Follow by Email

Thursday, 24 August 2017

හරි ලස්සන පුංචි කාමරේ



කාලෙකින් යමක් ලියන්න බැරි වුණා. පසුගිය දිනවල ජීවිතය හිතුවාට වඩා කාර්යබහුල වීම  එසේ  වීමට ප්‍රධාන හේතුවක්.

තව තව සුළු  සුළු හේතුත් තිබුණා. එහෙත් යන්තම් ඉඩක් ලැබුණු ගමන් යමක් ලියන්නයි හිතාගෙන හිටියේ.

අද ලියවෙන්නේ තරමක වෙනස් කතාවක්.

අප ඔස්ට්‍රේලියාවට පැමිණ වසර දෙක තුනක් ගතවෙද්දී සිදු වූ සිද්ධි දාමයක් තමයි  මේකතාවට පාදක වෙන්නේ.

අපි එතකොට හිටියේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. මම මගේ ආචාර්ය උපාධියට අදාල පර්යේෂණ කරන කාලේ.

අපි ඇඩිලේඩ් නගරයේ තිබුණ අවුරුදු උත්සවයට සහභාගී වෙන්න ගිහින් හිටියේ.

එහෙම දවස්  වලට අනිවාර්යයෙන් අලුතින් මෙහේ පදිංචියට ආ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක්ම හඳුනා ගන්න ලැබෙනවා.

අවුරුදු හතරක දඟ මල්ලක් වූ සුපුන් වාහනයේ පිටුපස අසුනේ ඇති ළදරු අසුනේ ගැටගසා ගත් නිම්මිත් මමත් කිරිබත් දීසියක් සහ ලුණු මිරිසක්ද රැගෙන අවුරුදු උළෙල පැවැති පාසැල් ක්‍රීඩාංගනය බලා පිටත් වුණා.



ඩොක්ටර් සහබන්ධු හමුවීම




අපගෙනා කිරිබත් පිඟාන සංවිධායක නෝනා කෙනෙකුට දුන් අප දෙදෙනා අවුරුදු සිරි විඳිමින් සිටි සහෝදර ජනතාව සමඟ එකතු වුණා.

අවුරුදු උත්සවය ජයටම යයි. ඒ වනවිට අවුරුදු හතරක් වයස වූ අපේ පුතා කඩියෙකු මෙන් ඒ මේ අත දිව යයි.

සුපුන් බලා ගැනීම මට බාර කල නිම්මී ඇඩිලේඩ් නුවර ශ්‍රී ලාංකික ජනතාව හඳුනා ගනිමින් සිටියි.

සුපුන් දෙස දෙනෙත් රඳවාගෙන සිටිමුත් අසල ගැවසුණ අනෙකුත් ලාංකික හිතවතුන් සමඟද කතා බහට එකතු වී සිටි මට නිම්මි කොහේදැයි නිච්චියක් නැති මොහොතකි.

හදිසියේම සෙනඟ අතරින් මතු වූ නිම්මී මා සහ සුපුන් සිටි දෙසට දිව ආවේ

"ඒයි මේ  මට හම්බවුණා අලුතින්  මෙහාට ආපු කරාපිටියේ   ඩොක්ටර් කෙනෙක්?

විදේශ පුහුණුවට ලු ආවේ. ලංකාවේ සිශ්‍යත්වයකින්.

හැබැයි ටිකක් වයස පාටයි.

සමහර විට ඔයා අඳුරනවා ඇති කතා කරලා බලන්න"

යැයි කියමිණි.

"නෑ මට එහෙම අලුතින් ආපු කෙනෙක් නම්  හම්බවුණේ නෑ.

කොහෙද ඉතිං මේ සකබඹරේත් එක්ක ගැවසෙද්දි මනුස්සයෙකුට කතා කරන්න වෙලාවක් තියෙනවැයි?"

'හරි පොඩ්ඩක් ඉන්නකෝ මම ගිහිල්ලා කට්ටිය එක්කං එන්න.

නෝනයි , මහත්තයයි ළමයි දෙන්නයි ඉන්නේ පවුළේ.

නෝනා තමයි ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ. මහත්තයත් නියෝජ්‍ය අධ්‍යක්ෂක කෙනෙක් ලු."

සෙනඟ අතරින්  නොපෙනී ගිය නිම්මි නැවතත් මා වෙත ලඟා වූයේ

 අවුරුදු පනස් ගණන් වලපමණ පසුවේ යැයි සිතිය හැකි ශ්‍රී ලාංකික යුවළක් සහ ඔවුන්ගේ දරු දෙදෙනා සමඟයි.

එදා එලෙස  හඳුනා ගත්තේ රාජකීය ඇඩිලේඩ්  රෝහලේ අක්ෂි රෝග ඒකකයට පැමිණි ප්‍රේමලතා අක්කා සහ ඇයගේ ස්වාමි පුරුෂයා වූ සහබන්දු නම් රොහල් පරිපාලන සේවයේ සිටි කෙනෙකි.

මේ දෙදෙනා ඇඩිලේඩ් වල අප දැක සිටි අනෙක් වෛද්‍ය වරුන් මෙන් නොව ඉතා ලෙංගතු කමකින් නිම්මි සහ මා සමඟ කතා කරන්නට වූහ.

මේ මෙහිදී දකින්නට නොලැබෙන තරම් අධික ලෙංගතු කමකින්  කතා  කිරීමේ ගතිය  මා පසු කලෙක හඳුනාගත් පරිදි ඔස්ට්‍රේලියාවට ඉතා මෑතක ලඟා වූ ශ්‍රී ලාංකිකයින් හඳුනා ගැනීමට පහසුම ලක්ෂණය යයි.

හමුවූ මුල් දවසේම අප සමඟ කුළුපග වූ සහබන්දු අය්යා හට අපේ නිවසට එන ලෙස ආරාධනා කල මා ඔහුගේ පාළුව යන්නට අපේ තාත්තා සමඟ කතා බහ කරන්නට පුලුවන් බවද මතක් කර දුන්නෙමි.

ඒ  "මල්ලී මෙහේ හරි පාළුයි නේද? මම පොලොන්නරුවේ ඩිරෙක්ටර් වෙලා ඉන්න කාලේ නම් මගේ වැඩට හිටිය ඇටෙන්ඩන් උන්නැහේ සෙනසුරාදාට එහෙම නියම පාටි සෙට් කරනවා"

 යැයි කියමින් ඔහු "තමාට දැනෙන පාළුව" කුමක්දැයි මට හරියටම හැඟවූ නිසයි.

සහබන්දු අය්යාගේ රස කතා (හරි ලස්සන කාමරේ)





සහබන්දු සහ ප්‍රේමලතා ඇතුලු පවුලේ අය අපේ නිවසට එනවිට තාත්තත් මමත් සහබන්දු ගේ පාළු කැපීමට අවශ්‍ය කලමනා ආදිය සකස් කර අවසන් . 

නිම්මිත් කුස්සිය පැත්තේ බරටම වැඩ. 

"ආ කවිඳු මල්ලී . මල්ලිලාට නම් ජය පාටයි" 

කියමින් අසල ඇති පුටුවක් ඇදගත් සහබන්දු අය්යා තාත්තා සහ මා සකස් කර තිබූ සංග්‍රහ මේසය ලඟින් වාඩි වුණා.

"නේද චූටිපුතා,  අපිට කොහෙන්ද පොළොන්නරුවේ ඩිරෙක්ටර් මහත්තුරුන්ට වගේ ගෝනමස් එහෙම ? 

ෆුඩ්ලෑන්ඩ් එකෙන් ගෙනෙන ඒවා තමයි ඉතිං"

 කියමින් සහබන්දු ගේ පාළු කපන්නා ලෙස පත් කර සිටි තාත්තා කතාවට එක් වුණා.

ගන්න ගන්න පුතා  කියමින් රන්වන් පැහැ දියර පිරවූ වීදුරුවක් සහබන්දු වෙත දිගු කල තාත්තා සාදය ආරම්භ කලා.  

අමද්‍යප සංගමයේ අයෙක් වූ මම ෆුඩ්ලෑන්ඩ් බයිට් කමින් කතා බහට එකතු වුණා. 

ලංකාවේ සෞඛ්‍ය සේවය සහ විදේශ සිශ්‍යත්ව ආදිය ගැන කතා කරමින් ඇරඹි සංවාදය පැමිණ තිබුනේ රසවත් තැනකටයි.

ඒ රෝහල් පරිපාලකයෙකු ලෙස සහබන්දු සහ පවුල නිවාඩු ගතකල හැටි සහ විනෝද වු හැටි කියමින් සහබන්දු සභාව රසවත් කරමින් සිටි මොහොතකි.

"කවිඳු මල්ලි දන්නවද අපේ මිනිස්ට්‍රියේ තියෙන සර්කිට් බන්ගලෝ ගැන?

අපි නිවාඩුවකට ගියොත් නවතින්නෙම ඒවයින් එකකම තමයි.

ගියපාර අපි කතරගම ට්‍රිප් එකක් ගිහිල්ලා මාර වැඩේනේ වුණේ මල්ලී.

අපි ගියේ හදිස්සියේමයි.

ඒත් ඉතිං මම අහවල් ඉස්පිරිතාලේ ඩිරෙක්ටර් කිව්වම ඔය මිනිස්සු කොහොම හරි අපිට කාමරයක් දෙනවා.

ඒ විශ්වාසේ පිට කතරගම සර්කිට් බන්ග්ලෝ එකට ගියා.

එදා අපි යනකොට කාමර ඔක්කොම බුක් කරලා කිව්වා.

 ඔතන අපි නිතරම යන තැනක් නිසා මම ටිකක් දන්නවා.

මමත් එකින් එක රූම් බල බලා ඉස්සරහට ගියා එකක් හරි වේකන්ට් එකක් තියේද බලන්න.

මම හිතුවා හරි අපෙ හොඳ වෙලාව තමයි .

මෙන්න තියෙනවා එළකිරි ටිකට හදපු අලුත්ම අලුත් කාමරයක්.

බාත් රූම් එක එහෙම සැපටම හදලා.

විල්ලුද දාලා , අලුත් දොර , ජනෙල් තිර දාලා

ටිප් ටොප් එකට හදපු කාමරයක්.

ලොකු උන්නැහේ මේ කාමරේ අලුතින් ද හැදුවේ? මේක ඉස්සර තිබුණේ නෑ නේ? 

මම වැඩට හිටපු මෑන් ගෙන් ඇහුවා."

"මහත්තයා ඕක හැදුවේ අලුත් මිනිස්ටර් නේ .

එයා අමාත්‍යාංශේ තියෙන හැම සර්කිට් බන්ග්ලෝ එකකම වගේ ඔහොම රෑම් එකක් ගානේ හැදුවලු. "

ෂා  මිනිස්ටර් නියමයි නේ .

ඉතිං මේ රූම් එක නිකං වහලා තියාගෙන ඉන්නේ? මේක දෙන්නකෝ අපිට අද රෑට ඉන්න?"

කියලා මම මෑන්ස්ට කිව්වා.

"අම්මෝ මහත්තයා මේක නම් දෙන්න බෑ . මේක මිනිස්ටර්ට වෙන් කරලා තියෙන්නේ. "

කියලා කියපි මිනිහා.

"ඉතිං මනුස්සයෝ මිනිස්ටර් එනවද හැමදාම මේකේ ඉන්න ?

අනික කලිං කියලා නෙවෙයිද එන්නේ?

ඔන්න ඔහේ මේක අපිට දෙනවා"

 මම ආයිත් පොරට කිව්වා.

"සර්ලානම් කියයි මිනිස්ටර් ගේ හැටි අපිනේ දන්නේ?

එයාට වෙලාවක් කළාවක් රැයක් දවාලක් නෑ තරුණ ගෑණු ළමයෙක් හම්බවුණ ගමන් අරන් එනවා මෙහාට කොයිවෙලේ එනවද දන්නේ නෑ .

අපි පැය 24 ම රෙඩි පිට ඉන්න ඔය කාමරේ වේකෙන්ට් තියාගෙන. "

මිනිහා කාමරේ දෙන්නම බෑම කියනවා.

ඉතිං අන්තිමට මොකද කලේ?  වෙන කොහාට හරි ගියාද? 

සහබන්දු ගේ රස කතාව පතුළේ හිටිය මම ඔහුට බාධා කළා.

" පිස්සුද මල්ලි?

මිනිස්ටර් ආවොත් අපි එළියට යන්නම් කියලා අපි කොහොම හරි ඒ ලස්සන කාමරේ ඉල්ලා ගත්තා."

කණගාටුවට  කරුණක් වුවත් සහබන්දු අය්යා එදා රස කර කර පැවසුවේ අපේ පළාතේ මිනිසුන් තවමත් චන්ද දි දී තමන්ට සේවය කරන්නට කියා පර්ලිමේන්තු යවන ප්‍රසිද්ධ ඇමති වරයෙකුගේ කැරැට්ටුවයි. 

21 comments:

  1. "කණගාටුවට කරුණක් වුවත් සහබන්දු අය්යා එදා රස කර කර පැවසුවේ අපේ පළාතේ මිනිසුන් තවමත් චන්ද දි දී තමන්ට සේවය කරන්නට කියා පර්ලිමේන්තු යවන ප්‍රසිද්ධ ඇමති වරයෙකුගේ කැරැට්ටුවයි."

    ඔය ඇමැත්තා නි.සි.ද​.සි නේද​ ;)

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ කියවෙන ඇමැත්තාම තම අමාත්‍යාංශය ඇතුලේම නෝනගෙ අතටම අහුවෙලා තුවාය පිටින් දුවනවා දැක්ක කෙනෙක් අපේ ගමේ ඉන්නවා . එයා කියපු කතාවත් ඔය වගේම රසවත්!!!

      Delete
    2. මාත් අහලා තියනව ඒක නම්. ඇත්තද කියල දැනගෙන හිටියේ නැහැ. අර නිතර නිදියන් එක්කෙනා නේද?

      Delete
    3. ඇයි ඉතිං නිදා ගන්න වෙලාවක් නැතිව ඇතිනේ? ඔය සහබන්දු අය්යට ඒ සර්කිට් බන්ග්ලෝ එකේ මනුස්සයා කිව්වලු රෑ දෙගොඩහරියේ වුණත් ඇමතිතුමා එන්න පුලුවන් ඒකයි කාමරේ දෙන්න බය කියලා..

      Delete
    4. දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති එකා කරන්නේ මරු වැඩ​.ඒ කාලේ හිටපු තරුණ ලස්සන දොස්තර නෝනලාට​,නර්ස් නෝනලාට නි.සි.ද​.සි යක්‍ෂ බැල්ම වැටෙන්න ඇති

      Delete
  2. ඔහොම කට්ටිය තමයි හැම තැනම ඉන්නේ. උන්ටමනේ චන්දෙ දෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙහෙම නොවෙන කට්ටියට චන්ද දෙන්න සුදුසුයි කියලා කියන කොට එයාලගේ පරණ සතුරෝ දබි බිඩි ගාලා ඇවිත් කොමෙන්ට්ස් එහෙම දානවා " අපි දන්නවනේ මෙයාලා ඉස්සර හිටපු හැටි ? " එහෙම කියලා .. පොඩ්ඩක් සමහර බ්ලොග් කරුවන් ගේ සහ මුහුණු පොතේ ඔස්තාර්ලා දාන කමෙන්ට්ස් බලන්නකෝ මම බොරුද කියන්නේ බලන්න...

      Delete
  3. අපි පව්....... අපේ චන්දෙත් පව්.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි තඩී.... මේ ලඟදි මමයි මෙල්බන් වල ඉන්න අපේ ගමේ මගේ පාසැල් මිතුරෙකුයි අතර ඇතිවු කතා බහකදී ඔය දේම කියවුණා එයා අතින්..මම කිව්වා "මචන් අපේ ගමේ පන්සලේ ප්‍රධාන ආචාර්ය විදිහට ඉන්න මෑන් ගංජා ගහලලු එන්නේ දහම් පාසලේ උගන්වන්න .. ඒ වගේම ඒ පොරට ගංජා විකුණන කඩේ මුදලාලි තමයි ලු දහම් පාසලේ තෑගි ප්‍රදාන උත්වසවේ ප්‍රධාන ආරාධිතයා වෙන්නේ" එහෙම කියලා ... එතකොට මගේ යාලුවා ( ඔය කියන ගමේම කෙනෙක්) කියනවා.. මචං අපේ ගමේ මිනිස්සු පවු බං... අපේ ගමේ පොඩි එවුන් පවු බං " කියලා... ඒ තරම් දූෂිත වූ සමාජයක ඉන්න මිනිස් පව් තමයි...

      Delete
    2. මේකට නම් ටිකක් එකඟ එන්න අමාරුයි කවිඳු. ඔය ඕස්ට්‍රේලියාවේ වැඩ කරන වෛද්‍යවරයෙක් හැටියට ටිකක් ඕපන් වෙන්න එපැයි. මෙහෙ වගේම නෙදර්ලන්තය වගේ රටවල ගංජා බිම ලොකු ප්‍රශ්නයක් හැටියට සලකන්නේ නැහැ. හුඟක් අය සලකනවා ඒක බෙහෙතක් හැටියටත්. ඔය නොයෙක් ස්නායු රෝග තියෙන අයට MS තියෙන අයට . ඇමෙරිකාවේ සමහර ප්‍රාන්තවල නිදහසේ ගණන් පුළුවන්. එනිසා ඔය ගංජා ටැබූ එක නැතිවෙගන යන්නේ. අනික ආයුර්වේද වෙදකමේ සෑහෙන්න පාවිච්චි වෙනවා නේද? වැඩිපුර පවිච්හි කලොත් පැරනොයිඩ් වෙනවා කියලත් කියවල තියනවා.

      Delete
    3. පැරනොයිඩ් වෙලා ඉන්න අතරේ පොඩි ළමයින්ට ධර්මය ඉගැන්නුවොත් කොහොමද? මෙඩිසිනල් කැනබීස් මෙහෙත් පාවිච්චි වෙනවා. ආයුර්වෙදෙත් එහෙමයි. ඒත් ඉතා අඩු මාත්‍රා වලින් .. ඔය මම කියපු ගමේ තිප්පලේ වගේ " මලක් ගහනවා " කියමින් සිහිය විකල් වෙන තරමට නෙවෙයි... ඒ කාලේ ගංජා යොදාගෙන මදන මෝදක කියලා එකක් ලංකාවේ හැදුවා. "ගුලි" කියලයි කට්ටිය කිව්වේ .. අපේ ගමේම කෙනෙක් සීමාව ඉක්මවා ගුලිකාලා බෙහෙත් ගන්න තරමට ඔය මානසික ආබාධ තත්ත්වයට ආවා. ජානමය හේතුත් සහිත කෙනෙක් ගුලි කෑවම එහෙම වෙන්න බැරිකමක් නෑ.

      Delete
  4. හෙක්.. හෙක්.. අන්න ඇමටිල.

    ReplyDelete
    Replies
    1. ඔය ඇමටි මේ දවස් වල කරක් ගහන්නේ තරුණ දොස්තර නෝනා කෙනෙක් එක්ක කියලයි කියන්නේ... අප්පේ රටකට ගිය කලක්....

      Delete
  5. දැන් ඉන්න එකා බඩු නොගැහුවට ගහන්නෙ වෙන දේවල් නෙ ඩොක්ට? 😜😜😂😂 හා ද?

    ReplyDelete
    Replies
    1. හ හහ් හා.. කතාව ඇත්ත.. "අපි පව්" ම තමයි...

      Delete
  6. අපේ හරක්ම පත් කරගන්න හරක්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්.. හරක් ගෙත් හරක්.. ඒක නෙවෙයි ඔන්න මද්දාගේ ඉල්ලීම ඉටු කරා ලියන්නේ නැද්ද ? කියලා අහපු නිසා..

      Delete
  7. පව් අනේ එහෛම කියන්න එපා. ඒ ඇමැට්ටා හොද වැඩක් කරල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක් නේන්නම්? අමාත්‍යාංශය යටතේ තියෙන තමන් නිතර කරක් ගහන පැතිවල තියෙන සංචාරක නිවාඩු නිකේතන වල අධි සුඛෝපභෝගී කාමරයක් ගානේ හදලා තියෙන එක ඔය සහබන්දු අය්යලා වගේ ඇමැට්ටාට කවුරුවත් අහු නොවන දවසක පාවිච්චි කරන අයටත් ප්‍රයෝජනවත් නේ?

      Delete
  8. දේශ......... පාලුවෝ

    ReplyDelete