Follow by Email

Monday, 29 January 2018

රියැදුරු කීර්ති බණ්ඩාර මතකද?



පසුගිය ඔක්තෝබර් මාසයේ පළමුවෙනිදා හපුතලේ බෙරගල පල්ලමේදී අනතුරට පත් බස් රථය ඔබට මතකද? එහි රියැදුරු කීර්ති බණ්ඩාර මහතා බසයේ ගමන් කල සියළුම මගීන් ගේ පණ බේරාදෙන්න තමනගේ ජීවිතය කැපකලා .
ඔහු මිය ගිහින් මාස තුනක් ගතවුණේ ජනවාරි මාසේ පළමුවෙනිදා . ඒ වෙනුවෙන් දානමය පිංකමක් ඔහුගේ ඌව කොස්ගම නිවසේදී පැවැත්වුණා.

කීර්ති ගේ පාසැල් යන වයසේ සිටින දරු දෙදෙනා ( පුතා මෙවර අපොස සා. පෙළ ලියනවා , දුව දෙක වසරේ ) වෙනුවෙන් උපකාර කරන්නැයි කියා මා ලියූ බ්ලොග් ලිපියට සැලකිය යුතු ප්‍රතිචාරයක්  ලැබුණා ( කීර්තිගෙ බිරිඳ විජය නිල්මිණි මහත්මියගේ  ගිණුමට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් එක් කර තිබුණා අපේ හිතවතුන් විසින්) .

ඔහු තම නිවස ගොඩ නගන්නට ගත් බැංකු ණයක් තිබෙනවා රුපියල් ලක්ෂ අටක  එහි මාසික වාරිකය රුපියල් 16000 ක් . නිල්මිණි මහත්මිය අප එකතුකර දුන් මුදලෙන් රුපියල් 50000 ක් ඒ ණය පියවීමට යොදාගෙන තිබෙනවා.  ඉතිරි මුදල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යොදාගන්නා අතරේ.

මෙතෙක් කීර්ති සිදු කල පරාර්තකාමි ක්‍රියාව අගය කරනු වස් සුළු හෝ උදව්වක් කල නොහැකිවූ ඔබටයි මේ අවස්ථාව.

බැංකු ණය වාරියකය ගෙවන්නට නිල්මිණි මහත්මියට සහයවෙමු. පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැර කරලා..


ගිණුමේ නම:  T.M. P.W. Nilmini Tennakoon


බැංකු ශාඛාව: ලංකා බැංකුව, හල්දුම්මුල්ල


ගිණුම් අංකය: 81720917

ඌව කොස්ගම කියන්නේ දුෂ්කර ගම්මානයක්  . එහි සිට බදුල්ල-කොළඹ පාරට කිලෝමීටර් පහක් පමණ දුරයි. කීර්තිගේ මරණයෙන් පසු ගමට ගිය බස් එක නැවතිලා. දැන් ගමේ අය ( නිල්මිණි  මහත්මියද ඇතුලුව) කොහේ හරි යන්න නම් මේ කිලෝමීටර් පහ ත්‍රී වීලර් එකක යායුතුයි රුපියල් 350 ක් ගෙවලා . ඒ නිසා අත්‍යවශ්‍ය කාරණයකට හැර කෙනෙක් පාරට එන්නේ නෑ

Friday, 26 January 2018

බණ්ඩාරවෙල පූනාගලින් බිහිවු සැබෑ මානවහිතවාදියා සෙල්වා ( කිට්නන් සෙල්වරාජ්)



සෙල්වා හෙවත් කිට්නන් සෙල්වරාජ් අපට හමුවන්නේ පසුගිය වතාවේ අප ලංකාවට පැමිණ සිටි අතරයි.  බදුල්ලේ පැවති පොත් බෙදා දීමේ උත්සවයකදී මා අසලට පැමිණි සෙල්වා ඊට දින කිහිපයකට පෙර අප දෙදෙනා දුරකතනයෙන්  සම්බන්ධ වූ බව මට මතක් කර දුන්නේය . ඒ නිම්මිලා ගේ අම්මාගේ උදව්වට ඔහු දන්නා කෙනෙක් සම්බන්ධ කරදීම සම්බන්ධයෙන් සිදු කල දුරකතන සංවාදයක් ගැනයි.

ආරෝහ පරිණාහ දේහයකින් යුත්  සෙල්වා කොයි වෙලේත් සිනහ මුසු මුහුණින් සිටින  අයෙකි.   සෙල්වා යමෙක් හා කතා කල සැණින්  ඔහු හෝ ඇය තම වසඟයට ගන්නට සමත්කම් ඇත්තෙකි.

ඌව පළාතේ සිටින මෙවැනිම තවත් චරිතයක් වන්නේ අප හිත මිතුරු සමන්ත විද්‍යරත්නයන් බව මම ඔබට මෙයට කලින් පවසා ඇත්තෙමි.

සෙල්වා හඳුන්වා දිය හැකි අනෙක් හොඳම ක්‍රමය වන්නේ  සමන්ත විද්‍යාරත්නගේ ද්‍රවිඩ භාෂාව කතාකරන අනුවර්තනයක් ලෙසයි.
ඌවේ සිංහල කතා කරන පිරිස අතර සමන්තට ඇති ලෙංගතු කම  හා කැමැත්තට සමාන ලෙංගතු කමක් ඌවේ ද්‍රවිඩ භාෂාව කතා කරන පිරිස අතර සෙල්වාට හිමිව තිබේ.

ඒ ඔහුගේ ප්‍රියමනාප භාවයත්, චතුර කථිකත්වයත්  අසා සිටින්නන්ගේ සිත් ඇදබැඳ තබා ගනිමින් තම පණිවිඩය ඔවුන් වෙත ගෙනයන්නට ඇති හැකියාවත් නිසාය.

සෙල්වා ගැන මේ මෑතක අප ඇසූ කතා දෙකකින් ඔහුගේ මේ ගුණාංග පිලිබඳ  ඔබ අපට හොඳ අදහසක් ලබාගත හැකියැයි සිතුණි.


පළමු කතාව:

 මේ වනවිට බණ්ඩාරවෙල අපේ ගම් ප්‍රදේශයේ නිතරම කතාවෙන මාතෘකාවක් තිබේ . ඒ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සහ ඒ හේතුවෙන් බණ්ඩාරවෙල සහ අවට ගම්මාන වලට  සිදු වී ඇති අලාභහානි ගැනයි.

ව්‍යාපෘතියෙන් පළාතට සිදුවිය හැකි හානි ගැන ජනතාව දැනුවත් කල කණ්ඩායමට සෙල්වාද ඇතුලත් වී සිටින්නේ ඔහු හා සමන්ත විද්‍යාරත්නයන්  එකම වර්ගයේ අදහස් දරන්නන්ද වන නිසයි.

සමන්තලා සිංහල බසින් ජනතාව දැනුවත් කරද්දී උමා ඔයේ ඇති අනිසි බලපෑම් ගැන මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව දැනුවත් කිරීමට සෙල්වා ගෙන් සෑහෙන කාර්ය භාරයක් සිදු වූ බව නොරහසකි.

මේ ඒ බව සනාථ කෙරුණු එක් අවස්ථාවකි.

පසු ගියදිනෙක අපේ ගම් පළාතේ උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණෙන් ඉදිරිපත් කල ස්වාධීන කණ්ඩායම චන්ද ව්‍යාපාර කටයුතු කරමින් සිටියේය.


මේ කියන අවස්තාවේ ඔවුන් අපේ ගමට යාබද තේ වත්තේ ද්‍රවිඩ කම්කරු කාන්තාවන් දැනුවත් කරන්නට පැමිණ සිටියහ.  පළාතේ චන්ද අපේක්ෂිකා සුජීවා රත්නසිංහ සහ තව පිරිසක් සමඟ ඒ සඳහා පැමිණ සිටියේ අපේ කථානායක සෙල්වරාජ් ය.

සුජීවා උමාඔය ව්‍යාපෘතිය නිසා හානියටපත් නිවාස, ඉඩම් ආදියට වන්දි ලබාගත හැකි ආකාරය ආදිය ගැන වතුකරයේ ජනතාව දැනුවත් කලාය. ඊලඟට එලැඹුණේ සෙල්වාගේ වාරයයි




සෙල්වා කතාව පටන් ගත් තැන සිටම වතු ජනතාවගේ අවුරුදු 150 ක් පැරණි අතීතයේ සිට අද දක්වා ඔවුන් විඳිනා දුක් ගැහැට වෙත ඔවුන්ගේ අවධානය යොමු කලේය. එතෙක් මෙතෙක් පරම්පරා තුනක් හතරක් රට වෙනුවෙන් තම ශ්‍රමය වැගිරූ වතුකරයේ ජනයාට තවමත් බොන්නට වතුර, සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් වැසිකිළියක් තනාගන්නට වත් ඉඩකඩක් වත් සපයා දෙන්නට අපොහොසත්වු පාලකයින් ගැන කතා කලේය..


සෙල්වාගේම වචන වලින් කිව්වොත් "ශුද්ධ දෙමළෙන්"  තම ජනයා වැටී ඇති දුක්බර තත්ත්වය ඔවුන්ට පහදා දුන්නේය.

පැයක් එකහමාරක් නොසෙල්වී සෙල්වාගේ පැහැදිලි කිරිමට සවන්දුන් කම්කරු කාන්තාවෝ සෙල්වා වට කර ගත්හ

"අපි මෙච්චර කාලයක් මුට්ටි කාසි දිදී පාර්ලිමෙන්තු යවපු තොන්ඩමන් ලා , සච්චිලා අපි ගැන් බැලුවේ නෑ .. අපිට මේ වගේ අපේජීවිත වල හැබෑ තත්ත්වේ පැහැදිලි කලෙත් නෑ. අපේ චන්ද අරන් එයාලා හැදුනා විතරයි"

"අපි මේ පාර ඔයාලාට චන්දේ දෙනවා.. චන්දෙන් පස්සේ අපේ ගෙවල් වල එන්න ."

ඔවුන් සෙල්වාට ආරාධනා කලහ.

ටික දිනකට පසු අයිස්ලෙබි වතුයායේ පහළ ලැයිම් පේලියේ ඉන්න මල්ලී කෙනෙක් සමඟ සෙල්වා පැමිණි රැස්වීම ගැන කතා කලෙමි.

 "අප්පා සෙල්වා අන්නෙයි මාර කථිකයා . වත්තේ කට්ටිය කියනවා ඒ ගොල්ලෝ ජීවිතේ පළමුවෙනි වතාවට තමයි ඒ තරම් උනන්දුවෙන් දේශපාලකයෙක් කතාකරන හැටි බලන් හිටියේ කියලා.

ඒ විතරක් යැ එක අම්මා කෙනෙක් සෙල්වා ගේ අත අල්ලාගෙන කතා කර කර හිටියා පුතා ඔයාලා වගේ මිනිස්සු තමයි අපිට ඕනෑ අපි ගැන ආණ්ඩුවට කියන්න, අපි වෙනුවෙන් පෙනී හිටින්න   කියලා"

යැයි ඒ මල්ලී මා හා පැවසුවෙ සෙල්වා එදා පැමිණි සියලු වතු කම්කරු කාන්තාවන්ගේ පැහැදීමට ලක්වූ බවයි.




දෙවන කතාව ඊලඟ කොටසින්


පසු සටහන: කිට්නන් සෙල්වරාජ් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති වරයා වන අතර මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට හල්දුම්මුල්ල ප්‍රදේශයේ කණ්ඩායම් නායකයා ලෙස ඉදිරිපත් වී සිටි.