Follow by Email

Wednesday, 15 February 2017

වැටුනත් නැගිටින සුමීර



දෙදහස් හයේ  ජනවාරි  වල සිදුකල මග නැගුම හා ගම නැගුම වැඩ වලදී සුමිර අවසාන වතාවට දුටු අප ඔහුගේ පියාගේ හදිසි අභාවය ගැන අසා බොහෝ සේ කම්පා වීමු.

ඊට අමතරව මැද පෙරදිග ගොස් එහිම නතර වූ ඔහුගේ මවගේ කතාවද සුමිර ගැන අපට කියා පෑවේ  ඔහු තවත් අසරණ වූ  තත්වයේ කතාවකි .

එහෙත්  ලීල් නැතිවී මාස කිහිපයක් ගත වූ තැන අළු ගසා දමා නැගිටින්නට සුමිර තීරණය කර තිබිණි.

ඒ බව අපට ආරංචි වුයේ නිම්මිත්  ඇයගේ නංගි අමරාත් අතර වූ දුරකථන සංවාදයක් තුලිනි.

"ඒයි ඒක නෙවෙයි මොනවද ගමේ අලුත් ආරංචි එහෙම? "

නිම්මි තම සුපුරුදු පැනය යොමුකළේ කතාවේ මැද හරියකදීය.

' ඔයාට මතකද අර ඇක්සිඩන්ට් වුණ සුමීර?"

"ඔව් ..ඔව්  මේ අය්යත් එක්ක ඉස්සර වත්තේ එහෙම වැඩකලේ එයානේ ?"

" අන්න හරි ,... සුමිර දැන් රස්සාවකට යනවනේ "

" කොහෙද කොහෙද?  ඒ ළමයා ගේ මොළේ ට හානිවුණ නිසා වැඩක් පොලක් නොකර නිකන් ඉන්නවා කියලා නේද කිව්වේ ?"

" ඒ ලීල් ගෙදර ඉන්න කාලේ නේ . ලීල් මැරුණට පස්සේ සුමිරලාට සල්ලි වලින් තවත් අමාරු වුණා .

ඒක හින්දා වෙන්න ඇති මේ ලඟදි  ඉඳලා  සුමිර  අර  පින්නවල  කඩදාසි හදන තැන වැඩට යනවලු. "

" පින්නවල කඩදාසි  කම්හලක්  තියෙනවාද ? එහෙනම් අලුත දාපු එකක් වෙන්න ඇති ?"

" ඇයි දන්නේ නැද්ද අර අලිබෙටි වලින් කඩදාසි හදන්නේ අන්න එතන තමයි  එයා වැඩ කරන්නේ . සතියේ දවස් පහම වැඩලු. .

සුමිර හොඳට එකේ වැඩ අල්ලාගෙන යනවලු. මාසේ අන්තිමට  අත්තම්මා අතටත් ගානක් දෙනවා කියන්නේ ? "

"කවුද කිව්වේ ? "

"ලීල්ලැයි අම්මම තමයි කිව්වේ මේ ලඟදි මෙහේ ආව වෙලාවක "

"නියමයිනේ .. එහෙනම් සුමිර සාමාන්‍ය අතට හැරුණා? අපේ බයේ හිටියේ කොල්ලා දිගටම අමුතු වෙලා ඉඳියි කියලා "

"ඔව් .. ඔව්   හැබැයි ඉස්සර වගේ නෙවෙයි දැන් එයා ටිකක් අඩුවෙන්  තමයි කතා කරන්නේ .

ඒ වුනාට  ආත්තම්මා එක්ක  නම් හරි එකතුයිලු.   ලැබෙන පඩිය එහෙම්මම ආතම්මා අතට දෙනවලු. "


සුමිර නැවතත් අපට හමුවෙයි 


මෙවර අප ශ්‍රී ලංකාවට ගියේ හරියටම අවුරුදු තුනකට පසුවයි.  

මෙවර ලංකාගමනය තනිකරම නැවත හමුවීම්. අලුත් හමුවීම් ආදියෙන් පිරි තිබුණු එකකි. 

මට මතක හැටියට 2014 සිදු වූ අපේ ලංකාගමනේ දී සුමිර අපට හමු වුවේ නැත. 

එහෙත් මෙවර මා නිම්මිලා ගෙදරට පැමිණ ඇතිබව දෑන ගත් සුමිර  සිය ආත්තම්මා සමග අප බලන්නට ආවේය.

"පුතේ පුතේ  මෙන්න යාළුවෙක් ඇවිල්ලා...... අය්යා බලල යන්න ඕනේ කියලා "

නිම්මිලා අම්මා   ඇතුල් කාමරයේ සිටි මා අමතන හඬ සාලය දෙසින් ඇසෙන්නට  විය.

"බණ්ඩාරවෙල ගිය වෙලාවේ ඉඳන් යාලුවෝ නෑදැයෝ මග දිගට  

පාරේ යන ඔක්කොම මෙයාගේ අක්කලා හරි නැන්දලා හරි .

 ගමනක් යන්න පාරට බැස්සොත් අඩියෙන් අඩියට වාහනේ නවත්තනවා නෑදෑයින්ට කතා කරන්න.


කවුද අම්මේ ඔය අය්යා බලන්න ආපු මල්ලී ? "

මට කලින් නිම්මි අමුත්තාගේ විස්තර ඇසුවාය.

" මේ සුමිර  ඇවිල්ලා අත්තම්මත් එක්ක . ඔයාල ඇවිත් ඉන්න බව කිව්වහම එන්න ඕනේ කිව්වලු අය්යා බලල යන්න "

"ආ සුමිරද ?  කොහොමද අම්මා දිගටම අතන වැඩ කරනවද ? "

" ඔව් ඔව් දැන් අවුරුදු ගානක්ම ඒ කඩදාසි හදන තමයි එයා වැඩ" 

නිම්මිත් අම්මාත් සුමිර ගැන කතා කරන අතරම  මම  සුමිර ඉන්නා තැනට පිය මැන්නෙමි.   

එතෙක් අම්මා සමග කතා කරමින් සිටි නිම්මිද  මා සමගම සුමිර සිටි තැනට ආවාය. 

" හා සුමිර කොහොමද ?  අද වැඩ නැද්ද? "

" හොඳින් ඉන්නවා . මම වැඩට යන්නේ සතියේ දවස් වල විතරයි " 

යැයි පිළිතුරැ දුන්නද කිසියම් අධික  කුලෑටි ගතියක් සුමිරගේ  පිළිතුරේ ගැබ්වී තිබිණි 

මා සහ නිම්මි  ඇසු ප්‍රශ්න වලට සුමිරට වඩා පිළිතුරු දුන්නේ ඔහුගේ ආත්තම්මා විසිණි.

"දැන් ගජ ඉලංදාරියෙක් නේ ?   කසාදයක් බඳින්නත් කාලේ හරි වගේ "

මම නැවතත් සුමිරට පැවසුවේ ඔහුගේ අවධානය මා දෙස යොමු කරගනිමිනි.

කුලෑටි ගතියක් පෙන්වා සිනහසුණු ඔහු එතැනින් එහාට මාතෘකාව ගෙන යන්නට උනන්දු වුයේ නැත.

එහෙත් මා එසේ පවසද්දී සුමිරගේ අත්තම්මාගේ නෙත් දිලිසී නිවී ගියේ කිසියම් බලාපොරොත්තු සහගත හැඟීමක් නැතිවම නොවේ.


සුමිරලාගේ අනාගත බලාපොරොත්තු




තම පියාගේ අභාවයෙන් පසු සුමිර ජිවත් වුයේ ඔහුගේ බාප්පා ගේ නිවසේය ( ලීල් ලා මහා ගෙදර) .

සුමිරට අමතරව අත්තම්මා සහ මල්ලිද එම නිවසේ වාසය කළෝය.

අවුරුදු 23ක් වූ ඔහුගේ  නංගි  මේ වන විටත්  ඔවුන්ගේ ආත්තම්මා විසින් විවාහ කරදී තිබිණි.

සුමිරගේ අනාගත සැලසුම් ගැන අප දැන ගත්තේ ඔවුන්ගේ අත්තම්මා සහ නිම්මිලා අම්මා අතර වූ සාකච්චාවක ප්‍රතිඵලයක් වශයෙනි.

එම ආරංචියට අනුව සුමිර  කාමර දෙකක් සහිත ගෙයක් හදාගන්නට සුදානම් වෙමින් සිටියි.

 ඒ අත්තම්මා සහ බාප්පා විසින් වෙන්කර  දී ඇති කුඩා ඉඩම් කැබැල්ලකයි.

ඒ ඉඩම් ඇත්තේ  බාප්පා සිටින වත්තේම කොටසක බවයි නිම්මිලා අම්මා පවසන්නේ.


කාමර දෙකක්  ගොඩනැගීම සඳහා සුමිර විසින් මේ වනවිටත් අත්තිවාරමක් දමා ඇති බවත්,   නිම්මිලා අම්මාගේ ගෙවල්  හදා දෙන බෑණාගේ උදව් ඒ වෙනුවෙන් ලබා දෙන්නට පුළුවන් නම් හොඳ බවත්   සුමිරලා ආත්තම්මා වැඩි දුරටත් පවසා තිබේ.

සුමිරට  උදව් කරන්නට  මා මෙන්ම නිම්මිද කැමැත්තෙන් පසුවෙයි .

එය  හොඳ ආරම්භයකි.

එහෙත්  බණ්ඩාරවෙල  ප්‍රදේශයේ නිවාස හතරක්  ගොඩ නැංවීමට සහය වීමේ ප්‍රතිඵලයක් ලෙස    (මානසිකව) ඉතා වෙහස කර තත්වයකට පත්වූ   මම  තවමත් ඉන්නේ පාදයක් පසුපසට තබා ගෙනයි.


එම වෙහෙසට හේතුව ලෙස මා දකින්නේ  එක් නිවසක හිමිකරුගේ මව  (චමින්දගේ මව ) විසින් ගමපුරා කරගෙනයන   "මහත්තයලා අපේ ගේ හදා දුන්නේ භාගෙට " යන ප්‍රචාරය සහ එම ප්‍රචාරය අපේ වැඩ අධීක්ෂණය කල අපේ තාත්තා ඇතුළු ගෙදර අයට බලපා ඇති ආකාරයත් ය.


එමෙන්ම අනෙකුත් නිවාස හිමි පවුල් දෙක  ( ඇලෙක්ස්/ දයානි පවුල  සහ  රංජිත් රාජපක්ෂ පවුල )  සහ මා අතර ගොඩනැගී ඇති සමිප මානුෂිය හිතවත් කම්ද  අපේ බොහෝ දෙනෙකුට දිරවන්නේ නැත.

ඒ  නිසාම මා හා නිම්මි ඇතුළු පවුලේ සැම සාමාන්‍ය හිතවතුන් ලෙස  ඒ ගෙවල් වලට යෑම අවහිර කල "අපේ අය"  එය මා විසින් පමණක් සිදුකල  " official visit"  එකක් බවට පත්කර සතුටු වුහ.


දැන් අපි සුමිරගේ නිවසේ වැඩට  බැස්සහොත් එවැනිම "මානසිකව හිරිහැර කාරී" තත්වයක්  මාවනැල්ල ගමේද ඇතිවේවි යැයි සාධාරණ  "භයක්/සැකයක් " මා සිතෙහි මෙන්ම  නිම්මි  තුලද ඇතිවී තිබේ.

අපි සුමීරාලට උදව් කල යුතුය . එහෙත් එහි "සිමාව කොතැනකදැයි"  මම තවම සිතමින් පසුවන්නෙමි.


වෙනත් අයුරකින් කිවහොත්,  අපේ පුද්ගලික සහය පමණක් පළකර ඉතිරිය සුමිරටම  කර ගන්න ඉඩ හරිනවාද ?
නොඑසේනම්  මුල් නිවාස හතරේදී මෙන්  අනෙකුත් හිතවතුන්ද එක් කරගෙන   "ඉස්සර මෙන් ලොකු  වැඩකට අත ගසනවාද?"  යන්න තවමත්   මසිතේ රැඳුනු පැනයකි.

අප ඉදිරියේදී සුමිරලා  ගේ නිවසේ ගමන්මග කොයිදෙසටද  යන්න ගැන කතා කරමු.


5 comments:

  1. අලිබෙටි වලින් කඩදාසි හදන තැනක් තියෙනවයි කියල ඇහුවමයි.

    මම හිතන්නෙ නෑ වැඩිහිටි මිනිස්සු වගේ සුමීර කන්න දීපු අත හපාකන ජාතියෙ එකෙක් වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ සුමිර එහෙම කරන එකක් නෑ. ඒ වුනාට මාවනෑල්ලෙ ඉන්න ලොකු අය අර වගෙම තමයි. අපි බලමුකො මොකද් වෙන්නෙ කියලා

      Delete
    2. මමත් අලි බෙටි වලි න් කඩදාසි හදන බව දෑනගත්තෙ සුමිර වෑඩට ගියාට පස්සෙ තමයි

      Delete
  2. හොඳ හිතින් කරනා යහපත් දේට පවා දොස් කියනා දොස් දකිනා සමාජයකයි අපි ජිවත් වෙන්නේ. මගේ තාත්තා මට දීපු උපදෙසක් තියෙනවා , එය ඔබටත් උදව්වක් වෙවී.. නැති බැරි මිනිහෙකුට පැළයක් මිසක් බත් පිඟානක් දෙන්න එපා.
    ඔබ උනත් අද ඔය තැන ඉන්නේ වාසනාව නිසාම විතරක් නෙවෙයි නේ උත්සාහයත් නිසා, උදව් කරන්න උත්සහවන්ත මිනිසුන්ට...

    ReplyDelete
  3. ස්තුතියි ඔබෙ අදහසට
    //නැති බැරි මිනිහෙකුට පැළයක් මිසක් බත් පිඟානක් දෙන්න එපා.
    ඔබ උනත් අද ඔය තැන ඉන්නේ වාසනාව නිසාම විතරක් නෙවෙයි නේ උත්සාහයත් නිසා, උදව් කරන්න උත්සහවන්ත මිනිසුන්ට...//
    අපි මුලින්ම ගෙයක් හදා ගන්න උදවු කලේ අලෙක්සන්ඩ්‍රලාට අපි එයාලා හදුනා ගනිද්දි ඇලෙක්ස් අත්වෑඩ කරුවෙක්. අපි සමර ඉදිරියට යද්දි එයා අරක්කු , සිගරට් බිම එහෙම නවත්තලා අපි පෙන්වා දුන් හොද පාරට ආවා. එයාට මගෙ හොදම හිත්වතෙක් රස්සාවක් දුන්නා ඉදිකිරිම් අන්ශයෙ , පටන් ගනිද්දි දවසට රුපියල් 900ක් හොය-ඉ අලෙක්ස් දෑන් ගෝලයෝ 5-6 ක් තම භරයෙ ඉන්න ලොකු බාස් කෙනෙක් . දැන් අලෙක්ස් මාසෙකට රුපියල් 60000ක් විතර හොයන්වලු. අලෙක්ස් ගෙ නෝනත් ස්වය්න් රෑකියාවක් කරනවා.

    ReplyDelete