Follow by Email

Wednesday, 25 January 2017

වියලුණු හීල් ඔය සහ අපේ පංතියේ මුණසිංහ




පසුගිය මාසයක කාලය පුරා කිසිම බ්ලොග් පොස්ට් එකක් ලියවුණේ නෑ. හේතුව අවුරුදු තුනකට පස්සේ සිදුවන අපේ ලංකාගමනය .

යන්න ගමන් බිමන් ගොඩයි. ඒ වගේම කරන්න වැඩත් එමටයි.

 ඒ අස්සේ බ්ලොග් ලියවුණොත් ඒක ඉතිං නොලියාම බැරි දෙයක් ගැන තමයි.

මේ ගමෙනේදී තම තමන් කරන්නේ මොනාද ? යන්නේ කොහේද ? මුණ ගැහෙන්නේ කවුද කියන එක ගැන නිම්මිට වත් මටවත්  එච්චර ගාණක් වුණේ නෑ.

ඒත් අපේ  පුත්‍රයා සුපුන් නම්  මාස  ගාණක් තිස්සේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ගැන අධ්‍යනය කරමින් හිටියේ.

කොහොමින් කොහොම හරි ලංකාවට ආවට පස්සේ කල කී දේවල් , ආ ගිය ගමන් බිමන් සහ මුණගැසුණු හිතවතුන් නිසා බොහෝ අතීත සිදුවීම් මතක් වුණා .

මේ ලියැවෙන්නේ ඒවායින් එකක් ....


මෙවර ලංකාවට ගිය   ගමනේදී අපට මුලින්ම හමුවූ කෙනෙක් තමයි  ඌව පළාත් සභාව  නියෝජනය කරමින් පළාතේ ප්‍රශ්න ගැන නිතර කතා බහ කරන සමන්ත විද්‍යාරත්න.

 සමන්ත මේ දිනවල අපේ පළාතට බලපෑම් කරන ලොකුම ප්‍රශ්නය වූ උමා ඔය ව්‍යාපෘතියේ අහිතකර බලපෑම්  ( ගෙවල් දොරවල් ඉරිතලා පුපුරා විනාශ වීම, ලිං සහ දිය උල්පත් සිඳී යෑම වගේ ) දේවල් ගැන බලධාරීන්  සමග කතා කරමිනුයි ඉන්නේ.


ඇත්තටම කියනවා නම්  බණ්ඩාරවෙල , වැලිමඩ ඇතුළු ඌව පළාතේ එලවලු වවන  ප්‍රදේශ වලට ඉතා අහිතකරව බලපා ඇති මේ ව්‍යාපෘතියේ නරක පැත්ත ගැන  මිනිස්සුන්ගේ පැත්තෙන්, මිනිස්සු වෙනුවෙන්  හඬක් නගන එකම දේශපාලකයා සමන්ත පමණයි.

මම සමන්තගේ මේ වගේ ජනතාවාදී වැඩ ගැන ඉතා කැමැත්තෙන් හිටියේ දැන් අවුරුදු ගණනනාවක ඉඳලා.


ඒත් සමන්ත  සහ ඔහුගේ පවුලේ අය මම ,සුපුන් සහ නිම්මි ඇතුළු "අපේ කණ්ඩායම" මෙතෙක් හමුවී තිබුනේ නෑ .  අප දෙගොල්ල  ප්‍රථම වරට   මුහුණට මුහුණ හමුවුයේ මේ වතාවේ අපි ලංකාවට ගිය වෙලාවේ .

ඒ අපි නිම්මිලා ගෙදර දවසක් ගතකිරීමෙන් පසු අපේ ගෙදරට පැමිණ  ගතවූ පළමු රාත්‍රියේදී.

සමන්තත්  ඔහුගේ බිරිඳ සහ  දරු තිදෙනාත් එදා  අපේ නිවසට පැමිණියේ  සමන්තලා පක්ෂයේ අපේ  පළාතේ නියෝජිතයා වූ වසන්ත නම් ගණිත  ගුරුවරයෙකුත්  එකතු කරගෙනයි.

ඒ විතරක් නෙවෙයි   ඔබ අපි කවුරුත් දන්නා බ්ලොග් කරුවෙක් වන සුරංග මලයා සහ ඔහුගේ "යාන්හැල්ල" වගේම ප්‍රසිද්ධ ඔහුගේ බිරිඳත් සමන්තලා සමග පැමිණ සිටියා.

මේ කියන දවසේ   "යාන්හෑල්ල" ලියන සුරංගත්  ඔහුගේ බිරිඳ  චුටි මැණිකෙත් අපිට   මුණ ගැහුණේ  සමන්තලා වගේම ජිවිතේ ප්‍රථම වතාවට.

මේ හමුවීම් දෙකම  ඉතාම සුන්දර ඒවා  වූ නිසා ඒ ගැන වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියවෙන්න ඉඩ තියෙනවා.



ඒ නිසා ඒ සුහද හමුවේ විස්තර පසෙකට තබා  අද බ්ලොග් පොස්ට් එකේ නිමිත්තට යොමු වෙමු.

සමන්තලා සහ අපගේ මේ හමුවීම හරහා සිදු වූ තවත් හමුවීම් සහ සිද්ධි දාමයක් වෙනුවෙනුයි  අද බ්ලොග් පොස්ට් එක වෙන්වන්නේ .

මේ දිනවල අපේ පළාතට තදින්ම දැනෙන ගැටළුවක් වන වතුර හිඟයත් ,  ඒ වතුර හිඟය වෙනදාට වඩා තදින් පළාතට දැනෙන්නට හේතුවක් වී ඇති පළාතේ භූ ගත ජලය  හිඟවීමත්  මා මේ කියන්නට යන කතාව හා සම්බන්ධයි.

එමෙන්ම   අපේ පැත්තේ ලිං , දිය උල්පත් සහ ඇල දොළ බොහොමයක් හිඳීයමින් පවතින්නේ හරියටම උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගය වැටි තිබෙන  ප්‍රදේශ හරහාම කියලයි තතු දත් අය පවසන්නේ .


 හීල් ඔය  සහ අපේ අතීත මතක 

හීල්ඔය නමැති ගම  මගේ  මතකයට  මුලින්ම  ඇතුළු වන්නේ  නමසිය අසුවේ මුල් භාගයේ , ඒ කියන්නේ මම ගමේ පාසැලින් ඉවත්වී  නගරයට ඔබ්බෙන් පිහිටි කිණිගම ප්‍රදේශයේ  තිබු බණ්ඩාරවෙල කණිස්ටයට ආපු මුල්ම කාලයේ. 

මා හතරේ පංතියේ සිටි කුඩා කොලුවෙකු වූ ඒ කාලයේ  අපේ පාසල් බසය ලෙස තිබුණේ අංක 325 මකුල් ඇල්ල නමැති  බස් රථයයි . 

උදේ හතට පමණ  වරකා දන්ඩේ සිට මල්වත්තට පැමිණෙන බස් එක මල්වත්තෙන් අපත් නංවාගෙන  කිණිගම පිහිටි අපේ පාසල බලා පිටත් වෙනවා. 

අනෙක් පාසල් බස්මෙන් කිණිගමෙන් නතර නොවෙන මේ 325 බස් එක  හීල් ඔය  නමැති මනරම් තැනිතලා ප්‍රදේශයක් පසු කර මකුල් ඇල්ල දක්වාම ගමන් කරනවා.



ඒ නිසාම මල්වත්තෙන් පාසල් බසයක් ලෙස ළමුන් පමණක් රැගෙන එන මේ බසයට බණ්ඩාරවෙල නගරයේදී  හිල්ඔය , මකුල් ඇල්ල වැනි ගම් බලා යන ගොවි ජනතාවත්  ගොඩ වෙනවා.

බණ්ඩාරවෙල තොගපොළ  පැවැත්වෙන බ්‍රහස්පතින්දා  දවසට මේ ගොවිජනතාව  අපේ  සිසුන් ට වඩා වැඩි සංක්‍යාවකින්  බස් එක අරක් ගෙන ඉන්නවා දකින්න පුළුවන් .

හේතුව ඒ  කාලේ බණ්ඩාරවෙල තොගපොළට බෝංචි, තක්කාලි, අල , ගෝවා , කැරට් වගේ එළවළු රැගෙන එන බොහෝ පිරිසක් හීල්ඔය අවට වගා කරන්නන් වීමයි.

හීල්ඔය ප්‍රදේශයට ඒ නම ලැබී තිබෙන්නේ  එහි තිබුණු සශ්‍රික කුඹුරු යාය සහ එළවළු කොටුවලට ජලය සැපයු  "හීල් ඔය"  ගලා යන්නේ මේ ප්‍රදේශය හරහා වීම නිසයි. 

අපේ ගමේ තියෙනව  හීල් ඔයේ නැන්දලා ගෙදර කියලා ගෙදරක්.

 ඒ ගෙදරට මේ  නම ලැබිලා තිබුණේ  මේ කියන ගමේ කාන්තාවක්  වූ  "හීල් ඔයේ නැන්දා"  අපේ ගමේ ඩේවිඩ් මාමාගේ සහකාරිය ලෙස පැමිණීමත් සමගලු.

ඒ වගේම  අපේ ගෙදරට ගෙවල් දෙකක් පහළින් තිබු ගෙදරක විසු සැම්සන් අය්යා ඔහුගේ භාර්යාව ලෙස රැගෙන ආවේත් හීල්ඔය ප්‍රදේශයේ කාන්තාවක් .

මේ  දෙදෙනාම අපේ අම්මාගේ හිතවතියන් නිසා  ඒ අය අපේ ගෙදර ඇවිත් හීල් ඔයේ එළවළු වගාව වර්ණනා කරන හැටි මම හොඳට අහලා තියෙනවා. 

විශේෂ යෙන්  ගමේ හොඳ පම්පෝරි කාරියක් වූ පොඩ්ඩි අක්කා හීල්ඔයේ සිටි ගොවි තරුණයින් දෙදෙනෙක් වූ ඇගේ  සහෝදරයන් දෙදෙනා ගේ තක්කාලි වගාව  විස්තර කරන්නේ පදමට  පොහොර බෙහෙත් දමමින් .

ඒ කාලේ මම  අවුරුදු දහයක  කුඩා ළමයෙකු වුණත්  අපේ පාසල් බස් එක යන ගමත්,  හීල්ඔයේ ගෙදර නැන්දගේ ගමත් , සැම්සන් අය්ය ගේ නෝනා වූ පොඩ්ඩි  අක්කා ගේ ගමත් එකම "හීල්ඔය"   බවහොඳින්  තේරුම් අරන් තිබුණා.

හිල්ඔය ගම මැදින් ගලාගිය මනරම් "හීල්ඔය "  මම පොඩි කාලේ දැකලා තිබෙනවා.   ඒ ඔයේ සෙල්ලම් කරන්න. ඉස්ගෙඩි අල්ලන්න , කීටියෝ හොයන්න වගේ දේවල් කරන්න තරම් ළඟක නෙවෙයි අපි හිටියේ.

කුඩා අපි ඒ කාලේ වතුරත් එක්ක සෙල්ලම් කලෙත්  දියබල්ලෝ , දියනයි, ඉබ්බෝ  වගේ ජලාශ්‍රිත සත්තු දැක්කත්  අපේ ගම වූ කිරිඔරුව මැදින් ගලාගිය "කිරිඔරුවේ  ඔය"  තුලින්.

මා කිරිඔරුවේ ඔයේ දුටු මේ දේවල් ඒ කාලේ හීල්ඔයේ සිටි මගේ සම වයසේ අය දකින්න ඇති.

 ඒත් මට මතක හැටියට බණ්ඩාරවෙල කනිෂ්ටයේ අපිත් එක්ක හිටි කල්ලියේ හීල් ඔයේ අය හිටියේ නෑ.

ඒ නිසා හීල්ඔයේ තිබු සුන්දරත්වය අත්විඳි හැටි අහගන්න තරම් මට කුඩා කාලයේදී අවස්ථාවක් ලැබුනේ නැහැ.

එහෙත් හිල්ඔය ගැන සැම්සන් අය්යාගේ අක්කා කියන විස්තර මම අහලා තිබෙනවා . ඇය කියූ හැටියට ඇයගේ මල්ලිලා දෙන්නා  හීල්ඔයේ වතුරෙන් කල එළවලු වගාව ඉතා සරුසාර එකක් .

ඒ බව සනාථ කරමින් පොඩ්ඩි අක්කාගේ මල්ලිලා දෙන්නා තක්කාලි වගාවෙන් හම්බ කරගත් මුදල් යොදවා රෝසා බස් එකක් ගත්තෙත් මේ කාලයේදී මයි.


















මට හීල්ඔය මතක් කරවන හිතට සමීප පංති සගයෙක් හමුවන්නේ නමසිය අසු හතේදී  .ඒ අපි උසස් පෙළ ජීව විද්‍යා පංති වලට යද්දී.

ඊට කලිනුත් අපේ පංති වල හීල්ඔයේ අය හිටියට  ඒ අයකිසියම් හේතුවක් නිසා අපේ ලඟම මිතුරන් වුණේ නෑ.


හීල්ඔයේ සිට අප සිටි 12 වසර  සී පංතියට ආපු  "උපුල් මුණසිංහ" ඒ කාලේ හරි අහිංසක කොල්ලෙක්.

තුනී තඹ පාට ගැහුණු කොන්ඩේ පැත්තට පීරලා සිටි මුණසිංහ හරි නිහඬ චරිතයක්.

 වැඩි කතාවක් බහක් නෑ. ලොකුවට මොඩ් කිරිලි නෑ .

කිසිම කෙල්ලෙක් මිනිහා දිහා වැඩි උනන්දුවකින් බලන්නේ නෑ.

 කොටින්ම කිව්වොත් පංතියේ සිටි  ගණන් කාරයන් ගේ අවධානයට ලක්විය හැකි කිසිම ලක්ෂණයක් නෑ.

 පංතියේ හිටි ගණන් කාර සෙට් එකේ සිටියා වුනත් ( හයේ පංතියේ සිටම ඒ පාසලේම සිටි අය නිසා )  මමත් , දිළුම් සෙට්ටිනායක  නම්වූ  මගේ ලඟම හිතවතාත්  ඉතා ඉක්මණින් මුණසිංහ, වෙලේවත්ත ඇතුළු නවකයින් සමග සමිපවුණා.

ඒ කාලේ මම හිටියේ පංතියේ මුල්ම පේලියේ උහනේ  පුතා සහ තාරක  මගේ පේලියේ හිටපු හතර දෙනා අතර හිටියා.

තුන්වෙනි පේලියේ හිටියේ  පිලිවෙලින් හීල්ඔයේ උපුල්  මුණසිංහ, සුරංජිත් රත්නායක , වෙලේවත්ත  සහ දිළුම් සෙට්ටිනායක  යන සිසුන් බව මගේ මතකයයි.

අසුහතේ නිශ්ශබ්ද චරිතයක් වූ මුණසිංහ  කොල්ලන් අතර ප්‍රසිද්ධියට පත්වන්නේ අසු නමයේදී.

ඒ   පාසලේ රජයට විරුද්ධ දේශපාලනයේ යෙදුන පිරිසත් සමග  උපුල් මුණසිංහත් ගණුදෙනු කරන බව සැලවීමත් සමගයි .

පැවතුණ  කළබලකාරී වාතාවරණය නිසා සී සී කඩ විසි වී ගිය අපට  මුණසිංහ පුනරුත්ථාපන කඳවුරකට ගෙන  ගිය බව ආරංචි වෙන්නේ මේ කාලයෙදී.

ඒ වනවිට මුණසිංහ සමග එකම පේළියේ සිටි සුරංජිත් රත්නායකත්  පාසැල් ආවේ මුණසිංහ ලා ගෙදර ඉඳන්.

සුරංජිත් කළබල සමයේදීම යෝධඇල මෝටර්ස්  කඳවුරේ සිටි හමුදා අණුකණ්ඩය විසින් අත්අඩංගුවට ගෙන පරලොව යැවූ බව  ඒ වනවිට  පුනරුත්ථාපනය  වෙමින්  සිටි මුණසිංහටත් දන ගන්න ලැබී තිබුණා.

මා ඒ  බව දැන ගත්තේ  මෙවර අපගේ  ලංකාගමනයේ මැදදී  සිදුවූ මුණසිංහ සහ මාගේ සුහද හමුව දවසේ.

වසර තිහකට පසු සිදුවූ හීල්ඔය ගමන.

එදා රාත්‍රී අප මුණගැසෙන්නට පැමිණි  සමන්ත සහ ඔහුගේ සගයන් සමග  මම කල කතා බහේදී   සුරංජිත් සහ  හඳපානගල  ජයරත්න වැනි අපේ පාසැල් හිතවතුන් ගැන කතා කරන්නත් මා අමතක කලේ නෑ. 

ඒ ඔවුන් ගැන සමන්ත  නොදැන සිටිය හැකි වුනත්  ඔහුගේ බණ්ඩාරවෙල නියෝජිතයා දැනගත යුතු යැයි මට හැඟී ගිය නිසා. 

එහිදී හදිසියේම  උපුල් මුණසිංහ යන නම මතක් කරමින් මම  ඔවුන්ට පැවසුවේ 

"උපුල් මුණසිංහ 1989 හමුදාවෙන් අල්ලන් ගියාලු . මට හිතෙන විදිහට මිනිහත් ජිවතුන් අතර නෑ "  කියලයි.

" නෑ.. නෑ .. උපුල් මුණසිංහ ඉන්නවා.  තවමත් හීල්ඔයට වෙලා එළවළු ටිකක් එහෙම හදාගෙන "

 සමන්තගේ බණ්ඩාරවෙල හිතවතා  වසන්ත කියනවාත් සමගම මට 1987 -89 අපේ පංතියේ සිටි ඒ නිශ්ශබ්ධ චරිතය නැවතත්  මතකයට ආවා.

" උපුල් මුණසිංහගේ  ටෙලිෆෝන් අංකෙ හොයාගන්න බැරිද? 

මිනිහා අපේ ලඟම හිතවතෙක් ඒ  කාලේ "

යැයි මම ඉතා උනන්දුවෙන් පැවසුවේ . අසුනමයේ භීම සමයේ ඉතිරි වී ඇති නටඹුන් අතර වැදගත් සාක්ෂි කිහිපයක් උපුල් ළඟ තිබිය හැකි බව මට තදින්ම දැනුන නිසයි.

"තියෙනවා . තියෙනවා .  දෙන්නම් .

මුණසිංහට කෝල් එකක් දෙන්න . එයා ගොඩක් සතුටු වෙයි " 

එසේ මා හට ලැබුණු මුණසිංහගේ දුරකථන අංකය ඔස්සේ මම මුණසිංහ හා සම්බන්ධ වුනෙමි. 

පසුදා හවස් කාලයේ අපේ තාත්තාත්   මෝටර් රථයට දමා ගත්  මම උපුල් මුණසිංහ  සොයා හීල්ඔය බලා ගියෙමි.

එදා මා මුණසිංහ නිවසට පිය මැන්නේ ජිවිතයේ ප්‍රථම වතාවටයි.

එහිදී දැනගත් කරුණු අනුව මුණසිංහ ගේ මා නොදැන සිටි ජිවන තොරතුරු දිග හැරෙන්නේ මෙලෙසයි.

අසු නමයේ අත්අඩංගුවට පත් ඔහු  දවුලගල කොබෝදයිෂි කඳවුරේ දිනපතා ගුටි කමින් ( මස් මාළු ආහාරයට ගත්තේ නැති නිසා ) වසරකට නොඅඩු  "පුරුත්ථාපනයක් " ලබා තිබේ .

ඒ  පුනරුත්ථාපනයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු හීල්ඔය ට පැමිණ නැවතත් සුපුරුදු එළවළු වගාවට බැස ඇත. 

අප මෙන් දෙවන වතාවටත් උසස් පෙළ කරනු වෙනුවට තම අසල් වැසි නිවසක වූ  කාන්තාවක් සමග විවාහ වී ඇති උපුල් මුණසිංහ දැන් දරුවන් තිදෙනෙකු ගේ පියෙකි.

ඉන් දෙදෙනෙක් දැන් විශ්ව විද්‍යාල සිසුන්ය .  ලොකුපුතා දෙවන වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකි . ලොකු දුව ඊයේ පෙරේදා  කළමනාකරණය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාලයට ගියේය.

බාලම දුවත් , බිරිඳත් වියපත් මවත් සමග උපුල් මුණසිංහ ජිවිත සටනට මුහුණ දෙමින් හීල්ඔයට වී සිටි.

ඒ සුපුරුදු එළවළු වගාව කරමිනි.

මුල්කාලයේ මුණසිංහ ලාත්  සැම්සන් අය්යා ගේ මස්සිනා ලා මෙන් ජයටම එළවලු වවා ඇත.

ඒ බව යන්තමින් හෝ සනාථ කරන්නේ ඔහුගේ භාගයට වැඩ නිමකළ නිවසත්  විශ්ව විද්‍යාලයට ඇතුල්වීම තෙක් අධ්‍යාපනය  නිමකල ඔහුගේ දරු දෙදෙනාත්ය. 

ඒත් 1989 උපුල් මුණසිංහට  සරදම් කල ඔහුගේ දයිවය නැවතත් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට සරදම් කරන්නට පටන්ගෙන තිබේ.

ඒ එළවළු වගාවට තබා   බිමට වත් වතුර පොදක් නැතිවෙන තරමට හිල්ඔය සහ භූ ගත ජල මුලාශ්‍ර හින්දවිම මගින්.


වතුර හිඟකමින්  වගා කල නොහැකිව වැස්සක් වැටෙන තෙක් බලා සිටිනා හීල්ඔයේ එළවළු කොටුවක්




පතුලේ වැලි පමණක් ඉතිරිවන සේ අද වන විට සම්පුර්ණයෙන්ම සිඳී ගොස් ඇති හීල්ඔය


මුණසිංහ ඇතුළු හිල්ඔය ප්‍රදේශයේ ගොවියන් අමාරුවේ දැමීම ගැන චෝදනා  එල්ල වන්නේ  හරි සක්‍යතා අධ්‍යනයකින් තොරව ආරම්භ කල  "උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය" සංවර්ධන වැඩ සටහනටයි.


  
වැරැද්ද කාගේ වුනත්  උපුල් මුණසිංහ නැවතත්  පරද්ද වන්නට   මේ බලවේගයට බැරි කමක් නැත. 

ඒ ඔහුගේත්  තම වැඩි දුර අධ්‍යාපනය කර ගන්නට මහන්සි ගන්නා ඔහුගේ දරුවන්ගේත් අදායම් මාර්ග බිංදුවට බැස්සවීම මගින්ය.

මට  උපුල් මුණසිංහ සහ ඔහුගේ නැගිටින්නට වෙර දරන පවුල ගැන  තදබල අනුකම්පාවක් ඇතිවිය.  

ඒ අනුකම්පාව අපත් සමග උසස් පෙළ කල අපේ සියලුම සගයන් අතරටත්  පැතිර ගියහොත් අපට  උපුල් මුණසිංහ පවුල වෙනුවෙන් යමක් කල හැකි වනු ඇත.

අපට සිඳී ගිය හිල්ඔය නැවත පිරවිය නොහැක.

 එහෙත් හීල්ඔය හිඳී ගිය  නිසා තම ජීවනෝපාය නැති වූ මිනිසෙකුට සහ ඔහුගේ  උත්සාහවන්ත පවුලට සහනයක් වීම  කල නොහැක්කක් නොවේ.

මම ඔබේ ප්‍රතිචාර දෙස බලා සිටිමි.  '

 මෙහි පළකර ඇති හිල්ඔය ප්‍රදේශයේ චයාරුප ලබා ගත්තේ "සුරන් චානක " ගේ මුහුණු පොතේ පලකල පොස්ටුවකින් .

ප. ලි. උපුල් මුණසිංහට  අලුත් රැකියාවක් සොයාදීම සහ ඔහුගේ දරු තිදෙනාගේ වැඩිදුර අධ්‍යාපනයට සහය දැක්වීම කියන මාතෘකා දෙක ගැන මේ ශ්‍රී ලංකා සංචාරයේදීම සාකච්චා කරන්න අවස්ථාවක් ලැබුණා. දැනට අපේ ගම්  ප්‍රදේශයේ දොස්තර කෙනෙක් ලෙස සේවය කරන තාරකත් , නව මහාමාර්ග හදමින් සිටින ඉංජිනේරුවරයෙක් වන කමල් සසරසිංහත්  මේ වෙනුවෙන් උනන්දුව දැක්වුවා ( දෙදෙනාම මුණසිංහ සහ අප සමග එකට උසස් පෙළ පංතිවල සිටි අය ) . ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යමක් සිදුවෙන්නට ඉඩ තියෙනවා.  අප තිදෙනාගේම මතය වුනේ පහුගිය දේවල් ගැන කියමින් එකිනෙකාට දොස් කියනවාට වඩා ඉදිරියට කරන්න පුළුවන් දෙයක් කරන එක අපේ වගකීම විය යුතු බවයි .

04/02/17
ඉහත සාකච්චා වල ප්‍රතිඵලයක් ලෙස  මුණසිංහගේ  දරුවන් දෙදෙනාට  ඔවුන්ගේ ලංකා බැංකු ගිණුම් දෙකට මුදල් තැන්පත් කිරීම මගින් උදව් කල යුතු බව අපි තීරණය කළෙමු.

ඒ අනුව කමල්ගේ යෝජනාව වුයේ  මුලින් මුදල් පොදු ගිණුමකට රැස් කර අනතුරුව ඒවා ළමුන් දෙදෙනාගේ  ගිණුම වලට බැර කලයුතු බවයි .



13 comments:

  1. Replies
    1. හොයාබලන්න වටිනවා. උමාඔය උමගෙන් බලපෑමට ලක්වූ භූගත ජලයට ඔය කියන ස්ථරය අයිති නැතිව ඇති නේද? ඒ ස්ථරය තියෙන්නේ උමග තියෙන මට්ටමට වඩා පහළින් නම් වැඩේ හරියයි. උමග කෙලින්ම bore water හෙව්වොත් කොහොම වෙයිද ? මගේ භූ විද්‍යා දැනුම නම් බින්දුවයි

      Delete
  2. https://www.facebook.com/chandana.abeykoon.1/videos/10155055198261454/

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තුතියි චන්දන මම මුහුණු පොතෙත් ඒක ශෙයා කරා. අපේ අය පහුගිය් දේවල් කතා කර සිදුවන විනාශය සහ බලපෑමට ලක්වෙච්ච මිනිස්සුන්ට වන්දි ගෙවීම් , අලුතින් ඉඩම ලබා දීම වැනි විය යුතු දේවල් ගැන වත් කතා නොකර ඉන්නවා. එහාට මෙහාට ඇඟිලි දික්කිරිම හැර හරවත් යමක් කිරීම, ඒ සම්බන්ධව යෝජනා ඉදිරිපත් කිරීම වගේ දේවල් වලට වත් ඉදිරිපත් වෙන්නේ නෑ.. අපේ ගම ( කිරිඔරුව - මාරබැද්ද ) ප්‍රදේශයේ ගොඩක් මිනිස්සුත් එහෙමයි . ඔය උමග ඊලඟ පියවරේදී අපේ ගමට යටින් යනවයි කියලයි ආරංචිය. එතකොට වත් කට්ටිය අවදි වෙයිද දන්නේ නෑ..

      Delete
  3. https://www.facebook.com/chandana.abeykoon.1/videos/10155055198261454/

    ReplyDelete
    Replies
    1. උමාඔය ව්‍යාපෘතිය දැන් නතර කරන්න නම් බැරිවෙයි . ඒත් අපේ පළාතට සිදුවූ විනාශය සහ එකේ අහිතකර බලපෑම් වලින් විඳවන අපේ පැත්තේ මිනිස්සුන්ට යමක් කරන්න බලධාරීන් යොමු කරවන එක තමයි දැන් කරන්න වෙන්නේ. ඒ අයට අලුතින් ඉඩම් එළවළු වගා කරන්න උදව් , විනාශයට සරිලන වන්දි දීම වගේ දේවල් . මේ වෙනුවෙන් හඬක් නගන එකම දේශපාලකයා ගැනයි මම මේකේ උඩින් ලිව්වේ . ඔහු ජවිපෙ වීම මිනිසුන්ට ගැටළුවක් විය යුතු නෑ උමා ඔයේ බලපෑම ගැන කතා කරන්න ..

      Delete
  4. බණ්ඩාරවෙල central හි සියලුම හිතවතුන් වෙතටයි.
    උමා ඔය ව්‍යාපෘතිය හෙතුවෙන් අපගෙ නිවසද ඇතුලුව නිවාස කිහිපයක්ම කඩාවැටමින් පවතිනවා.
    මීට අමතරව ජල ගැටලුව නිසා විදින පීඩාව ඔබලාට විස්තර කල යුතු නැතයි සිතනවා.
    මේ පිලිබඳව සොයා බැලීමට ප්‍රාදෙශීය ලෙඛම් කර්‍යාලයේ නිලධාරීන් නිතරම යනෙන නමුත් අපට දැනෙන ආකාරයට කිසියම් දේශපාලණ බලපෑමක් හෝ දේශපාලණමය නිද්‍රාශීලිත්වයක් නිසා කිසිම පිලිතුරක් නොමැතිව මෙම අපරාදයට ගොදුරු වූවන් තවමත් පීඩා විදිමින් සිටියි.
    බණ්ඩාරවෙල central යනු වසර 50 කට අදික කාලයක් තිස්සෙ රජයේ ඉහලම ස්තරයක් දක්වා විවිද නිලධාරින්ද විවිද දේශ පාලණ පක්ශ වලින් දෙස්පාලණ බලවතුන්ද බිහි කර ඇති උතුම් පාසල් මාතාවක් හෙයින්, කිණිගම උඩ පෙරුව, මැද පෙරුව හා පල්ල පෙරුව යන ගම් වල ගම් වාසින් විසින් මුහුණ දී ඇති මෙම උග්‍ර හා සංවෙදී ගැටලුවට සාදාරණ විසදුමක් සොයා දීමට මැදිහත් විය හැකි යන විස්වාශය ඇතිව මෙය මෙසේ පල කරමු.
    මෙම ගැටළුව හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ණතර කර දැමීම පිලිතුරක් වන බවද අප විශ්වාශ නොකරමු.
    මෙසේ ව්‍යසණයකට මුහුණදී ඇත්තේ ඔබගේත් මගෙත් පාසල පිහිටා ඇති භූමි ප්‍රදෙශයට පහලින් ( හීල් ඔය දෙසට ) ඇති ඉහත විස්තර කරණ ගම්මාණයන්ය.
    මෙම ගම්මාණ පරිසරයෙන් වතුර උගුරක් නොබීපු අයෙක් අප පාසලෙ සිටිය නොහැක…. ණමුත් අද එම සීතල වතුර නොමැත.
    ගම්මාණයේ වෙසෙන ගම්මුන්ගේ ඩාඩිය මහන්සියෙන් වගා කරන ලද නැවුම් එලවලුවක රස නොබැලූ අයෙක් සිටිය නොහැක…….
    නමුත් අද ඔවුනට වගා කිරීමට ජලය නොමැත..............
    අදහස් හා යොජනා ඉතාමත් වටිනා අතර ක්‍රියාකාරි යමක් කෙරේවි යැයි ( පමා නොවී ) බලා පොරොත්තුවෙනවා.

    Uma Oya project: More damages than benefits
    By Shanika Sriyananda She walked carefully on the floor fearing that her weight may deepen those cracks on the walls of her h-Uma Oya project: More damages than benefits
    FT.LK

    ReplyDelete
  5. http://www.ft.lk/article/399708/Uma-Oya-project--More-damages-than-benefits#sthash.bug6UNKn.dpuf

    ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ උමා ඔය ව්යාපෘතිය සඳහා රැස්වීමේ මුලසුන හෙබවූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම පීඩාවට පත් වූ ජනතාව, පරිසරවේදීන්, සිවිල් සමාජ සංවිධාන සහ අනෙකුත් පාර්ශ්වයන් හමු වූ මෙම ව්යාපෘතිය සැලසුම් සමාලෝචනය කිරීමට අමාත්ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට පොරොන්දු විය. ඔහු ද වහාම මෙම ව්යාපෘතිය පිළිබඳව මෙම ව්යාපෘතියේ වර්තමාන ප්රගතිය පිළිබඳ වාර්තාවක්, මූල්ය තත්ත්වය සහ මහජන අදහස් ලබා මහවැලි හා පරිසර අමාත්යාංශයේ ලේකම් උපදෙස් ලබා දී ඇත.
    මෙම වාර්තාව ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබේ. "සවිස්තර වාර්තාව ලබා දී ඇත පසු, උප කමිටු ව්යාපෘතිය සඳහා සම්බන්ධ වූ ගැටළු සොයා බැලීම සඳහා පත් කරනවා," ඔහු පැවසී ය. ඔහු එය පරිසරය හා ජනතාවට හානියක් නම් රජය මෙම ව්යාපෘතිය ක්රියාත්මක නොවන බව ජනතාව සහතික විය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා ප්රමුඛ එය ජල සම්පත් සැලකිය යුතු හානියක් සිදු කළ ලෙස මෙම උමග කාන්දු අලුත්වැඩියා කිරීමට ලබා දී ඇති බවයි. ඔහු ගම්මාන නමුත් උපදෙස් හා රුපියල් වෙන් නැවත පදිංචි කිරීමට කිසිදු වහාම සැලසුම් පවතින බවයි. මිලියන 25 විනාශ වන නිවාස වෙනුවෙන් වන්දි ගෙවීමට නීතිපති වෙත නිකුත් කර ඇත. "යළි පදිංචි කිරීම සඳහා අවශ්ය නම්, අපි -term පිළියමක් ලෙස එය සලකා," ඔහු, ඔවුන් මෙම ව්යාපෘතිය වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම පෙර මෙම ව්යාපෘතිය බලධාරීන් හානි සඳහා ප්රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති කොන්දේසි නිවැරදි කරන ලෙස ඉල්ලා ඇති බව ද අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය. "අපි ඉක්මනින්ම මෙම කැබිනට් මණ්ඩල අනුකාරක සභාවේ එය ඉදිරිපත් කරන විද්වත් කමිටු සිට පුර්ණ වාර්තාවක් බලා සිටින," රූපසිංහ මහතා පැවසීය. මෙම වාර්තාව මධ්යම පරිසර අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ භූ විද්යා හා පතල් කැනීම් කාර්යාංශයේ යන විශේෂඥයන් විසින් පිළියෙල කරනු ලැබේ.
    පේරාදෙණිය විශ්ව විද්යාලයේ කණ්ඩායමක් ද පුළුල් වාර්තාව සඳහා විශේෂඥ දැනුම හා දායක වනු ඇත. පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර ද අවශ්ය තත්ත්වයන් තොරව සිදුකර ලබන වත්මන් ඉදිකිරීම් කටයුතු, දිගටම නම්, එය විශාල ආපදා ඇති විය හැකි නිසා මෙම ව්යාපෘතිය නතර කිරීමට රජය ඉල්ලා ඇත. ඔහු වත්මන් විනාශකාරී තත්ත්වය ප්රධාන හේතුව Puhul ඔය ජලාශයේ සිට දියරාබ ජලාශයේ ජලය ගෙන යාමට උමං මාර්ග ඉදිකිරීම නිසා බව සඳහන් කළේය. "ඔවුන් මෙම උමග ඉදිකිරීම 16% අවසන් කර ඇත. මෙම ඉදිකරන්නන් අස්ථාවර ගල් ඉඩම්වල ඉදිකිරීම් කටයුතු සිදු ලෙස 26 ක් දිග උමග සම්පූර්ණ කළ විට, ඌව පළාතේ කඳුකර ප්රදේශවල දැඩි බුලත්කොහුපිටිය අවදානම වනු ඇත, "ඔහු අනතුරු ඇඟවීය. "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මධ්යම පරිසර අධිකාරිය මෙම අසාර්ථක ව්යාපෘතිය ක්රියාත්මක කිරීම මගින් අනතුරේ ජනතාවගේ ජීවිත දමා වගකිව යුතු," චාමිකර අවධාරණය කළේය. සිවිල් සංවිධාන, පරිසරවේදීන් හා ව්යාපෘතිය ස්ථිර වසා ඉල්ලා සහ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා රජය ඉල්ලා උද්ඝෝෂණ කිහිපයක් වේදිකා ඇති බණ්ඩාරවෙල බලපෑම එල්ල වූ ජනතාව රජය මෙම ව්යාපෘතිය ගැන දැඩි තීරණයක් ගන්නා තුරු ඔවුන්ගේ විරෝධතා දිගටම කරගෙන යාමට තීරණය කර ඇත. "අපි පසුගිය සතියේ බදුල්ල දිස්ත්රික්කයේ ජනතාව දැනුවත් කිරීමට කළු කොඩි රැගත් වාහනය සතුව තිබුණා. අපේ ජීවිත බේරා ගැනීමට ඉක්මන් විසඳුම් ගැනීම සඳහා රජය ඉල්ලා සිටිමු 20,000 කට අධික ජනතාවක් ව්යාපාරය සඳහා සහභාගි වූහ. අප ජීවිතය හා මරණය අතර ජීවත් වන ලෙස අපි අපේ අරගලය ඉදිරියට ගෙන යනවා, "හෙට්ටිආරච්චි මහතා ප්රකාශ කරන ඇත.

    On line conversion... at https://www.google.lk/?gws_rd=ssl#q=language+converter

    ReplyDelete
    Replies
    1. අපේ එක මස්සිනෙක් ඔය පැත්තේ රජයේ නිලධාරියෙක් එයා අද කිව්වා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය වූ අදිකාරම් එකෙත් බිල්ඩින් වගයක් පුපුරලා තියෙන්නේ කියලා ඊට අමතරව අපි කවුරුත් දන්නා තන්තිරියේ ප්‍රසිද්ධ කඩවල් කිහිපයක් බිත්ති පුපුරලා ටික ටික ගිලා බැහැලා එහෙම ලු . කතාවේ හැටියට කට්ටිය කොලේ වහලා ඉන්නවා. මට හිතෙනවා සමහර විට බණ්ඩාරවෙල ගොඩක් වැදගත් ආයතන එහෙම වෙන තැන්වලට ගෙන යන්න වෙයි මෙහෙම් ගියොත්

      Delete
  6. I received the bank account details of Munasinghe's daughter & son. First ever help credited for two accounts by an anonymous from Australia. If any of you happy to help , Please contact me to get the account details .

    ReplyDelete
  7. අපේ හිතවත් කමල් සසරසිංහ මුණසිංහ ගේ දරුවන් දෙදෙනා ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට උදව්වක් කරන්න කැමැත්ත පළකලා. ඔහු ඉහත ළමයින්ගේ ගිණුම් වෙනුවට මගේ ලංකා බැංකු ගිණුමට මුදල් බැර කරන බවත් ඉන් පසු මට ඉහතින් කළා වගේ මේ දෙදෙනාගේ ගිණුම් දෙකට මුදල් යොමු කරන ලෙසත් උපදෙස් දුන්නා. ඉදිරියේදී එසේ කිසියම් හෝ උදව්වක් ( රුපියල් දහස බැගින් හෝ ) කරන්න කැමති අයට මේ පොස්ටුවේ ඒ ලංකා බැංකු ගිණුම් විස්තර පලකරන්නම් .

    ReplyDelete