Follow by Email

Friday, 28 October 2016

මේ පුංචි රටේ






"හැමදාම  කාගේ හරි ගෙවල් හැදිල්ලක්  , වහල  ගැහිල්ලක් ගැන ලියනවා මිසක් කෝ ආදර කතාවක් වත් ලියන්නේ නෑනේ " 

අපි බ්ලොග් රසික රසිකාවියන්ගෙන් ලැබුණු පණිවිඩ  වල තිබුනා මතකයි.

ඒ  නිසා  මෑතකදී  මා අත්දුටු මෙන්න මේ සිද්ධිය  අද ඔබ වෙත ගෙන එන්න හිතුවා.

අපි ගමේ ඇවිත් 


වර්ෂය  දෙදහස් දාහතර.   ලංකාවවට ඇවිල්ලා ගෙවී යන අන්තිම සතිය.

අරලගංවිල  මහ ගෙදර කට්ටිය බලන්න දෙවැනි වතාවටත්  එහෙ ඇවිත් හිටී ගමන්.

රටින් පිටත් වෙන්න තිබුණෙත් තව දවස් කිහිපයක් විතරයි වගේ.

මම මහගෙදරට වී සුපුන් සහ නංගිලාගේ  ළමයි සමග දොඩමළු වෙමින් සිටියෙමි.

"ඒයි  අපේ දැන් මෙහෙ හිටියා ඇති නේද ? අපි හෙටවත්  අපේ දිහා යමු.

ගෙනියන්න බඩු ලැස්ති කර ගන්නත් තියෙනවනේ "  යෝජනාව නිම්මි ගෙන්.

"ඔව්  ඔව්   මටත් කැම්පස් එක පැත්තේ යන්නත් බැරිවුණා .

දවසක් දෙකක් තියා ඔයාල දිහා ගියොත් මගේ ගමන් ටිකත් කර ගත්තහැකි.

 එහෙනම් හෙට එහෙ යන්න ලෑස්ති වෙමු"  ගමේ හිටියා ඇති යැයි සිතු මම නිම්මිගේ යෝජනාව අනුමත කලෙමි.

අපි නැවතත් තුන්දෙනාගේ  ගමන් බෑග් සකස් කරන්නට ගත්තෙමු.  හවස් වෙද්දී  අපේ ලොකු නංගි අපව බලන්නට ආවාය.

"ආනේ  අක්කලා  ආපහු යන්නද යන්නේ?

 මම  හිටියේ  අක්කා  කේ. අයි. බී . එකට එක්කන් යන්න ලස්සන රෙදි තියෙනවා අක්කා ඒකෙ.

අපරාදේ කාලෙකින් ආපු එකේ එතෙන්ට ගොඩ වෙලා යන්න තිබුණා නම් වටිනවා. "

"ඇත්තද නංගි ? ඒයි අපි තුන්දෙනා ටක් ගාලා ටවුන් එකට ගිහිල්ල එමුද  ඒ කඩේ බලලා ? "

ගමේ යන්න රෙදි අස්කර කර සිටි නිම්මි නැවතත් රෙදි සාප්පු යන්නට සුදානම්ය .

"පිස්සුද ඔයාට ? මේ රෑ වෙලා  මාවනැල්ලේ වගේ නෙවෙයි  මෙහෙ කඩවල් කලින්ම වහනවා.  හෙට උදේ පාන්දරින්ම  ගෙදරින් පිටත් වුනොත්  කේ. අයි. බී  එකටත් ගොඩ වෙලා යන්න පුළුවන් වෙයි.

මම රෙදි සාප්පු බලන්න යෑම පසුදාට කල් දැමුවෙමි.

ඒ පසුදාට  හිමින් සීරුවේ කේ. අයි. බී එක පැත්තෙන් නොයා අනික් පැත්තෙන් අරලගංවිල නගරය පසු කර යන අදහසද ඇතිවයි.

රැයක් ගෙවී තවත් නැවුම්  දවසක්  උදාවී තිබේ .

උදා හිරු නැග එද්දී  නිම්මි සහ මා ගමනට අවශ්‍ය බෑග් ආදිය සකස් කරමින් සිටියෙමු. 

අපේ නංගිලා අක්කලා පවුල් වල අයද අපට සමුදෙන්නට නිවසට පැමිණෙමින් සිටිති. 

සුපුන් තවමත් ලංකාවේ අක්කලා මල්ලිලා එක්ක සෙල්ලමේය.  

තාත්තා සුපුරුදු පරිදි අපේ ගමන ගැන  වෙහෙසෙයි. 

ඒ අපි සකස් කරනා ගමන් මළු එකින් එක වාහනයට පටවන්නට මට උදව් වෙමිනි. 

"පැය ගානක් එලවන්නත් තියෙනවා නේද ? උදෙන්ම පිටත් වෙනන්නයි තියෙන්නේ " ඔහු පාන්දරින් පිටත් වීමේ වටිනාකම අපට මතක් කර දෙයි.

කෙසේ හෝ එදා අප ගෙදරින් පිටත් වෙද්දී අට - නමය පමණ වී  තිබු බව මතකය.  

මම රියදුරු අසුනට බර දුන්නෙමි. තේ වත්ත පාරේ  උදා හිරු නිසා යන්තමින් මැකීයන මිහිදුම කපාගෙන වාහනය පැදවුයෙමි.

යාබද අසුනේ සිටින නිම්මි කඳු මුදුනේ මිදුම් අතරින් එන හිරු රැස් වල පහස විඳියි.

ඇගේ වුවනත  තැඹිලි පැහැයෙන් දිළිසෙයි. 

මෙවැනිම සුසිනිදු මුහුණක් හිමි "ඇය" මා ඉදිරියේ මැවී නොපෙනී යයි . 

ඒ කාලේ මට කාර් තිබුණේ නැත.  

එදා පසළොස්වක පොහොය දවසකි.   මගේ දකුණු පසින් සිටියේ ඒ මුහුණේ හිමි කාරියයි . 

296  බසය වංගුවක් ගන්නා වාරයක් පාසා ඇය මගේ දකුණත තදින් අල්ලා ගනියි.

ඔව් එදා අපි  මුතියංගනය වඳින්නට ගියෙමු. 

ජයංගනී. දැන් එයා මොනවා කරනවා ඇද්ද ? 

එයාටත් මාව මතක් වෙනවා  ඇති  මේ වගේම 

"ඒයි . ඒයි ...අර බලන්න. තේ වත්ත මීදුමෙන් වැහිලා ඒ අතරින් ඉර පායාගෙන එනවා. 

 හරි ලස්සණයි නේද"

ඒ හඬත් සමග මම දැහැණෙන් මිදුනෙමි.  

ඔව් මම  වසර විසි ගණනක් පිටුපසට ගොස් නැවත  වර්තමානයට ආවෙමි . 

ඔය පරණ දේවල් දැන් හිතලා වැඩක් නෑ . 

වෙන්න ඕනෑ විදිහට තමයි වැඩ සිද්ධ වෙලා තියෙන්නේ 

සියල්ල අමතක කරන අටියෙන් මම යටි හිතට පැවසුවෙමි.







එසේ ටික වෙලාවක් නිම්මි සමග කතා බහේ යෙදෙමින් නගරය බලා රිය ධාවනය කලෙමි. 

නගරයෙන් දකුණට නිම්මිලා නිවස දෙසට යන පාරය.  

කේ. අයි. බී . එකට යන්න නම්  නගරය පසු කර වම් පැත්තට ගොස් තෙළුල්ල පාරට දැමිය යුතුය. 

"ටවුන් එකට යන්න ඕනේ නෑනේ  . 

එහෙනම් මම මේ පැත්තට හරවනවා. 

දකුණු පසට වාහනය හරවන්නට සිගනල් දමමින් නිම්මි දෙස බැලුවේ  කේ. අයි. බී . අමතක වී ඇතැයි සිතමිණි.

"අනේ  ටක් ගාලා අර කඩේට ගිහින් එමුකෝ මෙයා. 

ඔයාලට කම්මැලියි නම් තාත්තයි පුතයි ජීප් එකට වෙලා ඉන්නකෝ  මම රෙදි බලලා එන්නම් "


ඔන්න ඔහේ  රෙදි කඩේටත් ගිහිල්ලම යනවා . 

කලින් ගියා කියලා ලෙනදොරත්  එක්ක මොනවා කතා කරන්නද ?  

මම වාහනය වමට හැරවුයෙමි .

"අන්න අර තියෙන්න මහා ලොකු කේ. අයි. බී .  එක.

 ඉක්මණට  ගිහින් එන්න ඕනේ හැබැයි.  එතන පැල වෙන්නේ නැතිව.

අම්මා ඉතින් කඩවල් වල ගියොත් පැල වෙනවනේ නේද සුපුන්? "

නිම්මි කඩයට යැවූ මම සුපුනුත්  ජීප් එකට වී සිටියෙමු.


සුපුරුදු  මුහුණක්  


රියදුරැ අසුන පිටුපසට කර එහි ඇලවූයෙමි. 

ඉදිරියෙන් ඇති තෙළුල්ල පාර මට පැහැදිළිව පෙනේ . 

නොයෙක් ආකාරයේ ගැහැණුන් හා මිනිසුන්  බස් වලින් බැස හෝ , ත්‍රී විල් වලින් හෝ තම පුද්ගලික වාහන වලින්  විත්  කේ. අයි. බී .  එක වෙත පිය මනිති.

මේ අතර කිසියම් හුරු පුරුදු බවක් ඇති කාන්තා රුවක් මට  ඉදිරියෙන් ඇති පාරේ කේ. අයි. බී .  එක දෙසට ඇදේ.

මම ඉදිරිපස වීදුරුව පහත් කලෙමි. 

උදේ තේ වත්ත හරහා රිය ධාවනය කරද්දී දුටු රුවට සමාන කමක් ඒ මුහුණෙන් දිස්වේ .


පැහැපත් රුව වසා ගත් තැඹිලි පැහැති සාරියකි.

එයට කැපෙන වර්ගයේ කළු පැහැති හැට්ටයක් හැඳ සිටි මේ ලලනාව මට සිහි ගැන්වුයේ   පාසැල් ගුරුවරියකි. 


එක් වරම ඒ හුරුපුරුදු මුහුණ  අප දෙසට හැරවූ ඈ පාර පැන  මගේ රියදුරු අසුන ළඟටම පැමිණියාය. 


"දෙය්යනේ  කවිඳු අය්යා දැක්ක කාලයක් .  

මම මේ අය්යා වාහනේ ඉන්නවා දැකලා  ආවේ . 

කෝ නෝනා පේන්න නැද්ද ?"

ඇය එක වරම මගේ වාහනය අස්සට එබුණාය . 

"කෝ අය්යා පුතා ? මම පුතා බලන්නත් හිතා ගෙනමයි මේ පැත්තට ආවේ "


" මම මේ කව්ද බැලුවා .  අපේ රත්නා ලාලනී නංගි නේ ?  

අක්කා ගියා  නංගි කේ. අයි. බී .  එකට . 

ඔය පිටිපස්සේ ඉන්නේ අපේ පෝරිසාදයා.

ඔයාට බලන්න ඕනෑ කිව්වේ එයානේ ඔන්න ඉන්නවා ඇති තරම් බලා ගන්න "

ඇය වාහනයේ පිටුපස දොර විවුර්ත කලේ සුපුන් හොඳ හැටි බලා ගන්නටය .

"ආනේ අය්යා කොල්ලා  ඔයා පොඩි කාලේ වගේමයි.  

පස්සේ කාලෙක කෙල්ලෝ පිස්සු වට්ටයිද දන්නේ නෑ ඔයා වගේම ? 

ජයංගනී මෙන් නොව ඇගේ අක්කා රත්නා ලාලනී හරි කටකාරය . 

මා මුල් කාලයේ  ලියු  බ්ලොග් සටහන් වල සඳහන් කල අයුරින්ම ඒ පවුලේ හැමෝම මට සමීපය.

 අක්කලා නංගිලා මෙන්ම එකම මල්ලී  ජානක ද  මට සැලකුවේ තමන්ගේම සහෝදරයෙකුට මෙනි.

ඒ ලෙන්ගතු කම නැවතත් මට හමුවී තිබේ.  

ඒ කේ. අයි. බී .  එකට අහම්බයෙන් පැමිණි මේ ගමන නිසාය. 

මම වහනයෙන් බැස ඈ හා දොඩමළු වුයෙමි. 

"ඔයා කොහේ යන ගමන්ද නංගි ?  "

"මමත් මේ කේ. අයි. බී .  එකට යන ගමන් අය්යා "

"චුට්ටක් ඉන්නකෝ  පුතත් එක්ක කතා කර කර " 

කියමින් මම වාහනයේ පිටුපසට ගියේ නිම්මිගේ තෑගි මල්ලක් විවුර්ත කාරනා අටියෙනි. 










නිල් පාට මල්ලක් තුල තිබු චොක්ලට් පොදිය වෙත ලංවූ මම එහි ඇති ලොකු ටෝබ්ලරෝන් එකක් ගෙන රත්නා ලාලනී අත තැබුවෙමි.

"ආ මේක ගන්න .  ලොකු තෑග්ගක් දෙන්න ඕනේ හරිනම් කවුද දන්නේ ඉතිං හම්බවෙයි කියලා?" 

චොක්ලට් එක අතට ගත් ඈ ටික වෙලාවක් එක එල්ලේ මගේ මුහුණ දෙස බලා සිටියාය .

"ඒක නෙවෙයි දැන් මේක දුන්නේ මටද ? නැත්නම් නංගිටද ? "

මම තරමක් අපහසුවට පත්වූයෙමි.

"හරි හරි ඉතිං දෙන්නම බෙදා ගන්නකෝ එහෙනම් "

අපහසුව ඇයට නොපෙන්වා කියාගෙන ගියෙමි.  මට හදිසියේම යමක් මතක් විය.

"ආ. ඒක නෙවෙයි . අපිට යන්න පුළුවන් වෙයිද නංගි බලන්න ? "

"මොකෝ බැරි යන්න . යන්න එයා සන්තෝෂ වෙයි ඔයා දැක්කම. ඇවිල්ල ඉන්න බව ආරංචි වෙලා ඇත්තේ"

රත්නා ලාලනී කතා කරන්නේ කිසි බරක් පතලක් නැති ගාණටය.  මෙයා ඒ කාලෙත් එහෙමනේ මම අපේ පාසැල් කාලය සිහි කළෙමි. 

"අය්ය එයා දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් . 

බයවෙන්න එපා ගිහිල්ලා කතා කරලා යන්න. 

ඒ මල්ලිත් හරි හොඳයි .  එයා බැංකුවක වැඩ කරන්නේ. අද ඉරිදා නිසා මල්ලිත් ගෙදර ඇති. 


හරි එහෙමනම් මම යනවා  අය්යා . දැක්කට සන්තෝෂයි . මම නංගිට කියන්නම් ඔයා හම්බවුණා කියලා .

යනවා පුතා. "


ඈ සුපුන්ටත් මටත් සමුදී කඩේ පඩිපෙළ නගින්නට විය.




යළිහමුවීම 




නිම්මි තවමත් එන පාටක් නැත. දැන් රත්නා ලලනිත් නිම්මිත් සිටින්නේ එකම  කඩයක් තුලයි.

සුපුනුත්  සමග මමත්  කේ. අයි. බී .  එක වෙත පියමැන්නෙමි . ඒ ලොකු සැලසුමක් හිතේ ඇතිවයි.

ඒ නිම්මි සමග රෙදි තෝරන අතරේ අහම්බෙන් මෙන් රත්නා ලාලනී මුණගැසීමත් , අනතුරුව ඇය හා නිම්මි එකිනෙකාට හඳුන්වා දීමත් යන අරමුණ  සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මයි.

හිතුවාටත් වඩා පහසුවෙන් සැලසුම සාර්ථක වුයේ නිම්මි සහ මා දුටු රත්නා ලාලනී නංගි අප දෙසට පිය මැනීමත් සමගයි.

"කොහොමද කවිඳු අය්යා ? මේ ඔයාගේ නෝනද? "

"ඔව් . ඔව් මේ  නිම්මි " මම ඇයට උත්තර දෙන අතරේ නිම්මිට රත්නා හඳුන්වා දුන්නෙමි.

"මෙයාගේ නංගි තමයි අර....   ...... "ජයංගනී කියන්නේ "  මම කියන්නටත් පෙර රත්නා ඉස්සර වුවාය .

"නංගි කොහෙද ඉන්නේ ? "

මම නොදන්නා ආකාරයෙන් රත්නා ගෙන් ඇසුවෙමි.

"එයාල ඉන්නේ මේ පාර අයිනෙමයි තව කිලෝ මිටර් 10 - 12ක් ඇති වැඩිම වුනොත් .

රත්නා ගෙන් සමුගත් අපි රෙදි බෑග් කිහිපයකුත් රැගෙන වාහනයට ආවෙමු.

ටෝබ්ලරෝන් දුන් කතාවක් නිම්මිට නොකියන්නට සුපුන් වග බලාගත්තේය.

"ඒක නෙවෙයි නිම්මි අපි අරහේ ගිහින් එමුද? "

"කොහෙද අනේ දැන් පරක්කු වෙනවා කියා කියා දැඟලුවා නේද?

දැන් ඔය කියන තැනට යන්න තව කිලෝ මීටර් ගානක් අනික් පැත්තට යන්නත් එපැයි."

"කමක් නෑ අම්මා ටක්ක  ගාල ගීහිල්ල එමු".

අලුත් තැනකට යන බව දැනගත් සුපුන්ද මගේ අදහසට පක්ෂව කතා කළේය.

වයස අවුරුදු එකොළහක් වුවත් කොල්ලා මගේම පුතෙක් බව නැවතත් සනාථ කළ තවත් අවස්ථාවකි.

"හා.. හා  එහෙනම් ගිහිල්ලා එමු.

මහා උන්දැලා  දැනගත්තනම් එහෙම හිනා වෙයි තවමත් පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්  බලන්න යනවා කියලා.






නිම්මිලා ගෙවල් පැත්තට ප්‍රති විරුද්ධ දිශාවට වාහනය පැදවූ මා අදාළ නිවස ඉදිරිපිට වාහනය නතර කළෙමි.

ඉදිරිපස දොරටුවට තට්ටු කරත්ම ජයංගනී ගේ සැමියා විත් අපට දොර හැර දුන්නේය .

එන්න ඇතුළට ඔහු අප ජයංගනී සිටි දෙසට රැගෙන ගියේය.

නිම්මිත් කිසි ගානක් නැතිව වට පිට බලමින් ජයන්ගනී සමගම කුස්සියට ගියාය.

"එන්න වාඩි වෙන්න . අපි තේ එකක් බොමු නේද ? "

නිම්මිත් මමත් තේ මේසයේ රැන්දුනෙමු

මේ අතර පුරුදු කාරයෙක් මෙන් නිවස තුලට දිව ගිය සුපුන් නිවසේ උඩ තට්ටුවටද ගොස් හමාරය.

නිම්මිටත් මටත් තේ හදන අතරේ දෙනෙතට දෙනෙතක් නිමේෂයකින් එකිනෙක ගැටී නැවතත් ඉවත් විය.

ඒ නිමේෂය   ඒ නෙත් පියවෙන  තෙක්ම  මතකයේ   රැඳෙනු නොඅනුමානය .






Friday, 14 October 2016

පුද්ගලික වෙදකම සහ ටියුෂන් පංතිය



පසු ගිය දිනවල  පුද්ගලික   බෙහෙත් ශාලා පවත්වාගෙන යන දොස්තර වරුන් ගැන බ්ලොග් ලිපි කිහිපයක්ම පළවුණා මතකයි.

එකක් ලිව්වේ රුවන් ජයතුංග  මට මතක හැටියට  පුද්ගලික වෙද කම නිසා දොස්තර වරුන් අතර ඇතිවන ගැටුම් ආදිය ගැනත් රුවන් ලියලා තිබුණා මතකයි.

අනෙක් ලිපිය ලිව්වේ දම්සෝ පුතා . දම්සෝ ගේ පී. පි කෙරුවාවයි මගේ පී  පී කෙරිල්ලයි හරි සමානයි.

වෙන විදිහකට කියනවා නම් අපි  දෙන්නම ඒ කාලේ කලේ එදා වේල පී. පී. තමයි.

ඒ කියන්නේ මගේ කාර් එකේ පෙට්‍රල් ගහගෙන  මුදලාලිට කඩ කුලිය දුන්නම මගේ මාසික පි. පි  අදායම ඉවරයි.

මම ගත්ත මුල්ම කාර් එක ටොයෝටා කරීනා  එකක්.  ඒක  ලංකාවේ භාෂාවෙන් කිව්වොත් පෙට්‍රල් බොන කාර් එකක් . හැබැයි සැප පහසුව නම් හරි ඉස්තරම්.





පාරේ යද්දිත් තරමක පෙනුමක් තිබ්බ වාහනයක්. ඒ කාලේ  මගේ කාර් එකට මාසෙකට රුපියල් 5000  පෙට්‍රල් ගහන්න ඕනේ.

පොළ කරපු කඩ කාමරේට කුලිය රුපියල් 3500 යි. මම නැවතිලා හිටපු තැනට රුපියල් හාර දාහයි.

ඒ කාලේ මගේ පොලේ මාසික අදායම රුපියල් 12000 ත් 15000 ත් අතර තමයි තිබුණේ . ඉතින් ඒ නිසාම  මගේ පොලත්  කරගෙන  ගියේ එදා වේල  පොලක් හැටියට තමයි

ඒ කියන්නේ මම දවසකට බලන්නේ ලෙඩ්ඩු හතක් හෝ අටක් පමණ.

ඒ  ලෙඩ්ඩු හය හත්දෙනත් එක පැයක් අතුලත එන අය නෙවෙයි.  හවස හතරේ සිට රෑ අට හමාර නවය වෙන තෙක් සිටියාමයි මේ ලෙඩ්ඩු ගාන එන්නේ.

මේ හේතුව නිසා  මම  ලාහට ගෙම්බෝ එකතු කරන්නාක් මෙන් කල අළුතින් ලෙඩ්ඩු එකතු කර ගැනීම  මුල්ම කාලයේ  කෙරුනේ ඉතාම හෙමින්.

මාස දෙක තුනක් යනවිට මගේ ලෙඩ්ඩු සංක්‍යාව  වැඩි වෙන්න පටන් ගත්තා.

ඒත්  වර්ධනය සිදුවුනේ හෙමින් හෙමින් .  ඔය කියන කාලෙම තමයි මට පේරාදෙණියේ  කාර් විකුණන දොස්තර මහත්තයා  ( සු....) හඳුනාගන්න ලැබුණේ.

ඒක සිදුවුණේ  හින්නි අප්පුහාමි හරහා නෙවෙයි.

පැණිදෙණියේ  ජිවත් වූ මේ කාර් විකුණන දොස්තර මහත්තයා ගැන මට මුලින්ම කිව්වේ හින්නි වුවත් ඔහු මට පෙන්නුවේ අපේ දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රේමදාස විසින්.

"සර් සර් .. අන්න අර  ස්ටුඩන්ට් මහත්තයා තමයි සු..... කියන්නේ. එයා තමයි ඔය පැණිදෙණියේ  තැනක ඉඳන් කාර් විකුණනවා කියන්නේ "

"ඒ කියන්නේ එයාට පැණිදෙණියේ   කාර් සේල්  එකක් තියෙනවද ප්‍රේමේ ? "

"නෑ නෑ සර්  මම හිතන්නේ පැණිදෙණිය ඒ මහත්තයාගේ ගමම  තමයි .

එයා ගෙදර කාර් ගෙනැත් තියාගෙන විකුණනවා. "

"ඔය මනුස්සයා නේද බැච් මිස් වෙන්න යන්නේ  "

" ඒකනේ සර් බලන්නකෝ අපරාදේ දෙමව්පියන් මහන්සිවෙලා උගන්වලා.

බලන්නකෝ මේ   සමහර  ස්ටුඩන්ට් මහත්තුරුන්ට   ඒවගේ බරක් පතලක් තේරෙන්නේ නැති හැටි ?"

ප්‍රේමදාස     මා සොයමින් සිටි වෛද්‍ය  ශිෂ්‍යයා  මට සොයා දුන්නේ එසේය. 


ගුරු ගෝල  හමුවක්















එදා ප්‍රේමදාස  මට අදාළ වෛද්‍ය  ශිෂ්‍යයා  පෙන්වා දීමෙන් අනතුරුව ඔහු ගැන ඇහැ ගසාගෙන සිටියෙමි . 

හවස පැවති  රිවිෂන්  ප්‍රායෝගික පංතිය  මට ඔහු හමු වන්නට හොඳම වේලාවයි.

"මේ ඔයා නේද සු ... කියන්නේ  මට පොඩ්ඩක්  ඔයත් එක්ක කතා කරන්න ඕනේ "

"ඇයි  අය්යා . මොකක් ගැනද?  "

"මෙහාට  එන්නකෝ  .. කාර්  ගැන . ඔයා  කාර් විකුණන වලු නේද ? "

මම සිනාසෙමින් පැවසුවෙමි.

"දැනටනම්  මා ලඟ  ට්‍රැඩ සනියක් තමයි තියෙන්නේ  අය්යා "

ඔහු ඇත්තටම කාර් ගැන විස්තර කරන්නට සුදානම් වෙද්දී  ඊට හරස්පුකැවෙමි. 

"හලෝ මේ කාර් නෙවෙයි  සෙකන්ඩ්  එම් . බී  එක ගැන විස්තර කියනවා. තව කී සැරයක් තියෙනවද තමුන්ට ? "

මම සු...  ට  වඩාත්ම අදාළ  යැයි මා සිතු මාතෘකාවට බැස්සෙමි. 

" හරි වැඩේ අය්යා  ඇනටමි ඇර අනිත් සබ්ජෙක්ට්  දෙකම ගොඩ ගියා දෙවැනි සැරෙන්ම  . ඒත් ඇනටමි දාගන්න බැරිවුණා. 

 මේ අන්තිම වතාව "

ඔහු මම පරිවාස කථිකාචාර්ය කෙනක් වුවද මට කතා කලේ අය්යා කියාය. හේතුව ඒ දිනවල  මා පෙනුමෙන් ඔහුටත් වඩා කෙට්ටු  අයෙක් වීම විය හැකිය. 

"ඒ කියන්නේ  ඔයා මේ පාර ෆේල් වුනොත් දොස්තර කම් ඉවරයි.  ගෙදර යන්න වෙනවා  ? "

"ඔව් අය්යා  .. මේ හතරවෙනි සැරේ "

"මේ මම කියන එක හොඳට  හිතට ගන්නවා  තව මාස තුන -හතරක් තියෙනවනේ  විභාගෙට. 

අද ඉඳලා හිතට අරන් පාඩම් වැඩ කරනවා . ඔය  කාර් විකිණිල්ල පොඩ්ඩකට ස්ලෝ  ඩවුන් කරලා.  

"අය්යා හිස්ටෝ තමයි අමාරු. හැමදාම  විභාගේ අනෙන්නේ හිස්ටෝ නිසා තමයි"


"ඔයා පැණිදෙණියේ නේද ඉන්නවා කිව්වේ ? මගේ පොළ තියෙන්නේ ඔය ළඟමයි  . 

කැමතිනම්  හවසට හවසට  ඒ පැත්තේ එන්න. මම හිස්ටෝ පාස් කරගන්න හැටි කියලා දෙන්නම්."

මම ඇනටමි  කථිකාචාර්ය වුණේ නිකන්ම නොවේ  . 

මට ඇනටමි සෙකන්ඩ් එම්. බී  ඩිස්ට්‍රො  එකක් ද  සහිතව පාස් වුන කෙනෙකි. 

ඒ නිසා  මේ සිසුවාට ඇනටමි  පාස් කර ගන්නා සරල ක්‍රම  කියා දෙන්නට මට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබිණි. 

"ලෙඩ්ඩු නැතිවෙලාවක් බලලා එන්න . මම දිනපතා මොනවා හරි කියලා දෙන්නම්"

එදා හවස් වෙද්දී  මගේ පොළ ළඟ  කරීනා එක පිටි පස්සෙන් නැවත්වුයේ  බීට් පාට  ලාන්සර් බොක්ස් එකකි.  

උඩ තට්ටුවේ පිහිටා තිබී මගේ පොලේ සිට පහළින්  එන්නේ කවුදැයි බලා ගැනීම ඉතා පහසුය.  ඒ එන්නේ  අපේ කාර් මල්ලියාය.

ඒ වන විට  මගේ ළඟ ලෙඩ්ඩු සිටියේ නැත. ඒ නිසා ප්‍රථම පාඩම ඔහු පැමිණි සැණින් පටන් ගන්නට හැකි විය.

එදා සිට දිනපතා රාත්‍රී නවය නවය හමාර වන තෙක් මම සු.... ට  කාය ව්‍යව්ච්චේදය  කියා දුන්නෙමි.  

ඒ  ඔහුට අමාරුයි  කිව්  පටක විද්‍යාව ද  සමගය.

ලෙඩ්ඩු වැඩි වූ  සමහරක් දිනවල  මා පොළ අවසන් වී නිවසට යන්නේ රෑ දහයට පමණය.  

ඒ දහය වෙනතෙක් පොල් කැඩිම නිසා නොව  අපේ කාර් මල්ලිට  පැයක් එක හමාරක් උගන්වන්නට සිදු වූ නිසාය.

ඒ කාලේ මගේ තනියට  නිම්මි හිටියේ නැත . හිටියේ මට ඩ්‍රයිවින්  උගන්වන්නට පැමිණ සිටි අපේ තාත්තය. 

මා පරක්කු වී නිවසට එනවිට  රෑ කෑම කන්නට බලා සිටිනා තාත්තා අහන්නේ 

"ඇයි පරක්කු වුණේ ? අදත් අර ළමයාට  ටියුෂන් එක තිබ්බද ? " කියාය.

සෙකන්ඩ් එම් බී රිසල්ට්ස් ඇවිත් 




මාස දෙක තුනක් ගිය තැන  සෙකන්ඩ් එම්. බී රිපීට් එක පැවැත්විණ. 

අපේ ගෝලයා මගේ උවමනාව නිසාම විභාගයට උනන්දුවෙන් මුහුණ දුන්නේය. 


සති කිහිපයක් ගතවූ පසු සිනාමුසු මුහුණින් යුත් සු... මගේ පොලේ පඩිපෙළ නැග්ගේ ඈත සිටම කෑ ගහගෙනයි.

"කවිඳු අය්යේ මම විභාගේ පාස්  .  අය්යට පිංසිද්ධ වෙනවා මම ගොඩ දැම්මට"


ඒ මෙතෙක් පේරාදෙණියේ  බමුණු කුලයට ආවැඩූ අපි වැනිම වූ පරිවාස කථිකාචාර්ය වරුන්ගේ මෙන්ම  මම රුහුණෙන් පැමිණි නිසා මට  කෙණෙහිලි කම් කල එක්තරා මහාචාර්ය තුමියගේ දසුනින් ඉවත් වී නෙදර්ලන්තය යෑමට  මට අවස්තාවක් උදාවී ඇති ආරංචියයි.

ජාන විද්‍යාව ගැන කෙලපැමිනි යැයි සම්මත මෙම මහාචාර්ය තුමිය මට වෙනස් කම් කලේ විශ්ව විද්‍යාලය තුල බණ භාවනා පංති ද කාරනා අතරේ  වීම සිහිපත් කල යුතුම කාරණයකි. 

මම සුභ ආරංචි  දෙක එකට ගැලපුවෙමි.

"මල්ලී හොඳ වැඩ කරාම හොඳ ප්‍රතිඵල  ඒ ආත්මෙම ලැබෙනවා.   බොරුවට පන්සල් පල්ලි යන්න ඕනේ නෑ. 

ඔයා ගොඩ දාන්න මම බැස්සේ  හොඳ හිතින්. මොනවත් ඔයාගෙන් ගන්න බලාපොරොත්තුවෙන් නෙවේ.  

ඔන්න ඒකෙ ප්‍රතිඵල මටත්  ඇවිල්ලා . 


මල්ලී මටත්  පිටරට යන්න සිස්‍යත්වයක් හම්බවුණා  මේ ලඟදි. "

"නියමයි අය්යා. එහෙනම් අපි දෙන්නම ගොඩ ගියා  . මට හරි සන්තෝෂයි. "

එදා මගෙන් සමුගත් ඔහු  ඊට පසු අවස්ථා කිහිපයකදීම විශ්ව විද්‍යාලයේ සැරි සරණු  දුටුවෙමි. 

පසු කලෙක මම නිවාඩුවකට  මම ලංකාවට ගොස් සිටියදී අපේ ප්‍රේමදාස මට කාර් මල්ලී මතක් කර දුන්නේ මෙසේය .

"සර් අපි දන්නවා . .....සර්  අර  සු.... සර්ට විභාගේ පාස් වෙන්න උදව් කලාලු නේද ?  "

"අයිසේ ප්‍රේමදාස බෙල්ල ගහලා යන කතා කියන්න එපා . 

මම උදව් කරලා නෙවෙයි මිනිහා එයාගේ උත්සාහයෙන් පාස් වුණේ. මම කරේ පාඩම් කරන්න උදව් කරන එක විතරයි"

මට මෑන්ස් ඊට පස්සේ හම්බවුනේ නෑ  කොහේ හරි වැඩ ඇති නේද දැන් . ?"

ටික කාලෙකට ඉස්සර නුවර ඉන්ටර්න් කරා කිව්වා සර්.

 ඔව් එයා දැන් දොස්තර කෙනෙක් " 

.  
  

Monday, 3 October 2016

කාර් විකුණන දොස්තර




පසුගිය  කළාපයෙන්


මගේ පළමු  කාර් එක මිලදී ගන්න යද්දී සිදුවූ  මුල්ම හමුවීම පසුගිය කළාපයෙන් ඔබ වෙත ගෙන  ආවෙමි.

හින්නි අප්පුහාමි  මා  රැවටුවා වත්දෝ යැයි සිතුනද  ඔහු මගේ කාර් සොයන  සගයා ලෙස තව දුරටත් තබා ගත්තෙමි.

ඒ හින්නි  අප්පුහාමි  කාර්  ගැන හොඳින්  දන්නා  කෙනෙක් යැයි   අපේ සරප් මහතා කී  කතාව මා දිගටම විශ්වාස කල නිසාය.

ඒ අදසහ මත මතම පදනම් වූ මම   වෛද්‍ය පීඨයේ සිටි බ්‍රෝකර් වරුන් වෙනුවට හින්නිත් සමගම  කාර් සෙවීම කරන්නට තීරණය කළෙමි.


දිනක්  ඊ ෆැකල්ටියේ සිට  මට ලැබුණු දුරකථන  ඇමතුමකි.

 අපේ  දෙපාර්තමේන්තුවේ කාර්යාලයට  පැමිණුන ඇමතුම  ගැන  මට කිවේ ප්‍රේමදාස  විසිනි .

මගේ කාර්යාල කාමරය වෙත හැල්මේ දුව ආ  ප්‍රේමදාස 

"සර් . සර්  අන්න සර්ට   කෝල් එකක්  ඊ ෆැකල්ටියේ හින්නි කිව්වා කතා කරන්නේ . 

මන් හිතන්නේ සර්ගේ කාර් එකේ වැඩේ හරි වගේ .

ඉක්මනට වාහනයක් ගත්තා නම් හොඳයි  සර්."

දුරකථන ඇමතුම ගැන කීමෙන් නොනැවතී   මට වාහනයක ඇති වැදගත් කමද  පැහැදිලි කරයි. 



"මම දැක්කා මේ ඊයේ පෙරේදාත්  කට කපලා සෙනග හිටිය කඩුගන්නාව බස් එකේදී මනුස්සයෙක් සර්ව තල්ලු කරලා  මොකක්ද නරක දෙයක්  කියනවා. 

සර් දැක්කේ නෑ මම බස් එකේ ඉන්නවා . හැබැයි මම සිද්ධිය හොඳට දැක්කා. 

අපේ මිනිස්සුන්ට   දොස්තර කෙනෙක් කියලා තේරෙන්නේ ලොකු කාර් එකක ආවොත් විතරයි සර්. 

නැත්නම් ඔය සෙනග අස්සේ තෙරපි තෙරපි බැනුම් අහන්න වෙනවා දිගටම. 

මට හරියට දුක හිතුනා එදා සිද්ධිය දැක්කම. 

සල්ලි සල්ලි කියලා බලන්නැතුව  මොකක් හරි ගන්න සර්  "



ඔහුට  පෙරදිනක මා වැඩ නිමවී ගෙදර යද්දී බසයේ පිටුපසට නොයා පොල්ල අල්ලාගෙන සිට ගෙන සිටි අම්මා කෙනෙක් ( අනෙකුත් මගීන්ට අවහිර වනසේ )  පසු කර මා බසයේ පසු පසට යද්දී   

"මොකද ඔච්චර තල්ලු කරන්නේ  හය්ය .. ...යිය  පෙන්නවද  අපිට ?"  

කියමින්  ඈ  ඔරොප්පුවට මෙන් මා හට  කතා  කල අයුරු ඇසී තිබේ . 

"ඕවා ගණන් ගන්න එපා ප්‍රේමේ . අපේ මිනිස්සු  හොඳ කියන්න ගියාමත් ඔය වගේම තමයි. "


ප්‍රේමදාසගේ සිත සනසන අයුරින් කී මම  කලකට ඉහතදී  කාසල් විදියේ  කාන්තා රෝහලේ සේවය කරද්දී සිදුවූ  මිට හාත්පසින්ම වෙනස් සිද්ධියක්  සිහියට නගා  ගත්තෙමි.

ඒ බසයේ දී මට  සැර දැමු අම්මා වැනිම   දුප්පත් සහ  නුගත් පෙනුමක් ඇති අම්මා කෙනෙක්  තම බඩ දරු දියණියගේ  හදිසි අවස්ථාවේදී සිමාවාසික වෛද්‍ය වරයා  ලෙස  මා කල සේවය අගය කල ආකාරයයි .

ඒ අදාළ දිනයේ  දිවා ආහාර විවේකයයි.

කාසල් එකේ  කොරිඩෝව දිගේ කැන්ටිම දෙසට පියමනිමින් සිටියෙමි .

අළුත උපන් බිලිඳෙක් වඩා ගත් වනාතමුල්ල පැත්තේ යැයි සිතිය හැකි තරුණ කාන්තාවක් , ඇයගේ සැමියා සහ  කළු පැහැති වැහැරුණු මුහුණකින් යුත් මහළු  මවක් මා ඉදිරියට එයි.

"අම්මේ මෙන්න අපේ දොස්තර මහත්තයා " මා දෙස සිනාවෙමින්  ඒ තරුණ මව ඇයගේ මෑණියන්ට  මා හඳුන්වා දුන්නාය.

දිවා විවේකයට ලෙඩ්ඩු බලන්නට එන  මහා සෙනග මැද්දේ  කොරිඩෝවේ  දණගැසූ   වූ ඒ අම්මා. 

"ඔය වගේ රත්තරන් මහත්තුරු  ඉන්න හිංදා තමයි අපේ කෙල්ල ගොඩ ගියේ .  

එදා මහා රෑ  ලේ ගලමින් අරන් ආපු මගේ කෙල්ලයි ළමයයි දෙන්නම ගොඩ දාන්න මූලික වුණේ සර් කියලා එයා මට කිව්වා .  

සර්ට  බුදු බව අත්වෙනවා  සර්. හදපු වඩපු දෙමව්පියන්ටත් පිං සිද්ධ වෙනවා  "

අපේ අම්මලා තරම් වයෙසේ කෙනක් වූ ඇය එසේ කියමින්  මට ආචාර කළාය.  

බලාපොරොත්තු නොවූ ලෙස  මහා සෙනගක් මැද සිදු වූ දෙයින්  මා අධික කම්පාවට පත්වුනෙමි.



ඒ මෙදා කඩුගන්නාව බසයේ සිදුවූ සිද්ධියේ අනෙක් පැත්තයි.

මේ සිද්ධි දෙකම ඉතා උපේක්ෂාවෙන්  විඳ දරා ගන්නට හැකිවීම ගැන අද මට ඇතිවන්නේ මහත් සතුටකි.






මා පම්පෝරි ගසන්නෙක් යැයි සිතෙන්නේ නම්  දැන් ගම්පොළ පැත්තට වී විශ්‍රාම සුවයෙන් කල් ගෙවනා ප්‍රේමදාස ට  කතා කරන්න. 

අනෙක් කතා කලයුතු පුද්ගලයා වන්නේ මා සීමාවාසික වෛද්‍ය වරයෙක් කාලයේ  කාසල් විදියේ රෝහලේ අධ්‍යක්ෂක වරයා වූ වෛද්‍ය කරඳගොඩ  මහතාය.

මේ දෙදෙනා මේ සිදුවීම් දෙක ගැන සාක්ෂි දරනු ඇත. 

වසර  දෙදාහේදී  මා සායනික වෛද්‍යවරයෙක්  ලෙස දිගටම නොඉඳ විශ්ව විද්‍යාලයට යන්නට යද්දී වඩාත්ම  ශෝක වූ පුද්ගලයා  වුයේ ද මේ කරඳගොඩ  මහතාය.

" කවිඳු  ඔයාගේ  වැඩ ගැන , ඔයා ලෙඩ්ඩුන්ට දක්වන ආදරේ , කරුණාව ගැන මිනිස්සු මට කියනවා.   

ඔයාලා වගේ අය තමයි  හොස්පිටල් වල ඉන්න ඕනේ.  

මමනම් කැමතියි ඔයා මේ ෆීල්ඩ් එකේම ඉස්සරහට ගිහින් කන්සල්ටන්ට්  කෙනෙක් වෙනාවා නම් . 

කමක් නෑ  ඔයා  කවදා හරි ආපහු ක්ලිනිකල් වලට එයි නේ . 

එදාට මට සතුටු වෙන්න පුළුවන් " 

මගේ ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කරමින් ඔහු කී හැටි මට තාමත් මතකය.

ඔහු කී පරිදිම  මම  නැවතත් ක්ලිනිකල් වලට ආවෙමි.

 ඒ ඔහුගෙන්ව   සමුගෙන ගොස් වසර දහයක්  ගතවූ  පසුවයි. 

අවාසනාවකට  ඒ ශ්‍රී ලංකාවේ රෝහලකදී    නොව ඔස්ට්‍රේලියාවේදීය.   

ඔයින් මෙයින්  හින්නි ගේ දුරකථන ඇමතුම ගැන කියන්නට අමතක වෙන්න බැරි නැත. අපි නැවතත් එතනට යමු.

මම ප්‍රේමේ සමග බස් රස බස් කතා කරමින් දුරකථනය වෙත ලඟා වුයෙමි.

"හලෝ හින්නි කොහොමද ?  කාර් එකක් හම්බ වුනාද ?  මේ ප්‍රේමේත් කියනවා ඉක්මනටම  කාර් එකක් ගන්න කියලා "

යැයි මා  පැවසුවේ මගේ දුරකථන සංවාදය  දෙස ඉතා උවමනාවෙන් සවන් යොමා සිටි ප්‍රේමදාස දෙස බලමිනි. 

"ඔව ඩොක්ටර්.   පැණි දෙණියේ  ඩොක්ටර් කෙනෙක් ළඟ කාර් එකක් තියෙනාවා කිව්වා යමුද බලන්න? "

"ඩොක්ටර් කෙනෙක් ?  කොහේ වැඩ කරන කෙනෙක්ද ? " 

අපේ ක්ෂේත්‍රයේ කෙනෙක් ගේ වාහනයක් නම්   රැවටීමකට  ලක්වීමේ  ඉඩ අඩු යැයි සිතුනු  මම ඉතා උනන්දුවෙන්  ඇසුවෙමි.

"පේරාදෙණියේ කියලා කියන්නේ.  නම  සු...... කියලා  කිව්වා"

හින්නි පැවසුවේ  අදාළ දොස්තර වරයා වැඩ කරන්නේ අපේ ශික්ෂණ රෝහලේ බවයි. 

"හරි හරි මම ඔය ඩොක්ටර් සු... ගැන ටිකක් විස්තර හොයලා බලලා ඔයාට  කියන්නම් කෝ .

 හවසට  එන්නකෝ  ප්‍රයිවෙට් එක පැත්තේ. 

එහෙනම් තිබ්බා... බායි.. " 

මම කාර් බැලිල්ල  පසුදිනට කල් දැම්මේ ප්‍රේමදාස  ඇතුළු ඔහුගේ සගයින් ගෙන් මේ කාර් විකුණන දොස්තර ගැන  වැඩි විස්තර ගත හැකි බව ඉවෙන් මෙන් දැනුණු  නිසයි. 



පැණිදෙණියේ කාර් දොස්තර 






මම කාර්යාලයෙන්  එලියට විත් මගේ කාමරය දෙසට පියමැන්නෙමි . ප්‍රේමේද  මගේ පස්සෙන්මය.  

"මොකද සර් හින්නි කියන්නේ ?  කාර් එකක් තියෙනවද? "

"තියෙනවා . තියෙනවා.  විකුණන්නේ දොස්තර කෙනෙක් කියලා කියන්නේ. සු.... කියලා කෙනෙක්? "

මම ප්‍රේමේ දෙසට හැරුනේ මේ දොස්තර  සු...  කවුදැයි දැන ගන්නා අදහසිනි.

"ම්.. ම්.. කවුද  ඔය ඩොක්ටර්?? "

 ප්‍රේමේ  අදාළ දොස්තර මතක් කරන්නට හදමින් මා සමග ඉදිරියට   ගමන් කරයි. 

අපි දැන් මගේ කාමරයද පසු කර  ඉදිරියට ගොසිණි.  

"ඔයාගේ අනිත් ගෝලයෝ සෙට් එක දන්නවද දන්නේ නෑ නේද?  යමුකෝ මාත් එන්නම් ඒ පැත්තට  "

මම පියතිලක ඇතුළු ප්‍රේමදාසගේ  සගයින් සිටිනා විවේක කාමරය දෙසට ගමන් කලෙමි.

"මචං සෙනවි  උඹ දන්නවද බං  කාර් විකුණන දොස්තර මහත්තයෙක්?  පැණිදෙනිය පැත්තේ ඉන්න? 

අපේ සර්ට කාර්  එකක් බලන්න යන්නේ සු.. කියලා දොස්තර මහත්තයෙක් ගාවලු තියෙන්නේ බං"

ප්‍රේමේ ප්‍රශ්නය දැම්මේ ෆැකල්ටියේ  හොඳ නරක සියළු ඕපාදුප දන්නා  දෙපාර්තමේන්තුවේ පැරණිම  කම්කරු මහතා වෙතයි. 

"මොකෝ බං මන් නොදන්නේ ? 

ඔය අර සු.. මහත්තයනේ ?  

අර  පහුගිය දවස් වල ඇනටමි ස්පෙසිමන්  බලන්න එහෙම එන්නේ ඇහුවේ අපෙන් . අන්න එයා. "

"ඒ  කියන්නේ ඩොක්ටර්  සු... සර්ජරි  ස්පෙෂල්  කරන්න ඉන්න කෙනෙක්ද?  "

මම ඇසුවේ අපේ දෙපාර්තමේන්තුවේ ඇති  ශරීර  අවයව කොටස් වැඩිපුර අධ්‍යනය කරන්නට එන්නේ එවැනි  දොස්තරවරු බැවිණි.

"මොනවා   ඒ මහත්තයද සු.. කියන්නේ ?  

ප්‍රේමදාස පුදුමයෙන් මෙන් තම සගයාගෙන් අසා සිටියේ මගේ පැනයට පිළිතුරක් ලැබෙන්නටත්  පෙරමය. 

"ඇයි ප්‍රේමදාස  ඒ මහත්තයට  කාර්  එකක් තිබ්බේ නැද්ද  ?  "

"නෑ සර්  ඔය කියන  මහත්තයා  දොස්තර කෙනෙක් නෙවෙයි . 

සෙකන්ඩ් ඉයර් එකේ  ස්ටුඩන්ට් මහත්තයෙක් . 

බැච් මිස් වෙලා ඉන්නේ.  

 මන් හිතන්නේ   ඇනටමි  ඇරෙන්න අනික් සබ්ජෙක්ට් දෙක  පාස්වෙලා ඉන්නේ . ඇනටමි  තුන් පාරක්ම ෆේල් "

ප්‍රේමදාස කිව් දෙයින් මම අන්ද මන්ද වුයෙමි. 

"ඒ කියන්නේ  ඊළඟ පාර  තමයි එයාට තියෙන ලාස්ට් චාන්ස් එක.  

 අයිසේ මිනිහා මාර මනුස්සයෙක් නේ  එහෙම තියෙද්දී කාර් විකුණනවද? "

විමතියට පත්වූ මම මගේ දෙපාර්තමේන්තු සුළු සේවක සගයින්ගෙන් ඇසුවෙමි. 

"ඔවු සර් සමහර මහත්තුරු එක එක සයිඩ් බිස්නස් කරනවනේ  මෙයා කරන්නේ මන් හිතන්නේ  එයා දොස්තර කෙනෙක් කියලා කාර් විකුණන එක"

සෙනෙවි කාර් විකුණන පොඩි දොස්තර මහතා ගැන තම මතය ඉදිරිපත් කළේය. 

"හරි හරි ඒ  කාර් බැලිල්ලෙන්  කමක් නෑ මට වෙලාවක මිනිහා පෙන්නනවා කෝ? " 

යැයි ප්‍රේමේ ඇතුළු පිරිසට පවසමින් මම එතණින්  ඉවත් වුණෙමි.
  
එසේ පිටත් වෙද්දී මගේ මනස  බෙහෙවින් කැළඹී තිබුනා  කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ.  

හේතුව මෙතරම් දුරකට මහන්සි වී ඉගෙනගත්  මේ   වෛද්‍ය සිසුවා තම දොස්තර කම නැතිවෙන්නට ඔන්න මෙන්න වෙද්දීත්  එහි බරක් පතලක් නොදැකීමයි 

 අපේ විෂය  ( කාය ව්‍යවච්චේද  විද්‍යාව හෙවත් ඇනටමි)  ඉගෙන ගැනීම පසෙක තබා කාර් විකුණ විකුණා සිටින  මේ  සිසුවා හඳුනා ගත යුතු යැයි මට සිතේ.  

හරි මම  හින්නි එක්ක කතා  කරලා  මේ  "කාර්  දොස්තර මහත්තයා" හොයා ගන්නම් කෝ .  

මම කෙසේ හෝ මේ තම අධ්‍යාපන කටයුතු අවසන් වන්නට පෙර "කාර් දොස්තර "   කෙනක් වූ වෙද සිසුවා හොයා  ගන්නට අදිටන් කර ගත්තෙමි. 





ඉතිරි කොටස මෙතැනින් ... ( ඉදිරියේදී බලාපොරොත්තු වන්න )