බව හැඟුනේ  පුද්ගලික වෙදකම ආරම්භ කිරීමත් සමගයි.


"මම හිතුවේ මහත්තයා අද ඇවිත් නෑ කියලා .  කෝ කාර් එක පේන්න තිබුණේ නෑ නේ "

යැයි  කියමින් මා හමුවට එන ලෙඩුන් පවසන්නට පටන් ගැනීමත් සමග මේ අවශ්‍ය තාවය  තදින්ම දැනෙන්නට විය.

"නෑ මම තාම කාර් එකක් ගත්තේ නෑ . දැනට කාර් එකක් හොය හොයා ඉන්නේ "

මම ලෙඩා අස්වසාලන්නේ  කාර් එක ළඟ ලඟම එන බව ඉඟි කරමිනි.

"ඉතින් ඩොක්ටර් අර හින්නි අප්පුහාමි ගෙන් අහන්නකෝ  .

එයා හොයලා දෙයි හොඳ වාහනයක් "

"කවුද හින්නි අප්පුහාමි?  අර  මගෙන් බෙහෙත් ගන්න එන ඊ ෆැකල්ටියේ  ටෙක්නිෂන් මහත්තයද? "

"ඔව් . ඔව් එයා තමයි ඩොක්ටර් .

හින්නි මහත්තයා වැඩ කරන්නේ  මෝටර් මිකැනික් අංශයේ ම නේ ? "

ඒ වන තෙක් විශ්ව විද්‍යාල  කාර්ය මණ්ඩල ගැන විශේෂ අවධාණයක්  යොමු නොකල මට ඔවුනගේ ජිවිත ගැන බොහෝ පාඩම් ඉගෙන ගන්නට ඉඩ ලැබෙන්නේද මේ වකවානුවේදීය.

උදේ අටට වැඩට එන ටෙක්නිෂන් මහත්වරු බොහෝ දෙනෙක් දවස ගෙවන්නේ පත්තර බලමින් හෝ රේඩියෝ අහමිනි.

අපේ දෙපාර්තමේන්තුවේ පමණක් ටෙක්නිෂන් වරු අට දෙනෙක් සිටි බව මතකය.

සතියකට දෙතුන් වරක් එන ප්‍රැක්ටිකල්  එක සකස් කිරීම හැරුණු විට ඔවුන් කල වෙන වැඩක් මට නම් මතක නැත.

මට මතක හැටියට  ඒ කාලේ  අපේ දෙපාර්තමේන්තුවේ වැඩි බර ඇද්දේ කම්කරුවන් විසිනි .

ඒ අතරින් පියතිලක  , ප්‍රේමදාස වැනි කම්කරුවෝ ඉතා වෙහෙස වී වැඩ කල හැටි මට මතකය.

මෙය විශ්ව විද්‍යාලයේ බොහෝ දෙපාර්තමේන්තු වලට පොදු වූ ලක්ෂණයකි.

අනියම් කම්කරුවන්  වැඩ කරනා අතරේ ස්ථිර කම්කරුවන් සහ ටෙක්නිෂන් වරු තම තම අතිරේක රැකියා  වල වැඩිපුර යෙදුනේ අපේ දෙපාර්තමේන්තු වේ පමණක් නොවේ

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයේ  ටෙක්නිෂන් වරු සහ බොහෝ කම්කරුවෝ තමන්ගේ රාජකාරියට  අමතරව වෙන රැකියා දෙකක් වත් කරති.

ත්‍රී විලර් එළවීම වැනි රැකියා කම්කරුවන් ගේ අතිරේක රැකියා වූ අතර ටෙක්නිෂන් වරු කිහිපදෙනෙක් ම වාහන බ්‍රෝකර් වරුන් ලෙස කටයුතු කළහ.

කෘෂිකර්ම පීඨයේ  සිසිල් සහ ඉංජිනේරු පීඨයේ  හින්නි අප්පු හාමි  මෙන්ම  වෛද්‍ය පීඨයේ රියැදුරෝ කිහිපදෙනෙක්ම මේ  බ්‍රෝකර් රැකියාවේ නිරත වූ බව මතකය.

ලේ වමනය කල රෝගියා 



ඒ මම  "පොල් කඩන්නට " පටන් ගත් මුල්ම කාලයේ දිනයකි.  පුරුදු පරිදි  සිල්ලර බඩු කඩයක උඩ තට්ටුවේ වූ  මගේ "ෆැමිලි කෙයා  " එකට වී සිටියෙමි.

මුහුණපුරා රැවුල වවා ගත්  කළු මිටි රෝගියෙක් මගෙන් බෙහෙත් ගන්නට පැමිණ සිටි.

"කෝ දොස්තර මහත්තයා ඉන්නවද? " මා සිටි මේසය ඇති කොටස වසා තිබු කොළ පාට තිරය මෑත්  කරමින් රෝගියා  මා ගැන විමසන්නට විය.

"ඉන්නවා . එන්න එන්න. මෙහෙන් ඇවිත් ඉඳ ගන්නකෝ "

"මාර වැඩේනේ ඩොක්ටර්  .ඊයේ පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා යාළුවොත් එක්ක  අද කීප පාරක්ම ලේ  වමනේ  ගියානේ "

රෝගියා  රෝග ඉතිහාසය කියන්නට පටන්ගත්තේය.

ඒ කාලේ මගේ පොලේ රෝගීන් ගේ පැමිණීම දහයක් දොළහක් වැනි උපරිමයකට යටත් ව තිබුනා කිව්වොත් නිවැරදිය.

ඒ නිසා රුපියල් හැටත් අසුවත් අතර ගානක් මට ගෙවනා රෝගියෙකු වෙනුවෙන් අඩුම තරමේ විනාඩි විස්සක් හෝ පැය භාගයක් වැය කිරීම මගේ සිරිතයි.

රෝගියා ගේ මද්‍යසාර භාවිත කිරීමේ ඉතිහාසයේ සිට  මද්‍යසාර අධික ලෙස භාවිතා කිරීමෙන් ඇතිවිය හැකි ඵල විපාක (සිරෝසිස් වැනි අක්මාවේ  අබාධ තත්වද ඇතුළුව )  විස්තර කරන්නට  එය අවස්ථාවක් කර ගත්තෙමි.

ඔහුට ඇතිවී ඇති තත්වය  "මැලෝරි වයිස් ටෙයාර්"  නමින් හඳුන්වන   ගලනාලයේ  සියුම් ඉරීමක් විය හැකි බවත් එහෙත් ඔහුගේ  මද්‍යසාර  භාවිත කල ඉතිහාසය අනුව  අක්මාව  පිලිබඳ ලේ පරික්ෂා සහ  ගලනාලය තුලට  බටයක් දමා කාරනා පරීක්ෂණ වැනි දේවල් කලයුතු බවත්  රෝගියාට පැවසුවෙමි.

"මිට පස්සේ නම් අරක්කු බොන්නේ නෑ ඩොක්ටර් . 

යාළුවෝ එක්ක සෙට් වුනාම තමයි වැඩි පුර පෙවෙන්නේ "

රෝගියාද  මගේ වෛද්‍ය උපදෙස් පිළිගත් බවක් පෙන්නුම් කළේය.

පොල් කඩේ මුල්ම කාලය නිසා මගේ රෝගීන්ගේ  රැකියාව , පවුලේ විස්තර  , සිගරට් අරක්කු බිම වැනි පුරුදු ගැනද  කතා කිරීම මගේ සිරිතයි.

ඒ  අනුව  මේ ලේ වමනය ගොස්  පැමිණ සිටින්නේ  පේරාදෙණිය  ඊ ෆැකල්ටියේ   ටෙක්නිෂන්  කෙනෙකු සහ නමගිය  වාහන  බ්‍රෝකර් කරුවෙකු වූ  හින්නි අප්පුහාමි බව හඳුනා ගත්තෙමි. 


එමෙන්ම ඊට පළමුදා   රාත්‍රියේ ඔහු අරක්කු බී ඇත්තේ තවත් වාහන බ්‍රෝකර් කෙනෙක් මෙන්ම  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ටෙක්නිෂන් කෙනෙකු ද වූ සිසිල් සමග බවද  දැනගත්තෙමි. 


මෙන්න මේ  බෙහෙත් ටික ගන්න කියමින් "ඇන්ටසිඩ් පෙති" සහ විටමින් වර්ග තුනක්  හින්නි අප්පුහාමිට දුන් මම දිගටම ලේ වමනය  ගියහොත් පේරාදෙණිය ශික්ෂණ  රෝහලට  යායුතු බවත් ඉහත සඳහන් කල පරීක්ෂණ  කර ගත යුතු බවත් පැවසුවෙමි. 

"බොහොම ස්තුතියි ඩොක්ටර් දුන්න උපදෙස් වලට  මම ගිහින් එන්නම් එහෙනම්"

රුපියල් අසුවක් මට දුන් රෝගියා  මගෙන් සමුගත්තේ ලබාදුන්   වෛද්‍ය උපදෙස් වලටද ස්තුති  කරමිනි. 

ඊට පසු කිහිපවතාවක්ම  හින්නි අප්පුහාමි සහ ඔහුගේ පවුලේ අය මගෙන් බෙහෙත් ගන්නට පැමිණි අතර  දින ගණනාවක් අතුලත ඔවුන්ගේ පවුලේ   වෛද්‍ය වරයා ලෙස මාව තෝරාගත් ලකුණු දක්නට ලැබිණ.







කාර් බැලු හැටි



මෙසේ කාලය  ගත වෙද්දී  මගේ  ලෙඩුන් සංක්‍යාවද  ටිකෙන් ටික වැඩි වෙන්නට විය. 

බොහෝවිට කඩුගන්නාව බස් එකක එල්ලී සේවය අවසන් කර එන මම කෙලින්ම පොලට යන්නට  හුරු වීමි.

නුවරට ආසන්න වුවද ප්‍රධාන පාරෙන් එපිට වූ ගම් වැසියන්ගේ  ඉල්ලීම පිට රාත්‍රී කාලයේ  නිවසේද  හදිසි රෝගීන්ට බෙහෙත් කරන්නට පටන් ගත්තෙමි. 

ඒ ගැන වඩාත්ම  සන්තෝෂ වුයේ මා කුළියට ගත් ඇනෙක්ස් එකේ හිමි කරු වූ සරප් මහතාය.

හේතුව ඔහුගේ  නිවසේ නැවති සිටින  දොස්තර මහතා ගෙන්  ගමේ අයට තිබෙන ඵල ප්‍රයෝජන අධික වීමයි.

විශේෂයෙන්  රාත්‍රියේ  සිදුවන හදිසි ආපදාවන් වලදී  දොස්තර කෙනෙක්  අතළඟ සිටීම ගම්මුන් බොහෝ සෙයින් අගය  කල කාරණයකි.

මෙසේ කාලය ගතවෙද්දී  මා වෙත  පැමිණි සරප්  මහතා

"ඒක  නෙවෙයි  ඩොක්ටර්  දැන් ලෙඩ්ඩුත්   ටික ටික වැඩිවෙනවා නේද?  දැන්නම් ඉතින් කාර් එකක් විතරයි අඩු "

යනුවෙන් මට කාර් එකක් ගැනීමේ  වැදගත් කම සිහිපත් කළේය.


"ඔව් ඔව්  සමහර ලෙඩ්ඩු මගෙනුත් අහනවා  කෝ ඩොක්ටර් අද කාර් එක කියලා එහෙම "

මම මගේ රෝගීන්  ගේ  කාර් එකක් සහ දොස්තර කෙනෙක් අතර අවස්ථා සම්බන්ධය දකින්නට ඇති  කැමැත්ත සරප් මහතාට මතක් කර දුන්නෙමි.

"මේකනේ ඩොක්ටර් වැඩේ .

ගොඩක් ලෙඩ්ඩු  ඩිස්පැන්සරියේ  දොර ඇරලද  කියලා බලනවට වඩා පුරුදු වෙලා ඉන්නේ මහත්තයාගේ  කාර් එක පාර අයිනේ තියෙනවද  කියලා බලන්න .

පාර අයිනේ කාර් එක පේන්න  තියෙනවා නම් ලෙඩ්ඩු දන්නවා දොස්තර මහත්තයා ඇවිත් ඉන්නේ කියලා .

ඔන්න ඔහේ  පොඩි කාර් එකකුත් ගමු ඩොක්ටර් එතකොට  ඔක්කොම සම්පුර්ණයි. "

සරප්  මහතා කියාගෙන ගියේය.

මේ අතර කිරිබත්කුඹුරේ  දුමි අය්යා ( අපේ සමන්ත ඉස්සර නැවතී සිටි ගෙදර )  මට කාර් එකක් ගැන හෝඩුවාවක් ලබා දුන්නේ ය.


ඒ  ඔවුන්ගේ නිවසට එහා පැත්තේ නිවසක සිට ඊට ආසන්න කාලයකදී මියගිය අංකල් කෙනෙක් පාවිච්චි කල  කොරොල්ලා  AE 81 කාර් එකක් විකුණන්නට  තිබෙන ආරංචියයි.



දුමි අය්යා ගේ පනිවිඩය ගැන සරප් මහතාට මතක් කලේ  මාත්  සමග කාර්  බලන්නට යන්නෙක් අවශ්‍ය  බව කියමිනි.

"ඉතින් ඩොක්ටර්  අර  හින්නි අප්පුහාමි එක්කන් යන්නකෝ  එයා වාහන ගැන හොඳට දන්නවනේ . 

මිනිහා ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්නත් එනවා නේද ? " සරප් මහතා කාර් බැලීමට හොඳම  කෙනා මට මතක්  කර දුන්නේය .

ඊට ටික දිනකට පසු  පාර අයිනේ සිටි හින්නි අප්පුහාමි  හමුවූ මම කාර්  එක ගැන විස්තරය  ඔහු සමග පැවසුවෙමි.

"හරි ඩොක්ටර් මම වැඩ කරන ගමන් වෙලාවක ඩොක්ටර් එක්ක යන්න එන්නම්  . 

මම එනවෙලාවට  කෝල් එකක් දෙන්නම් කෝ " හින්නි වැඩේට එක පයින් කැමතිවුනේ මගේ හිතවත් රෝගියෙකු  ලෙසිණි.

හින්නිත් මමත් කාර් එක තිබු නිවසට ගොස් ලා කොලපාට ඉතා පිළිවෙලට තිබු කොරොල්ලා කාරය පරික්ෂා  කළෙමු.

කාර් එකේ ලොකු වරදක්  හෝ ලොකු හොඳක් නොකියා සිටීමට  හින්නි මහත්තයා  වග බලා ගත්තේය . 

අවසානයේ  මම නිහඬතාවය  බින්දෙමි .

"අන්තිම  ගාන කියද ඇන්ටි ? " 

"පුතා අංකල් මේක හරි ආදරෙන් පාවිච්චි කලේ  . 

අපිට මේකට දෙකයි තිහැක වත් ඕනෑ. 

ඔක්කොම ටුල්  කිට් එහෙම එහෙම්ම තියෙනවා . ඒවත් එක්කම  තමයි කාර් එක දෙන්නේ ".

"ඩොක්ටර්  දෙකයි දහයක්  කියන්න . ඔක  ඒ ගානට ගන්න පුළුවන් " හින්නි අප්පු හාමි මගේ  කනට කර පැවසුවේය.

මම දෙකයි දහයක් ලන්සුව ලෙස තැබුවෙමි.  කාර් එක එදිනම මගේ සිත් ගත්තද කාර් ගැන දන්නා  හින්නි  ගේ අදහසට  ඉහලින් යන්නට මට සිතුනේ නැත.

දින කිහිපයක් ගතවී  ගියේය. කිරිබත්කුඹුරේ දුමි අය්යා හමුවූ මොහොතක කාර් එක ගැන ඇසුවෙමි.

"අන්න මල්ලි ලොක්කා  උඹට වැඩේ දීල.

එදා උඹ එක්කන් ආපු බ්‍රෝකර් පහුවදාම වෙන මනුස්සයෙක් එක්කන් ඇවිත් අල්ලපු ගෙදර ඇන්ටිගේ  කාර්  එක දෙකයි තිහටම  විකුණලා  දීලා.

මරූ කාර් එක බන් අපරාදේ  උඹට එදාම  ගන්න තිබ්බේ "

දුමි අය්යා  කාර් එක විකුණු ආරංචිය  මා හට පැවසුවේ  එසේය.  හින්නි අප්පුහාමි මට මුල්ම  පාඩම ඉගැන්වූයේ  එසේය.

දෙවන පාඩම ඉදිරියේදී  බලාපොරොත්තු වන්න 







31 comments:

  1. Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට .. කාලෙකින් ලියන්න බැරිවුණා . වැඩ සහ නිවාඩු නිසා

      Delete
  2. හින්නිය ඊලඟ පාර බෙහෙත් ගන්ට ආහම නින්දයන පෙතියි, බඩ යන පෙතියි එකට දෙන්ටයි තිබ්බෙ...:)

    ReplyDelete
    Replies
    1. කොහෙද මම හින්නියගෙන් පාඩමක් ඉගෙන ගත්තේ නෑ නොවැ. හින්නි සහ මගේ කාර් සම්බන්ධ "රසවත්ම කතාව " තවම ලියවුනේ නෑ . ඒක කියවලාම බලමු එතකොට හින්නි අප්පුහාමි ගැන මොකද හිතෙන්නේ කියලා.

      Delete
  3. කනට දෙකක් දෙන්ඩ තිබුනෙ

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස කියෙව්වනම් අටම්ට මොනවා හිතෙයිද දන්නේ නෑ.

      Delete
  4. කනට දෙකක් දෙන්ඩ තිබුනෙ

    ReplyDelete
    Replies
    1. හින්නි සහ මගේ කාර් සම්බන්ධ තව කතා කිහිපයක් තියෙනවා . ඒවා මතක් වෙනකොට මට මගේ ගැනම පුදුම දුකක් කණගාටුවක් ඇතිවෙන්නේ.. ඉස්සරහට ලියවෙයි කියවමු.

      Delete
  5. හෙහ් හෙහ්, වෛද්‍යවරයා රටේ වෙදෙකුට අසුවූ වගයි. හැබැයි මෙව්වා ජීවිතේටම හොඳ පාඩම්. කිසිම විද්‍යා පීඨයකින් ඉගෙනගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ජිවිත විශ්ව විද්‍යාලයෙන් ලබන පාඩම් හරියට නොලැබුනොත් අපේ ඉගෙනීම අංග සම්පුර්ණ වෙන්නේ නැහැ . එහෙම වුනාම තමයි උපාධි පිට උපාධි ලැබුවත් ළදරුවන් වැනි වැඩ කරන්නේ . මෑත කාලයේ බ්ලොග් වලත් එවැනි අය දකින්න ලැබුනා නේද?

      Delete
  6. දැන් ලංකාවේ කාර් එක ගත්තට පස්සේ එන උණ රෝගය තමයි, කොළඹ හැදෙන හයි-රයිස් රෙසිඩන්ෂන් බිල්ඩිමකින් අපාර්ට්මන්ට් එකක් ගන්න එක.

    ReplyDelete
    Replies
    1. එක එක මිනිස්සු බලාපොරොත්තුවන දේවල් වෙනස් හැමෝම කැමතියි පොඩි හරි වාහනයක්, ගෙයක් දොරක් ආදිය හදාගෙන ඉන්න. ඒ ආශාවන් එසේ තියෙද්දී රටේ ආර්ථිකයට මේ හැමෝම දායක කර ගන්න ක්‍රමයකුත් හැදෙනවානම් හොඳයි..

      Delete
  7. ඉංජිනේරු පීඨයේ සිටි ටෙක්නිෂියන්ලා ගැන මට නම් වැඩි දැනුමක් නෑ.

    සීල් ප්‍රොෆා නම් කම්කරුවෙකු නම් සිටියා ඉතා ප්‍රසිද්ධ.

    බ්‍රෝකර් හින්නි කාර් හිමියාගෙනුත්, ගැණුම්කරුගෙනුත් දෙන්නාගෙන්ම ගාණ කපා ගන්න ඇති!

    ReplyDelete
    Replies
    1. මගේ පොල තිබුණු ප්‍රදේශයේ බොහෝ මිනිස්සු විශ්ව විද්‍යාලයේ වැඩ කල අය. වෙන එකක් තබා පොලේ තාවකාලික පාර්ටිෂන් ගැහිල්ල කරෙත් විශ්ව විද්‍යාලේ වැඩ කරපු වඩු බාසුන්නැහැ කෙනෙක්. හින්නි ගාන කපන හැටි ඔය වගේ තමයි. මිනිස්සු රවට්ටන එක රස්සාවක් හැටියට තෝරා ගන්නේ ඇයි සමහරු? මගේ හිතේ තියෙන ප්‍රශ්නයක්

      Delete
  8. අන්න මින්ස්සු. බොන එක එපා කරාට return දීල තතියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි බීමේ හොඳ දැන ගෙන හිටී මනුස්සයෙක්

      Delete
  9. බ්‍රෝකර්ලා ඔහොම්මම තමයි. ගාන කැපෙනවානම් අම්මා තාත්තා උනත් විකුණයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත හින්නි අප්පුහාමි එහෙමම මිනිහෙක් තමයි

      Delete
  10. හින්නි දොරතර මහත්තයව විකුණල වගේ.
    අර කිවුවත් වගේ බීම තවත්තපු එකටම වෙන්නැති පලිගන්න ඇත්තෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔව් ඔව් වෙන්න ඇති වෙන්න ඇති

      Delete
  11. අපේ රටේ ඉන්න උන් එක්ක ඔය බ්‍රෝකර්ලා දාහෙන් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් දැන් දැන් අපේ අය හින්නිලාටත් අන්ත වැඩ කරන්නේ

      Delete
  12. විභාග පාස් කරලා ගන්න අධ්‍යාපන සහතික වලට ලඟට එන්නවත් බැ කවිඳු ජීවිත විභාගේ පාස් කරන අයගේ දැනුමෙන් ඉගෙන ගන්න පාඩම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වුවාට . එකඟයි ඔබේ අදහසට

      Delete
  13. හෙහ් හේ අපේ ෆැකල්ටියේ මේ වගේ රජවැඩකරුවෝ ඉඳල තියෙනවා එහෙනම්. එහෙ ඉන්නා කාලේ මේ හින්නි අප්පුහාමි ගැන දනන් හිටියේ නෑනේ .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ අය්යා. රුහුණේ ඉඳලා පේරාදෙණිම එන්න වුනා හින්නි අප්පුහාමි වගේ රජ වැඩ කාරයෝ අඳුරගන්න .

      Delete
  14. කාර් බ්රෝකර්ලා විතරක් නෙමෙයි ගරාජ් කාරයොත් අපිව අන්දනවා

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ..මම පේරාදෙණි ඉද්දි මගේ කාර් එක හැදුවේ පැණිදෙනිය පාරේ ඉන්න "ගගාරින් " කියන බාස් . මම තාමත් ලංකාවේ ගියාම ගගාරින් බලන්න යනවා හරි ශෝක් මනුස්සයා

      Delete
  15. අනික් කථා එනතුරු ඉවසන්න හිතුනත් මේක කියන්නම්. සමහර විට ඔහු ඔබට හොඳක් කලා වෙන්නත් පුළුවන්. වාහනයේ වටිනාකම 210 ක් නම් ඔබ 230 ක් ගෙවා ගන්නවාට ඔහු අකමැති වෙන්න ඇති. ඒවගේම ඔහුට එතරම් බැඳීමක් නැති එමෙන්ම යහමින් මුදල් ඇති කෙනෙකුට එය 230 කට ලබා දීම වඩා හොඳ යැයි හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්. මම ඉදිරියේ මේ සම්බන්ධව ලියන කොටස් වලදී පිළිතුරක් ලැබෙයි මේකට..

      Delete
  16. අහු වුණා නේද පොරගේ ගැටේට? ටිකක් කල් යනවා ඕවගේ අය ගැන ඉගෙන ගන්න.

    ReplyDelete