Follow by Email

Wednesday, 11 April 2018

ටිප් එක




"මෙයාට ඉතිං කොහේ ගියත් සත්ත්ව කරුණාව වැඩියිනේ? ඒ මනුස්සයා කලේ එයාගේ රස්සාව"

"ඒ වුණාට බලන්න කෝ ඒ ළමයා හරි උනන්දුවෙන් කිසිම පැකිලීමක් වාරාවක්  නැතිව, ඔක්කොම වැඩ තනියෙන් කරන්න බෑ වගේ හැඟීමක් නැතිව  අපට සලකපු හැටි? ...... මම නම් හරි ආසයි එහෙම හිතලා වැඩ කරන අයට.."

මේ සාකච්චාව ඇතිවුණේ අපේ නෝනයි මායි අතර  පසුගිය පාසැල් නිවාඩු කාලේ දවසක.

අපි ඒ නිවාඩුවට තස්මේනියාවේ සංචාරයකට ඇවිත් හිටියේ.

කතාවට අදාල සිද්ධිය ඉතා කුඩා එකක් වුණත් ඔබ අප සැමට  සිතන්නට යමක් එහි ඇති නිසා කියන්න ඕනි කියලා හිතුවා.

මේ වෙනකොට අපි හිටියේ තස්මේනියාවේ උල්වස්ටර්න්  කියන නගරයේ.

ඊට පසුදා උදෙන්ම මෙල්බන් බලා පිටත්වන ස්පිරිට් ඔෆ් තස්මේනියා ෆෙරී එකේ ආපහු එන්න එන ගමනේ.

මොටෙල් එකක නැවතිලා ඉන්න අතරේ  රාත්‍රී කෑම ගන්න තැනක් හොයමින් ඇවිදින ගමන් .

"මෙහේ ශ්‍රී ලන්කන් හරි ඉන්දියන් හරි රෙස්ටූරන්ට් එකක් නැද්ද දන්නේ නෑ. "

කියමින් මම නිම්මි සහ සුපුන් සමඟ නගරයේ වීදී දිගේ ඇවිදිනවා.

"තාත්තා අපි යමු චයිනීස් එකකට "

සුපුන් තමන්ගේ ප්‍රියතම කෑම චයිනීස් නුඩ්ල්ස් හෝ ෆ්‍රයිඩ් රයිස් ගැන හිතමින්ද කොහෙදෝ මට චයිනීස් කඩ ගැන කියනවා.

"මෙන්න මෙයාට ඉතිං අර ඩිම් සිම් සූප් එකයි , නුඩ්ල්ස් එකයි ගැන මතක් වෙලා අරබලන්න කියන කොටත් තොලකට ලෙවකනවා මෙයා" නිම්මී අපේ පුත්‍රයා ගේ චයිනීස් කෑමට ඇති ලොල්බව මට නැවතත් මතක් කර දුන්නා.

"හරි හරි ඊලඟට අහුවෙන චයිනීස් එකට යමු එහෙනම්  ලංකාවේ වගේමයි මෙහෙත් චීනේවත් නැතිව ඇති මෙච්චර චයිනීස් රෙස්ටුරන්ට්ස්"

පුතා විතරක් නෙවෙයි අම්මත් ප්‍රයිඩ් රයිස් වගේ කෑම ගන්න කැමති බව දන්නා මම ඒ අදහසට එකඟ වුණා.

ඔහොම කතාකර කර යද්දී පාර අයිනේ චයිනීස් කඩයක් දැකපු අපේ සුපුන් කඩිමුඩියේ ඒ පැත්තට ඇදුනා. ඒ පිටිපස්සෙන් අපි දෙන්නත් ඒ භෝජනශාලාව වෙත ඇදුනේ ඉබේටමයි.

රෙස්ටුරන්ට් එක චයිනීස් එකක් වුවත් එයට ගොඩවදින අමුත්තන් පිළිගන්නටත් ඔවුන් හට රාත්‍රී ආහාරයට ගත හැකි දේවල් අඩංගු මෙනු පත දෙන්නටත් සිටියේ  සුදු ජාතික තරුණියක්

"කෑම මෙහෙදි අර ගන්නද ? එහෙම නැත්නම් අරගෙන යන්නද? "


අපව පිළිගනිමින් කලමණාකාරි මේසයේ සිටි ඒ සුදු  තරුණිය ඇසුවා.

"අපි මෙහෙදිම කෑම ගන්නවා ."

 ඉදිරියට පැනපු සුපුන් උත්තර දුන්නා.

අලංකාරව මේස රෙදි ආදිය දමා සකසා තිබු මේසයක් වෙත අප කැඳවා ගෙන ගියේ ඒ  තරුණ කළමනාකාරිනිය විසින්මයි.

ලා කොල පැහැති අත් දිග කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී සිටි ඇය වෙතින් දිස්වූයේ දඟකාර ඔසී තරුණියකගේ පෙනුමට වඩා අපට හුරු පුරුදු ලාංකික තරුණියකගේ හැඩරුවක්.

ඒ නිසාමදෝ ඇය කරන කියන දේවල් දෙස ඉතා උවමනාවෙන් බලා සිටින්නට අප තිදෙනාම පෙළඹුණා කිව්වොත් නිවැරදියි.

අප යන විටත් එහි මේස කිහිපයකම රාත්‍රි ආහාරය ගන්නට එහි පැමිණි කණ්ඩායම් දක්නට ලැබුණා. ටික වෙලාවකින් අප සිටි මේසය වෙත පැමිණි ඇය අප තිදෙනාට වතුර වීදුරු තුනක් සහ වතුර බෝතලයක් ලබා දුන්නා .

නිම්මී සහ සුපුන් මෙනූ එකේ අකුරක් නෑර සාකච්චා කරන අතර වතුර වීදුරුවක් තොලගාමින් මම වටපිටාව දෙස නෙත් යොමුකලා.

අපේ කතානායිකාව ඉතා හුරුබුහුටි කඩිසර කෙනෙක් බව වටහා ගන්නට  මට ගතවූයේ ඉතාම සුලු වේලාවක්.

රෙස්ටූරන්ට් එක ඇතුලේ සිදුවන සියලු කටයුතු දෙස හොඳින් බලා සිටි මට වරෙක ඇය  ටේක් අවේ ඔඩර් එකක් දෙමින් එන දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන හැටිත්  ඒ අතර තුර කුස්සියෙන් එන සීනු හඬ දෙස සවන් යොමා සිට පිළියෙල කර අවසන් වූ කෑම අදාල මේස වෙත ගෙන එන හැටිත්   හොඳින් දැකගත හැකි වුණා.

අප මෙන්ම තවත් මේස කිහිපයකම කෑම ගන්නට පැමිණි පිරිස් රැඳී සිටියත් සියලු දෙනාටම  අදාල සත්කාර කිරිමට සිටියේ මේ තරුණිය පමණයි.

ඉතා සිනාමුසු මුහුණින් අමුත්තන්ට සංග්‍රහ කල ඈ වරෙක ඉඳුල් වූ පිඟන් ගොඩක් අත් දෙකේම රඳවා ගෙන කුස්සිය වෙත යනවා.

තවත් වරෙක කුස්සියේ සිට සකස් කර දුන් ටේක් අවේ කෑම පෙට්ටි ටිකක් අදාල පාරිභෝගිකයා වෙත ගෙන යනවා.

ඒ අතරේ අප සිටි මේස වලට පැමිණ ඒවායේ  ඇති උවමනා එපාකම් ගැන හොයනවා.


"මොනාද අනේ ඔයා ඔච්චර උවමනාවෙන් බලා ඉන්නේ ?  "

"අර බලන්නකෝ අර කෙල්ල කරන වැඩ ගොඩ?

මුළු හෝටලේම වැඩ ටික තනියම කරන්නේ එයානේ ?

අපේ එකෙක් එහෙමනම් මේ වෙනකොට එහෙන් මෙහෙන් ඇඹරෙන්න අරන් වැඩ වැඩියි කියලා."

"එහෙම තමයි මෙහේ අය වැඩ නම් වැඩ මොන රස්සව කලත් ආයි වාරාවට වැඩ නෑනේ? "

"ආ  ඔය කියන්නේ ඕගොල්ලන්ගේ වැඩ පොළේ අය ගැනනේ ?

මම ඒ වුණාට මේ ළමයාගේ මොකක් හරි විශේෂයක් දකිනවා. "

"ඒ කිව්වේ?"

"එහෙම මත් නෙමෙයි මට පෙණෙන විදිහට මේ ලමයා හරි ආශාවෙන් වගේම හරි උනන්දුවකින් වැඩ කරන කෙනෙක්.

තමන් කරන රස්සාව ගැන අභිමානයක් ඇතුව වැඩ කරන කෙනෙක්.

මම නම් හරි කැමතියි එහෙම වැඩ කරන අයට මොන රටේ , මොන ජාතියේ වුණත් මෙහෙම මිනිස්සු හින්ද තමයි ආයතන , ව්‍යාපාර වගේම පොදුවේ ගත්තම රටක් වුණත් දියුණු වෙන්නේ."

"ඔන්න ඔන්න පුතා තාත්තා කෑම කන්න ආපු තැනත් බණ කියන්න ගත්තා.

ඉස්සෙල්ලා චයිනීස් කඩ වලට එන්න බෑ කියපු මිනිහා දැන් කඩේ දාලා යන එකක් නෑ වගේ."

කතාවෙන් කතාවෙන් අපේ රාත්‍රී කෑම වේලත් සම්පුර්ණ වුණා . කට්ටිය දැන් එළියට යන්නයි ලෑස්තිය.
මම බිල ගෙවන්නම් නිම්මී වීසා කාඩ් එකත් අරන් කවුන්ටරය වෙත ගියා.

ඇය බිල ගෙව්වේත් අපේ කතානායිකාව වෙතටමයි.

මේ අතරේ සුපුන් මට යමක් පෙන්වනවා.   TIPS කියලා ලියූ වීදුරු බෝතලයක් ඇයගේ කවුන්ටරය අසල මේසයේ කොනකට වෙන්නට තියලා තිබුණා.

"මට මේකට කීයක් හරි දාන්නමයි හිතෙන්නේ"  මම කටහඬ අවදි කලා.

"හා හා මෙයාගේ සත්ත කරුණාව වැඩි වෙලා මෙන්න.

ඔන්න ඔහේ කීයක් හරි දාන්න තියෙන්නේ. "

මම මුදල් පසුම්බිය ඇද එහි තිබූ ඩොලර් දහයේ කොළයක්  බෝතලයතුලට දැම්මා.

 ඒ වෙනකොට එහි තිබුණේ ඩොලරයේ සහ ශත පණහේ කාසි කිහිපයක් පමණයි.

රෙස්ටුරන්ට් එකෙන් එළියට පැමිණි අප තිදෙනා නැවතත් අපේ වාහනය දෙසට යන ගමන්. මෙතෙක් වේලා වැඩි කතා බහක් නැතිව සිටිසුපුන් තම හඬ අවදි කලා.

"තාත්තා .... මෙහේ මිනිස්සු ටිප් එකට දෙන්නේ ඩොලරයක් හරි දෙකක් හරි.  ඔයා දහයක්ම දුන්නනේ ? "

"හරි හරි පුතා  මම ඒ ක දන්නනවා

ඒ අක්කා හරි උවමනාවෙන් වැඩ කරනවනේ .

ඒක දැකලා තමයි මට ටිකක්වැඩි පුර දෙන්න හිතුණේ".