Follow by Email

Wednesday, 2 November 2016

ගමේ පන්සලේ කඨින පිංකම




මට මතක  හැටියට  ඒ එකදාස් නමසිය හැත්තෑ හතේ වස්සාන සමයේ ආරම්භය.  මේ වනවිට  එතෙක් පැවති සමගි පෙරමුණු ආණ්ඩුව බිඳවැටී   එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට පාලනය කරමින් තිබුණි.

ඇට වර්ග අටක් හඳුන්වා දීමත් සමග එතෙක්  අප දැක නොතිබූ  කොන්ඩ කඩල, මයිසුර් පරිප්පු ආදිය සමුපකාර කඩවල පිරී තිබුණා මතකය.

පිටරටින් ගෙන්වූ සැමන් හුණ්ඩු ආදිය අපේ ගෙවල් වලටද ගෙන එන්නට පටන් ගැනිණි.

ආණ්ඩු වෙනස් වීම ඒ වනවිට අවුරුදු හතක් වූ මට පෙන්නුම් කෙරුණේ මේවායින් නොවේ .

ඒ වනතෙක් ලා නිල්පාට  ගා තිබු මල්වත්තේ බස් හෝල්ට් එක එක පාරම තද කොළ පාටින් වර්ණ ගැන්විණ.




බස් වල ලංගම  යැයි නිල්පාට පටියක ලියා තිබු අකුරු ටික  කොළ පාට පටියක් තුලට ඇතුල් කෙරිණි.

ඒ අනුව මා සිතුවේ ආණ්ඩු මාරුවේ ප්‍රධාන ප්‍රතිඵලය  නිල්පාටින් තිබු ආණ්ඩුවට අයත් සියළු  දේ කොලපාට වීම  බවයි.


මේ අතර මේ හා සමාන වෙනස්කම් අපේ පවුල සහ අපේ ගම තුලද  දක්නට  ලැබිණි.

විශේෂ යෙන්  ගමේ පංසල සහ පාසැල ආශ්‍රිතව සිදුවූ  වෙනස් කම් මා මතකයේ තදින් රැඳී පවතී.

මේ වෙනස් කම් බොහොමයක් අපේ පවුලේ  අයට සහ ඔවුන් හා ගම අතර තිබු සබඳතාවයට කෙලින්ම  බලපෑම මේ නොනැසෙන මතකයට එක් හේතුවක් විය හැකිය.

ඒ වනතෙක්  ගමේ සිට  අරලගංවිල  අධ්‍යාපන කාර්යාලයට සේවයට ගිය අපේ තාත්තා  හදිසියේම කොළඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවට මාරු කෙරුණි.

තාත්තා ගමේ සිටිද්දී  ( සමගි පෙරමුණු රාජ්‍ය සමයේ )  ගමේ පංසලේ දායක සභාවේ සභාපති තනතුරද හෙබවිය.

මේ  නිසාම ඒ කාලේ පැවති දේශපාලන රැස්වීම් වගේම කිරිඔරුව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ  සල්පිල් සහ මල්වට්ටි වෙන්දේසි ආදියද තාත්තාගේ චතුර කථිකත්වය විදහා පෑ ස්ථාන විය.




මල්වත්තේ බස් හෝල්ට් එකේ පාට කොළපාටට හැරුණු කාලයේම එළඹී මේ වස්සාන සමය මා මතකයට නැගුනේ හෙට   ( 03/10/2016 ) ගමේ පංසලේ පැවැත්වෙන උත්සවයක් නිසයි.

ගමේ පංසලේ පැවැත්වෙන මේ කඨින පිංකම අළලා කිසියම් අතිතමතක  සැමරුමක් කල යුතු යැයි මම සිතුවෙමි.



අද උදේම අපේ පංසලේ ලොකු හාමුදුරුවන්   ගෙන් ලැබුණු ව්‍යිබර් දුරකතන ඇමතුමක්  මේ අදහස මා සිතට ඇතුල් කළා කීවොත් නිවැරදිය.


 "තෙරුවන් සරණයි !! කවිඳු  මහත්තයා කොහොමද වාසේ දේසේ ? "

"හොඳින් ඉන්නවා අපේ හාමුදුරුවනේ.  මොකද ඔය පැත්තේ වෙන්නේ මේ දවස් වල ? "

"මහත්තයා හෙට අපේ  පංසලේ කඨිනේ තියෙනවනේ . ඒකට හෝ ගාලා වැඩ කට්ට්යම "

 "මට ආරංචි වුනා හාමුදුරුවනේ ණුවන් අංජන මල්ලිගෙන්  , රංජිත් මාමගේ ගෙදර වැඩත් යනවා නේ හාමුදුරුවනේ මේ දවස් වල.

 කඨිණෙන්  පස්සේ කපරාරුව පටන් ගන්නවා කියලා තමයි ණුවන් මල්ලී  කිව්වේ .

හොඳයි. හොඳයි එහෙනම් කඨින වැඩ කරගන්න්කෝ මමත් හිතුනොත් පරණ කඨින පිංකමක් ගැන ලියන්නම්කො අද "

"ඒ කිව්වේ මහත්තයා බ්ලොග් එකක් ද ? හරි හරි ලියන්නකෝ  එහෙමනම් අපිටත්  විවේක පාඩු වෙලාවක බලන්න "





1977 කඨින චීවර පුජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 







සියයට සියයක්ම සිංහල බොදු ජනතාවක් වෙසෙනා අපේ පළාත්වල  වර්ෂයක් පාසා පැවැත්වෙන වැදගත්ම  ආගමික උත්සවයක් තමයි කඨින උත්සවය කියන්නේ.

මේ කියන සිද්ධිය සිදුවුනේ හැත්තෑ හතේ චන්දෙන් පස්සේ පැවැත්වූ මුල්ම කඨින උත්සවය දවසේ. 

තාත්තා දඬුවම් මාරු ලබා කොළඹ පළාත් පාලනයේ වැඩ කරපු නිසා එදා ගෙදර හිටියේ අපේ අම්මා විතරයි. 

ඒ වනවිට මාස පහක ළදැරියක් වූ අපේ නිම්මි නංගි ( දැන් පළාතේ රජයේ රෝහලක ජේස්ට හෙද සොයුරියකි )  තුරුල් කරගත් අම්මා ඉතිරි ළමයින් දෙදෙනා වූ අපේ ලොකු නංගිත් මමත් රැගෙන පංසල වෙත පිය මැ න්නේ  කඨින චීවරයට අත ගසන්නටයි.

චන්ද රැස්වීම් වල කවි කියූ සමන්ත සහ අපේ ලොකු අක්කා ඒ වනවිට නිවසේ රඳවා සිටියේ නමුණුකුල තිබු අපේ පුංචි අම්මාගේ ගෙදර.  

ඒ අපේ ගමේ කිරඹඔය කොටසේ විසු රාජපක්ෂලා  සමුහයක් ඔහු පැහැරගෙන යන බවට තර්ජනය කර තිබු නිසා . 

ආණ්ඩු මාරුවෙන් පසුව පැවත්වෙන ප්‍රථම දායක සභා රැස්වීම එදාට යොදාගෙන තිබුණු බව අම්මා දැනගෙන හිටියේ නෑ මන් හිතන්නේ.
"ඉක්මනට වරෙන් චුටි පුතා උත්සවේ පටන් ගන්න හදන්නේ . 

අවුරුද්දක් තිස්සේ බලන් ඉඳලා ඉඳලා කඨිනෙට අත ගහ ගන්නත්  බැරිවුණොත් අපරාදේ "








අම්මා පංසල වෙත පියමනිනා මටත් ලොකු නංගිටත් අඩිය ඉක්මන් කරන ලෙස පැවසුවාය.

වේගයෙන් අඩි තබමින් ගිය අම්මා පසුපස වැටුණු අපි හවස දෙක පසුවී විනාඩි පහක් වැනි වේලාවකදී පන්සලේ ප්‍රධාන ශාලාවට ( ආවාස ගෙයි තුල වූ ) ලඟා වූයෙමු.

"පලයන් අර ඉස්සරහම තියෙන පැදුරේ ඉඩ තියෙනවා එතැනින් වාඩි වෙයන් " අම්මා මගේ පිටට අතක් තබා මා ලොකු හාමුදුරුවන් සහ දායක සභාවේ නිලධාරීන් සිටි ස්ථානය ඉදිරියේම වූ පැදුර වෙත යැව්වාය.

සුලුවෙලාවකින් නිම්මි නංගි වඩා ගත් අම්මාද ඒ පැදුරේම  මට දකුණු පසින් වූ  කොටසේ වාඩි වුවාය.

"කාරුණික පින්වත්නි ,අද පැවැත්වෙන  මේ මහා කඨින චීවර පුජා පිංකමට පැමිණි ඔබ තමුන්නාන්සේලාට හැමෝම ඉතා ගවුරවයෙන් යුතුව පිළිගන්නවා"

තාත්තා නැති සභාවේ මුලාසනය රැගෙන තිබුණේ ඔහු සිටි දායක සභාවේ භාණ්ඩාගාරික තුමා විසින්. 

ඒ දියකඩිත්තගාව  ගෙදර සෝමසුන්දර බාප්පා. 

"මේ බලපල්ලකො කැරපොත්තට ගිය කලක් . 

හරියට වඳුරට දැලිපිහිය හම්බවුනා වගේ " 

ඉතා කෙසඟ සිරුරකින් හෙබී ඔහු මයික්‍රෆොනයත් රැගෙන ජනතාව අමතද්දී දුන්නක් මෙන් නැමෙනවා යැයි 
අපේ අම්මා අප හට පවසා සිනාසුණා මතකය.

"මම මුලින්ම අපේ  ලොකුහාමුදුරුවන්ට ආරාධනා කරනවා පැමිණ සිටින සියළු දෙනා පංචශීලයේ පිහිටවන ලෙසට "

කථිකයා ලොකු හාමුදුරුවන්ට අරාධනා කළේය. 

" පින්වත්නි පංචශීලය සමාදන් වීම පිණිස නමස්කාරය කියන්න "

"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා .. සම්බුද්දස ...///"  අපි නමස්කාරය කීවෙමු.


"බුද්ධං .. සරණං...... ගච්ඡාමි... ... යනාදී වශයෙන් ලොකු හාමුදුරුවෝ අප පංචශීලයේ පිහිටවූහ.

තම ආදරණිය ස්වාමියාගේ තැන ඔහුගේම කණ්ඩායමේ සිටි භාණ්ඩාගාරික විසින් ලබාගෙන ඇතිබව දුටු අපේ අම්මා තරමක් නොසන්සුන් කාරී බවක් පෙන්වුවද කඨින චීවරයට අත ගැසීමේ බලාපොරොත්තුවෙන් පැදුරේ රැඳී සිටියාය .

ඇගේ සහ  බොහෝ දායක දායිකාවන්ගේ බලාපොරොත්තුව වුයේ පන්සිල් ගැනීමෙන් අනතුරුව කඨින චීවරය අප සැම හරහා ලොකු හාමුදුරුවන් වෙත පිරිනැමීම සිදුවනු ඇත කියායි.

නැවත මයික්‍රෆෝනය අතට ගත් සෝමසුන්දර බාප්පා  දිනයේ වැඩ පිළිවෙල තරමක් වෙනස් බවත් ඊළඟට තියෙන්නේ දායක සභා රැස්වීම බවත් කියා සිටියේය.

නාමරත්න පතුරු ගැසීම







"කාරුණික පින්වත්නි  1970 සිට 1977 දක්වා ශ්‍රී ආනන්දාරාමයේ දායක සභාව කලේ එකම කට්ටියක් . 

ඒ අය අතරින් සභාපතිත්වය දැරූ අහවලා අද මේ උත්සවයට ඇවිත් නැහැ "

එක අතකින් මයික් එකත් අනික් අතින් පෙන් පැල් පෑනකුත් ගත් සෝමසුන්දර බාප්පා ටිකෙන් ටික අවේගශීලි වෙන බව දක්නට ලැබුණි.


"ඔය පුද්ගලයා කිසිම දවසක අනික් අයට තැනක් ගන්න දෙන්නේ නෑ.  එයාම තනතුර බදාගෙන ඉන්නවා " 

පෙන් පෑල් පෑන අම්මා සහ අප සිටි පැත්තට වනමින් දිගින් දිගටම කතාකල ඔහු කිසියම් අයෙකුට දිගින් දිගටම දෝෂාරෝපණ කරන බව කුඩා මටද තේරුම් ගියේය.



එහෙත් පංසලේ වැඩ වලින් මුදල් ගසා කෑවා වැනි අභූත චෝදනා නගමින් ඔහු මේ කතා කරන්නේ තමා භාණ්ඩාගාරික තනතුර දරද්දී සභාපති වූ  අපේ තාත්තාට බව තේරුම් ගන්න තරම් දැනුමක් අපට තිබුණේ නැත.

සෝමසුන්දර බාප්පා පාළු ගෙයි වලං බිඳිමින් පෑන වනමින් කතා කරයි.

දෙතුන් සීයක් පමණ වූ කඨින චීවරයට අත ගැසීමට පැමිණි පිරිස මියට පිම්බාක් මෙන් නිශ්ශබ්දය.

මා අසල සිටි අම්මා එක් වරම නැගී සිටියයා

"සිවුරු අත ගැහිල්ලෙන් කමක් නෑ වරෙව් යන්න.  මේ මිනිහා මේ බනින්නේ තොපේ  තාත්තට බොලව් .

යමව් යන්න. "

ළමයි තිදෙනාත් සමග මහා සභාව මැදින් ඉදිරියට ඇදුනු ශ්‍රී විශාකා කුළගන සමිතියේ ලේකම් තුමිය තම සැමියා වෙනුවෙන් නැගී සිටියේ එලෙසය.

තම සැමියාගේ හිතවතාම ඔහුට එරෙහිව පෑන් වනද්දී තවදුරටත් ඉවසා සිටිය නොහැකි වූ නිසා කඨින චීවරයට අත ගැසීමපසෙක තබා සභාවෙන්  ඉවත් වූ අපේ අම්මා නැවතත් නිවසට පැමිණියේ  අදහෙටම මම සොමසුන්දරට රෙද්දේ රෙවෙන්න කතා කරනවා යැයි කියමිණි. 



27 comments:

  1. ගම කියන්නේ ඕකට තමයි...

    ReplyDelete
  2. ඔය සිවුරු මහන වැඩේ මං හිතන්නේ බුදු සාදු නියම කලේ සංඝයාට ම කරගන්නයි. සිවුරු කඩෙන් ගන්න අද කාලේ ඕක අනවශ්‍යම වැඩක්. නමුත් සාදුලා කරන්නේ ලෝකේ තියෙන උතුම්ම පූජාව මේකයි කියලා ගම්මු රවටාගෙන බොරු වැඩක් දිගටම අරගෙන යන එකයි.

    බුදු දහමට කිසිසේත් ම අදාල මේ යූස්ලස් වැඩ අද මොනවට කරනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. //සිවුරු කඩෙන් ගන්න අද කාලේ ඕක අනවශ්‍යම වැඩක්.// ඒකනම් ඇත්ත ඔය මහන සිවුර මහන්නේ සිරිතට විතරයි.

      Delete
  3. පන්සල්වල දායක සභා කියන්නේ කොයි වෙලාවේ පුපුරන අවි ගබඩාද කියන්න දන්නේ ලොකු හාමුදුරුවෝ විතරයි. ඉස්කෝලවල ආදි ශිෂ්‍ය සංගම් වගේ...බලය...බලය...බලය..

    ReplyDelete
    Replies
    1. //පන්සල්වල දායක සභා කියන්නේ කොයි වෙලාවේ පුපුරන අවි ගබඩාද කියන්න දන්නේ ලොකු හාමුදුරුවෝ විතරයි. ඉස්කෝලවල ආදි ශිෂ්‍ය සංගම් වගේ...බලය...බලය...බලය..// හරියට හරි අරුණ. සුළු හෝ බලයක් පෙන්වීය හැකිතැන් සොයා ගොස් එහි බලය පෙන්වීම අපේ අයගේ සිරිතයි. හොඳම උදාහරණය මේ සිද්ධියේ දී සෝමසුන්දර බාප්පා ක්‍රියාකළ අකාරය ඔය කිව්වා වගේ කලින් දායක සභාවේ එයා හිටියට "තැනක් " තිබුණ බවක් පෙනිලා නෑ ගොඩක් වෙලාවට අපේ එක්කෙනා ගේ "බලයට" යටත් වයි ඉන්න ඇත්තේ. මේ මෑතකදී යහමින් මුදල් ගැවසෙන්න ගත්තූ කෙනෙක් "තරුණ අපිට තැන නෑ " කියමින් අනෙක් පාර්ශ්වය එලවා දමා දායක සභාවට එන්න දඟලු හැටි ආරංචි වුණා. ඔය ගම්වල ඉන්න මිනිස්සු ගොඩක් දෙනෙකුට මුදල් ලැබුනට පස්සේ ඊළඟට හොයන්දේ තමයි බලය. ගමෙන් එළියේ identityඑකක් හැදුනේ නැති ඔය වගේ අය දකින හොඳම තැන් තමයි දායක සභාව, මරණාධාර සමිතිය,ආදී ශිෂ්‍ය සමිති වගේ තැන්. ඒ තැන්වලට ගොස් "සල්ලි වලට පස්සේ ආපු බලය පෙන්වීම" තමයි බොහෝ දෙනෙක් කරන්නේ . ඒ කාලේ එහෙම වුනාට ගමෙන් බිහිවූ "බලවත්ම, ප්‍රසිද්ධම දොස්තරවරු දෙන්නෙක්" හැදුනේ අපේ අම්මාගේ සෙවන යටතේ . ඒ දෙන්නම ඔය බලකඳවුරු කතා තඹේකට මායිම් නොකර පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන යාම අපේ තාත්තලාට වුනත් ආදර්ශයක්.. මම නිතරම අපේ තාත්තට කියන දෙයක් තමයි ඔය වගේ තැන්වලට ගිහින් කට දාන්න යන්නේ නැතිව පාඩුවේ ඉන්න කියන එක. අපේ තාත්තලා වුනත් බලයට කෑදර ඇති. එත් එයාලට දරුවන් නිසා ඉබේ ලැබුණු "ප්‍රසිද්ධියක් " තියෙනවා . ඒ ගැන වුනත් උපේක්ෂාවෙන් විඳගෙන ඉන්න කියලා තමයි මම නම් කියන්නේ. අපේ ළමයි මේ වගේ "පොරවල් " කියා කියා එයා කියනවද මමනම් දන්නේ නෑ. පුංචිකාලේ ගමේ කිසිම සමිතියක ( තරුණසේවා, සිඟිති හවුල් , දහම්පාසල් , තරුණ සමිති ) කිසිම දෙයකට නොයා ඉන්න මම තීරණය කලෙත් ඔය බල අරගල සීන් වලට අකමැති නිසා. දැන් වුණත් අපේ තාත්තලා, ජයසිංහ පාර්ශවයේ අය කරන සමහර මෝඩ වැඩ වලට මම සම්පුර්ණයෙන් විරුද්ධයි .. මෙහෙම බල අරගල කෙරෙනා තැන්වල ගොඩක් වෙලාවට ලොකු හාමුදුරුවොත් අසරණයි

      Delete
  4. දායක සභාවත් එක්ක කිසිම ගණුදෙනුවක් පවත්වාගැනීමෙන් වැලකිලා ඉන්නෙ එතන තියන යුද්ධ වල කැත කමම නිසා.
    ලොකු හාමුදුරුවේ ගස්ලබු පියාගෙ කැම්පස් එකේ බැචා නිසා දැනට අවුලක් නෑ.
    ඒ උනාට දායකයො සෙට් එක මලගෙදරකට හට් එකක් වත් දෙන්නෑ.. නයිටක් ගහන්න එන්නෙත් නෑ කියලයි කියන්නෙ.
    ඉතින් අපට පාං ද කියල අපිත් පාඩුවේ ඉන්නවා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ පන්සලේ දැන් ඉන්න හාමුදුරුවෝ නම් නියමයි. නමට වගේ දායක සභා තිබුණට උන්වහන්සේට අවශ්‍ය දේ අනිවාර්යයෙන්ම කරනවා. අනික් දේ තමයි ගමේ සම්මාදම් වලට වඩා පිටස්තර උදව්, තමන්ගේම මුදල් යොදවා පන්සලේ වැඩ කිරීම

      Delete
  5. මම මේ අහන්නමයි හැදුවේ. පන්සලේ ලොකු හාමුදුරුවෝ වෙනස්වෙලා ඇති නේද? :)

    ගොඩක් වෙලාවට හමුදුරුවරුන්ට දායකයන් කියන විදියට වැඩ කරන්න වෙනවා ඇති. පන්සල එක් විදියකට යැපෙන්නේ දායකයන්ගෙන් නිසා. ඒත් පන්සල්වලට යන අයත් බය නැතුව කතා කරන්න ඉගෙන ගත්තොත් හොඳයි . හැම එකටම 'ඔව්' කියමින් ඉන්නේ නැතුව.

    අම්මා එහෙම එකක් කල එක හොඳයි. ඒ එක්කම නැගිටලා යන්න තව කොටසකුත් හිටියා නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. පංසලේ ඒ කාලේ හිටපු ලොහු හාමුදුරුවෝ අපවත් වුණා. දැන් ඉන්නේ ලොකු හාමුදුරුවෝ වෙනස් කෙනෙක්.
      අපේ තාත්තලා හිටපු දායක සභා "ඔව් " කියන අය නෙවෙයි . එයාලා වෙනස් කම් යෝජනා කරන අය. එහෙත් එහෙයි කියමින් ඉන්න දායක සභා මතුවන්නේ අනෙක් පාර්ශ්වයෙන් . මම හිතන්නේ දැනුත් තියෙන්නේ එහෙම එකක්. ඔය පන්සලේ දායක සභාවත් පක්ෂ දේශපාලනය එක්කම දෝලනය වෙන එකක්. දැන් රාජ්‍ය පාලනය කවලම් එකක් නිසා ඒ දෙකටම සම්බන්ධ එහෙයි සෙට් එකක් වැඩේ කරන් යනවා මන් හිතන්නේ.
      මමත් මේක ලියද්දි හිතුවා අම්මා නැගිටලා යද්දී නැගිටින්න තවත් සෙට් එකක් හිටියා නම් එළකිරි කියලා හැබැයි අම්මාගේ නංගිලා මල්ලිලා වත් නැගිට්ටේ නෑ..අම්මයි පොඩි අපි දෙන්නයි විතරයි.

      Delete
  6. දැන්නම් හුඟක් පන්සල්වල දායක සභාවේ ඉන්නෙත් බවලත් උදවිය. පිරිමි අය මේවට යන්න කැමති නෑ. හාමුදුරුවන්ටත් ලේසියි ගෑණු ටික පාලනය කරගන්න.

    ReplyDelete
    Replies
    1. මෙහේනං දායක සභාව පාලනය කරන්නෙ ලොකුතැනගෙ ආදරණීය භාර්යාව විසින්. හැක්..

      Delete
    2. සකුන්තලාගාමී වීමත් මාර්ගඵලයක්

      Delete
    3. බවලත් උදවිය කොහොමටත් පිරිමින් ළඟ බලවත් වෙනවා. දැන් කාලේ හාමුදුරුරුවෝ කියන්නෙත් සිවුරක් ඇඳගත්ත පිරිමියෙක් විතරනේ..

      Delete
  7. ඔය කඨිනෙ දැං බිස්නස් එකක් වෙලා. ඉස්සර උදේ පාන්දර ගිය කඨින පෙරහැරවල් දැන් මහ දවල් යන්නෙ ටවුන් වල. කීයක් හරි එකතු කරගන්න.

    දායක සභා ගැනනං කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ කඨින පෙරහැරවල් මහා රෑ දහයට දොළහට යනවා කියන්නේ?

      Delete
  8. බල අරගල විතරක් නම් මදෑ .පුරාජේරු ,ඇනුම්පද ,කෙටවිලි ඔය ඔක්කොම මැද්දෙ තමයි ඔය දායක සභා දුවන්නෙ .හැකිතාක් ඈත් වෙන තරමට හිතට සනීපයි !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉන්දු මේ පන්සල් සංස්කෘතිය ඇතුලේ පැවිද්දො විතරක් නෙමේ ගිහියොත් උඩු යටිකුරු වෙන්න ඕන. නැත්නම් අර පන්සිය පනස් කාලයක් පෙරුම් පුරං අරන් ඇවිත් පෙන්නපු අනර්ඝ ජීවන දර්ශනයට කරන අපහාසයක් සහ අපරාධයක්. ඒ පිලිබඳ තරහක් තියෙන්නේ මට වර්තමාන පන්සල් සහ සංඝ සංස්කෘතිය එක්ක.

      Delete
    2. //ඇත්තටම ඉන්දු මේ පන්සල් සංස්කෘතිය ඇතුලේ පැවිද්දො විතරක් නෙමේ ගිහියොත් උඩු යටිකුරු වෙන්න ඕන.// පන්සල් වල විතරක් නෙවෙයි හැමතැනකම බොදුනුවෝ උඩු යටිකුරු වෙන්න ඕනේ.. විශේෂයෙන් අපේ ශ්‍රී ලංකික බොදුනුවෝ

      Delete
    3. ස්තුතියි ..//බල අරගල විතරක් නම් මදෑ .පුරාජේරු ,ඇනුම්පද ,කෙටවිලි ඔය ඔක්කොම මැද්දෙ තමයි ඔය දායක සභා දුවන්නෙ .හැකිතාක් ඈත් වෙන තරමට හිතට සනීපයි !// අපේ පන්සලෙත් එහෙමම තමයි. මම ඉස්සර පංසලට ගියේ මගේ වයසේ පොඩි හාමුදුරු කෙනෙක් හිටියා එයත් එක්ක අපි හරි යාළුයි . ඒ මිත්‍ර සම්බන්ධ කමට සහ මම පන්සලේ ගණිත විද්‍යා පන්තියක් කර 1989 කලබල කාලේ .. එන්න ඒ කාරනා දෙකට විතරයි මම තරුණ කාලේ ඔය පංසලට ගියේ..

      Delete
  9. දැං කඨින පිංකං මිනිස්සුන්ට වින කටින පිංකං බවට පත්වෙලා ඉවරයිනෙ. මිනිස්සු පන්සල පැත්තෙ යන්න බයයි අතේ තියෙන දාහට හමාරට කෙළවෙයි කියලා. ඉස්සර අපේ ගමේ කඨින උස්සවේට නං කඨින චීවරේ මහන්න ගිනියන්නෙ පෙරහැරේ. ආපහු පන්සලට ගේන්නෙත් පෙරහැරේ. ඒ පෙරහැරේ විචිත්‍රත්වය වෙනම ලියන්න ඕනි. දැං නං පන්සල්වල දායක සභා රැස්වීම ගැන සාමාජිකයන්ට දැනුම් දෙන්නෙත් පන්සලේ ෆෑන් පේජ් එකෙන්. පන්සලේ පේජ් එකට ලයික් කරන හැමෝටම දායක සභාවෙ මෙම්බර්ෂිප් එක ලැබෙනවා. තව ටික දවසකින් දන් සීට්ටු එහෙමත් ෂෙයා කරයි. ඒ විදිහට ගිහිං දායක සභාවත් ඔන්ලයින් කොන්ෆරන්ස් ක්‍රමයට තිව්වොත් තවත් හොඳයි. මිනිස්සුන්ගෙ කාලය ඉතුරුයිනෙ.

    මහ සෙනගක් මැද සිය සැමියා වෙනුවෙන් නැගී සිටි අම්මාට මගේ උත්තමාචාරය. ඇය කුළඟන සමිතියේ සභාපති කමට නිතරඟයෙන්ම සුදුසුයි. මෙතෙක් කල් තමුංගේ සභාපතිව සිටි මිනිහා නැති තැන ඒ මනුස්සයා වෙනුවෙන් කට අරින්න එකෙක් නැතිවීම ගැන දායක සභාවේ එවුන්ට මාගේ මෙව්වඑකත් ඒ සමගම පළ කරමි.

    ReplyDelete
    Replies
    1. ආ.. අමතක උනා කියන්න. පන්සලේ දායක සභාවේ වේදිකාව අනුන්ට මඩ ගහන්ට, ද්වේශය වපුරන්න ඉඩ දී බලා සිටි එවකට පන්සලේ හාමුදුරුවං වහන්සේටත් ඉහත දායක සභාවේ එව්වන්ට දුන් මෙව්ව එකම පූජා කරමි.

      Delete
    2. ස්තුතියි සුරංග ඒ කාලේ හිටපු හාමුදුරුවෝ බලය පේනවා කන්ඩායෑමත් එක්කම ගියා මිස ඒ අය කරන දේවේශ සහගත ප්‍රකාශන ප්‍රශ්න කලේ නෑ.. හාමුදුරුවෝ 1970-77 කාලේ අපේ ගෙදර පවා එන තරම් ( තාත්තා මුනගැසී පන්සලේ වැඩ කටයුතු කතා කරන්න ) තාත්තා එක්ක හිතවත් 1977 චන්දෙන් පස්සේ ආණ්ඩු මාරුවීමත් සමග දායක සභාවත් හාමුදුරුවොත් තාත්තා තනිකර අලුත් ආණ්ඩුව පැත්තට වුණා. හැබැයි අපේ අම්මා දිගටම කුලගන සමිතියේ හිටියා 1977 න් පස්සේ පවා. අම්මාගේ ක්‍රමේ හරි වැදගත් වන්නේ ගමේ පංසලේ දියුණුව මිසක් එකේ ඉන්නේ කවුද , මොන පාක්ෂික අයද කියන එක නෙවෙයි. ඔය පංසලේ සිදුවූ ගොඩක් වැඩ කෙරුනේ අපේ තාත්තා ප්‍රමුඛව. ඔහු ඉතා ශුර සංවිධායකයෙක්.. ඔහු දේශපාලන වසයෙන් ( ඒ කාලේ ) හිටියේ ප්‍රගතිශීලි පිළේ.දැන් එහෙම කට්ටිය ( ප්‍රගතිශීලි ) අය ලංකාවේ නෑ.

      Delete
    3. //මහ සෙනගක් මැද සිය සැමියා වෙනුවෙන් නැගී සිටි අම්මාට මගේ උත්තමාචාරය. ඇය කුළඟන සමිතියේ සභාපති කමට නිතරඟයෙන්ම සුදුසුයි. මෙතෙක් කල් තමුංගේ සභාපතිව සිටි මිනිහා නැති තැන ඒ මනුස්සයා වෙනුවෙන් කට අරින්න එකෙක් නැතිවීම ගැන දායක සභාවේ එවුන්ට මාගේ මෙව්වඑකත් ඒ සමගම පළ කරමි.// අපේ අම්මා ඔය ගම් දෙකටම ආදර්ශයක් , මගේ බ්ලොග් එකේ එයාගේ ගති ගුණ ගැන ලියවුණා අඩුයි . ඒ වගේ අම්මලා ගොඩක් අපේ ගම් වල හිටියා නම් රට දෑය ට ආදරේ පමනක් නොව ලෝකයක් දිනන දරුවෝ හැම ගමෙන්ම බිහිවෙනවා.

      Delete
  10. //ආ.. අමතක උනා කියන්න. පන්සලේ දායක සභාවේ වේදිකාව අනුන්ට මඩ ගහන්ට, ද්වේශය වපුරන්න ඉඩ දී බලා සිටි එවකට පන්සලේ හාමුදුරුවං වහන්සේටත් ඉහත දායක සභාවේ එව්වන්ට දුන් මෙව්ව එකම පූජා කරමි.// ඒ හාමුදුරුවෝ අපේ පවුලේ හිතවතෙක් විදිහට දිගටම හිටියා ඒත් ඒ වෙලාවේ උන්වහන්සේ හැසිරුනෙත් සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙක් විදිහට වාසි පිලට හේත්තු වෙලා ඉඳිමින්

    ReplyDelete
  11. දායක සශාවත් එහෙම නම් පාර්ලිමේතුවේ වෙන දේවල් ගැන පුදුම වෙන්න ඕනි නෑ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ පාර්ලිමේන්තු හැදෙන්නේ මේ වගේ දායකයින්ගෙන් චන්දෙන් නේ මද්දා .. ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete