Follow by Email

Wednesday, 14 September 2016

තුන්වරක් සැම්සන් දෙවන කොටස -ජයතිලකෙදි යලි හමුවී



මම මේ කියන කාලය වනවිට  වෛද්‍ය පීඨයේ අවසාන වසර විභාගය සමත් වී සිටියෙමි.  

ඒ වනවිටත් අය්යා සිටියේ අවිවාහකවයි .  

මා ජයංගනී නංගිගෙන් වෙන්කර තැබීමේ උපක්‍රමයක් ලෙස  අය්යාගේ තනියට නුවර යන ලෙස අම්මලා ගෙන් උපදෙස් ලැබිණි. 

ඒ වෙනුවෙන් සමන්තද  මට පේරාදෙණියේ තාවකාලික කථිකාචාර්ය තනතුරක් සහ සේවයෙන් පසු කල හැකි පුද්ගලික වෛද්‍ය සායන කිහිපයක්ද සාකච්චා කර තිබිණි.

මම පේරාදෙණියේ තාවකාලික කථිකාචාර්ය කෙනෙක් ලෙස වැඩ කරන්නට පටන් ගත්තෙමි. 

අය්යා දොඩම්වල පැත්තේ කුළියට ගෙන තිබු විශාල නිවස බලාගෙන උයා පිහාගෙන සිටීම මගේ රාජකාරිය විය.

ටික කලක් ගෙවී ගිය තැන ඔහුට  ඔහුගේ වර්තමාන බිරිඳ සම්බන්ධ වූ අතර ඔවුන් විවාහ වී දොඩම්වලට පැමිණීමත් සමග මම අලුත් නිවසක් සොයා යන්නට තීරණය කලෙමි.

"මල්ලී උඹ කැමති නැද්ද සබ් වෝඩන් කෙනෙක් වෙලා හෝල් එකකට යන්න ? " මම කැම්පස් එකට කතා කරලා අරන් දෙන්නම් .

සමන්ත මගෙන් විමසා සිටියේය. 

"ඉතින් මම මෙහෙ කොල්ලෝ අඳුරන්නේ නෑ නේ ? "

"නෑ.. නෑ.  උඹට උන් අඳුරගන්න අවශ්‍ය නෑ. 

හොස්ටල් එකේ තනි කාමරයක් දෙයි ඒකට වෙලා ඉන්නයි තියෙන්නේ . 

කොල්ලෝ උන්ගේ පාඩුවේ ඉඳියි "

හවසට ජිම් එක පැත්තේ එහෙම ගිහිල්ලා ,කැම්පස් එකේ රවුමක් ගහලා ඉන්න පුළුවන් . 

ඔය අතරේ උඹට පේරාදෙණි කෙල්ලෙක් වත් සෙට් වෙන්නත් බැරි නෑ"

"හරි හරි එහෙම හොඳයි . බෝඩිමක ඉන්නවාට වඩා හෝල් එකක ඉන්න එකට මම කොහොමත් කැමතියි. "

මෙතෙක් අය්යාගේ ගෙදර අයිතිකාරයා සේ මල් පාත්ති හදමින් මිදුල් අතුගාමින් සිටි මා "සබෙක් " ලෙස ජයතිකයට යන්නට තීරණය කලේ එසේය. 

ඒ කාලේ එම විශ්ව විද්‍යාලයේම කථිකාචාර්ය වරයෙකු වූ සමන්තට විශ්ව විද්‍යාලයේ බොහෝ සම්බන්ධකම් තිබිණි.


තරුණ කථිකාචාර්යවරයෙකු ලෙස ඔහු විශ්ව විද්‍යාලයේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය චරිතයකි. 

ඒ නිසාම  තම මල්ලී ට ජයතිලකයේ ස්ටාෆ් කාමරයක් සොයා දීම ඔහුට ඉතා ලෙහෙසියෙන්  හා පහසුවෙන් කල  හැකි විය. 


ජයතිලකේ කැන්ටිම








ජයතිල්කේ කුඩා කාමරයකට  මගේ රෙදි මල්ලත් සමග පිටත් වූ මට උඩ තට්ටුවේ මුල්ලක වූ සබ්වෝඩන් කාමරයක් ලැබිණි.

වෙනම බාත්රුම් ආදිය නොතිබුණු නිසා  කොල්ලෝ පාවිච්චි කරනා  නාන කාමර ,වැසිකිලිම ආදියටම මටද යන්නට සිදුවිය. 

ඒ වන විට ජයතිලකයේ සිටියේ අවසාන වසර වල සිසුන්ය ඉංජිනේරු හැර සියළුම පීඨ වල අවසාන වසරේ සිසුන් මෙහි වාසය කළහ.  

දින දෙක තුනක් ගත වෙද්දී  එහි සිටි අරලගංවිල සිසුන් ද මට මුණගැසුන අතර වෛද්‍ය සිසුන් වූ විමල් , නිහාල් සහ නිසල ගුණතිලකද  ඒ අතර විය .

මේ අය හලෝ මචං හෝ හලෝ අය්යා  කියා කතාබහ කලත්  මාත්  සමග වැඩි භජනයකට නො ආවේ ඔවුන් අවසන් වසරේ විභාග වැඩ වල යෙදී සිටි නිසා විය යුතුය. 

දැන් තදබල දේශපාලනයක යෙදෙනා  නිසල ඒ දිනවල ෆොටෝ කොපි බිස්නස් කරමින් තම පෙම්වතිය සමග රවුම් ගසමින් සිටි අයෙකි. 

අරලගංවිල මහා විද්‍යාලේ ගිය වෛද්‍ය සිසුන් තම පාඩම් වැඩ වල යෙදී "බිසී " වී සිටිද්දී මම තනියෙන් ජයතිලකයේ  එහා මෙහා සැරිසැරුවෙමි. 

කැන්ටිමට  ගොස් තනියෙන් කෑම කෑවෙමි. තේ බිව්වෙමි.

මහමෝදර  හොස්ටල් එකේ එක් එක් වසර වල කොල්ලෝ ගොඩක් මැද සිංහයෙකු මෙන් දිවි ගෙවූ මට මේ ජීවිතයේ  පුදුම තනිකමක් පාළුවක් දැනීම අරුමයක් නොවේ. 

වෛද්‍ය  පීඨයේ වැඩ නිමකළ මා ජය්තිලකයේ "සබා" ගේ කාමරයට පැමිණියෙමි. 






"වඩේ එකක් කාල ප්ලේන්ටියක් ගැහුවනම් හරි "

මම යට තට්ටුවේ ඇති කැන්ටිම වෙත යන්නට තීරණය කලෙමි. 

කොරිඩෝවේ මද දුරක් ගියා පමණි 

"හලෝ කවිඳු කොහෙද මෙහේ "  

මම කොරිඩෝව දිගේ ජයතිලක කැන්ටිම දෙසට යද්දී මා ඉදිරියට හමුවූ අමුත්තෙකි.

අතේ ෆ්ලොපි  ඩිස්ක් එකකි. වෙහෙසකර බවක් පෙන්වූ මුහුණේ නැගෙන අව්‍යාජ සිනහවත් සමග මම මගේ පැරණි සගයා හඳුනා ගත්තෙමි.

"දෙය්යනේ සැම්සන්? කොච්චර කාලෙකට  පස්සෙද ? "

"ඔයාත් කැම්පස් ඇවිල්ලා එහෙනම් ? 

මම වැල්ලවායේ ඉස්කෝලේ වැඩට ගියත් හරි  ඔයාගන විස්තර මට නැතිවුණා .

"කොහොමද  ? කොහොමද විස්තර ? මේ කොහෙද යන්නේ ?"

"කවිඳු  දක්කිනත් සන්තෝෂයි . මම  දෙවැනි පාර විභාගේ කළා ඒකෙන් ඇග්රි සිලෙක්ට් වුනා . 

දැන් ඉන්නේ ෆයිනල් ඉයර් එකේ . මේ ප්‍රොජෙක්ට් එකක් ලියන්න කොම්පියුටර් රුම් එකට යන ගමන් "

"එහෙනම් ඔයා බිසී ඇතිනේ. ?"

ටිකක් බිසී නම් තමයි. කමක්  නෑ කාලෙකින් නේ හම්බවුනේ යමු කැන්ටිමට තේ එකක් බොන්න"

මම නැවත හමුවූ මගේ පාඩම් සගයා සමග ජයතිලකයේ පඩිපෙළ බැස්සෙමි. 

"මුදලාලි අපිට වඩේ  හතරකුයි  ප්ලේන්ටි දෙකකුයි දෙන්න "

සැම්සන් කොටුදැලෙන් එබී බලනා මුදලාලි ට  ඕඩර් එක භාර දුන්නේය.

"එක නෙවෙයි දැන් මොකද කූජනා නංගි කරන්නේ ?  "

"එයා ඒ ලෙවෙල් එක පාරක් කරලා එන්. ටි. එස්. ගියා"

"දැන් එයා බදුල්ලේ එන්. ටි. එස් . එකේ ඉන්නේ "

"අම්මා තවම වැඩ කරනවද ?  "

"නෑ . නෑ .. එයාලත් බදුල්ලට ගියා . නංගිට දැන් පඩියක් හම්බවෙනවනේ "

"නියමයි. ඒක  නෙවෙයි   ඔයත් එක්ක පාඩම් කරපු විරරත්නට මොකද වුණේ ? 

 පොර කැම්පස් ගියාද  ? "

"නෑ නෑ වීරරත්න  පළවෙනි පාරම හොඳට පාස් වුනා. 

කැම්පස්  යන්න ලකුණු දෙකක්  තමයි මදි වුණේ. 

ඊට පස්සේ එයා බලන්ගොඩ පොලිසියේ කොස්තාපල් කෙනෙක් විදිහට වැඩට ගියා. 

ටික දවසකින් ඒ පැත්තෙන්ම බැන්දා කියලා ආරංචියි"

මම වඩේ එකක් හපමින් ප්ලේන්ටිය තොලගාන්නට ගත්තෙමි. 

සැම්සන්ලා , කූජනාලා හා අප සම්බන්ධ කතා බොහෝය. 

කුජානා සහ ජයංගනී එකට පංති ගිය ඒ කාලේ සැම්සන් සහ මම එකට පාඩම් කල හැටි මට සිහිවේ . 

දැන් දැන් සැම්සන් ජයංගනී ගැන අසනු ඇත්දෝයි  මා සිත අනියත බියක් හට ගත්තේය. 

සැම්සන් මගේ බර්ත් ඩේ කාර්ඩ් එකක් ජයන්ගනිට දෙන්නට ගොස් අපේ තාත්තාගෙන් බැනුම් ඇසු හැටි මට සිහි වෙයි .

එහෙත් අප දැන් වසර හත -අටකින් මුහුකුරා ගොස් ඇත්තෙමු. 

ඒ කාලේ කල කී දේවල් වලට වඩා සැම්සන්ට මා ගෙන් ඇසිය යුතු කරුණු බොහෝය. 

"කවිඳු මොකද බර කල්පනාවක? "

"දැන් ඉතින් අපි දෙන්නා එක හොස්ටල් එකේනේ ඉන්නේ . 

අනිවාර්යෙන් හවස වැඩ ඉවරවෙලා ආවම සෙට් වෙමු.

මම එහෙනම් කොම්පියුටර් රූම් එකට යනවා .රෑ කෑමට යනකොට ඔයා එක්ක යන්න එන්නම් "

සැම්සන් මගෙන් සමුගත්තේ තමන්ගේ ෆයිනල් ඉයර් ප්රෝජෙක්ට් එකේ වැඩ කරන්න යන්නටයි.

එදා සිට මා පේරාදෙණියේ සිට හැම දිනකම සැම්සන් සහ මා කෑම ගත්තේ  එකටය.  සමහරක් දිනවල ඔහු මගේ සබ් වෝඩන්  කාමරයේ නිදා ගත්තේය. 

මම ඔහුගෙන් ටික ටික දෙමළ ඉගෙන ගන්නට පටන් ගත්තෙමි. 

මම :

"රෙදි ටික හෝදගෙන එන්නම් "

සැම්සන් :

"උඩුප්පු කළුව වෙන්නුම් "


පසු සටහන:

පසු කාලිනව සැම්සන්  මඩකලපුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ බැංකුවක කළමනාකරු ලෙස වැඩ භාරගත්තේය . එම ප්‍රදේශයෙන්ම විවාහ වූ ඔහු දැන් දරු දෙදෙනෙකුගේ පියෙකි. 

මා සැම්සන් සමග අවසාන වරට දුරකථන සකච්ච්වක් කලේ 2011 දිය. 

ඒ වන විට සැම්සන් එම බැංකු ජාලයේ වයඹ පළාත් ප්‍රධාන කළමනාකරු ලෙස වගකිව යුතු නිලයක් දැරුවේය.

කුජානා නංගි ඒ වන විට රත්නපුර  මහා රෝහලේ හෙද නිලධාරිනියකි.  

මෙවර ලංකාවේ ගිය පසු සැම්සන් සහ කූජනා සොයා ය යුතුයැයි මම තීරණය කලෙමි. 











21 comments:

  1. Replies
    1. හැම දෙයක්ම හොඳින් ඉවර වෙලා තියෙනව.
      කවිඳු ආයෙත් සැම්සන්ව හම්බඋනොත් එයාට ලොකු සතුටක් දැනෙයි.

      Delete
    2. ස්තුතියි ප්‍රසා. ඔව් ඔව්... මාර සන්තෝෂයක් දැනෙයි තමයි. මේ කතාව තව බ්ලොග් පොස්ට් කිහිපයකට මග පාදන සැම්සන් හා අප අතර සම්බන්ධය හඳුන්වා දුන් කොටසක් විතරයි... දැන් මනුස්සය ජයටම ඇති . මේ පාර ගියහම සම්බන්ධ කර ගන්න ඕනේ.

      Delete
  2. අතීත කාමය. මම එම කල්පනා කලේ ඇයි අපි මෙහෙම වෙන යකාගේ අත්දැකීම් රස කර කර විඳින්නේ කියල. හොන්දට් ලියල තියනවා. මමත් වඩේ තුනක්ම කෑව.

    ReplyDelete
    Replies
    1. මමනං හිතන්නෙ අපට නොලැබිච්ච අපිට ලැබුණනං ආසාවෙන අත්දැකීමක් වෙන කෙනෙක් ලබල ඒක කියෝනකොට අපිත් ඒ තුළ ජීවත්වෙලා ඒ අත්දැකීම අපේම කරගන්නව වගේ හැඟීමක් ඇතිවෙන නිසා වෙන්න ඇති.

      Delete
    2. යකාගෙ ? අයෙකුගෙ ?

      Delete
  3. හදවතින්ම අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වුවට

      Delete
  4. ජයතිලකේ ඉංජෝ හිටියා අපේ කාලේ නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික මේ කියන කාලේ හිටියේ නෑ.

      Delete
  5. මහන්සිය අහක ගිහිල්ල නෑ නෙ.අන්න ඒක ලොකු සතුටක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //මහන්සිය අහක ගිහිල්ල නෑ නෙ.අන්න ඒක ලොකු සතුටක්// කවුරු හරි කලින් අහලා තිබුනා ඇයි අපි මේ වගේ අතීත කතා රස විඳින්නේ කියලා. හේතුව ඔන්න ඔතන තියෙනවා.

      Delete
  6. මඟදි ගිහින් ජයංගනී කථාව කියවලා ආවා. සැම්සන්ව ෆේස්බුක් එකේ හොයා ගන්න බැරිද? බැරිනම් බැංකුවේ නම දන්නවා නම් දුරකථන අංකය හොයලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්. සැම්සන් 2011 ෆේස්බූක් හිටියා. මගේ ළඟ දුරකථන අන්කෙත් තිබුනා . දැන් මගේ දුරකථන වෙනස් කරලා නිසා හොයාගන්න බෑ. අපේ ගම් පළාතේ අය දන්නවා ඇති. බැංකුවේ නම මම දන්නවා ලිව්වේ නෑ.. අපි ලංකාවට අවහම දවසක් ඇතුලත හොයාගත හැකිවෙයි.

      Delete
  7. ..දිගටම ලියන්න . අපේ කාලේ නම් ජයතිලක hall යන්න දෙවන ප්‍රමුකතාවය තමයි ඉංජිනේරු අවසන් වසර වල අයට තියෙන්නේ. ...

    ReplyDelete
  8. මාර චාන්ස් තොගයක්නෙ සෙට්වෙලා තියෙන්නෙ‍.

    ReplyDelete
    Replies
    1. නැතුව . නැතුව.. සම්සන්ටත් මටත් අපි හැමෝටම මේ දේ අදාලයි //මාර චාන්ස් තොගයක් // උත්සාහ වන්තයාට චාන්ස් සෙට් වේ...

      Delete
  9. මුල ඉඳන්ම කතාව කියවගෙන ආවා කවිඳු...විවිධ කාල වලදී ජීවිතේට මුණ ගැහෙන මිත්‍රයෝ ඉන්නවා...ජීවිතේට නොයෙකුත් පාඩම් කියාදෙන...

    වෙනදා වගේම ඔබේ ලියමන නම් බොහොම රහයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු වැහි. මේ පොස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නේ නෑ කිව්වා . පෙනෙනවද දැන්?

      Delete
    2. ඔව් පෙනෙනවා...කලිනුත් දැක්කා වගේ මතකයි, මොකද ඒ වෙලාවේ මං හිතුවා පස්සේ හෙමිහිට කියවනවා කියල...

      Delete